Tuesday, November 20, 2012

මෙන්න කතාවේ විසිල් සමඟ බල්ටි.. රිමාන්ඩ් එකට පිවිසෙන හැටි...

කලින් කතාවට තිබ්බ ප්‍රතිචාර නිසා ලියන්න පටන් ගත්තා ඔන්න දෙවෙනි කොටසත්.. ගෙවල් ලඟ උසාවියේ බන්ධනාගාරයට ගියාට පසු මගේ සඟයාට අවශ්‍යතාවක් ආවා මාව හමුවෙන්න.. ඔහු මේ බව එතන හිටපු ජේලර්ට කිව්වා.. ජේලර් මට ඇවිත් මෙහෙම කිව්වා...

අර මල්ලිට ඔයාව හම්බෙන්න ඕනලු... ඒ වුනාට අපිට ඒකට අවසර දෙන්න බෑ.. අපිට ඉතින් මොනා හරි සපෝට් එකක් දෙනවනන් ඉතින් ඒ ගැන සලකා බලන්න පුළුවන්..

හරි ජේලර් මහත්තයා.. ඌට එන්න කියන්නකෝ... මම කියන්නම් මිනිහට කාරණාව..

දැන් මමයි පොරයි කථාව ඉවර වෙනකන් මූ බලාගෙන හිටියා.. මම අරූට කිව්වා කීයක් හරි දෙන්න කියලා.. ඌ රුපියල් 200ක් දුන්නා..

මොකක්ද බන් මේ 200. මෙතනම ඉන්නවනේ තුන් දෙනෙක්.. 500ක්වත් දියන්..

ඔන්න 500ක් දුන්නා... දැන් ඉතින් අරූට මම ලඟට එන්න බාධා නෑ.. ඒ අතරේ එතන හිටියා නිමල් අයියා.. මාස තුනක් රිමාන්ඩ් භාරයේ ඉඳලා එදාම ඇප හම්බෙලා.. නිදහස් වෙලා ගෙදර යන්නයි සූදානම.. මගේ කතාව අහලා මට පොඩ්ඩක් බැනලා මිනිහා මට උපදෙස් දෙන්න පටන් ගත්තා.. රිමාන්ඩ් එක ගැන මූලික පාඩම එතනින් මට ලැබුනා.. මිනිහා ඔක්කොම කියලා අන්තිමේට මෙහෙම කිව්වා.. "මල්ලි, මම කියපු ක්‍රමයෙන් පිට මොනවවත් කරන්න කියන්න යන්න එපා.. ඒක ඔයාට කරදර වෙන්න පුළුවන්..." මම ඒ අවවාදය තරයේ හිතේ තියාගත්තා..

උසාවියේ නඩු අහලා ඉවර වුනා... දැන් තියෙන්නේ අපිව එක්කරගෙන යන්න... මේ අර රුපියල් 500ක් ගත්ත ජේලර්ලගේ හඬ..

නැගිටපියව්.. උඹලගේ අම්මට... කෝ.. ගනිව්.. වරෙන් මෙහාට...

මාත් සමඟ තව තුන් දෙනෙක් එදා බන්ධනාගාර කලා.. දැන් තුන් දෙනාවත් එක්ක යනවා බස් එකට..  

ආයෙත් සුපුරුදු ජේලර්ලාගේ හඬ..

නැගපියව් බස් එකට.. මුන්ගේ අම්මට... නැගපියව්.. පලයව් පස්සට... මුගේ අම්මට.. පල පස්සට.. කෝ කෝ.. ඉක්මනට.. පලයව්.. ඉඳගනියව්..

දැන් දොර වහගෙන කට්ටිය පිටත් වුනා.. ඒ අතරේ තමන්ගේ පොඩි එවුන් අති සුඛෝපභෝගී සෙල්ලම් බඩු වලින් කරන සෙල්ලම් තියෙන වීඩියෝ එකිනෙකාට පෙන්වමින් ඒ ගැන විස්තර කරනවා.. ගිය සති අන්තයේ කෑම කාපු කඩවල් (තරු හෝටල්) ගැනත් කියනවා.. නියමිත ගමනාන්තයට ආවා.. දැන් නැවතත් ජේලර්ලාගේ මිහිරි හඬ..

හා බැහැපියව්.. මුන්ගේ අම්මට.. ජනේල් වහලා බැහැපියව්ව්.. #$%@^ බැහැපියව් ඉක්මනට.. වරෙව් මගේ පස්සෙන්..

ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම පහලින් තියෙන වාක්‍යය තමයි ඇහුනේ..

අඩෝ අභීත මල්ලි... කොහෙද බන් උඹ මෙහෙ..

මම ජීවිතේට අදුරන එකම ජේලර්.. හරියටම උටම සෙට් උනානේ...

අනුන්ගේ පරිප්පුවක් කෑවා හිරන්ත අයියේ.. හෙට උසාවි දානවා කිව්වා...

පල යන්න.. හිටපන් මම උඹේ කොලේ බලලා එනකන්..

ඈ..? මේ මොකක්ද බන්.. උඹටත් වෙන්නෙම ඔහොම ඒවා.. හරි මොනාද වෙන්න ඕන..

මොකුත් වෙන්න එපා... හෙට උදේ මම යනවා.. විශේශයක් දක්වන්නේ නැතුව හිටහන් අයියේ.. පොඩ්ඩක් කියලා තියහන් මුන්ට මම උඹේ එකෙක් කියලා..

හරි හරි.. අවුලක් වෙන්නේ නෑ.. උඹව වැටෙන්නේ ඊ එකට.. මම උන්ට කියන්නම්...

එතන ඉඳන් මට ජේලර්ලගේ සද්දෙ නෑ.. ඒත් අනිත් උන්ට වුන හැටියට මට වුනා වගේ ලියන්නම්.. අළුත් සිරකරුවන් ලියාපදිංචි කිරීමෙන් පසු ඔවුන්ව යවන්නේ ත්‍රිවිධ හමුදාව ඉන්න කුටියකට.. ඒ ඔවුන්ව පරීක්ශා කිරීම සඳහා..

එන්න ඇතුලට.. යුධ හමුදා සෙබලාගේ මිහිරි වදන්...   තිර රෙදි වලින් ආවරනය වූ කුටියකට ඔහු මාව කැදෙව්වා...

