Meemure Jungle Resort

Tuesday, April 12, 2011

කණයි පස්සයි දෙකම රත් වෙන්න අම්මාගෙන් ගුටි කාලා තියෙනවද?

පොඩි කාලේ ගුටි නොකා ලොකු මහත් වෙච්ච උදවිය ඉන්නවානම් ඒ අතලොස්සයි... මදි නොකියන්න ගුටි කාලා තියෙන උන් අත උස්සන්න කිව්වොත් මටත් සිද්ද වෙන්නෙ අත උස්සගෙනම ඉන්න. අප්පච්චිගේ අමතක නොවෙන ගුටි, අම්මාගේ ස්වීට් ගුටි, අක්කලාගේ ඇන ගුටි, ගුරුවරුන්ගේ ආතල් ගුටි වගේම කොල්ලන්ගේ ජල ගුටි සහ ගැන්සි පිටින් කාපු අමර ගුටිත් මම අනන්තවත් කාලා තියෙනවා.... ජල ගුටි සහ අමර ගුටි නම් ගහලත් තියෙනවා..


අද කියන්න යන්නේ හැමදාම ස්වීට් ගුටි කන අම්මගෙන් කාපු අමතක නොවෙන ගුටි කිහිපයක් ගැන.. කියවන අයටත් මතක් වෙයි තම තමන්ගේ කන් අඩි, පොඩි කාලෙදි රත් වෙච්ච හැටියි කරපු තක්කඩි කම් ටිකයි.. හරි පළවෙනි කතාව මෙන්න....


අපේ අම්මා ඉගැන්නුවේ මම ඉගෙන ගත්ත පාසලේමයි.... ඉතින් කරන්න ඕන මගඩි අම්මට හොරෙන් කරලා සර්ලාගෙන් කාලා ඊට පස්සේ අම්මාගෙනුත් කාලා ගෙදර ඇවිත් මදි නොකියන්න අප්පච්චිගෙනුත් කනවා.. මම මේ කල්පනා කලේ පොඩි කාලේ වැඩියෙන්ම කෑවේ ගුටිද බත්ද කියලා.. බත් කෙසේ වෙතත් පොඩි කාලේ ඉඳන් පිළිවෙලකට කාපු එකම දේ තමයි ගුටි කියන්නේ..... ඉස්සෙල්ලාම අම්මගෙන් ගුටියක් මතක හිටින්න කෑවේ මෙන්න මේ වෙලාවෙ...


අපේ ගමට තිබ්බේ එක බස් එකයි... ඒක නැති දවසට මරු ආතල්... ගමෙන් නගරයේ පාසැල් වලට ගියේ අතලොස්සයි... මම හිතන්නේ දහ දෙනෙකුට වඩා නෑ... ඉතින් මේ එකම එක බස් එක නැති දවස්වලට මේ ඔක්කොම දෙනා ගස් වලට පොලු ගගහා තිරගම බේකරියෙන් රසම රස පාං කෑලි අරගෙන යනවා අර තිරගම මහා විද්‍යාලේ ගාවට... එතනින් තියෙනවා 7.15ට බස් එකක්... අපි හිතා මතාම 7.15 පන්නලා තමයි යන්නේ... ඊට පස්සේ ඒ පාරෙ බස් එකක් යන්නෙ 8ට.. ඒකෙ ගිහින් ඉස්කෝලෙ ගිහින් හරි යනවද? ආයෙත් ගස් වලට පොලු ගගහා පාං කෑලි කකා ගෙදර එනවා... එදාට ඉතින් තෛපොංගල් තමයි.... කට්ටිය ගමේ ඉස්කෝලෙ පිට්ටනියට ගිහින් උන්ට පේන්න සෙල්ලම් කරනවා... අරුන් හූල්ල හූල්ල බලාගෙන ඉන්නවා.... ඒ ඉස්කෝලේ විදුහල්පතිතුමාගේ ලමයත් අපිත් එක්ක ඉන්න නිසා ඒ ගුරුවරුත් මොකුත් කියන්නෙ නෑ.... ඉතින් ඔහොම දවස් ගෙවීගෙන යනකොට එක දවසක් අපේ ඉස්කෝල බස් එක මගදි කැඩුනා.... ප්‍රධාන පාරට මීටර් සීයයි තිබ්බේ... අම්ම එදා නිවාඩු දාලා හිටපු නිසා පාසැල් යෑම පිළිබඳ කිසිම ගැටළුවක් තිබ්බේ නෑ... කොල්ලො කෙල්ලෝ ටික මීටර් 100ක් ගිහින් බස් එකක නැගලා ඉස්කෝලෙ නොයා කිලෝ මීටර් 4ක් ආපහු පයින් ආවා බස් එක මගදි කැඩුනා කියාගෙන.... ගෙදර ඇවිත් ඔය ඔක්කොම විස්තර කියලා බස් එක කැඩුනු තැන කියද්දි කණ පුපුරන්න අම්මගෙන් වැදිච්ච පාර මට තවම මතකයි....


