Meemure Jungle Resort

Saturday, June 25, 2011

සුභ උපන් දිනයක් වේවා රත්තරන්.....

අද ඔයාට ඇස් ලෙඩ.. උපන් දිනේ දවසේ අපි දෙන්නා යන්න හිතාගෙන හිටපු ට්‍රිප චොර වෙලා ගියා.. අපරාදේ නේද? මට ඔයා ගැන පෝස්ට් එකක් ලියන්න බෑ.. ඒකට බ්ලොග් පෝස්ට් කොච්චර ඕන වෙයිද කියලා මට හිතා ගන්න බැරි නිසයි.... ඒත් මට හිතෙන්නේ මෙච්චරයි.....


මගේ ලෝකයේ...

යශෝදරාවත්...
ප්‍රජාපතියත්.. 

ඔබම පමණයි....

සුභ උපන් දිනයක් රංජු....

ප.ලි. මට මේකට මොන පිංතූරයක් දානවද කියලා හිතා ගන්න බැරි වුනා..  මම හිතන්නෙ මේක තමයි සුදුසුම ෆොටෝ එක...

Thursday, June 16, 2011

ගූගල් බස් පිස්සෝ නිසා වැඩ නැතිවට වැඩ......

හික් ... පොඩ්ඩක් අමුතු මාතෘකාවක් නේද? මම ව්‍යාපාරිකයෙක් විදිහට ටිකක් කාර්යබහුලයි නේ.... සමහර දවස් තියෙනවා හුස්ම ගන්නත් අමතක වෙන සයිස්... අදත් ඒ වගේ තිබ්බ දවසක්.... කොහොමත් ලැබෙන හැම වෙලාවෙම බ්ලොග් කියවන්න, බ්ලොග් ලියන්න, මූණු පොතේ සැරිසරන්න, ගූගල් බස් පදින්න වගේ වැඩ වලට සහභාගි වෙනවා.... මගේ වැඩමුළු වලදි දේශකයෝ කියන මානසික පීඩනය මුදාහැරිය හැකි ව්‍යායාම වලට වඩා මේවයින් මගේ මානසික පීඩනය නම් පහ වෙනවා.. ඔන්න වටේ යනවනේ.. ආයෙත් මාතෘකාවට එමු....



බ්ලොග්, බුකි, මොනවා තිබ්බත් මට හොඳ යාලුවෝ සෙට් එකක් සෙට් වුනේ මේ බස් පැදිල්ලෙන් තමයි.... මම වගේ නෙමෙයි එතන ඉන්න ගොඩාක් දෙනෙක් උපරිම නිදහසේ රැකියා කරන අය... උන් ඉතින් දවස තිස්සේ පිස්සු ආතල් ගොඩාක් ගන්නවා... ඒ විතරක් නෙවෙයි කාට හරි මොනවාහරි ගැටළුවක් ඇති වුනොත් එවෙලෙම නිරාකරණය කරලා දෙනවා.. ඒක හරියට පැය විසි හතර පුරා දුවන අතිරේක පංතියක් වගේ.... මඩත් ඕන තරම්.... මොකද රංගත් යාව ජීව සමාජිකයනේ... ඉවසන්නම බැරි සිද්ධිය තමයි මෙයාලා මාසතුනකට සැරයක් මොකක් හරි සිද්ධියක් දාගෙන එකතු වෙන එක... එදාට යන්නත් බෑ වැඩ නිසා... නොයාත් බෑ.. එතකොට නිකන් කහනවා කහනවා වගේ....


ඉස්සෙල්ලාම විහාරමහා දේවි එකේ හමු වුනා.. ඊට පස්සේ ගල් කිස්සේ මුහුදු වෙරලේ හමු වුනා.. ඔන්න ඊට පස්සේ කිතුල්ගලට ට්‍රිප් එකක් ගියා.. ඊට පස්සේ දිළුම්ගේ වැඩේට එකතු වුනා... නැවත සයිබරයේ සිහින උලෙලට එකතු වුනා.. ඊට පස්සේ දිළුම්ගේ අවමංගල්‍යයට එක් වුනා.. ඊලඟට නුවරට ට්‍රිප් එකක් ගියා.. සයිබරයෙන් එකතු වුනු ගොඩාක් මුහුණු දැන් එක පවුලක් වගේ.... ඉතින් ඇයි මේ අයට බනින්නේ කියලා ඔයාලගෙ හිතට සැකයක් එනවා නේද? ඉතින් විහිලුවට බනින්නේ.. බනින්න හේතුව තමයි මේක.... 



දැන් මෙයාලගේ අලුත්ම ජෝගිය තමයි බස් රේඩියෝ එක.... සම්භාව්‍ය ගීත, සරල ගීත, ආදර ගීත, බයිලා, විරහා ගීත, එතෙර ගීත, නොනවතින ගී මාලා ඔය ඕන එකක් අහන්න පුළුවන් කිසිම වෙළඳ දැන්වීමක් නැතිව.... කට්ටිය කාල පරාසයන් බෙදාගෙන තමයි විකාශය කරන්නේ..... යොහාන් කණිෂ්ක, හසී, වැප්, ගයාන් තාරක, ඩිලාන්, ලසිත, සෝරෝ සහ මම වගේ තවත් ගොඩාක් දෙනෙක් එකතු වෙලා වෙලාව බෙදාගෙන තම තම හැකි පමණින් ඔයාලට විනෝදය සපයනවා.. ඒ වගේමයි දැනටමත් එක වරකට ලොව පුරා සිටින හිතවතුන් 50දෙනෙක් වගේ මෙය එකවර අහනවා... ඔහ් ආයෙත් පිට.. බනින්න හේතුවනේ කියන්න ඕන....


