Meemure Jungle Resort

Wednesday, October 31, 2012

මගේ පවුල මට වඩා අවුරුදු 14ක් වැඩිමල් මහත්තයෝ.... (18+ නැත.)


මතකද මම කිව්ව දවසක් මම මගේ ජීවිතේ අඳුරු දවස් ගැන ලියනවා කියලා... ඉතා ඈත කාලයේ මගේ වයසේ ගැටව් 25කට වැඩි පිරිසකට පොලිසියේ රැඳෙන්න වුනා පැය හයකට ආසන්න කාලයක්... කූඩුවට යන්න වුනේ නෑ, මොකද එතකොටත් එහි සිර මැදිරිය පාසැල් දෙකක සිසුන්ගෙන් පිරිලා තිබ්බා... මහා ක්‍රිකට් තරඟය දවසේ පොලිසියේ රාජකාරී වලට බාධා කිරීම එහෙම නැත්නම් පොලිස් නිළධාරීන්ට අවමන් කිරීම, ඔවුනුත් සමඟ ගැටීම වගේ මහා ක්‍රිකට් තරගයක් සමයේ ඇතිවන සාමාන්‍ය චෝදනා තමයි අපිට එල්ල වෙලා තිබ්බේ.... නමුත් අද දවසේ ලංකාවේ ප්‍රසිද්ධ චරිතෙකුත් මේ කට්ටිය එක්ක හිටපු නිසා අපිට වැඩි වෙලාවක් මෙහි රැදෙන්න උවමනාවක් නෑ කියලා අපිට හිතුනා... මෙතන තිබ්බ හොඳම සිද්ධිය තමයි මෙතන අපිත් එක්ක සාමාන්‍ය වරදකාරයොත් රඳවලා තිබ්බා සිර මැදිරියේ ඉඩ නැති නිසා.. මීට අවුරුදු 11කට කලින් මුණ ගැහුණ ක්ලිෆර්ඩ් පෙරේරාගේ සංවේදී කතාව තමයි මම මේ කියන්න යන්නේ.... ක්ලිෆර්ඩ් එදා අපිත් එක්ක පොලීසියේ හිටියේ ඊට පහුවදා බෝගම්බර යන්න බලාගෙන...

මදුවිත නිසා ඇති වූ මත් ගතියත් තුරන් වෙලා තිබ්බ නිසාත්, පොලිස් නිළධාරීන් අපිට ආතල් ගන්න ඉඩ නොදුන්න නිසාත්, හැමෝම බලාගත්ත අත බලාගෙන අනන් මනන් කොදුර කොදුර හිටියා... මමත් බිම ඉඳගෙන ඔහේ බලාගෙන හිටියා... ගලවපු ෂර්ට් එක ඔලුවට තියාගෙන අවුරුදු පනහක විතර මනුස්සයෙක් මම ලඟ නිදාගෙන හිටියා... ටික වෙලාවකින් ඔහු මගේ පැත්තට ඔළුව හරවලා මෙහෙම ඇහුවා...

බොසා... ගිනි පෙට්ටියක් නැද්ද?

ඒ කාලේ කොයි වෙලේද ගිනි පෙට්ටියක් නැත්තේ.. මම සාක්කුවෙන් ගිනි පෙට්ටියක් අරන් දුන්නා...

බොසා.. මම මේක තියාගන්නවා.. මාව ඇතුලට දාද්දි මුන් මගේ ගිනි පෙට්ටියයි සිගරට් ටිකයි ඔක්කොම ගත්තා... බොසා... සිගරට් එකක් නැද්ද?

අපිව හෝල් සේල් ඇතුලට ගෙනාපු නිසා අපිව පරීක්ශා කලේ නෑ.. ඒ කාලේ තිබ්බා මැටහෝන් කියලා මෙන්තෝල් සිගරට් එකක්... ඒ පැකට් එකක් මගේ සාක්කුවේ තිබ්බා.. ආයේ සිගරට් එකක් බොන්න හිතක් තුන් සිතකවත් නොතිබ්බ නිසා මම ඒක පිටින්ම ඔහුට දුන්නා...