කට අරින්න...

කමිසය ගලවන්න...

කමිසය අතට ගත් යුධ හමුදා සෙබලා එය වාටියක් නෑරම පරීක්ෂා කලා..

කමිසය ඇදගෙන කලිසම ගලවන්න.. යට කලිසමත් ගලවන්න...

එහිත් හැම සාක්කුවක්මත් වාටියක්මත් ඔවුන් පරීක්ශා කලා...

හරි දෙපාරක් ඉදගෙන හිටගන්න... මේක කරන්න කියන්නේ බන්කර් චෙක් කරන්න.. බන්කර් කියන්නෙ මොනාද කියන එක ඔබට පැහැදිලි වෙන්න ඇති කෝරලේ මහත්තයාගේ පෝස්ට් එකෙන්... මේ ඔක්කොම ඉවර වුනාට පස්සෙ නැවතත් අර හමුදා සෙබලාගේ ආදරණීය හඩ..

බොහොම ස්තූතියි...

ඔයාටත් ස්තූතියි...

අනික් කුටි වල හිටපු මිනිසුන්ටත් ත්‍රිවි හමුදා සෙබලු කතා කරපු ආකාරය මට ඇහුනා.. තාප්පයේ තියෙන "සිරකරුවෝත් මනුශ්ශයෝය" කියන එක ඉතාමත් හොදින් ප්‍රගුන කරපු පිරිසක්..  එතනින් එහාට තවත් ලොකු ගේට්ටුවකින් අපිව දැම්මා..

හා.. ඔතනින් පලයව් L එක හොයාගෙන.. ඒ අපිට... මුන්ට ගිහින් පෙන්නපියව් L එක තියෙන තැන.. එතන හිටපු අඩු වයස් හිර කාරයින් දෙදෙනෙකුට.. ඔවුන් දෙදෙනාට අවුරුදු 19කටනම් වැඩි වෙන්න බෑ..

වරෙන් මචන් යන්න..  මද දුරක් කැරකි කැරකි ගොස්.. මෙතන තමයි උඹලගේ පොට් එක.. මෙතනට කියලා පලයන්... කාර්යාලයක් වගේ එකක් පෙන්නමින් ඔවුන් කිව්වා..


එතන ගේට්ටුවෙන් අපි හතර දෙනා ඇතුල් වෙද්දිම පැරණි සිරකරුවෙක්ගෙන් ප්‍රශ්ණයක්.. ඔවුන් තමයි එම කාර්යාලයේ ලේඛණ කටයුතු සඳහා යොදවා තියෙන්නේ..

හෙට උසාවි ඉදිරිපත් කරන අය ඉන්නවද?

ඔව්.. ඒ මම.. මම විතරයි පහුවදාට උසාවි ඉදිරිපත් වෙන්නේ.. 

අනිත් අය යන්න.. ඔයා එන්න...

නම...?

මම ඉතින් නම කිව්වා... තවත් ගොඩාක් විස්තර ඇහුවා.. මව, පියා, පාසැල, රැකියාව ආදී බොහෝ පෞද්ගලික තොරතුරු ලේඛන ගත කලා.. කමිසය ගලවලා උපන් ලප තිබෙන තැන් පවා සටහන් කර ගත්තා...

හරි ඔතනින් බැහැලා ඊ වාට්ටුවට යන්න...

මම එතැනින් බහිනකොට රිමාන්ඩ් වූවන්ගේ විවේක කාලය.. හැමෝම තැන් තැන් වලට වෙලා සුහඳ සාකච්ඡා කරමින් හිටියා.. මට දැනුනේ මෙතන බොහොම නිදහස් තැනක් වගේ.. ඊ වාට්ටුව හොයන්න හිතාගෙන මම පහලට බැස්සා...

අඩෝ.. අභියා.. උඹ කොහෙද බන් මේ...

කවුද යකෝ රිමාන්ඩ් එකේ මාව පිලිගන්නේ... අප්පට සිරි... මාත් එක්ක නාරාහේන්පිට බෝඩිමේ හිටපු එකා.. ඌ දකිද්දිම මම දන්නවා ඌ මොකටද එන්න ඇත්තේ කියලා... ඒත් ඌ දන්නේ නෑනේ මම ආවේ ඇයි කියලා..

පොඩි කේස් එකක් වුනා බන්.. හෙට වෙනකන් රිමාන්ඩ් කලා..

හරි උඹ භය වෙන්න එපා.. උඹට අද ඉන්න වෙන්නෙ මම ඉන්න එකේ නෙවෙයි.. රුපියල් 1000ක් ලෑස්ති කරගනින් ගෙදරට කතා කරලා.. ඉතිරි ටික මම බලා ගන්නම්..

එල මචන්... කොහොම කෝල් ගන්නද බන්..

කෝල් මොනාද බන්... මේක ඇතුලේ මොනාද නැත්තේ.. වරෙන් යන්න... මම උඹව ගොඩ දාල දෙන්නම්..

මූ මාත් එක්ක ගියා.. කොන්ඩේ වවපු සිරා කොලු පාටක් තියෙන එකෙකුට අඬ ගැහුවා...

සුද්දා.. පොඩ්ඩක් වරෙන්...

අප්පා.. මොකෝ අයියා.. යාළුවෙක්ද? අළුතින්ද? කොහෙද? කවද වෙනකන්ද?

උඹට වැඩක් නෑ සුද්දා... මගේ බොක්කක්.. මූට හොඳට සලකපන්.. උඹ ලඟින් තියා ගනින්.. කරදර කරන්න දෙන්න එපා.. දත් ගලවන්න එපා.. මම මූට 1000යි කියලා තියෙන්නේ.. ඊට වඩා ගන්න එපා.. මූ අපේ සබ්ජෙක්ට් එකේ නෑ.. ඒක මූට පුරුදු කරන්න එපා..

හරි සුදු අයියේ... මම බලාගන්නම්... එන්න අයියේ...

