Meemure Jungle Resort

Saturday, July 31, 2010

පරණ පෙම් හසුන් වල මතක


මේ ගැන ලියන්න හිත හිත ඉද්දි පිස්සා මලයා මට වඩා ඉක්මන් වෙලා තිබ්බා... පෙම් හසුන් ගැන පෝස්ට් එකක් දානවා කියන්නෙ දලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්..හෙට උදේට ගෙදර තත්ත්වෙ මොන විදිහට තියෙයිද කියලා තමයි කියන්න අමාරු.... කොහොමත් දවස් දෙකක් තුනක් ඇතුලත මම මේ පෝස්ට් එක මකලා දාලා තිබ්බෙ නැත්නම් ඒ කියන්නෙ කිසි ගැටළුවක් නෑ කියන එකයි.... කෝ කතාව වටේ යනවනෙ.... හරි කතාවට බහිමු....

මේ ගැන කියද්දි මතක් වෙන කතා කිහිපයක් ගැන අපේ පිස්සා මල්ලි අවධානය යොමු කරලා තියෙනවා.. එකක් තමයි ඒ කාලෙ පෙම් හසුන් වල ලියපු පොඩි පොඩි වදන්... අනික තමයි පෙම් හසුන් ගබඩා... තුන් වෙනි එක තමයි පෙම් හසුන් වලට ලබලා තියෙන අපල කල දසාව..... අද කතවෙදි තුන්වෙනි එකෙන් පටන් අරන් පළවෙනි එකට යමු....

කෙටි පණිවිඩ, ඊ මේල්, මූණුපොත වගේ තාක්ෂණික දියුණුවත් එක්ක නිකන්ම අභාවයට යන තවත් එක් කලාවක් තමයි මේ පෙම් හසුන් කලාව.. මම වගේම කසූ, පිස්සා සහ අපේ වයසෙ සහ ඊට වැඩි හැමෝම වගේ මේ පෑම් හසුන් කලාවෙ නිත්‍ය සාමාජිකයින් වෙන්න ඇති... පෙම් සබදතා නැති එකෙක් උනත් පෙම් හසුනක් ලියපු එකෙක් වෙනවා.. මොකද ගොඩාක් උන්ට වෙන්නෙ ලිවුම කියවලාම බෑ කියන එකයි.. මොකද සමහර අයගෙ ලියුම් කියවපුහම හා කියන්න ඉන්න එකත් බෑ කියනවා.. හරියට අර පිස්සගෙ සංකයා වගේ.... අම්මලාට හොරෙන් පොතේ මැද පිටුවෙ ලියුම ලියලා පොතක් අස්සෙ දාල අදාල පෙම්වතියට හෝ පෙම්වතාට දෙන එකත් හෙනම මෙහෙයුමක්.... ඒක සාර්ථකව නිම කලාම හිතට වෙන ෆිට් එක වචන වලින් වලින් විස්තර කරන්න බෑ.. නැද්ද පිස්ස මලයා... හා බොරුද කසූ.... බ්ලොග් ගඩොල් ලා, හා පැටික්කිලා, ඉබ්බලා එහෙමනම් පෙම් හසුන් ලියලා නැති උනත් සොදුරු සිතක් තියෙන වත් නම් අපූරු පෙම් හසුන් ලියලා ඇති.. සමාවෙන්න ඕන... ඉබ්බලත් පෙම් හසුන් ලිව්වා කියලා මෙ දැන් දැනගත්තා ඉබ්බගෙ අළුත්ම පෝස්ට් එකෙන්... කතාව යනවනෙ වෙන පාරවල් දිගේ.... ඒත් ඉතින් පෙම් හසුන්වල අභාවයට විකල්පයක් නෑ කියලා තමයි මට හිතෙන්නෙ....

දැන් කියන්න යන්නෙ පෙම් හසුන් ගබඩා ගැනනෙ... පොතේ කවරෙ අස්සෙ තමයි වැඩිපුරම ගබඩා වෙලා තියෙන්නෙ.. පර්ස් එකේ රහසිගත සාක්කුවලත් මේව ඕන තරම් තියෙනවා.. ඒත් මගෙ පෙම් හසුන් ගබඩාව තිබ්බෙ මරුම තැනක.. ඒක ගැන තමයි මේ කියන්න යන්නෙ..
මගෙ කාමරේ තිබ්බා බිත්ති අල්මාරියක් කණ්නාඩියක් හයි කරපු.... ඔයාලා දන්නවනෙ එහෙම එකක දොර ඇරපු ගමන් දොරේ පිටිපස්ස පැත්තෙ තියෙන්නෙ ලොකු හාර්ඩ් බෝර්ඩ් එකක්... ඔන්න ඔය හාර්ඩ් බෝර්ඩ් එක අස්සෙ තමයි මගෙ සහ අපේ උන්ගෙ සියලුම පෙම් හසුන් තිබ්බෙ... ගබඩා කරන්නෙ මෙහෙමයි... ඉස්සෙල්ලම ලියුම නමලා එකෙ පොඩි හිලක් හදනව අල්පෙනෙත්තකින් වගේ... හිලෙන් දිග නූලක් දාල ගැට ගහලා ලියුම අර හාඩ් බෝඩ් එක අස්සට දානව... එලියට එන නූල් කෑල්ල හාඩ් බෝඩ් එකේ අයින දිගේ හන්ගනවා... නූලෙ පාටෙන් තමයි කාගෙ ලියුම්ද කියන එක තීරණය වෙන්නෙ.. බැරිවෙලාවත් කණ්නාඩිය කැඩුනනම් තමයි කොල්ලගෙ සුවච කීකරු යාලුවො ඔක්කොගෙම රෙදි ගැලවෙන්නෙ... හික්ස්

ඊලගට ඉතිරි වෙන්නෙ පොඩි පොඩි පෙම් වදන් නෙ... මෝඩ... ක්‍රියේටිව්, ආතල්, පිස්සු වගේ ඕනෑම ප්‍රභේදයකට අයත් වදන් මේ තුල ගැබ් වෙලා තිබ්බා.... ගොඩක්ම මිල්ටන්ගෙ, ජෝතිගෙ සින්දු කෑලි තමයි.... ජනප්‍රියම සින්දුව උනේ මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි කියන සින්දුව... තව වික්ටර් රත්නායකගෙ තරු අත් අකුරින් ලියා එවමි වගේ සින්දුත් තිබ්බා...
පොඩි වදන් ලිව්වට ඒවනම් ටිකක් මොඩ පහේ ඒවා.. මෙන්න මේ වගේ..

වේවා ශාන්ති - නොවේවා කේන්ති
වංගු වංගු ගලන කොටයි ගගක් ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන

තව මේ වගේඅ ඒව නම් ගොඩායි... දන් මම කියන්න හදන්නෙ එදා මෙදා තුර මම කියවපු හොදම පෙම් වැකිය...

ඔබ යනෙනා ගමන දුටුවිට නැතිව කුදූ
මගෙ හද ගැහී වෙනවා පිස්සු පීකුදූ

හිතා ගන්න පුළුවන්ද ලියුම දුන්නට පස්සෙ මොනවා වෙන්න ඇද්ද කියලා.....


Friday, July 30, 2010

කියන්න හදන්නෙ සින්දුවක් ගැන.... සින්දුවේ වටිනාකම ගොඩාක් දැනෙන්නෙ දැන් නිසා....

ගුණදාස කපුගේ.... කියන්නෙ මේ රටේ හිටපු අති ශ්‍රේෂ්ඨ ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක්.. ඔහු ගැන නොදන්න කෙනෙක් ඉන්නවානම් පුදුමයක්.. අපේ බ්ලොග් කලාවේ ඉන්න අය අතරිනුත් කපුගේට ආදරය කරන කිහිප දෙනෙක් ඉන්නවා කියලා සමහර පෝස්ට් වලින් මට වැටහිලා තියෙනවා...

මෙන්න සින්දුව

කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ....
ඇයි ගොලු ගැහුනේ.... සිතාරයට වෙඩි වැදුනද යාළුවෝ..
සිතාරයට වෙඩි වැදුනද යාළුවෝ.......

මහ පොළව ඉතින් දෙකට තුනට බෙදී යාවි යාළුවෝ...
ගංගා මහ මුහුදු කලපු නොබෙදේවිද යාළුවෝ...
නුඹලා කොයි දෙස කොයි රටකට යනවද මාළුවෝ....

කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ....

අපෙ උතුරු දකුණු සංගීතය දෙකට බෙදෙයි යාළුවෝ....
මෘදංග ගැටබෙර හදවත් පැලී යාවි යාළුවෝ...
නුඹලාගේ සින්දු ඉතින් කොයි රටේද මාළුවෝ........

කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ....

මේ සින්දුව මගෙ හිතට දැනුනෙ කොළඹ තියෙන සෞන්දර්ය විශ්ව විද්‍යාලවෙ තිබ්බ ප්‍රසංගයකදි... ඕන කෙනෙකුට බලන්න යන්න පුළුවන්... සති දෙකකට සැරයක් බ්‍රහස්පතින්දට කිසිම අය කිරීමකින් තොරව මියුරු ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගයක් ඔවුන් පවත්වනවා... පසුගිය සතියෙ ඒකට සහභාගී වෙන්න ආවෙ යාපනේ කිහිප දෙනෙක්... ඔවුන් සහ දකුනෙ සංගීතඥයින් එකතු වෙලා කරපු ප්‍රසංගය අපේ හදවත් පිරෙව්වා...