බොසා.... බොසා නම් දෙවියෙක්....

ඔහු මට එසේ කුළුපඟ වෙද්දි මට හිතුනා ඔහුත් එක්ක ටිකක් කතා කරන්න...

අයියා.. ටිකක් කතා කරමුද?

මොනාද...? ඔහුගේ ගැඹුරු හඬ මට අදටත් ඉතා පැහැදිලිව මතකයි...

කොහෙද ඉන්නේ....

එළුගලේ....

මොකෝ අද මෙහෙ එක්ක ආවේ...

වරෙන්තු...

මොකටද?

කසිප්පු තමයි ඉතින්...

අප්පට සිරි...

වරෙන්තු දෙකක් බොසා... මට ඒත් මතක එකයි... මුන් තමයි කියන්නේ වරෙන්තු දෙකක් කියලා...

කවුරුත් ආවද ගෙදරින්...

මම එන්න එපා කිව්වා බොසා... හෙට කෙළින්ම යනවා ඇතුලට... මාස හයක් විතර ඉඳලා එනවා ආපහු... මොහු නිකම් සාමාන්‍ය දෙයක් වගේ කියවනවා...

නම මොකක්ද අයියේ...? මම කථා කරන එක බාධාවක්ද? 

බොසා... මගේ මල්ලිත් මට අයියේ කියන්නේ නෑ.. ඉතින් මට අයියේ කියපු මල්ලි කතා කරන එක මට අවුලක් නෑ.. අහන්න... දැන් අපේ වුනුත් වට වෙලා කථාව අහන්න...

නම?

ක්ලිෆර්ඩ්.. ක්ලිෆර්ඩ් පෙරේරා..

මෙහෙමද ගෙවල්..?

වත්තල... ගෑනි මෙහෙ...

දැන් කෝ..

රට ගියා...

ඒ මොකෝ...

එයා ගුරුවරියක්.. සයිප්‍රස් ගියා.. දෙපාරක් ආවා මට ටිකට් හදාගෙන.. මම යන්න බෑ කිව්වා බොසා... ඊට පස්සෙ ලමයිනුත් අරගෙන එයා ගියා...

ඇයි යන්න බෑ කිව්වේ..

එතකොට මම කුඩු ගහන්න ඇබ්බැහි වෙලා.. ගියොත් ඒක නැති වෙනවානේ...

එතකොට දැන් ඉන්නේ...

දෙවෙනි ගෑනිත් එක්ක...

අප්පට සිරි.. ඒක කොහෙන්ද සෙට් වුනේ...

කසිප්පු බොන්න ගිහින්....

ඒ කිව්වේ...

එයා තමයි කසිප්පු හැදුවේ... මම බොන්න ගිහින් උදව්වට ඉදලා අන්තිමේ එතනම නැවතුනා... මට නිකන් අවුල් වගේ මේවා අහලා.. අපේ වුන්ගේ ඇස් උඩ ගිහින් මේ වෙද්දි...

පොඩි කාලේ කොහෙද හිටියේ..

වත්තල..

ඉස්කෝලේ...

වත්තල ******* ( ඉස්කෝලේ නම අහපු අපිට නිකන් පිස්සු වගේ වුනා..)

අම්මයි තාත්තයි...

තාත්තා ඩොක්ටර්.. අම්මා නර්ස්... ආයෙත් තරු පැන්නා අපේ ඔළුවලින්.. දැන් මේක සාමාන්‍ය දෙයක් වුනාට ඒ කාලේ අපිට නිකන් ඔළුවට කුළු ගෙඩි පාරවල් වදිනවා වගේ..

දැන් අයියා හිරේ ගියාම කවුද බිස්නස් එක කරන්නේ...

මගේ පවුල කරයි... එයා දැන් අවුරුදු 31ක් මේ රස්සාවේ...

අයියට දැන් කීයද වයස....

48යි...