අභියා... දැන් 5ට ගේට්ටු වහනවා.. හෙට උදේ වෙනකන් මට ආයේ එන්න වෙන්නේ නෑ.. උඹේ හිතේ ප්‍රශ්ණ තියෙනව මගෙන් අහන්න.. ඒවා හෙට උදේ අහපන්... කරන්න දෙයක් නෑ බන්.. ජීවිතේ ඔහොම තමයි.. මේක ඇතුලට ආවේ නවත්තන්න හිතාගෙන.. එලියට වඩා වැඩියි බන් මේක ඇතුලේ....

හරි චරියා.. තැන්ක් යූ... මම හෙට උදේ කතා කරන්නම්...

දැන් සුද්දා පස්සෙන් මම යනවා... 

අයියේ.. මම කියන විදිහට ඉන්න.. දැන් අපිව ඇතුලට දාන වෙලාව.. දෙන්න දෙන්න යන්නේ.. මගේ අත අල්ලගන්න..

එල මල්ලි....

ඊ වාට්ටුවේ ඔක්කොම දෙන්න දෙන්න අ අල්ලන් ඇතුලට යනවා.. හැමෝම දොරෙන් ඇතුල් වෙද්දිම සෙරෙප්පු අතින් අරන් තමයි ඇතුලට යන්නේ... ඒ අතරේ ජේලර්වරු ගනිනවා.. ඔවුන්ගේ වැඩ මුරය මාරු වෙද්දි නිතරම ගැනලා තමයි මාරු වෙන්නේ... වෙලාව 5යි...

අයියේ.. දැන් පන්සිල් ගන්න වෙලාව... කෝ දෙන්න සෙරෙප්පු දෙක... මේ ටීශර්ට් එක ඇඳ ගන්න.. ඕක දෙන්න... හොඳටම කිලුටුයි නේ.. මම හෝදලා දාන්නම්.. හෙට යනකොට ඇඳගෙන යන්න පුලුවන් එතකොට ඔයාට...

තෑන්ක්ස් සුද්දා..  මම ගිහින් ඉස්සරහින්ම වාඩි උනා..

බෙල්ලේ විශාල රිදී මාලයක් එල්ල ගත්තු හැඩි දැඩි සිරකරුඑක් ඇවිත් බුදු පිලිමෙට මල්, පහන්, හඳුන්කූරු පූජා කලා.. ඔහු තමයි මේ ඊ වාට්ටුවේ නායකයා කියලා ටිකක් වෙලා යද්දි මට තේරුනා.. හවත් වැඩිහිටි සිරකරුවෙක් පන්සිල් කියෙව්වා.. ඒ අතර තිසරන ගුන වගේම තුන් සූත්‍රය්ත් දෙවියන්ට පින් දීම මල ගිය ඥාතීන්ට පින්දීම ආදී සියලු ආගමික වතාවත් කෙරුනා.. ඇත්තට ඒ කටයුතු වලදීනම් මෙය රිමාන්ඩ් බන්ධනාගාරය කියා කිසි විටෙක සිතුනේ නෑ.. ආගමික කටයුතු අවසන් වුන ගමන් තිබෙන්නේ නවක සිර කරුවන් ඇමතීම...

අළුත් අය එන්න.... ඉඳගන්න... හරි.. මේ ටික අහගන්න...
යාළුවෝ ඉන්නවානම් එයාලත් එක්ක ඉන්න... බලෙන් කිසි දෙයක් දෙන්න එපා... තමන්ගේ කැමැත්තෙන් දෙන දෙයක් විතරක් දෙන්න... කාගෙවත් බලහත්කාරකම් වලට යට වෙන්න එපා.. එහෙම කවුරු හරි කලොත් මට කියන්න... මේ අවුරුදු 25ක විතර කඩවසම් කොල්ලෙකුගේ හඬ.... ඔහු තම කටින් ඊ වාට්ටුව මනාව පාලනය කරනවා... අපරාදේ තරුණ ජීවිත කියලා මට හිතුනා.. රෑ පුරාම දැක්ක ඔහුගේ නායකත්ව ගුණාංගයන් අපරාදේ විනාශ වෙලා යන්නේ කියලා මට සිතුනු වාර අනන්තයි....


මතු සම්භන්ධයි.....

ප.ලි. : කියන්න තියෙන දේ භාගෙට කියන්න හොඳ නැති නිසා තව කොටස් දෙකක්වත් දාන්න වෙයි.. ඊලඟ පෝස්ට් එකෙන් හිර ගෙවල් ඇතුලට සල්ලි, ජංගම දුරකතන, මත්ද්‍රව්‍ය එන්නේ කොහොමද කියන එක සවිස්තරාත්මකව කියන්නම්.. ඒ භාණ්ඩවල මිල ගණන් ඇහුවම තමයි ඔබට තරු විසිවෙන්නේ.... 

Sunday, November 18, 2012

රිමාන්ඩ් භාරයට පත් වෙන ඔබට උපදෙස්....


මේ දවස් වල මාතෘකාව හිර ගෙදර... එක දවසක් රිමාන්ඩ් භාරයේ පසු වූ පුද්ගලයෙක් හැටියට මටත් තියෙනවා උපදෙස් කීපයක් ඔබට දෙන්න.. කොච්චර වැරදි වැඩ වලින් වැලකිලා හිටියත් ඔබටත් සිරගත වෙන්න දිනයක් උදාවෙන්න පුළුවන්.. මෙම කථා මාලාව කොටස් දෙකකින් යුක්තයි.. මෙච්චර කාලයක් නොකියා හිටියේ ඒ සඳහා අවස්ථාවක් සහ හරි වෙලාවක් නාපු නිසයි.. මාතලන් වගේම කෝරලේ මහත්තයාත් පෝස්ට් එකක් දාපු නිසාත් ඔබේ අවධානය ඒ වෙත තවම රැඳී තිබෙන නිසාත් මම ඒ (අ)සුන්දර (මට තාම හිතාගන්න බෑ ඒ දිනය සුන්දරද අසුන්දරද කියලා..) මොහොත ආවර්ජනය කරන්නයි සූදානම... පලවෙනි කොටස කොහොමද මම රිමාන්ඩ් උනේ කියන එක.. දෙවෙනි කොටස රිමන්ඩ් එක ඇතුලේ ඉන්න මගේ යාළුවෝ සහ උන් කියපු දේවල්... වටේ යන්න ඔන නෑනේ.. මෙන්න පටන් ගත්තා වැඩේ...

