Wednesday, December 11, 2024

=== වැඩ බැරි කම, අධි මානය, විපක්ෂ මානසිකත්වය, බොරුව රඳා පවත්වා ගැනීමේ උත්සාහය, ම්ලේච්ඡත්වය සහ මාලිමා රජයේ අසමත්කම. ===


ඉතිහාසයේ කෙටිම කාලයක් තුල සමච්චලයට ලක්වන ආණ්ඩුව ලෙසට වත්මන් ආණ්ඩුව පත් වී තිබේ. මාලිමාවට ඡන්දය දුන් අය මෙය පිළිගැනීමට අකමැති වුවත් සත්‍යය එය බව ඔවුන්ගේ යටිසිතට තට්ටු කල විට පිළිගනු ඇති බව මාගේ විශ්වාසයයි. ඒ හේතුව නිසාම කිසිදා නොවූ විරූ ලෙස, ඉතා කෙටි කාලයක් තුල ආණ්ඩු පක්ෂයට ඡන්දය දුන් පුද්ගලයන් සමාජ මාධ්‍ය තුල දිගින් දිගටම සමච්ඡලයට ලක් වෙමින් පවතී. 

අපි මාතෘකාවේ සඳහන් කාරණා එකින් එක ගමු. 

වැඩ බැරි කම

මැතිවරණ යුගයේ ස්ටේජ් වල මයික් පලමින් දුන් කිසිදු පොරොන්දුවක් අද වෙනතුරු ජනතාවට ලබා දීමට ඔවුන් සමත්ව නැත. දේශීය සහ විදේශීය ණය, IMF ක්‍රියාවන්, හාල් ප්‍රශ්ණය, පොල් ප්‍රශ්ණය, ලුණු ප්‍රශ්ණ කිසිවක් ඔවුන්ගේ වචනයෙන් කියූ, එක් පෑන් පහරින්, පැය විසි හතරෙන්, සතියෙන් දෙකෙන් විසඳී නැත. ඒ වගේම කිසිදු අමාත්‍යාංශයක සැලකිය යුතු ප්‍රගතියක් අත් කර දීමට ඔවුන් සමත්ව නැත. කිසිදු මහා පරිමාණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තියා, සිදු කරමින් තිබූ ව්‍යාපෘතියක් කඩිනම් කිරීමට පවා ඔවුන් සමත්ව නැත. එකදු සැලකිය යුතු මට්ටමේ ආයෝජනයක් ලංකාවට ලබා ගැනීමට ඔවුන් සමත් ව නැත. සුවිසල් ව්‍යාපෘති තියා, ග්‍රාමීය මාර්ගයකට ඉන්ටර්ලොක් කැටයක්වත් අල්ලන්නට ඔවුන් අද වෙනතුරු සමත්ව නැත. පරිපූරක අයවැයෙන්, පෙරට වඩා එක සතයක් කපා දමන්නට ඔවුන් සමත්ව නැත. පාර්ලිමේන්තුව කැඳ වූ දින හතරේදීම පාර්ලිමේන්‍තු සම්ප්‍රදායන් පවා පාලනය කර නොහැකිව එකම විකාරයක් කරගත් අයුරු අප දුටුවෙමු. ඉතින් මෙම ආණ්ඩුව මැතිවරණයට පෙර වේදිකාවන්හි මයික් පැලූ කයිවාරු කාරයන් සහ වැඩ බැරි දාසලා මිස, වැඩකාරයෝ නොවන බව දිගින් දිගටම ඔප්පු කරමින් සිටී.

අධි මානය

බලය ගන්න කලියෙන් හීන මානයෙන් පෙළුණ මෙම පිරිස, බලය ගැනීමත් සමඟ අධි මානයකින් පෙළෙන බව පෙනී යමින් තිබේ. අතිගරු ජනාධිපති තුමා මෙන්ම කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාත් මෙහි හිනිපෙත්තටම නැඟ සිටී. අනතුරුව මෙම ගති ලක්ෂණ පෙන්නුම් කරන්නේ මාලිමා ආණ්ඩුවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන පිරිසයි. උදාහරණ ලෙස ගතහොත් මොවුන්ගේ සමහර ප්‍රකාශ පහත පරිදි වේ. 

📍 හාල් මෝල් ප්‍රශ්ණය තව දින දහයකින් බලමු

📍 අපි එක එක්කෙනාගෙ ඡෝදනා වලට උත්තර දෙන්න යන්නෙ නෑ

📍 කතා නායක උත්තරේ දෙයි අවශ්‍ය වෙලාවට

📍 පොල් ප්‍රශ්ණය ගැන තව දින දහයකින් අහන්න

📍අපි වචනත් දන්නවා, වචන අතරත් දන්නවා

📍 වගා බිමට ආවොත් සතුන්ට ඕනම දෙයක් කරන්න

📍එයාලාට උත්තර දෙන්න අපි කවුද?

