Monday, September 20, 2021

මංගල සමරවීර නම් දඩබ්බරයා නික්ම ගොසිනි..

 


මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ලක් දෙරණ තුල සිටිය යුතු මිනිසෙකි. මම එසේ කියන්නෙ ඇයි?


මංගල දේශපාලනයට එන්නේ වැඩිය කවුරුත් දේශපාලනයට නොඑන ක්ශේෂ්ත්‍රයක සිටයි.. නමුත් දේශපාලනයට ආ දවසේ සිටම මංගල තමන්ගේ ප්‍රධානියා වෙනුවෙන් කැපවුන පුද්ගලයෙක් විය. චන්ද්‍රිකාටත්, මහින්දටත්, රනිල්ටත්, සජිත්ටත් මංගල නොසෑහෙන සහයෝගයක් දුන් පුද්ගලයෙක්.. ඒ වගේම ජාත්‍යාන්තරවත් මංගල ප්‍රභලම පුද්ගලයින් සහ මනා පුද්ගල සහ සම්භන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක්..

මංගල එක්ක මම දේශපාලනිකව එකඟ නෑ.. මංගල මාතරින් ඡන්දෙ ඉල්ලුවාට නියෝජනය කලේ කොළඹ සමාජය කියන එකයි මගේ හැඟීම.

මංගල හරහා නොසෑහෙන විදෙස් විනිමය ප්‍රමාණයක් ලංකාවට ආවා.. ආවේ මොකටද කියන එක ගැටලුවක් වුනාට, මොකකට හරි ඒ විදෙස් විනිමය ආවා කියන එක හිතන්න මම හරි කැමති. සමන්තා පවර් වගේ බලගතු චරිත පොම්ප කරපු ඩොලර් ඩැහැගන්න තරම් මංගල උපායශීලී වුනා.. නමුත් ඒ න්‍යායපත්‍ර මේ බිමේ ක්‍රියාත්මක කරන්න මංගල අසමත් වුනා..
නමුත් මංගල ඒ වෙනුවෙන් තම මතය නොබියව සෘජුව ප්‍රකාශ කලා..

කෙසේ වුවත් බැසිල් රාජපක්ෂයන් හා දේශපාලනිකඋපාය උපක්‍රම අතින් ගැටෙන්න විපක්ෂයේ හිටියේ මංගල පමණයි කියන එකයි මගේ හැඟීම. කවදාවත් නොගැලපෙන මිනිසුන් එක වේදිකාවකට ගැනීමට මංගලට තිබ්බෙ විශිෂ්ඨ හැකියාවක්.. ඒකට සම්පන්ධන්ද, පාඨලී රණවකද, අනුර කුමාරද කියලා වෙනසක් තිබ්බෙ නෑ.. ඒ වගේම දේශපාලනික බොරු ප්ලාන්ට් කරන්න, ඒ තුලින් කැම්පේන් නිර්මාණය කරන්නත් මංගලට තිබ්බෙ එවැනිම හැකියාවක්.. මොන වගකීම් මැද වුනත් තමන්ගේ ආතල් එක ගන්නත් මංගලට තිබ්බෙ එහෙමම හැකියාවක්.. ඉතින් පාර්ලිමේන්තුවේ හිටියත් නැතත් මංගල නැති විපක්ෂය පරිප්පු නැති හෝටලේ වගේ..

මංගල දිව්‍යලෝකෙට යන්නැති.. ශක්‍රයාවත් මේ ටිකට අන්දාගෙන ලඟින්ම වාඩිවෙලා ඇති.. දිව්‍ය කුමාරවරුත් මංගලගෙන් ටිකක් ඈත් වෙලා ඇති..

මම මංගලට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේ නෑ.. මොකද මංගලවත් මංගලට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න හිතලාවත් නෑ කියලා මම හිතන නිසා..

මංගල, ඉන්න තැනක ඉදන් ගන්න ආතල් ටික ගන්න ඩයල් එක. ඒ නිසා ඒ ටික එලෙසින්ම හිමිවේවායි ප්‍රාර්ථනා කිරීම මංගල වෙනුවෙන් කරන්න පුලුවන් හොඳම දේ...

ප.ලි. ෆේස්බුක් බ්ලොක් වෙලා තිබ්බ කාලයේ, මංගල සමරවීරයන්ගේ අභාවය දැක ලියවුන ලිපියක් බව කාරුණිකව සලකන්න..

