Meemure Jungle Resort

Monday, May 31, 2010

ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන මට හිතෙන දේ...


මට ඡන්ද බලය හිමි උනේ 1999 වසරේ පමන වේ යැයි මට ලාවට මතක තිබේ. එතැන් සිට 2010 මහ මැතිවරනය තෙක් මැතිවරන 10කට පමණ ගොස් ඡන්දය ප්‍රකාශ කෙරුවෙමි.. නමුත් හැමවිටම මා සිතා සිටියේ මා නිසි පුද්ගලයෙකු වෙනුවෙන් ඡන්දය භාවිතා කල බවයි... අද දවස තුලදී මට කුමක්දෝ හේතුවක් නිසා මා ඡන්දය භාවිතා කල ආකාරය පිලිබදව පසු විපරමක යෙදීමට සිත් විය. අවසානයේදී මට මා ගැන සිතුනු දේ අවසානයට සදහන් කිරීමට අදහස් කරමි.පහත සදහන් වන්නේ මා ඡන්දය භාවිත කල අන්දම ගැන කෙටි පැහැදිලි කිරීමකි.

මාගේ ඡන්දය පරාජය වූයේ එක් වරක් පමණි.. වසර මතක නැති උනත් ඒ සිහළ උරුමය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමෙනි.. පරපුරෙන් ප්‍රබල ශ්‍රී ලංකා කාරයෝ වූවද 2002දී ගෙදරටත් හොරා ගොස් කතිරය අලියාට පිදුවෙමි. 2004 පාර්ලිමේන්තු මැතිවරනයේදී ජේවීපී එකේ බහුතරයක් දිනවීමටද මගේ ඡන්දය භාවිත කලෙමි. නමුත් අද වනතුරුත් රටට වන සෙතක් මට නොපෙනේ.. පහුගිය රජයන්ට වඩා මෙම රජය රට වෙනුවෙන් යමක් කරන බවක් පෙනුනද තමන්ගෙ අතේ තියෙන හැන්දෙන් තමාටම බෙදාගැනීමේ න්‍යායය නිසා මට දැන් එයද එපාවෙමින් පවතී....

පහු ගිය දිනයක ශ්‍රී ලංකාවේ ඡන්දයේ මා දුටු අපූරුතම සිදුවීමක්ද ලියන්නට කමැත්තෙමි... පසුගිය මහ මැතිවරනයේදී කොලඹ දිස්ත්‍රික්කයේ ජනප්‍රියම චරිතය වූයේ විමල් වීරවංශ යැයි මට හැගේ. කොට්ටාව මාකුඹුර පෙදෙසේ විමල් වීරවංශ බලකොටුවක් ඉදි කෙරෙනු ලැබින. ඒ වෙත යන මහ ජනතාවගේ සියලු අවශ්‍යතා එක සැනින් සපුරනුද ලැබින.. ඔවුනගේ ප්‍රශ්න වලටද එසැනින් පිලිතුරු ලැබින.. එත් කෝ අද ඒ කාර්යාල. අද එතැන ඇත්තේ හුදකලාවට ගිය පුංචි නිවහනක් පමණි. එම මැතිවරනයේදී එවන් මිනිසෙක් වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීම හරිදැයි මම මගේ සිතෙන් අසුවෙමි.. සිත පැවසුවේ වරදක් නැති බවකි.. හේතුව විමසූ කල සිත කිව්වේ කලින් ඡන්දෙ දුන්නු අය කලෙත් ඔය ටිකම නේදැයි මගෙන් විමසීම සහ වෙන අයට ඡන්දෙ දුන්නත් වෙන්නෙ ඔය ටිකම නේදැයි විමසීම පමනි... මම කිසිවක් නොදොඩා සිතට අවනත වීමි.

මිනිසුන් ජීවිතයේ එක දෙයක් වරද්දා ගන්නේ උපරිම උනොත් තෙවරක් පමනි... ඒත් මම එකම දෙය 10වරකට වඩා වරද්දාගෙන ඇති බවක් හැගේ. එත් සැනසීමට කාරනය වන්නේ මෙය 50 වරකටත් වඩා වරද්දාගත් අයද අප රටේ විසීමය.