මේ කොච්චර අධි මාන්නයන් නඩත්තු කලත්, වඩේ කාරයා යැයි මාලිමාවම අපහාස කරපු චාමර සම්පත් දසනායක මන්ත්‍රී වරයා, සිය පාර්ලිමේන්තු කතාවේදී එම අධිමාන කාරයන් සියල්ල එකවර උස්සා පොළවේ ගසා සුන්නද්ධුලි කර දැමූ හැටිද අපට මතකය. එතැනදී සද්දෙ වහන්, අත පය කොර කරන් හිටි මාලිමා පීපල්ස්ලා නැවත මයික් ඉදිරියට ගොස් සුපුරුදු කට මැත දොඩවනු දැකිය හැකි විය. 

කෙසේ වුවත් ජනපතිවරයාගේ මේ පොර ටෝක් වලට, තව වැඩි අගයක් එකතු කිරීමේ යෝජනාවක් මම, නජිත් ඉන්දික මන්ත්‍රීතුමා වෙත සිදු කරමි. ඒ සාකච්ඡා මේසයේ ජනපති පුටුවට ටිකක් උසින් වැඩි කොට්ටයක් සපයන ලෙසයි. නැතිනම් දෙන පොර ටෝක් එකයි, ජනාධ්පතිතුමාගේ උසයි අතර පොඩි නොගැලපීමක් ඇති බව මගේ විශ්වාසයයි. 

විපක්ෂ මානසිකත්වය

ආණ්ඩුවේ නොහැකියාව බේරා ගැනීමට, ඔවුන් විපක්ෂයේ සිටියදී අනුගමනය කරපු ක්‍රියා පටිපාටියමය. වැඩ කිරීම පසෙක ලා තම ප්‍රතිවිරුද්ධ මත වල සිටින දේශපාලකයන්ට බැන වදිති, දෙස් තබති, සාප කරති. ඒ වගේම අමු ගොබ්බ තර්ක කරති. උදාහරණයක් ලෙස සහල් සහ පොල් ප්‍රශ්ණ වලදී මාලිමාව අහන්නේ "සීයා කුඹුරු වපුරලා, පොල් හිටවලා ගියෙ නැද්ද?" යනුවෙනුයි. ආණ්ඩු මාරු වෙනකොට ප්‍රශ්ණ විසඳන්න හිටපු පාලකයාගේ සේවයක් බලාපොරොත්තු වෙන තරමටම ආණ්ඩුව ගොබ්බ විපක්ෂ මානසිකත්වය හිස ලා ගෙන සිටී. ඊට වඩා ඒ ගැන කතා කල යුතු නැත.

බොරුව රඳා පවත්වා ගැනීමේ උත්සාහය

මැතිවරණයට කලින් කියූ බොරු ගැන අප කලින් කතා කරපු නිසා, මැතිවරණයෙන් පසු මෙම ආණ්ඩුව බොරුව පවත්වා ගැනීමට ගන්නා උත්සාහන් ගැන අප උදාහරණයන් සමඟ කතා කරමු.

📍 උතුරේ මහ විරු සැමරුම.

මෙවර උතුරේ මහ විරු සැමරුම් සිදු නොවූ බව කියන්නට මෙම රජය නොවිඳිනා දුක් වින්දේය. ඒ ගැන කියූ සමාජ මාධ්‍ය කරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගත්තේය. මේ පිළිබඳව සඟවා, එසේ මහ විරු සැමරුම් සිදු නොවූවා යැයි කියන්නට තැතනූ බොරුව අවසානයේ නිම වූයේ හත් පොලේ ගා ගැනීමෙන් අනතුරුවය. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා  පාර්ලිමේන්තු ප්‍රශ්ණයක් යොමු කරමින් අසා සිටියේ උතුරේ පිරබා හරන්ගේ රූපයක් ෆේස්බුක් දැමූ තරුණයා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියෙන් උසාවියට ඉදිරිපත් කරන්නටත්, එල් ටී ටී යට එරෙහි ෆේස්බුක් සටහන් දැමූවන් ත්‍රස්ත ආරක්ෂක පණත (PTA) යටතේ උසාවියට ඉදිරිපත් කරන්නට හේතුව කුමක්ද යන්නය. මුලින්ම අත් අඩංගුවට පත් ජනිත් චතුරංග තරුණයාට ඇප ලැබුණේ ඊයේ දවසේදීය. කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට පිළිතුරු දුන්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කලේ උතුරේ එවැනි සැමරුම් රැසක් පවත්වා ඇති බවත්, එයින් දහයක පමණක් එල්ටී ටී ඊ සංවිධානයට අයත් විවිධ සළකුණු භාවිතා කර ඇති බවත්‍ ය. කෙසේ වෙතත් එම දහය පැවැත් වූවන් ගැන පොලීසිය පරීක්ෂණ කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කලත්,අද වෙනතුරු ඒ සම්භන්ධයෙන් අත් අඩංගුවට පත් වූවෙක් පිළිබඳව කිසිදු පුවතක් වාර්තා වී නැත.

