Meemure Jungle Resort

Friday, August 31, 2012

වටේ යන්න කැමති අය ඇවිත් කියවන්න... අවසන් කොටස සහ ලස්සන අලුත් බ්ලොග්

මන්නාරම් කතාවේ අවසාන කොටස අරන් එන අතරේ ලස්සන අළුත් බ්ලොග් එකක් ගැනත් කට්ටිය දැනුවත් කරන්නයි හදන්නේ.. ඒ වගේම පරණ යාළුවෙක් අළුතෙන් ඇවිත් ඉන්නවා...ඉස්සෙල්ලා මන්නාරම් ගමන අවසන් කරලා ඒ විස්තර ටික කථා කරමු..

ගමනේ අවසන් දවස... අද දවසේ අපි බලන්න හිතාගෙන යන්නේ පහත සඳහන් තැන්...

1. තිරුකේතීශ්වරන් කෝවිල
2. බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන
3. මඩු පල්ලිය
4. මඩු ගල් පාලම
5. මඩු එල්ලෙන පාලම
6. මන්නාරම් කොටුව

පිළිවෙලට කථා කරමු.. අදත් සුපුරුදු පරිදිම ගියේ ත්‍රිරෝද රථයේ නිසා අපි කෙළින්ම සංචාරක ස්ථාන වලට යමු..

තිරුකෝදීශ්වරන් කෝවිල 

ඊශ්වර දෙවියන් සඳහා වූ කෝවිල් කිහිපයක් ලංකාවේ සිව්දිග් භාගයේ පිහිටා ඇත.. හලාවත මුන්නේශ්වරම්, ත්‍රීකුණාමලයේ කෝනේශ්වරම්, හා මන්නාරම තිරුකේදීශ්වරම් කෝවිල් මේ අතර ප්‍රධානව වේ.. ඉන්දියාවේ රාමේශ්වරම් කෝවිලද ඒ හා බැදී පවතී.. අප නරඹන මන්නාරමේ, ඒ-32 මාර්ගයේ පිහිටා තිබෙන තිරුකේදීශ්වරම් කෝවිල රාම රජුගේ මාමන්ඩියකු වන මායන් විසින් ඉදි කල බවට විශ්වාසයක් ඇත.. ස්නානය සඳහා මෙන්ම සියළු පහසුකම් සමඟ සකසා ඇති මෙම කෝවිලේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ..











2. බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන

තිස් වසරක ශාපලත් යුද්ධයේ අමිහිරිතම අත්දැකීමක් වූ බිම් බෝම්ම ගොඩ දැමීමේ කාර්යයේ තවමත් කට්ටිය නියැලෙනවා... විදේශ ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරෙන මෙම ක්‍රියාවලියේ සියළු කටයුතු ඉතාම හොඳ  අධීක්ෂණයකින් කෙරෙනවා අපි දුටුවා.. ජීවිත කාලයේ අපිට අඳින්න ලැබෙන ඇඳුම් විවියි.. සමහර ඒවා දුර්ලභයි.. මේ එවැනි ඇඳුමක් ඇඟලාගත්ත අවස්ථාවක් තමයි...









මඩු පල්ලිය


මරිය දේව මතා පිළිරුව තැන්පත් කල ඇති මෙම මඩු පල්ලියේ ඉතිහාසය පෘතුගීසි කාලය දක්වා දිව යනවා.. රුදුරු එල්ටී ටී ඊ ග්‍රහණයට නතුව තිබී 2008 අප්‍රේල් 25 වනදා මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුතු වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ 57 වන සේනාංකය විසින් මඩු පල්ලිය මුදවා ගනු ලැබුවා.. දැන් එය නිතරම වන්දනා කරුවන්ගෙන් පිරී පවතින ස්ථානයක්... මගේ ගමන් සගයා වූ අමිල කිතුණු බැතිමතෙක් නිසාම ඔහුටනම් මේ ගමන ඉතාම වැදගත් එකක් වුනා.. මේ තියෙන්නේ පින්තූර....