Thursday, August 12, 2021

කොරෝනාවෙන් බේරෙන්න, ගෙදර ඉදන් මේ වැඩ ටික කරන්න.


 
Covid - 19 එහෙමත් නැත්නම් කොරෝනාව මේ වනවිට අපි සැවොම වෙලාගෙන අවසන්.. මෙ ලිපිය ලියන මමත් කියවන ඔබත් ඊලඟ තත්ත්පරයේදි කොයි ආකාරයෙන් කොරෝනා ඔබ සොයා එනවාද කියා බියෙන් සැකයෙන් බලාගෙන ඉන්න බව අපි දනිමු. අවාසනාවට අපේ සමාජ මාධ්‍ය තුල සෘණාත්මක දේවල් වලට වැඩි ප්‍රචාරණයක් ලැබෙන නමුත්, සමාජයට හිතකර පණිවිඩයන් සංසරණය වන්නේ බෙහෙවින් අඩුවෙනි. සුහුරු ජංගම දුරකථනයක් (Smart Mobile Phone) පාවිච්චි කරන ඔබට ඒ හරහා සමාජය දැනුවත් කරන්නට හැකිනම් එය අපේ සැබෑ සමාජ වගකීම ලෙස හඟිමි. එම නිසා මෙම ලිපියෙන් කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම පිණිස කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි. 

1. සංචරණ සීමා තුලද ඔබට අත්‍යාවශ්‍ය ගමන් බිමන් යෙදිය හැක. ඔබ පය තබන ප්‍රදේශ වල කොවිඩ් තත්ත්වය කෙසේදැයි ඔබට ස්මාට් ජංගම දුරකථනය ඔස්සේ බලාගැනීමට ශ්‍රී ලංකා රජය පහසුකම් සලසා දී ඇත. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයත්, ලෝක සෞඛ්‍ය සංවිධානයත් එකතුව නිපදවූ "සුවපෙත" නම් ජංගම මෘදුකාංගය හරහායි. මේ තුලින් ඔබට පහත තොරතුරු ලබාගත හැකි බවද සටහන් කරමි. 

📍 ඔබ සිටින ස්ථානයේ සිට මීටර් 500ක දුරින් සිටින කොරෝනා සහ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව. 

📍ඔබ් සිටින ස්ථානයේ සිට කිලෝමීටරයක් දුරින් සිටින කොරෝනා සහ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 

📍 එම රෝගීන් සංඛ්‍යාව අනුව කොල පැහැයෙන් සාමාන්‍ය ප්‍රදේශයකුත්, කහ පැහැයෙන් මඳ අවධානම් ප්‍රදේශයකුත්, රතු පැහැයෙන් දැඩි අවධානම් ප්‍රදේශයකුත් ලෙස ඔබට පෙන්නුම් කරනු ඇත. 

📍 ඒ වගේම කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ තිබෙන එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් වෙලාව වෙන් කර ගැනීමේ පහසුකමද මෙම App එක විසින් ඔබට පහසුකම් සපයනු ලබයි. 

📍 ඒ වගේම කොවිඩ් සම්භන්ධ තොරතුරු කෙටි පණිවිඩ ලෙස ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් එම පහසුකමද, මෙම මෘදුකාංගය තුලින් ඔබට ලබා ගත හැක. 

පහත සබැඳියෙන් එම මෘදුකාංගය ඔබේ ජංගම දුරකථනයට ලබා ගත හැකි වේවි.  ඊට පහතින් එම මෘදුකාංගයේ පිංතූර කිහිපයක් ඔබට දැක ගත හැක.

https://play.google.com/store/apps/details?id=com.gsentry.suwapethaapk


           





2. ඔබට Covid - 19 වෛරසය ආසාදනය වූ බව ගෙදරදීම පරීක්ෂා කල හැකි මූලික පරීක්ෂණයක් සිදු කර ගත හැකි අයුරු දැක්වෙන තවත් ජංගම දුරකථන මෘදුකාංගයක් රජය විසින් ඔබට හඳුන්වා දී ඇත. මෙය හඳුන්වා ඇත්තේ "Self Shield" නමිනි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය සහ ඩිජිටල් සෞඛ්‍ය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානය විසින් සිදු කරනු ලබයි. මෙම මෘදුකාංගය ඔස්සේ, ඔබ විසින්ම ඔබේ ශරීරයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි සරල පරීක්ෂාවක් සිදු කරනු ලබයි. 