10 වසර 11 වසර කියන අවුරුදු දෙකේදිම මට ඉස්කෝලෙදිත් ගෙදරදිත් සමාජ අධ්‍යයනය ඉගැන්නුවේ මගේ අම්මා.. කට් කරන්නේ නැතුව ඉගෙන ගන්න වෙන එකම පීරියඩ් එක (මොකද අම්මා දන්නවනේ ගෙදරින් ආවා...ඒත් පන්තියේ නෑ කියලා) සමාජ අධ්‍යයනය නිසා ඒ විශයයට මම පන්තියේ ඉස්සරහින්ම හිටියා... දෙයියනේ කියලා ලකුනුත් වැඩි වුනා...



වර්තමානයේ අපේ පන්තියේ හිටපු අයගෙන් දැන් හොදම ජීවිතයක් ගත කරනා කිහිප දෙනාගෙන් කරුණාසිංහයා ඉදිරියෙන් ඉන්න පොරක්... ඌ ඒ කාලේ පන්තියේ මෙලෝම වැඩක් කලේ නෑ... ෆුල් ෆන් එකේ සින්දුවක් කියාගෙන පන්තියේ මුල්ලකට වෙලා කොපි පාරක් ගහගෙන ගෙදර වැඩ ගොඩ දාගෙන හිටපු කොල්ලෙක්.. සමාජ අධ්‍යයනයත් එක්ක එන සිතියම් අධ්‍යයනය කොටසට මූ කොච්චර ආසද කියනවනම් සිතියම් අධ්‍යයනය පොත දිහා මූ බලන්නෙවත් නෑ.. ඉතින් මම තමයි පොරට සිතියම් ඇදලා දෙන්නේ..... සිතියමත් ඇදලා ඒවට හරිත් දාලා අම්මගේ කෙටි අත්සනත් ගහලම උට දෙනවා..... මොකද නැත්නම් අම්මා උනත් කරදර වෙන්න ඕනනෙ වැඩිපුර පොතක් බලන්න... අනික උගෙ පොතෙයි මගෙ පොතෙයි තියෙන්නෙ එකම දේ... ඒ නිසා මමම හරි දාලා අත්සන් කරලම දුන්නා... ඔහොම ඉද්දි එක දවසක අම්මයි කරුණාසිංහයි අතරේ යනවා මෙහෙම දෙබසක්.....


කරුණාසිංහ තමුසේ සිතියම පෙන්නුවාද? 


ඔව් මැඩම් ඇයි කළින්ම පෙන්නුවේ....


බොරු කියන්න එපා.... මට මතක නෑ තමුසෙ පෙන්නුවා... දැන් සිතියම් කීයක් ඇදලා ඉවරද?


ඔක්කොම ඇදලා ඉවරයි මැඩම්... අන්තිම එක තමයි අද මැඩම්ට පෙන්නුවේ... (මූ ඇත්ත වගේ කියනවා දැන්..)


අහ්.. එහෙමද? නෑ.. එක්කොත් ගේනවා බලන්න පොත.....


පෙන්නුවා කියලා අවුලක් නෑ.. කවදාවත් මම ගහපු අත්සන් අම්මට මාට්ටු වෙලා නෑ.. මේකත් මෙහෙමම යයි කියලා හිතාගෙන මමත් චූන් එකෙ ඉන්නවා... මොකද ඒ අත්සන ගහපු වෙන අයගෙ පොතුත් අම්මා බලලා යවලා තියෙනවා... පොත බලලා අම්මා කරුණාසිංහට මෙහෙම කිව්වා...


