Meemure Jungle Resort

Sunday, March 25, 2012

සංගීතය බැරිව, සංගීතය නිසා ඉංජිනේරු පීඨයට ඇතුළු වෙන්න පුළුවන්ද?


මාතෘකාව දැක්ක ගමන් අඥ්ඥකොරොස් වෙලා යනවා නේද? නිකන් අයිසින් කේකුයි ලුණු මිරිසුයි වගේනේ... කිසිම ගැලපීමක් නෑ.... මීට දින කිහිපයකට කලින් මම විශාරද නීලා වික්‍රමසිංහයන් ගැන ලියූ ලිපිය කියවලා නිසූපා නංගිත් ඇය ගැන මතක සටහනක් ලියලා තිබුනා... ඉතින් ඒක කියවලා මේ කතා ටික මතක් උනේ.. මේ වගේ රස කතා කීපයක් ආපහු මතක් කරලා දුන්න එකටනම් සෑහෙන ස්තූතියි නිසූපා නගේ... පළවෙනි කතාව මගේ ඉස්කෝලේ සංගීත පංතියේ වෙච්ච  කථාවක්.... ප්‍රධාන කථාව වුනේ මගේ සුපුරුදු බෝඩිමේ...


ඉස්සර ඉස්කෝල කාලේ අපේ රැස්වීම තියෙන්නේ පිට්ටනියේ... උදේට ගිනි කන අව්ව... ඒත් සංගීත කණ්ඩායමේ උන් ටික පෝලිමක් ඉස්සරහා හෙවනේ ඉන්නවා ජාතික ගීය කියන්නයි, පාසැල් ගීය කියන්නයි... ඉතින් සංගීතය කරන උන් වැඩිය නෝන්ඩි නොවෙන්න ඔය පෝලිමට එකතු වෙනවා.. මොකද හෙවනනෙ උන් ඉන්නේ... ඔය බොරුව මාට්ටු වෙච්ච දවස තමයි සුපිරි... එක දවසක් පාසැල් ගීය කියන්න 100ක් විතර නැග්ගා පැවිලියන් එකට. ගුරු මන්ඩලෙත් ඉන්න නිසා ඉඩ මදි ඔක්කොටම.. එදා තමයි විදුහල්පති තුමාට තේරුනේ මොකක් හරි යටි කූට්ටු වැඩක් මෙතන තියෙනවා කියලා... සංගීත ගුරුතුමා දිහා බලපු විදුහල්පතිතුමා මෙහෙම ඇහුවා..


ඈ මිස්ට අබේසිංහ, ගායක කණ්ඩායමේ මෙච්චර සෙනගක් ඉන්නවද?


දැන් සර්ට වෙච්ච ලැජ්ජාව ගැන කියන්න දෙයක් නෑනේ... ආවා ගායක කණ්ඩායම ලඟට... නායකයා ලඟට ගිහින් කණට කරලා කිව්වා... ඌ විනාඩි දෙක යද්දි ඔෆිස් එකේ තිබ්බ පත වේවැලත් අරන් ආව... මූණ බලනවා ගහනවා දෙකක්... හොඳම වැඩේ කියන්නේ ගායක කණ්ඩායමේ උන්ටත් ගැසුවා... කොහොමද මුළු ඉස්කෝලෙම ඉස්සරහා ස්ටේජ් එකේ ඉඳන් කද්දි..... වාසනාව කියන්නේ එදා විතරයි මම ඔය ඉස්සරහා පේලියට නොගියේ....



ඒ කිව්වේ අනු කතාව.. මෙන්න ප්‍රධාන කථාව.. මේක සිද්ද වුනේ අපේ අර අමරණීය බෝඩිමේ.... ලුනා මතකනේ... ඔව් අංජාගේ අයියා තමයි.... අපි දවසක් ඔය අනන්මනන් ගැන කතා කර කර ඉන්නවා බෝඩිමේ.... දැන් මාතෘකාව කට්ටිය කැම්පස් සිලෙක්ට් වෙච්ච හැටි සහ භාහිර ක්‍රියාකාරකම් වලින් ලකුණු අරගෙන ගොඩ ගිය උන් ගැන..


උඹලා දන්නවද සංගීතෙන් ඉන්ජිනේරින් ගිය එකෙක් ගැන... එහෙම කිව්වේ ලුනා...


අනේ පලයන් බන් යන්න.. මියුසික් කරලා කොහොමද යකෝ ඉන්ජිනේරින් යන්නේ... දැන් අනික් උන් මූට වදේ ගහනවා..


නෑ බන් ඌ මියුසික් කලේ නෑ... ඌට මියුසික් කියලා මෙලෝ මඟුලකුත් බෑ.. ඒත් ඌ ඉන්ජිනේරින් ගියෙනම් මියුසික් නිසා.... අරූ අපේ කුතුහලේ වැඩි කරනවා....


අනේ පලයන් ලුනා... තොගේ තව බෙගලයක් තමයි ඔය... මේ ටෝක් දෙන්නේ පොඩ්ඩා....


නෑ බන්.. මමත් හිටියා අපේ ඔකෙස්ට්‍රා එකේ... සමස්ත ලංකා තරඟ තිබ්බ දවසේ එකෙක් ආවේ නෑ බන්... අපිත් එක්ක ගිය එකෙක් හිටියා උට මෙලෝ මලදානයක් බෑ.. මිස් කලේ කොම්බුවක් අතට දීලා ඌව කෙලවරෙන් හිටවලා කොම්බුව අල්ලපු එකාට තාලම්පට දීලා වැඩේ මැනේජ් කලා..


ඉතින් කොම්බුව අල්ලපු එකෙයි, කැම්පස් සම්බෙන්ධෙයි මොකක්ද බන්...


කරුමෙට අපි සමස්ත ලංකා පළවෙනියා උනා බන්... 


ඉතින්....


ඉතින් ##$% ඒකෙන් ලකුණු 10ක් හම්බෙනවනේ කැම්පස් යන්න... ෆිසිකල් තෙරිච්ච ඌ ලකුණු 10න් ඉන්ජිනේරින් ගියා... අර කැප වෙලා පන්ති කට් කරගෙන මියුසික් කරපු උන් තාම බෑන්ඩ් හදාගෙන දුක් විදිනවා අරහේ....


අනේ පලයන් ලුනා බොරු නොකියා....


කොහොමත් අංජා ඒ කථාව තහවුරු කල නිසා තමයි අපේ උන් කතාව පිළිගත්තේ...


පේනවනේ මිනිස්සුන්ගේ වාසනාව......               

Wednesday, March 21, 2012

සඳරූ මචන්........., සතුටු කඳුළු අතරින්, හිස් අහසට සුභම සුභ පැතුම්......


මම මූ ගැන ලියන දෙවෙනි දවස.. පළවෙනියට ලිව්වේ අර කෙල්ලෙක් සෙට් වෙච්ච හැටිනේ... අපේ බ්ලොග් අවකාශයේ වැඩිම දෙනෙක් කියවන හිස් අහස බ්ලොග් අඩවිය අද ඉතාම ලොකු ජයග්‍රහණයක් ලැබුවා.... "අසෙනිය කුසුම" සාහිත්‍ය උළෙලේදී, 


හොඳම බ්ලොග් අඩවිය
හොඳම පෞද්ගලික බ්ලොග් අඩවිය


කියන සම්මාන දෙකම හිමි කරගෙන ඉතා දිගු පිම්මක් පැන්න එකට සතුටින් තමයි මේ බ්ලොග් පෝස්ට් එක ලියවෙන්නේ...


ඔහු කියන විදිහට මිනිහා ඉන්නේ උතුරු වැව්ගම් පත්තුවේ... එක්තරා දවසක මටත්, සෝරෝටත්, බ්ලොග් පාඨිකාවක් වෙච්ච දීටත් අවස්ථාව ලැබුනා මොහුගේ ගම් පලාතෙ රස්තියාදුවක් ගහන්න... මේ මම ඔහු දැකපු හැටි සහ ඔහු හැඟුණ හැටි....


මිනිස්සු ගොඩාක් අවශ්‍යයි කියන මූලික සාධක ඔක්කොටම පයින් ගහලා, ගැමිකමයි මනුස්සකමයි විතරක් ඔළුවට අරගෙන ලොකු මහ මන්දිර ගැන නොසිතා එදා වේල කාල ඇඳලා ඉන්න මනස හදාගෙන ඉන්න සුපිරි කොල්ලෙක්.... "අඩෝ උඹ සුපිරියට ලියනවා" කියලා අපි කියද්දි, "මොනවද බන් එදිනෙදා වෙන ඒවා බන් ලියන්නේ" කියලා සරලව කියපු එකෙක්.... ඒ සරලකමනම් උපරිමයි මචන්... 