📍 Covid - 19 හෙවත් කොරෝනා සම්භන්ධව ඔබට ප්‍රාමාණික දැනුමක් මෙම මෘදුකාංගය හරහා ඔබට ලබාගත හැකිය. 


📍 ඔබගේ ස්වසන තත්ත්වය, පෙණහලුවල ක්‍රියාකාරීත්වය ඔබට මෙම මෘදුකාංගය හරහා පරීක්ෂා කර ගන්නට පුලුවන්.. 


📍 නිරෝධායන ක්‍රමවේද පිළිබඳව ඔබට මේ හරහා දැනුවත් වීමට පුලුවන්.. 


📍 ඒ වගේම ඔබට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්නම්, මෙම මෘදුකාංගය ඔස්සේ අදාල බලධාරීන් දැනුවත් කිරීම සිදු කරන්නට පුලුවනි. 


එම මෘදුකාංගය පහත සබැඳියෙන් ඔබට බාගත (Download) කිරීමට හැකියාව පවතී.. සබැඳියට පහලින් එම මෘදුකාංගයේ තිර දර්ශණ කිහිපයක් ඔබේ පහසුව පිණිස ඉදිරිපත් කර ඇත.


https://play.google.com/store/apps/details?id=org.sshield.selfshield


                                


පහතින් දැක්වෙන්නේ ඔබට කොරෝනා රෝගය වැළදුන විටෙක, එය අසාධ්‍ය මට්ටමට තල්ලු නොවන්නට ඔබ විසින් නිවසේදී පැය හයකට වතාවක් කල යුතු ව්‍යායාම් කිහිපයක්..

01. තොල් තෙරපුම් ශ්වසනය 

1️⃣       උරහිස් හා බෙල්ල සැහැල්ලු කරගන්න වාඩිවී හෝ සිටගෙන සිදු කිරීමට හැකි ය.
2️⃣       නාසයෙන් හොඳට හුස්ම ඇතුලතට ගන්න. 
3️⃣       හුස්ම මදක් රඳවාගෙන සිටින්න.
4️⃣      ඉටිපන්දම් නිවීමේදී තොල් තබාගන්නා ලෙස තබා ගනිමින් කටින් හුස්ම පිට කරන්න. 
5️⃣   හුස්ම ගැනීමට ගත කල කාලය මෙන් දෙගුණයක හෝ තුන් ගුණයක කාලයක් හුස්ම පිටකිරීමට ගත කරන්න.  20 වරක් පමණ සිදු කරන්න . 

02.  උදර ශ්වසනය 

1️⃣      බිම දිගා වී දණහිස් මදක් නවාගෙන හිස හා බෙල්ල සැහැල්ලු කරගන්න. 
2️⃣      වම් අත පපුව මත හා දකුණු අත උදරය මත තබා ගන්න.
3️⃣     දිව උඩු ඇන්දේ දත් වලට තෙරපාගෙන නාසයෙන්  හුස්ම ගන්න. 
4️⃣     උදරයේ පිම්බීම අත්විඳින්න. 
5️⃣     හුස්ම මදක් රඳවාගෙන සිටින්න. 
6️⃣     උදරය හැකිලීම සිදු වන තෙක් කටින් හුස්ම පිට කරන්න. 20 වරක් පමණ සිදු කරන්න.

03. ඈනුම හා සිනහව 

1️⃣     අත් උරහිස් මට්ටමේ පවතින ලෙස ඔසවා ගනිමින්  හුස්ම ගන්න.
2️⃣    ඈනුමක් අරිනවා ලෙස මුඛය විවෘත කර අත් පහත හෙලන ගමන් ශබ්දය නගා සිනාසෙන්න. 10 වරක් පමණ සිදු කරන්න. 

04. හෙමින් ශ්වසනය 

1️⃣      පහසුවෙන් වාඩි වෙන්න. 
2️⃣      බෙල්ල  හා උරහිස් සැහැල්ලු කරගන්න. 
3️⃣      නාසයෙන් ගැඹුරට හුස්මගන්න. 
4️⃣    දිව උඩු ඇන්දේ දත් වලට තෙරපාගෙන හම්ම් යන හඩින් දිගු කාලයක් තිස්සේ හුස්ම පිට කරන්න. 20 වරක් පමණ සිදු කරන්න.  
️5️⃣     දිනකට කිහිප වතාවක්  කරන්න. එවිට නයිට්රස් ඔක්සයිඩ් නැමති සංයෝග වැඩිවීම හා මනස සැහැල්ලු වීම සිදු වේ. 