තමුසේ මෙලෝ වැඩක් නොකර හිටියට හොඳයිනේ... හා හා යනවා...


දැන් මටත් ෆිට්.. උටත් ෆිට්... පන්තියේ අනිත් උන්ටත් ෆිට්... කොල්ලා පොතත් අරගෙන තමංගෙ මේසේ ගාවට එන්න ගියාට පොඩි දුරයි එන්න උනේ.... ආයෙත් අම්මා කතා කලා....


කරුණාසිංහ.. මෙහෙ එනවා.. ඔය පොතත් අරන්... තමුසෙට බෑ මාව තම්බන්න.....


මෙන්න මෙතන ඉදන් තමයි මේ කතාවේ විසිල් හා බල්ටි තියෙන්නේ.... පොත ආයෙත් බලන ගමන් අම්මා මෙහෙම අහනවා...


කරුණාසිංහ කවුද කියනවා මේවා බලලා හරි දැම්මේ..


ඇයි මැඩම්, මැඩම්මනේ බැලුවේ... 


තමුසේ මාව තම්බන්න හදන්න එපා මනුස්සයෝ.... කියනවා කවුද මේ හරි දැම්මේ....?


මූත් අරින්නේ නෑ....


ඇයි මැඩම්, මැඩම්මනේ දැන් ටිකකට කලින් දැම්මේ...


චට් ට් ට් ටාස්ස්ස්ස්.......... අන්න පළවෙනි වෙඩි මුරය පත්තු උනා... දැන්නම් අපිත් ටිකක් බියෙන් සලිත උනා.. මොක්ද අම්මාට කේන්ති යන්නෙ නෑ.. කේන්ති ගියා කියන්නේ නම් අඹ සරණයි ඉතින්.. ඒත් අරු කියන්නේ නෑ කියලා දන්න නිසා අවුලක් නැහැ...


ඇත්ත කියනවා..... කවුද මේ හරි දැම්මේ...?


කරුණාසිංහ නිහඩයි.....


කරුණාසිංහ.. තමුසෙ කට වහගෙන හිටියට මම දන්නවා මේ හරි දැම්මේ මම නෙමේ කියලා... මම හරි දාන්නේ දකුණු පැත්තට.... ඒත් මේ හරි තියෙන්නෙ වම් පැත්තට..... කවුද මේක කරපු වමත් කාරයා.... කියනවා තමුසෙව ප්‍රින්සිපල් ගාවට එක්ක යන්න කලින්...


කොහොමද තර්කෙ... ඔන්න මට හීන් දාඩිය දාන්න පටන් ගත්තා....මාව අහුවෙන අවස්ථාව අත ලඟ වගේ.... සැනසිල්ලකට තියෙන්නෙ කරුණාසිංහ නිහඩයි...


දෙවෙනි වෙඩි මුරයත් පන්තිය දෙවනත් කරමින් කරුණසිංහයාගෙ කණ මතටම පතිත උනා.... ස්වරය යක්ශයා ආරූඪ උනා.... ඒත් අරූ නෙවෙයි කටක් ඇරියේ... අන්තිමේ මමම නැගිටලා කිව්වා මමමයි ඒ වැඩේ කලේ... අම්මා රතු වුනා.... එදා මෙදා තුර මම අම්මගෙ දැක්ක භයානකම මුහුණ දැක්කේ එදා.. පන්ති නායකයා ගොඩයා.. අම්මා ගොඩයාට කතා කලේ අම්ම දන්න නපුරුම විදිහට....


ගොඩමුන්න... මෙන්ඩිස් සර්ගෙ කාමරෙන් මහත වේවැල ගේනවා ගිහින්... විනාඩියකට වඩා පරක්කු උනොත් තමුසෙටත් දෙනවා ඒ වේවැලෙන්ම....


ගොඩයා පිටත් වෙද්දි අම්මා මගේ ලඟට ආවා... පන්තිය මීයට පිම්බා වගේ... කොල්ලො මොන ලොකු ටෝක් දුන්නත් මේ වගේ වෙලාවට භයේ ගැහෙනවා...