සඳරු, උඹට මතකද? අපි උඹලගේ ගෙදර දවස් දෙකක් හිටියා... ඒ දවස් දෙක ඇතුලේ උඹට සලකන්න පුළුවන් උපරිමේටම අපිට සලකපු හැටි... අලි බලන්න කැලේ එක්ක ගිය හැටි... උඹේ බ්ලොග් එකේ තියෙන උඹලගේ ගෙවල් පැත්තටම ආවේනික ඒවා අපිට කවලා පොවලා උඹ හැබෑ ආගන්තුක සත්කාරයක් අපිට ලබා දීලා උඹ තනියෙන් සතුටු වෙච්ච හැටි අපි දැක්කා....


උඹනම් හැබෑ දක්ෂයෙක් මචන්, කොළඹ ආපුහාම උඹට යන්න දෙන්නේ නැතුව තව දවසක් හරි තියාගන්න අපි උත්සහා කරන්නෙත් උඹේ ඒ දක්ශකමයි මනුස්සකමයි නිසා.. උඹ ගැන තව බොහෝ දේවල් ලියන්න පුළුවනි... වෙන්නේ පෝස්ට් එක දික්වෙන එක විතරයි.. 


එහෙනම් ලොක්කා... උඹේ තවත් ලිපියකින් ආයේ හම්බෙමු.. ඉස්සෙල්ලාම හමු වුන දවසේ මම උඹට කියපු කතාවම මම අදත් උඹට කියන්නම්....


"උඹ ඉන්න ඕන තැන මෙතන නෙවෙයි, තව ගොඩාක් ඉස්සරහා දුරක......"


සුභ පැතුම්... සඳරුවා... 7 වෙනිද සෙට් වෙමු එහෙනම් කොල්ලෝ..... 


ප.ලි. මේ දැන් ඌ ගැන අදහස් මේකේ දාලා උගේ බ්ලොග් එකේ සුභ පතන්න... 


ප.ප.ලි. අවුරුදු උත්සවේ වෙනවද හැබෑට....... මොකද මූට අම්පාරේ ඉඳන් ඇවිත් හැරිලා යන්න වෙයිද දන්නේ නෑ...

Monday, March 19, 2012

පෝලියෝ, පිළිකා පරදපු යකඩ හිතක් ඇති ගැහැණියක් දුටිමි......

ජීවිතයට ගත හැකි පාඩම් විවිධයි... අනෙක් අයගේ චරිත තුලින්... උදාහරනෙකට පිළිකාවක් පැරදවූ ලාන්ස් ආම්ස්ට්‍රෝං වැනි ක්‍රීඩකයින් ගන්න පුළුවන්.. ඒ වගේම සිත එඩිතර කාන්තාවන් භයානක රෝග පරදවා ජය ගන්නවානම් එය අපේ ජීවිතවලටත් ඒ වගේම සංවේදී කාන්තා සිත්වලටත් ඉතා හොඳ පිටු වහලක් වෙන නිසා මම මේ කතාව අකුරු කරන්න හිතුවා....


දවස, මීට සති දෙකකට විතර කළින් දවසක්... තැන මගේ කාර්‍යාලය... අපි අපේ පාඩුවේ වැඩේ කරගෙන යද්දි එකපාරටම මගේ කාර්යාල සගයා වෙච්ච සෝරෝ මෙහෙම කිව්වා....


අභීත අයියා.... සිරා වැඩක් තියෙනවා යමුද?


මොකක්ද?


ඉන්න මම ලිංක් එක එවන්නම්...


හැරෙන තපෑලෙන්ම ලින්ක් එක එව්වා මිනිහා මට... ඒකේ සටහන්ව තිබුනේ ලංකාවේ සිටින ඉතා ප්‍රවීණ ගායිකාවක් වන විශාරද නීලා වික්‍රමසිංහයන්ගේ මාස්ටර් සර් ප්‍රසංගය මාර්තු 17වන දින නෙළුම් පොකුන රඟහලේදී පැවැත්වෙන භවයි.... ඒ වගෙම එහි තිබ්බ දුරකථනයකට කතා කලොත් එහි ප්‍රවේශපත්‍ර නොමිලයේ ලබා ගන්න පුළුවන් කියලා තිබ්බා... අපි ඉතින් පටස් ගාලා කථා කරලා ප්‍රවේශ පත්‍ර වෙන් කරගත්තා.... මොන වැඩ තියාගත්තත් එදාට යන්නත් අපි අමතක කලේ නෑ... මමත් මගේ ප්‍රිය බිරිඳත්, මගේ මරණයත්, ජේඩීත්, වාසලත්, තුශාර රවීන්ද්‍රත් (රවා) එදා ඇවිත් හිටියා... තංගල්ලේ ගොසින් සිටපු නිසා සෝරෝට මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබුනේ නෑ....


මේ තියෙන්නේ ඒ දැන්වීම....




නීලා වික්‍රමසිංහ කියපු ගමන් අපේ මතකෙට නැගෙන ගීත රාශියක් තියෙනවනේ.. මගේ ලොකු පුංචි මාව නලවපු කාලේ කියපු සිංදුවක් තියෙනවා.... ඒක තමයි මට නීලා වික්‍රමසිංහයන්ගේ ගීත වලින් කලින්ම සිහියට එන්නේ.... මෙන්න බලන්නකො මට කළින්ම මතකෙට එන විශාරද නීලා වික්‍රමසිංහයන්ගේ ගීත ටික....


1. පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ.....
2. බෝධියේ.. විහාරයේ.. පිදූ පියුම් වැනි වූ.....
3. වියෝ ගී ගැයෙනා හදේ.....
4. රහසේ හඬනා අප පැතුම්... (ක්ලැරන්ස් සමඟ.. මේකනම් ඉතින්..)
5. පාලොස්වක සඳ (පණ්ඩිත් අමරදේවයන් සම්ඟ.)
6. තුන් සිත දැහැන් ගත වෙනා... (කමල් සමග.)
7. හිරුට අයිති බව හිරු පවසනවා...
8. දුවෙක් සිටියානම්..... (මේක එන්න ඕන තුන්වෙනියට විතර.)


මේ තමයි ලිස්ට් එකේ උඩම ඉන්නේ.... තව පෝලිමක් ලිව්වෑකි... ඒත් ඉතින් පෝස්ට් එක ඉවර කරන්නත් එපායැ... ගොඩාක් ගායක ගායිකාවන් තමන්ගේ ඒක පුද්ගල ගී ප්‍රසංග වල ගායනා කරන්නේ උපරිම සිංදු 20යි.. ඇය ඇගේ රසිකයින් වෙනුවෙන් ගීත 37ක් ගායනා කලා... අවසානයේ තව ගීත කොටස් 6ක් විතරත් ගායනා කලා.. පැය 5ක ප්‍රසංගයක සජීවී අත් දැකීමක් වින්දමයි මම.. ඉදිරියටත් විඳින්නේ නැතිවෙයි.. ඒ ඇගේ මනුස්සකම.... ඒ මනුස්සකමටත් එහා ගිය හැකියාව.. පොඩ්ඩක් හිතලා බලන්න.. විවිධ වූ ස්වර පරාස ගොඩාක් ඇතුලේ ලියවෙච්ච සින්දු 36ක් පැය 5ක් තිස්සේ එක දිගට ගායනා කරලා අවසානයට මාස්ටර් සර් ගීතය ගයන්න කොපමණ නම් හැකියාවක් ඇය සතුව ඇතිද?


ඔබ කවුරුත් දන්නා පරිදි ඇය පෝලියො රෝගියෙක්... 1989 වසරේ ඇය පෝලියො රෝගයෙන් කුඩා දරුවන් බේරා ගැනීම සදහා දැන්වීමකටත් පෙනී සිටියා... 1994 වෙද්දි අපේ රට පෝලියෝ වලින් මිදිච්ච රටක් වෙන්නට ඇයගේ දායකත්වයත් බෙහෙවින් බලපෑ හැටි ගැන ඔබට අවබෝධයක් ඇති.... ඒ වගේමයි පෝලියෝ රෝගය ඇයගේ ජීවිතයට බාධාවක් කර නොගෙන ඇය අපිට ගැයුවා.. ඇය ඉතාමත් ප්‍රවීණ ගායිකාවක් වුනා... පෙලියෝ රෝගයට පයින් ගැසූ ඇය තමන්ගේ අනාගතය ඉතා හොඳින් හා දැඩි සිත විවර කරගෙන ඇගේ ගමන ආවා...


