Tuesday, October 12, 2010

අන්සතු නොකල යුතු දේවල්......

මේ කතාව පටන් ගන්න කලින් කිව යුතු කාරනා කිහිපයක් තියෙනවා.... වැම්පයර් මල්ලිට හිස නමා ගරු කරලා මගේ ස්තූතිය මේ අයුරින් පුද කරන්න කැමතියි... රන්බණ්ඩා සෙනෙවිරත්නයන් පිළිබදව ලියන්න යැයි මම ඉල්ලපු ඉල්ලීමට කන් දීලා ඔහු ඉතාමත්ම වැදගත් ලිපි කිහිපයක් (එක, දෙක, තුන ආදී වශයෙන්) පල කරලා තිබ්බා.... තව පාරක් ස්තූතියි වැම්පයර් සහෝ...... ඒ එක්කම ඔහු විසින් රචිත The Harmonic Tunes of Premakeerthi De Alwis and Victor Rathnayaka – Episode 01| ප්‍රේමකීර්ති ද අල්විස් + වික්ටර් රත්නායක සුසංයෝගය - පළමු දිගහැරුම කියන ලිපිය පිළිබදවත් මගේ ස්තූතිය ඔහුට හිමි විය යුතුමයි....


ඊලග කාරනය තමයි මම බ්ලොග් ලියන්න පටන් අරන් දැන් මාස හතර හමාරක් පමන වෙනවා.. බ්ලොග් කවුන්ටරේ දාගත්තෙ ඊට මාස දෙකකට විතර පස්සෙ.. කම්පියුටර් වැඩ කෑලි වැඩිය දන්නෙ නැති නිසා ආගිය කතා ලියන හසිත මලයගෙන් අහගෙන තමයි ඒකත් දැන ගත්තෙ.. දැනට මගේ පස්සෙන් එන අය 86 දක්වා වැඩි වෙලා.. බ්ලොග් කවුන්ටරෙත් 3100 පාරකට වඩා කැරකිලා.. ඊටත් වඩා මේ වැඩෙන් මාරම ෆිට් යාලුවො වගයක් හම්බ උනා... ඊලග ලිපියෙන් ඒ ගැන ලියන්න හිතාගෙන ඉන්නෙ.... ඒ ඔක්කොටම ඒ වෙනුවෙන් උපරිම ස්තූතිය පිරිනමලා ඔන්න දැන් කතාව පටන් ගන්න යන්නෙ....



අපේ අප්පච්චි ගමේ පරම්පරාගතව හිටපු කෙනෙක්... ගමේ ඉස්කෝලෙ පටන් ගද්දිම ඒකෙ මුල්ගුරු තුමාගෙ ලොකු පුතා... අප්පච්චිත් ගුරුවරයෙක්... විශ්‍රාම ගියෙත් නියොජ්‍ය විදුහල්පතිවරයෙක් විදිහට... ආදි කාලෙ මුල්ගුරුවරුන්ට ගමක තිබ්බ සැලකිලි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ... ඒ ගරුත්වයෙ සැලකිල්ල ගමේ තවමත් අපේ අප්පච්චිට හිමියි... අප්පච්චි ඉතා දැඩි ප්‍රතිපත්ති වල හිටියෙ... මට උනත් දඩුවම් කරන්න ගියාම ඒකෙ කිසිම සීමාවක් තිබ්බෙ නෑ... ඒ ගැන වෙනම පෝස්ට් එකකින් කියන්න පුලුවන්... ඒත් අප්පච්චිගෙ ශිෂ්‍ය ශිෂ්‍යාවො එක්ක හරිම ලෙන්ගතුයි... ඉතින් ඒ නිසා අප්පච්චිගෙ අවවාද අනුශාසනා වගේම ගුටි, වේවැල් පාරවලුත් ගෝල බාලයන්ට මදි නොකියන්න ලැබුනා...