චට්ටාස්ස්ස්.... චට්ටාස්ස්.... පට්ටාස්...... මෙන්න බොලේ මල්ටි බැරල්....  අම්මගේ අල්ල මගේ කම්මුල් සිසාර එහෙට මෙහෙට යනවා..... අරූ වේවැල ගේද්දිම බෙල් එක වැදුන නිසා ඒකෙන් ශේප්... ඒ ගුටිය අදට මට හොදටම මතකයි... අම්මා ගෙදර ඇවිත් සිද්ධිය කීවට පස්සේ අප්පච්චිගෙන් කාපුවා මට ඊටත් වඩා මතකයි....


දැනටත් ඒ සිද්ධිය මතක් කලාම අම්මට තරහා යනවා.... ඒක මතක් උනහම අම්මා මට මෙහෙම කියනවා.....


ගොඩමුන්න පුතා පීරියඩ් එක ඉවර වෙන්න කලින් වේවැල ගෙනාවනම් උඹ තවමත් මගෙන් කනවා... 


ප.ලි. එහෙනම් ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා..... අපි ගමේ ගිහින් ආයෙ එන්නේ සදුදා....


පින්තූරේ ගත්තෙ මෙතනින්...

Sunday, April 10, 2011

සයිබර් සිහින උළෙලේ පසු විපරමක්...... හපොයි අම්මේ එහෙම දවසක්.....

එදා දවස තමයි දවස..... හික්.. මට තවම හිනා... ඔන්න ආයෙත් හිනා යනවා.... ඔන්න අදත් ලිපිය ලියන්නට කලින් කියන්නේ.. කාටවත් ලින්ක්ස් දාන්නේ නෑ මම... එහෙම උනොත් මට වෙන වැඩක් කර ගන්න වෙන්නෙම නෑ.... මම මේ ගැන ලියන්නේම නෑ කියලා හිතාගෙන හිටියේ.. මොකද ගොඩාක් දෙනා මේ ගැන ලියපු නිසා මට ලියන්න දෙයක් ඉතුරු වෙලා නෑ කියලයි මට සිතුනේ.... ඒත් දුකා අයියගේ සයිබර් සිහින උළෙල ගැන ලියැවුනු පෝස්ට් එකට තමන්ගෙ නම කියන්නවත් කොන්දක් නැති මිනිස්සු දාලා තිබුනු සමහර කමෙන්ට්ස් දැක්කම මට හිතුනා මමත් මොනව හරි ලිවිය යුතුයි කියලා... මේ පෝස්ට් එක ටිකක් දිග එකක් වෙයි... කම්මැලි නැතිව කියවන්න ඉතින්... 


ඉස්සෙල්ලාම ස්තූති කරන්න ඕන... මම දැකපු සිහිනය යථාර්තයක් කර ඔබ සැමට... පොලිස් අධිකාරී රණවීර මහතා සහ ආරාධිතයින් වූ ඉන්ද්‍රනාත් තේනුවරයන්ට, සනත් විජේවර්ධනයන්ට, චින්තක අබේරත්නයන්ට සහ හිමු ආරියවංශයන්ට ප්‍රධාන වශයෙන් ස්තූති වන්ත විය යුතුයි... ඒ වගේම අනුග්‍රාහකත්වයන් ලබාදුන්න රවි අයියා, අරුණි අක්කා ඇතුළු ඔබ සැමට ස්තූතියි...... තමන්ගේ වටිනා කාලය කැප කරපු සංවිධායක මණ්ඩලයටත්, වචනයකින් හෝ දිරි දුන්න නුඹටත්, විවේචන වලින් අපිව දිරිමත් කල නුඹටත්, අනේක වාරයක් ස්තුතියි... ඇවිත් පට්ට ආතල් ගත්ත පිස්සු කෙළපු හැමටමත් ඉතාම ස්තූතියි... මේ ස්තූතිය මගේ සිහිනයක් සැබෑ වීමක් නිසා නෙමෙයි.... මගේ වචන ටිකක් පියවරෙන් පියවර අපි හැමෝගෙම වැඩක් බවට පත් කරපු නිසාමයි ඔබට මේ ස්තූතිය.  නම් කියවූ නොකියවූ හැමටමත් ආයෙමත් පාරක් ස්තූතියි....