පහුගිය අවුරුද්දේ ඇය බිලි ගත්ත තවත් මාරාන්තික ලෙඩක් තිබුනා..ඒ තමයි ඇය ගොදුරු වුනා පිළිකාවකට. ඇගේම වචන වලින් කිව්වොත් ඇය මරණයේ දොරකඩට ගොස් යළිත් ආවා.. වෛද්‍යවරුන් මෙන්ම හිතවතුන්ගේ සහායෙන් සහ ඇගේ සිතේ ශක්තියෙන් ඇය පිළිකා මාරයාවත් පරාද කරලා ඇවිත් අද අප වෙනුවෙන් ගී ගයනවා.. ඒ අතරෙම "ද මදර්" සංවිධානය පිහිටුවාගෙන අසරණ වුන කලා කරුවන්ට මහත් වූ සේවයක් කරනවා... ඒ වගේමයි.. ඉදිරියටත් අපේ රටේ මහ ජනතාවට ඇගේ හඬ රස සාගරයක් වේවි... ඇගේ සමාජ සුභ සාධන කටයුතු වල හයිය අපේ මිනිස්සුන්ට ලොකු පිට කොන්දක් වේවි... 


ඒ නිසා මැතිණියනි.. ඔබට දීර්ඝායු වේවා.....


ප.ලි. අනේ මට පෝලියෝ, අනේ මට පිළිකා කියමින් පසුබාන හා අනුකම්පාව දිනාගන්න උත්සාහ කරන හැමට සේම, අභියෝග ජය ගැනීම ගැන කට මැත දොඩන සහ ඒ සඳහා විදේශ චරිත මවාපාන අයගේ  දෑස්,  ලංකාවේ සිටින, මෙවන් චරිත ගැන විවර වේවා... 


ප.ප.ලි... මම 8 වෙනියට දාලා තියෙන දුවෙක් සිටියානම් ගීතයේ අන්තර්ජාල සබැඳියක් ලබා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් මම ස්තූති වන්ත වෙනවා...


Friday, March 16, 2012

පාසල් කාලය.. කාටද අමතක කරන්න පුළුවන්.... කියවමු එහෙනම් මේක.... කට කොනට හිනා එන්නේ ඇයි මේ....? II


දවස් කීපයකට ඉහතදි ලියපු පාසැල් කාලයේ මතක සටහන් වල දෙවෙනි ලිපිය අරන් තමයි අද ආවේ.. ඒ ලිපියෙත් කියපු අමිල මල්ලිගේ මූණු පොතේ තිබ්බ ඇල්බම් එකෙන් තමයි තවත් පාරක් ඉස්කෝලේ ගියා වගේ හැඟීමක් ඇවිත් ඒ කාලේ මිහිරි මතකයන් ඇවිස්සිලා ආවේ... ගිය සැරේ ලිව්වේ අපේ ඉස්කෝලේ රසබර මතකයන් හා මුසු වෙච්ච පුද්ගලයෝ ගැනනේ.. අද ලියන්නේ මේ ඡායාරූප  එක්කම ඔළුවට ආපු ක්‍රියාකාරකම් කිහිපයක්.... කලින් ලිපිය කියවද්දි මම කිව්වනේ සිනා නොවී කියවන්න කියලා පුළුවන්නම්.. අද එහෙම කියන්නේ නෑ.. අද අනිවා හිනා යනවා.. ඒක වලක්වන්න බෑ.. ක්‍රීඩා උත්සවය දවස්වලට බූලා සර් දාන ඇඩ් ගැන මම මේ ලියලා තියෙනවනේ.. හරි කථා වලට යමු.....


මෙන්න පළවෙණි පිංතූරේ...




අපේ ඉස්කෝලේ නිවාස හතරයි... තිස්ස, පරාක්‍රම, රාජසිංහ, ගැමුණු.. මම හිටියේ තිස්ස නිවාසේ... ස්පෝට් මීට් එකේ නියමම අංගය තමයි මේ හවුස් එක හදන එක.... රටේ තියෙන කෝටුකෑලි, පිදුරු, කිතුල් රෑන්, ක්‍රෝටන් කොළ ඔක්කොම ගේනවා ඉතින්.. පුවක් කොටන් කපාගෙන ලොරිවල දාලා එන වෙලාවේ ඉඳලා සතියක් විතර යනකන් ඉස්කෝලේ පංතියේ ඉගෙන ගන්න එකනම් සදා බොරුවක්... අනික තමයි හොඳම හවුස් එකට හම්බෙන්නේ පත සයිස් කේක් එකක්... ඔය කේක් එක කන්න කට්ටිය මැරෙන පිළිවෙල තමයි මේ.... ස්පෝට් මීට් එකට මාසෙකට කලින් අයිති කාරයෝ රට ඉන්න, කොළඹ ඉන්න, වතුවල තියෙන පුවක් ගස් නෝට් කරගැනීම තමයි ලොකුම රාජකාරිය.... ඊට පස්සේ ලොරියක් අඩුවට හොයාගෙන කොල්ලො 20ක් විතර නැගලා යනවා වත්තට... විනාඩි 10ක් යද්දි පුවක් ගස් කීපයක්ම ලොරියේ..... කට්ටිය හැරෙන තැපෑලෙන් ඉස්කෝලේ.... ඉඩම් අයිති කාරයෝ සරම් ඇදන් පොලු අරන් එන්න රෙඩි වෙද්දි ගහක් කපපු සලකුනක්වත් ඉතිරි නොකර කොල්ලෝ මාරුවෙනවා... ඊට පස්සේ පිදුරු.. එවානම් හොයන්න ලොකු අමාරුවක් නෑ... අන්තිම දවස් දෙකේ රෑ එලිවෙනකම් ඉස්කෝලේ තමයි වැඩ.. මේ ඉස්කෝලේ ඉන්න දවස්වල තමයි ගොඩාක් කොල්ලොන්ගේ චරිතෙට හානි වෙන්නේ.. ජීවිතේ ඉස්සෙල්ලාම සිගරට් එකක් බොන්නේ, අරක්කු ජුංඩක් බොන්නේ මේ දවස්වලට තමයි... පිදුරු ගොඩවල් ගානේ, හට් අස්සේ සර්ලාට පේන්නේ නැතිවෙන්න තමයි මේවා වෙන්නේ.. අහ්.. ඇයි ක්‍රෝටන් කොළ හොයන එක... මහ රෑ තිස්සේ ගෙවල්වලට පැන පැන තමයි මේවා අරන් එන්නේ.. එන ගමන් මල් පෝච්චියක් එහෙමත් මාරු කරලා එන්න අමතක කරන්නෙත් නෑ.. කනතුවල තියෙන මල් වඩම් එහෙමත් සමහර ගෙවල්වල දොරවල් ඉස්සරහාට යන්නෙත් මේ දවස්වලට.... තව ඉතින් කතා ගොඩායි... එහෙම උනොත් ලියන්න වෙන්නේ මේවා විතරයි...


මෙන්න ඡායාරූප අංක දෙක




පෙරඩ් එක.... ස්පෝට්මීට් එකට සති තුනක් විතර ඉඳන් කකුල් කඩාන ගුටි කමින් පුහුණු වෙන එක තමයි මේ... මම පිට පිට අවුරුදු පහක් නියෝජනය කලා තිස්ස හවුස් පෙරඩ් එක... කොහොමත් මේකෙදි කෙඩෙට්ලටයි, ස්කවුට්ලටයි ගැලවෙන්න වෙන්නේ නෑ.. පුරුදු කිරීමත් එයාලටමයි භාර දෙන්නේ.... අමතක කරන්න හොඳ නැතිම කාරණේ තමයි මෙහි ජයග්‍රාහකයින්ටත් ලැබෙන්නේ තඩිම තඩි කේක් එකක්... කකුල් වල දිය පට්ට දාගෙන වම දකුණ වම, එහෙම නැත්නම් එක දෙක තුන එක, වගේ ඒවාට අවනත වෙවී මරාගෙන මැරිලා වගේ තමයි අන්තිම දවසේ මේ පෙරඩ් එකට ඉන්නේ... ප්‍රැක්ටිස් කරන දවස්වල වගේ නෙවෙයි, එදාට කොලේජ් ටයි එක දාලා කිට මරලා බෑන්ඩ් එකේ බේස් එකේ බීට් එකට අඩිය තියද්දි එනවා නිකන් මයිල් ඉස්මයිල් වෙන ගැම්මක් හිතට.... ඒ අතරේ කේක් එකත් ආවොත් ඉතින් බඩුම තමයි....