දවසක් අප්පච්චි ගෙදර තියෙන වෑන් බූම් එක හදන්න ගෙවල් ගාව තිබ්බ ගැරේජ් එකට ගියෙ මාවත් අඩ ගහගෙන... අප්පච්චිගෙ ගෝලයෙකුත් ඇවිත් හිටියා බයික් එකේ රිම් එකක ඇද ඇරගන්න. කාලෙකින් මුණ ගැහුනු ගුරුතුමයි ගෝලයයි අතරෙ කතාව යනකොට මමත් පැත්තක ඉදගෙන අහගෙන හිටියා.... ගෝලයගෙ නම අමිල. අමිල ඉතින් අප්පච්චි ලගට ඇවිත් කතාව පටන් ගත්තා... සංවාදය පහත ආකාරයට තමයි ඕං යන්නෙ...

ආ සර්.. වෑන් එක හදන්න ආවද?

අමිල කොහොමද? ඔව්... මේ  වෑන් එකේ උඩට පොල් ගෙඩියක් වැටිලා.. ඒකෙ ඇද ඇරගන්න ආවා මේ නිශාන්තට කියලා....

ආ.. මමත් සර් මෙ බයික් එකේ රිම් එක ඇදවෙලා ඒක පොඩ්ඩක් කෙලින් කර ගන්න ආවා... යාලුවෙක් අරන් ගිහින් තාප්පෙක හප්පලා.. මිනිහත් ඉස්පිරිතාලෙ...

අමිල... යාලුවන්ට දෙන්න ඕන දේවලුයි එපා දේවලුයි දෙවර්ගයක් තියෙනවා... මොනවා දුන්නත් කමක් නෑ.. හතරක් තියෙනවා යාලුවන්ට තියා වෙන කාටවත් දෙන්න හොද නැති....

මොනව කරන්නද සර්... ඇවිත් ඉල්ලද්දි බෑ කියන්නත් බෑ.. මොනවද සර් අර හතර?

පලවෙනි එක තමයි අමිල තමන්ගෙ පෑන.. මම කියන්නෙ මේ බෝල්පොයින්ට් පෑන ගැන නෙමෙයි.. අර ඉස්සර තිබ්බ තින්ත පෑන්.. ඒව තමන් ලියන අකාරය අනුව තමයි හැඩ ගැහෙන්නෙ....

ආ... ෆවුන්ටන් පෑන් කියන ඒව නේද සර්...

අන්න ඔව්.. දෙවෙනි එක තමයි තමන්ගෙ පොත්... ඒවා ගත්තොත් වෙන කිසිම කෙනෙක් ගෙනත් දෙන්නෙ නෑ... ඒ නිසා පොතුත් තමන් ලගම තියාගන්න ඕන..

අප්පෝ.. ඔව් සර්... මගෙ පොත් නම් ගෙනිච්ච එකෙක්වත් ආපහු ගෙනත් දීලා නෑ... ඇත්තම තමයි කතාව...

තුන්වෙනි එක අමිල තමන්ගෙ වාහනේ.... ඒවා ටික කලක් යද්දි තමන්ගෙ ඇගට බද්ධ වෙනවනෙ.... දෙන්නෙක් හෝ කිහිප දෙනෙක් පාවිච්චි කරද්දි එහෙම වෙනවා අඩුයි...

ඒකත් ඇත්ත සර්.. ඒත් ඉල්ලද්දි බෑ කියන්නත් බෑනෙ... ඊට පස්සෙ උන් හිතන්නෙ අපි ලොකුකමට දුන්නෙ නෑ කියලනෙ.. මොකක්ද සර් ඉතුරු එක...

අන්තිම එක අමිල තමන්ගෙ ගෑනි... ඒකනම් ඉතින් ඔයාලා කොහොමත් කරන්නෙ නෑනෙ කියල අප්පච්චි පොඩි හිනාවකුත් දැම්මා...


අපෝ..සර් අන්තිම එක තමයි කරන්න අමාරුම එක ඔතනින්... අමිල කිව්වෙ වටෙ පිටේ හිටපු ඔක්කොම හිනා ගස්සවලා...