මට ඇත්තේ එකම ගැටළුවකි... අනෙත් මැතිවරනයේදේත් මම මේ මෝඩකම තව වරක් කරයිද යන්නයි.

දේශපාලකයෙකුගෙන් කර ගන්නට වැඩක් අපට නැත.. නමුත් තමන්ගේ දරුවකුට රැකියාවක් ලබා ගැනීමට, ස්ථාන මාරුවක් ලබා ගැනීමට ඔවුන් වෙනුවෙන් මැතිවරනයට පෙර කකුල් කකියනකම් ඇවිදපු අහිංසක මිනිසුන්ට යන දසාව ගැන කවර කලක්ද? මේ සම්බන්ධයෙන් මට මෙසේ ද සිතේ. විශේෂ යමක් සිදු නොවී ඉදිරි මැතිවරන වලදීත් අපි ඡන්දය පාවිච්චි කරනවානම් අපි වැනි මෝඩ තකතීරුවන් පිලිබදව අපටම දෙවරක් සිතන්නට විය යුතු වේ.

සියලුම මහජන අපේක්ෂකයින් විසින් කරනු ලබන්නේ අපව රැවටීම පමනි. අපද දිගින් දිගටම රැවටෙමින් සිටිමු.. මෙය තවත් චිරාත් කාලයක් මේ අයුරින්ම පැවතෙනු ඇත. අපට ඉතිරි වන එකම දේ නම් මැතිවරනයට පසු දින තාප්ප පුරා ඇලවෙන "මා හට මනාපය පල කල ඔබට ස්තූතියි" යන වැකිය පමනයි.

ප.ලි. විමල් වීරවංශ මහතා ගැන සදහන් කරනු ලැබුවේ උදාහරනයක් ලෙස පමණි.. අනෙකුත් පක්ෂ විපක්ෂ සියලු අපේක්ෂකයෝද මෙසේමය. පක්ෂයක් ලෙසින් පෙනී සිටි ජවිපෙ පවා ඔවුන් විසින් ගමක් ගමක් පාසා ඉදි කරනු ලැබූ සියලු ශාඛා කාර්යාල දින තුනක් යන්නට මත්තෙන් ඉවත් කර තිබූහ.

Sunday, May 30, 2010

බෝඩිමේ කථා 01

සිංහල බ්ලොග්ස් මම මේ කියවන්නෙ ගත්තෙ බොහොම මෑතකදි ඉදල... ලෝකයෙ තියෙන සෑම විෂයයක් පිළිබදවම වගේ සිංහල බ්ලොග්ස් ගොඩක් තියෙන එක ගෙන අපි ආඩම්බර වෙන්න ඕන. උදාහරන ගන්නවනම් කතන්දර ගැනම කිහිපයක්ම තියෙනවා.... හසිතගෙ එකයි කුමාරගෙ එකයි මම ආසාවෙන් කියවන බ්ලොග් දෙකක්. ඒව කියවපුහම මටත් ගමකට කතා මතක් වෙනවා. කතන්දරගෙ චමරියෙ සීරීස් එක කියවපුවම මටත් මතක් උන අපේ බෝඩිමෙ සිද්දි ගොඩක්.. ඔන්න මම ලියන්න පටන් ගන්න යන්නෙ... මෙන්න අංක 01. .

මම බෝඩිං 06ක හිටියා.. 2000.01.23 ඉදලා 2007.06.06 වෙනකන් මම හිටියෙ බෝඩිංවල. රසවත්ම බෝඩිම තමයි දෙවෙනි එක. ඒකෙ සංයුතිය උනේ මෙහෙමයි. කොල්ලොම 09යි. {ලක්ෂ්මන් (අඩා),රුවන් (තට්ටයා),සචින් (ඩමියා),ප්‍රසාද් (පොඩ්ඩා), උදාන (පබා), අමිල (සුදූ), අන්ජන (අන්ජා), නන්දන (ලුනා) සහ මම}. තව අය හිටිය, ඒත් එනවට වඩා ඉක්මනට යනවා... මේ බෝඩිම පාලනය කලේ අංකල් කෙනෙක් අවුරුදු 65ක විතර. මිනිහගෙ නීති තදයි. කිහිපයක් කියනවනම්.....
01. ෂර්ට් උඩින් දාන්න බෑ.
02. රබර් සෙරෙප්පු දාන්න බෑ.
03. ගත්ත බඩුවක් තිබ්බ තැනින් ආපහු තියන්න ඕන.
04. ඕන ෆන් එකක් ගත්තට කමක් නෑ, හැබැයි ඉවර වෙලා ප්ලේස් එක ඒ විදිහටම හරි ගස්සන්න ඕන.
05. ඔක්කොම ඇදුම් අයන් කරලා අදින්න ඕන.
තවත් ඔය වගේ ගොඩාක් නීති තිබ්බ.. මොකද මෑන් දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ ආමි එකේ හිටපු මෑන් කෙනෙක්.හැබැයි එකක් කියන්න ඕන.. ඒ සිස්ටම් එකට ඉන්නවනම් කිසිම අවුලක් නැතුව ඉන්න පුලුවන්. ගොඩාක් අයට එහෙම ඉන්න බෑ.. ඒත් අපි 9දෙනානම් සෑහෙන කාලයක් හිටිය අංකල් එක්ක බොහොම සමගියෙන්.