මෙන්න ඡායාරූප අංක තුන..





ඉස්කෝලේ කාලෙටම ක්‍රීඩා උත්සවය දවසේ සහභාගී වෙන්න බැරිවෙච්ච එකම අංගය තමයි මේ.... අපි ගියානම් කඹේට තමයි ගන්නේ.... බර ඉසිලීම, රගර්, ක්‍රීඩා වලට යොමු වුන දැවැන්තයෝ තමයි මේකට සෙට් වෙන්නේ... හැබැයි ඉතින් මදි නොකියන්න චියර් එකනම් හම්බෙනවා අපෙන්.... ඔය ලා නිල් පාට කියන්නේ තිස්ස හවුස් එකේ පාට.. මේ පාරත් කඹේ දිනලා තිබ්බේ ඔවුන් තමයි.. මේක දිනුවොත් ඒත් හම්බෙන්නෙ පත සයිස් කේක් එකක්.... ඊලඟට කියන්න යන කතාව ක්‍රීඩා උත්සවේට සම්භන්ධ නැති නිසා මේකත් කියන්න ඕන.. අපි අවුට් වෙච්ච අවුරුද්දේ ඒ කියන්නේ නිවාසයේ අපි නිලතල දරපු අවුරුද්දේ ඔය කියපු කේක් තුනම හිමි වුනේ තිස්ස නිවාසෙට... ඊට අමතරව සහාය දිවීමේ ශූරතාවයට හිමි කේක් එකත් ආවා... කට්ටිය කොහොම කන්න ඇතිද ඉතින්.....


මේ තියෙන්නේ ඡායාරූප අංක හතර





මේ තියෙන්නේ අපේ පෙරදිග තූර්‍ය වාදක කණ්ඩායම, මට මේකේ සාමාජිකයෙක් වෙලා ඉන්න ලැබුනේ මාස දෙකයි... එහෙම වෙන්න හේතුවත් බ්ලොග් පෝස්ට් එකකින්ම දාන්න වෙනවා.... කථාව මේක නෙවෙයි... හැම පෙබරවාරි හතර වෙනිදාම කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන නිදහස් උත්සවේට කුරුණෑගල නගරයේ තියෙන හැම පාසලකින්ම බෑන්ඩ් එකක් සහ පෙරඩ් එකක් සහභාගී වෙනවා.. සාමාන්‍ය ජාතික දින උළෙලෙකින් පසු ඒ ආපු හැම විද්‍යාලයේම තූර්‍ය වාදක කණ්ඩායම් වලින් සංදර්ශන පැවැත්වෙනවා.... ඕකට යන්නෙත් එන්නෙත් පාර දිගේ අත් සැහැල්ලුවෙන් ස්ටෙප් එකට බෑන්ඩ් එකත් එක්ක.... අපේ ඉස්කෝලෙන් මේකට කණ්ඩායම් දෙකක් සහභාගී වෙනවා... ඒ කැඩෙට් බෑන්ඩ් එකත් එක්ක ශිෂ්‍ය භටයෝ, අනෙක අපරදිග තූර්‍ය වාදක කණ්ඩායමත් එක්ක ශිෂ්‍ය නායකයෝ.. මම නියෝජනය කලේ දෙවෙනි පෙරඩ් එක....



දැන් මේ කටයුත්ත ඉවර වෙලා අපි ඉස්කෝලෙට යන්න සූදානම් වෙලා ඉද්දිම මලියදේව බාලිකාවේ බෑන්ඩ් එකයි පෙරඩ් එකයි පිටත් උනා.... ඒ එක්කම මලියදේව පෙරදිග තූර්‍ය වාදක කණ්ඩායම පිටත් උනා..  ශිෂ්‍ය  භටයො සූදානම් වෙලා නොහිටපු නිසා ශිෂ්‍ය නායක පෙරඩ් එක මෙයාලත් එක්ක පිටත් උනා.. මලියදේව බාලිකාවේ පෙරඩ් එක අපිට ඉස්සරහින් යනවා කියලා දන්න නිසා බෑන්ඩ් එක ෆාස්ට් නම්බර්ස් ගහගෙන පන්නනවා... හරියටම කුරුණෑගල ටව්න් එකේ ඔරලෝසු කණුව ලඟදි අපි දැම්ම ඒ පෙරඩ් එක ඇතුලෙන්... ඔරලෝසු කණුව ලඟ හන්දියෙන් අපි හැරෙනව දකුනට.. බාලිකාවෝ යන්නේ කෙලින්ම.... දැන් හිතන්නකෝ කෙළින්ම යන බෑන්ඩ් එකක් මැද්දෙන් තව බැන්ඩ් එකකුයි පෙරඩ් එකයි ගිහින් දකුණට හරවපුහාම අර කෙළින් යන කණ්ඩායමට වෙන දේ..... කොල්ලන්ට අවුලක් නෑ.. උන් දන්නේ නෑ වගේ ස්ටෙප් එක කඩා ගන්නේ නැතුව ගල් ගිල්ලා වගෙ ගියා... අර බෑන්ඩ් එකේ පේලි, බීට් අරවා මේවා ඔක්කොම අනාතයි.... දැන් නම් ඒවා මතක් වෙද්දි උන් පව් කියලත් හිතෙනවා...  කොහොමත් ඒ කණ්ඩායම් වල ඉන්නෙත් අපිත් එක්කම අමතර පංති යන කෙල්ලෝ නිසා මාස තුනක් විතර යනකන් බැනුම්නම් අහනවා උන්ගෙන් ලෙසටම... 


ප.ලි. : හෙට තියෙනවා වාද්දූවෙ කොළඹ ආදි ශිෂ්‍ය කණ්ඩායමේ සුහද හමුව.... 24 වෙනිදා බිග් මැච් යන්නත් ඕන.... ගෙදරින් එළවයිද මන්දා..... :D

Friday, March 9, 2012

පාසල් කාලය.. කාටද අමතක කරන්න පුළුවන්.... කියවමු එහෙනම් මේක.... කට කොනට හිනා එන්නේ ඇයි මේ....?


ජීවිතේ සුන්දරම සමයනේ පාසල් කාලය... ඒක තරම් මතකයන් තියෙන කාලයක් අපි කාටවත් තියෙයි කියලා හිතන්න බෑ....ඒවා මතක් වෙලා නේද ඔය කට කොනට හිනාවක් එන්නේ... මතකද ඒ කාලේ කරපු ඒවා.... හිනා වෙන්නේ නැතුව පුළුවන්නම් මේ ලිපිය කියවන්න.. ඒ කියන්නේ මගේ දේවල් වලට හිනාවෙන්න කියලා නෙවෙයි.. මේවා කියවද්දි මතක් වෙන ඔයාලගේ මතකයන් වලට හිනා නොවී කියවන්න.... එහෙම කියවපු කෙනෙක් ඉන්නවානම් යටින් කියන්න මට හිනා ගියේ නෑ ඒ කාලේ මතක් වෙලා කියලා.....


මොකෝ මේ හදිස්සියේම පාසැල් කාලය මතකෙට ආවේ කියලා හිතුනාද? පහුගිය දවසක අපේ ක්‍රීඩා උත්සවය තිබුනා.... මූණු පොතට ආවා අපූරු ඇල්බම් එකක් ඒකේ... අමිල මෛත්‍රී කියන සුපිරි ඡායාරූප ශිල්පියා (අපිටනම් අමිල මල්ලී) තමයි මේක අයිතිකරු... මේ ඇල්බම් එක බලන අපි අනික් උනුයි දාපු කමෙන්ට් දැක්කම හිත පාසල් කාලෙට ඇදිලා ගිය එක අහන්නත් දෙයක්ද? ඒකේ තියෙන ෆොටෝස් එක්කම මේ බ්ලොග් ලිපිය ලියන්න මම අමිලගෙන් අවසර ගද්දි දෙවරක් නොසිතාම අවසර දුන්න එකට උඹට බොහොම ස්තූතියි අමිල මල්ලි....