මඩ ටිකකුත් නොලිව්වොත් අඩුවක් නේ.. රංග ලොක්කා මට උගේ බ්ලොග් එකෙන් සෘජුව පහර දෙන නිසා මිනිහා ගැන මේ මාසේ අන්තිමට ඉතා ලස්සන පෝස්ට් එකක්ම දෙන්නම්.... වැපා ගැනත් අවුලක් නෑනේ... හොදම මඩ පාර දෙන්න වෙන්නේ අතීතයෙන් ගඟ ගලා බසී ලියන තුශාර රවීන්ද්‍ර මල්ලිට... තනිකඩයානේ ඉතින්.. ගොඩාක් බලාපොරොත්තු තියාගෙන තමයි උළෙලට ආවේ.... උදේම ඇවිත් පොඩි අහිංසක ඉල්ලීමක් කලා.. මෙහෙමයි කථාව...


අභීත අයියේ... අද මේ එන හැම ගෑණු ළමයෙක්වම මට බදාගෙන අදුරගන්න ඕන...


හරි මල්ලි.. ඉන්න මම කතා කරලා දෙන්න... කාවින්ධ්‍යා නංගී.. පොඩ්ඩක් එන්නකෝ... මේ නංගි රවා අයියා.. අතීතයෙන් ගඟ ගලා බසී ලියන්නේ... රවා.. මේ මචන් කාවින්ද්‍යා... සුදු හංසි කියලා බස් එකේ ඉන්නේ...


මෙන්න මේ පහල පිංතූරේ තියෙන්නේ රවා ඒ නංගිව බදාගෙන අදුර ගත්ත හැටි.....



මේ තවත් ඒ වගේම කථාවක්... අනන්තය ලියන අනුරාධ මලයා...භාරව හිටියේ කණා මුට්ටිය බිදීම සහ සයිබරයේ සිහින කුමරා, කුමරිය තේරීම... කණා මුට්ටිය කෙසේ වෙතත් කුමරා කුමරිය තේරීම නම් අනුරාධ ඉතා කැමැත්තෙන් භාර ගත්තා.. ඒකෙනුත් කුමරිය තේරීම... මූණුපොතේ පොටෝ එහෙම බලලා, හොඳම එක තමන් සතු කර ගැනීමේ කූඨ උපායක් ක්‍රියාත්මක කරත්, නානායක්කාර මිය පත් කිරීම සුපුරුදු පරිදි 2012 සයිබර් සිහින උළෙල දක්වා කල් ගියා.. මේකට ඉත සිතින් සහයෝගය දුන්න දිල්ශාරා නංගිගේ උත්සහයත් වතුරේ ගියා..... මඩ ඇති.... අනිත් මඩ ඔක්කොම වගේ දැන් දන්නවනේ කට්ටිය....

සයිබරය නම් වූ මඟුල් සක්වල....... අප්පා මෙහෙම සයිබරයෙන් ගොඩ යෑමක්.... සයිබර් කපල් ගමකට ඇවිත් හිටියා... පසන් ඉනෝශා, ජේඩී ශානිකා, පාසැල් කොට ජීවිතේ, පැතුම් දිල්ශාරා, ස්වප්නා අංජන, ඉශානි කුප්පයා, එදින නාවත් මේ දෙන්නා ගැනත් කියන්න ඕන.. කවුද මේ ..ලෝකයේ කොටම සයිබර් යුවල හසියා සහ හා පැටික්කි.... (හසියත් අයිය පාට් එක දාලා ගොඩ ගියා... ) ඉතින් මේ ඔක්කොම ඇවිත් සතුටු වෙලා අනිත් උන්ට පණිවිඩයක් දීලා ගියා කියලා තමයි මට හිතෙන්නේ.. එහෙම හිතුනෙත් වැප්නි සාන්ත මල්ලි කියපු කතාවකින්... යකෝ මුන් ඔක්කොම ගොඩ යන එකේ අපිත් ඉන්ටනෙට් එකෙන්වත් එකක් හොයා ගන්න ඕන... පව් නේද එයා... ඔන්න කෙල්ලනේ චෑන්ස් එක... 

අඩුපාඩුත් ගොඩාක් තිබ්බා.. ඒත් මට හිතෙන්නේ ඒක අවමයි.... මේ ගැන කතා කරද්දි දුකා අයියගේ පෝස්ට් එකක තිබ්බ කමෙන්ට් එකක් මම මෙතන දානවා.. මේකටත් උත්තරයක් දෙන්න ඕන....

