Meemure Jungle Resort

Friday, February 7, 2014

නොදන්නා බ්ලොග් පාඨකය නුඹට ස්තූතියි....

මේ බ්ලොග් ජීවිතේ පෝස්ට් 251ක් පුරාවට මීට කලින් මම ස්තූති කලේ නම දන්න බ්ලොග් කරුවන්ට විතරයි.. එකම එක බ්ලොග් ලිපියක ඇනෝටත් ස්තූති කලා මතකයි.. ඇනෝ කිව්වට ඉතින් අපි හොඳින් දන්න අපේ වටේම ඉන්න අයනේ.. ඒක නිසා ඇනෝවරුන්ට ස්තූති කලාට අපේම අයට තමයි ස්තූති කරලා ඇත්තේ.. අද මේ හෘද්‍යාංගම ස්තූතිය පිරි නමන්නේ වෙනම කවුද කියලා හිතා ගන්නවත් බැරි මගේම ආදරණීය බ්ලොග් පාඨකයෙකුට.. කතාව මෙහෙමයි...


පහුගිය සතියක මම දැම්මනේ මගේ මීමුරේ කඳවුරු භූමිය ගැන බ්ලොග් ලිපියක් සියළු විස්තර ඇතිව.. එය අද වෙනකොට විශාල හිට් ගොඩක් කරා ගිහින් තියෙන්නේ.. ඊටත් වඩා කාරණය තමයි මේ බ්ලොග් එක කියවන කවුරු හෝ මේ ලිපිය කොපි කරලා මේල් බොඩි එකට පේස්ට් කරලා තමන් දන්න අඳුරන හැමෝටම යවලා තියෙනවා.. අන්තිමේ කොච්චර දුරක් ගියාද කියනවානම් මම ලඟට තුන් පාරක්ම ආවා.. ඒකෙන් වෙච්ච ප්‍රථිපල පහත පරිදියි.. මම ලොකු අමාරුවක වැටුනත් අනාගතය උදෙසා ඒක ලොකු ශක්තියක්.. ඒ නිසා නැවතත් කවුදැයි කියා නොදන්නා නුඹට මහ මෙරක් තරම් ස්තූතියි... අහ්.. ප්‍රථිපල කියන්න අමතක වෙනවා තව පොඩ්ඩෙන්...  

1. මීමුරේ කඳවුරු බිමකට සීමා වෙච්ච මට මී මුරේ කඳවුරු බිම් තුනක් ඉතා කඩිමුඩියේ සකසන්න සිදුවීම

2. මාර්තු අවසන් වන තෙක් මගේ ප්‍රධාන කඳවුරු භූමියේ සියළු සති අන්තයන් වෙන්වී අවසන් වීම

3. පෙබරවාරි 14,15,16 කියන දීර්ඝ සති අන්තයේ ප්‍රථම වතාවට කණ්ඩායම් පහක් හැසිරවිය යුතු වීම..

4. අප්‍රේල් මාසය පුරාවට දින 30ම තාවකාලික වෙන් කිරීම් වලින් දින පොත පිරී යාම..

මේ ආදී තවත් විස්තර තිබ්බත් මගේ බ්ලොග් ලිපිය යැවීම නිසා ඔබට පින් අත් වන ලොකුම ක්‍රියාවලිය මෙයයි..

අසරණ මීමුරේ ගම්වාසීන් 20 දෙනෙක් විතර එක දිගට මගේ කඳවුරු භූමියේ සේවයේ නිරත වෙලා ඉන්නවා.. ඔබ දුන්න ඒ හයිය නිසා අපි අපේ ප්‍රධාන කඳවුරු භූමිය ඉතා සුව පහසු කඳවුරු භූමියක් බවට දින 10ක් ඇතුලත පත් කලා.. ඒ මිනිසුන් ගන්න සතයක් ගානේ ඔබට අත් වෙන්නේ මහා කුසලයක් හිතවතාණණි..