මේ කාලය 2009 දෙසැම්බර් වගේ කාලයක්... මගේ හොඳම මිතුරෙකුගෙන් මට ආවා දුරකථන ඇමතුමක්...

අභියා.. මගේ බිස්නස් එක පොඩ්ඩක් හිරවෙලා.. මට සල්ලි ටිකක් ඕන...

කියපන්...

ලක්ශ පහක් හොයාගන්න ඕන... පොලියට හරි කමක් නෑ..

එච්චර නම් ශුවර් නෑ මචන්... මගෙත් සබ්බ සකලමනාවම බිස්නස් එකට දාල තියෙන්නෙ... මම ඒත් හොයලා බලන්නම්...

අනේ පොඩ්ඩක් බලපන් මචන්....

ඕකෙ මචන්...

දින තුනක් ගිය පසු නැවතත් මේ දුරකථන ඇමතුම ආවා.. මගේ ලඟ තිබුන සම්භන්ධතා හරහා එය පහසුවෙන් ඉටු කරගැනීමට හැකි අයුරක් ඔහු දකින්නට ඇති නිසා එම දුරකථන ඇමතුම දිගින් දිගටම ආවා..

අවසානයේ මම මගේ අදුරන ව්‍යාපාරිකයෙක් හරහා මොහුට මසකට 5% පොලිය මත එම මුදල අරන් දෙන්නට කටයුතු කලා... ඇපයට තැබුවේ චෙක්පතක්... ඊට මාස හයකට පස්සේ මගේ මිතුරු ව්‍යාපාරිකයාගෙන් දුරකථන ඇමතුමක් ආවා...

අභීත මල්ලි, මොකද මේ පාර සල්ලි ටික පරක්කු...

මේ පාර සතියක් විතර යනවා අය්යා... පොඩ්ඩක් ඉන්න හොදේ..

හරි හරි.. ඒව අවුලක් නෑ... මේ අර ඔයාගෙ යාලුවා මාස දෙකකින් විතර සල්ලි දුන්නේ නෑ... මොකද කරන්නේ...

මම කතා කරලා බලන්නම් අයියේ.. මට කතා කලෙත් නෑ ඌ.. මගේ යාලුවෙක් කියලා බලන්න එපා.. ඔයාට අවුලක්නම් සුපුරුදු පිලිවෙලේ යන්න...

නෑ මම යන්න කලින් තමයි උඹට කිව්වේ.. ඌත් එක්ක කථා කරලා කියන්න මල්ලි මට...

දැන් ඉතින් මෙහෙම දෙපැත්තට කර කර අවුරුදු ගානක් ගියා.. අන්තිමේදි මගේ මිතුරා තියෙන තියෙන වෙලාවට සල්ලි අදාල ව්‍යාපාරිකයාට ලබා දුන්නත් ඒ හැම සතයක්ම පොලියට කැපිලා මුළු මුදල් ප්‍රමාණය ඉතිරි වුනා... 2011 මැද භාගය වනවිට මෙම ගණුදෙනුව සම්භන්ධයෙන් කොළඹ නගර සීමාවේ වූ පොලීසියක් විසින් ඔහුව අත් අඩංගුවට ගත්තා... ඊට පසුදා ඔහුව උසාවියටත් ඉදිරිපත් කෙරුනා...

අදාල ව්‍යාපාරිකයා සමඟම මමත් උසාවියට ගියා.. මිතුරාගේ යහලුවෙකුත් පැමිණ හිටියා.. අවසන ඔහු නීතිඥ්ඥයකු මාර්ගයෙන් උසාවියට දන්වා සිටියේ ඔහුගේ ව්‍යාපාර මදක් පසුගාමී වන නිසා මෙම මුදල් එකවර දීමට නොහැකි බවත් මසකට දස දහස බැගින් දීමට හැකි බවත්ය.. අවසානයේ දෙපැත්තේ නීතිඥ්ඥවරුන් හරහා මසකට විසි දහස බැගින් පියවා අවසන් කරන්නට කටයුතු සිද්ධ වුනා.. ඒ වෙනුවට ඔහුට ශරීර ඇප දෙකක් නියම වුනා.. ඒ වෙනුවට මමත් ඔහුගේ යහලුවත් ශරීර ඇප තබ ඔහුව රිමාන්ඩ් භාරයෙන් මුදවාගනු ලැබුවා.. ඉතින් මෙහෙම තවත් කාලයක් ගියා.. දැන් සෑම මසකම නඩු දිනේට මොහු 20000.00ක් ගෙවමින් ගියා...

2012 මාර්තු මාසය වන විට මට උසාවියෙන් සිතාසි ආවා... ඒ මගේ මිතුරා අධිකරණය මඟ හැර සිටින නිසාත් ඔහුගේ පළමු  ඇපකරු ලෙස ඔහු වෙනුවෙන් උසාවියේ පෙනී සිටින ලෙසටත් පවසමින්.. ඒත් සමගම ඔහු වෙත දුරකතන ඇමතුමක් දුන්නත් ඔහු පැවසුවේ ඉදිරි නඩු වාරයට ඉදිරිපත් වන බවත් ඉදිරි මාස තුනක කාලය ඇතුලත මේ ගණුදෙනුව අවසන් කරන බවත්, මම උසාවි පැමිණීම අනවශ්‍ය බවත්ය.. මේ වන විට මේ කරුණ සම්භන්ධයෙන් සියළු පාර්ශ්ව වලින් මට බැනුම් එල්ල වෙන්න පටන් අරන් තිබුනා.. ඒත් ලිං කටින්ම ගොඩ එන්නට ඕනෑ යැයි මම තරයේ සිතා ගත්තා...


අනතුරුව 2012 ජූලි මාසයේ 31 වගේ දිනක මහ රෑ ගෙවල් අසල පොලීසියෙන් මට දුරකථන ඇමතුමක් ආවා...

අභීත මහත්තයාද?

ඔව්..

මම ***** පොලීසියෙන්... සාජන් ***** කතා කරන්නේ...

ආ.. මොකෝ සාජන් මහත්තයා... මොකෝ මේ මහ රෑ.. 

කොහෙද ඉන්නේ.... පොඩ්ඩක් පොලීසියට එන්න පුළුවන්ද?

