Meemure Jungle Resort

Tuesday, June 26, 2012

විවාහ දින මතක සටහන්.. 4 - දෙවෙනි ගමන... අනේ සර්, කිතුල් රා වගයක්.....

විවාහ දින මතක සටහන් කථා පෙළට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.. ඔබට දුක හිතෙන ආරංචියක් වුනත් නොකියා බැහැ.. ඒ අද මේ කොටසින් එම කතා මාලාව ඉවර වෙනවා.. කියවලා නැති අයට මේ තියෙන්නේ එක කොටස (හපොයි මෙහෙම මඟුල් ) මෙන්න දෙක කොටස (කෝ කට්ටිය බායි කියන්න ) මෙන්න තුන්වන කොටස (මධු සමය ) මේ ලියන්නේ හතර වන කොටස හෙවත් අනේ සර්, කිතුල් රා වගයක් කියන කොටස... වටේ තලන්නේ නැතුව කථාව පටන් ගමු..


දෙවෙනි ගමනට අදාල උත්සවය පැවැත්වුනේ රාත්‍රී කාලයේ.. ඒ නිසා අපි හෝටලෙන් පිටවෙන්න තිබ්බේ 2ට විතර... හෝටලයට යන්න කලින් ගෙදරට ගිහින් ඒ චාරිත්‍ර වාරිත්‍ර ඉවරයක් කරලා උත්සවයට සහභාගී වෙන්න තමයි හිතාගෙන හිටියේ... ඒත් පුරුදු පරිදි මංගල උත්සව අවුල් කරන වුන් මටත් හිටියා.. ඒ ඡායාරූප ශිල්පියා සහ වීඩියෝ කැමරා ශිල්පියා.. උන් දෙන්නා අපේ පින්තූර අරන් ඉවර වෙද්දි වෙලාව 3.45යි... ගෙදරට යන නැකත තිබුනේ 5.05ට...  ජ්‍යෝතිශය පිළිබඳ විශ්වාසය නිසා අපේ අප්පච්චිට ඔය නැකැත් කටයුතු ලෙසටම තියෙන්න ඕන.. අප්පච්චි ගැන කියලා තියෙනවානේ.. ආයේ කිව්වොත් කිව්වා තමයි.. අදටත් එහෙමමයි.. ගත්තා කෝල් එකක් අප්පච්චිට.. දැන් දෙබස මෙහෙමයි..


අප්පච්චි.., කසුන් කතා කරන්නේ...?


ආ.. ඇයි?.. කොහෙද ඉන්නේ...?


තවම නුවර ඉන්නේ.. නැකතට එන්න බැරිවෙයි වගේ... ඊට පස්සේ හොඳ වෙලාවක් නැද්ද?


ඔයාලට ඕන වෙලාවට නැකැත් තියෙනවද ලමයෝ....


මාර සීන් එක... දැන් හතරයි දහයයි... එන්නනම් බැරිවෙයි වගේ....


උඹට ඕන දෙයක් කරගනින් එහෙනම්....


දඩස්... තිබ්බ නේද ෆෝන් එක.. අද තද වුනොත්නම් බඩුම තමයි.. කාර් එක ගෙනාපු සමුද්‍රයාට මම මෙහෙම කිව්වා...


මචන්, අපි ගැනවත් කාර් එක ගැනවත් හිතන්න එපා... පහයි පහ වෙද්දි අපේ ගෙදර ඉන්න ඕන...


