Meemure Jungle Resort

Tuesday, December 11, 2012

රිමාන්ඩ් එකේ ගත කරන රාත්‍රියේ මිහිරියාව... අද තුන්වන කොටස...

මගේ මේ සීරීස් එකේ තුන්වන කොටස ඉතාම පරක්කුයි කියලා දැන දැනත් මම මේ ලියන්නේ පටන් ගත්ත වැඩේ ඉවර කරන්න ඕන නිසා.. ඒ නිසා කල් ඉකුත් වූ මාතෘකාවක් වුනත් මම මේ ගැන ලියලා ඉවර කරනවා කියලා හිතුනා... පන්සිල් අරගෙන අළුත් අය අමතන තැනට එනතුරු මම ලියලා තිබ්බ.. දැන් ලියන්න යන්නේ රිමාන්ඩ් බන්ධනාගාර දිනයේ ලබපු අපූරුම හා අමුතුම අත්දැකීම් ටික.. එහෙනම් මෙන්න...

පන්සිල් අරන් කට්ටියම තමන් තමන් ඉන්න තැන් වලට ගියා.. සුද්දාත් ඒ පිටිපස්සෙන් මමත් ගියේ ඔවුන්ගේ කණ්ඩායම හිටපු තැනට.. ඔක්කොම වටවෙලා ඉඳගත්තා.. පහන් තිරයක් දැල්වුන පුංචි පහණක් රවුම මැදට ආවා... ඊයම් කොල, දුඹුරු පැහැ කුඩු ස්වල්පයක් දමා තිබුණු පුංචි කුඩු පැකට් එකක් රවුම මතට ආවා කියලා කියනවාට වඩා කණ්ඩායමේ කට්ටිය වැඩැම්මුවා කිව්ව කියලා කීවොත් තමයි හරි.. ඒ ආම්පන්න ටිකට ඒ තරම්ම පුද සත්කාර ලැබුනා.. කුඩු බින්දුවක්වත් අපතේ යන්න ඔවුන් ඉඩ දුන්නේ නෑ.. මොන හේතුවකටද මන්දා ඒ පහන දැක්කම මට මතක් වුනේම ඇලඩින්ගේ පුදුම පහන... කොච්චර අයථා වැඩ කලත් කිසි දිනෙක කුඩු නොබීපු මට කුඩු ගසන ආකාරය සියැසින් දකින්නට මට වාසනාව ලැබුනා.. අපේ කණ්ඩයමේ වැඩ බලන ගමන් මම අවට නෙත් හෙළුව.. මෙතනනේ දිව්‍ය ලෝකේ.. එක තැනක බූරුවා ගහනවා හතර දෙනෙක් වට වෙලා.. ගොඩාක් තැන්වල තිබ්බේ අපේ කණ්ඩායම වගේ කුඩු රවුම්... ගංජා ගහන අය වගේම දුම්කොලයක් කඩදාසියක ඔතලා අඩු වියදම් සූස්ති අදින වුනුත් අනන්තවත් එතන හිටියා.. ඒ අතරේ මාව පුදුමයට පත්කරමින් වෙළෙන්දෝ දෙන්නෙකුත් මැදින් ගමන් කලා... මේ ඔවුන් එහා මෙහා ගමන් කරමින් කෑ ගසමින් විකුණපු භාණ්ඩ...

කේ ජී තියෙනවා... ඕන අය ඉල්ලන්න... කේ ජී තියෙනවා ඕන අය ඉල්ලන්න....

හිරියාලේ දුංකොල ගෙනාවා... පිටිපස්සට එන්න....

මේ ඔවුන් විකුණපු හැටි..ඒත් එදා කවුරුත් ඒවා ගන්න ගියා කියලා මම දැක්කේ නෑ.. මේ අසිරිය නරඹමින් ඉද්දි සුද්දා මගේ ලඟට ආවේ අහසේ පාවීගෙන... මේ ඊලඟ කොටස....


සුදු අයියේ.. අර අයියා කීවා නේද පොඩි දෙයක්. අපිට පොඩි උදව්වක් ඕනේ..

කියන්න සුද්දා.. මොකක්ද සීන් එක...

මෙහෙමයි, මෙතන ඉන්නේ ස්ථීර පස් දෙනෙක්.. ඉතින් ඔයාට ඉඩ දෙන්න ඕන නිසා මෙතන එකෙක් යනවා අයින් වෙලා.. ඌට මොනාහරි කරන්න ඕන...