ඉන් පසුව මාධ්‍ය ප්‍රධානීන් සමඟ ගරු ජනපතිවරයා පැවති සාකච්ඡාවේදී, මෙම මහ විරු සැමරුම් සඳහා 40,000කට වැඩි පිරිසක් සහභාගී වූ බවට ජනපතිවරයා පිළිගත්තේය. එහිදී ජනපතිවරයා 2017, 2018, 2022 සහ 2023 වසර වල මහ විරුසැමරුම් වලට සහභාගී පිරිස් ගැනද කියූ නමුත්, 2019, 2020 සහ 2021 වර්ෂ ගැන නොකියූවේ, බුද්ධි අංශ වාර්තා නොකල නිසාද, නැතහොත් මහවිරු සැමරුම් සිදුව නැති නිසාද යන්න මම තවමත් කල්පනා කරමි.

කෙසේ වුවත් කැලුම් හර්ෂක, කැලුම් ජයසුමන සහ රේණුක පෙරේරා යන තිදෙනා සම්බන්ධයෙන් ගරු අධිකරණය කල ප්‍රකාශවලින් පසු, මහවිරු සැමරුම් නමැති අසූචි කැබැල්ල, ආණ්ඩුවේ සළුපිළි අතරින් පැමිණ දැවැන්ත ශබ්දයක් නගා බිමට පතිත වුනේ මුලු ආණ්ඩුවේම හත් පොලේම අසූචි තවරාලමින් බව අප දැන් දනිමි.

📍 සහල් මිල පාලනය

සහල් මිල වැඩි වන්නට පටන් ගද්දීම, රජය තම සුපුරුදු පොර ටෝක් ටික දෙන්නට විය. සහල් පිටරටින් ආනයනය කිරීමේ තීන්දුව ගද්දී, ජනපතිවරයා වශයෙන් මැතිවරණ වේදිකාවේ "එක හාල් ඇටයක්වත් පිටරටින් ගේන්නෙ නෑ" යනුවෙන් සිංහ නාද පවත්වා සති දෙකක්වත් ඉක්ම ගොස් නොතිබුන තරම් ය. කෙසේ වුවත් මහ මෝල් හිමියන් දණ ගස්වනවා යැයි වහසි බස් දොඩමින්, පිටරටින් ටොන් 30,000ක් ඇණවුම් කර, පළමු තොගය ලෙස ටොන් 10,000ක් ගෙන ඒමට කටයුතු කලේය. සමාජ මාධ්‍ය තුල අද එනවා, හෙට එනවා කියා සටහන් වුවත්, අදටත් පිටරටින් පැමිණි සහල් ඇටයක් සොයා ගැනීමට අපහසුය. ආනයනය කරන සහල් මිලද කිලෝවක් රුපියල් 225ක් දක්වා ඉහල ගොසිනි. මහ හාල් මෝලුන් දණ ගස්සවන්නට ගිය ආණ්ඩුව, වසර 76ක සාපය නිමා කරමින්, ඉතිහාසයේ සහල් වලට ලබා දුන් රුපියල් 230.00ක මිලක් ලබා, ප්‍රීතිය සැමරීම පිණිස ජනපතිවරයා මේසයටද පහරක් ගසා, ජනතාවට සහල් සහනය ලබා දීමේ බොරුවද අවසන් කලේය.

මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම්

අද වෙනකොට කරළියට පැමිණ තිබෙන මේ සම්භන්ධ ප්‍රධාන මාතෘකා හතරකි. සමාජ මාධ්‍ය හරහා ඒ සම්භන්ධ පුවත් තුනක් ප්‍රධාන වශයෙන් පළවිය.

1. කතානායක තුමාගේ ආචාර්ය උපාධිය

2. බලශක්ති ඇමතිතුමාගේ ඉංජිනේරු උපාධිය

3. ඩිජිටල් නියෝජ්‍ය ඇමතිතුමාගෙ ලැප්ටොප් හොරකම

මට අමතරව ස්ථාන දෙක තුනක තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සාමාන්‍ය පෙල අසමත් ලෙස සටහන්ව තිබුණද, එය වඩාත් ජනප්‍රියව කරළියට පැමිණ තිබුනේ නැත. 