තත්පර 30ක් ඇතුලත වගේ කාර් එකේ ගියර් ටික මාරු වුනා... මූ විද්දා නුවර කුරුණෑගල පාරේ.. ඒ දවස්වල ඒක හදනවා.. අනන්තවත් මාර්ග බාධක... රංජුගේ මාල හත කරේ.. ගෙදර මිනිස්සු අපි පරක්කු වෙයි කියලා, අදහස් අත ඇරගෙන හිටියේ... ඒ මදිවට කොට්ටාවේ ඉඳන් රංජුගේ නෑයෝ ආපු බස් එක වරකාපොල ට්‍රැෆික් එකකට හිර වෙලා.. එයාල එන්න තවත් පරකු වෙනව කියලා කෝල් එකක් දුන්නා.. කෝල් එක කට් කරන කොටම මට බ්‍රාස් කියලා සද්දයක් ඇහුනා.. ඒ අපේ කාර් එකේ බ්‍රේක් සද්දේ.. ඔළුව උස්සලා බලනකොට ගෙදර මිදුලේ ඉන්නේ.... ජංගම දුරකථනය දිහා හොරෙන් බැලුවා... පහයි හතරයි වෙලාව... ගෙදර අයට හිතා ගන්නත් බෑ.. මාව පිළිගන්න මල් මාලේ දැම්මේ මටත් වඩා උස එකෙක්.. කාර් එකෙන් බැහැපු ගමන් මම රංජුවත් ඇදගෙන ගේ ඇතුලට දිව්වේ නැකත පරක්කු වෙන නිසා...


දැන් ඔන්න කට්ටියගෙම හිනා මූණු... ඒ අතරේ අප්පච්චි මට කතා කලා..


මේ ඇත්තද අද අරක්කු දෙනවා කියන්නේ...


නෑ කවුද කිව්වේ... ඕන එවුන් ගෙනත් බොයි...


දුන්නොත් එහෙම මම කියලා තියෙනවනේ මතකනේ.. මම එනවා නැගිටලා...


හරි අප්පච්චි.. මම දෙන්නෙ නෑ...


දෙන්නේ නෑ කිව්වට නොදී කොහොමද? සෙට් එකක් රා ඉල්ලලා..., තව උන් බ්‍රැන්ඩි ඉල්ලලා.. මුන්ට බොන්න නොදුන්නොත් මට ඉන්න වෙන්නේ ගෙදරම නැවතිලා තමයි...



මේකට විකල්පයක් තියෙන්නත් එපැයි... කථා කලා ධනුශ්කට... අපි දෙන්නා අතරෙ දෙබස මෙහෙමයි...


මචන් මාර සීන් එක....


ඇයි? මොකෝ සීන් එක...


කවුරු හරි අප්පච්චිට කියලා මම අද එන උන්ට බොන්න දෙනවා කියලා... වෝනින් දුන්නා...


හරි උඹ බය වෙන්න එපා... මම බලාගන්නම්....


මිනිහා කිව්වනම් බඩුම තමයි.... මා ආයේ හිතන්නවත් දෙයක් නෑ.. මොකද ධනෙයා තමයි අපේ අම්මටයි අප්පච්චිටයි හොඳටම විශ්වාස මගේ යාළුවා.... ඒ ඔක්කොම අතරෙ තව කෝල් එකක් එනවා.. ඒ කමල් මල්ලිගෙන්.. මතකනේ කමල් මල්ලි.. මේ තියෙන්නේ එයා ගැන.... මෙන්න ඒ දෙබස...


අයියේ කාර් එක පොලිසියට ගත්තා.... මාර සීන් එක....


ඇයි මොකො සීන් එක...


රා බෝතල් දහය ඩිකියේ තිබිලා මාට්ටු වුනා... ඉක්මනට මොනා හරි කරන්න... මුන් මාවත් ඇරෙස්ට් කරන්න යන්නේ...


හරි.. මේ නම්බර් එක ලියාගනින්.... කරුවගේ නම්බර් එක.. ඌට කියහන් කථා කරලා.. මාත් කියන්නම්....


කොහොමහරි පොලිසියේ ඉහල නිලධාරියෙක් වෙච්ච කරුවට කියලා අමාරුවෙන් අරුන් පොලිසියෙන් මුදවගෙන රා බෝතල් 10ත් හෝටලේට ගෙන්න ගත්තා....