ඔන්න අද හවස තුන හමාරට විතර මම වැඩ වලින් මිරිකිලා හිර වෙලා ඉන්න වෙලාවේ පොප් හඬක් නංවමින් චැට් මැසේජ් එකක් ආවා.... ඒකෙ තිබ්බේ මෙහෙමයි...


අභියා.. ඊලඟ බෙල්ට් එක කරනවද? අනිත් උන් බිසී...


අමාරුයි බන්.. වැඩ හොඳටම....


මචන් 32ක් අහනවා... නවත්තන්න බෑ.. පිරිත් දාල හරි දුවන්න ඕන.. ඔෆිස් නම් ඉන්නේ කරපන්කෝ...


හරි එහෙනම් මම කරන්නම්... මොනවද ඕන....


බයිලා දාමු.. 4 ඉඳන් 6 වෙනකන්නේ...


ඔන්න ඉතින් කරගෙන ගිය වැඩේ අත ඇරලා රේඩියෝ එක දැම්මා.... ඔක්කොම ඕකේ කරලා.. අර ව්‍යාපාරික වැඩේට අදාල විද්‍යුත් ලිපියක් යවලා ගත්තානේ මගේ පාරිභෝගික මහත්තයාට දුරකථන ඇමතුමක්... එහා පැත්තේ පිළිතුර උනේ මෙන්න මේක...


හෙලෝ මිස්ට අභීත.. මම දැන් ගෙදර යන ගමන්, අපි හෙට උදේ කථා කරමු...


හරි නේ ඉතින්..... ඉතින් මුන්ට නොබැන මම වෙන මොනා කරන්නද? 


ඉතින් මේ අපේ අය මේ වගේ කැප කිරීමකින් කරන බස් රේඩියෝව අහන්න ඔයාලත් එන්න.... මෙන්න ලින්ක් එක... මේ දැන් ඉදන් අපිත් එක්ක එකතු වෙන්න.. සිංහල ලොව පුරා රැව් දෙන ඔන්ලයින් රේඩියෝව මෙන්න...



ප.ලි. මම දන්නවා අපේ උන්ගේ නම් ටිකක් මට දාන්න අමතක වුනා..ඒවා තරහා නැතුව කමෙන්ට් ඉදිහට දාපල්ලා මචන්.. ප්ලීස්...

Friday, June 10, 2011

දැනුම අත්දැකීම් සපිරි සුපිරි බ්ලොග් කිහිපයක් කියවන්න එන්න......

මේ දවස්වල අපි ගොඩාක් දෙනෙක් සිංහල බ්ලොග් ජනප්‍රිය කිරීමේ වෑයමක යෙදී ඉන්නවා.. පටන් ගත්තේ මාරයාගේ හෝරාව ලියන මාරයාගේ පෝස්ට් එකකින්... ඊට පස්සේ මගේ ලෝකයේ රංගත් මමත් ලිපි කිහිපයක් දැම්මා... බ්ලොග් අවකාශයේ දැවැන්ත කට්ටිය වෙන කතන්දර, දුකා වගේ අයගේ බ්ලොග් වලිනුත් අති මහත් සේවාවක් වෙන අතරේ ඇත්තටම අළුත් බ්ලොග් ගොඩාක් මේ බ්ලොග් අවකාශෙට එකතු වුනා.... පුරුද්දක් විදිහට බ්ලොග් කියවන ගොඩාක් දෙනා වෙනුවෙන් තමයි මම මේ ලියන්නේ.... ඉතින් ප්‍රමානයට වඩා ගුනාත්මක භාවය වටින නිසා තමන් මොනා හරි දන්න දෙයක් ගැන හොඳින් ලියන එක කෙරුනනම් හොදයි කියලා තමයි හිතෙන්නේ....


අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවනේ.... ටිකක් හිනාවෙන්න කියලා අනංමනං ලිය ලිය ඉන්න අතරේ මමත් පටන් ගත්තා දැනුම බෙදන බ්ලොග් දෙකක්... නරඹමු ශ්‍රී ලංකා තමයි එකක්... ඒ බ්ලොග් එකේම ඉංග්‍රීසි පරිවර්තනය තමයි Visit Sri Lanka. ඔන්න මගේ ඇඩ් ඉවරයි... ඊලඟට කියන්න යන්නේ මට අලුතින් කියවන්න ලැබුනු බ්ලොග් කිහිපයක්.... කවුරුත් තරහ වෙන්න එපා... මට හිතට අල්ලපු කිහිපයක් තමයි මේ කියන්නේ... අනිත් ඒවා හිතට ඇල්ලුවේ නැතුව නෙමෙයි, මේවා තමයි ටිකක් වැඩියෙන් හිතට ඇල්ලුවේ ඔන්න.... හරි පටන් ගමුකෝ.....