එසේනම් බ්ලොග් පාඨක හැමටත් මීමුරේ විඳින්න අරාධනා කරමින් මම නැවතත් එම මේල් එක යවපු හිතවතාට මාගේ හෘද්‍යාංගම ස්තූතිය පිරිනමනවා..

අළුත් කඳවුරු භූමියේ නව ඡා‍යාරූප ලබන සතියේ බලාපොරොත්තු වෙන්න..

Tuesday, February 4, 2014

මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ.....


අද දවස පෙබරවාරි හතර වෙනිදා... අපේ ශ්‍රී ලංකාවේ 66වෙනි නිදහස සමරන දවස... මේ ගීතය ගැන ප්‍රදීප් මල්ලිගේ මූණු පොතේ දාලා තිබ්බ සටහනක් නිසා මීට අවුරුදු 18කට කලින් මතකය අවදි වෙච්ච  නිසා මට මේ ගැන ලියන්න හිතුනා.. ඒ කාලේ ඉදන්ම මගේ බ්ලොග් එක කියවපු අයට මතක ඇති දේශපාලනික සටහන් වගේම සින්දු ගැන මම දන්න දේත් කිහිපයක් ලියලා තියෙනවා.. එක කාලයක් මමයි වැම්පායි දෙන්නා රන්බන්ඩා සෙනෙවිරත්නයන් ගැන ලිපි පෙලවල් දෙකකුත් කරගෙන ගියා... එහෙම ජෝඩු දාලා බ්ලොග් ලිව්ව එකම සටහන් පෙල ඒක කියලා තමයි මට මතක.. ඒත් අද කියන්න යන්නේ දේශපාලන සටහනක්වත් හිනායන කතාවක්වත් ගීතය ගැන කතාවක්වත් නෙවෙයි.. ඔන්න කතාව...

සමහර ගීත තියෙනවා ජීවිතය වෙනස් කරන.. මගෙත් තියෙනවා එහෙම සින්දු තුනක්... ඒකෙ පළවෙනි අත් දැකීම තමයි මේ.. මම බාලදක්ෂ කථාත් කිහිපයක් ලියලා තියෙන නිසා හැමෝම දන්නවනේ මම බාලදක්ෂයෙක් වෙලා හිටපු කාලයක් තියෙනවා කියලා.. මේත් ඒ හා සම්භන්ධ කතාවක්...

පුංචි කාලේ ඉඳන්ම බාලදක්ෂ ජීවිතයට යොමු වෙන ඕනෑම කෙනෙක්ගේ සිහිනය තමයි ජනාධිපති බාලදක්ෂ පදක්කම.. පාසැල් ශිෂයයෙකුට ලංකාවේ ජනාධිපති අතින් අත්සන් කරපු සහතික ගන්න පුලුවන් දෙකයි.. එකක් ජනාධිපති c පදක්කම.. අනෙක හර්මන්ලූස් සහතිකය.. ඔය දෙකම ගත්ත අතිශය දුර්ලබ සිසුවෝත් මේ ලංකාවේ කිහිප දෙනෙක් හරියටම කිව්වොත් අතලොස්සක් ඉන්නවා.. මම ජනාධිපති බාලදක්ෂ පදක්කම ගැන කතා කරන්නම්.. මට ඒක විතරක් තියෙන නිසා..

මේක ගන්න පුංචි කාලේ ඉඳලා මාර කට්ටක් කන්න ඕන.. පුංචි වයසේ ඉන්න කෙනෙකුට ඔරොත්තු නොදෙන තරමේ කැපවීම් කරන්න ඕන.. ප්‍රජා සේවා කරලා, සැතපුම් ගනන් පයින් ගිහින් විවිධ ව්‍යාපෘති මෙහෙයවලා, කඳවුරු බිම් වල දින ගනන් නිදි මරාගෙන කට්ට කලා, වැඩ සතිය කියන සංකල්පෙත් එක්ක විවිද තැන් වල අනේක වද වේදනා විඳින එක වගේ මෙකී නොකී විවිධ වද වේදන සහ අති සුන්දර මතකයන්ගේ අග්‍ර ඵලය තමයි මේ ජනාධිපති පදක්කම.. මේක ගත්ත මිනිහෙකුගේ ජීවිතයේ ඉදිරියට එන විවිද සැප දුක් වේදනා කම්කටොලු එයාට ලොකු දේවල් නෙමෙයි.. 