අප්පච්චිටත් හිනා ගියා... ඒ හිනාවෙන්ම අප්පච්චි ඇහුවා මොකද අමිල එහෙම කියන්නෙ...

ගෑනු අයෙ අමුතුවෙන් දෙන්න දෙයක් නෑනෙ සර්.. උන් අපිට හොරෙන් යනවනෙ.... 

අප්පච්චිගෙනුත් හිනාව එලියට පනින්න ගියෙ බොහොම අවම කාලයක්... ප්‍රධාන බාස් විනාඩි දෙකකට වඩා වැඩ නැවැත්තුවා හිනා වෙන්නම.

Wednesday, October 6, 2010

ආදරණීය කල්ලා සර්ට උපහාර පිණිස................

හා පැටික්කි දාලා තිබ්බනෙ ගුරු දිනය ගැන පෝස්ට් එකක්... ඒකට කමෙන්ට් එකක් දාන එක නවත්තලා මට හිතුනා අපේ ඉස්කෝලෙ හිටපු සොදුරුම ගුරු පියෙක් ගැන ලියන්න... ඒ තමයි අපේ කල්ලා සර්... ගුරුවරයෙක් නෙමෙයි ගුරු දෙවියෙක්... ෆිසික්ස් උගන්නන චන්ද්‍රසේන සර් කියපුහම පරම්පරා 3ක විතර ගෝලයෝ හිටියා... හැමෝම හරිම ආදරෙයි සර්ට.... අපි කොමර්ස් කලත් අපිත් එක්කත් ඒ සුහදතාවය ඒ විදිහටම සර් තියාගත්තා... කොල්ලන්ගෙ හද ගැහෙන රාවය ඒ තරම් වටහා ගත්ත ගුරුතුමෙක්නම් මට හම්බුනේ නෑ මුලු ජීවිත කාලයටම. සර් අපි අතරින් වෙන් වෙලා අවුරුද්දකට කිට්ටුයි.... ඒත් හදවතේ ගැඹුරුම තැනක සර් ඉන්නවා... කලින් කතාවල මම කියපු බූලා සර්ත් අපේ කල්ල සර් ගෙන් ඉගෙන ගෙන තියෙනවා... අද කියන්න යන්නෙ කල්ල සර් ගැන මගේ රසබර මතක සටහන් තුනක්.....


එක්තරා දවසක සර් මේන් හෝල් එක පැත්තට ඇවිදගෙන එනවා.. අපි සර් ගෙන් මෙහෙම ඇහුවා...

සර් බඩගිනියි.. සල්ලි එහෙම නෑ නේද සර් අතේ...

ඈ යකෝ... මම ලග කොහෙන්ද උඹලට දෙන්න සල්ලි...

ඔය තියෙන්නෙ සර්..... 

නෑ..... යකෝ... මම ලග..........

ඔන්න ඉතින් පොට වරද්දගන්න යන්නේ... දෙන්නකො සර් කීයක් හරි....

නෑ යකුනේ.... මෙන්න මෙච්චරයි අතේ තියෙන්නෙ 

කියලා සර් රුපියල් දෙකේ කාසියක් පෙන්නුවා.....

හරි හරි.. සර් ඉන්න අපි බලන්නම්...

කියපු අපේ එවුන් දෙන්නෙක් සර්ගෙ අත් දෙකින් අල්ල ගත්තා... අනිකා පර්ස් එක ගත්තා... අනිත් එකා සාක්කු ටිකට බැස්සා.... තිබ්බ සල්ලි ටිකත් අරන් කැන්ටින් එකට ගියා....

තොපි වගේ උන්ට උගන්නන්න මමත් ඉපදුනානෙ මේ ලොකෙට 

කියපු සර් හිනාවෙවී යන්න ගියා....