මේ බ්ලොග් එක ලියන්නේ මම හිතන විදිහට හෙද සේවයේ නිළධාරියෙක් හෝ නිළධාරිනියක්.... වැදගත් ලිපි මාලාවක්ම පසුගිය දිනවල පළ වුනා.... මමත් ඉතා උනන්දුවෙන් කියවපු සහ කියවන බ්ලොග් එකක්. නම තමයි සොඳුරු සුව අසපුව. මෙන්න ආයෙත් පාර.

ඊලඟට අනිත් එක..ඒ බ්ලොග් එකත් ඒ වගේමයි... පාරම්පරික වෙදකම නූතන පරපුරට ගැලපෙන ලෙස ලස්සනට වටහලා දෙන බ්ලොග් එකක්... අපිටත් ප්‍රයෝජනවත් ලිපියක් පහු ගිය ටිකේ පල උනේ ඔය... ලැජ්ජයිත් එක්ක... අපි හිතේ තියාගෙන ඉන්න ගොඩාක් රෝග ගැන කියන සහ ඒ සඳහා හේතු සාධක වගේම බෙහෙත් හේත් ගැනත් කියන මේ බ්ලොග් එකේ නම වෙද ගෙදර. මෙන්න මෙතනින් යන්න...

අහ්..මේ බ්ලොග් එක බටහිර වෛද්‍යවරියකගේ.. කලින් මාරයාත් පාර කියලා තිබුනා.... ලස්සන රචනා ශෛලියකින් හිතට වදින කථා කිහිපයක්ම පල කරලා තිබ්බා පහු ගිය දවසක.. අත්දැකීම් සහ උපකල්පිත සිදුවීම් එකතු කරලා ලියන දේවල් එක හුස්මට කියවන්න පුළුවන් කියලා මට බ්ලොග් යාළුවෙක් කීවා.. බ්ලොග් එකේ නම සිත් ආර... මෙන්න පාර.

අමුතු කෝණයකින් සමාජය දිහා බලන තවත් බ්ලොග් එකක් තමයි මේ... මේකට මට පාර කිවුවේ වැප් නිශාන්ත සහෝදරයා... සමාජයේ සමහර පැතිකඩවල් අපිට නොදැනෙන පැත්තකින් ලහිරු දකිනවා කියලා තමයි මට හිතෙන්නේ.. බ්ලොග් එකේ නම අකූ... මෙන්න ඒ සඳහා පාර.


මේක ගද්‍ය බ්ලොග් එකක්... කවිවලින් නොවුනත් මේ මලයත් ටිකක් යථාර්තය දකින්න මහන්සි වෙන හැඩක් පේන්නේ.... ඉතින් ඒක නිසා මට හිතෙන හැටියට හොද ගමනක් යන්න හැකියාවත් එක්ක මේ බ්ලොග් එක දියුනු වේවි..... බ්ලොග් එකේ නම රවීන් යසිතගේ මොන්ටිසෝරිය... ඒ සඳහා මෙන්න පාර...

කවුරුත් තරහා වෙන්න නම් එපා.... මේ මම මේ ලඟදි බලපු බ්ලොග් වලින් හොදට හිතට වැදුනු බ්ලොග් පහක්... මාසෙකට සැරයක් මේ වගේ ලිපියකුත් ලියන්නයි හිතාගෙන ඉන්නේ.... 

ඔයාලගේ බ්ලොග් වල ඇඩ් එක දාන්න දුන්නනේ පහුගිය ලිපියක.. අද කරන්න තියෙන්නේ වෙන වැඩක්.. තමන් වැඩියෙන් ආස කරන බ්ලොග් එකක ලින්ක් එකක් පහළ සටහන් කරන්න.. පුළුවන් තරම් වෙන කෙනෙක් සටහන් නොකරපු බ්ලොග් ලිපිනයක් සටහන් නොකරන්න වග බලාගන්න. 

ඔන්න එහෙනම් අදට ගියා.... මේ කතාවත් ටිකක් හිනා වෙන්න නෙවෙයි.

Tuesday, June 7, 2011

මටත් බලපාන නැන්දම්මා ලේලි සහ නෑනලා නෑනලා අර්බුදේ.....

ඊයේ දවස වෙද්දි මගේ විවාහ ජීවිතේට අවුරුදු හතරක් පිරුනා... කිසිම රන්ඩු සරුවල් නැතුව ගහ මරාගැනීම් නැතුව ගෙවුන මේ වසර හතරේ මට පොඩ්ඩක් හරි අනියමින් හරි බලපාපු ගැටළුවකට තිබ්බේ මේ නැන්දම්මා ලේලි ගැටළුව.... එහෙම නැත්නම් අපේ අක්කලා තුන් දෙනයි මගේ බිරිඳයි අතරෙ තිබ්බ සම්භන්ධතාවය පිළිබඳ ගැටලුවයි....


මම මෙහෙම ලිපි කීපයක් දැනට ලියලා තියෙනවා.... කීපයක් කීවට දෙකයි...එක තමයි


කසාදයක් බදිනවද? බුදු අම්මෝ මටනම් බෑ..... කියන එක...


අනික තමයි....


නවම් මචන්, ආයෙ ලියන්න එපා බන් මේ වගේ කතා... මේ කතාව ටිකක් හිනාවෙන්න නෙවෙයි.. කියන කතාව...


