Sunday, December 18, 2022

රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....



අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? අන්තිමට අරගලයට වෙච්ච දේ ගැන කියවන්න...


අරගලය ගැන මගෙන් අහපු හැමෝටම මම කිව්වේ මේ අරගලය මහ අවජාතක සහ දූෂිත අරගලයක් කියලා.. මෙතන ඉදන් තියෙන්නෙ උඩකියපු හැම දේකම සම්පූර්ණ කතාව...

අරගලය ෆැන්ටසියක්(හීන ලෝකයක්) වුනාට ඒක රියැලියක් (යථාර්ථයක්) බවට පත් නොවුනේ ඇයි?

අරගලයට නායකයෙක් හිටියේ නෑ.. නායකත්ව මණ්ඩලයක් තිබුණේ නෑ.. අරගලය ගැන එක එක කණ්ඩායම් (දේශපාලන පිල්ලි සහ ස්වාධීන යැයි කියාගන්නා කණ්ඩායම්) එක එක වෙලාවලදී විවිධ විවිධ තීරණ ගත්තා.. දේශපාලන කණ්ඩායම් වගේම විදේශ අතකොලු ආගමික කණ්ඩායම් සහ ස්වාධීන (මේ ස්වාධීන යැයි කියාගත් කණ්ඩායමේ නායකයෝ සියල්ල ලංකාවේ ප්‍රධානම ඇඩ්වර්ටයිසිං ඒජන්සියක රැකියා කරන අය බව විමසිල්ලෙන් බැලුවොත් ඔබට පෙනේවි.. ජාත්‍යාන්තර මාධ්‍ය වලට සම්මුඛ සාකච්ඡා දුන්න නිර්පාක්ෂික අරගල කරුවා වැඩ කරන ආයතනය හොයලා බලන්න.  ඔබට සත්‍ය වැටහේවි) කණ්ඩායම් තමන්ට රිසි පරිදි විවිධ විවිධ දේ කලා...

සමහරු ගෝඨා එලවමු කිව්වා..

සමහරු මයිනා එලවමු කිව්වා..

සමහරු කපුටා එලවමු කිව්වා..

සමහරු කිව්වා හොරකම් කරපු සල්ලි ආපහු දියව් කියලා..

සමහරු කිව්වා පාර්ලිමේන්තුවෙන් පිට බලයක් පිහිටවන්න ඕන කියලා..

සමහරු කිව්වා විද්වත් සභාවකට රට භාර දෙන්න කියලා.. ඒම කියලා ගෝල්ෆේස් එකට ලොකු පොත් වගයක් ගෙනත් ඒවගෙන් බලලා ප්‍රතිපත්තිත් හැදුවා..

සමහරු ඒ හදන ආණ්ඩුවල ඇමතිවරු වෙලාත් හිටියා..

ඒ අස්සෙ යූ ටියුබ් ෆේස්බුක් පිටුවල රීච් වැඩි කරගෙන පිටරට මිනිස්සුන්ගෙන් සල්ලි ගෙන්නා ගත්තා...

මේ එකකටවත් නායකයෙක් හිටියේ නෑ.. ඒ වගේම ඔවුන් දැකපු සිහිනය යථාර්ථයක් කරගන්නෙ කොහොමද කියලා කිසි අදහසක් තිබ්බේ නෑ.. හැමෝම ඒ දවස්වල තමන් දැකපු හීනවල ආතල් එකේ සැපේ ජීවත් වුනා..

අරගලය භීෂණයක් බවට පත්වුනේ කොහොමද?

ඊට පස්සෙ මොකද වුනේ..