ඊලඟ කෝල් එක නැටුම් කණ්ඩායමේ ජයාගෙන්....


මේ තොපි එන්නෙ නැද්ද?


එනවා... තව විනාඩි 30ක් දියන්....


යකෝ.. මේ ඇඳුම් ඇඳගෙන පැයක් මෙතන... මොනා හරි එවපන් අපට බොන්නවත්... 


හරි හිටු හිටු....


අයියෝ.. මුන්ගේ ප්‍රශ්ණ කිය කිය කෝල් එනවා.. මම එකින් එක ලඟ හිටපු යාළුවොන්ට කියනවා.. උන් ලෙසට දෙනවා වැඩේ....


දැන් ගියා හෝටලේට.... අර සිංදු කියලා මාල දාලා පිළිගත්තා... මෙන්න නැටුම් කණ්ඩායම නටනවා නැටිල්ලක් කොහොමද දන්නවද? එහෙම නැටුම් නැටිල්ලක් ජීවිතේට දැකලා නෑ.. හෝල් එක පුරාම නටනවා.. මනමාලිගේ පැත්තේ නෑයෝ වික්ශිප්ත වෙලා බලන් හිටියේ... අන්තිමේට නටපු උන් කිව්වේ පරක්කු වෙච්ච තරහට නැටුවා කියලා.... දැන් එතනින් ගියා පොල්තෙල් පහන පත්තු කරන්න... හුටා.. ඉටිපන්දම නෑ.. අමාරුවෙන් හොයාගත්ත ගිනි පෙට්ටියකින් ගිනි කූරක් ගහලා තමයි පත්තු කර ගත්තෙ... 


දැන් බාර් එක... හෝටලේ පිටි පස්සේ වෙනම තැනක් කල් තියා ලෑස්ති කරගෙන හිටියේ.. ශේප් වෙලා වැඩේ කරගෙන යන්න... අප්පච්චිට හොරෙන් කරන එක තමා ලොකුම සීන් එක.. දනෙයයි, රමියයි, ජනකයි තමයි අප්පච්චි බාර... අප්පච්චි ඒ පැත්තට යන බව පේන කොටම එකෙක් දුවලා ගිහින් අප්පච්චිට මෙහෙම කියනවා...


අන්කල්, අර ඉස්සරහා කවුද ඇවිත් අන්කල්ව අහනවා...


ඉතින් අප්පච්ච් ආයෙත් ඉස්සරහට යනවා... ඔහොම කවර් කර ගත්තා සෑහෙන වෙලාවක්... ඊට පහුවදා තමයි ගමේ මාමා කෙනෙක් කියලා අප්පච්චිට මාට්ටු වුනේ.. එතකොට ඉතින් වැඩේ ඉවරයිනේ.... 



අන්තිමේට අරක්කු බීපු එවුන්ට වඩා රා බීපු එවුන්ට වෙරි... ආසාවට රා බීපු කාන්තා පාර්ශ්වයත් මඳක් පමණට වැනිලා... ජනකයා ඇවිත් මට කතා කලා...


මචන්, රා සීන් එක ටිකක් අවුල් වගේ... කට්ටිය ආතල් දෙනවා වගේ එකසිය ගානට....


ම්ම්.. කමල්ට එන්න කියපන් බලන්න...


දැන් කමලුයි මමයි අතරෙ දෙබස....


මල්ලි, රා වලට මොකුත් කලවන් කලාද?


කලවන් කලාද නෙමෙයි... කලවන් නොකර ගෙනාවානම් තමයි බලන්න තිබ්බේ.. අර බලපන්කො බොන හැටි...


ඈ...? උඹ මොනාද කලවන් කලේ....


එතනින්ම කසිප්පු බෝතල් 5ක් දැම්මා... පාට වෙනස් නොවෙන්නත් එපැයි....


මල හත් ඉලව්වේ... යකෝ තොට පිස්සුද?