ඔය ඉහත කියන කතා දෙකේම දෙපැත්තක් තියෙනවා.... දෙවෙනි කතාවේ කමෙන්ට් එකක් විදිහට මුහුදු කොල්ලකාරයා මෙන්න මෙහෙම දාලා තියෙනවා...


අභීත - ඔතන තියෙන්නෙ එහා ඉවුරෙ තණකොළ කොළ පාටයි කතාව නේද? අපි හැමෝම හිතන්නෙ අපිට නැති දේ හොඳයි කියල. ගමේ ඉන්න අය කල්පනා කරන්නෙ නගරෙට එන්ඩ. නගරේ ඉන්න අය කල්පනා කරන්නෙ ගම ඊට හොඳයි කියල. අපි වගේ රටින් පිට ඉන්න එවුන් කල්පනා කරන්නෙ ලංකාව කොච්චර හොඳද කියල. නමුත් සැබෑ තත්වෙ කියන්නෙ නගරෙට ඇවිල්ල ලබාගන්න දේවල් ගමේ ඉඳන් ලබා ගන්නත් බෑ, රට ඇවිල්ල ලබා ගන්න දේවල් ලංකාවෙ ඉඳන් ලබාගන්නත් බෑ (බොහෝ වෙලාවට). නමුත් ඒ දේවල් ලබා ගත්තට පස්සේ අපිට තේරෙනව ඒවායේ හිතපු තරම් සතුටක් නෑ කියල. ඊට පස්සේ ඒ වෙනුවෙන් කරපු කැප කිරීම් ගැන දුක් වෙනව. උදේට නැගිටිද්දී රේඩියෝ එකේ පිරිත් යනව අහන්ඩ, අම්මගේ අතින් හදපු කෑම 3 වේලටම කන්ඩ, කිලෝ ගණන් රෙදි පොරවගන්නෙ නැතිව සැහැල්ලුවෙන් එලියට බැහැල ඇවිදගෙන යන්ඩ පෙරුම් පුරන තරම දන්නෙ අපි විතරයි. එත් ඉතින් ඒක තමා අපි ලබාගන්න දේවල් වෙනුවෙන් ගෙවන වන්දිය. අනේ මන්ද, කොමෙන්ට් ඒක පොස්ට් එකක් තරං ලොකු උනා. අභීත බොක්කට වැදෙන්ඩ ලියල තියෙනව. කියවපු ගමන් මටත් සිතිවිලි ගලාගෙන ආව.



ඉතින් ඔය උඩින් කියපු මාතෘකාවේ තියෙන සිද්ධිය සම්භන්ධ අත්දැකීමෙනුත් මට තියෙන්නෙ ඔන්න ඔය වගේ සිද්ධියක්....


මොකද දන්නවද? අපේ අම්මයි මගේ බිරිඳයි දෙන්නා හරිම එකතුයි.... දෙන්නා එකතු වෙන තැනදි මම තමයි තුන්වෙනි පාර්ශ්වය... ඉතින් හැම බැනුමක්ම, නෝන්ඩියක්ම, සවුත්තුවක්ම, අවවාදයක්ම, අනුශාසනාවක්ම මට තමයි... අන්න ඒ වෙලාවට මට හිතෙන්නේ අනේ බොහොමයක් තැන් වලදි වගේ මේ දෙන්නාට දෙන්නා මල පැනගෙන කෙහෙවලු පටලවාගෙන හිටියානම් කොච්චර ශෝයිද කියලා.....


අක්කලා සම්භන්ධෙනුත් මේ තත්වේ එහෙමමයි... අක්කලා තුන් දෙනයි මගේ බිරිඳයි එකතු උනාම නොකිය යුතු දේවලුත් කියනවනේ.. අන්න එතනදි තමයි ලෝක පූජිත මඩයටත් කට උත්තර නැතිවෙන්න මඩ පාරවල් දීලා සිංහයෙක් වගේ ඉන්න මමත්, බලු නොවටින ගානට වටින්නේ....  මම පොඩි කාලේ කරපු චාටර් වැඩ සහ තවත් අනන්මනන් සිද්ධි අක්කලා බිරිඳට කියනවා.. ඒ ඉතින් මෙයා ඒවා ආයුදයක් කර ගන්නෙ නැති බව දන්න නිසා... අම්මපා.. කවදහරි ඒවා ආයුදයක් කර ගත්තොත්... අන්න එදාට තමයි ඔයාලගෙ ටිකක් හිනාවෙන එකත් නවතින්නේ.....


දැන් මේ වැල් වටාරම් කිව්වේ වෙන මොකුත් කියන්න නෙමෙයි.... නැන්දම්මා හා ලේලි අතර පවතින අර්බුදය හා නෑනලා නෑනලා අතර පවතින අර්බුදෙත් දිගුකල් දිනේවා කියලා කියන්නයි.... අනේ මන්දා මටත් හිතෙන දේවල්......

Friday, June 3, 2011

වසන්ත අයියගේ ඉල කැඩෙන කතා.... එකක් නම් වැඩිහිටියන්ට පමණයි... 18++

පෝස්ට් එකට කලින් කියන්න ඕන මගේ නරඹමු ශ්‍රී ලංකා බ්ලොග් අඩවිය ක්‍රියාකාරී වුනා.... ඔයාලට සංචාරය හා සම්භන්ධ ප්‍රශ්ණ කමෙන්ට් විදිහට සඳහන් කරන්නත් මම ලියන සංචාරක ලිපි කියවන්නත් පුළුවන්.... එහෙනම් මෙන්න මෙතනින් කියවන්න පටන් ගන්න මේ පුංචි ලංකාවේ සුන්දර තැන් ගැන... සිංහල තේරෙන්නෙ නැති අය මෙතනින් යන්න.... හරි එහෙනම් කථාවට යමු...