දැන් පටන් ගමු පළවෙනි කථාව.... බෝඩිමේ හිටපු අයගෙන් මම විතරයි ඒ කාලේ රැකියාවක් කලේ.. මේ සිද්ධිය දවසට පහුවදා අනිත් 8දෙනාම රෙඩි උනා Batch Trip එක යන්න හන්තානෙ. ඉතින් අද රෑ ටීවී එකේ ගියා ශ්‍රි ලංකාවයි ඉන්දියවයි අතරෙ එක්දින තරගයක්. පොඩ්ඩා ඇර අනිත් ඔක්කොම මැච් එක බැලුවා. පොඩ්ඩා කලින්ම නිදා ගත්ත. මැච් එක අපි දිනුව.. ඒ ආතල් එකේ හිටපු අපේ උන් පොඩ්ඩාට ගේමක් දෙන්න සෙට් උනා.. දැන් වෙලාව 11ට විතර ඇති..
පලවෙනි පියවර වශයෙන් ඩමියා ගිහින් පොඩ්ඩට කතා කරනව මෙහෙම... " පොඩ්ඩො පොඩ්ඩො, නැගිටපන්, වෙලාව 5යි උඹ ට්‍රිප් එක යන්නෙ නැද්ද?" පොඩ්ඩා නැගිට්ට. ඇහැ ඇරල බැලුව.. ඔක්කොම නැගිටල. පොඩ්ඩාට ඒක සාමාන්‍යයි, මොකද මෑන් තමයි හැමදාම පරක්කු වෙල නැගිටින්නෙ. දැන් මිනිහ නැගිට්ටා, නෙට් එක ගැට ගැහුවා, බෙඩ් ෂීට් එක හැදුවා (ඒව බෝඩිමේ නීතී) එලියට එද්දි රුවන් රෑ නිදා ගන්න දත් මදිනව.. මෑන් හිතුව උදේම තමයි කියල.. මූ දැන් දත් මදිනවා මූන හෝදනවා.. එක කෙලියයි.. අන්තිමට මිනිහ ජැන්ඩියට ඇඩල මගෙ කාමරෙට එවිත් මගෙ ජෙල් එකයි සෙන්ට් එකයි දෙකත් ගහගෙන මගෙන් ඇහුව "මචන්, අදවත් මට කෙල්ලෙක් සෙට් වෙයිද?" කියල.... මමත් ඌව නග්ගල තිබ්බ.. මගේ රූම් එකෙන් එලියට එද්දි අනිත් උන් ඇදගෙනවත් නෑ කියල මුට මීටර් උනා.. දැන් පොර අනිත් උන්ට බනිනවා මෙහෙම "මොකක්ද බන්, මම තමයි හැමදාම අන්තිමට නැගිටල කලින්ම ඇද ගන්නෙ.. ඉක්මන් කරපල්ලකො" කියල.. ඒ අතරෙ මූ අංකල්ට කියනව.. "ලොක්කො.. මට තේ එකක් හදල දියන්කො මුන් ඇදගන්නකන්" ( අංකල්ට අපි කතා කලෙ එහෙමයි ගොඩාක් වෙලාවට.. Parentsලා ආපු වෙලාවක තමයි වැදගත් විදිහට කතා කලේ.) අංකල් තේ එකකුත් හදල දීල Trip Switch එක ඔෆ් කලා. දැන් අනිත් උන් කියනව මෙහෙම "අපෝ ලයිට් ගියා බන්.. අද යන්න වෙන්නෙ නෑ ට්‍රිප් එක නිදගමු බන් අයෙත්" කියල.. මේක අහල පොඩ්ඩාට තද වුනා හොදටම. පොඩ්ඩා කිව්ව "මොකක්ද බන් ලයිට් ගියා කියලා ට්‍රිප් එක යන්නෙ නැත්තෙ, මම වගෙ කලින්ම ඇදගෙන රෙඩි වුනානම් ඉවරනෙ, දැන් බලපල්ල කීයද වෙලාව" කියල මූ ඔරලෝසුව දිහාට නෙත් හෙලුවා... ඔන්න වෙලාව 12.15යි. පොරගෙ මූන රතු උනා.. සියලු කතා නැවැත්තුවා... ඇදුම් ඔක්කොම ගලවලා වීසි කරල සරම ඇද ගත්ත... සිංහල භාෂාවේ තියෙන අමිහිරිම වදන් තෙපලමින් ගිහින් නැවත නිදා ගත්ත...