ඉවරවෙලා මෝටර් රථයට නැගපු මට ඊලගට ඇහුනෙ මේ ගීතය.... කෙතරම් අර්ථවද්ද කියන එක මගෙ හිතට දැනුනෙ ඒ වෙලාවෙයි...

ඇත්තටම අපි ඒ කාලෙ කොච්චර මානසික පීඩනයකින්ද හිටියෙ නේද?

ප.ලි. මේක අහන්න දාන්න මම දන්නෙ නෑ.. නැත්නම් මම අහන්න දානවා..... මෙතනින් අහන්න try එකක් දෙන්න

අනුරාධ අයියාගේ දෙබස්..

අපේ සෙට් එකේ හිටියා සමුද්‍ර කියලා එකෙක්... උගේ ඥාතී වෙන අයියා කෙනෙක් ඉන්නව අනුරාධ කියලා.... ( කොළඹ සමාජෙනම් කියන්නෙ කසින් ද මොකක්ද එකක්නේ) ඉතින් මේ අනුරාද අයියයි මමයි අද කාලෙකට පස්සෙ මූනු පොතට සෙට් වෙලා පොඩි චැටක් දැම්මා.. එකම විදුහලක ඉගෙන ගත්ත දෙන්නෙක් සෙට් උනාම ඉතින් අයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.. පොර තවම බැදලත් නැති නිසා කාලෙ ගැන ප්‍රශ්නයක් තිබ්බෙත් නෑ.... මම දැන් ඒ චැට් එකේ පොඩි දෙබස් ඛාන්ඩ කීපයක් තමයි දාන්න හදන්නෙ...

1.. මොකද මල්ලි දැන් කරන්නෙ....

අයියා මම මේ දවස්වල පොඩි බෑන්ඩ් එකක් ලංකාවට ගෙන්නන්න යන්නෙ

මරුනෙ මොකද නම

එකෙ නම අයියෙ සෙරෙන්ඩිබ් සෙක්ස්ටට්...

ඇ බන් වෙන මොකුත්ම තිබ්බෙ නැද්ද උබට ගෙන්නන්න...

2. ගිය තවත් දෙබසක් තමයි මේ

මල්ලි අන්න උඹලගෙ ඔෆිස් එක ලග තියෙන KFC එක වහන්න කියලා උසාවි නියෝගයක් දීලා

නෑ.. මොකක්ද අයියෙ සීන් එක

සීන් එක මම දන්නවද බන්.. මොකො මම නඩුකාරයද?

අහ්.ඔව්නෙ... ඒත් ඉතින් අපරාදෙ..

අනේ මල්ලි මෙ.. නිකන් පොෂ් පොරක් වගෙ "අපරාදෙ" කියන්න එපා.. නිකන් ඒක දිහා බලන් ගිහින් පෙට්ටි කඩෙන් කාලා, එනවා මෙතන අපිට පොර ටෝක් දෙන්න....


3. මල්ලි.. මම හෙට උදේම කුරුණෑගල යන්න ඕනෙ බන්

ආ.... ඒ මොකද?

අලුත් වාහනයක් බලන්න.. අලුත් මොඩ්ල් එකක් කියන්නෙ අම්මා...

ආ.. ඇත්තද? බ්‍රෑන්ඩ් එක මොකක්ද?

දන්නෙ නෑ බන්.. ප්‍රපෝසල් එකක්නෙ..

අම්මට සිරි..... කීවෙනි ඕනර්ද දන්නෙ නෑ නේද?

අනෙ යකො තොගෙ ......................

කාලෙකට පස්සෙ මෙහෙම එකෙක් සෙට් වෙලා චැට් එකක් දැම්මට පස්සෙ හිතට මාර සැහැල්ලුවක් එනවා... හිතේ තියෙන සියලු වගකීම් අත ඇරලා දාලා හිනාවෙන්න ඉදලා හිටලාවත් මුනුත් එක්ක සෙට් වෙන්න ඕන කියන එක මගේ හිතේ ඇදුනා...

ප.ලි. අනුරාධ අයියේ.. උඹ මේකට කමෙන්ට් දැම්මෙ නැති උනාට කමක් නෑ..

Wednesday, July 28, 2010

සොදුරු කලාකරුවා.... ප්‍රේමකීර්ති ද අල්විස්


මම දන්නෙ නෑ මේ කතා වලට හිනායයිද කියලා.... මේ මාසෙ 31 වෙද්දි මේ සොදුරු මාධ්‍යවේදියා, ගීත රචකයා, කලාකරුවා අපි අතරින් සමු අරන් අවුරුදු 21ක් වෙනවා.. එතුමාගෙ ගීතවලට ප්‍රිය නොකරපු චරිතයක් අද හොයා ගන්න පුළුවන්ද කියන එක නම් ගැටලුවක්... අති විශිෂ්ඨ ගීතයක් රචනා කරන්න එතුමට ගිහින් තියෙන්නෙ තත්පර කීපයක් විතරයි... මේ බ්ලොග් සටහන ලියන්න මාව පෙළඹෙව්වෙ තීනු සත්‍යාගෙ බ්ලොග් එකේ ප්‍රේමකීර්ති ගැන තිබ්බ පෝස්ට් එක.. කතාවට බහිමුකො ඉතින් වැල්වටාරම් නැතුව නේද?

ඉතින් කියන්න යන්නෙ එතුමා ගැන මම එහෙන් මෙහෙන් අහපු පොඩි කතා කිහිපයක්... මේ කතාවල නිරවද්‍යතාවය කොච්චර දුරට හරිද කියලා නොදන්නවා උනත් ප්‍රේමකීර්ති නම් ඒ අසහාය කලාකරුවාගේ හැකියාවන් ගැන හිතනකොට මේව ඇත්ත වෙන්න පුලුවන් කියලා තමයි හිතෙන්නෙ...

කතා අංක 01..

එක්තරා දවසක ප්‍රේමකීර්තිව මුන ගැහෙන්න ගෙදරට ගියේ වික්ටර් රත්නයකයන්... ඒ යද්දි ප්‍රේමකීර්ති කොහෙදෝ යන්න ලෑස්ති වෙලා හිටියෙ ටිකක් කලබලෙන්.. වික්ටර්.. පොඩි ගමනක් යන්න තියෙනවා.. වරෙන්කො යන්න කියලා ප්‍රේමකීර්ති වික්ටර්වත් ඇදගෙන ගමන පිටත් උනා.. වික්ටර් ආපු කාරනාව දැන් කැලේ... ප්‍රේමකීර්ති ගියේ අසනීප වෙලා රෝහල්ගත කරලා හිටපු එතුමගෙ අම්මව බලන්න... බලලා එන ගමන් තමයි ප්‍රේමකීර්තිට මතක් උනේ වික්ටර් එන්න ඇත්තෙ වුවමනාවකට වෙන්න ඇති කියලා..ඉතින් ප්‍රේමකීර්ති වික්ටර්ගෙන් ඇහුවලු මොකද වික්ටර් අහන්නත් බැරි උනානෙ ඇයි ආවේ කියලා... වික්ටර් කිව්වලු සින්දුවක් ලියාගන්නත් එක්කයි අවෙ අයියා කියලා.... ආ කියපු ප්‍රේමකීර්ති බස් එකේ යන්න දෙන්නට ගත්ත ටිකට් එකේ මෙන්න මේ සින්දුව ලියලා බස් එකෙන් බහින්න කලින් වික්ටර් අතට දුන්නලු.....

ආදරයේ උල්පත වූ අම්මා... මා ඔබගේ පුතනූ.......


කතා අංක 2

ත්‍රීකුණාමලයෙ නිලාවේලි මුහුදු වෙරලෙ ප්‍රේමකීර්ති ඇතුළු කට්ටිය පොඩි සාදයකට සෙට් වුනා... වෙලා යනකොට කට්ටියගෙ පදමත් වැඩි නොවුනා නෙමෙයි... පුංචි ශාරීරික අවශ්‍යතාවයකට පැත්තකට ගිය ප්‍රේමකීර්ති දැක්කෙ ඈත අහසෙ හුදකලා වෙච්ච තරුවක්... තරුව දිහා බලපු ප්‍රේමකීර්ති, වික්ටර් කොලයක් අරන් වරෙන් කියලා කෑ ගැහුවා.... අත පිහින්න තිබ්බ කොලයක් අරන් එතනට ගිය වික්ටර්ට ලියාගනින් කියලා ප්‍රේමකීර්ති මේ සින්දුව කියෙව්වාලු...

තනි තරුවේ......... තනි තරුවේ....