ම්ම්ම්ම්..... කියන්න සුද්දා...

මෙහෙමයි රුපියල් දාහක් දෙන්න... එතකොට මම අනිත් ඔක්කොම බැලන්ස් කරන්නම්..

සල්ලි ගේන්න දුන්නේ නෑනේ සුද්දා..

අයියෝ.. ගෙදරට කෝල් කරලා අපි දෙන නම්බර් එකට රුපියල් 1100ක් ඊසි කෑශ් කරන්න කියන්න...

කෝල් කරන්න? මගෙන් ප්‍රශ්ණයක්..

ඔව්. ඉන්න මම දෙන්නම් ෆෝන් එකක්... ඒ ගජියා.. උඹේ ෆෝන් එක අරන් වරෙන් මෙහෙට....

මේ ක්‍රියාදාමය මාව ඒ වෙලාවේ විස්මයට පත් කලා.. අළුත් තාක්ෂනය සිර කරුවන් ප්‍රයෝජනයට ගන්න හැටිනම් හරිම අපූරුයි...

අයියේ මෙන්න මේ නම්බර් එකට සල්ලි දාන්න කියන්න.. අවුලක් නෑ නේද? සුද්දා මගේන් විමසුවේ කොල කෑල්ලක ලියා තිබුන දුරකථන නොම්මරයක් පෙන්වමින්.. මම මගේ සගයෙකුට කථා කොට එම කාර්‍යය විනාඩි කිහිපයක් තුල ඉටු කලා.. අන්න එතන ඉඳන් තමයි සැලකිලි පටන් ගත්තේ...

අයියේ නා ගත්තේ නෑ නේද තවම... එන්න යන්න..

අයියේ කලිසම මම හේදුවා.. ටී එකත් හේදුවා.. හෙට යන්න පුළුවන් වෙන්න වේලලා දෙන්නම්.. බය වෙන්න එපා...

හිටගෙන ඉන්න එපා දෙවියෝ... ඉඳගන්න... මෙන්න කොට්ටේ..

හරි අයියේ.. ඔයා ටොයිලට් එකට යන්න.. මම වතුර එක ගෙනත් දෙන්නම්...

ඉන්න අයියේ.. මම එලන්නම් ශීට් එක.. මෙතනින් නිදා ගන්න...

මේ අයුරින් සියළු දේවල් මට අවැසි විදිහට ඉටු වුනා.. රුපියල් 15000ක් වැය කරන්න පුළුවන්නම් හැමදාම මේ ආකාරයෙන් වැජඹෙන්න පුලුවන් බව මම පිටව එන්නට කලියෙන් මගේ මිතුරා මට කිව්වා.. ඒ නිසා අර රුපියල් දහ්සේ ආනුභාවයෙන් ඉතා සුව පහසු රිමාන්ඩ් දිනයක් මට උදාවුනා... දැන් ඔයාලට ප්‍රශ්ණේ තියෙන්නේ එහෙම සල්ලි නොදුන්න අයට වුන දේ සහ ඒ ගන්න සල්ලි වලට ඔවුන් කරන්නේ මොනාද කියන එක වෙන්න ඇති...

එහෙම නොදුන්න අයට නිදාගන්න වෙන්නේ ඉතා සීමිත ඉඩක.. ඒක නිදා ගන්නවට වඩා ඉදගන්න තරම්වත් ප්‍රමානවත් නැති ඉඩක්.. උසාවියේ සිට එනවිට රාත්‍රී කෑම බෙදා අවසන් නිසා රාත්‍රී අහාරය ගැනීමට ක්‍රමයක් ඔවුන්ට නැහැ... මූණ හේදීමට හෝ වැසිකිළි අවශ්‍යතාවන් ඉටු කර ගන්නවත් සෑහෙන දුක් ගොන්නක් ගෙවන්න වෙනවා... මේ ආකාරයේ නොයෙකුත් ගැහැට විඳින්න ඕන කියන එක රිමාන්ඩ් බන්ධනාගාරයට අළුතෙන් යනවානම් සිහි තබා ගත යුතුයි...

රාත්‍රී ආහාර වෙලාව උදා වෙලා.. හතරට විතර ගිහින් ගෙනාපු රාත්‍රී කෑම එක කට්ටියම වට වෙලා කන්න පටන් ගත්තා... මමත් අත දාන්න හැදුවේ...

ඔයා ඉන්න අයියා.., අපි කවන්නම්... පුදුමයෙන් කීකරු වුනා හැර මම ඔවුනට විරුද්ධ වෙන්න ගියේ නෑ..