හැබැයි කොල්ලට විහිලු තේරුනු නිසා පහුවදා නැගිටල batch trip එකත් ගියා...

ප.ලි. මේ කාගෙවත් pictures upload කරන්න බැරි මේ ඔක්කොම අ
සමාජයේ ඉහල තනතුරු වල ඉන්න නිසඉ....

බෝඩිමේ වෙච්ච රසවත්ම සිද්දිය ලබන මාසෙ ඉදිරිපත් කරනවා.. මොකද ඒකට කතා නායකයගෙන් අවසර ගන්න ඕන..

වෙසක් කාලෙට මතක් වෙන ජනකගෙ වෙසක් කූඩුව


මේකත් බාලදක්ෂ කරන කාලෙ සිද්ද වෙච්ච නියම කතාවක්. මගෙම Batch එකේ හිටියා ජනක හේරත් කියල යාලුවෙක්.... අදටත් මගේ ලගින්ම ඉන්න යාලුවෙක්. කවදාවත් එක පන්තියෙ ඉදල නැති උනාට බාලදක්ෂ කණ්ඩායමේ, ශිෂ්‍ය නායක මණ්ඩළයේ, අමද්‍යප සංගමයේ (ඒ කාලේ) වගේ තව ගොඩාක් දේවල් වල මාත් එකට හිටිය පොරක් තමයි ජනක. මම දන්න හිත හොඳ මිනිස්සුන්ගෙන් ඉදිරියෙන්ම ඉන්න මනුස්සයෙක් තමයි මේ ජනක හේරත් කියන්නෙ....

ඉතින් කතාව මේකයි... මිනිහ හොඳ කලා කාරයෙක්.. චිත්‍ර අඳින්න, කැටයම් කපන්න, ඕනම කලා වැඩක් ගැන හසල දැනුමක් තියෙන නිසා බාලදක්ෂ කණ්ඩායම වාර්ෂිකව ඉදිරිපත් කරන වෙසක් කූඩුව ගහන්න පැවරුනෙත් මේ ජනකටම තමයි.... පාසැල් කාලයෙ හිටපු ගුරුවරුන් අතරෙ ඉටු දෙවියෙක් විදිහට අපි සලකන අපේ බාලදක්ෂ ආචාර්ය විමල් පෙරේරා ගුරුතුමාගෙ හිතත් පොර දිනාගෙන හි
ටියා. ඉතින් අප්‍රේල් මාසෙ අන්තිම වෙද්දි Sir ජනකට කතා කරලා කියනවා "ජනක පුතා, මට මේ පාර හදන වෙසක් කූඩුවෙ Plan එක ගෙනත් දෙන්න කියලා... මූ දුවගෙන එනව බාලදක්ෂ කාමරේට.. දැන් අදිනව Plan එක. කූඩුව තට්ටු දෙකයි... දෙපැත්තට කැරකෙන්නෙ... පාසලේ Colours වලින් රැලි... ඇතුලෙ Scout කෙනෙක් හිටගෙන ඉන්නවා....... දැක්කහම ආසයි Plan එක... ඉතින් දැන් මෙයා ගිහින් මේ Plan එක Sir ටත් දෙනව.. Sirටත් හරිම සතුටුයි කූඩුව දැකල...