ගිය සතියේ පොඩි සාදයකට සහභාගී උනා.... වාද්දුවේ තියෙන හෝටලේකට තමයි ගියේ..... අපේ පාසැලේ ආදි ශිෂ්‍ය සංගමේ කොළඹ ශාඛාවේ කමිටු රැස්වීම තමයි තිබ්බේ.... ඒක මෙදා සැරේ පැවැත්වුනේ සුහද හමුවක් විදිහටයි.... අවුරුදු 60 ඉදන් අවුරුදු 25 වෙනකම් අයියලා මල්ලිලා සහ ඔවුන්ගේ පවුල්වල අය ඇවිදින් හරිම විනෝදමත් කාලයක් ගත කරලා තමයි ගියේ... මේකේ වෙච්ච දේවල් ටිකක් හිනාවෙන්න එකේ කියන්න ගියොත් මාස ගානක් ලියන්න පුළුවන්.... ඉදලා හිටලා එහෙම කතාත් ලියමු ඉතින්.....


වසන්ත අයියා අපිට වඩා ගොඩක් ජේෂ්ඨයෙක්..අර්ධ රාජ්‍ය ආයතනයක ඉහළම නිළධාරියෙක්.... අපිත් එක්ක සෙට් වුන මරුම චරිතය තමයි වසන්ත අයියා.... මම වාසගමත් එක්ක කිව්වොත් ඔක්කොම "ආ මේ මෙයාද?" කියලා කියන තරමට රටේ ප්‍රසිද්ධයි... ඒ නිසා එයා ගැන මේ ඇති.... දන්නවනේ ඉතින් ඔය වගේ වෙලාවට එක එක හැඩයේ, එක එක වර්ගේ, එක එක නම් තියෙන බෝතල් ඇරෙනවනේ..... මෙතනත් ඒකෙ වෙනසක් උනේ නෑ.. අපි කීප දෙනෙක් එකකට වග කියමින් ඉද්දි තමයි මේ වසන්ත අයියා එතනට ආවේ... දැන් අපියි වසන්ත අයියයි අතර යන දෙබස මෙහෙමයි.... 



ආ වසන්ත අයියා.... එන්න .. එන්න.... පොඩ්ඩක් බොමු.. ආ..ගන්න ගන්න..


අරක්කු එපා...ටිකක් වැඩියි වගේ.... ඒත් ප්ලේන්ටිත් එපා.....


ආ.. ප්ලේන්ටි එපා.. මොකක්ද අයියේ ප්ලේන්ටි කතාව.....


ඔන්න වසන්ත අයියා රැල් බුරුල් ඇරලා පටන් ගත්තා කථාව කියන්න....


නෑ මල්ලි ඒක වුනේ මෙහෙමයි.. අපි කැම්පස් ඉන්න කාලේ තමයි මේ සිද්ධිය උනේ.. අපි දවසක් කැන්ටිමට ගිහින් ප්ලේන්ටි හතරක් ඉල්ලුවා... ගෙනත් තියපු වේටර් කොල්ලා ඒ ප්ලේන්ටි හතර ගෙනාවේ උගෙ ඇඟිලි හතරම තේ කෝප්ප හතර ඇතුලට වැටෙන විදිහට අල්ලගෙන....


ඌට දෙන්න එපායැ කන පැලෙන්න අයියේ... අපෙනුත් නොයෙක් ඇඩ් ඉතින්....


ඔව් මල්ලී..අපිත් ඕක දැක්ක.. ඒ මදිවට මිනිහගේ එක ඇගිල්ලක දදයකුත් තිබ්බා... අපේ එකෙකුට තද වෙලා ඌත් එක්ක ගහගන්න ගියා... ඒකත් මරුම සිද්ධියක් මල්ලි... මෙන්න මෙහෙමයි උන් දෙන්නගේ රණ්ඩුව...


මේ ඕයි මොකක්ද මේ කරපු අර ජරා වැඩේ.... බලනවා අර තමුසෙගේ අතේ තියෙන දදේ.... ඒක මොකටද මේ ප්ලේන්ටියට දාගෙන ආවේ....


අනේ නෑ සර්... මම ඒකට දොස්තර මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තා.. ඒ මහත්තයා කිව්වා පුළුවන් හැමවෙලාවෙම රස්නේ තැනක ඇගිල්ල තියාගෙන ඉන්න වග බලාගන්න කියලා.....


ඉතින් ඕයි ඒකද තමුසේ අපේ තේ එකට ඇගිල්ල දැම්මේ..ඔච්චර රස්නෙයක් ඕනනම් ගහගන්නවකෝ උඹේ ඔය ඇඟිල්ල *කේ....


නෑ සර් එතන තමයි ගහගෙන හිටියේ.... ඒත් ඉතින් මුදලාලි කිව්වනේ මෙතනට ප්ලේන්ටි හතරක් ගෙනත් දෙන්න කියලා......