කතා අංක 3

මේ පාර ප්‍රේමකීර්තිත් එක්ක සෙට් උනේ මිල්ටන් මල්ලවාරච්චි... ගෙදර සෙට් වෙන තැනට එන්න පුංචි ගෑනු ලමයෙක් පොරකනවා දොර ගාව.. පොඩි ලෑල්ලක් නිසා එන්න බැරි පොඩිත්ති දොර අසලින්ම එහෙට මෙහෙට යනවා.. අමාරුවෙන් ඇවිදින පොඩි එකී දිහා බලන් හිටපු ප්‍රේමකීර්ති පොඩි කොල කෑල්ලක් අරගෙන ඒකෙ මෙන්න මෙහෙම ලිව්වා

හෙමින් සැරේ පා තබනා දුවේ හර්ශනී...


තවත් මේ වගේ කතා ගොඩයි... ප්‍රේමකීර්තිට වෙඩි තිබ්බෙ කවුද කියන එක ගැන ප්‍රශ්නයක් නෑනෙ... එත් මට එක ප්‍රශ්නයක් තියෙනවා...

මෙහෙව් සොදුරු මිනිසෙකුගෙ හදවතක් පසාරු වෙන්න උන්ඩයක් යැව්වෙ ඇයි?
මේ ප්‍රශ්නෙට උත්තරේ වෙඩි තියපු මිනිහවත් වෙඩි තියන්න කියපු පාර්ශවයවත් දන්නෙ නෑ කියලා මට හිතෙනවා....






Monday, July 26, 2010

කුමුදු පින්තු සහෘදයා වෙනුවෙන් බිදක්.........


මම බ්ලොග් කලාවට ලගදි ආවත් තම තම නැණ පමනින් බ්ලොගයේත් හොද රසිකයෙක්.. කොච්චර කාර්ය බහුල උනත් එතුමා වෙනුවෙනුත් පෝස්ට් එකක් දැම්මෙ නැත්නම් මම ගුණමකුවෙක් කියලා මගෙ හිත කියාවි... අන්තිමට කියෙව්වෙත් එතුමාගෙ මිනී මල් හා මරනයට ඇති බිය කියන පෝස්ට් එක......

දයාබර කුමුදු පින්තු ගුරුතුමණනි........ ඔබතුමා වෙනුවෙන් මට මතක් වෙන්නෙ හා පැටික්කි මගෙ පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකක්....

මිනිසෙක් මිය ගියානම් කිසි දුකක් නැත....
දෙවියන් වන් මිනිසෙක් මළ නිසයි දුක.........


කුමුදු පින්තු සහෘදයාණනි...... ඔබට නිවන් සුව..............

Saturday, July 24, 2010

ජනකගෙ කෙටි කථා........

ජනකගෙ කතා කීපයක් ලියපු නිසා උගෙ පොඩි කෙටි කතා කීපයක් ලියලා උගේ කතා සීරීස් එක ලියලා ඉවර කරන්න හිතුනා.... තව දෙයක් කියන්න ඕන... ආගිය කතා ලියන හසිත මල්ලිගෙන් අහගෙන අමාරුවෙන් වෙබ් කවුන්ටර් එකක් දා ගත්තනෙ... ඊයෙ තමයි දාගත්තෙ.. එක දවසට 60ක්ම ඇවිත් හිනාවෙලා ගිහින්... ඒ නිසා ලියන එකට ආවනෙ හොද උත්ප්‍රේරකයක්... දැන් ඉතින් ලියනවා හිටු කියලා :) ඔන්න පැන්නනෙ ට්‍රැක් එක.. ඔන්න ආයෙත් කතාව......

මේ කතා හතර එකකට එකක් සම්බන්ධයිද මංදා... හරියට අර අලියා ශීතකරනයට යන සීරීස් එක වගේ.....

අංක 1 කතාව...

ජනාගෙ අප්පච්චි නැති උනේ අපිට වයස 22ක් විතර කාලෙදි.... ඒ කාලෙදි ඉතින් යාලුවෙක්ගෙ තාත්තගෙ මල ගෙදර යන එක කොච්චර ආතල්ද කියලා..... දුක ශෝකය ඇත්තෙම නෑනෙ... ගේ ලං වෙද්දි ශෝක මූඩ් එකක් මවාගන්නවා. එතුලට ගිහින් එද්දි ඉවරයි මූඩ් එක.... ජනාගෙ අප්පච්චිගෙ මල ගෙදරදිත් ඒකෙ වැඩි වෙනසක් උනේ නෑ.. දැන් අපේ කොල්ලො ටික මල ගෙදර ගිහින් එලියට ඇවිත් එහෙනම් මචන් අපි රෑ වෙලා එන්නම් කියලා ජනාටත් කියලා එලියට බැස්සා... ඊට හැතැප්ම දෙකක් විතර තිබ්බ ගෙදරකට ආපු අපි දැන් ඉන්නවා ටිකක් රෑ වෙනකන් මළ ගෙදර ගිහින් අරූට සප් එකක් දෙන්න හිතාගෙන... ඒ අතරෙ පොඩි වීදුරු බෝතල් වගයකුත් හිස් උනා.... එක දෙක වෙල දෙක තුන වෙලා හය හත දක්වා ඉහල යන වැඩි වෙලාවක් ගියෙ නෑ.. ඒ අතරෙ රාජා පටන් ගත්තා ලාවට සින්දුවක්... සින්දුව පටන් ගද්දි ජනකයත් එතනටම පාත් උනා හෙණ ගැහුවා වගේ... ඌ මෙහෙම කිව්වා අපිට...

"මචන්, උබල ෆන් එක ඉවර වෙලා වරෙල්ලා....... පොඩි වැඩ වගයක් කර ගන්නත් තියෙනවා"

එහෙම කියලා ඌ ගියා.... ජනා එහෙමයි.. ඕන දෙයක් හරිම සරලව තමයි ඌ ගන්නෙ... ජයට ගිය සාජ්ජෙ ඉවර උනේ කට්ටිය පියවි සිහියට ඇවිත් ජනකයගෙ අප්පච්චි නැති උනා කියලා ආයෙත් මතක් උනාමයි... කට්ටිය වැඩේ ඉවර කරලා මල ගෙදරටත් සිරා සපෝට් එකක් දීල උදෙම ගෙවල් වලට ගියා.... පළවෙනි කතාව ඉවරයි ඔන්න...

ඔන්න අංක 2 කතාව

ඔයාලා දන්නවනෙ.. අපි සමහර අයට කතා කරද්දි මුලට "ඒ" කියලා දානවා සමහර වෙලාවට.... උදාහරනයක් ගත්තොත් .. ඒ මචන් අහපන්කො වගේ..
දවසක් අපේ එකෙක් ජනාට මෙහෙම කතා කරනවා... ජනාගෙ වාසගම හේරත් නිසා ඌට ගොඩක් දෙනෙක් හේරත් කියලත් කතා කලා..........

යාළුව : ඒ හේරත්... පොඩ්ඩක් වරෙන්කො

ජනාගෙ උත්තරය :

මචන්.. ඒ හේරත් මළා.. දැන් ඉන්නෙ එස්. ජේ. බී. හේරත්.

මොකද දන්නවද සීන් එක.. ජනාගෙ අප්පච්චිගෙ නම අවුසදහාමි හේරත්....

දෙවෙනි කතාවත් ඉවරයි.. දැන් තුන්වෙනි කතාව.. මීට අවුරුදු දෙකකට කලින් රාජාගෙ තාත්තත් නැති උනා.. අපේ සෙට් එක පුරුදු විදිහටම හවස මළ ගෙදරට ගියා.. කාලාන්තරේකට පස්සෙ කට්ටියම සෙට් උන නිසා පුංචි අඩියක් නොගහම බැහැනෙ කට්ටියටම.. ඔන්න කෞරුත් නැති වාසදවනයක් වෙච්ච හර්ශගෙ ගෙදරට ඔක්කොම රින්ග ගත්තා.. එදත් වෙනදා වගේම ඉතින් බෝතල් හතක් අටක් ඉවර උනා.. එදා සින්දුව පටන් ගත්තෙ ජනකයා..... සින්දුව පටන් ගද්දි අපි අතරෙ ඉන්න හිත හොදම කොල්ලෙක් වෙන ඒ.බී. ජනකයගෙන් මෙහෙම ඇහුවා... ඒ මචන්, රාජාගෙ තාත්තා නැතිවුන වෙලේ අපි සිංදු කියන එක හරි නෑ නේද? මේක අහපු ජනකයා මල පැනල මෙහෙම උත්තරයක් දුන්න

මොකද යකෝ හරි නැත්තෙ... අපේ අප්පච්චි නැති වෙච්ච වෙලේ ඕක තමයි ඉස්සෙල්ලම සින්දු කිව්වෙ

කට්ටිය තමන්ගෙ පාඩුවේ කටවල් වහගෙන සාජ්ජෙට සෙට් උනා.....

ඔන්න හතරවෙනි කතාව...