දැන්නම් මම කොළඹින් පිට ඉන්නේ... මොකද සීන් එක... 

නෑ එහෙනම් හෙට පාන්දරම එන්නකෝ.. පොඩි පැමිනිල්ලක් තියෙනවා... 

හරි මම උදේ 7 වෙද්දි එන්නම්... මොකක්ද පැමිණිල්ල.. 

නෑ.. පොඩි එකක්.. ලොකු ප්‍රශ්ණයක් නෙමෙයි...

සාජන්ට් මහත්තයාත් හිතවතා නිසා ගෙවල් ලග පොලීසියත් අදුරන නිසාත් මම ප්‍රශ්ණයක් නොකරගෙන එදා උදෙන්ම පොලීසියට ගියා.. ගියාට පස්සේ මම හිතේ තියාගෙන ගිය කාරණයට වඩා ටිකක් බර පතල කාරණයක්..

මොකෝ සාජන් මහත්තයා මට එන්න කිව්වේ...

අහවල් පොලීසියෙන් වොරන්ට් එකක් තියෙනවා... අද උසාවි දාන්න ඕනලු.. ඇප දුන්න සිද්ධියක්.. මොනවද මේ දා ගන්න විකාර.. 

අප්පට සිරි.. මූ යනවා කිව්වනේ උසාවි...

මහත්තයෝ... ඇප වෙන්න හොද නෑ අම්මට තාත්තටවත්.. බලමු මොනාද කරන්නෙ කියලා.. ඕ අයි සී මහත්තයත් පුදුම වුනා මේක දැකලා.. ඕනනම් ගිහින් මුණ ගැහිලා එන්න..

ඕ අයි සී මහත්තයත් එක්කත් කතා කරලා නීතිමය පැත්තත් දැනගෙන, ගෙදරටත් විස්තරේ කියලා හැම පැත්තම සමබර කරගෙන නීතිඥ්ඥ මහත්තයෙකුත් අල්ලගෙන ගෙවල් ලඟ උසාවියට මාව ඉදිරිපත් කලා.. නීතියේ හැටියට ඊලඟ නඩු වාරය දක්වා මාව රිමාන්ඩ් කල යුතුයි.. නමුත් නීතිඥ්ඥ මහතාගේ කරුණු දැක්වීම මත සහ පොලීසිය විසින් ලබාදුන් සුභවාදී නිර්දේශයන් මත විනිසුරු තුමා මෙන්න මේ විදිහට එතුමාගේ තීරණය ලබා දුන්නා... 

අද දින බන්ධනාගාර භාරයේ තබා හෙට දින අළුත්කඩේ මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඉදිරිපත් කල බවට ලියවිලි ඊලඟ නඩු දිනයේදී  මා වෙත ඉදිරිපත් කල යුතුයි...

ඊලඟට හදිසියේ ඇප දෙන්න වුනොත් යැයි කියා ගෙන්වාගෙන සිටි මගේ මිතුරා මා වෙත ආවා...

අභීත අයියේ... ලෝයර් කියනවා ආයෙත් මෝශන් එකක් දැම්මොත් ඇප ගන්න පුළුවන් වෙයි කියලා.. මොකද කියන්නේ... දාන්නද?

එපා මචන්.. එක දවසනේ.. මම ඇතුලත් බලාගෙන එන්නම් මොන වගේද කියලා... මෙන්න අරුන්ගේ නම්බර් එක.. ඌට කියහන් ඌ නිසා මට මෙහෙම වුනා කියලා.. මේ නම්බර් එක මගෙ ලෝයර්ගේ.. පොරටත් කතාකරල කියහන් හෙට උදෙ 8.30ට එන්න කියලා, ආදී වශයෙන් ඌට උපදෙස් ගොඩාක් දීලා ගෙදරටත් දුරකථන ඇමතුමක් දීලා එතනත් බය නැති කරලා මම උසාවි බන්ධනාගාරය වෙත පිටත් උනේ හවසට ලබන්නට තිබෙන අළුත් අත්දැකීම ගැන සිතමින්...

ප.ලි. දෙවෙනි කොටස බදාදා දානවා.. ඉතාම කාර්ය බහුල කාලයක් ගෙවී යන බැවින් බ්ලොග් පැත්තෙ එන්න අවස්ථාව ඉතා අඩුයි.. 

Tuesday, November 6, 2012

කේන්දර ගැලපෙන්නේ නැද්ද? ඒත් කසාද බදින්නත් ඕනද? මෙන්න විසදුම....

අළුත විවාහ වෙන්න ඉන්න ගොඩාක් අයට ඇති ප්‍රශ්ණයක් තමයි මේ තියෙන්නේ.. මීට අවුරුදු පහකට කලින් මම විවාහ වෙන්න සූදානම් වූ වෙලාවෙත් ඔය ගැටළුව මට ආවා..ඒත් මම කිසිම දෙයක් මත ඕනවට වඩා යැපෙන්නේ නැති නිසා එය අභියෝගයක් විදිහට අරගෙන ඕන මඟුලක් කියලා විවාහය කලා.. අනේ අද වෙනකන්නම් කිසි ගැටළුවක් වුනේ නෑ.. දැන් මොකක්ද ආපු ගැටළුව කියලා ප්‍රශ්ණයක් ඔයාලට එනවා නේද...? මම ඒක ලිපිය අවසානයේ කියන්නම්.. දැන් බහිමු මාතෘකාවට....

සෑහෙන තරමේ ක්‍රියාන්විතයකින් පස්සේ පෙම්වතෙක් හෝ පෙම්වතියක් ඇති කරගෙන ඇය හෝ ඔහු සමඟ අවුරුදු ගානක් තිස්සේ අනාගතය ගොඩ නගලා අන්ති මොහොතේ කේන්දරය කියන එක මත වෙන්වෙලා යනවා කියන එක හරිම ශෝචනීය සිද්ධියක් නේද? මේ ලඟදි (ලඟඳි කිව්වට ඊයේ හවස..) මම යාළුවෙක් එක්ක පොඩි කථාවක් දාගෙන ඉන්නවා මුහුදු වෙරලක් කිට්ටුව.. අපේ තවත් යාළුවෙක් සම්භන්ධව ඔතනදි පොඩි කථාවක් ඇදුනා.. ඌ ඉතාම හොඳ කොල්ලෙක්.. ආරක්ශක සේවයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන්නේ... නමුත් කසාදයක් හරියන්නේ නෑලු උගේ කේන්දරේ ප්‍රශ්ණයක් නිසා... මේ නිමිත්ත මූලික කරගෙන අපි දෙන්නා අතරේ ගිය සංවාදය තමයි පහත තියෙන්නේ...