වාමාංශික කියාගන්නා පක්ෂ දෙකක් ප්‍රධානව තමන්ගේ ආයුධ සන්නද්ධ කට්ටිය (හෙල්මට් බලකාය) අරගලේට රිංගුවා.. ගෝල්ෆේස් එක ලඟින් අරගලේ පාට් එකක් ගලවලා පාර්ලිමේන්තුව ලඟට ගෙනාවා.. ඒක කොච්චර මානයකින් කලා නම්, හෙල්මට් කාරයෙක් අනුර කුමාර වාහනේට නග්ගාගෙනත් ගියා.. 🤣🤣 හැබැයි ඒවා විචක්ශණශීලීව කවුරුත් දැක්කෙ නෑ.. අරගල හීන වලින් කික් වෙලා හිටියේ..

ඊට පස්සෙ මේ හෙල්මට් කට්ටිය මිරිහානට ගෙන ගියා.. හිටපු ජනපතිගෙ ගෙදරට ගහන්න ගියා.. බස් පිච්චුවා.. පොලීස් වාහන පිච්චුවා.. භීෂණය වැපිරුවා.. නිර්පාක්ෂික සාමකාමී අරගලය හයිජැක් කරපු ජෙප්පොයි පෙරොට්ටොයි එකතු වෙලා මහා භීෂණයක් එකතු කලා.. අත් අඩංගුවට ගත් සැක කරුවෝ බේරගන්න සාලිය පීරිස්ගෙ නීතීඥ්ඥයෝ උසාවිය පිරෙව්වා.. ඔවුන් ජනතාවට පණිවිඩය දුන්නා මොන අලුගුත්තේරු වැඩේ කලත් අපි උඹලා එක්ක ඉන්නවා කියලා..

සිරස ඇතුළු මාධ්‍ය මෙතැන් සිට සජීවී විකාශයන් දෙමින් ඒවාට උඩගෙඩි දුන්නා.. ඒක නිවැරදි වැඩක් බවට ජනතාවට ඒත්තු ගැන්වුවා.. හිට් නිව්ස් බවට පත් වෙද්දි සමස්ත මාධ්‍යයන් ඒ වැඩේම කරන්න පෙළඹුනා.. ඒ තුලින් ජනතාව භීෂණය වැපිරුවා..

රඹුක්කන තෙල් බවුසරයක් දවා අලු කරන්න සූදානම් වෙද්දි පොලීසිය වෙඩි තැබුවා.. තරුණයෙක් මිය ගියා.. ඒ සැක කරුවන් බේරාගන්න ආයෙත් උසාවිය පුරවලා නීතිඥ්ඥයෝ පෙල ගැහුනා..

එයින් පන්නරය ලබපු අරගලෙන් මුලාවට පත් මිනිස්සු පොදුජන පෙරමුණේ දේශපාලකයන්ගේ ගෙවල් වට කලා.. ගාමිණී ලොකුගේ ගෙ ගෙදර පුච්චලා දාන්න උත්සාහ කලා.. ඒවාටත් ලොකු ප්‍රසිද්ධියක් මාධ්‍ය හරහා ලබා දුන්නා.. මිනිස්සු හිතුවා දැන් කරන්න ඕන ඒක කියලා..

දරුණුම දේශපාලන කුමන්ත්‍රණය බිහිවුනේ පොහොට්ටුව ඇතුලෙන්මයි..

ඔය ඉහත කියපු සියලු දේවල් අස්සෙ එලියට බැහැලා ජනපති අගමැති හීන දකින්න හිටපු ඩලස්ලා විමල්ලා හබන් කුකුලන්ගේ මඟුල ගන්න ලැහැස්ති වුනා.. මහින්ද රාජපක්ෂව බිලි දීලා මේ අරගලෙත් නවත්තාගෙන අගමැති පුටුවේ වාඩිවෙන්න සැලසුම් ඇන්දා.. දැන් නිදහස කියලා තියෙන එකේ ඉන්න මන්ත්‍රීවරු හිටපු ජනාධිපති හමුවෙන්න සංදේශයක් අරන් ගියා.. ඒ සංදේශයේ තිබුනේ මහින්ද රාජපක්ෂව අයින් කරන්න කියලා.. ඒ තීරණයට සැබෑ පොහොට්ටු මන්ත්‍රීවරු විරුද්ධ වුනා.. ඒ අනුවයි මැයි නවය මහින්ද ඉල්ලා මහින්දට ආදරය කරන ජනතාව කොළඹට ගේන වැඩ පිළිවෙල සකස් වෙන්නෙ..  මේ සංවිධාන කටයුතු වලදි ගෝල්ෆේස් අරගල භූමියට කිසිදු හානියක් නොවෙන්න සංවිධාන කලා.. උදාහරණෙකට සංදේශයක් අරන් ගෝඨාභය  හමුවට යන්න හිටපු තීරණය පවා අවලංගු කලා.. මැයි නවය පොලිස් ආරක්ෂක වැට ඉදි කරන්න තීරණය කලේ ගෝල්ෆේස් හෝටලය හා ගෝල්ෆේස් කෝට් එක යා කරමින්.. එතැනින් එහාට ජනතාව ගියොත් අරගලය හා ගැටෙනවා කියලා පොලීසිය තීරණය කලා..