මේ කතාව නම් පරම්පරා කීපෙක ඉදන් එන ආදි කාලෙ කතාවක්.... ඒක සර් විශ්‍රාම යනකන්ම භාවිතා වුනා.... චන්ද්‍රසේන සර්ට කල්ලා සර් කියන්න හේතුව මම කලින් කිව්වෙ නෑනෙ... ඒ තමයි සර්ගෙ ඡවි වර්ණය... කලුයි කියන්නෙ පට්ට කලුයි... ඒ නිසා තමයි කොල්ලො කල්ලා සර් කියන්නෙ.... හරි කතාවට බහිමුකො...

සර් ඒ කාලෙ ඉදන්ම ගෙදර පොඩි අතිරේක පන්තියක් පවත්වාගෙන ගියා.. ගොඩාක්ම මේකට සහභාගි වෙන්නෙ අපේ ඉස්කෝලෙම කොල්ලො... හැමදාම ගේට්ටුව ගාවට යන අපේ කොල්ලො හඩ නගා මෙහෙම අහනවා...

බල්ලා කයි ද?

මේකෙ අනිත් පැත්ත තේරෙනවනෙ.... සර් ගේ ඇතුලෙ ඉදන් මෙහෙම උත්තර දෙනවා...

මම නිදි නෑ යකෝ.... මෙහෙ වරෙව්......


සර් අපිට නම කියලා කතා කලේ බොහොම කලාතුරකින්.... යකුනේ.. අඩේ.... වගේම මෙතන කියන්න බැරි වචනත් පාවිච්චි කලා..ඒත් ඒ හැම වචනෙකම ඉතාම ලෙන්ගත් බවක් වගේම ආදරණීය බවක් ගෑවිලා තිබ්බා... ගොඩක් වෙලාවට සර් කොල්ලන්ට මෙහෙම කතා කලා..

ඒයි........ එච්. පී. මෙහෙට වර......

එච් පී කියන එකේ තේරුම අපි ඇහුවමනම් කිව්වෙ හුරතල් පුතා කියන එක කියලයි.... හරි අනිත් කතාවට යමුකො... සර්ට හිටියෙ පුතයි දුවයි.... පුතා අපිට වඩා වැඩිමල් උනාට දුව අපේ වයසෙ.... ඉතින් සර්ගෙන් දුව ගැන අහන්නත් අපි අමතක කලේ නෑ.. ඒ වෙලාවටනම් ඉතින් හොදම පද තමයි..... එක දවසක් අපේ එකෙක් ඇහුවා සර්ගෙන් මෙහෙම....

ඇයි සර් ඔච්චර කලු.............?

තොපේ ගෙවල්වලට වගේ අපේ ගෙවල් වලට සුද්දො පැන්නෙ නෑ යකෝ....

ඔන්න කොල්ලෙක්ගෙන් තව ප්‍රශ්ණයක්....

එතකොට සර්, සර්ගෙ දුව සුදු......?

ඊට පස්සෙ ඉතින් තනිකරම සර්ගෙ කටින් පිටවෙන්නෙ මරු කතා.... ඒත් තරහෙන් නෙමෙයි.... සුපුරුදු සිනා මුසු මුවින්.... 

සර් ගැන තව කතා ඕනෙ නම් මෙතනින් කියවන්න පුළුවන්.... කමෙන්ට් හැටියටහ් ගොඩාක් කතා වැටේවි කියලාත් මට හිතෙනවා...ආදරණීය කල්ල සර් පිළිබද මතකයන් කියා නිම කරන්න බෑ.. සියලු මලියදේවයෝ ඔබතුමාට බෙහෙවින් ආදරය කරනව තවමත්.... ගුරු දිනයේදී අපේ පැතුම...

නිවන් සුව ලැබේවා ගුරුතුමනි.....

කාලයේ කවි කොලය.....

මේ රටේ වසනා අපත් දැන් එකම දේකට කොටුවෙලා..
වගේ හිතෙනවා අනේ මන්දා මගේ වරදක්දෝ කියා....
විපක්ෂය දුර්වලව පවතින නිසාවෙන්දෝවත් සිතා...
ආණ්ඩුව කරනා වැරදි වැඩ ඉබේටම යට හැංගෙනා...