රාත්‍රී අහාරයෙන් පසුව මම එවපු රුපියල් දහසෙන් ඔවුන් තවත් මත්කුඩු පැකට් දෙකක් මිලදී ගත්තා.. එය පානය කර අවසන් වනවිට මමනම් සුව නින්දේ... නැවත මට අවදි වුනේ පාන්දර 6ට... ඒ රූපවාහිනියේ පිරිත් සද්දයෙන්...

ආ.. ගුඩ් මෝනින් අයියා.... මෙන්න ඇඳුම් ටික.


ඉතා පදමට සෝදා වේලා මැද තිබූ ඩෙනිම හා ටී ශර්ට් එක සුද්දා මගේ අතට පත් කලා..

තැන්ක් යූ සුද්දා...

එන්න අයියේ... ටක් ගාලා ගිහින් මුහුණ හෝදා ගමු...

සියළු උදව් කරමින් මා හට පිහිට වූ සුද්දා මගෙන් සමුගත්තේ මෙහෙමයි...,

හදිසියේවත් ආයෙත් ඇප දුන්නේ නැත්නම් බය නැතුව ඉන්න.. මට තව මාස හයක් විතර ඉන්න වෙයි... උදේට කන්න අර අයියා එවන්න කිව්ව ඔයාව එයාලගේ එකට... බුදු සරණයි අයියේ... පරිස්සමින් ගිහින් එන්න..

බොහොම ස්තූතියි සුද්දා.. මම යනවා එහෙනම්...

ඊ වාට්ටුවෙන් එලියට බැස්සේ ඇත්තටම පුංචි දුකක් හිතේ තියාගෙන... මැර වැඩ කලත් මොන මොන දේ කලත් බොක්කෙන් පිරිසිදු කොල්ලො සමූහයක් එතන හිටියා.. ඒ වගේමයි නරකට සීමාව ඉක්මවා කේන්ති ගන්නවා එතන ඉන්න 90%ක්. ගොඩාක් අය රිමාන්ඩ් ගත වෙන්න ලොකුම හේතුව එය කියලායි මට හිතුනේ...

ඊ වාට්ටුවෙන් සමුගත් මම එළියට එනකොට චරියා මාව පිළිගන්න ගේට්ටුව අසලට ඇවිත් හිටියා..

උඹට ඊයේ රෑ මොනා හරි අවුලක් උනාද?

නෑ මචන්, ගෙදර ඉන්නවාට වඩා හොඳට හිටියා.. 

සුද්දා හොඳ එකා.. ඒකයි මම උඹව ඌටම භාර දුන්නේ.. වරෙන් යන්න.. උදේට අපිත් එක්ක කමු.. 

උගේ වාට්ටුවට ගිහින් පොඩි පිගන් දෙකකට බත් බෙදාගත්ත අපි දෙන්න කතාවට වැටුනා...

අභියා.. උඹට අළුතින් කියන්න ඕන නෑනේ මම මොකටද මේකට ආවේ කියලා...

නෑ මචන්, මම ඒ කාලෙත් උඹට කිව්වනේ අරක්කු සිගරට් ඕන දෙයක් බීපන්.. ඒත් ඕක කරන්න එපා කියලා...

මම නැවැත්තුවා බන්... එතකොට පරක්කු වැඩියි..

අනේ පලයන් බන් යන්න... නැවැත්තුවානම් කොහොමද පොලීසියට අහුවෙන්නේ...

මම දවස් දෙක තුනක් පොලීසියට චාටර් වුනා බන්.. උන් දවසක් නිකන් බෝඩිමේ ඉද්දි මාව අල්ලගෙන ඇවිත් කුඩු පැකට් එකක් එක්ක ඇතුලට දැම්මා බන්... (මේ කතාව කොච්චර දුරට ඇත්තද කියලා මම දන්නේ නෑ..) අන්තිමේට මේක ඇතුලට ආවට පස්සේ වෙනදට වැඩියි මචන්. 



කොහොම හරි උසාවි යෑම සඳහා අපි ඊ වාට්ටුවෙන් එළියට ආවා.. ජේලර්ලා එනවා අපිව ගන්න...

ආ ළමයි.. අද ගෙදරින් එහෙම එනවා ඇති උඹලගේ නේ...

