කාලයක් තිස්සේ විභාග දෙපාර්තමේන්තුවේ සේවය කරපු නිසාත් මේ දවස්වල විභාග දෙපාර්තමේන්තුව ගැන හැමෝම කථා වෙන නිසාත් මම මේ ගැන ලියන්න හිතුවා... ඊයේ දාපු පෝස්ට් එකේ අන්තිමට මම ආයෙත් පෝස්ට් එකක් දාන්නේ ජනවාරි පලවෙනිදා කියලා.. ඒත් ඉතින් මේක කාලීන මාතෘකාවක් නිසා වගේම ගොඩාක් අය මගෙන් චැට් එකේදි එහෙම අහපු නිසා මම මේ ගැන ලියන්න හිතුනා... ඒ නිසා මම දන්න තරමින් මේ පිළිබඳ පූර්ණ විස්තරයක් දෙන්න තමයි හදන්නේ....
විභාග පැවැත්වීම සඳහා දෙපාර්තමේන්තුව සතුව අංශ දෙකක් තියෙනවා.. ඒ පාසැල් හා ආයතනික වශයෙන්... මේ අංශ දෙක සතුව වෙන වෙනම සංවිධාන, ඇගයීම්, ප්‍රථිපල හා රහස්‍ය ලෙස ශාඛාවන් තියෙනවා... මේ දෙකටම පොදුවේ පරිඝනක ශාඛාවක් හා දත්ත ඇතුලත් කිරීමේ ශාඛාවක් තියෙනවා.... පෞද්ගලිකව මම දන්න සහ හිතන විදිහට මේ සංවිධාන, ඇගයීම් හා රහස්‍ය ශාඛාවන් විභාගයක් සාර්තකව පැවැත්වීම උදෙසා ඉතා සාර්ථක සේවයක නිරත වෙනවා... ඔවුන් හැම වෙලේම තමන්ගේ සේවය ඉතා විශිෂ්ඨ අයුරින් කරන්න කැප වෙනවා.... ඔබ විභාග දෙපාර්තමේන්තුව අසල ගැවසෙන කෙනෙක්නම් විභාගයක් ලංවෙනකොට එහි ඒ ගොඩනැගිල්ලේ පස්වන මහලේත් බී ගොඩනැගිල්ලේ සිව්වන මහලේත් විදුලි බුබුලු පැය විසි හතර පුරා දැල්වෙනවා දකින්න පුළුවන්... පරිඝණක වලින් එන මුද්‍රිත සටහන් පවා ඔවුන් පරීක්ශා කර බලනවා....
එහෙනම් කොතනද වැරැද්ද තියෙන්නේ..? ඔබටත් වෙන කාටත් තියෙන ගැටළුවක් තමයි ඒ... මට වගේම විභාග දෙපාර්තමේන්තුවේ ගොඩාක් දෙනා හිතන ආකාරයට ඒ වැරැද්ද තියෙන්නේ පරිඝනක අංශව සතුවයි... මගේ අදහස අනුව අලුතින් විභාග කොමසාරිස් ජනරාල් ලෙස පත් වෙන ජයන්ත පුෂ්පකුමාර මහතා පළමුවෙන්ම කල යුත්තේ මේ පරිඝණක අංශය නැවත සැකසීමයි... අනුර එදිරිසිංහ ලබපු අපවාද ඔබට නොඇසීමට එයම ප්‍රමාණවත් වේවි...
දැන් ඔබට තිබෙණ ප්‍රශ්ණය ඇයි මේ පරිඝණක අංශයේ ප්‍රශ්ණය කියලනේ.... මේ අංශයේ සේවය කරන පරිඝණක දත්ත විශ්ලේශක කියන තනතුර තියෙන අයගේ සුදුසුකම් පිළිබඳ ලොකු ගැටළු තියෙනවා.. තනියම ප්‍රෝග්‍රෑම් එකක් ලියාගන්න පුළුවන්ද කියන මූලික කරුණේ ඉඳන් ඉදිරියටම ඒ කාරණය එලෙසමයි.... මේ අංශයේ ඉන්න කණිශ්ඨම නිළධාරියා විතරයි ඒකේ වැඩකරුවෙකුට ඉන්නේ... අනිත් අයට වඩා හැකියාවක් විභාග දෙපාර්තමේන්තුවේ වෙන අංශ වල සේවය කරන කිහිප දෙනෙකුටත් තියෙනවා... මම අර ඉහත කියපු කැපවීමෙන් දිවා රෑ නොබලා වැඩ කරන පිරිසගේ අප්‍රතිහත උත්සාහය මොවුන් දවස් දෙක තුනක් ඇතුලත නන්නත්තාර කර දමනවා....
උදාහරණ ලෙස ගත්තොත් මීට කලින් අවස්ථාවල විභාගත් ගන්න පුළුවන්.. ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සඳහා වූ බඳවා ගැනීමේ විභාගය ඔබට මතක ඇති.. එම විභාගය නැවත පැවැත්වීම සඳහා වියදම් කරපු මුදල් කාගේද? මහ ජනතාවගේ මුදල්.. ඉතින් මේ ප්‍රශ්ණය නිසි අයුරින් නොවිසඳා ඉදිරියට ගියහොත් ඊලඟ විභාගයේදීත් විභාග දෙපාර්තමේන්තුවට අඹ සරණයි....
නායකත්වය ගැනත් කියන්න ඕන.... අනුර එදිරිසිංහ යනු සාර්ථක නායකයෙක් කියලා මම හිතන්නේ නෑ.. මුළු විභාග දෙපාර්තමේන්තුවට බලපාපු පොදු නීති ඔහුගේ හිතවතුන්ට බල නොපාපු අවස්ථා ඕන තරම්... ඒක ඉතින් මේ රටෙත් හැටිනේ.... නමුත් ඉදිරියට මේ දෙපාර්තමේන්තුව භාරගන්න ඉන්න ජයන්ත පුෂ්පකුමාර කියන්නේ ටිකක් කෙළින් වැඩ කරන මිනිහෙක් කියලා තමයි මට හිතෙන්නේ... ඒ නිසා ඔහුට මේ ගැන කටයුතු කරන්න පුළුවන් කියලත් හිතෙනවා...
බලාගෙන ඉමු.. කවුරු මොනවා කලත් ඒ දේ බලපාන්නේ රටේ පොඩි දරුවන්ගේ අනාගතයට කියන එක අමතක කරන්න හොඳ නෑ....
ප.ලි. අපි විභාග අසමත් වුනේ විභාග දෙපාර්තමේන්තුවේ වරදින්දෝ කියලත් හිතෙනවා.. (මේ ටික දැම්මේ කට්ටියට ටිකක් හිනාවෙන්න..)
පින්තූරය මෙතනින්..