මැතිවරණය සාමකාමීය. එය ගැන ගැටළු නැත. මහින්දටත් "අයියෝ අයිඩින්ටිය අත්‍යවශ්‍ය කලේ" යැයි සිතෙන්නට ඇත. ජනතා මතය ඉදිරිපත්ව ඇත. ඒ මතය පිළිගෙන ඔහු නික්ම ගොස් ඇත. අතීතයේ පරාජය වන බව කල් තියා දැනගෙන පිස්සු කෙළපු නායකයන් අතර මහින්ද මිනිසෙක් ලෙස හැඳින්විය හැක. අපේ කැමැත්ත ඔබ වූ කල, බහුතරයකගේ කැමැත්ත ඔබ නොවූ කල, ඒ කැමැත්තට හිස නමා ඔබ පිටව යාම විශිෂ්ඨ ක්‍රියාවක් ලෙස මම දකින අතර ඒ වෙනුවෙන් පැසසුම් ද පුද කරමි.
පළමු ඡායරූපය |
පරාජය පරාජයම වන්නේය. ජයග්රහනයද එසේය. මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් ප්රමුඛ නව රජයට සුභ පතන ගමන්ම ඒ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුන සියළුම දෙනාට සුභ පතමි.
මම ජාතිවාදියෙක් නොවෙමි. නමුත් ඊයේ ජනපතිවරණයදී ලැබූ ප්‍රතිපල සංසන්දනය කරන විට, එවන් ජාතීවාදී හැඟීමක් හිතේ කොණක සිට එළියට පනින්නට තැත් කරයි.... අමාරුවෙන් නතර කරගෙන පුරුදු පරිදි සිත දමනය කරගෙන සිටිමි. මේ ශ්‍රී ලංකාද්වීපය තුල අපි එකාවන්ව සිටිය යුතුය. නමුත් එක් කොටසක් ජාතිය ගැන නොසිතා තම මතය සාධාරණව සිතා, තමන්ට කැමති අපේක්ෂකයාට ඡන්දය දී තිබිණ. තව කොටස් දේශපාලන මතවාද සහ තම ජාතීන් අතර ඇති සියළු බේද අමතක කර එක් පටු අරමුණක් වෙනුවෙන් ඡන්දය භාවිතා කර ඇත. එහි ප්‍රතිපලය ලෙස යාපනය දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 179300කින්, වන්නි දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 107040කින් උතුරු පළාත ද, වැඩි ඡන්ද 167791කින් මඩකලපුව දිස්ත්‍රික්කයද, වැඩි ඡන්ද 112333කින් දිගාමඬුල්ල දිස්ත්‍රික්කයද, වැඩි ඡන්ද 88227කින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයගෙන ඇත. ඒ අනුව උතුරු නැගෙනහිර පළාත් දෙකේ වත්මන් ජනපතිවරයාට හිමි ඡන්ද ප්‍රමාණය 654961කි. ඔහුගේ සමස්ත ජයග්‍රහණය වැඩි ඡන්ද 449072 කි. දැන් ඔබ මට ජාතිවාදී ලේබලය අලවන්න උත්සාහ කරාවි. නමුත් මේ ප්‍රායෝගික සත්‍යයට අපි නුදුරු කාලයේදී මුහුණ පෑ යුතුය. රටේ වැඩිම සංවර්ධනයකට හිමිකම් කීවේත්, රටේ වැඩිම නිදහසක් භුක්ති විඳීමට අවස්ථාව ලැබුනේත් මේ පළාත් දෙකටයි. නමුත් මහින්ද හිතූ ලෙස කිසිවක් වෙලා නැත. කලගුන බයිලාව මෙතනට හරි ගියේ නැත. ඔවුන් සටන් වදින්නේ කුමක් අරඹයාද යන්න, මහින්දට, මෛත්‍රීට, පාඨලීට මෙන්ම මාදුළුවාවේ සෝභිත හිමිටද දැන් වැටහිය යුතුය. පාඨලී ප්රමුඛ හෙළ උරුමය දැන් ඔවුන්ට ජනතා බලයක් නොමැති බව තේරුම් ගත යුතුය. ජවිපෙද එසේය. ඔවුන් මෙම සන්ධානයේදී නිල ලත් අවලංගු කාසිය හා නිල නොලත් අවලංගු කාසිය බවට පත් වී ඇත. අකුරණ, මැද කොළඹ වැනි ආසනවල තත්ත්වය සොයා බලන්න. මේ ප්‍රතිපල තවත් අවබෝධ කර ගත හැක.