බාලදක්ෂයෙක් සතුව ලොග් පොතක් තියෙනවා කියලා ඕන කෙනෙක් දන්නවනේ... ඒක පලවෙනි පිටුව ලෝක බාලදක්ෂ ලාංඡනේටයි, දෙවෙනි පිටුව ශ්‍රී ලංකා බාලදක්ෂ ලාංඡනයටයි, ඊලඟ පිටු තව ලාංඡන කිහිපයකට්යි තමන්ගේ පුද්ගලික තොරතුරු වලටයි වෙන් වෙනවා... ඊට පස්සේ තමයි තම්න්ගේ න්‍යායත්මක සටහන් සහ ප්‍රායෝගික සටහන් වලට වෙන් වෙන්නෙ.. මගේ ලොග් පොතේ මේ පුද්ගලික තොරතුරු වලටයි තමන්ගේ සටහන් වලටයි අතර පිටුවේ ශ්‍රී ලංකා ජාතික ධජයක් අලවලා මෙන්න මේ ටික ලියලා තිබ්බා....

ප‍ටු අදහස් නම් පවුරින් ලෝකය

කැබලි වලට නොබෙදී


ඥානය නිවහල් වී


බියෙන් තොරව හිස කෙලින් තබාගෙන


හිඳිනට හැකි කොහිදෝ


ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට


මාගේ දේශය අවදි කරනු මැන පියානනේ




සත්‍යය පතුලින් ගලනා පිරිසුදු වචන කොහිද ඇත්තේ


ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා


නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී ගිලී නොගියේ


ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට


මාගේ දේශය අවදි කරනු මැන පියානනේ




පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා


සදා දියුණු වන සිතුවිලි උදෙසා කම් කටයුතු උදෙසා


ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ


ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට


මාගේ දේශය අවදි කරනු මැන පියානනේ




සංකල්පය - රබීන්ද්‍රනාත් තාගෝර්


පද - මහගමසේකර


සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව


ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සමග සුනිල් එදිරිසිංහ



ඉතින් මේවා ඔයාලට මොකටද නේද? මම ඉතින් නිකන් ලිව්වේ... ඉතින් ඔය බාලදක්ෂ ජීවිතේ අග්‍ර ඵලය වෙච්ච ජනාධිපති පදක්කමේ සම්මුඛ පරීක්ෂණයට මම සහභාගී වුනා.. පරීක්ෂණ මණ්ඩලය මාත් එක්ක වචනයක්වත් කථා නොකර මගේ ලොග් පොත ගත්තා... පිටු පෙරලගෙන පෙරලගෙන ගිහින් ඔය පිටුවේ නැවතුනා.. ඒ පිටුව තුන් දෙනාගේ අතින් අත ගියා.. පොත වහලා මට දීලා 

"හරි... ඊලඟ එක්කෙනා එන්න"

කියලා කිව්වා.. මාත් එක්ක වචනයක්වත් කථා කලේ නෑ.. මම හිතුවා කෙළවුනා තමයි කියලා... ඒත් මගේ 17 වෙනි උපන් දිනය දවසේ මට ලැබිච්ච අපූරු උපන් දින තෑග්ග වුනේ මම ජනාධිපති බාලදක්ෂයෙක් කියලා ලිපියක් අපේ ගෙදරට ආපු එකයි...

මේ සින්දුව ඇහෙද්දි දකිද්දි මට නිතරම මතක් වෙන්නේ ඔය සිදුවීම... 


ප.ලි. අවුරුදු හතරකට ආසන්න බ්ලොග් කලාවේ 250 වෙනි පෝස්ටුව මේ වගේ රසබර මතකයකින් සටහන් කරන්න ලැබිච්ච එක ගැන මට තියෙන්නේ අසීමිත සතුටක්.. ස්තූතියි ප්‍රදීප් මල්ලි...