ජනා කලාකාරයා කියලා මම කියලා තියෙනවනේ.. තාත්තගෙ මල ගෙදර වෙලාවෙ රාජා මූට කිව්වා.. මචන් ජනා මට පොඩි තොරනක් ගහලා දියන් "පියාණනි, ඔබට නිවන් සුව" කියලා... ජනත් හා කියලා අපිවත් සෙට් කරගෙන තොරණ ගහන්න පටන් ගත්ත... ඒ වෙද්දිත් කටිය මද පවනෙ තමයි හිටියෙ... මහ රෑ ඉතින් වැඩේ යනවා.... ඔය අතරෙ තමයි අපේ උන්ට ප්‍රශ්ණයක් ආවෙ පියාණනි කියන්න එන්නෙ මොන "න" යන්නද කියලා.. මේ රෑ කගෙන් කියලා අහන්නද? දැන් එක එකා එක එක දේවල් කියනවා... සමහරු දන්න උන්ට කෝල් කරල මහ රෑ හද පද අහගත්තා... ජනකයාට ඒ අතරෙ අවා මරුම අදහසක්.. ලග හිටපු එකෙකුට ජනකයා මෙහෙම කිව්වා..

මචන්, ගිහින් රාජගෙ තාත්තගෙන් අහගෙන් වරෙන් මොන "න" යන්නද එන්නෙ කියලා.. පොරනෙ මැරුනෙ.. අනිවාර්යයෙන්
දන්නව ඇති....

හිටියෙ මළ ගෙදරක කියලා අමතක වෙන්න අපේ උන්ට තත්පරෙන් දශමෙන් පංගුවක්වත් ගියේ නෑ.....

Friday, July 23, 2010

ජනකගෙ කතා අංක 2


වෙසක් කූඩුවෙ කතාව ලිව්වට පස්සෙ ජනකගෙ කතාවක් ලියන්න බැරි උනා... අපි College එකෙන් අවුට් වෙන කාලෙ තමයි ඔය ඉස්කෝලෙ තිබ්බ එක එක events වලට ටී ෂර්ට් ගහන ට්‍රෙන්ඩ් එක ආවෙ... ඉතින් ඒ කාලෙ අපේ බාලදක්ෂ සමූහයටත් ටී එකක් ගහන්න අපිටත් පොඩි කැහිල්ලක් ආවා.... කැහිල්ල කොච්චරද කියන්නෙ එදා ඉදන් අවුරුදු 10ක් විතර යනකන් තවම අපි පොඩි උන් ගහන ටී ෂර්ට් ගන්නවා....

පිට පැන්නා නේද? දැන් කතාව... මම කලිනුත් කියල තියෙනවනෙ... ජනක කියන්නෙ කලා කරුවෙක් වගේම සිරාම වැඩ කරුවෙක්... දැන් පොරට බාරයි අපේ ටී ශර්ට් එක ඩිසයින් කරන එක.. මිනිහා සිරාවට
ඩිසයින් කලා. අපිත් කැමති උනා... කොලිටි එක අඩුවෙයි කියලා කුරුණෑගලින් ගහන්නෙ නැතුව කොළඹින් ගහමු කියලත් යෝජනා සම්මත උනා..... ජනකගෙ හොදම යාලුවෙක් තමයි රාජා.. දැන් ජනක කොළඹ යන්න හදන්නෙ මූත් එක්ක... ඒ කාලෙ කොළඹ එනවා කියන්නෙ දැන් පිටරට යනවා වගේනෙ.... ටී ෂර්ට් මහන තැන ලිපිනය අන්තිමට ඉවර උනෙත් කොළඹ 5 කියලා... මොනවා තිබ්බත් ඉස්සෙල්ලම පිටකොටුව බෝ ගහ ලගට ඇවිත් තමයි යන තැනක යන්නෙ... මොකද එතන විතරනෙ හරියටම දන්නෙ... ආ තව ගුණසිංහපුර බස් නැවතුම්පලත් දැනගෙන හිටියා.... ඒ නිසා මොන එඩ්‍රස් එකකවත් කොළඹ කීය කියලා තිබ්බත් ඉස්සෙල්ලම එන්නෙ පිට කොටුවෙ බෝ ගහ යටට....

දැන් මුන් දෙන්නා අපිටත් ලොකු ටෝක් දීලා college එකෙන් එලියට ආවා කොළඹ යන්න... මෙන්න එලියට එනකොටම එනවා "කොළඹ 05" කියලා ගහපු බස් එකක්.... ජනකයා දැක්කා මේක.. අත දැම්මා... බස් එක නැවැත්තුවා.. මූ රාජාත් ඇදගෙනම නැග්ගා බස් එකට.... රාජා අන්දුන් කුන්දුන්... නැග්ගට පස්සෙ මූ ඇහුවලු ජනාගෙන් (ජනකට කියන හුරතල් නම් වලින් එකක්) මොකෝ බන් මේකෙ යන්නෙ කියලා... ජනා කිව්වලු මේක කෙලින්ම කොළඹ 5ට යනවා.. අපිට අර ප්ලේස් එක ලගින්ම බහින්න පුළුවන් කියලා.. රාජත් දන්නව කියලයැ.. ඌත් ගොනා සේ ගිහින්..... කලින්ම කියන්න බැරිවුන දෙයක් තියෙනවා.. ඔයාලා සමහර විට දන්නවාත් ඇති කුරුණෑගල ඉදන් කොළඹ එන්න බස් දෙකක් තියෙනවා.. එකක් 5 පාර ගිරිඋල්ල හරහා.. අනික 6 පාර වරකාපොල හරහා.... 6 පාරෙ ආවොත් ඉක්මනට එන්න පුළුවන්.. 5 පාරෙ ආවොත් ටිකක් වෙලා යනවා... (ටිකක් කිව්වට වැඩිපුර පැයක් විතර යනවා... කුරුණෑගලින් කොළඹ එන්න වැඩිපුරම 5 බස් එකක නගින්නෙ couples, මොකද ගොඩාක් වෙලා එනවනෙ)

අන්තිමට කොහොමහරි බස් එක ඇවිත් පිටකොටුවෙන්ම නැවැත්තුවා.... නැවැත්තුවෙත් 6 පාරෙ බස් නවත්තන තැනමයි... දැන් මුන් දෙන්නට හරි ප්‍රශ්නෙ... බෝඩ් බල බල ආපු නිසා පහු උනේ නෑ කියලත් ෂුවර්.. බැරිම තැන කොන්දොස්තර මහත්තයාගෙන් රාජා අහුවලු මෙහෙම... "අයියෙ කොළඹ 5ට යන්නෙ කොහොමද" පොර කිව්ව මෙහෙම.. "මල්ලි බෝ ගහ ලගට ගිහින් 103 නාරාහේන්පිට බස් එකේ නගින්න මල්ලි" දැන් දෙන්න බස් එකෙන් බැහැලා පයින් එනකොට බෝ ගහ ලගට, රාජා ජනකයගෙන් අහුවලු කෝ බන් උඹේ කොළඹ 5 කියලා... මූ කිව්වලු අඩෝ බෝර්ඩ් එකේ තිබ්බ නිසා මම හිතුවෙ මේක යන්නෙ කොළඹ 5ට කියලා.... දැන් මූ රාජට කියනවලු අනේ මචන් ගිහින් අරුන්ටනම් කියන්න එපා කියලා...

දෙයියනේ කියලා කියපු විදිහටම පොරොන්දු වෙලා college එකට ආපු ගමන් රාජා සීන් එකම කියලා දැම්මා.... කොළඹ ගිහින් වැඩෙත් කරගෙන ආපු කොල්ලා රජ සීන් එකෙන් බලු සීන් එකට වැටුනා එක පාරටම.... අපේ උන් බයිට් එක දෙනවා පිස්සු හැදෙන්න.. ඌ සුපුරුදු විදිහටම උට නෙමෙයි වගේ හිටියා හිනා වෙවී...

ට මල පනිනම සීන් එක උනේ පස්සෙ. කොළඹ යන්න ඕන වෙන සීන් උනහම කොල්ලො ඇවිත් "මචන් පොඩ්ඩක් කොළඹට ගිහින් එනවද? උ වගේ අපි දන්නෙ නෑනෙ කොළඹ පාරවල්" කියලා උගෙන් අහන එක.. කුනු හරපයක් නොවුනත් සුන්දර වදනක් ජනාගෙ මුවින් පිට වෙනවා එතකොට..

Thursday, July 22, 2010

තවත් කොර වෙලා යන ප්‍රශ්නයක්.....

මට මෙන්න මේ කතාව මතක් උනේ මයියගේ කොරවෙලා යන ප්‍රශ්නෙ කියන පෝස්ට් එක දැක්කට පස්සෙ.... දැන් ඉන්න පුංචි උන් අපි පොඩි කාලෙ වගේ නෙමෙයි හරිම ක්‍රියේටිව් විදිහට තමයි නෙ හිතන්නෙ.... අපිනම් ඉස්සර අම්ම අප්පච්චි එහෙම නැත්නම් ගුරුවර ගුරුවරියො කියලා දෙන දෙයක් අහගෙන ඒ විදිහටම පිලි අරගෙන විභාගෙටත් ඒවම ලියලා එතනින් අමතක කරලා දාලනෙ එන්නෙ..... ඒ උනාට දැන් පොඩි උන් ඉස්කෝලෙන් ඉගෙන ගෙන ගෙදර ඇවිත් නෙට් එකෙන් බලනවනෙ ඉස්කෝලෙ උගන්නපුව හරිද කියලා.. මේකත් ඒ වගෙ පොඩ්ඩෙක්ගෙ කතාවක් තමයි

අපේ පුංචි කෙනෙක්ගෙ පුංචි පුතෙක් තමයි මේකෙ කතා නායකයා.... හරිම හුරතල් නියම කොලු පොඩ්ඩෙක්... ඉස්කෝලෙ 2 වසරෙ විතර වෙද්දි තමයි මේ සීන් එක වෙලා තියෙන්නෙ.... ඔන්න ඉස්කෝලෙ ගිහින් ආපු මේ පොඩ්ඩට අපේ පුංචි උගන්නනවා බුද්ධාගම... බෝසත් උපත තමයි දැන් උගන්නන්නෙ...