මේ කමෙන්ට් දැක්කහම ඇත්තටම හිනා යනවා. ඔය සංවිධායක මල්ලිලාට කාලිංගගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා කියන එක තමයි කියන්න පුළුවන්.

කාලිංග SBU ටී-ෂර්ට් එක ගහන්නෙත් මුලින් අතට සල්ලි අරගෙන. නැතුව දෙන්නම් කාසි වලට නෙවෙයි. මොකද එයා ඔය ගොල්ලන්ට වැඩිය හොඳින් දන්නවා බ්ලොගර්ස්ලා කියන උන්දෙලා ගැන. ඔය ගොල්ල නොදන්නවනම් ඉතින් කරන්න දෙයක් නෑ.

ලෝකෙ කොහේවත් මේ වගේ එකකට සල්ලි නොගෙන රෙජිස්ටර් කරලා ඒ තොරතුරු මත දේවල් ඔර්ගනයිස් කරන්නෙ නෑ. මොකද එනවයි කියන කෙනෙකුට පොල්ලක් තියන්න කිසිම බාධාවක් නෑ. අනෙක පළපුරුදු ඔර්ගනයිසර්ලා නම් දන්නවා යම් ගානක් ඔඩර් කරන ගමන්ම ඉතින් ටිකක් වැඩිපුර ගන්න ඕනැ වුණොත් නම්‍යශීලීතාවයක් තියා ගන්න හැටි. ඒව නොදන්නව නම් ඉතින් වැඩිපුර ඕඩර් කරළා ඇණ ගන්න තමයි වෙන්නේ. අත්දැකීම් වලින් ඉගෙන ගන්න මීට පස්සෙ හරියට කරන හැටි.

මීට පස්සෙ මේ වගේ දෙයක් කරන කොට ටිකට් ගහල විකුණලා, හැමෝටම කලින් ටිකට් අරං එන්න කියන්න. එතකොට කවුරු හරි නාවත් ඒක පාඩුවක් වෙන්නෙ නෑ. දැන් මෝඩ ප්‍රශ්නයක් අහන්න එපා දුර පළාත් වල ඉඳලා එන අය කොහොමද ටිකට් ගන්නෙ කියලා. ඒ සුළු පිරිසට විතරක් විශේෂයක් කරන්න පුළුවන්. නැත්නම් ෆැක්ස් මනි ඕඩර් එකක් යවන එක සිම්පල් දෙයක්. ඒත් නැත්නම් එකවුන්ට් එකකට දාන කියන්න පුළුවන්. මෙච්චර ක්‍රම තියෙද්දිත් ඒවා පාවිච්චි නොකර අඬ අඬා ඉන්න එපා.

මට මේක ගැන කියන්න තියෙන පළවෙනි දේ මේකයි..... අපි ඔක්කොම එකතු වෙලා කරපු දේ රුස්සන්නේ නැති කුප්ප කුජීත තිරිසන් හිතක් තියෙන කෙනෙක් අපි සහ කාලිංග සහෝදරයාව කොටවන්න ගන්න උත්සහය අපතේ ගියා කියන එක විතරයි... දෙවෙනි කාරණය අපි කතා කලේ කෑම ඉතුරු උන එක ගැන විතරයි.... මේ උත්සවයෙන් දිලුම්ගේ ගිණුමට රුපියල් 69000.00ක මුදලක් අපිට බැර කරන්න පුළුවන් උනා.. අපි හිතනවා එය ප්‍රමාණවත් කියලා.... ඒ නිසා අඩ අඬා ඉන්නවානම් ඉන්නේ, නම කියාගන්න කොන්ද පණ නැති ඊර්ශ්‍යාවෙන් හිත පුරව ගත්ත ඔබයි... අපිට ඔබ ගැන දුකයි.. එන්න.. අපිත් එක්ක එකතු වෙන්න.... අපිත් එක්ක එකතු වෙලා අපේ උන් ලඟ තියෙන හොඳ ගතිගුන විතරක් අරගෙන ජීවත් වෙන්න...

මේ ලිපියට කමෙන්ට් වැටෙන්නත් නොවැටෙන්නත් පුළුවන්... නමින් ලියන්න... කොන්ද පණ නැති ඇනෝනිමස් කමෙන්ට් දාන්න එපා.. අපි එකතු වෙලා කතා කරමු... අපේ ඊලඟ වැඩේටත් අත් වැල් බැඳ ගමු.... මොකද අපි ඔක්කොම අපිමයි... අපි අනුන් වෙන්න දැන් තියෙන ඉඩකඩ අඩුයි....