මෙන්න පළවෙනි ෆොටෝ එක....




මලියදේවය සරසපු ගුරු මෑණිවරු සිව් දෙනෙක්..... මේ හතර දෙනාගෙම පුතාලා හය දෙනාම මලියදේවේම ශිෂ්‍ය නායකයො.... වම් පැත්තේ කෙළවරේම ඉන්නේ ගුණතිලක මැඩම්.. ප්‍රාථමිකෙට ආවේ. එතකොට යන්තම් ප්‍රාථමිකෙ පාස් වෙලා හිංදා ඒ මැඩම් ගෙන් ගුටි කාලා නෑ.. ඊලඟට ඉන්නේ ධර්මරත්න මැඩම්.. පහ වසරේ පංතිභාර මැඩම්.. ගහන්නේ නෑ.. අව්වේ හිටවන්නේ.... පළවෙනියටම කොපි කරපු දවසෙම මාට්ටු වෙලා චිත්‍ර කාමරේ ලඟ කොට්ටම්බා ගහ පාමුළ විනාඩි 20ක් හිටගෙන හිටියා.... ඊලඟට ඉන්නේ 10 සහ 11 වසරවල සමාජ අධ්‍යයනය උගන්නපු මැඩම්... මේ මැඩම් ගෙන් තමයි හොර අත්සන් ගහලා ගුටි කෑවේ අර.... මගේ අම්මා නිසා ඉස්කෝලෙදි ගහලා ඇවිත් ආයේ ගෙදරදිත් ගහනවා.... ඊලඟට ඉන්නේ ශ්‍රීමතී මැඩම්.. 9 වසරේ සමාජ අධ්‍යයනේ ඉගැන්නුවේ මට.... මේ මැඩම්ට කොල්ලෝ දාලා තියපු නම කියලා කෑ ගැහුවා කියලා අපි ඔක්කොටම ලෙසට නෙළුවා ඔෆිස් එකේ තිබ්බ පත වේවැලක් ගෙනල්ලා....


මෙන්න දෙවෙනි ෆොටෝ එක....





කවුද මේ ඉන්නේ.. ආනන්ද පීරිස් සර්.... ඒ කාලෙනම් හරිම හැඩ කොල්ලා... මගේ 10 වසර 11 වසර දෙකේම පංති භාර... ඉගැන්නුවේ ඉංග්‍රීසි..... ආයේ ඉතින් මනමාලකමනම් ඒ කාලේ ඉඳලම... අපේ ඉතාම හොඳ යාළුවෙක්.. හැබැයි තරහා ගියාම යකෙක්.... වැඩි පුරම කියන්නේ " ගත්තහම " කියන වචනේ.. මල පැන්නම ඒක දෙකෙන් වැඩි වෙනවා...  "තොපිට උගන්නලා වැඩක් නෑ.. මම යනවා යන්න ගත්තහම...... වෙන පංතියක් ඉල්ලගෙන මෙන්ඩිස් සර්ට කියලා" කියන එක සර්ට තරහ ගිහින් කියන්නේ මෙහෙම... " තොපිට ගත්තහම උගන්නලා වැඩක් නෑ ගත්තහම මම යනවා ගත්තහම වෙන පංතියක් ඉල්ලගෙන ගත්තහම මෙන්ඩිස් සර්ට කියලා ගත්තහම" කොල්ලො ඉතින් පීරියඩ් එකේ අන්තිම විනාඩි පහේ කොහොමහරි සර්ව තරහ ගස්සනවා ඔය ටික අහගන්න.... අපරාදේ කියන්න බෑ කොල්ලන්ගේ ලව් වලට එහෙම පට්ට සපෝට්.. සර් අහලා කරලා දෙන්නේ..... 


මෙන්න තුන්වෙනි ෆොටෝ එක......



මේ ඉන්නේ ජයසිංහ සර්... මලියදේවෙට තමන්ගේ අම්මට වගේ ආදරය කරපු සර් කෙනෙක්... ඉස්කෝලේම බයයි... ඉගැන්නුවේ පීටී.... විනය පාලක මණ්ඩලයෙත් හිටියා... ස්පෝට් මීට් එකේ රියසල් වැරදිලා ගහපු කණේ පාර තවම කූං ගානවා සර්.... ඕනෑම කරදරේකින් අපිව බේරගන්න ඉදිරිපත් වෙනවා හැබැයි ඇත්ත කියන්න ඕන... අහ්.. වැවේ නාන්න ගිහින් මාට්ටු වෙච්ච වෙලේ හිනා වෙලා ගිය එකත් මට අද වගේ මතකයි සර්....

මෙන්න හතරවෙනි ෆොටෝ එක....


මේ ඉන්නේ පාදෙනිය මැඩම්.. අපේ කාලේ ඉඳලා අද වෙනකම් ඕන කෙනෙක් ගෙන් ඔයාල ආදරේම සහ ඒ වගේම භය ටීචර් කවුද කියලා ඇහුවොත් උත්තර දෙකක් නෑ..ඒ පාදෙනිය මැඩම්...  ඒ වගේමයි වර්ථමාන මලියදේවයෝ චෙස් වලින් ගේන අන්තර්ජාතික ජයග්‍රහනවල මුල් පුරුක තමයි මේ.... පාදෙනිය මැඩම් ගැන පොතක් ලිව්වෑකි..එච්චර රස කතා තියෙන්නේ.... මැඩම් කියවනවානම් තරහා වෙන්න එපා.. මේ කතාවනම් කියවන අයට නොකියාම බෑ.... වෙනම ඡේදෙකින්ම පටන් ගන්නම්....

මැඩම්ගේ තියෙන ආතල්ම ගතිය තමයි ඉක්මනින් කලබල වෙන එක.. කොරහටත් අත ඔබන්න බැරි තරමට කලබලයි.. ඉන්නේ දුවෙකුයි පුතුකුයි.... දවසක් මැඩම් ගෙදර ඉද්දි මැඩම්ගේ රට හිටපු මල්ලි නොදන්වාම ගෙදර එනවා... ඒක දැක්ක පොඩි උන් දෙන්නා "අන්න චූටි මාමා එනවා" කියාගෙන ගිහින් දණ ගහලා වැන්දා.... මල්ලි දැකලා උතුර දකුණ මාරු වෙච්ච මැඩමුත් දුවලා ගිහින් මල්ලිට වැන්දා.... ඔන්න ඔහොමයි පාදෙනිය මැඩම්ගේ හැටි.. මෙච්චරයි මැඩම් කියන්නේ... අර ටෙලිෆෝන් සීන් එක මම කියන්නේ නෑ ඕන්....

මේ තියෙන්නේ පස්වෙනි ෆොටෝ එක......


මේ නිකටට අත තියාගෙන ඉන්නේ පොල්හේන සර්... උසස්පෙළ වාණිජ අංශය භාරව හිටපු සර්... මම හිතන්නේ අපි හින්දා වැඩිම වදයක් වින්ද ගුරුතුමා තමයි මේ.... ලොකු ඔරලෝසුවක් බැඳන් තමයි ඉස්කෝලේ ආවේ.. කොල්ලෙකුට ගහන එක වාරයක් පාසා මේ ඔරලෝසුවේ ලොක් එක පනිනවා... දවසකට ඔරලෝසුවේ ලොක් එක පනස් පාරකට වඩා දාන්න වෙනවාමයි සර්ට.. ඒ සර් නපුරු නිසා නෙවෙයි.. කොල්ලො කරන තිරිසන් වැඩ නිසා තමයි ඉතින්.. සෙක්ශන් එක කලා වණිජ නේ... හැමදාම මොකක් හරි සීන් එකක් ඉතින්... මටනම් ගැහුවේ අර ගුරු මේසේ උඩ ප්ලේන්ටී බෝතලයක් තිබ්බ දවසෙනේ... අප්පේ එහෙම ගැහිල්ලක්....