දැන් ඉතින් "ඇත් පැටියා නෙළුම් මල් හොඩෙන් අරන් මහාමායා දෙවිගෙ කුස තුලට රිංගලා දස මසක් ගෙවෙන්නට ආසන්නව තියෙද්දි මව්පියන්ගෙ ගෙදර යන්න හිතිලා ඔහොම යනකොට" කියන තැනට එනකන් කිසිම ගැටළුවක් නැතුව පොඩ්ඩට තෙරෙන භාශාවෙන් අපේ පුන්චි කියලා දුන්නා... රස කතාවක් නිසා පොඩ්ඩගෙන් කරදරේකුත් නෑ අහගෙන ඉන්නවා හරිම උනන්දුවෙන්....

ඊට පස්සෙ කොටස පුංචි පටන් ගන්නවා මෙහෙම... "ඉතින් පුතේ මෙහෙම යනකොට මහාමායා දේවීන් වහන්සෙට මහන්සියි කියලා ඒ මග තිබ්බ සල් උයනකට ගොඩ උනා විවේක ගන්න.... එතකොට අර සේවකයො දෝලාව එහෙම බිමින් තියලා මහාමායා දේවීන් වහන්සෙට විවේක ගන්න අවශ්‍ය පහසුකම් සලසලා දුන්නා.. ඉතින් පුතේ දේවීන් වහන්ස මෙහෙම ඉන්නකොට එතුමියට දරුවා ලැබෙන්න යනවා වගේ කියලා දැනුනා... ඉතින් දේවීන් වහන්සෙ එතුමියගෙ සේවිකාවන්ට ඒ බව කිව්වා.. සේවිකාවොත් ඉතින් වටේ පිටේ ඒ වෙනුවෙන් ලෑස්ති කරලා දේවියට දරුවා ලැබෙන්න අවශ්‍ය පහසුකම් සැලැස්සුවා.." කියල පුංචි කතාවෙ තව කොටසක් ඉවර කලා.... පොඩ්ඩත් හැපි මූඩ් එකේ අහගෙන ඉන්නව.. ලස්සන කතාවක්නෙ ඉතින්....

ඊලග කොටස පුංචි මෙහෙම පටන් ගත්තා... "ඔන්න පුතේ අපේ සිදුහත් කුමාරයා මෙලොවට බිහිවුනා... ඉපදුනු ගමන්ම සිදුහත් කුමාරයා පිපුනු
නෙළුම් මල් හතක් උඩින් සක්මන් කරලා..." කියන කොටම පොඩ්ඩගෙ මූනෙ මතු උනා පොඩි ප්‍රශ්නාර්ථයක්... ඒක පුංචිත් දැක්ක නිසා ඇහුවා "ඇයි පුතේ?" ඔන්න පොඩි එකා පුංචිගෙන් ඇහුවා මෙහෙම.....

"කොහොමද මමී සල් උයනෙ නෙළුම් මල් පිපෙන්නෙ?"

දැන් දීපල්ලකො උත්තර.....

ප.ලි. පින්තූර දාන්න විදිහක් නෑ... ඒ නිසා සමාවෙන්න ඕන ඔක්කොම ලමයි...

Tuesday, July 20, 2010

ඔන්න තවත් බාලදක්ෂ කතාවක්.....


ගොඩාක් පිරිමි ළමයින්ගෙ නින්ද ගැන, එයාලගෙ අම්මලගෙන් වගේම බිරින්දෑවරුන්ගෙනුත් ගොඩාක් අහන්න වෙන්නෙ නෝක්කඩු... මොකද එච්චරටම සැරයි..... නින්ද ගියහම මෙලෝ දෙයක් දන්නෙ නෑ... සමහර ගෑණු ළමයිනුත් ඉතින් අනේ දෙයියනේ කියලා නින්දෙන් අඩුවක් නම් වෙන්නෙම දෙන්නෙ නෑ තමන්ගෙ ශරීර සෞඛ්‍යයට.... හොරණෑ කෝටියක් කන ඇතුලට දාලා පිම්බත් ඉතින් හ්ම්ම්... කියන්නෙවත් නැති කට්ටිය ඉන්නව ඕන තරම් අපි දන්න..... කෑම්ප් ගියහම ඉතින් වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ඉතින්.. දවසම එක එක වැඩවල යෙදිලා හිටපු නිසා ඇගේ අමාරුවටත් එක්ක කණ පැලෙන්න නින්ද යනවා..... ඒ මදිවට සීනියර්ස්ලා නිදා ගන්න දෙන්නෙත් පරක්කු වෙලා.. එයාලා නිදි වෙලාවට ඇහරවන්නත් තහනම්.... මේ කතා දෙකම පදනම් වෙන්නෙ ඔන්න ඔය සුප්‍රසිද්ධ න්‍යායන් දෙක මත තමයි.........

පළවෙනි කතාව පදනම් වෙන්නෙ අර කණ පැලෙන්න නින්ද යන න්‍යායට අදාලව....වටේ වැඩක් නෑ... කෙලින්ම කතාවට බහිමු....

සදලංකාව මධ්‍ය මහා විද්‍යාලය සංවිධාන කරපු පොඩි පහේ බාලදක්ෂ කදවුරක තමයි මේක උනේ..... දවස අවසන් වෙලා පොඩ්ඩො ඔක්කොම නිදා ගත්තා.... එතන අංජන කියලා මල්ලි කෙනෙකුත් හිටියා.... මිනිහත් ටෙන්ට් එකක් ඇතුලට ගිහින් නිදා ගත්තා.. පොර අර මම කිව්ව ජාතියේ කොල්ලෙක්.. කන ලග තියලා හොරණෑ 100ක් ගැහුවත් මිනිහා නෙවෙයි නැගිටින්නෙ....

ඉතින් මේ කියන දවසෙ අපි ඔක්කොම පිට්ටනියෙ කූඩාරම් ගහගෙන මහ රෑ නිදාගෙන ඉන්නවා... එක පාරටම මහ වැස්සක් කඩාගෙන වැටුනා.... අපි සීනියර්ස්ල විදිහට පුළුවන් තරම් ඉක්මනට පංති කාමරයක් ලෑස්ති කරලා පොඩ්ඩො ටික ඒකට යැව්වා.. අන්තිමේට ගැනලා බලද්දි එකෙක් අඩුයි.... පොඩ්ඩක් හෝදිසි කරලා බලනකොට අංජන එතන නෑ.. එහෙම කියලා අත අරින්නත් බෑනෙ... ආයෙත් කුඩ ඉහලගෙන ගියා මිනිහා හොයන්න..

කොහොමහරි ඒ මල්ලිව හම්බ උනේ මෙච්චර සන්තෑසියක් වෙලා තියෙද්දිත් අර වතුරෙ කූඩාරමක් ඇතුලට වෙලා නිදාගෙන ඉන්නකොට..... දෙයියනේ කියලා කන ලගට වතුර.. මුට ගානක්වත් නැතුව නිදි... දැන් මෙන්න අපේ එකාගෙයි අංජනගෙයි දෙබස........

සීනියර් : මල්ලි නැගිටපන්.. අර පන්ති කාමරේට ගිහින් නිදා ගනින් බන්

අංජන : ම්... ම්.... ඇ..... ඈ.........

සීනියර් : ඒ නැගිටපන් බන්.. ගිහින් ඇතුලෙන් නිදාගනින්

අංජන : ආ යන්.. යන්........ ම්...... ම්..... අ........ඈ....... හා...

සීනියර් : මොකක්ද බන් නැගිටපන්කො කන පලාගන්නෙ නැතුව (මේකනම් ටිකක් සැරෙන් කිව්වෙ ඔන්න)

අංජන දඩි බිඩි ගාල නැගිට්ටා... තේරුනා ඇග පුරාම වතුර කියලා..... මූට එක පාරටම මීටර් උනේ නෑ මොකද වෙලා තියෙන්නෙ කියලා... අංජන මල පැනලා වගේ අපේ එකාට මෙහෙම කිව්වා........

මොකක්ද අය්යෙ බලු වැඩ කරන්නෙ.... ඇයි මේ මහ රෑ අපිට වතුර ගහන්නෙ.......

හිතාගන්න පුළුවන්නෙ ඊට පස්සෙ වෙන්න ඇති දේ.........

කතා අංක දෙක පදනම් වෙන්නෙ දෙවෙනි තියරිය මත.. ඒ කියන්නෙ සීනියර්ස්ලා නින්දෙන් ඇහැරවීම අත්‍යාවශ්‍ය කරුණකදී හැර නොකල යුතුයි කියන න්‍යාය...