හරි නේ ඉතින්...... අපිට ඉතින් සංසාරෙත් එපා වුනා හිනාවෙලා.. ටික වෙලාවක් ගිහින් වසන්ත අයියා තව කථාවක් පටන් ගත්තා.... 



දවසක් මල්ලි මම වැඩට යනවා.. පාරට ගිහින් වාහනේ එනකන් ඉන්න අතරෙදි ඇහෙනවා එක මනුස්සයෙක් තව මනුස්සයෙක් එක්ක තමන්ගේ බල්ලගේ පුරාජේරුව... ඉතින් වාහනේ එනකන් මමත් කන් දුන්නා.. වෙලාවට වාහනේ එන්න කලින් මුළු සිද්ධියම බලා ගන්න මට පුලුවන් උනා... ඒකත් මරු සිද්ධිය මල්ලි......


කියන්නකො අයියේ ඒකත්... ඔන්න ඉතින් අපෙන් පොරේ....


නෑ මල්ලි උන් දෙන්න මෙහෙම තමයි කතා උනේ... මට නම් මතක නෑ.. අපි ගමුකො අසේලයි නිශාන්තයි වගේ නම් දෙකක්... දැන් නිශාන්තගේ බල්ලා තමයි මේ පුරුදු පුහුණු වෙලා ඉන්නේ... අසේලයා තමයි කතාව අහන්නේ.... දෙබස මෙහෙමයි...


මිස්ට අසේල, බලන්නකො මගේ බල්ලා බ්ලැකේ... මම ඌව හොඳට පුරුදු කරලා තියෙන්නේ.. දැනුත් මේ ඌව ඇරියේ කඩේට මාළු ගේන්න...


අහ් ඇත්තද මිස්ට නිශාන්ත... අපේ බල්ල රොකීගේන්නම් කිසි වැඩක් නෑ.... ඌවත් පුරුදු කරන්න ඕන...


ඔව් ඔව් මිස්ට අසේල... බල්ලෙක් උනාම හොදට පුරුදු කරන්න ඕන ඕනනම් දැන් බලන්නකො අපේ බ්ලැකේ එනකම්...


මමත් ඒ පැත්ත බැලුවා මල්ලී.. පිස්සු සීන් එකක් තමයි දැක්කේ... ලස්සන හැඩ නෝනා කෙනෙකුත් බැල්ලියක් පටියකින් අල්ලගෙන පාරේ... අර මාළු ගේන බල්ලා බැල්ලි දැක්ක විතරයි මූට ගෙදරට එන එක අමතකයි. ඌ ඉතින් ගිහින් අර බැල්ලිගේ පිටේ නැගලා... බැල්ලිත් දුවගෙන එනවා බල්ලවත් පිට උඩ තියාගෙන... ඒ අස්සේ බැල්ලිගේ පටියෙන් අල්ලගෙන ඉන්න නෝනත් දුවගෙන එනවා ඒත් එක්ක.... ඕක දැකපු අර අසේල කියන පොරට හෙනම සතුටුයි..ඇයි මිස්ට නිශාන්තගෙයි උගේ බල්ලගෙයි දෙන්නගෙම පටි රෝල්නේ ඉතින්.... අසේල මහා සවුත්තු හඩකින් නිශාන්තට මෙහෙම කිව්වා.....


අයියෝ මිස්ට නිශාන්ත, අර බලන්නකෝ ඔයාගේ ට්‍රේන් කරපු බල්ල කරන වැඩේ.. මාළු ගේන්න ගිහින් ගෑණියෙකුත් හොයාගෙන එනවද කොහෙද?


මිස්ට නිශාන්ත බැලුවා... දැන් ඉතින් වස ලැජ්ජාව... මිනිහා ස්ථානෝචිත ප්‍රඥ්ඤාව පාවිච්චි කරලා මෙහෙමයි කිව්වේ.....


අයියෝ මිස්ට අසේල.. මම එහෙම තමයි ඌව පුරුදු කරලා තියෙන්නේ... අර බලන්න ඌත් කෙල්ලෙක් සෙට් කරගෙන මටත් කෙල්ලෙක් අරන් එනවා.. අන්න බල්ලෝ....


කොහොමද වැඩේ...? අන්න බල්ලෝ....

ප.ලි. -  උඩින් කොච්චර 18+ කියලා දාලා තිබ්බත් පොඩි දරුවෝ කියවන නිසා උපරිමේටම සැර බාල කරලා ලිව්වේ.... මතකනේ ඉතින් අපේ ඒ කාලේ....

Wednesday, June 1, 2011

මඩ ගැසීම නවතමි.. ඒත් ඉතින් කොහොමද එහෙම කරන්නේ..... දමින්ද මල්ලිගේ කථා ටිකත් කියන්න ඕනනේ......