4. මඩු ගල් පාලම

සංචාරකයින් අතර එතරම් ප්‍රසිද්ධ නැති මෙම පාලමේ, ඡායාරූප තමයි මේ තියෙන්නේ.. මෙහි ඉතිහාසය කීමට කිසිවෙක් අපිට සොයා ගන්නට ලැබුනේ නෑ.. දන්න කෙනෙක් සිටීනම් යටින් කමෙන්ට් කරයි කියලා හිතෙනවා.. මේ තියෙන්නේ ඡායාරූප...








5. මඩු එල්ලෙන පාලම

මෙහිත් විස්තර කියන්න ඒ පිළිබඳව දන්න කෙනෙක් සොයා ගැනීම අපහසු වුනා.. මන්නාරම බලන්න යනවානම් යා යුතුම තැනක්.. එතරම්ම එය ලස්සනයි... මෙන්න ඡායාරූප..







6. මන්නාරම් කොටුව

1505 පෘතුගීසින් විසින් සාදන ලද මේ මන්නාරම් කොටුවේ අද ඇත්තේ කොටු බැම්ම පමණි.. කලපුවට මුහුන ලා ඇති කොටු බැම්ම තමයි මේ...




මේ තවත් ඡායාරූප... 





මාගේ ඊලඟ සිහිනය... ඒ 32 පුත්තලමේ සිට යාපනය බලා..
මම කලින් කිව්වනේ අළුත් බ්ලොග් එකක් හදුන්වලා දෙනවා කියලා.. ඒ තමයි ගැඹුර සරලව හා සුගමව කියන බ්ලොග් එක.. ලස්සන කථාවක් එහෙමත් යනවා... ඒ වගේම වයිට් කණ්ණාඩි කියන පරන හිතවතියකුත් මේ දවස්වල උසස්පෙළ ඉවර වෙලා කල එලි බැහැලා ඉන්නවා.. බ්ලොග් ලෝකේ සමාන්‍ය තියරියක් අනුව ඉදිරියේදී මේ බ්ලොග් එකේ හිට් වැඩි වෙන එක ගැන නම් ආයේ අහන්න දෙයක් නෑ.. ඔය දාල තියෙන පාරවල් දිගේ ගිහින් බලන්න එහෙනම්...

ප.ලි. දේශාටන ඉවරයි.. මම කියපු ජීවිතයේ අඳුරු පැත්ත අරන් මම එනවා ලබන සතිය දිහාවට.. අමාරුවෙන් මේ මාසේ පෝස්ට් 4ක් ලියා ගත්තා...

Monday, August 27, 2012

අද කාටද නෙළුවේ කියලා බලන්න මගේ බ්ලොග් එකට ගොඩ වෙන ඔබට....

මේ දවස්වල අළුත් ව්‍යාපාර කටයුතු නිසා ඉතාම කාර්ය බහුල වෙලා ඉන්නේ... ඒ නිසා මේ මාසෙටම ලියන්න වුනේ පෝස්ට් දෙකයි.. මේ තුන්වෙනි එක.. බ්ලොග් යාලුවෝ දෙන කෝල් වලින් වගේම චැට් මැසේජ් වලින් ඊ මේල් වලින් කියවුනේ මම ලඟදිම පහර එල්ල කරන්නේ කාටද කියලා බලාගෙන ඉන්නේ කියලා... අනේ මම බයයි ඕවට... හිනාවෙන්න ආපු මගේ බ්ලොගේට දැන් එන්නේ කාට හරි නෙලනවා බලන්න වගේ..... ඉතින් එයාලා වෙනුවෙනුත් මොකුත් නොලියා ඉන්න එක හරි නැති නිසා මම ඔවුන් වෙනුවෙනුත් යමක් අකුරු කරන්න හිතුවා.. මෙන්න ඒ වෙනුවෙන් ලිපියක්.. මේ ලිපියෙන් මම නෙලන්නේ කාටද? කාටවත් නෙලන්නේ නෑ..ඒත් නෙලන්නෙ කාටද කියලා බලන අයටයි, අනිත් අයටයි ඔක්කොටම මෙන්න එහෙනම් "වටේ යන්න - 3". ඒ කියන්නේ මන්නාරම් සංචාරයේ තුන්වන කොටස.. නොකියවපු අය ඉන්නවානම් මෙන්න මෙතනින් යන්න. පළවෙනි කොටස මෙතනින්.. දෙවැනි කොටස මෙතැනින්....