එතකොට පවුල අවුරුදු 17 ඉඳලා කසිප්පු පෙරනවද?

මගේ පවුල මට වඩා අවුරුදු 14ක් වැඩිමල් මහත්තයෝ... 

ඈ..... *&*#@*&? තරු පොකුරු පොකුරු අපේ වුන්ට.... වෙරි හිදිලා ඔක්කොටම... දැන් හෙට මොකද කරන්නේ...

මුන් උසාවි දායි.. මම ඇතුලට යයි... 

පොලීසියේ දුරකථනය නාද වුනා... පොලිස් සැරයන්ගේ උත්තරේ මෙහෙමයි...

ආ.. හරි සර්... මැච් එක ඉවර වෙච්ච ගමන් එලියට දාන්නම්.. ඔව් සර්.. රෑ වුනොත් මෙයාලට බසුත් නැති වෙනවනේ.. හරි සර්.. තව විනාඩි පහලොවකින් විතර දාන්නම් එලියට....

නිදහස් සුසුම් හෙලුවත් අපි එකෙකුටවත් ක්ලිෆර්ඩ් දාල යන්න හිත නෑ.. මැච් එක ඉවර උනාට පස්සේ අපිව පිටත් කරා.. එන්න ලැහැස්ති වෙලා මම අන්තිම ප්‍රශ්නේ ඇහුවා...

අතීතය මතක් වෙද්දි දුක නැද්ද අයියේ...?

මොකටද? මේ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් කියවන ඔබ ලඟ තියෙනවද?


Wednesday, October 17, 2012

ඔන්න නංගි ඔයාගේ ඩෙනිමේ ****........ දැන් හැදෙන උන් නම් මේවා කරන්න එපා....


පහුගිය දවසක පෝස්ට් එකක මම කීවා මම ඉස්සර කරපු පොඩි පොඩි චාටර් වැඩ ටිකකුත් බ්ලොග් එකේ ලියනවා කියලා... ඉතින් ඒ වැඩේ පටන් ගන්න තමයි මේ හදන්නේ.. දැන් හිතෙනවා මේ වැඩ හරිම වැරදියි කියලා... නමුත් වයසේ වැරැද්ද කියලා හිත හදා ගන්නවා.. කවදහරි දවසක මගේ දරුවොත් ඊටත් එහා අනාගතයේදී ඔවුන්ගේ දරුවොත් මේ විදිහෙම වැඩ කලෑකි.. ඒ කාලෙට අපේ තරුණ කාලේ මතක් කරලා ඉවසලා ඉන්න මේ වැඩත් උපකාරී වේවි..

මේ 1999 හෝ 1998 බිග් මැච් දවස....  ටෙස්ට් මැච් එකත් නෙවෙයි.. වන් ඩේ මැච් එක දවස... ශිෂ්‍ය නායක වගකීම් වලිනුත් මිදිලා දැන් කට්ටිය වැඩ වලට සෙට් වෙලා උදේම.. ආයේ බිග් මැච් එක දවසට අපි තරම් චන්ඩි නෑ.... කොහොමහරි ඇතාගලේ අපිටම කියලා අනන්‍ය වෙච්ච බිං කොහොබ ගහයට සෙට් වුනා.. අමාරුවෙන් හැට් කලෙක්ශන් දාලා ගත්ත ගල් බෝතලෙයි ( මට මතක හැටියට ඒ කාලේ 220යිද කොහෙද) සිගරට් පැකට් තුන හතරයි අරගෙන දැන් කට්ටිය ගජ රාමෙට වැඩ.. බයිට් සැන්ඩි ගන්න සල්ලි නැති නිසා අමුවෙන්ම තමයි වැඩ... මොකක් හෝ කරුමෙකට වෙන උන් බොන අතරේ මම ගල දිහා බලාගෙන දුම් වැටියක් උරමින් උන්නා... වත්හිමිය පිටිපස්සෙන් පැනලා අපිට නොදැනෙන්න අපේ ලගටම ආපු අපේම ආදරණීයම ගුරු පියතුමෙක්ව අන්තිම මොහොත වෙනකන් නොදකින්න අපි හරිම අවාසනාවන්ත වුනා.. 