ගිය සතියේ මම, මගේ ලෝකය ලියන රංග එහෙම නැත්නම් අසේල ගැන ලියපු ලිපියෙන් පස්සේ මිනිහා බොහෝම සිත් වේදනාවෙන් ඉන්නේ.. අඩුම ගානේ ඒ පෝස්ට් එක දැක්කා නොදැක්කා ගානට තමයි ඉන්නේ.... වෙනද මගේ පෝස්ට්වලට උඩ පැනගෙන කමෙන්ට් දාපු අසේල අයියා ඒ පෝස්ට් එක විතරක් දැක්කද නොදැක්කද කියලවත් හිතා ගන්න බෑ...ඒත් ඉතින් අසේල අයියගේ ඊයේ පෝස්ට් එක බැළුවම මට හිතුනා ඒ අයියා මේක බලලා කියලා.... ඉතින් මේ වගේ හේතු නිසා මට හිතුනා ආයෙ කිසිවෙකුට මඩ ගැසීම මේ බ්ලොග් එක හරහා නොකරමි කියලා.... ඔන්න ඔය වෙලාවේ තමයි අපේ දමින්ද මල්ලි මගේ කාර්යාලය පැත්තේ ඇවිත් තමන්ගේ අතීත කතා ටිකක් මට මතක් කරලම දීලා ගියේ.. ඉතින් කොහොමද මේවා ටයිප් නොකර ඉන්නේ.. අනිත් පැත්තට ඉතින් මඩක් නැති හිනාවත් දුර්ලභයි නොවැ..ඒක නිසා දමින්දගේ කතා ටිකත් ඔන්න ඔහෙ ලියලා දානවා කියලා හිතුවා.....


මම දන්නවා.... දැන් ඔයාලට ප්‍රශ්ණේ තියෙන්නේ කවුද මේ දමින්ද කියලනේ.... මෙයත් මාත් එක්ක ඉස්කෝලෙ බාලදක්ෂ කරපු මල්ලි කෙනෙක්... අර කලින් කතා සීරීස් එකකම හිටපු ජීවන්ත මල්ලි වගේ මෙයත් මගෙම මල්ලි කෙනෙක් වගේ... දුකට සැපට නිතර ඉන්න කොල්ලෙක්..ඒත් මඩක් ගහන්න තියෙනවනම් කොච්චර දුකට සැපට හිටියත් මොකද නේද? අර හෝටල් ගානේ එක්ක ගිහින් නිකන් කන්න බොන්න දීලා වෙරි වැඩි උනහම ගෙවල්වලටත් ගිහින් දාන අයියලාත් අපිට මෙහෙම සලකනකොට... නැද්ද මම අහන්නේ හා.......? හික් හික්...



කතා දෙකක් එක පාර දාන්නම්... නැත්නම් මට ලියන්න වෙන්නෙ මෙයා ගැන විතරයි.... දමින්දගේ පළවෙනි කතාව බොන කතාවක්..... 


තැන කුලියාපිටියේ නගරයේ තියෙන ප්‍රසිද්ධ මිශ්‍ර පාසැලක්.... මම අර රජයේ අමාත්‍යාංශෙක වැඩ කරන කාලේ අදාල අමාත්‍යාංශයෙන් සංවිධානය කරපු ප්‍රදර්ශනයක් සහ සැනකෙලියක් තිබ්බා.... අපි ඒකෙ රාජකාරි කරන අතරෙම දමින්ද මල්ලිලා ප්‍රදර්ශන කුටියක් කලා පරිසර හිතකාමීත්වය ගැන... හවසට මම කාර්යාල හිතවතුන් එක්ක පොඩි අඩියක් ගහන්න සෙට් වෙනවා... දමින්දත් ඉතින් ඕකට සෙට් වෙනවා... ඒත් දමින්ද අපේ කර්යාලවල ඉන්න මිනිස්සු තරම්ම බොන්න පුරුදු මිනිහෙක් නෙවෙයි..අදටත් එහෙමයි... ඉතින් අර ගල් අරක්කු කියන එක පානය නොකර අපි දෙන්නා ජින් කියලා බීමක් ගෙන්න ගත්තා... මූ ගැන දන්න නිසා දෙන්නටම ගෙනාවෙ කාල්ක් විතර.... ඒක බීලා පොඩි කික් එක ආවට පස්සේ මුට දැන් තවත් බොන්න හිත.... අර කාර්යාල මිතුරන් ගෙනාපු ගල් බෝතල් කිහිපයෙනුත් සට සට ගාල නැමුවා... මට තේරෙනවා මූට හොඳ ගනන්...ඒ අතරෙ අපි පොඩි කතාවකුත් දාගෙන ඉද්දි ගෑනු ලමයෙක් ගැනත් කිය වුනා.... ඒ ඉනෝකා කියලා අපේ කාර්යාලයේ වැඩ කරපු පොඩි ගැහැනු දැරිවියක්..දමින්ද දැකලා තිබුනෙත් එක දවසයි.... ඉතින් ඔහොම කතා කරලා බීමත් බීලා අපි සංගීත සංදර්ශනේ බලන්න ඇවිත් පඩි පෙලක උඩම පඩියේ ඉද ගත්තා....