මෙන්න ෆොටෝ අංක හය


මේ ඉන්නේ සුනිල් අයියා... අපි දන්න කාලේ ඉඳලා අපේ ග්‍රවුන්ඩ් බෝයි වස්තු කැටේ... පිට්ටනිය පිටිපස්සේ ගේට්ටුව ඇරලා අපිව කලින් යවපු එකම ම්දැයි අයියේ උඹ නිවන් යන්න... ඒ විතරක්ද ඉල්ලන ඕනේම ක්‍රීඩා උපකරණයක් "පරිස්සම් කරලා ගෙනත් දියන් මල්ලි" කියලා ගෙනත් දෙන්නේ වෙන මොන ග්‍රවුන්ඩ් බෝයිද බන් උඹ මිසක්... ඇයි හොස්ටල් එකේ කෑම කොච්චර හොරෙන් කවලා ඇත්ද? පීරියඩ් කට් කරන අපි කොච්චර නම් උඹේ කාමරේ නිදා ගන්නවද අර ගද ගහන මෙට්ටවල....

අමිල... ආයෙත් ස්තූතියි මේ මතකයන් අළුත් කලාට.... මේ ගුරුවරු පිළිබඳ මතකයනම් පෙරාපු රත්තරන්... තව එක දෙයක් තියෙනවා.. කල්ල සර්ත් මෙතන හිටියානම්.. අප්පා.. කියන්න වචන නෑ ඉතින්....

මේ ඇල්බම් එකේ තිබ්බ පුද්ගලයෝ ගැන කථා ඉවරයි.... ඊලඟට තමයි ඇක්ටිවිටි මතකය එන්නේ.. ඒකනම් ලියන්න සීරීස් එකක්ම... 

ප.ලි. කොළඹ වෙසෙන ආදී මලියදේවයින්ටයි මේ පණිවිඩේ.. මාර්තු 17 වෙනිදා වාද්දුව හොලිඩේ රිසොර්ට් එකේ පැවැත්වෙනවා කොළඹ වෙසෙන මලියදේවයින්ගේ සුහද හමුවක්... වැඩි විස්තර 0714449162 අංකයෙන් මගෙනුත්, 0772975584 අංකයෙන් ටිකිරිගෙනුත් දැන ගන්න පුලුවන්..

Wednesday, March 7, 2012

මහේස්ත්‍රාත් අධිකරණය අංක 7. අප්පේ එහෙම තැනක්....

රථ වාහන පදවන ඔබ සැමට ගොඩාක් වෙලාවට අධිකරණය හමුවට යන්න ඕන වෙනවා... වර්ථමාන පොලීසියේ මහත්තුරු ගොඩාක් අල්ලස ගැන නොහිත ලෙසටම දඩ ගහන හා නඩු දාන පිරිසක් බවට පත් වෙලා තියෙනවා... සුළුතරයක් තාම කලින් වගේම ඇති.... නමුත් රට පුරා කරක් ගහන මටනම් මේක ඇත්තටම දැනිලා තියෙනවා... ඉස්සර කොච්චර බේරිලා ගියත් දැන්නම් කළාතුරකින් තමයි බේරිලා යන්නේ.... ඉතින් ජංගම දුරකථනයෙන් කථා කරපු වරදට මටත් නඩුවක් වැටුනා... අදාල නඩු දිනයට ගියේ නැති නිසා මෝසමක් ඉදිරිපත් කරන්න බලාගෙන මමත් ගියා අධිකරනයට ඊයේ.. මෙන්න මෙහෙමයි සෙල්ලම පටන් ගත්තේ...



අධිකරණයට පිටිපස්සේ මේසෙක වාඩිවෙලා කලුකෝට් නීතීඥ මහත්තුරු කීප දෙනෙක් ඉන්නවා.. යන අයගෙන් අහන්නේ මෙහෙමයි, මොකටද ආවේ... මේක අහන්නේ සැර වොයිස් එකකින්... නඩුවක් නම් මේ මැඩම් එක්ක යන්න, මේ සර් එක්ක යන්න වගේ කියලා එක එක නීතීඥ කෙනාට භාරදීලා සල්ලි අරගෙන නඩුව කතා කරනවා... ට්‍රැෆික් නඩු කථා කරන එක තමයි නීතීඥ මහත්තුරුන්ට ලාභම වැඩේ... මොකද වැරදි කරු ස්වාමීනී කිව්වා.. දඩේ ගැහුවා.... ගාස්තුව ගෙව්වා.. ලයිසන් එක ගත්තා.. ගෙදර ගියා.... .1%ක් වගේ තමා මේ විදිහෙන් වෙනස් වෙන්නේ.... හරි දැන් මම කියන්න යන්නේ මට වෙච්ච දේ.....


මමත් ගියා.. මේ විදිහටම මගෙන් ඇහුවා.... මේ තියෙන්නේ දෙබස...


මොකටද ආවේ....?


නඩුවක්.... ට්‍රැෆික්...


මේ මහත්තයා එක්ක යන්න.....


දැන් ඒ මහත්තයාත් එක්ක යනවා.... මෙන්න ඒ දෙබස... කොහොමත් මම කලින් පොලිසියේ යාළුවෙක්ගෙන මේ ගැන අහගෙන අවබෝධයක් ඇතුව ගියේ....


මොකක්ද කේස් එක...


ෆෝන් එක කණේ ගහගෙන එළවලා...


කෝ දෙන්න බලන්න ටෙම්පරිය.... අහ්... මේක පරණ එකක් නේ....


ඔව්... මොශන් එකක් දාන්න වෙනවා නේද? දඩේ කීයක් විතර ගහයිද?


පරණ එකක්නේ.. 5000ක් වත් ගෙවන්න වෙයි... (ඒත් මම දැනගෙන හිටියා 1000යි උපරිම කියලා..)


අප්ප..... එච්චර ගෙනාවේ නෑනේ.... 2500යි අතේම තියෙන්නේ....


පොලිසියෙන් අවුලක් නෑ නේද?


නෑ... ඇයි?


එහෙනම් ගැටළුවක් වෙන එකක් නෑ.. 2500 දෙන්නකො එහෙනම්... 


අපොයි, 2500 දීලා බෑ.. එතකොට ගෙදර යන්නවත් සල්ලි නෑ... 2000කට කරමු..


හරි 1000ක් දඩේ ගැහුවොත් ඒ ගානට කරමු මචන්.. ඊට වඩා ගැහුවොත් ගෙවපන් ඈ......


ආ හරි හරි... මොකද කරන්න  ඕන මම... 


එහෙනම් ගිහින් 2ට විතර එන්න... මෝශන් දාන්නේ ඒ වෙලාවට තමයි...


හරි.. මම ගියා...


දැන් අධිකරණයේ පිටිපස්සෙම ලී බංකුවකට වෙලා අහගෙන ඉන්නවා අධිකරණ තීන්දු දිහා.. අපරාදේ කියන්න බෑ මහේස්ත්‍රාත් තුමා සාධාරණව හා මානුශිකත්වය මුසුකොට ඉතා සාධාරණ තීන්දු ලබා දුන්නා... පොලිසි නිළධාරීන්, නීතීඥයින්, මහ ජනතාව කියා වෙනසක් නැතුව වැරදි පැත්තට දොස් කියන්න එතුමා අමතක කලේ නෑ.... 


බීමතින් රිය පදවලා අහුවුන අයටනම් ඒ වෙලාවේ කික් එක අමතක වෙනවා තීන්දුව අහනකොටම... දැන් අවම වශයෙන් රියදුරු බලපත්‍රය මාස තුනකට තහනම් කරනවා... ඒකනම් හොඳ නිවැරදි තීරණයක්.. මතකනේ අපේ පොරකට බීලා එලවන්න ගිහින් වෙච්ච වැඩේ.....



අන්තිමේදි ඉඳලා ඉඳලා මගේ වාරේ උදා වුනා... තෝල්ක තැන මගේ නමයි වැරැද්දයි කිව්වා... මම දිව්වා  විත්ති කූඩුවට... නීතීඥ තුමා නැගිට්ටෙත් නෑ.. තෝල්ක තුමා වැරදි කරුද නිවැරදි කරුද කියලා අහනකොටත් මම මග.. මම එතැන ඉඳන්ම කිව්වා වැරදිකරු ස්වාමීනී... ඊලඟ අඩිය තියන්නත් කලින්ම රුපියල් 1000.00ක දඩයක් නියම කරනවා කිව්වා.. එතන හිටපු බන්ධනාගාර නිලධාරී මාව යැව්වා කූඩුවට.... නීතිඥ තුමා ඇවිත් අර 2000.00න් 1000.00ක් මගේ අතට දීලා ගියා... මම දඩේ ගෙවලා ලයිසමත් අරන් ගෙදර ආවා..... අනේ අරූට දුන්න 1000.00 කියලා හිතෙන් බැන බැන....... ඒත් ඉතින් 5000.00ක් ගෙවන්න තියෙන එකනේ 1000.00න් ශේප් වුනේ කියලා හිත හදාගත්තා.... කකාගේ අර පිංතූරෙත් මතක් උනා බුද්ධි ඇඳපු...