අපි අවසන් කලේ ලුණු ලේවාය නරඹලා කූල් බියර් දෙකකුත් අරන් නවාතැනට ගිය හැටි නේ... මොන කාරණාවක් නිසාද මන්දා අපි දෙන්නටම කිසිම බඩගින්නක් දැනුනේ නෑ... ඒක නිසාම පොඩි බයිට් එකකුත් එක්ක බියර් දෙක පානය කරලා සුදර්ශන්ට ඇමතුවේ හවස් ගමනට සුදානම් වෙමින්.. හවස් වරුවේ අපි හිතාගෙන හිටියේ මඩු පල්ලි ගොස් ඇවිත් ඉර බහින වෙලාව බලලා ආදම්ගේ වැලි පර බලන්න යන්නයි... ඉන්පසුව රෑ බෝ වී මන්නාරම් කාලි අම්මාන් කෝවිලේ ගිණි පෑගීමේ උත්සවය බලන්න යන්නත් අදහස් කලා.. නමුත් වැඩි විස්තර සඳහා මන්නාරම නාවික හමුදාවේ ලුතිනන් කොමදෝරු දයානන්ද මහතාට ලබාදුන් දුරකථන ඇමතුමේදී එතුමා පැවසුවේ වැලි පර බලනට යන අවසන් බෝට්ටු ගමන හවස 3.30ට පිටත් වන බවයි... මඩු ගමන පසුවදාට කල්තැබූ අපි වහාම ආදම්ගේ පාලම බලන්නට පිටත් වුනා....

හරියටම තලෙයි මන්නාරම් ජැටියට යද්දි වෙලාව 3.20යි.. කලින් ඇමතුමක් ලබා දී තිබූ නිසා සියළු කටයුතු පහසු වුනා... ලංකාවේ සිට ඉංදියාව දක්වා යන මෙම පාලමේ දෙවෙනි වැලි පරය තෙක් අපිට ගමන් කරන්න පුළුවන්... සම්පූර්ණ ගමන කිලෝමීටර් 20ක්.. මුහුදට බැසීම ටිකක් අනතුරුදායකයි මඩු මාළුවන්ගේ ගැවසීම නිසා... මේ තියෙන්නේ එහි ඡායාරූප...
ගමනට සූදානම්ව...

වතුර පාර ඇඟට වදින නිසා දුරකතන පාවිච්චිය එතරම් ගුණදායක නෑ..

බෝට්ටුවේ කොහේ ගියත් මම යන්න ආස මෙතන.... :)

නාවුක හමුදා කාර්යය මණ්ඩලය.. 


මේ සමබරතාවය ගිලිහුනොත් නම් කෙළින්ම මුහුදේ... 

ඈතට යන්න යන්න ගොඩබිම පෙනෙන්නේ මෙහෙමයි... 

මේ වැලි පර පණ මෙන් රකින නාවික හමුදා සොයුරන්ට අපි එහි සම්පූර්ණ ස්තූතිය පුද කල යුතුයි.. එහි අත හැරෙන පොඩි පොලිතීන් කැබැල්ල පවා ඔවුන් යළි රැගෙන එනවා... නාවික හමුදා සොයුරන්ගේ විපරම් බැල්ම සහිතව අපි මුහුදේ නාන්න ලැහැස්ති වුනා.. මුහුද නිශ්චල වුනත් යටින් අදින ගතියනම් ටිකක් වැඩියි.. ඒ නිසා බොහොම කල්පනාවෙන් නාන්න ඕන... මේ තියෙන්නේ තව ඡායාරූප...