ඒ වගේම එම කාලය තුල සුවඳ සහ රස නොදැනීම රෝග ලක්ෂණයක්.. එසේ වීම නිසා ආහාර ප්‍රතික්ෂේප කිරීමෙන් වලකින්න. හොඳින් ආහාර ගන්න. ඒ වගේම ඒ සඳහා වඩාත් යෝග්‍ය ආහාර පිළිබඳ සටහනක් පහත දක්වා ඇත.

වෛරසය ඇති කරන බලපෑමට ඔරොත්තු දීමේ ශක්තිය පෙනහලු වලට තිබේ නම් යම්කිසි ආකාරයක සහනයක් ලැබෙනු ඇත. සෑම අයෙක්ම පෙනහලු ශක්තිමත් කිරීමට අවධානය යොමු කිරීම දිවි රැකෙන්නට හේතුවක් වනු ඇත. නයිට්රස් ඔක්සයිඩ් නැමති සංයෝගය කොවිඩ් වෛරසය විනාශ කිරීමට භාවිතා කීරීමට හැකියාව ඇති බව සොයාගෙන ඇත. සිරුර තුළ නිෂ්පාදන වන මෙම සංයෝගයේ ජෛව බහුල බව පෙනහලු තුළ වැඩි කිරීමට හැකියාව තිබේ නම් එය ආසාදනය උත්සන්න වීම වලක්වා ගැනීමට උපකාරී වනු ඇත. ශ්වසන ව්‍යායාම කිරීම හා නයිට්රස් ඔක්සයිඩ් නිෂ්පාදනය වැඩි කිරීමට හේතුවන පහත දැක්වෙන  දේවල් වැඩි වැඩියෙන්  ආහාර සමග මුසු කර ගැනීම වැදගත් වේ.

1️⃣     බීට්රූට්
2️⃣     කොමඩු
3️⃣     සුදුලූණු
4️⃣     කොළ එළවළු
5️⃣     දෙලුම්
6️⃣     පැඟිරි පලතුරු
7️⃣     කලු චොකලට්
8️⃣    කජු හා ඇට වර්ග

ඒ වගේම අපි හැමෝම හොඳින් දන්න මුව ආවරණ පැළදීම, පුද්ගල දුරස්ථ භාවය සහිතව විසීම, නිතරම දෑත් පිරිසිදුව තබා ගැනීම ආදී කාරණා නිතරම සිහි තබාගන්න.

ඒ වගේම බුලත් විට, සිගරට් ආදිය හවුලේ භාවිතා කරන්න එපා.. අන් අයගේ ඇඳුම්, ලේන්සු, අවන්හල් වල පිඟන්, හැඳි, කෝප්ප භාවිතයේදී සැලකිලිමත් වන්න. පොදු ප්‍රවාහන සේවාවන්වල ගමන් කිරීමේදී අවට සිටින පුද්ගලයන් ගැන සැලකිලිමත් වන්න. 


ඔබ නිරෝගී දිවියක් ගත කිරීම අපේ එකම පැතුමයි...!


Tuesday, August 3, 2021

ගුරුවරු කාළකණ්නි ද? නැතිනම් දෙවිවරුද?


ගොඩාක් කාලෙකින් බ්ලොග් එක අප්ඩේට් කරන්න හිතුවා.. බොහොම කාලෙකට කලින් ටිකක් හිනාවෙන්න බ්ලොග් එක ජනප්‍රිය බ්ලොග් එකක් වෙලා තිබ්බාට, ඒක නව මුහුණුවරකින් අභීත එදිරිසිංහගේ සටහන් ලෙසින් ඔබ වෙත නැවත ගෙන එන්නට තීරණය කලා..

අද සටහන ගුරු වර්ජනය ගැන...