දැන් වෙසක් ලංවෙනවා.... කූඩුව හදන පාටක්වත් නෑ... කොහොමත් මෑන්ගෙ වැඩ අන්තිම තත්පරේට නිසා අපිත් ඉන්නව... අහපුවම කියනව පොඩ්ඩක් හිටපන් බං ඕක ටක් ගාලා හදලා දාමු කියලා.. අපිත් ඉන්නවා... ඔන්න වෙසක් දවසත් උදා වෙනවා.... කූඩුව තවමත් නෑ... කොහේහරි ගිහින් ඉදල 10ට විතර එනව මූ Scout Room එකට.. අපිත් ඉන්නව මෙයා එනකන්, මොකද මෑන් නෙ දන්නෙ ප්ලෑන් එක. ඇවිත් කියනව.. "මචන්, දැන් අරක හදන්න වෙලාවක් නෑ.. මොන මගුලක් හරි හදල එල්ලලා දාමු" කියල. අපි ඉතින් ඌට බැන බැන අටපට්ටමක් හදල ඒකෙ Maliyadeva Scouts කියලත් ගහල ඉස්කෝලෙ ඉස්සරහින්ම එල්ලනව...

හොදම ටික මේකයි... අර ප්ලෑන් එක බලපු සර් ගෙදර අයත් එක්ක එනව අපේ කූඩුව පෙන්නන්න... ඇවිත් බලනකොට මේ තියෙන්නෙ බැබලි බැබලි අටපට්ටමක්.. සර්ටත් ලැජ්ජයි.. අපිට ඊටත් වඩා ලැජ්ජයි.. ලැජ්ජ
යි කියල ජනකයව මරන්නද? ඌට බැන බැන බුද්ධාලම්බන ප්‍රීතියෙන් හදවත් පුරවාගෙන අපි ගෙදර යනවා....


Saturday, May 29, 2010

ගමට තාක්ෂණය......... මෙන්න මේ දැන් සිදුවුන සිදුවීමක්.

මම දැන් ටිකකට කලින් මම Mail Check කරන කොට මගෙ සංචාරක වෙබ් අඩවියෙන් ආපු ඊ මේල් එකකට ප්‍රතිචාරයක් ලෙස අදාල දුරකතන අංකයට ඇමතුමක් දුන්නා. එතකොට පාරිභෝගිකයා අනෙක් අන්තයෙන් මාත් එක්ක සම්බන්ධ වුනා... මම සුපුරුදු ලෙස පලවෙනි කොටස කියල ඇහුවා මොකක්ද සර් වෙන්න ඕන කියල....

දැන් එයා කියනවා.. මට මේ දැන් කිතුල්ගල යන්න ඕනේ. හෙට White Water Rafting කරන්න ඕන. පැකේජ් එකයි වෙහිකල් එකයි මට කියන්න, ගානත් එක්ක. මම විනාඩියෙන් ගන්නම් කියලා කිතුල්ගල හොටෙල් එකට කතා කරලා වැඩේ ok කරල, ආපහු කතා කරලා ඇහුව කොතනටද වෙහිකල් එක එවන්න ඕන. Package එක ready කියලත් කිව්ව...

දැන් එයා මට පාර කියනවා... මට තේරෙනව මේ කියන්නෙ අපේ ගෙදරට එන පාර කියලා... මට නිකමට හිතුන මේකනම් bite තමයි කියල.. ඒත් මම මොකුත් කිව්වෙ නෑ... අන්තිමට එයා පාර කිව්වෙ අපෙ ගෙදරට ගෙවල් 3ක් එහා තියෙන ගෙදරට... මම කිව්ව මමත් දැන් ඉන්නෙ එතන තමයි කියලා... පස්සෙ මෑන් ගෙදරටම ඇවිත් කතා කරල වැඩේ කර ගත්ත. පස්සෙ මම එයාට කිව්ව වෙබ් එකේ අපෙ address එක බැලුවනම් දුරකතන බිල් එකවත් ඉතුරු වෙනව කියලා..