මචන්, අභියා.. ඇයි අරූ බඳින්නේ නැත්තේ...

උගේ කේන්දරේ ප්‍රශ්ණයක් කියලා මඟුල් හරියන්නේ නෑලු බන්...

අනේ බම්බුව.. මගේ කේන්දරත් ගැලපුනේ නෑ බන්.. මේ ඉන්නේ යස අගේට...

මගේත් ගැලපුනේ නෑ බන්.. මේ මමත් ඉන්නේ අපූරුවට...

මචන්, කේන්දර ගැලපෙන්නේ නැත්නම් අපි ටිකක් ප්‍රවේශමෙන් පවුල් ජීවිතේ ගෙනියන්න ඕන... රිස්ක් ගන්න නරකයි.. හදිසියේවත් අපි වෙන් වුනොත් කියන එක යථාර්ථයක් විදිහට හිතේ තියාගෙන වැඩ කලාම ඉවරයි...

ත්ත මචන්... අනිත් එක මචන්, දික්කසාදය කියන හේතුව නිසා නොමැරී මැරිච්ච මිනිස්සු ඉන්නවානම් ඒ කිහිප දෙනයි... දික්කසාදයෙන් ගොඩ ගිය වුනුත් ඉන්නවා... මේ ඔක්කොම මිනිස්සුන්ගේ හිත මචන්...

නෑ අභියා.. උඹට මම කියපු එක හරියටම තේරුණේ නෑ.. උඹ දන්නවද මගේ කේන්දරේ ගැලපෙන්නේ නෑ කියපු ගමන් මම අපේ ගෑණිත් එක්ක කතා කරපි දේවල්..

මම කොහොමද බන් දන්නේ.. උඹනේ ගෑනිත් එක්ක කථා කලේ..

ඒකත් ඇත්ත.. තොගේ කට නම් තාම වෙනස් වෙලා නෑ..

හරි කට මම බලාගන්නම්.. උඹ කියපන් මොනාද ගෑනිට කිව්වේ.. මම නොකියපු දෙයක්නම් අදම ගිහින් මගේ ගෑනිටත් කියන්න..

නෑ මචන්... මම එදාම ගෑනිට කිව්වා අපි කසාද බැන්ද දවසට පස්සේ මම මලොත් හිත හදාගන්න ලෑස්ති වෙන්න කියලා... තව කාරණා ගොඩාක් කිව්වා මචන්... මෙන්න මේ තියෙන්නේ ඒවා.. උඹ බලලා කියහන් මම මේ කියපු කථා වැරදිද කියලා...

හ්ම්ම්...

කසාදයට පෙර අපේ නමට තියෙන කිසිම වත්කමක් මචන් අපි හුවමාරු කරගන්න ඕන නෑ... හදිසියේවත් මියගියොත් එහෙම නැතිනම් මොනා හරි කරදරයක් වුනොත් කියන හේතු මත දෙන්නගේ නමටම සැලකිය යුතු ඉන්ශුවරන්ස් එකක් දාගමු කියලත් මම කීවා.. හවුලේ කරන ගෙවල් හැදිලි ඉඩම් ගැනිලි ඔක්කොම කසාද බැන්දයින් පස්සේ අපි උපයන මුදලින් සහ ණය මුදලින් විතරක් කරමු කියලත් කීවා... මොනා හරි කරදරයක් කාට හරි වුනොත් තමන්ගේ හා යැපෙන අනික් වුන්ගේ යහපත පතා ගත හැකි හොඳම ක්‍රියා මාර්ගය ගනිමු කියන එක.. ඒ කිව්වේ මචන් මම මැරුනොත් මගේ ගෑනිට හිතුනොත් ගෑනිටයි ලමයටයි ආරක්ශාව මදි, වෙන මිනිහෙක් ගන්න ඕන කියලා, එයාට ඒක හරි කියලා තේරෙනවනම් ඒක කරාට කමක් නෑ කියන එක.. කොටින්ම මචන් මම හදිස්සියෙන්වත් මලොත් දේපල ඉඩ කඩම් වලට මගේ පවුලේ වුනුත් මරා ගන්නේ නැතුව දරුවාටත් උගන්නගෙන ස්වාධීන ජීවිතයක් ගත කරන්න පුලුවන් වෙන විදිහට අපි ජීවිතේ සැලසුම් කරන්න ඕන.. ඊට අමතරව ආගමික පැත්තෙනුත් බෝධි පූජා වගේ පින් දහමුත් කරන්න ඕන... මෙච්චර විකල්ප තියෙන ලෝකේ ඇයි බන් කේන්දරේට විතරක් විකල්පයක් නැත්තේ.. ඔය තියෙන්නේ විකල්පනේ...

ඇත්ත තමයි බන්... ඔය කතාව මිනිස්සු තේරුම් ගන්නේ නෑනේ...

ඔව් මචන්.. මිනිස්සු මේ යතාර්ථයට බයයි..  ඒත් මිනිස්සු ඒක චැලෙන්ජ් එකක් විදිහට ගන්න කැමති නෑ.. මම ඔය උඩ කියපු ක්‍රියාමාර්ග ඔක්කොම අරන් තියෙන්නේ.. දැන් මට මැරෙන්න උනත් බයක් නෑ.. ඒත් අදටත් අපි මොකක් හරි කරද්දි අපේ කේන්දර ගැලපෙන්නේ නෑ කියා එක ගැනත් හිතනවා.. 

ඇත්ත.. මමත් ඔය තරම් නැති වුනාත් උඹේ ඔය වැඩ සටහනින් කිහිපයක් දැනටමත් ක්‍රියාත්මක කරලා තියෙනවා...

අනේ පල.. උඹ ඔය කියන්නේ ඉන්ශුවරන්ස් එක ගැනනේ... තෝ ඔය රට පටලවන විදිහට ඒක දාපු එකනම් හොඳටම හොඳයි...