පහසුව සඳහා පහත රූප සටහන ඉදිරිපත් කරමි.
නමුත් මේ තත්ත්වය කතා කරන්නට අකැපය. ඒ රටේ ජාතිවාදය ඇවිස්සීමට තුඩු දෙන නිසාය.
ජාතිවාදී සලුව ප්‍රයෝජනයට ගෙන, මෙම බෙදුම් වාදී සංකල්පය පහසුවෙන් බැහැර කල හැක. නමුත් අළු යට ගිනි පුපුරු එළියට එන්නේ වටපිටාවම ගිනි තියාගෙන බව ඔබත් මමත් දන්නා කරුණකි. ගහ දන්න අයට කොළ කඩා පෑමෙන් වැඩක් නැත. කොලයත් ගහත් ඔවුන් හොඳට හඳුනති. එනිසාම මේ පිළිබඳව ගැඹුරින් හිතන්නට රජය පෙළඹිය යුතුය. දැන් කොටියන් නැත. ඉන්නේ පූසන් වේ... ඔවුන් ඉවසිල්ලෙන් සිතා මතා වලිගය සොලවා නිහඬව සිට, නිහඬවම තම ගොදුර වෙත කඩා පනී. ගොදුර අත හැරෙන්නේ එහෙමත් වෙලාවක මිස නිතරවම නෙවේ. ඒ ගැන දැන් ඇති.
මෙවර ඡන්දයේදී පාවෙන ඡන්ද හිමි තරුණ කැල මෛත්‍රී ජනපතිතුමා වෙනුවෙන් සෑහෙන කාර්ය භාරයක් කලේය. අපේ සමගාමී වයසේ ඉන්න පිරිස බෙදුම්වාදයෙන් දැඩිව බැට කෑහ. ඒ බෙදුම්වාදයෙන් තිරිසන් ලෙස බැට කෑ අවසන් තරුණ පරපුරයි. අප දැන් ජීවිතයේ තුන්වෙනි දශකය පසු කරමින් සිටී. නමුත් දැන් ඉන්න තරුණයින්ට මේ පිළිබඳව අත්දැකීම් හෝ පාඩමක් ලබා නැත. 2009 දී 18 සපිරි තරුණයින් අද වෙන විට වයස 23කි. ඔවුන්ට තිබෙන්නේ ලස්සන අතීතයකි. ඒ වගේම තේරෙන කාලයේ සිට යුද්ධයද ජයග්රාහීය. පරාජයන්, විනාශයන් පිළිබඳව කිසිදු ප්‍රායෝගික අත්දැකීමක් නොමැති ලංකාවක් ඔවුන්ට උදා වී තිබිණ. එනිසා ඔවුන්ට වෙනසක් අවශ්‍යය. එය සාධාරණය. නමුත් මම තවමත් සිතන්නේ, ඔවුන් වරද්ද ගත්තා කියාය.
මහින්දගේ නික්ම යාම ගැනද කට කතා තිබේ. ඇත්ත වන්නට ඇති ඉඩකඩ බොහෝ වැඩිය. මම එය දකින්නේ මෙසේය. මහින්දද පෘතග්ජනයෙකි. බලයට, වස්තුවට, විඳි සැප සම්පත් වලට ඔහුටද ආශාවක් නොතිබෙන්නට නොහැක. බලයෙන් මත්වී රටට අහිතකර තීරණ ගෙන ඔහු ගොඩ නැගූ රට අගාධයට පත් නොකර, ජන මතයට හිස නමා යෑමට ඔහු අදිටන් කර ගත් බව අපි පිළිගත යුතුය. එබැවින් ඔහු ගත් අවසන් තීරණය පිළිබඳව අප හිස නැමිය යුතුය.
මම මේ දක්වන්නේ මගේ මතය පමණකි. එය කඩේ යාමක් ලෙස කාට හෝ හැඳින්වීමට පුළුවනි. නමුත් එසේ සිතන අය පහත පෝස්ටු කියවා තත්ත්වය තේරුම් ගන්නා ලෙස ඉල්ලමි.