අපේ කාලේ ගුරු වර්ජන තිබ්බේ නෑ දෙවියනේ.. තිබ්බාට අපේ ගුරුවරු කවුරුත් සහභාගී වුනේ නෑ.. ඒ නිසා දැන් ළමයි ගන්න මේ ආතල් එක අපට ගන්න වුනේ නෑ.. ගුරුවරු ගන්න මේ ආතල් එක අපේ ඉස්කෝලේ අපට උගන්වපු ගුරුවරුත් ගත්තේ නෑ.. ඒ නිසා කමක් නෑ දුකක් නෑ... 🤣🤣

දිසාපාමොක්ලා ගුත්තිලලා වගේ ගුරුවරු අතීත කතා එක්ක අපත් සමඟ බැඳිලා තියෙනවා.. මට අනුව නම් ගුත්තිල කියන්නේ ඉතිහාසයේ හිටපු පජාතම ගුරුවරයෙක්.. කැළණිය විශ්ව විද්‍යාලයේ ජිම් එකේ ලොකුවට ලියලා තියෙනවා (දැන් තියෙනවාද දන්නෙ නෑ..) "අප මිනිසුන් තැනිය යුත්තේ අප සමඟ යාමට නොව, අප පසු කර යාමටය - කාල් මාක්ස්" කියලා.. එහෙම බලන කල කාල් මාක්ස් ගුත්තිලට වඩා පොරකි. තමන්ගේ ගෝලයා තම පමණටම ශිල්ප දක්වන්නට ගත් කල ගුත්තිල ගුලි උඩ දා වංචා කර තරඟය දිනූ බව මගේ අදහසය. ගෝල මූසිලද නොදන්න ශිල්ප ගැන විශ්වාස කර තත් කඩාගෙන ඉල්ලං කෑවේය. ගුත්තිල මූසිලට දී තිබෙන්නේ සංගීත දැනුමක් පමණක් බව මට ඒ සිද්ධිය නිසා හැඟෙයි.

ගුත්තිල ගැන කියද්දි සාදු සාදු කියන බහුතරයක් සිටින රටේ මෙවැනි කතාවක් මේ සම්භන්ධව ලියන්නට බොහෝ දෙනා මැලිවෙති. අපට ඉගැන් වූ ගුරුවරු විශේෂ වන්නේ මෙතනදිය. ඔවුන් අපට දුන්නේ විෂයය කරුණු පමණක් නොවේ.. ඔවුන් අපට දුන්නේ දැනුම සහ පෞරුෂයයි. ඔවුන් අපට කොන්ද කෙලින් තියාගෙන ජීවත් වන හැටි ඉගැන්නුවෝය. සමාජ අවලාද හමුවේ මනසින් නොවැටී හයියට ඉන්නා සැටි ඉගැන්නුවෝය. අම්බලමේ බිමත්, තරු පහේ හෝටලයක ඇඳකත් වෙනසක් නැතිව නිදන්නට ඉගැන්නුවෝය. ඇබ්බැහි නොවී ආතල් ගන්න හැටිද ඉගැන්නුවෝය. ජය පරාජය සම සිතින් දරාගෙන ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන හැටි ඉගැන්නුවෝය. අවේගාශීලී නොවී ඉවසීම ප්‍රගුණ කරන හැටි වගේම, හදවතට වඩා මොලය පාවිච්චි කරන හැටිද ඉගැන්නුවෝය. කලයුතු කාර්‍යයට පළමු තැනත්, ඒ වෙනුවෙන් ලැබෙන මුදලට දෙවන තැනත් ලබා දිය යුතු බව මට ඉගැන් වූ ගුරුවරු ක්‍රියාවෙන් අපේ හදවත් තුල ඉතා තදින් තැන්පත් කලෝය.

කොටින්ම ජවිපේ පාසැල් ගියොත් මරනවා කියා ගුරුවරුන්ට තර්ජනය කරපු කාලයේත් තුන හතර වසර වල සිටි අපට එකම ගුරුවරයෙක් හෝ පාසැල් නාපු බවක් මතක නැත.

ඒ දෙවිවරුය.. ගුරු දෙවිවරුය... 🙏🙏🙏

මේ පරිච්ඡේදය අද වර්ජනය කරන ගුරුවරු වෙනුවෙනි.

ආදරණීය ගුරුතුමනි, ගුරුතුමියනි,

ඔබේ පරපුරට කලින් පරපුරක ආදරණීය ගුරු උතුමන්ගෙන් අකුරු කර, රටක් ගැන තේරුම් ගත් විදිහට මෙසේ ලියමි.

* 2015 - 2019 කාලය ඇතුලත චීනයට පමණක් දෙවෙනිව වර්ධනය වූ අපේ රටේ ආර්ථිකය, ඇෆ්ගනිස්තානයටත් පහල තත්ත්වයකටත් ඇද වැටුනු බව අප දනිමු.