රා වලට නෙවෙයි බන් පොලිසියෙන් ඇල්ලුවෙත්.. උන්ට කසියා සුවඳ ඇවිල්ලා.. අමාරුවෙන් බේරිලා ආවේ....


යකෝ අරුන් මැරෙයි.. දැන් නවත්තපන් එහෙනම් ඕක....


නවත්තන්න ඉතුරු වෙලා තියෙන්න එපැයි.. ඉවරයි ඔක්කොම...


මට හීන් දාඩිය දැම්මා... වාසනාවට මොකුත් අවුලක් උනේ නෑ....



ඔන්න ඉතින් ඔහොම එකී මෙකී කතා එක්ක මංගල්‍යය අහවර වුනා.. නොකී කථා තමයි වැඩි... පහුගිය ජූනි 6 වෙනිදට අවුරුදු 5කුත් සම්පූර්ණ වුනා... දැන් මංගල්‍යයන් සංවිධානය කරන එක වෘත්තියක් විදිහට කලාට ඒ කාලේ එහෙම එකක් කරන්න වින්ද දුක මතක් වෙද්දි හිනාත් යනවා ඕසෙට....


එහෙනම් ගිහින් එන්නම්... ලබන ලිපිය විශේෂ පණිවිඩයක් එක්කයි එන්නේ.....

Sunday, June 17, 2012

විවාහ දින මතක සටහන්.. 3 මධු සමය... බුෆේ එක වැහුවා සර්....

පළවෙනි දින විවාහ උත්සවයෙන් පස්සේ තමයි ගිය පාර ලිපියේ නැවැත්තුවේ.... කියවපු නැති අය කියවලා එන්න ඕන නම් මෙන්න එක කොටස මෙන්න දෙක කොටස. බ්ලොග් එකට ලිපියක් නොලියා ගතකල වැඩිම කාලය තමා මේ ලිපි දෙක අතර ගත වුනේ.. ඒ තිබුණු කාර්ය බහුලත්වය නිසා... ඒත් බ්ලොග් කියවීම නම් එක දිගටම ගියා.. ඒ අතරේ කට්ටියක් පාළු ගෙයි වලන් ගොඩකුත් බිඳලා තියෙනවා දැක්කා. ඒ ගැනත් ලියන්න ඕන... ඒ වගේම සතුටුදායක ආරංචි තුනකුත් කියන්න ඕන මගේ බ්ලොග් එක ගැන.. මෙන්න ඒවා..


1. මගේ බ්ලොග් එක පහු ගිය දාක දෙවෙනි උපන් දිනය සැමරුවා.. සුභ උපන් දිනයක් ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න.


2. බ්ලොග් එක පටන් ගත්ත කාලේ දැවැන්ත බ්ලොග්කරුවන්ගේ බ්ලොග් දිහා බලලා අපටත් මෙච්චර ෆලෝවර්ස්ලා හිටියොත් කියලා සිහින මැව්වා.. මේ වෙද්දි මගේ බ්ලොග් එක ෆලෝවර්ස්ලා 500ක් පන්නලා...


3. මගේ බ්ලොග් එකේ වැඩිම දෙනෙක් බලපු ලිපිය වෙච්ච ගෑනු පත්තිනි අම්මලා..., පිරිමි අපි විතරක් වලත්තයෝ කියන ලිපිය හිට් 6000ක් පන්නලා තියෙනවා.


ඉතින් මේවා ගැන හිතේ තියෙන පුංචි ආඩම්බරයක් එක්ක  මෙන්න පටන් ගන්නවා අද කතාව.. පහුගිය ලිපි වල තිබ්බා කමෙන්ට් වලින් කට්ටිය  මේ ලිපිය එනතුරු පුල පුලා බලා හිටිය බව නම් මතකයි... එහෙනම් මෙන්න සහෝදරවරුනි, මධුසමය. 