අතර මඟදි මෙහෙම සිද්ධියකුත් වුනා,,, මම දැන් උසාවියේ හිටගෙන නඩු අහන දිහා බලන් ඉන්නවා... නිකන් නොසැලකිලිමත්ව ඇදගත්ත මැදිවියේ මනුස්සයෙක් මම ලඟට ආවා... දෙබස මෙහෙමයි....


මල්ලි නඩුවකට ආවද?


ඔව්.....


මමත් නඩුවකට ආවේ.. දඩේ ගෙවාගන්න සල්ලි නෑ.. රුපියල් 150ක් දෙනවද පුලුවන්නම්...


කීයද දඩේ....


1750යි....


හරි.. කෝ ඉතිරි සල්ලි ටික.....


ආ.. මේ... මේ.... අර පොලිසියේ මහත්තයා ගාව...


මම ලඟ සල්ලි නෑ.. තරහ වෙන්න එපා...


ඔන්න ඔහොම පොරවලුත් ඉන්නවා උසාවියේ..... 


මම මේ කථාව ලිව්වේ ඔයාලට එක දෙයක් කියන්න.. රථ වාහන වැරදි කරන්න නම් එපා මේ ලංකාවේ... ඒ දඩේ නිසා නෙමෙයි... කන්න වෙන චාටර් එකනම් කියලා වැඩක් නෑ.. ඒ වගේද පොලිස් කට්ටියගේ කතා.. අපිව බල්ලට දාලනේ කතාව... හදිසියේවත් උසාවි යන්න උනොත් පේනවනේ විස්තරේ... දවසක් ඉවරයි.... ඒ නිසා බොහොම කල්පනාවෙන් රිය පදවන්න... මම නම් දැන් එහෙමයි...


ප.ලි/ අර අවුරුදු උත්සවේ සංවිධානය කරන්න කට්ටිය එන්න කියලා පෝස්ට් එකක් දාල තිබ්බනේ... කෝ මේ පොඩි කොල්ලො කෙල්ලො ටික.. වැඩ බැරිද එහෙම නැත්නම් ලැජ්ජයිද?


Friday, March 2, 2012

කියවන ලියන ඔයාලට මතකද මේ පිස්සු දවස....

ගිය අවුරුද්දෙ දවසක ගොඩාක් දෙනෙක් කියවපු ලියපු එක මාතෘකාවක් තිබ්බා.... ඒ ගැන පොඩි මතක් කිරීමක් කරන්න තමයි මම හදන්නේ... ඒත් මේ ලිපියේ වැදගත්ම වෙන්නේ අන්තිම වාක්‍යය.. දැන් ඉතින් උඩ ටික කියවන්නෙ නැතිව එක පාරටම යටට යන්න එපා... කට්ටියටම තේරෙනවනේ මම කියන්න යන්නේ මොකක්ද කියන එක ගැන... වෙන මොකුත් නෙමේ අනේ ගිය අවුරුද්දේ සයිබරයේ සිහිණ උළෙල ගැන.... මේ තියෙන්නේ ඒ ගැන එක එක කට්ටිය කියපු ඒවා... 


මේ තියෙන්නේ රංග ලිව්ව එක...


ගේට්‍ටුවේ රස්සාව වැපා සහ මරණේට භාර දුන්නත් අන්තිමට ගේට්‍ටුවේ ඉන්නට උනේ වැපාට සහ මටය. අපි ලෙසටම රාජකාරිය කලෙමු. කොච්චර සිරාවට කරාද කියල කියනව නම් වැපා ආරධිත අමුත්තෙක් ගෙන් ( ඉන්ද්‍රනාත් තේනුවර අය්යා) රුපියල් සීයක් ගන්නට ගොස් චාටර් නොවී බේරුනේ 99 යෙනි.


මේක මාරයාගෙන්....



මෙන්න බොලේ ඒත් එක්කම විසිල් පාරක් ඇහුනා..මම ගණන් ගත්තේ නැහැ..ඒත් මට පෙනුනා මෙන්න මගේ දෙපැත්තේ හිටිය උන් ආත බූත කඩාගෙන දුවනවා..මල හත්ඉලව්වයි උං දුවනවා..මම ඉන්නවා..
මට හිත හිත ඉන්න ඒ හැටි වෙලාවක් තිබුනේ නැහැ..ඒ හින්දා මමත් සෑහෙන පහුවෙලා හරි දුවන්න තිබාගත්තා...


ඕනේ එකක් කියලා දිව්වා, කනා මුට්ටිය ගහන්න කියලා ගියත් මට කලින් දිනුවා, තොප්පි දාන්න ගිහිල්ලා තොප්පිය වැටුනා
අලියට ඇහැ තියන්න ගිහිල්ලා මම කොහේද මන්දා ගියා ( ලැජ්ජාවේ බෑ ), සැගවුනු අමුත්තා නම් තාම හෙන්රි පේද්‍රිරිස් එකේ හැoගිලා , තාම දන්නේ නෑ කවුද කියලා, මට දීපු බැලුම කොච්චර පිබ්මුවත් පිපිරුනේ නෑ


පස්සේ ගුරුප් ෆොටෝ හැටක් විතර ගත්තා. අවුලක් නෑ වැඩි හොඳටනේ… මොකක් හරි එකක මං නැතත්, මගේ දත් කුට්ටම හරි ඇතිනේ… මං කලුයි කියලා හිතාන උන්නට අක්ක කෙනෙක් නම් කිව්වා, ඔයා දැන් හිටියට වැඩිය සුදුයි කියලා… අපරාදේ මගේ අතේ මාරු කාසි තිබුනේ නැහැනේ… නැත්තං ඔබනවා කටේ…


මේ ලිපිය කියෙව්වාට පසු බොහෝ අය මාවත් මා මුලින් කිව් බැලැක් ලිස්ට් එකට දමා ගන්නවාට සැකයක් නැති බව මා දන්නා නමුත් කිව යුත්ත කෙලින් කියනවා විනා මොකටද මේ යාලුවෝ තරහා කරගන්නේ කියා නිහඬව සිටීමට මට නොහැකිය. සර්ව සම්පූර්ණ මිනිසුන් මේ ලොව කොහේවත් නැත.



ගියාට පස්සෙයි තේරුණෙ .. මම දන්නා කියන එකම යාලුවෙක්වත් එතන නැති බව. ඒ වුනාට කමක් නෑනෙ.. කියල මමත් ගිහින් කොණක තිබුණ පුටුවක වාඩි වුණා... මට ඕන වුනේ මෙය නැරඹීම සහ සහභාගි වීමයි. සහභාගිවීම කෙසේ වෙතත් නැරඹීම නම් අකුරටම කළා ...

සිහින උලෙල හමාර උනා නේ..එක එක්කෙනා අදුර ගත්තා..කට්ටිය පුදුම උනා.. 'අම්මට සිරි..අඩෝ මේ උඹද" කියලා නොකියපු එකෙක් නැති තරම්.ඉතින් මම මේ දැන් කියන්න යන්නේ රත්ගමයා බක් මහා උලෙලට ආවම එක එකාට මගේ ගැන ඇති උන හැගීම්..


අන්තිමේදි රසම රස කේක් කෑලි දෙක තුනකත් රහ එහෙම බලලා කට්ටියම කවල් සංගීතෙට නටන්න පටන්ගත්තා. දාපු සින්දු මොනවද කියල උන්ටවත් මටවත් තේරුනා කියල නම් මම හිතන් නෑ. එකිනෙකා හදුන්වා දීම තමයි මේ අවුරුදු උළෙලේ මම මුහුණ දීපු ඇග කිළිපොලා යන අවස්තාව


උත්සවයේ අරමුණ බ්ලොග් කරුවන් එකතුකර 'ආතල්' එකක් දැමීමය. පසුව ඊට දිලුම්ගේ අවශ්‍යතාවයද එකතු වුන බැවින් ඒ පිලිඹඳව සලකා බැලීම්ද සිදුවිය. එනිසා මෙහි මුල් අරමුණු සහ දිලුම්ව පටලවා ගැනීම සඳහා යමෙකුට අවශ්‍ය නම් එයද දැන් සුන් වී අවසානය. දිලුම් හුදෙක් අවුරුදු උත්සවයේ ද්විතීයක ලෙස එලි පැමිණි අරමුණකි. අවුරුදු උත්සවය ආරම්හ වන්නේ බ්ලොග් කරුවන් සඳහා නියම ගැදරින් එකක් අවශ්‍ය නිසාය.