මේ කතාව සිද්ද උනේ බලපිටියෙ තිබ්බ ජාතික ජම්බෝරියේදි.. අපි එකට සහභාගි උනෙත් ආදී බාලදක්ෂයන් විදිහට.... අන්තිම දවසට කලින් දවසෙ අපි ගියා බාලදක්ෂ වලින්ම හිතවත් උනු උපුල්ගෙ ගෙදර...තිබ්බෙ ගාල්ලෙ.. ආපහු බලපිටියට එද්දි ටිකක් රෑ වුනත් අපි දෙන්න ඉක්මනට නිදාගත්තෙ හෙට උදේම කුරුණෑගල බලා පිටත් වෙන්න තියෙනව කියලයි.. රැය පහන් උනාආ අපූරුවට...

එක පාරටම ටෙන්ට් එක එතුලෙ හිටපු මට දරාගන්න අමාරු සීතලක් ආවා.. ඒ එක්කම ඇස් දෙක අරිද්දි අහසෙ තරු පෙනවා.... මම කල්පනා කලේ ටෙන්ට් එකක් ඇතුලෙ නිදා ගත්ත මට කොහොමද අහසෙ තරු පේන්නෙ කියලා... තව ටිකක් බලපුවාම දමින්දත් ලගම නිදි... එකම අවුලකට තිබ්බෙ නිදාගෙන හිටපු ටෙන්ට් එක ගලවගෙන ගිහින්.... මලේ උපරිමේටම පැනපු මම නැගිටලා වට පිට බලද්දි අපි දෙන්න නිදාගෙන හිටපු ග්‍රවුන්ඩ් ශීට් එක ඇර අනිත් ඔක්කොම ආපහු ගෙන යන්න පැක් කරලා.. මම දමියට ඇනලා ඌවත් ඇහැරවලා ගත්තා.. අපි දෙන්න පොඩ්ඩක් පැත්තකට උනා විතරයි පොඩි උන් දෙන්නෙක් ඇවිත් ඒකත් නමාගෙන ගිහින් පැක් කරගත්තා.. පොඩ්ඩෙකුට කතා කරලා දමිය
කිව්වා.. "ඉතිං කතා කරන්න තිබ්බනෙ බන් එහෙනම් අපි නැගිටිනවනෙ" කියලා... පොඩ්ඩ දුන්න උත්තරයක්

අයියලව නැගිට්ටවලා වැඩ කරන අස්සෙ බැනුම් අහන්නෙ මොකටද කියලා හිතුනා...

අපිත් පාඩුවෙ යන්න සෙට් උනා මොකුත් නොවිච්ච ගානට..


Saturday, July 17, 2010

වැවක් මැද තියෙන දූපතක රැයක් නවතින්න කැමතිද?


මෙන්න තවත් මාකටින් පාරක්... ලංකා ටුවර් ඕර්ගනයිසර්ස්ලත් එක්ක එකතු වෙන ඔයාලට තවත් සුන්දර අත්දැකීමක් උරුම කරලා දෙන්න තමයි අපි මේ හදන්නෙ.... ලංකාවෙ තියෙන විශාලම වැවක් මැද්දෙ තියෙන අක්කර තුනක් විශාල දූපතක රැයක් ගත කරන්න ඔයාලා කවදාවත් අකමැති වෙන එකක් නෑ.... ඒ අතරෙ අපි දෙන විවිධ පහසුකම් ගැනත් ඔයාලට මේ ලිපියෙන් කියවන්න පුලුවන් වේවි......

පළවෙනියටම ඔයාලා තීරණය කරන්න ඕන ඔයාලා දවස් කීයක් අපිත් එක්ක ගත කරනවද කියන එක... ඒ අනුව tour එක සැළසුම් කරගන්න ඔයාලට පුලුවන්... තඹුත්තේගමින් හැරිලා රාජාංගනේට යන්න කොළඹ ඉදන් යන කෙනෙකුට පැය 4ක් 5ක් විතර යනවා....අපි මේ කියන Island එක තියෙන්නෙ ලංකාවෙ සුපතල රාජාංගනය වැව මැද... උදේ ගෙදරින් යන කට්ටියට දවල්ට කාලා එහෙම හවස 2 විතර වෙද්දි රාජාංගනේට ලගා වෙන්න පුලුවන්... එතන ඉදන් ඔයාලට යන්න වෙන්නෙ බෝට්ටු දෙකක් එකතු කරලා හදපු පාරුවක් වගේ එකක... කිලෝමීටර් 2ක් විතර යන ඒ ගමන බයෙන් පිරිච්ච සුන්දර ගමනක්..... ඔයාලගෙ ආරක්ෂාවට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අපි ඒ ගමන තුලදි සලසනවා... ඒ නිසා බය වෙන්නනම් කිසිම කාරනාවක් නෑ....

කූඩාරම් ඇතුලෙ බූරු ඇදන් තුල තමයි ඔයාලට ඉන්න වෙන්නෙ.. එක පාර විසි දෙනෙකුට නවතින්න පුලුවන්... තවත් අය ඉන්නවනම් එලිමහනෙ පැදුරු දාලා නිදාගන්න පුලුවන්... ඒකට අවශ්‍ය ගිණිමැළ සහ ආරක්ෂාවට අවශ්‍ය පුද්ගලයිනුත් අපි විසින් ඔයාලට සපයනවා....නවාතැන් ඔය ආකාරයට තමයි වෙන්නෙ... ගෑනු ළමයින්ට සහ පිරිමි ළමයින්ට වෙන වෙනම උනත් කූඩාරම් සපයන්න අපි සූදානම්...

ඊලග ප්‍රශ්ණය ඔයාලට එන්නෙ කෑම සම්බන්ධයෙන්නෙ.. මෙන්න ඒ ගැන විස්තර.... කෑම වේල් 3ක් ඔයාලට අපි විසින් දෙනවා.. ඒව සම්පූර්ණයෙන්ම ගමේ කෑම.. ඔයාලගෙ ඇස් ඉස්සරහම තමයි ඒ සියල්ල වෙන්නෙ.... රෑට උදේට සහ දවල්ට අපි දූපතේම කෑම හදන්න අපි තීරණය කරලා තියෙනවා.. මේ සම්භන්ධ වැඩි විස්තර අපිට කතා කරලා ලබා ගන්නත් පුලුවන්.... ඊට අමතරව සිසිල් පැන්, තේ වගේ ඒවත් වෙලාවට ඔයාලට ලැබේවි....

කුරුල්ලො බලන්න, දූපතේ අවිදින්න, වැවේ නාන්න වගේම මාලු බාන්න වගේ ක්‍රියාකාරකම් වල යෙදෙන්නත් අවස්ථාව ඔයාලට ලැබෙනවා.. හවසට ඉර බැහැලා යන ආකාරය වගේම උදේට ඉර නගින එකත් අපූරුවට ඔයාලට නරඹන්න පුලුවන් මේ දූපතේ ඉදලා.... අමතර පහසුකම් ලෙස ඔයාලට සලසන්න අපි තීරණය කරලා තියෙන්නෙ B.B.Q. සහ කැලිප්සෝ සංගීතයයි... මේ පහසුකම් සදහා ඔයාලට අමතර ගෙවීමක් කරන්න සිදුවේවි....

ඊලගට තමයි වැදගත්ම දේ.. මේ සදහා කීයක් වැය වෙනවද කියන ප්‍රශ්නෙ තමයි ඔයාලට දැන් තියෙන්නෙ කියලා මම දන්නවා.... මේ සදහා එක්කෙනෙකුට රුපියල් දෙදාස් හත්සිය පනහක් තමයි අපි තීරණය කරලා තියෙන්නෙ.... මේකෙ සදහන් නොකරපු කාරණා ගැනත් අපි හිතලා තමයි තියෙන්නෙ.. ඒ නිසා ඔයාලගෙ ..... එකෙ උපරිම විනෝදය ගන්න අපිට කතා කරන්න....

මේ අත්දැකීම විදගන්නට 0714449162 කියන දුරකතනයට කතා කලොත් අපිට කතා කරන්න ඔයාලට පුලුවන් වේවි..........

ප.ලි. වැවේ ගමන් කරන්න අමාරු සහ බය අයට අපි ඒ ලග, පහසුකම් සහිත තැනක් සූදානම් කරලා තියෙනව.... ඒ වගේ කට්ටියට අපි පෙර කිවූ පහසුකම් සියල්ලමත් ඒ විදිහටම එතනදි දෙන්න සුදානම් කරලා තියෙනවා...

Friday, July 9, 2010

අපේ කොම්පැණියේ සහන අංක 1... (කිතුල්ගල Day Out )


හැමදාම අනුන්ට ආතල් දීලා බැරි නිසා පොඩි මාකටින් පාරකුත් පටන් ගත්තා ඕන්න,,, මෙ වෙද්දිත් ඔයාලා දන්නවනේ පහල තියෙන පොස්ට් වලින් මම මගේ පුංචි කොම්පැණිය ගැන ඔයාලා දැනුවත් කලා.... දැන් කරන්න යන්නෙ අපේ කොම්පැණියෙන් දෙන සේවාවන් ගැන ඔයාලව ටිකක් දැනුවත් කරන්නයි. ඉස්සෙල්ලා මේවත් කියෙවොත් තමයි හොද...