හරි පලමු දිනය රාත්‍රී අපි විවාහය හිටපු හොටලේම නැවතුනා.. එය නොමිලේ දුන්නා මට මතක විදිහට... අයේ කවදා යන්න වෙයිද කියලා නොදන්න නිසා අපි දෙන්නගෙම අදහස වුනේ හොඳ තරු හෝටල් වලට යනවා කියලා මධු සමයට.. ණය වෙලා වුනත් ගියා ඉතින්... පෙරදින රාත්‍රී නින්දක් නැති නිසාත්, දවසම අර ඇදුම ඇදගෙන නැවි නැවි වැඳලා කකුල් වලට හොඳ ගනන්.. ඒ නිසා නිදාගෙන නැගිටලා කළුතර පංසලට ගිහින් එන්න හිතාගෙන ඔන්න නිදා ගත්තා... වෙලාව හවස තුනයි තිහට විතර ඇති..


ඔය නින්ද අතරේ රංජු මට තට්ටු කරලා ඇහැරෙව්වා... මෙන්න දෙබස..


අභීත.. කවුද දොරට ගහනවා වගේ....


මොන දොරට ගැහිලිද මේ හෝටල්වල...


ඒ එක්කම සද්දේ ආයෙත් ඇහුනා... ඇත්ත නේන්නම්, කවුද දොරට ගහන්නවා තමා...


මම ඉතින් අඩ නින්දෙන් හිතෙන් බැන බැන ගියා දොර අරින්න... දොර ඇරපු ගමන් කොල්ලෙක් ඉන්නවා කොස්සකුයි බකට් එකකුයි අරගෙන..


excuse me sir, Evening housekeeping?


oh.. no problem, come.. වෙන ඉතින් මොනවා කියන්නද?


අප්පට සිරි.. ඇහුවමයි මෙහෙම ගෙස්ට්ලා ඉන්න රූම් එකකට හවුස් කීපින්ග් දෙනවා කියලා පැය කිහිපයක් ඇතුලත.. මම මුවින් නොබැන වෙලාව බැලුවා... හප්පට සිරි.. රෑ 11.30යි. පැය අටක් එක දිගට සැප නින්දක ඉඳලා තියෙන්නේ... කළුතර යන්න හිටිය මදැයි හවස ඇහැරිලා.... හොටලේ උන් බලන්න ඇති පැය අටක් තිස්සේ එළියටවත් කන්නෙවත් එන්නෙ නැතුව ඉන්නෙ මුන් දෙන්නට මොනා වෙලාද කියලා.. ඒක නිසා තමයි සුද්ද කරන්න එකෙක් එව්වෙ කියලා මට හිතුනේ... දැන් කන්නත් නෑ... පොර සුද්ද පවිත්‍ර කරලා ගියාට පස්සේ කතා කලා භෝජනාගරෙට. මේ තියෙන්නේ දෙබස..


හෙලෝ... 204 රූම් එකෙන් කතා කරන්නේ.. බුෆේ එක ඕපන්ද?


අනේ නෑ සර්, 11 වෙද්දි අපි ක්ලෝස් කරනවනේ....


අහ්, එහෙමද? මට රූම් එකට ඩිනර් ගෙන්නගන්න පුළුවන් වෙයිද?


සර් කිචන් එකට කතා කරනවද? එතනින් ඔඩර් කරන්න පුළුවන්..


ඔය වෙලා තියෙන්නේ ලෙසටම... ගත්තා කිචන් කියන කුස්සියට...


හෙලෝ...  


මම 204 රූම් එකෙන් කතා කරන්නේ... අපිට ඩිනර් එක රූම් එකට එවන්න පුළුවන් වෙයිද?


පුළුවන් සර්... මොනවද අවශ්‍ය?


මොනවද තියෙන්නේ.. මෙනු එකක් එවන්න පුළුවනිද?


දැන්නම් සර්ට ගන්න වෙන්නේ සැන්විචස් විතරයි...  මොකද කිචන් එකත් වහලා.. ඒත් අපි ඉක්මනට එවන්නම්..