දේශපාලන ප්‍රභල මිනිසා විපක්ෂෙන් සිටි නැගිටලා....
අනේ අද ඇත සිපිරි ගෙදරක පෝලිමේ බත් ටික කකා...
තමන් වපුරපු දේද මන්දා ගත්තෙ ගෙට අස්වනු නෙලා...
ඒත් ජාතික වීරයෙක් ඔහු අපේ හද තුල රජවෙනා....


ජෙප්පො මංගල සමග පිරිවර ඔහුව ඇදලා ගත්තදෝ....
දේශපාලන කියන වැසිකිලි වලට තල්ලුව දුන්නදෝ....
මැතිතුමනි හිර ගෙදර වෙසෙනා මෙය සිතා නුඹ බැලුවදෝ....
නුඹෙන් ගොඩ ගිය එවුන්ගෙන් අද නුඹට ඉන්නේ කවුරුදෝ....


දැයේ විරුවෙක් වෙතට සුපිපෙන නැවුම් රතු මල් ටික හදේ....
ඔබට පුදනා සිතක් තියෙනවා ඒත් පිදුමට නොහැකි වේ....
ශක්‍ර දෙවි වුව මේ දෙයින් පාඩමක් දැන ගත යුතුම වේ...
අප ඇගිල්ලේ තරම නොමදැන ඉදිමුනොත් මේ ටිකම වේ...


කරුනා කේපී පිල්ලෙයාන් වැනි ත්‍රස්තයන් ඇත නිදහසේ....
රටක් දිනු සෙන්පතිදු අද ඇත කූරු ගනිමින් සිපිරි ගේ.....
විපක්ෂෙට තවමත්ම බැරිවිය ගොඩ නගන්නට තම මතේ...
එවැනි උදවිය කුමට දෙස්පාලනේ උදෙසා මේ රටේ.....


අප සොයාගෙන අපම කෑවොත් දිවි ගෙවිය හැක මේ රටේ.....
අවට දේ හොයනට ගියොත් අත්වෙන්නෙ කාටත් සිපිරි ගේ...
උගුරෙ ලේ රහ මතුව එනකන් මොර දුනත් අප හෙට උදේ....
වැටයි නියරයි එකට එක්වී ගොයම කන එක නොවැරදේ....


ප.ලි. හිටපු ජනරාල් වෙනුවෙන් ශෝකයෙනි... මම මහින්ද වූවා නම් මමද කරන්නේ මේ ටිකම විය හැක... ඔබද එසේමය....එසේනම් වරද කාගේද?

Tuesday, October 5, 2010

බූලා සර්ගෙ වීරක්‍රියා.... 02

ඔන්න බූලා සර් ගැන කතා මාලාවේ අංක දෙක හෙවත් අවසාන කතාව තමයි ලියන්න යන්නෙ.... එක කියවපු නැති කට්ටිය මෙතනින් ගිහින් කියවන්න.... ඒ පෝස්ට් එකේදිත් මම කිව්වා සර් හිත හොද මනුස්සයෙක් වගේම වැරැද්ද දැක්කොත් මාරයා නගිනවා කියලත්... ඒත් කොලු වයස ගැන අවබෝධයකුත් තිබුනා... එක්තරා සිදුවීමකදි තමා මට හිතුනෙ සර්ගෙත් පාසැල් කාලේ ගැන සර් ට තවමත් අමතක වෙලා නෑ කියලා.... දැන් කියන්න යන්නෙ ඒ සිද්දිය....