ඉතින් මේ කථාව අන්තිමට මට හිතුනා ඇත්තටම ඒක ඇත්ත තමයි කියලා.. පෙර සූදානම රටක් වටී කියනවනේ... අහ්.. මම උඩින් කිව්වනේ අර මගේ කේන්දරේ ගැන ප්‍රශ්ණේ අප්පච්චිත් එක්ක විසඳ ගත්ත හැටි කියනවා කියලා.. මෙන්න මෙහෙම දෙබසක් තමයි ගියේ...

කසුන්, මේ කේන්දර ගැලපෙන්නේ නැහැනේ...

ඇයි අප්පච්චි.. මොකද වෙන්නේ....

මෙයාව බැන්දොත් අවුරුද්දක් ඇතුලත ඔයා මැරෙන්න පුළුවන්...

ඉතින් අප්පච්චි, නොදන්න ගෑනියෙක් බැඳලා මැරි මැරි ජීවත් වෙනවට වඩා හොඳ නැද්ද දන්න ගෑනියෙක් බැඳලා, අවුරුද්දක් ජීවත් වෙලා මැරෙන එක...

කථාව එතනින් ඉවර වුනා... අපි බැන්දා.. අපි ඉතා හොඳින් ඉන්නවා...

ප.ලි. සංවාදයට විවෘතයි... පෞද්ගලික පලි ගැනීම් නම් කරන්න එපා ඔන්න....

Friday, November 2, 2012

මේවා කුණුහරප කවිද? නැද්ද? 18ට අඩු ටියුබ් ලයිට් නොවෙන උන්ට තහනම්....


සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම විදිහට ඇලුම් කලා.. තාමත් ටිකක් වල් පැත්තට බර වෙච්ච කවි කට පාඩමින් කියන්න පුළුවන්.. නමුත් මේ කවි කියන්න කලින් ස්වාධීන රූපවාහිනී සේවයේ ගිය වැඩසටහනක් ගැනත් කියන්න ඕන. ඒ තමයි සංහිඳ කියන වැඩසටහන.. අපූරු වැඩසටහනක්.. පරන ගායකයින්ගේ ගීත ප්‍රවීනයින් ලවා ගායනා කරවනවා.. හරිම මිහිරි ගීතයක්.. පහුගිය සතියේ ගියේ වොලී බැස්ටියන්ගේ ගීත. මේකෙදි ප්‍රවීන කණ්ඩායම් ගායකයෙක් වෙච්ච සුනිල් පෙරේරා "රටක් වටිනවා මගේ මවුපියෝ දෙන්නා" කියන ගීතය ගැන මෙහෙම කිව්වා... (සුනිල් පෙරේරාගේ සම්මුඛ සාකච්චාවක් ගැන මම මෙතනදි කිව්ව මතකනේ..)

" මිනිස්සු නිකන් මේක බයිලා කියලා ලේබල් එකක් අලවලා බල්ලට දාලා.. නටන්න විතරයි මේක අහන්නේ.. ඒත් මේ වගේ පද රචනය වෙනම බලපුහාම මේක හරිම සංවේදී ගීතයක්.."

ඇත්තටම ඒක හරිම අපූරු ගීතයක්.. මම මේ වගේම තවත් ගීතයක් වෙච්ච "සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ.." ගීතය ගැනත් කලින් ලිව්වා ඔයාලට මතක ඇති.. ඉතින් කවිත් එහෙමයි.. සංදේශ කවි වල ඉදන් ඇම්ඩන්ගේ කවි වෙනකන් රස විදින්න දේවල් ඕන තරම්.. ඒත් අපි අපේ පොරත්වය උඩ දාගන්න "මම නම් අහන්නේ මේවා විතරයි, කියවන්නේ මේවා විතරයි" කියල කියවගෙන අපටම රැවටීගෙන ඉන්නවා.. හරි ලියන්න ආවේ කවි ගැනනේ.. උපහාසාත්මක කවි කියපු ගමන්ම මතකෙට ආවේ අන්දරේ.. මතකනේ අන්දරේ රජ බිසවට කියපු කැත කවිය...


කට කැඩි කලේ දිය උකුලේ තබාගෙන...
ලොට තන දෙකක් රෙදි කඩකින් වසාගෙන...
තඹත් ලෝකඩත් දෙවගේ පැළඳගෙන..
රොඩී කෙල්ල කොහි යනවද උදෑසන....

මල පැන්න රජ කුමරි ගිහින් දුන්නා මුට්ටිය රජතුමාට.. නිදහසට කරුනුය කියලා අන්දරේ කිව්වේ මෙහෙමයි...

රන් කලයේ දිය උකුලේ තබාගෙන...
රන් කුඹු දෙකක් රන් සළුවෙන් වසාගෙන...
රිදිත් රත්තරන් දෙවගේ තබාගෙන...
මල්මද බිසව් කොහි යනවද උදෑසන...

ඔය වගේම ගෙදර බිරිඳගෙනුත් සිද්ධියක් අන්දරේට වුනා.. අන්දරේ වටේම ඉන්න කෙල්ලන්ට කවි කියනවා අහලා නප්පියට තද වෙලා හිටපු අන්දරේගෙ බිරිඳ අන්දරේට කිව්ව.. 

මටත් කවියක් කියන්නකෝ අනේ.. 

හරි එහෙනම් මැනිකේ වතුර කලයක් පුරවගෙන එන්න..  

දැන් පවුලත් ආවා වතුර කලෙත් ඉනේ තියාගෙන කැට් වෝක් එකකුත් දාගෙන.. අන්දරේ පවුලට මෙහෙම කිව්වා..

ඔන්න මැනිකේ මම කියනවා කවිය.. ඉවර වෙනකොටම ගහන්න කලේ පොලවේ ඇස්වහ යන්න...

හරි.. ඔයා කියන්නකෝ... මම ගහන්නම් කලේ පොලවේ...

හිස දෙස බැලිමි රන් කෙදි වැන්න පීරනා.....
තන දෙස බැලිමි තැබිලිය වැන්න මෝරනා....
බඳ දෙස බැලිමි රන් කඳ වැන්න දිලිසෙනා..
ලඳ නුඹ බැලිමි දෙව්ලිය වැන්න රුසිරෙනා....