ආ.. කොල්ලො ටික බොනවා නේද?

සර්ගේ තිබ්බ දරුණුකම නිසා අපිට චූ නොගිය ටික විතරයි....

ඔව් සර්.. අද ඉතින් බිග් මැච් නේ...

බය වෙන්න එපා යකෝ... කෝ ගනින් මටත් ශොට් එකක්.. මේක අරන් ගිහින් සෝඩා බෝතලයක් ගෙනෙන්...

අදටත් මේ ගුරුතුමා බීමට ඇබ්බැහි වෙලා වගේ ඉන්නේ... ඒ කාලේ අපි හිතුවේ ගුරුතුමෙක් එක්ක සෙට් වෙන එක හරි වීර වැඩක් කියලා...

අපි 13 වසරේ ඉද්දි අපේ පන්තියට දොරවල් දෙකක් තිබ්බා... ඉන්ටවල් එකේ පන්තියේ සියළුම ආතල්, මම ඇතුලු තව හතර දෙනෙකුට මිස් වෙන්නෙ අපිට ශිෂ්‍ය නායක රාජකාරී වලට යන්න වෙන නිසා... දවසක් ප්‍රිෆෙක්ට් ඩියුටි ඉවර වෙලා එනකොට අපේ පන්තියේ උන් ඇතුලෙන් ලනුවක් දාලා පන්තියේ දොරවල් දෙකම එකට ගැට ගහලා අරින්න බැරිවෙන්න... අපිටවත් ඇතුලට යන්න විදිහක් නෑ.. කට්ටිය පට්ට ෆන් එකක් ගන්නවා ඇතුලේ... ඊලඟ පීරියඩ් එකේ තිබ්බේ ඉංග්‍රීසි.. සර් ඇවිල්ලා දොර ලඟ... සර් එක පාරට හැරිලා මෙහෙම කිව්වා...

එදිරිසිංහ, ගිහින් ගෙනවා බ්ලේඩ් එකක් මේ ලනුව කපන්න...

කොහෙන් හොයන්නද සර් මේ වෙලාවේ බ්ලේඩ්....

ඒක කියන කොට කලා වාණිජ අංශයේ ගුරුවරු ඔක්කොම එතනට ඇවිත් මේක මහා කලබගෑනියක් වෙන පෙර ලකුණු පහල වෙලයි තිබ්බේ... පිටි පස්සෙ දොර ලඟම හිටියේ කෝට්ටෙයා.. දොරේ හිඩැසින් එබිච්ච මමයි ඌයි අතරේ වෙච්ච දෙබස මේ....

කෝට්ටේ.. දොර ඇරපන්.. වැඩේ වන වෙන්න යන්නේ...

අනේ උඹ **** නැතුව හිටපන්... අපි මේ ආතල් එකේ ඉන්නවා... උඹ මෙතන මඟුලක් කියනවා...

මම ඉතින් පාඩුවේ ඉන්නවා... ඒ අතරේ අංශ ප්‍රධාන සර් ගියා බ්ලේඩ් එකක් ගේන්න.. මම ආයෙත් එබුනා දොරෙන්....

කෝට්ටේ දොර ඇරපන්.... සර් ගියා බ්ලේඩ් එකක් ගේන්න... ඔක්කොටම ශොට් එක හම්බෙන්න යන්නේ...

අභියා පාඩුවේ හිටපන්.. තව එක පාරක් එබුනොත් මම උබට කෙල ගහන්නේ.... 

එහෙම කියලා මූ කාරලා කෙල තලියක්ම කටට ගත්තා.. අනේ නිකන් මම මොකටද කෙල පාරවල් කන්නේ කියලා මම පාඩුවේ පැත්තකට වුනා... 

කවුද එදිරිසිංහ දොර ලඟ ඉන්නේ...?  ඒ තව සර් කෙනෙක්ගේ කටහඬ...