තනි දවසෙ ට්‍රිප් එකක් යන්නෙ කොහොමද?
ඇයි මම Tourism කරන්නෙ

දැන් කියන්න යන්නෙ අපි දෙන සිරාම පැකේජ් එකක් ගැන... කිතුල්ගල ගිහින් දවසෙන් එන්න.. මේක අපි කරන්නෙ ප්‍රවර්ධන කටයුත්තක් (Promotion Package) විදිහට.... අපි බලමු යන්නෙ කොහෙද කියලා

කොළඹින් පටන් ගන්න tour එක නවත්වන්නෙ නැතුවම කිතුල්ගලට යන්නෙ කාලය ඉතුරු කරගන්න අරමුනින්.. උදෙට කාලා පිටත් වෙන්නත් පුලුවන්.. මගදි කන්නත් පුලුවන්.. මගදි කෑම කනවානම් ටිකක් උදෙන් පිටත් වෙන්න වෙනවා... එක දිගටම ගියොත් පැය 2කින් කිතුල්ගලට යන්න පුලුවන් නිසා උදේ 7ට විතර කොළඹින් පිටත් උනොත් ප්‍රමාණවත් නිසා අපි මේ tour එක කොළඹින් පටන් ගන්නෙ උදේ 7ට.ගොඩාක් අය කියනවා කිතුල්ගල බෙලි ලෙන බලන්න යමු කියලා... ආදි මානවයාගේ ගල් ගෙය බවට පත් වෙලා තිබ්බ තැන තමයි එතන.. වසර 30,000ට වඩා එහා ගිය අතීතයක් එතන තියෙනවා කියලා හිතුවම ඒ කාලෙ මිනිස්සුන්ගෙ ජීවිත වල තියෙන සරලත්වය අපිටත් දැන් විදින්න තියෙනවනම් කියලා හිතෙන එක ඔය කාටවත් නවත්තන්න බැරිවේවි. කොහොමහරි එතන වැඩේට පැයක් විතර යනවා... 11 විතර වෙද්දි ලංවෙද්දි අපිට පුලුවන් ලංකා ටුවර් ඕර්ගනයිසර්ස්ලගේ කදවුරු භූමියට යන්න. එතන තියෙන ක්‍රියාකාරකම් වල යෙදෙන්න... කැළණි ගගේ ඩිංගි බෝට්ටු පදින්න, ගගේ නාන්න වගේ ගොඩාක් දේවල් කරන්න පුලුවන්.

White Water Rafting කරන ඔයාලට අපි ලබා දෙන්නෙ තත්ත්වයෙන් ඉතා ඉහල බෝට්ටු වගේම ලංකාවෙ ජල ක්‍රීඩා පිලිබද අවසරලත් සහ සහතිකලත් Raftersලා.. ඒ අය ඔයාලගෙ ආරක්ෂාව පිලිබදව ඉතා වගකීමෙන් ක්‍රියා කරනවා... කිලෝමීටර් 3ක දුරක් විනාඩි 45ක් පමන ගග දිගේ ඩිංගි බෝට්ටුවකින් ඇදෙන මේ අති සුන්දර සහ ත්‍රාසජනක අත්දැකීම විදගැනීම තුලින් කිතුල්ගල ගමනේ Fun එක උපරිම කරගන්නට ඔයාලට පුලුවන් වේවි.

කැළණි ගගේ දිය නෑමට තියෙන භය දුරු කරගෙන මෙතනින් නාගන්න පුලුවන්... කුඩා දරුවන්ට, කාන්තාවන්ට නාගැනීම සදහා ඉතා ආරක්ෂිත ස්වාභාවික නාන තටාක අපි ගග තුලම නිර්මාණය කරලා තියෙනවා... ඒක නිසා 100%ක් ආරක්ශිතව ජලයේ විනෝද වීමේ අවස්ථාව අපි අපේ පාරිභෝගිකයින්ට ලබා දීලා තියෙනවා.... ඒ වගේම වැඩි ආරක්ෂාවට ඔයාලට අපෙන් ටියුබ් සහ ආරක්ෂිත කබා (life Jackets) අය කිරීමකින් තොරව ලබා ගන්න පුලුවන්...


කෑම බීම සිද්ද වෙන්නෙ මේ ආකාරයට.... උදේම ගිය ගමන් ඔයාලට සිසිල් බීම වීදුරුවක් ලැබෙනවා.. ඔයාලා කැමති නම් ඒ වෙනුවට ඖෂධීය පානයක් ලබාගන්නත් පුලුවනි... දවල්ට ඔයාලගෙ කැමැත්ත අනුව පෙරදිග හෝ බටහිර කෑම වේලක රස බලන්නත් හැකියාව ලැබෙනවා... එක Buffet ක්‍රමයට තමයි ලැබෙන්නෙ... පළතුරු කීපයකින් සමන්විත අතුරුපසක් ද ඊට ඇතුලත්... හවස තුනට විතර පොඩි කේක් කෑල්ලක් එක්ක ඔයාලට තේ එකක් ලැබෙයි.. මේකත් ඔයාලට කැමති පරිදි වෙනස් කරගන්න පුලුවන්.

දැන් කොල්ලො ටික හිතනවා ඇති අපි බොන්නෙ නැද්ද කියලා... බොන අයටත් වෙනම තැන් අපි ලෑස්ති කරලා තියෙනවා.. ඔයලා බෝතල් අරගෙන යන්න පුලුවන්.. එක කොන්දේසියක් පිට... ඒ බොන්න අවශ්‍ය අනෙකුත් කලමනා අපෙන් මිලට ගන්න ඕන කියන පදනම. ඉතාමත් අඩු ගනන් වලට රසවත් බයිට් එකක් ගන්නත් ඔයාලට පුලුවන් වේවි. ඊට අමතරව කලින් ඇනවුම් කලොත් පිරිසිදු කිතුල් රා හොයාගන්නත් පුලුවන් වේවි.... තවත් අතිරේක සේවා කියන්න වෙන්නෙ අපෙන් මේ පහසුකම ලබා ගන්න කොට තමයි....

අපි ඉතින් 3.30 ට විතර ඔයාලව ආපහු කිතුල්ගලින් එක්කර ගෙන එන්නෙ සොදුරු මතකයන් ඔයාලගෙ සිතේ සනිටුහන් කරලා... උදේ 7.00 ට පටන් ගත්ත ගමන හවස 5.30 විතර වෙද්දි කොළඹින් අවසන් වෙනවා...

දැන් ඔයාලගෙ හිතේ මැවෙන ඊලග ප්‍රශ්නයට පිලිතුරු දෙන්නයි මම මේ හදන්නෙ.... මේ ඔක්කොම පහසුකම් වලට කොච්චර ගානක් යනවද කියන එක... ඒක වෙන්නෙ මෙහෙමයි... White Water Rafting වල යෙදෙනවනම් අපි එක්කෙනෙකුගෙන් අය කරන්නෙ රුපියල් 2150.00ක් වගේ ගනනක්.... White Water Rafting වල යෙදෙන්නෙ නැත්නම් අපි එක්කෙනෙකුගෙන් අය කරන්නෙ රුපියල් 1350.00ක් වගේ ගනනක්... එක කොන්දේසියක් තියෙනවා.. ඒ ඔයාලගෙ කන්ඩායමේ අඩුම ගනනෙ සාමාජිකයින් 10 දෙනෙක් ඉන්න ඕන... ඊට අඩු උනොත් ගාන පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුලුවන්...

මීට පස්සෙ ට්‍රිප් සංවිධානය කරන්න මහන්සි වෙන්න එපා.... අපිට කියන්න... යන දවසෙ උදේට වාහනයක් ඔයාලට ඕන තැනට ඒවි... එකෙ නැගලා ට්‍රිප් එක යන්න.... යන එන තැන් වලට, කන බොන තැන් වලට, නවතින තැන් වලට රියැදුරු මහතා ඔයාලව එක්කරගෙන යාවි... ගිහින් ඇවිත් ආපහු ගේ ගාවින් බහින්න.. එච්චරයි.... (බිලත් ගෙවන්න.... :D )

Friday, July 2, 2010

කවුද මේ සෙරෙන්ඩිබ් සෙක්ස්ටට්............


මේක ටිකක් හිනා යන කතාවක් නොවුනට කියවිය යුතු වැදගත් දෙයක් කියලා මම හිතනවා.... ලංකාවෙන් පිටරට යන අයට සංගීත පිස්සුව වැලදෙන එක ස්වාභාවික දෙයක් බවට පත් වෙලා.... සමහරු ලංකාවෙන් යන කොටම බටහිර සංගීතය කර පින්නාගෙනම රටෙන් පිට වෙනවා... ගිටාර් එකක් අල්ලන්නවත් දන්නෙ නැති අය පිටරට ගිහින් එනකොට මියුසික් තමන්ගෙ ලයිෆ් එක වගේ තමයි ලංකාවට එන්නෙ... ඒත් අපේ රටේ මියුරු සංගීතය පිටරටට අරන් යන්නෙ කීයෙන් කී දෙනෙක්ද?