එනවා සර්..., සර් ද අද උසාවි... ලොකු දෙයක්.. මෙහෙම කියන සිරකරුව පස්සෙ එකිනෙකාට මෙහෙම කියනවා.. අහන හැටි විතරක් *&^& ගානක් කඩාගත්තැකිනෙ ගෙදර උන් ආපුහාම.. හරියට අපිට ආදරේට වගේ...

හරි හරි.. වරෙල්ලා වරෙල්ලා.. මේ උඹලගේ දම්වැල් දාගනිල්ලා.. 

මුන් උදේ වරුවට නම් හාමුදුරුවරු... ගාන කඩා ගත්තට පස්සේ අපිටමයි අරින්නෙත්... මේ සිර කරුවන්ගේ මුනුමුනුව..

නාම ලේඛනය පරීක්ශා කරපු අපිව බස් එකට දාගෙන උසාවියට ගෙනත් උසාවි බන්ධනාගාරයට දැම්මා..

එතනදි තමයි මම බන්කර් ගහන හැටි ඇස් දෙකට දැක්කේ... පිළිවෙල වෙන්නේ මෙහෙමයි... ඉස්සෙල්ලාම ජේලර් කෙනෙක් එළියට ගිහින් සිරකරුවාගේ ගෙදර මිනිස්සුන්ගෙන් සන්තෝසම ලබා ගන්නවා.. ඊට පසුව සාමාන්‍ය කැන්ටින් ආහාරයක් එක්ක අවශ්‍ය බඩු පොලිතීන් එකක ඔතලා කෑම එක වගේ පවුලේ උදවිය විසින් හිර කූඩුව ඇතුලට ලබා දෙනවා... එම පාර්සලය යන්නේ පලපුරුදු බන්කර් කරුවකු අතට... ඔහු සිර කුටියේ මුල්ලට ගොස් කලිසම පහත් කර ඉදගෙන අර පාර්සලය තම ගුද මාර්ගය අස්සේ සඟවා ගන්නවා...

මගේ නඩුව කියවෙනකොට මම ඇප තියපු මිතුරා අවසන් වතාවට විශ්වාසය රකිමින් උසාවියට ඉදිරිපත් වීම නිසා මාව නිදහස් කරන්නට කටයුතු යෙදුනා... නමුත් ජේලර්ලා මාව එලියට දැම්මේම නෑ.. මමත් දැනගත්තා එන්නේ මොකාටද කියලා.. ඒ නිසා පසුපසටම ගොස් මාව එලියට දානකන්ම හිටියා.. අවසානයේ එක් ජේලර්වරයෙක් මාව ඇමතුවා..

ඔයාව නිදහස් කලානේද?

ඔව්..

යන්න නම් පුළුවන්... ඒත් අර උසාවියෙන් කොලයක් ගන්න ඕන.. මම ඒක ගෙනත් දෙන්නම්.., පොඩි සපෝට් එකක් දෙන්න ඉතින් අපි කට්ටියට...

අතේ සතයක් නෑ.. මගෙ යාලුවත් ගියා.. එහෙනම් අදත් යමු.. මොකද ගෙදර ගියා කියලත් ලොකු වැඩක් නෑ කරන්න...

එහෙම කරන්න එපා..

හරි, එහෙනම් එලියට දාන්නකො.. මම බැන්කුවෙන් සල්ලි අරන් ගෙනත් දෙන්නම්...

අපේ එක්කෙනෙක්ව එවන්නද බැංකුවට....

හා.. ඒත් කමක් නෑ....

මම එලියට ඇවිත් මාත් එක්ක ආපු ජේලර්ට කිව්වා ඔයා අපහු යන්න.. මම වීල් එකක ගෙදර ගිහින් ගෙදරින් සල්ලි ඉල්ලගෙන තමයි වීල් එකට ගෙවන්නෙ කියලා...

ඔන්න ඔහොමයි රිමාන්ඩ් කතන්දරේ සිදුවුනේ... ආයෙත් රිමන්ඩ් එකට යන්න ආසයි.. ඒත් හිරේට යන්නනම් මෙලෝ ආසවක් නෑ..

ප.ලි. අද කතාව දිග වැඩියි කම්මැලියි කියලා මටත් හිතෙනවා.. ඒත් කතා කරන්න මාතෘකා ගොඩාක් තියෙන නිසා මෙහෙම හරි ඉවර කරන්න වුනා.... අපහසුතාවක් උනානම් සමාව ඉල්ලනවා ඔන්න..  

ප.ප.ලි. : ප්‍රශ්ණ අහන්න.. උත්තර දෙන්නම්....