ඉහත කරුණු තුනෙන් තුන්වන කරුණ අද උදෑසන කරලියට ආ නමුත්, එය අද දිනයේම fact checkers හරහා නිවැරදි කරන්නට කටයුතු කර තිබිණ. ඒ නිසා අපි එය වැරදි පුවතක් සේ සලකා බැහැර කරලමු. 

නමුත් පළමු හා දෙවන කරුණු මේ වනවිට සමාජ මාධ්‍ය කළඹමින් සිටී. කතා නායක වරයාගේ ආචාර්ය පට්ටම අද වන විට පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන්ද ගැලවී ගොසිනි. බලශක්ති අමාත්‍යවරයාගේ ඉංජිනේරු උපාධියද මේ වනතුරුම ආගිය අතක් නැත. ආණ්ඩුව මේ දෙකෙන් කිසිවකට පිළිතුරු නොදී, තව දුරටත් මෙම බොරුව පවත්වා ගෙන යෑමට අසීරු උත්සාහයක් නිරත වෙමින් සිටී. කෙසේ වෙතත් මේ ගැටළුවද විසදෙන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ කර සහ ජනපතිටද කුමන හෝ සාකච්ඡාවක් මැද්දේ මේ කතාව පිලි අරගෙන, නැවත වරක් කුල්ල කුජීත වී, ඒ බොරුවන්ද ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය හිමි කර දෙමින් බව කිව යුතුය.

📍 තෙල් මිල අඩු කිරීම, විදුලි බිල අඩු කිරීම ගැන කතා නොකරමි. ඒ ගැන කතා කලොත් මෙම ලිපිය අවසන් කිරීමට පෙර මෙම ආණ්ඩුව, අලුත් ආතල් එකක් දී මෙම කාරණා යල් පැන ගිය මාතෘකා බවට පත් කරාවි යැයි සාධාරණ බියකින්ද පෙළෙමි. 

ම්ලේඡ්චත්වය

මේ සඳහා ඊයේ දිනයේ වූ එක් සිද්ධියක් ගැන පමණක් කියමි. පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුනා. ඒ පාසැල්වල ඉගැන්වීම කරන සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින්. මෙතෙක් ඉතිහාසයේ සිදුව නැති ම්ලේච්ඡම සිදුවීමක් එම උද්ඝෝෂණයේදී සිදුව ඇති බව ඊයේ දිනයේදී කඩුවෙල උසාවියේදී හෙලිවුනා. උද්ඝෝෂණය අතර තුර තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන්ගේ ශරීරය උද්ඝෝශකයන් කපා ඇති බවට පොලීසිය ඡෝදනා කල අතර, එම කැපුම් නිසා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් රෝහල්ගත කරනු ලැබුවා. එම නිසාම පොලීසිය උද්ඝෝෂකයින්ට පහර දී කිහිප දෙනෙක් අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. නමුත් ඊයේ දිනයේදී කඩුවෙල අධිකරණයේදී හෙලි වූයේ, එම තුවාල සිදු කල තැනැත්තා යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් බවයි. ඔහුගෙන් මේ වන විට කිසිදු කට උත්තරයක්වත් ලබා නොගෙන ඇති බවත් ඊයේ උසාවියේදී හෙලි වූ බව මාධ්‍ය වාර්තා කලා. 

ඒ අනුව මෙම ක්‍රියාව ඉතිහාසයේ කවර හෝ ආණ්ඩුවක් නොකරපු මට්ටමේ,  සාමකාමී උද්ඝෝෂකයින් මර්ධනය කිරීම සඳහා ගත් ම්ලේඡ්ච සහ නින්දිත උපාය මාර්ගයක් බව ඉතා පැහැදිලිය.

මාලිමා රජයේ අසමත්කම

මේ ආණ්ඩුවේ අසමත්කම පිළිබඳව ඉහත සියල්ල උදාහරණ වේ. නමුත් මෙම අසමත්කම ගැන ආචාර්ය (ඇත්ත ආචාර්ය) නිර්මාල් දේවසිරි අපූරු වචන කිහිපයකින් සඳහන් කර තිබෙනු දුටුවෙමි. ඒ නිසා එහි තිර දර්ශණයක් මීට අමුණා මෙම ලිපිය අවසන් කරමි. 



මම ඉහත කී කාරණා වලට නිදසුන් බොහොමයක්, පහතින් සටහන් වෙන මාලිමා හිතවාදී සඟයන්ගේ කමෙන්ට් හරහා ඔබට පැහැදිලි වනු ඇත.

#JathikaJanaBalawegaya #MahawiruSemaruma #AshokaRanwala #PunyaJayakodi #DudleySirisena 

No comments:

Post a Comment

ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.

  අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...