Meemure Jungle Resort

Thursday, December 26, 2013

බීච් පාටි වගේ නෙමෙයි මෙන්න මෙව්වා......

ඔබේ බිරිඳ ඔබ බොනවට අකමැතිද කතාවේ දෙවෙනි එක ලියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා වෙන මාතෘකාවක් ලියන එකට සමාව දෙයි කියලා හිතනවා කියවන කට්ටිය.. පහුගිය දවස්වල තිබ්බ සයිබර් බීච් පාටි එකට යන්න හිතාගෙනම හිටියත් අධික කාර්‍ය බහුලත්වය නිසා ඒකට යන්න බැරි වුනා.. ඒත් ඉතින් අද මාතෘකාව දැක්ක ගමන් කට්ටිය එයාලගේ ආතල් කුඩු කරන්න හදනවා කියලා රෙදි උස්සගෙන බනින්න හැදුවත් කරන්න දෙයක් නෑ.. මේ කථාව කියන්නම වෙනවා...

කියවන හැමෝම දන්නවනේ මම මේ දවස්වල මීමුරේ කඳවුරු භූමිය නිසා ඉතාම කාර්‍ය බහුලයි කියලා.. මේ මාසෙටම කොළඹ ඉන්න තුන්වෙනි දවස තමයි අද.. ඒ නිසා ඒ දවස් තුනෙන් ලැබුණු පොඩි වෙලාවෙදි බ්ලොග් එක නොලිව්වොත් මේ මාසෙට බ්ලොග් ලිපියක් දාන්නම වෙන්නේ නෑ.. ඒ මම ආයෙත් හෙට මීමුරේ ගියාම එන්නේ ලබන අවුරුද්දේ නිසා... හරි.. දැන් ඇති නේ වටේ ගියා.. කථාවට යමු..

ගිය මාසේ එක්තරා දවසක විදේශ ගත වෙලා හිටපු බ්ලොග් කරුවෙක් මගේ මීමුරේ කඳවුරු භූමියට ආවා... ඔහු ඇවිත් මගේ සේවකයින් සමඟ ඉතාම කුළුපඟ වුනා වගේම මීමුරේ ගැන සැබෑ අවබෝධයකුත් ලබා ගත්තා කිව්වොත් ඉතා නිවැරදියි... එදා තමයි මීමුරේ කුඹුරු හරක් නැතිව හෑවෙත්... මගේ සේවකයින් වෙච්ච සුදු මල්ලිගෙනුයි, තිලකෙගෙනුයි ඔහු අහපු ප්‍රශ්ණේ තමයි 

"මචන්.. මේ ගමට අපෙන් මොනාද වෙන්න ඕන" කියන එක..

තිලකෙගෙයි, සුදු මල්ලිගෙයි උත්තරේ වුනේ

" ළමයි 21ක් ඉන්න ඉස්කෝලෙට මොකක් හරි ආධාරයක් කරන්න පුළුවන්නම් හොඳයි මචන්" කියන එක..

ඒ ගැන පොරොන්දු වෙලා ඔහු කොළඹ ආවා.. දින කිහිපයක් යද්දි මට අමතපු ඔහු සහ මම අතරේ වෙච්ච දෙබස තමයි මේ..

මචන් අභියා.. මම මගේ යාළුවොත් එක්ක කතා කලා.. උන් රෙඩි මොනවහරි කරන්න.. උඹ විදුහල්පති තුමාට කතා කරලා වෙන්න ඕන මොකද්ද කියලා කියහන්...

එල මචන්.. මම කියන්නම්.. මට විනාඩි කිහිපයක් දියන්...

හැරෙන තැපෑලෙන් මම ගත්තා විදුහල්පති තුමාට..

සර්.. මම අභීත.. මගේ ගිය සතියේ ආපු යාළුවෙක් කැමතියි ඉස්කෝලෙට ටිකක් ලොකු අධාරයක් කරන්න.. දැනට වෙන්න ඕන ව්‍යාපෘතිය මොන වගේ එකක්ද?

අනේ පුතා.. වැඩ තුනක් තියෙනවා.. එකක් වැසිකිලි ප්‍රශ්ණේ.. අනික ඉස්කෝලෙට විදුලිය ගන්න වයරින් කර ගන්නත් ඕන.. තව එකක් මගේ හිතේ තියෙනවා.. ඒ තමයි වේදිකාවක්.. මේ ලමයි ඩෙස් එකට තියලා බැඳලා තමයි වේදිකාව හදාගන්නේ... ඉතින් උත්සවයක් ඉවර වෙනකම් ඇගේ ලේ නෑ කොයි වෙලාවේ කවුරුහරි ඇදගෙන වැටෙයිද කියලා.. ඒක තමයි මම හිතන්නේ කරන්න පුළුවන්නම් හොඳම දේ කියලා...

හරි සර්.. මම මේ ගැන එයාට කියලා බලන්නම්...

මම මේ තත්වේ මම ඔහුට කිව්වා.. අන්තිමේ අපි ඔක්කොම එකතු වෙලා වේදිකාව හදන වැඩේ කරමු කියලයි කතා වුනේ..

ඊට දවස් දෙක තුනකට පස්සේ ඔහු මීමුරේට ආවේ අවශ්‍ය මුදල් එකතු කරගෙන.. මම බොහොම පොඩි ගානකින් සම්මදම් වෙලා ගනන රවුම් කරලා දුන්නා... පොඩි උත්සවයක් තියලා එක භාර දීලා ඔහු විදේශ ගත වුනා.. 

සති දෙකකට පස්සේ වේදිකාව විවෘත කලා.. ඒ හරියටම දෙසැම්බර් පස් වෙනිදා...

මේ තියෙන්නේ මීමුරේ පොඩි එව්වෝ වේදිකාව උඩ දක්වපු දක්ෂතා...




මේක දැකපු මට මතක් වුනේ සුනිල් එදිරිසිංහගේ මේ සින්දුව..

කළගෙඩි නැටුමට කළගෙඩි සොලවති
නල වතුරෙන් සැනහුනු දරුවෝ...
ගොයම් නැටුමකට දෑකැති ළෙලවති
කුඹුරක් ඇහැ නොගැටුණු දරුවෝ...

දෙපා සැලෙන මුත් බෙර පද තාලෙට 
කරළිය හිමි නැති අපේ ළමයි...
හේනට කුඹුරට ගත සවි දිය කර 
කරළිය අභියස බලා හිදියි...

මේ සින්දුවේ නියම අරුත මම ඇහෙන් දැක්කේ එදා.. මේ ඒ ළමයි ගැන විදුහල්පති තුමෙක් ලියපු අපූරු කවි පන්තියක්.. උපුටා ගත්තේ චින්තක අබේරත්න අයියගේ මීමුරේ ඇල්බම් එකෙන්.. මේ තියෙන්නේ ඒක...




මෙහෙව් දරුවන්ගේ කුසලතා ලෝකයට පෙන්නන්න පොඩි හරි අඩියක් තිබ්බ එකට උඹලට පින් මචන්... නම සඳහන් නොකලේ උඹලටත් මොකටද නිකන් ලේබල් අලවන්නේ කියලා හිතුන නිසායි...


ප.ලි. බීච් පාටි එකට එන්න බැරි වෙච්ච එක ගැන දුක හිතෙනවා... ඒත් වෙනදා වගේම මෙවරත් මගෙන් ලැබිය යුතු සහයෝගය දුන්න නිසා හිතට සතුටුයි ටිකක් විතර..