ගොඩාක් ලියපු නිසා අදට නවතිනවා... අවුරුදු සුභ පැතුම් එක්ක නැවත හමුවෙමු.... 

ප.ලි. මඩ පාර.... : සයිබර් සිහින උළෙල ගැන ඇනෝනිමස් ලිපියක් නොවැටෙන්න රට්ටු කියන්නේ මෙහෙම හේතුවක්.... ඇනෝනිමස් ආතල් ලියන දෙතුන් දෙනත් සංවිධායක මණ්ඩලේම ඉද්දි කොහොමද බන් ඇනෝනිමස් ලිපි වැටෙන්නේ.... 


පින්තූර : අපේම උන්ගේ මූනු පොත් වලින් හොරකම් කරණ ලදී....

Saturday, April 2, 2011

සයිබර් සිහිණ උළෙලට එන හැමටම........ මෙන්න සියළු තොරතුරු......


සයිබරයේ සිහින උළෙලට තව දින එකයි..... එදා මෙදාතුර මුහුණට මුහුණ මුණ  නොගැසුන යාළු මිත්‍රයෝ රාශියක් එකතු වෙනවා එදාට... මේ වෙද්දිත් සයිබර් අවකාශය හරහා ඒ සඳහා අති විශාල ප්‍රමාණයක් පැමිණීම ස්ථිර කරලා තියෙනවා.... දැනටමත් අපේ දත්ත ගබඩාවෙහි එන අය ලෙස 389 දෙනෙක් සටහන්.... ඒ නිසාම අපි මුලින් කිවූ පරිදිම අප්‍රේල් 1 දින මධ්‍යම රාත්‍රී 12ට සයිබර් අවකාශයේ පෝරමය ඉවත් කරන්නට කටයුතු කරනවා.. ඒ නිසාම දැනටත් පැමිනීම සටහන් නොකල යමෙක් වෙත්නම් හැකි ඉක්මනින් ගොස් ඔබේ පැමිනීම අපට දන්වන්න. එහෙනම් ආරම්භ කරමු.. මෙන්න සිහින උළෙලේ සියළු විස්තර.....

ඇතුළුවීම : 
          පැමිණීම අප වෙත දන්වපු හැම දෙනෙක් වෙතම ස්ථිර කිරීමේ විද්‍යුත් ලිපියක් අප විසින් යවා තිබෙනවා... එහි ඔබට පමණක් අනන්‍ය වූ රහස්‍ය අංකයක් ඇතුලත්.... තවමත් ඔබට එය ලැබී නැත්නම් හෝ මග හැරී නැත්නම් Inbox හා Spam පරීක්ෂා කරන්න... එසේ නොමැතිනම් 0718689555 අංකයෙන් නිශාන්ත මහතා අමතන්න... එම අංකය ඔබ විසින් එදින දොරටුවට ඉදිරිපත් නොකලහොත් සයිබර් අවකාශයේ සිහින උළෙලට ඇතුල්වීමට කිසිදු අවසරයක් නොලැබෙනු ඇති... අනවශ්‍ය පුද්ගලයින්ගේ පැමිණීම වැලැක්වීම සඳහා හා ඔබ අප කාගේත් ආරක්ශාව සඳහා ගත් මෙම ක්‍රියා මාර්ගයට ඔබගේ පූර්ණ සහයෝගය අපි අපේක්ශා කරනවා..... ඔබේ රහස්‍ය අංක ආරම්භා වී ඇත්තේ 1000 කියන අංකයෙන්... ඔබගේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා 

   1000 සිට 1100 දක්වා...

   1101 සිට 1200 දක්වා...

   1201 සිට ඉදිරියට 

 වශයෙන් කවුන්ටර තුනක් එදිනට ඔබට දකින්නට තිබේවි... ඒ අනුව අදාල කවුන්ටරය වෙත ගොස්  ඔබගේ ප්‍රවේශ පත්‍රය රැගෙන සයිබරයේ සිහිනය උළෙලේ සුන්දරත්වය විදීමට සැරසෙන්න වේවි....