එහෙනම් සැන්විචස් ප්ලේට් හතරක් එවනවද?


සර් දෙන්නෙක් නේද ඉන්නේ... දෙකක් ඇතිවෙයි.. ඒකටම තව ඇක්සසරීස් වගයකුත් එනවා..


ඕකේ.. එහෙනම් දෙකක් එවන්න... ගුඩ් නයිට්.


ගුඩ් නයිට් සර්..


මෙන්න ටිකකින් වේටර් කොලුවෙක් එනවා අර ක්ලබ් සැන්විච් කියන ජාතියේ ඒවයි, අලකූරු බැඳපුවයි, තම්බපු එළවළුයි දාපු පිඟන් දෙක උස්සගෙන... ලෝකේ තියෙන අන්තිම කෑම වේල වගේ දැක්කේ.. එච්චර බඩගිනි... ඉතින් ඊට පස්සේ වේටර් මල්ලි ඒව මේසෙ උඩින් එහෙම තියලා මට මෙහෙම කිව්වා...


සර්, මේ බිල් එක සයින් කරලා දෙනවද?


ඕකේ මල්ලි, දෙන්න... අනේ පෑනත් දෙන්න මල්ලි...


බිල බලපු මගේ යටිබඩෙන් හීනි කැක්කුමක් වගේ එකක් ඇවිත් ඒක බඩ හරියෙන් නැවතුනා... මේ තියෙන්නේ ගෙඩි රුපියල්ම 2800.00ක්... මම මටම හිනා වෙවී බිල් එක අත්සන් කරලා දුන්නා...



කොහොම හරි අර ගිය මාරක නින්ද නිසා දෙන්නටම එළිවෙනකම් නින්දක් නෑ.. දෙවෙනි දවසෙ ගොඩාක් දුර යා යුතු නිසා වේලපහින්ම එළියට බැස්සා.. අර මීටර් 100ක් විතර දිග බුෆේ එකෙන් බුරිය උල් වෙන්න කාලා පිටත් වුනා ලංකාවේ මධු සමයට යන යුවලවල් අතර ප්‍රසිද්ධ හුන්නස් ෆෝල්ස් හෝටලේට යන්න.. අප්පට සිරි.. මුහුදු යනවා වගේ... යනවා යනවා ඉවරයක් නෑ.. පාළු පාරවල් දිගේ වාහනේ එළවලා හෙම්බත් වෙලා හිටියේ.. ඒත් හෝටලේ දැක්කම ඒවා සංසිදෙන්න වැඩි වෙලා ගියේ නෑ...


කොහොම හරි එහෙ මෙහෙ ඇවිදලා ෆොටෝ එහෙමත් ගහලා කාමරේට ඇවිත් පොඩි ඇලට් එකකුත් දාලා රාත්‍රී කෑම සඳ හා යන්න සූජානම් වුනා... මම කොට කලිසමකින් හා ස්කිනි එකකින් සැරසිලා එලියට බැස්සේ සීතල ටිකක් දරුණුවට විඳගන්න සිතාගෙන.. මෙන්න මමයි භෝජනාගරයේ දොර ලඟ හිටපු සේවක මහත්තයයි අතර වුන දෙබස...


සර්, මෙහෙම ඇතුලට යන්න දෙන්න බෑ...


ඒ මොකද?


රෙස්ටුරන්ට් එකට එනවනම් ෆෝමල් විදිහට ඇඳගෙන එන්න ඕන..


කෝ ඉතින් කොහෙවත් එහෙම කියලා නෑනේ.. අඩුම ගානේ  රෙස්ටුරන්ට් එකේ බෝඩ් එකකින්වත්....


නෑනම් තමයි සර්, ඒත් මෙහෙම යන්න බැහැ..


කිරි අප්පට බල්ලො පැනපි.. දැන් මොකෝ කරන්නේ... පාට් එක බස්ස ගන්නත් බැහනේ...


