Meemure Jungle Resort

Wednesday, June 5, 2013

බීගෙන ජෝනා වැටීලා වලේ.... කාගෙද පෙණ දාන මේ රා කලේ.....

මතකයි නේද මේ පරණ සිංදුව.. බොහෝම කාලෙකට කලින් ජනප්‍රිය බයිලා ගීතයක්.. කිතුල් රා, පැණී හකුරු හදන හැටි ගැන ලියන දෙවෙනි ලිපිය තමයි මේ යන්නේ..  පළවෙණි ලිපියටත් හොඳ ප්‍රතිචාර තිබ්බ නිසා ඔන්න දෙවෙනි ලිපියත් ලියන්න පටන් ගත්තා.... නොබලපු කට්ටියට මෙතනින් පළවෙනි ලිපිය බලන්න පුළුවන්... ගොඩාක් කට්ටියගේ කමෙන්ට් වල මගේ ලිපියේ තිබ්බ බෙහෙත් වර්ග වලට විකල්ප බෙහෙත් වර්ග ලියලා තිබ්බ නිසා තමන්ට පහසු බෙහෙත් හොයා ගන්න ඔයාලට පුළුවන් වෙයි... ඔන්න එහෙනම් දෙවෙනි කොටස..

හරි එහෙනම් පාඩම පටන් ගනිමු.... අපි ගිය සතියේ නැවැත්තුවේ බෙහෙත් හදලා ඉවර වෙලානේ.. දැන් තමයි වැඩේ තියෙන්නේ.. ගහට නැගලා බෙහෙත් තියන භාර දූර රාජකාරිය තමයි දැන් කරන්න තියෙන්නේ.. උපකරණ විදිහට පාවිච්චි කරන්නේ මල් පිහිය, නියන් කටුව සහ කෙකි පිහිය කියන උපකරණ තුන... ගස දිගේ ඉහලට යන මදින්නා කළින්ම කරන්නේ මල සුද්ද කරන එක.. මලේ ප්‍රමාණය අනුවයි මල කපන්නේ කොතනින්ද කියන එක තීරණය වෙන්නේ.. ඒ ප්‍රමාණය පිරිසිදු කරලා ( ඒ කියන්නේ හනස්ස ඉවත් කරලා රැහැන් පාදගෙන ) අග කෙළවරේ සිට රැහැන් එකතු කර ඉත තදින් වෙලාගෙන මලේ මුලේ සිට අගල් හතරක් වගේ දුරට එනවා... ඉන්පසු අර සුඹුළු කැබලි හනසු කෑලි ඉවත් කර මල පිරිසිදු කර ගන්නවා... මතක තියා ගන්න ඕන කාරණය තමයි සම්පූර්ණ මල මේ වෙද්දිත් තියෙනවා...

ඉන්පසු තියෙන්නේ මලේ බෙහෙත් කුහරය සෑදීම.. මල පටන්

 ගන්න තැන් ඉඳන් අඟල් තුනක් හතරක් දුරින් තමයි මේ කුහරය සාදන්නේ... මලේ දිග ප්‍රමාණය අනුව මේ දුර ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්.. මලේ මුල සිට අගල් හතරක් පමණ දුරින් මලේ යටි පැත්තෙන් තමයි මේ කුහරය සාදන්නේ.. අඟල් තුනක් පමණ දිගට අඟල් දෙකක් පමණ පළලට තමයි මේ කුහරය හාරන්නේ. මලේ උඩ පැත්තට අඟල් කාලක් තියා මෙහි ගැඹුර අවසන් වෙනවා.. අවසානයේ මල දෙපැත්තට සොලවා බලා එහි නම්‍යශීලීත්වය අනුව තමයි කුහරය ප්‍රමාණවත්ද නැත්ද යන එක තීරණය වෙන්නේ... මල එතනින් ගැලවෙන නොගැලවෙන ගානට ඔවුන් මේ කුහරය හාර ගන්නවා... ඉන්පසු තමයි බෙහෙත් ගැල්වීම තියෙන්නේ... එය වෙන්නේ පහත පරිද්දෙන්..