ප්‍රධාන ආරාධිතයින් :

 ශ්‍රී ලංකා පොලීසියේ කොළඹ දිසාවේ අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඩී.ආර්.එල්. රණවීරයන් සයිබරයේ සිහින උළෙලෙහි ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගී වීමට නියමිතයි...

 මීට අමතරව ඔබ අප නිතරම සයිබර් අවකාශයේ දකින අපේම ජේ‍ය්ෂ්ඨයින් තිදෙනෙකුටත් මේ සඳහා අප ආරාධනා කලා..... පහත නම් කියවෙන්නේ අපේ ලොකු අයියලා තුන් දෙනාගේ...

ප්‍රවීණ ඡායාරූප ශිල්පී සහ බ්ලොග් රචකයෙක් වන ඉන්ද්‍රනාථ තේනුවරයන්,

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ විද්‍යුත් ඉංජිනේරු හි. මු. ආරියවංශයන්,

ප්‍රවීන රූ රටා සැකසුම් නිර්මාණවේදී සහ ඡායාරූප ශිල්පී චින්තක අබේරත්නයන්.

ඉතින් මේ විද්වතුන්ගේ පැමිනීමත් ඔබ අප හැමට වැදගත් වේවි එදිනට....

තරඟ සහ න්‍යාය පත්‍රය :

  මේ පිළිබඳ සියළු විස්තර බලා ගැනීම සඳහා මෙතනින් යන්න...

ආහාර පාන සහ ජලය :

සහභාගී වන සැමට දිවා අහාරය ලබා දීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර ඇති අතර ඒ සමඟ මිලි ලීටර් 500ක් පානීය ජලය අඩංගු බෝතලයක්ද ඔබට ලැබෙනු ඇත. මීට අමතරව වන පානීය ජල අවශ්‍යතා සඳහා පිරිසිදු වතුර ටැංකියක්ද පිටියෙහි ස්ථාන ගත කිරීමට සංවිධායකයින් ක්‍රියා කර ඇත.  හවස් වරුව තුළ දී මනරම් කේක් සංග්‍රහයක්ද භුක්ති විදීමට ඔබට හැකිවනු ඇති.
අයකිරීම් :

සහභාගී වන හැමගෙන් රුපියල් 100.00 ක මුදලක් අය කරනු ලබන අතර එය සම්පූර්ණයෙන්ම බැර වනුයේ දිළුම් සුවපත් කිරීමේ සද්කාර්යයටයි.....

 මීට අමතරව දිළුම් සුවපත් කරගැනීමට ඔබටත් දායක වීම පිණිස ආධාර එකතු කිරීමේ පෙට්ටියක් උත්සව භූමියේ තබා ඇති අතර, ඒ සඳහා ආධාර කරණ සියළුම දෙනාට අරුනි ශෙපීරෝ සොයුරිය විසින් රචිත ග්‍රන්ථ නොමිලයේ ලැබෙනු ඇත...

 ඒ වගේම ප්‍රවීණ මනෝවිද්‍යා ලේඛක සුමනදාස සමරසිංහ ශූරීන්ගේ  මිනිස් සිතේ හාස්කම්, ඉලක්කය හඹායන චිත්ත බලය, නොවරදින එකම මඟ වැනි ජනප්‍රිය මනෝ විද්‍යාත්මක පොත් එදින මිලදී ගැනීමට පහසුකම් සලසා ඇත.

විනය :

තරඟ පැවැත්වෙන කාලය තුල මත්පැන් දුම්වැටි භාවිතය ඉතා දැඩිව තහනම් වන අතර, ඔබ විසින් කලහකාරී ලෙස හැසිරුනහොත් සිහින උළෙල පවත්වන පරිශ්‍රයෙන් ඔබ ඉවත් කිරීමට සිදු වන බව කණගාටුවෙන් වුවද දැනුම් දීමට සිදුව තිබේ... 

සංගීත සැඳෑව :

පස්වරු දෙකේ සිට පස්වරු හතර වනතුරු ඩීජේ සංගීතයත් සමඟ මුසුවීමට ඔබට පහසුකම් සලසා ඇති අතර විනෝද වීමට අවශ්‍ය සියළු පහසුකම් සලසා ඇත.

එහෙනම් හැමෝම එන්න.... එකතුවෙලා විනෝද වෙලා දිගු ගමනක් යන්නට මුල පුරමු......