දැන් ඉතින් මොන කල පොලවේ ගැහිලිද? තමන් ගැන මේ වර්ණනාව අහපු අන්දරේ බිරිඳ පැද්දි පැද්දි ඉන්නවා ඒ ගැන හිත හිතා.. දැන් කොහොමද ඇස් වහ යවන්නේ.. නහුතෙට නැගපු අන්දරේ හැරෙන තැපෑලෙන් දුන්නා මේ කවිය...

හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා....
තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා....
බඳ දෙස බැලිමි කොස් කද වැන්න ආරනා...
ලඳ නුඹ බැලිමි වැදිරිය වැන්න දලු කනා....

"දඩොස්" ගාලා කලයක් බිඳෙන සද්දයක් ආවා.. කලේ වැදුනේ බිමද? නැත්නම් අන්දරේගේ ඔළුවෙද කියන එක කිසිම පොතපතක සඳහන් වෙලා නෑ...

ඊලඟට එන්නේ ගජමන් නෝනා... පික්ශු හැදෙන කවි.. ගජමන් නෝනට කවි කියපු වුනුත් එකයි, ගජමන් නෝනාත් එකයි, කියලා හිතෙන්නේ මෙන්න මේවා කියවද්දි... මේ තියෙන්නේ පොරක් ලොකු ටෝක් දීලා ගජමන් නෝනාගෙන් ලාවට වගේ අහගත්ත හැටි...

පාලා සරඹ ජයකොඩි බඳිති සැම දිනේ...
සීලාචාර කම්සේ පාන අවගුනේ....
බාලා ගෑනුන්ගේ තව් කපන තොරපනේ...
ගාලා කොතන මුවහත් කොරමිද නෝනේ...

මේ තියෙන්නේ උත්තරේ...

පසන් නැණ ගුණැති මිතු සඳිනි සසොබනේ...
සපන් පිරිමින්ගේ ඔද බිඳින ජල බනේ...
වසන් කර තිබෙන මගේ පලිඟු ගල් වනේ...
නිකන් ගා දිනන්නට නොදෙමි තොරපනේ...

මේකේ ගජමන් නෝනාගෙන අහලා තියෙන්නේ අර මගේ සඳ බ්ලොග් එක ලියන පසන් මල්ලිද කොහෙද? පිළිතුරු කවියේ උඩින්ම පසන් කියලා තියෙන්නේ ඔය... 

කාන්තාවක් දැක්කම පිරිමින්ට දන්න වැඩත් අමතක වෙනවා.. හොදටම දන්න වැඩක් අමතක වෙලා ඒක කරන්නේ කොහොමද කියලා ගජමන් නෝනාගෙන් මනුස්සයෙක් ඇහුවේ මෙහෙමයි...

රුති රති ලඳ ලියෙනි අප අසන පැනෙකිය...
නැති විය බාල කාලේ සිට රති කෙලිය...
ඇති විය මෙමට දැන් සිල් රැකපු අවදිය...
රති සැප විඳින හැටි මට කියව ලඳලිය...

මේක කිව්වේ ඇලපාතම් උදලි කියලත් පොඩි විශ්වාසයක් තියෙනවා.. ඒ වැල් බයිලා මොකටද නේද? උත්තරේ ඉක්මනට දාන්නද? .. හරි හරි.. මෙන්න පිළිතුරු කවිය... 

වහා තිබු සලුව උනමින් කර අහකා....
රහා ලෙස අමුතු බොජුනක් බුදින ලකා...
පහා නොව හඬන කොව්ලිඳු හඬ වලකා...
කහා කොටන වැනි ඉඳගෙන මිරිස් කකා...

ඔන්න ඔහොමලු ඒ වැඩේ.... ඊලඟට අහපු කවිය මතක නෑ... මතක එකෙක් ඉන්නවනම් දාන්න පහලින් කමෙන්ට් එකක් විදිහට.. අහන ප්‍රශ්නේ නිකන්, නෝනට කැමතියි.. නිකන් ඉශ්ඨ කර ගන්න තේරෙන්නේ නෑ වගේ... කොහොමද වැට පනින්නේ වගේ තේරුමක්.. මෙන්න ගජමන් නෝනගේ උත්තරේ...

බොන්නෝ මෙගඟ දිය බොර කරලා බොද්ද?
යන්නෝ මෙමඟ රැය දහවල හිඟ වෙද්ද?
දෙන්නෝ පහස ගෙට අඬ ගහලා දෙද්ද?
දන්නෝ උපා මිණි බැඳි දොර නාරිද්ද...?

කොහොමද? පුලුවන්නම් කොරහන්.. බැරිනම් නිකන් හිටහන් වගේ... මේ වගේ කවි ලියන්න ගියොත් තව කොච්චර ලිපි ලිව්වැකිද? කොළඹ යුගයේ කවියෙක් සමන්මලීව දැකලා මෙහෙම කිව්වලුනේ...

සමන්මලිගේ පියයුරු දෙස නැවත හැරී....
තබන්නෙමි නැවත උවමක් කොහොම හරී..
සුලං පිරී පිපිරෙන්නට ලංව ඇතී....
ජපන් බැලුං යුවලක් ඊට නොවෙද සරී....

මේ කියන්න හඳන්නේ අන්තිම කවිය... මේක තිබ්බේ කැලෑ පත්තරේක කියලයි ආරංචි.. මම වැඩි විස්තර දන්නේ නෑ... නමුත් ගැමියාගේ කවි හැකියාව බලනවනම් මෙන්න කවි...

සිංහල නොකියවෙන ලිඳ ගාවා ගෙදර...
ඉංග්‍රිසි මහත්තයා කුමටද වී දබර....
අමනාපයට බී මැස්සන්ගේ වතුර.....
ඉකි බිද බිද හැඩුවා සුදු සූකිරි පතුර...

"සුදු සූකිරි පතුර.." මැවෙනවා නේද හිතේ.....

ප.ලි. මෙන්න තවත් සුපිරි බ්ලොග් එකක් ඇරඹුමක්.. මට ලියන්න වෙලාවක් නැති වුනාට කොල්ලා ලියනවා එළකිරි වගේ.. මෙතනින් යන්න...

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...