තව එක දේකුත් කියන්න ඕන... ලංකාවෙ අඩුම ගනන් වලට ට්‍රිප් යවන්නෙ අපි. ඔයාලත් අල්ලපු ගෙවල් වලට වඩා දුරින් ඉන්න නිසා මෙතනින් මට කතා කරන්න.




මේ Photograph එක ගත්තෙ මමමයි.. මේ බෝට්ටුවට ඊලග තත්පරයෙදි වෙන දේ හිතා ගන්න. ඒත් බය වෙන්න එපා.. එතන ඉන්නව Certified Life Guards ලා...........

ජීවිතේ රසවත්ම ජීවිතයේ රසවත්ම සිද්ධිය.

මේ Title එක බලපුවහම නිකන් අවුල් වගේ නේද? මම ඒකෙන් අදහස් කලේ ගොඩක් අයගෙ ජීවිත වල පොඩි පොඩි Sub ජීවිත තියෙනවනෙ. ඒ කියන්නෙ ඔය Campus ජීවිතේ, බෝඩින් ජීවිතේ, පාසල් ජීවිතේ වගේ ඒවා. ඉතින් මගේ ජීවිතෙත් එහෙම Sub ජීවිත කීපයක් තිබුනා. ඒවයින් හොදම එක තමයි මගේ බාලදක්ෂ ජීවිතය. කොටින්ම මගෙ සංචාරක ව්‍යාපාරයටත් මූලික අඩිතාලම උනෙත් මේ බාලදක්ෂ ජීවිතයම තමයි.

බාලදක්ෂ ජීවිතය හොදම ජීවිතය වෙච්ච තව සිංහල බ්ලොග්කරුවන් දෙන්නෙක් ඉන්නව මම දන්න. එක්කෙනෙක් චාමර ජයවීර. අනිත් එක්කෙනා හසිත චාමිකර. හසිතයි මමයි මුන ගැහුනෙ Camps, Hikes ගිහිල්ලමයි... චාමරයි මමයිනම් එක College එකේ.. අපි දැන් College එකෙන් අයින් වෙලත් ගොඩක් කාලයක් උනාට තවමත් බාලදක්ෂ වලට යන්නෙ ඒ වෙනුවෙන් වූ ආසාව නිසමයි. මේ දවස්වල Sri Lanka Old Scouts and Old Guides Association කියල එකක් හදාගෙන අපි ගොඩක් Social Services කරන්න බලපොරොත්තුවෙන් ඉන්නෙ.

ඉතින් මේ රසවත්ම ජීවිතේ වෙච්ච රසවත්ම සිද්ධිය කියන්නයි මම හදන්නෙ.

ගාල්ලෙ තියෙන සංඝමිත්තා බාලිකා එක දන්නවනෙ මේ රටේ ඉන්න ඔක්කොම අය වගේ. ඒකෙ තිබුන ගවේෂන තරගයක්.... සංවිධානය කරල තිබුනෙ සංඝමිත්තා බාලදක්ෂිකාවන්. ලංකාවෙ ඉන්න බාලදක්ෂිකාවන් අතරින් සංඝමිත්තා බාලදක්ෂිකාවන් ඉදිරි පෙලේ ඉන්නව කියන එකත් කියන්න ඕන. ඉතින් මේ තරගය තිබුනෙ හියාරෙ කියන වැසි වනන්තරයේ. අපි ඉතින් මේ කාලෙ වෙද්දි බාලදක්ෂ Field එකේ පොරවල්. පොඩි අය ඇදුම් 2ක් ගෙනියනව. එකක් කැලේ යන්න. අනික නිළ ඇදුම. අපි ඇදුම් 1යි. ඒකෙන් තමයි කැලේත් ගිහින් ගෙදර එන්නෙත්... ඔන්න ඉතින් ලංකාවෙ ප්‍රසිද්ධ පාසල් කීපයක ආදි බාලදක්ෂයොත් දැන් සෙට් වෙලා කැලේ යනව.. ඔහොම යද්දි තමයි හම්බුනේ ඉන ලගට වතුර තියෙන තැනක්. ආපහු එන්නත් බෑ. එතකොට 5Km විතර ගිහින්.. තව 1Km විතර යන්න තියෙන්නෙ... ඒකෙන් එගොඩ වෙච්ච ක්‍රමය මේ Picture එක බලලා හිතා ගන්න පුලුවන් වේවි ඔයාලට.... මේ සිද්ධියෙ තව රසවත් දේවල් තියෙනවා... ඒව කියන්න ගියොත් මට මේක ඉවර කර ගන්න ලැබෙන එකක් නෑ...