මේකත් ස්පෝට් මීට් කතාවක්... ස්පෝට් මීට් එකට කලින් දවසෙ රෑ අපි අපේ හට් හැදීමෙ නිරත වෙලා ඉන්නවා... සර් මේන් හෝල් එක අයිනෙ ඉදන් පිට්ටනිය දිහා බලාගෙන ඉන්නවා.... මම කොහෙ හරි යන ගමන් සර්ට මාට්ටු උනා... සර් මාත් එක්ක ඉතා සුහදව හෙට වැඩ සටහන ගැන කතා කර කර හිටියා.... ඔන්න එක පාරටම විදුලිය විසන්ධි උනා.... ඔන්න එතකොට තමයි මට තරු පෙනුනෙ... පිට්ටනියෙ අහු මුලු ගානෙ පුංචි පුංචි රතු පාට එලි නිවි නිවි පත්තු වෙනවා... හැමෝටම තේරෙනවනෙ ඉතින් ඒ මොනාද කියලා....


මට දැන් දාඩියත් දාලා.. එතකොටත් මම ශිෂ්‍ය නායකයෙක්... බැරිවෙලාවත් සර් කිව්වොත් එහෙම ගිහින් එක්ක එනවා අරුන් ඔක්කොම කියලා... ඉවරනෙ ඔක්කොම.... ඒත් සර් ගෙ මුවගට හීනි හිනාවක් ආවේ.... පොඩ්ඩක් සද්දෙනුත් හිනා වෙච්ච බූලා සර් මට මෙහෙම කිව්වා..

හහ්.. එදිරිසිංහ...හහ්.. හහ්... අපේ කාලේ වගේමයි අයිසෙ තාමත්......

එහෙම කියපු සර් මාත් එක්කම ප්‍රධාන ශාලාව පැත්තට ඇවිදගෙන ආවා.....


මම, බෝයා, ටශියා සහ තාමා හතර දෙනා එකම පංතියේ හිටපු ශිෂ්‍ය නායකයෝ.. අපෙ ඉස්කෝලෙ ප්‍රධාන ශාලාවෙ තියෙන හුඩ් එක යටට වෙලා අපි ඉන්නවා ලොකු කතාවක... ප්‍රධාන ශාලාවේ උඩ තට්ටුවෙ තියෙන්නෙ විදුහල්පතිතුමාගෙ කාර්යාලය බූලා සර්ගෙ සහ අනිකුත් නියෝජ්‍ය විදුහල්පතිතුමන්ගෙ කාර්යාල.... අපි හතරදෙනා ඉන්න තැනට වගේම උඩ තට්ටුවේ ඉන්න අයටත් ප්‍රධාන ගේට්ටුව හොදින් පේනවා... ඉතින් අපි හතර දෙනා ඔතන ඉන්නකොට අපේම පන්තියේ යාළුවෝ හතර දෙනෙක් ප්‍රධාන ගේටුව ලගට ආවා.. ආපු විදිහෙන්ම අපි දැන ගත්තා මුන් ආවෙ ගේට්ටුවෙන් පනින්න කියලා.. මොනවා උනත් පන්තියෙ කොල්ලොනෙ කියලා අපි අහක බලා ගත්තා... ගේට්ටුව ලොක් කරලා නිසා තාප්පෙන් පැනපු කොල්ලො ටික පාසලෙන් නික්මිලා ගියා.. මෙතන ඉදන් තමයි කතාව....

එක පාරට බූලා සර් උඩ තට්ටුවෙන් එඹිලා අපිට මෙහෙම කිව්වා...

ඕයි.. එනවා පොඩ්ඩක් මෙහාට....

අපි හතර දෙනා දැනගත්තා ටොපිය හම්බ වෙන්න තමයි යන්නෙ කියලා. දැන් අපි හතර දෙනා අපිටම ඇගිල්ල දික් කරගෙන මටද සර් කියලා අහනවා.. සර් කිව්වෙ මෙහෙමයි..

හතර දෙනාම එනව උඩට......

අනේ ඊලග පියවරේ වෙන දේ පැහැදිලියි.... ඒ නිසා අපි හතරදෙනා උඩ තට්ටුවට පියමන් කලා... සර් කතා කරන්නෙ ව්‍යාකරණානුකූලව කියලා මම කලින් කතාවෙ කිව්වනෙ.. සිද්ධිය ගැන අදහස් දක්වපු බූල සර් අපිට බැන්නෙ මෙහෙමයි....