* පාස්කු ප්‍රහාරය නිසා සංචාරක ව්‍යාපාරය ඇණ සිටීම අද වනතුරුම යථා තත්ත්වයට පත් වී නැති බව අපි දනිමු. එම නිසා රටට විදේශ විනිමය ගලා ඒම මහා පරිමාණයෙන් නතර වූ බව අප දනිමු.

* කොවිඩ් නිසා විදෙස් ශ්‍රමිකයන්ගේ රැකියාවන් තර්ජනයකට ලක් වූ බවත්, ඔවුන්ව නැවත ගෙන්වා ගත් බවත්, ඒ හරහා වූ රටට ලැබෙන ආදායම විසල් පරිමාණෙන් නැවතුණු බව අප දනිමු.

* කොවිඩ් වර්ධනය නිසා ලෝකයම ඇනසිටි බව අප දනිමු. ආර්ථිකය කෙසේ වුවත්, රට වැසුවාත් නැතත්, වැඩ කලත් නැතත් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සතයක් අඩු නොකර ගෙවූ බව අපි දනිමු.

* කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් කෝටියකට වඩා මේ වනවිට එන්නත් කර ඇති බවත්, ඒ වෙනුවෙන් මහ ජනතාවගෙන් සතයක්වත් අය නොකර ඇති බවත් අපි දනිමු.

* ස්ථිර වැටුප් නොලබන සෑම පවුලකම ගෘහ මූලිකයා හටත් යැපෙන්නන්ටත් රුපියල් 5000ක දීමනාවක් ලබා දුන්න බවත්, නිරෝධායනය වෙමින් පවතින සැමට රුපියල් 10,000ක් බඩු මල්ලක් ලබා දුන් බවත් අප දනිමු.

මේ කිහිපයක් පමණි.. එතැන් සිට කතාව මේ ආකාරයෙන් කීමට සිදු වීම එක අතකින් ශෝකාන්තයකි.

වසර 24ක ප්‍රශ්ණයක් ඇදගෙන මේ වෙලාවේ ගුරුවරුන් වර්ජනයේය. රටක් හැදෙන්නට, ගොඩ නැගෙන්නට උත්සාහය දරන මොහොතේ ඔබ නැගිටින්නට නොහැකි වෙන්නටම මහා තඩි ගලක් මුලු රට මතම තබා තිබේ.

ගරු ගුරුතුමනි, ගුරුතුමියනි,

ඔබෙන් අකුරු කරපු,

කොවිඩ් වසංගතය නිසා,

බර ඉස්සීම ජීවිකාව කරගත් සිසුවාගේ,
ලොතරැයි විකුණන සිසුවාගේ,
පෞද්ගලික අංශයෙන් රැකියා අහිමි වූ සිසුවාගේ,
සිල්ලර කඩයක් පවත්වන සිසුවාගේ,
ස්වයං රැකියා කරන සිසුවාගේ,
සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත රැකියාවක් කරන සිසුවාගේ,

ජීවිතය යලි ගොඩ නැගිය යුතුය. ඔවුන්ට ඔබට සේ සතයක් අඩු නොවුනු ස්ථිර මාසික ආදායමක් මාස 18ක් තුල ලැබී නැත.

ගුරුතුමනි, ගුරුතුමියනි, ඔබගේ ඉල්ලීම් ගැන ඔබෙන් අකුරු කල අපට කිසිදු ගැටළුවක් නැත..

දෙයක් වේ නම් යම්, සුදුස්සාටම අයිති විය යුතු..
ගොවි දන මනා වූ, ලැබිය යුතු සේම ගොවිබිම්..

ඔබේ හිමිකම ඔබට ලැබිය යුතුය. නමුත් අරගලය සඳහා මෙය වෙලාව නොවේ යන්න මේ රටේ ඔබට හැර ඔබ ශිල්ප දුන් අනෙක් හැමෝටම වැටහෙති.

ආදරණීය ගුරුතුමනි, ගුරුතුමියනි

වැනීසියේ වෙලෙන්දා හි මස් රාත්තලම ඉල්ලූ ශයිලොක් ගැන දරුවන්ට උගන්වන්නේ ද ඔබමය...

ප.ලි. සිංහල උගන්නපු සර්, මේක කියවනවා කියලා දන්නවා.. වැරදිලා තියෙන ව්‍යාකරණ වලට ලකුණු කපන්න සර්.. හම්බුණ වෙලාවක දණ ගස්සන්න එපා.. 🙏🙏🙏



අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...