ප.ලි. photo එකේ ඉන්න අය මට නඩු දාන්නෙ නැතිවේ කියලා හිතනවා.




පේනව නේද? ඔක්කොගෙම කලිසම් කරේ................................................

පාසල් කාලයේ පලවෙනි දඩුවම

පුන්චි කාලෙ අපෙ අම්මලා කොල්ලට හොදට උගන්වන්න ඕන කියල මාව පලාතෙම තිබ්බ හොදම පිරිමි ස්කෝලෙට දැම්මා. 2 වසරෙ ලොකු අයියලා පෙරහරක් එහෙම තියල අපිව පිලිගත්තා. ඒත් මාව දාල අම්මා යනකොට අඬපු බවක් මට මතක නෑ. කවුරුත් එහෙම කියලත් නැති නිසා මම හිතන්නෙ මම අඬන්න නැතුව ඇති කියලයි.

පන්තියෙ Teacherගෙ නම ගීතා. ගීතා Teacher හරිම ප්‍රියමනාප කෙනෙක්. ඒත් ටිකක් සැරයි.. ඒ Teacher මට අදටත් හොදට මතකයි... මගෙ Wedding එක පවා මම ඒ Teacherට කිව්වා.

දෙවෙනි සතියෙ දවසක ගීතා Teacher දුන්න අපිට 'ල' යන්න rule නැති පොතේ පිටුවක් පුරා ලියාගෙන එන්න කියල... ඕක ඉතින් ගෙදර ආවට පස්සෙ මට අමතක උනා... ඉස්සර අපි ඉස්කෝලෙ ගියේ බක්කි කරත්තෙ.. හරිම ජොලි ගමන. ඉතින් ඔය කියන දවසෙ උදේ කරත්තෙට නගිනකොටම මතක් උනා 'ල' යනු පිටුව.

දැන් කරත්තෙ යන අක්කලගෙනුත් අහගෙන පිටුව පුරා 'ල' යන්න ලිව්ව. කරත්තෙ ගැස්සෙද්දි හරියට පිලිවෙලට ගානට ලියන්නත් පුලුවන්නේ. ඉතින් ඒ ගැස්සිල්ලට පින් සිද්ද වෙන්න පිටුවම දෙවියනේ කියල අකුරු 5කින් විතර ඉවර උනා. මමත් චන්ඩිය වගේ ඉස්කෝලෙට ගියා.... ගීතා Teacher ආව.. බැලුව මගේ පොත. අනෙ සාදු කියල ඇන්න ෂෝයි ටොක්කක්.. නැගිට්ටවල ගිහින් පන්තියෙ මුල්ලෙ බිත්තිය පැත්තට හරවල තිබ්බ විනාඩි 30ක් විතර...

අපරදෙ කියන්නෙ ඔන්න ඒදා තමයි දඩුවම්වල රහ තේරුනෙ. ඒක නිසා ඒ පටන් ගත්ත විදිහටම අඩුවක් නැතුව College එකෙන් out වෙනකන් පිලිවෙලට දඩුවම් ලැබුන මදි නොකියන්න.

ප.ලි. : කොල්ල පොඩි උනාට හරි කට්ටයි කියල teacher අම්මට කියල තිබ්බ පස්සෙ දවසක. අම්ම ඒ මොකද කියල අහපුවාම කිව්වලු 'ල' යනු 5කින් පිටුවක්ම ඉවර කරල තිබුන කියල.

මේ Picture එකේ තියෙන්නෙ අපේ College එක.

Friday, May 28, 2010

ඇයි මම Tourism කරන්නෙ

ලංකාවේ ගොඩාක් අය ට්‍රිප් යනව කියපු ගමන් යන්නෙ හැමෝම දන්න කියන තැන් වලට. සමහර අය එකම තැනට 10 පාරක් 15 පාරක් විතර යනව... ඒ ගිහින් මෙලො රහක් නැතුව එනව...