දන්නෙ නෑ සර්.. පේන්නේ නෑ.. මම කියපු ගමන් සර් එබුනා දොර අස්සෙන්...

අහ්.. කොට්ටෙගොඩ.. අරිනව දොර....

ක්‍රෑස්.... තුහ්.....

කෙළ තලියයි සර්ගේ මූණ පුරා... අරූ මම කියලා හිතුවට එබුනේ සර් කෙනෙක් කියලා හිතුවේ නෑ... එතනින් එහාට තත්ත්වය හරිම සෝචනීයයි...

මේ අන්තිම කතාව... මේක සිද්ධ වුනේ අපි කොළඹ ආපු කාලෙමයි.. බොරැල්ලෙ උමං මාර්ගය විවෘත කලෙත් ඒ කාලෙමයි.. ඉස්සර අපිට ඕක හරි කරදරේ.. යන්න ඕන පැත්ත නෙමේ යැවෙන්නේ... අන්තිමට විකල්පෙකට කලේ ඇතුලට බහින්න කලින් යන්න ඕන පැත්තේ වහලේ පාට බලා ගන්නවා.... ඊට පස්සේ ඇතුලට ගිහින් බලනව ඒ පාට වොල් ටයිල් අල්ලපු පැත්ත.. ඊට පස්සේ ඒ පැත්තට යනවා.. මේ සිද්ධිය සිද්ද වුනෙත් ඔය බොරැල්ලේ මගී පාලම යටදි...

මගේ කතා කිහිපයකම හිටපු ජනකයයි මායි බොරැල්ලේ එක පැත්තෙන් පහලට බැස්සා.. ඒ බොරැල්ලේ බස් ස්ටෑන්ඩ් එකට යන්න බලාගෙන... මගී පාලම යටින් ගිය අය දන්නවනේ, යන්න තියෙන්නෙ හරි කෙලින්.. අපි පඩි පෙල බහිනකොටම බස් නැවතුම්පොල පැත්තෙන් ලස්සනම ලස්සන නංගිලා දෙන්නෙක් පහලට බහිනවා... අපිට නිකන්ම හිනාවක් ගියා.. ඒක දැකපු කෙල්ලො දෙන්නා හරියට ලෝකේ ඉන්න අන්තිම ගෑනු ලමයි දෙන්න වගේ රවලා ගස්සලා අහක බලා ගත්තා... ඒක සමාන්‍ය දෙයක්නේ... ඒත් මේ දෙන්නා පමනට වැඩියෙන් මාර ගැම්මක් අරගෙන ඒ වැඩේ කලා....

බලපන්කො බන් මුන් දෙන්නගෙ ගෑස්.. ඉදපන්කො මම දෙන්න වැඩේ.... ජනාට මල පැනලා....

කෙල්ලෝ දෙන්නා අපි ලඟට එද්දිම ජනා එක ගෑණු ලමයෙක්ගේ කණට කරලා බොහොම හෙමින් මොනාදෝ කියලා උගේ ගමන ගියා....

හෑ...යි...... කියලා බෙරිහන් දුන්න ඒ ගැහැණු ලමයා අත් දෙක උකුල උඩ තියාගෙන එතනම ඉඳ ගත්තා... ජනා නවතින්නේ නැතුවම උගේ ගමන යනවා... මමත් ඉතින් මොකුත් උනේ නෑ වගේ ඌත් එක්කම ගියා... ඉවසලා බැරිම තැන මම උගෙන් ඇහුවා මොනාද බන් උඹ අර කෙල්ලට කිව්වේ....

"ඔන්න නංගි ඔයාගේ ඩෙනිමේ සිප් එක ඇරිලා....." කියලා කීවා බන්....


හොඳ කෑමක් නූලෙන් මිස් වෙලා තියෙන්නේ එදා.. දැන් මේව මතක් වෙද්දි අනේ අප්පේ කියලා හිතෙනවා.. වයස නිසා වෙන්න ඇති....