ආදම්ගේ පාලමේ නාපු අපි...

අනතුරුව නැරඹුවේ තලෙයි මන්නාරම් ප්‍රදීපාගාරය.. හවස හයෙන් පසු සෑම තත්පර 15කටම වරක් මෙයින් නිකුත් වෙන ආලෝක කදම්බය නැවියන්ට ඉතා ප්‍රයෝජනවත් වනවා කියන එක හිතාගන්න අමාරු කාරණයක් නෙවෙයි....
තලෙයි මන්නාරම් ප්‍රදීපාගාරය



මේ තියෙන්නේ මොකක්ද කියලා දන්නවද? මේ තමයි ඉතාමත් ප්‍රසිද්ධ මන්නාරම් ජැටිය.. එවකට ඉන්දියාවට යාමට මෙන්ම බාණ්ඩ ප්‍රවාහනයටද තෝතැන්නක් වූ මේ ජැටිය ඉතාමත් අබලන් තත්ත්වයේ තමයි අද තියෙන්නේ.. නමුත් මේ සිදුවෙන සංවර්ධන වැඩ පිලිවෙලේ තරමට මෙයත් ඉක්මනින් පිළිසකර වෙයි කියා හිතෙන බවක් තමයි අවට හිටපු ධීවර ජනතාව අපට කිව්වේ....


මන්නාරම් කන්‍යාරාමය ඇරිලා ගීතය මතකද? යුද්ධය කාලයේ අපේ හදවත් පීරි ගාපු ඒ ගීතයේ  තිබ්බ කණේරු ගහ... අද කණේරු ගහනම් නෑ.. පේසාලෙයි හන්දියනම් තියෙනවා.... විශාරද රශ්මි සංගීතා ගායනා කරන ගීතය අහලා නැත්නම් මෙතනින් අරගෙන අහන්න.. (වැම්පා උඹ මේක කියවනවානම් ට්‍රයි එකක් දියන්කො ලංකාවේ යුද්ධය ගැන ලියවෙච්ච සිංදූ සීරීස් එකක් පටන් ගන්න..)

රාත්‍රියේ අපි ගියේ මන්නාරමේ පත්තිනි දේවාලය බලන්න... එයනම් සැබෑ මංගල්‍යයක්.. අළුත් ඇඳුම් ඇඳගත් කාන්තා පිරිමි ජනකාය හැබෑ භක්තියෙන් එම මංගල්‍යයේ යෙදිලා හිටියා.. ගිණි පෑගීම යෙදිලා තිබ්බේ ගොඩාක් රෑ.. පසුවදා උදෙන්ම මඩු බලා පිටත් වීමට තිබූ නිසා අපි ටිකක් ඉක්මනට එතනින් ආවා...
ගිණි පෑගීම සඳහා සැකසූ ගිණි ගොඩ..

පත්තිනි දේව මෑණියන්ගේ පිළිරුව...

පත්තිනි දේව මෑණියන්ගේ පින්තූර...
අවසන් කොටසත් මේත් එක්කම මේ සතියේ ලියා මේ කතා පෙළ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා... මේ මාසෙට   ලිපි තුනක් ලිව්වෙත් අමාරුවෙන්....

ප.ලි. පහුගිය දවස්වල බ්ලොග් ලෝකයේ කඩා වැටීමක් තියෙනවා කියලා කට්ටිය කෑ ගැහුවට පරණම බ්ලොග් තුනක් මේ සතියේ නැවත කරලියට ඇවිත් තියෙනව දැක්කා... මේ තියෙන්නේ ඒවාට යන පාර... "දියත් කුලේ අපි" , "ටොපිය" , "හිපියෙකුගේ සටහන්"