අ.... අයිසෙ බෝයා.. තමුසෙලාගෙ ශිෂ්‍ය නායක පදක්කම් වලින් වැඩක් නෑ ඕයි...

ඇයි සර්...?

ඇයි?.... අයිසෙ.. තමුසෙලා බලාගෙන ඉද්දි ශිෂ්‍යයින් හතර දෙනෙක් පිළිවෙළින් එක දෙක තුන හා හතර යන ආකාරයට තාප්පෙන් පැන ගියා....

අපි හතර දෙනාට හිනා ගියෙ නැත්තෙ බයට... ඒත් නඩුව ඉවර වෙලා ශිෂ්‍ය නායක කාමරේට ආවෙත් හොදටම හිනාවෙවී....

Friday, October 1, 2010

බූලා සර්ගෙ වීරක්‍රියා.... 01

අද කියන්න යන්නෙ අපේ ගුරුතුමෙක් ගැන කතාවක්.... බ්ලොග් ගඩොල් මල්ලිගෙ කොටියා සර් වගේම අපෙත් හිටියා බූලා සර් කෙනෙක්.... සර් ගැන රස කතා ගොඩාක් තියෙනවා. ඒත් නියම ගුරුතුමෙක්.... අපේ ඉස්කෝලෙම ඉගෙන ගෙන අපේ ඉස්කෝලෙම නියෝජ්‍ය විදුහල්පතිතුමා වෙලා ඉන්නෙ... හොදට හොදටම හොදයි... නරකට ඉතින් බඩුම තමයි.... ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ගුරුතුමා වගේම විද්‍යාලයේ විනය පාලක උනෙත් එතුමාමයි... කොච්චර හොද සර් කෙනෙකුට උනත් පිරිමි ඉස්කෝලෙක කාඩ් එකක් නැතුව ඉන්න අමාරු නිසා දෙයියනේ කියලා බූලා සර් කියන ආදරනීය නාමයෙන් තමයි ලමයි සර්ව අදුන්වන්නෙ.... සර්ට තිබ්බා හොද බේස් කටහඩක්... කතා කරනකොට හරිම ගාම්භීරයි... ඕනම කොල්ලෙක් ඒ කට හඩ ඇහුන ගමන් වෙව්ලලා නවතිනවා... ඉතින් මම කියන්න යන්නෙ මේ සර් ගැන රස කතා කිහිපයක්... පළවෙනි කොටස යන්නෙ ක්‍රීඩා උත්සවය හා සබැදි රස කතා කිහිපයක්....


පාසැලේ ක්‍රීඩා උත්සවයට කලින් දින තුනක් පුරා එහි පුහුනුවීම් යනවා.. ඒ වගේ මෙහෙයවීම තනිකරම සිද්ද වෙන්නෙ බූලා සර්ගෙ අතින්.... ඉතින් දවස පුරාම මයික් එක අරගෙන කොල්ලන්ට උපදෙස් දෙන එක තමයි කරන්නෙ.... ඉතින් ඒ සද්දේ සෑහෙන දුරකට ඇහෙනවා.. බේස් වැඩි කටහඩින් නික්මෙන ගාම්භීර කටහඩ ඕනම දෙයක් කන වැකුනු පමනින් ඉටු කරන්න කොල්ලන්ව පොලඹවනවා.. ඒත් ඉතින් සර්ට ඉදලා හිටලා වරදිනවා... ඒ වෙලාවට තමයි කොල්ලන්ට රජ ආතල් එන්නෙ.. මම අද ඒ වගේ සිදුවීම් තුනක් තමයි කියන්න හදන්නෙ.


ඔන්න පළවෙනි ආතල් එක... දවසක් පුහුනුවීම් ඉවර වෙලා සර් ඉදිරි වැඩකටයුතු ගැන ලමයින්ව දැනුවත් කරනවා මෙහෙම අර සුපිරි බේස් කටහඩින්.....