ටිකකින් මට පේනවා කොල්ල බම්ප් වෙනවා වගේ.. මට තේරුනා මෙයා කාපු බීපුවා කටින්ම එලියට දාන්න හදන්නේ කියලා.... මෙයා ඒක එවෙලේ දැම්මානම් පහල පඩිවල හිටපු ඔක්කොගෙන්ම කන්නයි වෙන්නේ අමතක නොවෙන්න.. මම පට් ගාලා මිනිහාව වත්තන් කරගෙන පැත්තකට ගියා.... ගියා කිව්වට යන්න ලැබුනේ නෑ.... එත්නම තිබුනු අන්දර වැටට අමුතුම පැහැයක් එක් කරන්න ඔහු සමත් වුනා.... ඊට පස්සේ අදාල විදුහලේ ප්‍රධාන ශාලාවේ කොරිඩෝව දිගේ මම දමින්දව එක්ක ගියේ ඔවුන්ගේ වෙළඳ කුටිය දිහාවට.... ප්‍රධාන ශාලාවේ ප්‍රධාන දොරටුව ඉස්සරහත් දමින්ද, අපූරු පා පිස්සක් නිර්මානය කලේ කටින්මයි... උපයෝගී කර ගත්තෙ ඒ වෙලාවේ ඔහුගේ බඩේ තිබුන දේවල්.. බලන්න ලස්සනේ බෑ.. පාට පාට.....


අන්තිමට ඉතින් ඔවුන්ගේ කුටියට යද්දි දොර වහලා.... දැන් දමියාට තියෙන අමාරුවට කකුල් දෙක අස්සෙ ඔළුව ගහගෙන බිම ඉඳගෙනම දානවා.... මම ඉතින් පිට අත ගගා මිනිහගේ තනිවට ඉන්නවා..ඒ අතරේ අපි දෙන්නගේ දෙබස මෙහෙමයි......


දමියා...


ම්ම්ම්ම්ම්........


මොකෝ බන් මෙච්චර බිව්වේ.....


දැ.. දැ.. දැක්ක්ක්කේ න්න්න්නෑ..අයියේ......ද් දවස්.සටම.. ඕ........ක්....


මොකක්ද බන් දැක්කෙ නැත්තේ...


අර..ක්..ක්... කෙල්ල්ල්ල්ල්ල්ල කෙල්ල බ්..බන්...  ඕ...ක්.....


මේ මොන හතර බීරි කථාවක්ද? මට පිස්සු වගේ... ඇයි මූට මම දන්න කාලෙක කෙල්ලෙක් ඉඳල නෑ.....


මොන කෙල්ලද බන්... මම නොදන්න...


ඇයි බ්..බන්.. ඉන්.. නෝක්.... ඉනෝකා බන්.....


කිරි අප්පට බල්ලො පැනපි.. මූ බීලා තියෙන්නේ ජීවිතේටම එක පාරක් දැක්කෙ නැති කෙල්ලෙක් අද දැක්කෙ නෑ කියලනේ.. මේ සිද්ධිය නිසා කොල්ල අදටත් බයිට්....



දෙවෙනි කථාවත් ඒකෙම දෙවෙනි කොටසෙමයි... දමින්ද සහ පිරිස නිදාගත්තේ කුටිය ඇතුලෙ ගහපු කූඩාරමක... ඇතුලේ කොට්ට මෙට්ට ඔක්කොම තිබ්බා... ඉතින් මිනිහා එදා අර බැරි බැරි ගාතේ කූඩාරම ඇතුලට රිංගවලා මමත් ඉතින් මිනිහගේ තනියට ඒකෙම නිදා ගත්තා... මම පහුවදා උදේම නැගිටලා යනකොට මිනිහවත් අවදි කරලා ගියේ... ඒත් මනුස්සයා නැගිටලා තියෙන්නෙ පරක්කු වෙලා... කොහොමහරි මිනිහා ඇඳුම් අඳින්න කූඩාරම ඇතුලට ගිහින් එලියට එන ටිකට අදාල පාසලෙන් ඒ කුටියේ කටයුතු සඳහා ලබාදුන්න ගෑණු ලමයි දෙන්නෙකුත් ඇවිත්.. ඒ වෙලාවෙම තමයි මිනිහට මොකද වෙලා තියෙන්නෙ බලන්න මමත් එතනට ආවේ... දැන් නංගිලයි මගෙයි අතරෙ කතාබහා මෙහෙමයි යන්නේ....


ආ...අභීත අයියේ ගුඩ් මෝනින්ග්...


ගුඩ් මෝනින්ග් නංගි.. මොකද මේ එලියේ..... කෝ දමින්ද අයියා නැද්ද?


අනේ මන්දා අයියේ දමින්ද අයියා ටෙන්ට් එක ඇතුලේ වින්කලයක් දාලද කොහෙද? (කැකිරි සිනා)


අහ්.. ඒ මොකද?


දන්නේ නෑ..ඒක ඇතුලෙන් හුලං ගහන සද්දයක් එනවා... මොනවා කරනවද දන්නේ නැති නිසා අපි ඇතුලට ගියේ නෑ....


ඒ පාර මොන හෙන ගෙඩියක්ද කියලා මම ගියා බලන්න.. බලපුහාම මූ මුගේ සුවඳ විලවුන් බෝතලේ අරගෙන දෙනවා මුළු ටෙන්ට් එකෙ හැමතැනටම.. නැත්නම් කෙල්ලන්ට වමනේ ගඳ නෝන්ඩි වෙනවනේ....


අදටත් දමියා සුවඳ විලවුන් බෝතලයක් අපි ඉන්න තැන අතට ගත්තොත් ඉතින් බඩුම තමයි.......  


ප.ලි. - ස්තූතියි දමියා... උඹෙන් ඒ ලබපු කටු කෑමේ පන්නරයෙන් මම ගිය මාර්තු මාසෙත් ඒ වගේ සිදුවීමකට නොබියව මුහුන දුන්නා....