මෙන්න මේ ලගදි මට හම්බ උනා මේ වැඩේ ඉතාම සද්භාවයෙන් කරගෙන යන කණ්ඩායමක්... ඔක්කොම සංගීතය පිළිබද උපාධිධාරීන්.. නවසීලන්තය කේන්ද්‍ර කර ගෙන මෙයාලා ලංකාවේ ඉපැරණි සංගීතය වගේම උත්තර භාරතීය සංගීතය පිළිබදවත් වැඩසටහන් කරගෙන යනවා... ඔයාලට බලන්න මම මෙයාලගෙ යූ ටියුබ් ලින්ක්ස් ටිකක් දාන්නම්.. මම හිතන්නෙ මේවා තමයි වැඩ කියලා කියන්නේ.....

දන්න වංහුං අපෙ කන්න සාමි

රජු රාවණ සහ සීතාදේවී.........

ඉන්ද්‍ර දිසාවට......


මේ කණ්ඩායමේ නායකයා තමයි අචාර්ය සුමුදි සුරවීරයන්... ජෑස් ඩ්‍රම් සෙට් එක ගහන්නෙ එයා.. ගයානාත් දහනායක කියන්නෙ මේකෙ ඉන්න බෙර වාදන ශිල්පියා.. මට මුන ගැහිලා තියෙනව අපි ඉස්කෝලෙ යන කාලෙ.. මිනිහා ඒ කාලෙත් දක්ෂ වැඩ කාරයෙක්.. එයා ගියෙ මහින්දෙ.. මිනිහව හොයන්න ගිහින් තමයි මට මේ ගෲප් එක සෙට් උනේ... මේකෙ නවසීලන්ත ජාතිකයන් දෙදෙනෙකුත් ඉන්න එක තමයි පට්ටම සීන් එක.. එක්කෙනෙක් අයිසැක් ස්මිත්.. අනිත් එක්කෙනා ජෙෆ් හෙන්ඩර්සන්... මමනම් මේ වැඩෙට ටිකක් කොර වෙලා වගේ ඉන්නෙ

දැන් මට පොඩි අදහසකුත් ආවා මෙයාලව ලංකාවට ගෙන්නන්න..... එහෙම උනොත් මම ඔයාලට මේ බ්ලොග් එකෙන්ම දන්වන්නම්....

ප. ලි. : ඡායාරූපය ටිකක් අවුල් උනාට ගනන් ගන්න එපා... පැහදිලි එකක් හොයලා ඉක්මනටම දාන්නම්

විදුහල්පතිතුමාත් අපි නිසා අසරණ වුන හැටි.....


පාසැල් කාලය ගැන තියෙන මතකය ඉතින් සදා සොදුරුයිනෙ... ඉබ්බගෙයි පූසාගෙයි කතා කියවද්දි පාසැල් කාලයේ කතා තමයි සිහියට එන්නෙ.... ඒ කාලෙ කොලුකමට කරපු වැඩ මතක් වෙද්දි තනියම හිනා යනවා.. ඉතින් ලග ඉන්න එකා අහනව මොකද බන් හිනාවෙන්නෙ කියලා..... අද ලියන්න හදන්නෙත් ඒ වගේ පාසැල් කථාවක්..

උසස් පෙළ අපි ඉගෙන ගත්තෙ වාණිජ පන්තියෙ... කලා, වාණිජ පන්ති ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ... ඉස්කෝලෙ තියෙන තරම් භාහිර වැඩ ටික කරලා, වැඩක් ඇත්තේම නැති වෙලාව විතරක් ඉගෙන ගන්න පාවිච්චි කරන අය තමා 90%ක් ම මේ පන්ති දෙකේ ඉන්නෙ... මගෙත් වැඩි වෙනසක් තිබ්බෙ නෑ... මමත් අහු උනේ ඒ කුලකෙටම තමයි... පාසැලේ ක්‍රීඩා කණ්ඩායම් ඔක්කොගෙම වගේ නායකයො හිටියෙත් මේ පන්තිවල නිසා ශිෂ්‍ය නායකයොත් වැඩියෙන් හිටියෙ මේ පන්තිවල. විනය අඩුවෙන්ම රැකුනෙත් මේ පන්තිවල වෙන්න ඇති... පන්තිය කට් කරල කොහෙ හරි පනින එක අපේ පන්තියෙ උන්ගෙ හොදම විනෝදාංශය උනා...

පාසලෙන් පිට යන්නෙ නැත්නම් කරපු ලොකුම දේ තමයි පිට්ටනියට ගිහින් ක්‍රිකට් ගහපු එක... එහෙම වෙන්නෙ බොහොම කලාතුරකින්.. මොකද පනින දවස්වලින් 99%ක් ම එලියටම පනිනවා... ඔක්කොම එකතු වෙලා බහින වලක් සෙට් උනොත් තමයි හවස් වෙනකන් ඉදෙන්නෙ.... එදාට තමයි මේ ක්‍රිකට් වසන්තය අපිට උදාවෙන්නෙ... ඔයාලට හිතෙනවා ඇති ඉතින් පිට්ටනියෙ ක්‍රිකට් ගහද්දි ප්‍රින්සිපල්ට එහෙම පේනවනෙ කියලා... එහෙම පේන්නෙ නෑ... අපේ පාසැලේ ක්‍රීඩා පිටි දෙකක් තිබ්බා.. එකක් පිට්ටනිය... අනික අලුත් පිට්ටනිය.. මේ අලුත් පිට්ටනිය ඒ දවස්වල තිබ්බෙ හදන ගමන්.. වටේට තාප්ප ගහල ලොකු ගේට්ටුවක් දාල තමයි තිබ්බෙ.. මේක ඇතුලට ගියහම කාටවත් පේන්නෙ නෑ.. අර අතිවිශාල ගේට්ටු රාජයා තරනය කරලා තමයි කොල්ලො අලුත් පිට්ටනියට සම්ප්‍රාප්ත වෙන්නෙ..

එක දවසක් මෙහෙම සෙල්ලම් කරන කොට ගේට්ටුව ඇරගෙන ප්‍රින්සිපල් සර් ආවා.. එකෙක් විසිල් එකක් ගහලා සිග්නල් එකක් දුන්නා... දැන් ප්‍රින්සිපල් පිට්ටනිය මැදට එනවා වේගෙන්.... අන්න එතනදි තමයි සර්ට වැරදුනේ... මේ අන්ඩපාල කොල්ලො එක්ක පුලුවන්ද සර්ට දුවන්න...කොල්ලො ටික එහෙන් මෙහෙන් දුවල ගේට් එක ලගට ඇවිත් එලියට එනකොටත් සර් පිට්ටනිය මැද්දෙ තනියම... අපි ග්‍රවුන්ඩ් එකෙන් එලියටත් ආවහම තමයි දැක්කෙ සර් ගේට් එකේ ඉබ්බවත් යතුරත් එක්කම ගේට් එකේ එල්ලලා ගිහින් කියලා... වහාම ක්‍රියාත්මක වෙච්ච අපේ එකෙක් සටස් ගාල ගේට් එක වහලා ඉබ්බ ලොක් කලා... අපි එලියෙ.. සර් තනියම ඇතුලෙ...

ඒ කාලෙ ජංගම දුරකතන තිබ්බෙත් නෑනෙ... සර් ග්‍රවුන්ඩ් එකේ ඉදන් කථා කලොත් ඇහෙන්නෙ සුනිල්ගෙ කාමරේට විතරයි.... සුනිල් කියන්නෙ අපේ ග්‍රවුන්ඩ් බෝයි. අලුතෙන් ඉස්කෝලෙට ආපු එකෙක් අතේ සුනිල්ටත් පණිවිඩයක් යැවුවා වයිස් ප්‍රින්සිපල් එන්න කිව්ව ඔෆිස් එකට කියලා.... අනේ අපේ ප්‍රින්සිපල් සර් ගේට්ටුව උඩින් පැනලා ශර්ට් එකත් පොඩ්ඩක් ඉරාගෙන එලියට එද්දි අපි ඉස්කෝලෙ ඇරිලා ගෙදරත් ඇවිත්.. වෙච්ච ලැජ්ජාවෙ හැටියට වෙන කෙනෙකුටවත් කියන්නද මේ සීන් එක කටක් ඇරලා... පහුවදා සෙනසුරාදා.. අපි ආයෙ ඉස්කෝලෙ ගියෙ සදුදා.. ටිකක් බයෙන් වගේ.. හැබැයි ඒ වෙද්දි සර්ගෙ තරහ නිවිලා තිබ්බා.... පස්සෙ අපිට දඩුවම් කරන්න එන අවස්ථා වලදී අර සිද්ධියටත් එක්ක ඇරියස් පිටම ෆනිශ් කරන්න ප්‍රින්සිපල් සර් පොඩ්ඩක්වත් මැලි උනේ නෑ....

ප.ලි. : ඇරියස් එක්ක දඩුවම් කරපු සිද්ධි ලගදීම..............