ඉස්සෙල්ලාම අර සම්බෝලය කියන බෙහෙත අරගෙන දෝතට මැදි කරලා මලේ මුළ ඉඳන් අගට හෙමීට අත ගලා දෙවියන් බුදුන් සිහිකර මල දෙවියන්ට බුදුන්ට පිදීම ගැමියන්ගේ සිරිතක්.. දැන් අර හාරපු කුහරය ඇතුලට සම්බෝලය දාලා තද කරනවා.. කුහරයේ සෑම තැනකම ගැටෙන පරිදි මේ සම්බෝලය ගල්වමින් ඇතුල් කිරීමයි කෙරෙන්නේ...  ඇතුලට සම්බෝලය පුරවා අවසන් වීමෙන් බෙහෙත් ගැල්වීමේ පළමු අදියර අවසන් වෙනවා.. ඉන් අනතුරුව අර අළු බෙහෙත් ගෙන කුහරයේ මදි පාඩුවට පුරවා ඉතිරිය මදක් දිය කර කුහරය මුද්‍රා තැබීම සිදු කරනවා.. මෙතැනින් පස්සෙ තමයි පැහැදිලි කරන්න අමාරු හරිය... මම අමාරුවේ වැටෙන්නේ මේ වෙලාවෙදි.. බලමු මට පුළුවන් වෙයිද කියලා මෙය සාර්තකව පැහැදිලි කරන්න... මෙය මලේ රැහැන් කැපීම මල පොළවට බර කිරීම මල වෙළීම වගේ වැදගත් කාරණා ගොඩකින් සමන්විතයි... හොඳයි ඒ ටිකත් පැහැදිලි කරන්න උත්සහා කරමු...


මතකයි නේද අර අපි මලේ දිග ප්‍රමාණ්ය අනුව බලලා එක තැනකින් ගැට ගැහුවා.. එතනින් එහාට වියතක් විතර තියලා කොහු ළණු වලින් ඉතා තදින් වෙලනවා... මේකට හොඳටම හරියන්නේ නහපට්ට වැල් කියන එක.. අනතුරුව වෙලීම අවසන් වන තැන සිට අඟල් කිහිපයක් දුරින් (මලේ එතනින් එහාට වැඩක් නොවේවි කියා සිතෙන තැන..) තව ලණුවකින් තදට ගැට ගසා එහි අනිත් කෙළවර මදින්න ලඟ තියෙන අත්තක ගැට ගසා එතනින් මල ඉතා තියුණුව කපා දමනවා.. එතකොට ඔබට වැටහෙනවා නේද අර අවසාන කෙළවරින් ගැට ගහපු ලණුවේ කෙළවර මදින්න ලඟ තියෙන අත්තක ගැට ගසපු නිසා ඒ කපා දමමු රැහැන් ටික බිමට වැටෙන්නේ නෑ.. එය අර ලණුවෙන් එල්ලිලා තියෙනවා.. ඉන් පසුව ඉහලට ඇදගන්නා මදින්න එම රැහැන් ටික අර අපි කලින් මල ඔතපු තැන ගැට ගහනවා.. එයින් බලාපොරොත්තු වෙන්නේ මල මුලින් බරවී පොළව දෙසට පහත් වී තිබීමයි... පහත් වූ ප්‍රමාණය මදිනම් මල තවත් රැහැනක් යොදා බිමට බර වෙන්නට ඇද ගැට ගැසීමත් ගැමියන්ගේ ක්‍රමයක්... දැන් මෙතනින් මලේ සාත්තුව අවසන්... මදින්නා මලේ කෙළවර රෙද්දකින් ඔතා ගසෙන් බහිනවා... මෙන්න මෙතනින් පසුව තමයි ඔබ පුල පුලා බලා සිටි රා පෙරීම තිබෙන්නේ.... 

ඒ විස්තරත් එක්ක ලඟදිම ඊලඟ ලිපියෙන් මුණ ගැහෙමු.. තව එක ලිපියකින් ඉවර කරන්න පුළුවන් වෙයි මගේ හිතේ...