දරුවනේ... ක්‍රීඩා උත්සවයේ පුහුණුවීම් තවදුරටත් ජනවාරි තිහ, තිස් එක සහ තිස් දෙක යන දිනවල පැවැත්වීමට නියමිතයි.......


ඔන්න ඉතින් කොල්ලන්ට හිනා... ඒ එක්කම පැත්තක හිටපු සර් ගෙන දුවගෙන ඇවිත් කනට කරලා මොකක්දෝ කිව්ව... බූලා සර් ටක් ගාලා මෙහෙම කිව්ව... 


සමාවෙන්න... තිස්දෙක නෙවෙයි පෙබරවාරි එක...


ඉතින් මේ සිදුවීම කොල්ලන්ගෙ මුවේ රැව් දෙන්නෙ ඊලග අවුරුද්දෙ ක්‍රීඩා උත්සව පෙරහුරු වෙනකන් විතරයි... මොකද සර් අවුරුද්දෙන් අවුරුද්දට අලුත් ඇඩ් ලබාදෙන නිසා.... මෙන්න ඊලග අවුරුද්දෙ දුන්න ඇඩ් එක....


ක්‍රීඩා උත්සවය ආරම්භ වෙන්නෙ ප්‍රධාන ශිෂ්‍ය නායක, උප ප්‍රධාන ශිෂ්‍ය නායක සහ නිවාසවල නායකයින් සිව්දෙනා මාච් එකේ ගිහින් කොඩි එසවීම මගින්... තූර්ය වාදන කණ්ඩායමේ සංගීතයට තමයි මේ ටික වෙන්නෙ.... ඊට පස්සෙ කොඩි එසවීම කොඩි කනු දෙසට හැරීම වෙන්නෙත් තූර්ය වාදන කණ්ඩායමේ සිග්නල් වලට අනුවයි... ඒ සිග්නල් එක දෙන්නෙ තම්මැට්ටම් ශබ්ධ දෙකකට පසුව එන බේස් ඩ්‍රම් ශබ්දයකින් තමයි... ඒක ලමයි හදුන්වන්නෙ ටක් ටක් බුම්... කියලා


ඉතින් ඔහොම යනකොට අපේ බූලා සර්ට ඕන උනා මේ සිග්නල් එක වෙනස් කරන්න.. මයික් එක අතට ගත්ත බූලා සර් තූර්ය වාදක කණ්ඩායමේ නායකය වෙච්ච උඩේට මෙහෙම කිව්වා....


අයිසේ උඩේ.... ටක් ටක් දෙකට මැද්දෙන් බුම් එක යොදන්න....


කොල්ලනට මේකෙන් වෙන අර්ථයක් ගන්න පොඩි වෙලාවයි ගියෙ..


මොකක්ද කිව්වෙ කියන එකනම් කාටවත් තේරුනේ නෑ මම හිතන්නෙ....


ඔන්න ඊලග කතාව.. මේක උනෙත් ඒ අවුරුද්දෙමයි.... තූර්ය වාදක කණ්ඩායම අචාර පෙලපාලිය සදහා සංගීතය සපයනවා.... ලැබුනත් නෙත් යුග දහසක උරුමේ ගීතය.... මවුගුන ගීතයක් කියලා කවුරුත් දන්නවනේ... බූලා සර්ත් දැනගෙන හිටියා.. මට හිතෙන්නෙ එහෙම දැනගෙන නොසිටියානම් හොදයි කියලා... වෙච්ච සිදුවීමේ හැටියට.... දැන් සර්ට ඕන උනා මේ සංගීතය මදකට නවත්තන්න... මයික් එක ගත්ත සර් මුලු නගරෙටම ඇහෙන්න මෙහෙම උපදෙසක් දුන්නා තූර්ය වදක කණ්ඩායමේ නායකයා වෙච්ච උඩේට...


අ... උඩේ.. ඔය අම්මට ගහන සින්දුව පොඩ්ඩක් නවත්තන්න....


හිතා ගන්න පුලුවන්ද ඔයාලට එතන ඇති උන තත්වේ.... 



අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...