දැන් ඔයාලට පුලුවන් කිසිම වියදමක් නැතුව මගෙන් අහන්න. මමත් ඒ පිලිබද පොරක් නෙමේ.. නමුත් ඒ Field එකේ ඉන්න නිසා ඔයාලට හොද දෙයක් දෙන්න පුලුවන් වේවි.

අනිත් කාරනේ තමයි අපේ රටෙ ගොඩක් අය ලොකු හොටෙල්ස් වලට යන්න ටිකක් අදි මදි කරන එක... ඒ හොටෙල්ස් වල ඔයාල හිතන තරම් ලොකු Charges අය නොකරන බවත් මම කියන්න ඕන වගේම ඒ බය නැති කරන්නත් තමයි මම උත්සහ කරන්නෙ.

තවම Complete කරල නැති උනාට මගෙ මේ Web Site එකෙන් පොඩි Idea එකක් ගන්න පුලුවන් වෙයි මගෙ වැඩේ ගැන. මට අදාල ඔක්කොම මම දානව මෙතන... ඊට පස්සෙ මම ලියන්නම් මේ ගැන තව ගොඩාක් දේවල්....

Web Site : මේක තමයි මගෙ වෙබ් අඩවිය
E-mail : mail@srilankatourorganizers.com
abeetha@srilankatourorganizers.com

Telephone : +94714449162

Postal Address : 180/3, Malapalla, Pannipitiya, Sri Lanka.

FB Page :මූණු පොතේ මිතුරු පිටුවට එන්න....


FB Group : මූණු පොතේ කණ්ඩායම මෙන්න....

ඔන්න පලවෙනි කතාව.




පලවෙනි කතාව නිසා පුන්චි කාලෙන්ම පටන් ගන්න එක තමයි හොඳ.

මම පොඩි කලෙ හැදුනෙ අපෙ කිරි අම්මලගෙ ගෙදර. ඒ කියන්නේ අපෙ අම්මගෙ අම්මගෙ ගෙදර. ඉතින් පුන්චිලගෙ මාමලගෙ නොමද සෙනෙහස මැද තමයි මම හැදුනෙ වැඩුනෙ.

ඔන්න ඔහොම ඉද්දි ආව ඇවිදින කාලෙ. ඒත් මම හරිම කම්මැලිය ඇවිදින දුවන වැඩ වලට. ඒත් එහෙම කියල බැරි නිසා චූටිම මාම හොය ගත්ත මරු ක්‍රමයක්. මොකක්ද දන්නවද ක්‍රමේ. ඇවිදින්න ඔන වෙලාවට කලිසමෙ (ඒ කාලෙ කිව්වෙ ජන්ගිය කියලනේ) පිටිපස්ස පැත්තෙන් ගහනව කොස් කොලයක්. දැන් ඔන්න කොල්ලට කිචි ගමකට... කොස් කොලෙ ගන්න තේරෙන්නෙ නැති නිසා කිචි නැති වෙනකන් දුවනව ගේ වටේ.

ඉතින් ඔන්න ඔය කියන කොස් කොලේට පින් සිද්ද වෙන්න තමයි මම ඇවිදින්න පුරුදු උනේ.

මේ ඉන්නෙ මගේ පුන්චි පුතා... එයාටත් කොස් කොලයක් ගහන්න වෙවිද දන්නෙ නෑ..... :D :D :D

ඇයි මට ලියන්න හිතුනෙ.

කොච්චර Computer එකේ Internetඑකේ හිටියත් Blog එකක් ලියන්න හිතුනෙ කතන්දර සූරීන්ගෙ Blog එක

ඊට අමතරව මගෙ ක්ෂේත්‍රයේ පොඩි පොඩි දේවල් ටිකකුත් ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ. කියෙව්වට පස්සෙ. වැඩ කරල මහන්සි උනහම මගෙ එකටත් ගොඩ වෙලා ටිකක් හිනා වෙලා යන්න. මගෙ ජීවිතේ වෙච්ච, අනිත් අයට වෙච්ච සහ අහපු පුන්චි පුන්චි කතා ටිකක් ලියන්න තමයි අදහස් කරන්නෙ. ඔයාලගෙ අදහස් තමයි ගොඩක් වටින්නෙ. කතා කියවලා ටිකක් හිනාවෙලා Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.