හරි එහෙනම්, මගෙ රූම් නම්බර් එක 105. ඒකට ඩිනර් එක එවන්න...


ඕකේ සර්, මොනවද එවන්න ඕන...


රයිස් අන්ඩ් කරි.. (දවස තිස්සේ මඟ දිගට අනන්මනම් කාල හිටපු නිසා බත් කෑමේ අවශ්‍යතාව නිසයි මම එහෙම කිව්වේ...)


ටිකකින් ආවා... තඩි ට්‍රේ දෙකක් අරගෙන.. අපි ටෙබල් එක අතින් පෙන්නලා පාඩුවේ හිටියා... මිනිහාත් තියලා ගියා.. අර සිද්දිය නිසා පොඩ්ඩක් තරහ ගිහින් හිටියෙත්... තඩි පියන් දෙක ඇරපු මම කෑම එක දිහා බැලුවා.. මෙන්න මෙනූ එක...


බත්, වැටකොළු, පරිප්පු, භාගෙට උයපු බෝන්චි, සම්බෝල, පපඩම්, තම්බපු බිත්තරයක්... අම්මපා මේවා කන්න මේ හෝටල් වලට එන්න ඕනද? අමාරුවෙන් හිත පාලනය කරගෙන කෑම ටික කෑවා.. කියවන ඔක්කොටම කියන්නේ... රහට කන්න හිතාගෙනනම් හුන්නස් ෆෝල්ස් යන්න එපා... අනිත් හැම දෙයක්ම නිසි පරිදි තිබුනත් ඔවුන් රහට කෑම දෙන්න අදටත් අසමත්.. මම යවන කස්ටමර්ස්ලා කරන එකම චෝදනාව තමයි ඕක..


ඔය විදිහට එදා රෑත් ගෙවිලා ගියා.. ඊලඟ රැය සඳහා වෙන් කර තිබුනේ මහනුවර අර්ල්ස් රිජන්සි හෝටලය... අන්න හෝටල්... කිසි දෙයක වැරැද්දක් කියන්න නෑ... සුපිරිම සුපිරි.. අද වෙනතුරු මම කාලා තියෙන හෝටල් අතරින් කෑම රහම හෝටලය තමයි මේ... වටේ යනවනේ.. ඉතින් අපි පිටත් වුනා රිජන්සි එන්න... අප්පටසිරි.. මගේ ඇදුම් ඉවරයි.. පරණ එකක් ඇදගෙන තෙල්දෙනිය ටවුමෙන් ශෝටකුයි ටී ෂට් එකකුයි අරගෙන ඒකත් ඇඳගෙනම පිටත් වුනා.. එහිදී මොකුත් විශේෂ සිදුවීම් නෑ... ඉතා විශිෂ්ඨ ගණයේ හෝටල් අත්දැකීමකුත් එක්ක ඒ දවස ගෙවී ගියා...



දැන්නම් දිඟ වැඩියි වගේ.. දෙවෙනි ගමනත් මේකෙන්ම ලියන්න අදහස් කරගෙන සිටියත් ඒක ඉතා දිග වැඩිවෙන කාරණයක් නිසා මෙතනින්ම නවතිනවා... ආයෙත් එන්නේ විවාහ දින මතක සටහන් කථා පෙලේ අවසන් කොටස අරගෙන... ඒ තමයි දෙවෙනි ගමන.. අධිවේගී රිය ධාවන, රා සමඟ ආරාධිතයින් පොලීසියේ, නැට්ටුවෝ වෙරිවී බල්ටි ගසන අවසන් කොටස සතියක් ඇතුලත බලාපොරොත්තු වන්න....


ප.ලි. පුරා වසර දෙකක් මා සමඟ සිටි ඔබ මාගේ ශක්තියයි... ඒ වෙනුවෙන් මාගේ හෘද්‍යාංගම ස්තූතිය පිළිගන්වන අතර ඒ ලබා දුන් සහයට මම සදා ණයගැතියි...