 හා. හා පුරා කියල මුලින්ම ගියා බැලුම් පුම්බන්න.මොන........ ඒවාට අවුරුද්දක් තිස්සේ ප්‍රැක්ටිස් කරලා ඇවිල්ලද කොහෙද එකෙක් බැලුම ගත්ත ගමන්ම පිපිරෙවුව.මට නම් හිතාගන්නත් බැරි වුණා.ශේප් එකේ අගිල්ලෙනුත් ඇන්න. ඒත් මගේ එක පිපිරුනේ නැ.අන්තිමේදී බැලුම සංවිධායක උතුමන්ටම දීල ආයි ඇවිල්ල වාඩි වුණා.


කොපි පේස්ට් බෑනේ ඒකෙන්... චැක්...


හී.. හී.. අපේ අම්මනම් දැන් පුල්ම වර්චස්.... පණුවාගේ ඉල්ලීම පරිදි සිහින කුමරියට ඉදිරිපත් වීම සහ ඩී ජේ එකේදී නැටීම (වගේ එකක් කිරීම) නිසා....  මගේ ඉතිරිව තිබුණු ලකුණු කැපී ඇත... ඊලග අවුරුද්ද වෙද්දි මහත්තයෙක් හම්බ උනොත් ගොඩ නැත්නම් ආයේ අම්මා එක්ක එනවා නම් බොරු....


ඉතින් ඒ විදිහට දැන් මේ නැ‍ටුම් තරඟය වෙලාවෙත් මාව පරල වෙන්නම එනවා. යන්තම් පාසල්ගේ කටේ බලේට තමයි පියවි සිහියෙන් නැ‍ටුවේ. අනේ ඉතින් මේක කිව්වට තරහ වෙන්න එපා. නටන්න දාපු DJ එකනම් හරි නැහැ. සිංදු දෙක තුනයි දැම්මේ හොඳට නටන්න පුලුවන්. අනිත් ඒව වලට ස්ලෝ මෝශන් නැ‍ටුම් තමයි දාන්න වෙන්නේ. ඉතින් මගේ හුලන් බැස්සා ඒ සිංදු ඇහිලා. 


අර තිවුවයි කිවුව සයිබර් සිහින උළෙල ගැනනේ මේ දවස් වල කාගේත් කතාව.. ඒ වගේමයි පින්තූර ටැග් වෙනවා.. කමෙන්ට් වැටෙනවා මඩ වදිනවා.. වීඩියෝ කලාට ඒ සේරම අප්ලෝඩ් කරන්න බෑ. විශේෂයෙන් මාරයා ඉන්න එවුවට ගෙවන්න කිවුවත්නේ :). මේකත් Hi Quality තමා හැදුවේ අන්තිමට සයිස් එක 690MB උනා. ඉතිං Video සයිස් අඩු කරල අන්තිමට Quality බස්සල මේ ගාණට අරගෙන අප්ලෝඩ් කරා.. 
(මේකේනම් කට්ටියගේ පටි රෝල් වෙලා වගේ...)


ප්‍රසිද්ධ අය වටේ කට්ටිය පිරිලා ඉන්න එක සාමාන්‍ය දෙයක්. ඒ අතරේ හරි ගිහින් තමන් කැමති ඒ බ්ලොග් කරුවත් එක්ක වචනයක් දෙකක් කතා කරන එක තමන්ගේ වැඩක්. ඔන්න ඊළඟ සැරේ අපි එකතු වුනාම හැමෝත් එක්කම වගේ වචනයක් හරි කතා කරන්න හොඳේ.


මේ ලියන්න යන්නේ අපේ සිහිනය ගැන..ඒ කියන්නේ අපේ සිහින බක්මහ උළෙල ගැන..මේකනම් මාරම ෆන්..බ්ලොග් කෙරුවාවට අලුත් මට මේකෙන් අපේ බ්ලොග් ලියන සෙට් එකම අදුරගන්න පුළුවන් උනා...


  අපි මොන තරම් දේවල් වලට සාදාරණ විසඳුම් හොයනවද? ඒත් ඊයේ අවුරුදු උත්සවේ තිබ්බ හේතුවට තර්කාණුකූල පදනම මොකක්ද? කෙනෙක්ගේ කන් දෙක සුවපත් කරා කියලා අපිට ලැබෙන දේ මොකක්ද? ඒ උනත් ඊයේ අපි හැමෝම මොන තරම් සතුටු උනාද?


පටන් ගත්තු සංතෝසෙන්ම ඒක ඉවරයක් දැකීමත් හොඳ පාඩමක් කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕනැ කියලා මං හිතන්නැත. ඉතිං මෙහෙම බලාගෙන යනකොට 2011 සිහින සයිබර් සැණකෙලිය තනිකර පාඩම් මාලාවක් නොවේදැයි අන්තිමේට මම අහන්න කැමතිය.


දුවන්න කිව්වා විතරයි, අලි ටික පෙරළෙනවා වගේ කට්ටිය දුවන් දුවන් ආවා. අම්මා තාත්තාට කවාගෙන කවාගෙන යනවා. එතකොට මට? ම්හ්.......... කමක් නැහැ, මං පස්සේ බලාගන්නම්කෝ කියලා මං හිත හදා ගත්තා. ඊට පස්සේ කලා ඉවර වෙලා ආපහු දුවනවා.


ලොකු දූත් සංගීත තොප්පි, අලියාට ඇස තැබීම ඒවට සහභාගී කෙරෙව්වා... චූටිට නම් පස්සෙ වෙලාවක යෝගට් කවන්න ගෙනල්ල ඉතිරි වෙච්ච යොගට් කවුරු හරි කකා ඉන්නව දැකල ආසා ආවා... හෙ හෙ... 


සයිබරය නම් වූ මඟුල් සක්වල....... අප්පා මෙහෙම සයිබරයෙන් ගොඩ යෑමක්.... සයිබර් කපල් ගමකට ඇවිත් හිටියා...ඉතින් මේ ඔක්කොම ඇවිත් සතුටු වෙලා අනිත් උන්ට පණිවිඩයක් දීලා ගියා කියලා තමයි මට හිතෙන්නේ.. එහෙම හිතුනෙත් වැප්නි සාන්ත මල්ලි කියපු කතාවකින්... යකෝ මුන් ඔක්කොම ගොඩ යන එකේ අපිත් ඉන්ටනෙට් එකෙන්වත් එකක් හොයා ගන්න ඕන...


සිහිනයක් වෙච්ච සයිබර් සිහින උළෙල සාර්ථක කරගන්න රට වටේ ඉන්න ජාල කරුවන් පමණක් නෙමෙයි ලෝකේ පුරා විසිර සිටින මිත්‍රයනුත් එකතු උනා. සල්ලි පමණක් හෝ සංවිධායකයන් පමණක් හෝ සහභාගි වන්නන් පමණක් හෝ සිටිමෙන් මෙය සාර්ථක කරගත නොහැක. නමුත් ඉහත කී සියලු දෙනා‍ගේම සාමූහික ප්‍රයතනයක් ලෙස පහුගිය 3 වෙනිදා එම උලෙළ අපිට දැනෙන විදිහට සාර්ථකව අවසන් උනා. එහි සංවිධානයේ සාර්ථකත්වයට හේතූ වූ කරුණු ටිකක් මට දැනෙන විදිහට හොයාගන්න පුලුවන් උනා

ඉතින් ඔන්න ඔහොම තමයි කට්ටිය ඒ ගැන ලිව්වේ.... මේ පාරත් ඔහොමම ලියවෙයි.... මේ පාර සයිබර් උළෙල තියෙන්නේ අප්‍රේල් 22 වැල්ලවත්ත කුරේ එකේලු.... ඉතින් එදට හම්බෙමු.....

ප.ලි. මේ ඔක්කොම එකතු කරලා තිබ්බ වැප් මල්ලිට මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.... අනික් එක මේ කට්ටියගේ බ්ලොග් වලින් උපුටා ගත්ත ඒවා නිසා අවසර නොගෙන පල කරපු නිසාත් සමාව දෙන්න කියලත් ඉල්ලා සිටිනවා....