මැයි නවය ගැටුම ඇරඹුනේ කොතනින්ද?

අරලිය ගහ මන්දිරය තුල කුමන කතා කවුරු කීවත් ජනතාවගෙන් සමහරක් ගෝල්ෆේස් අරගලයට පහර දෙමු කියන මතයේ හිටියා.. එලියට එන ජනතාව හමුවට නවම් මාවත් ගේට්ටුව දෙසින් සිංහ කොඩි රැගෙන ආපු තරුණයෝ තිදෙනෙක් මහින්ද හොරා කියමින් ජනතාව කුපිත කර මයිනාගෝගමට දිව ගියා.. එයින් කුපිත වූ ජනතාව මයිනා ගෝ ගමට පහර දුන්නා.. ගාලු මුවදොරට යන ජනතාවට නිසි ස්තානයෙන් කිසිදු බාධාවක් පොලීසියෙන් සිදු වුනේ නැහැ. ඔවුන් ජල ප්‍රහාරක රත සහ බලඇණි පසු බස්වා අරගල භූමියෙනුත් එහාට ගිහින් ස්ථාන ගත කලා.. ඒක හරියට ගෝල්ෆේස් වුන්ට ගහපන් ඇවිල්ලා කියනවා වගේ වැඩක් වුනා.. එය කාගේ කුමණ්ත්‍රණයක්දැයි ඔබට මේ වනවිටත් කල්පනා වෙනවා ඇති.. එකල හිටි ආරක්ෂක ලේකම්වත්, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවත් තවමත් බලයේ ඉන්නවා නොවේද? ඒ වීඩියෝව තමයි මේ පහතින් තිබෙන්නෙ..




එතැනින් පසු භීෂණය කෙසේ සිදුවුනාද?
ඔබ හරි පරිස්සමට බලන්න,


මාධ්‍ය ඉතා තුච්ඡ අයුරින් මේ භීෂණයට උඩ ගෙඩි දුන්නා.. මේ ගිනි නිවා සාමකාමී වෙන්න කියා කිසිදු මාධ්‍යයක ගියේ නෑ.. ඔබ සංසන්දනය කරන්න පාස්කු ප්‍රහාරයෙන් පසු මාධ්‍ය භාවිතාව සහ මැයි නවය මාධ්‍ය භාවිතාව. පාස්කු ප්‍රහාරයෙන් පසුව මාධ්‍ය දැවැන්ත කැම්පේන් එකක් කලා රටේම ගිනි නිවන්න.. හැබැයි මැයි නවය භීෂණයට වීරත්වයක් එක් කලා.. ගිනි තියන, පහර දෙන දර්ශණ අමු අමුවේ සජීවීව ලබා දෙමින් ජනතාව කුපිත කලා.. එයින් ජවය සහ ජීවය ලබා ගත්ත ජනතාව රැවටුනු හැටි තමයි මේ පහතින් තිබෙන්නේ..

මැයි නවය කියන්නේ තෙල් බිංදුවක් මිනිස්සු තමන්ගේ තාත්තාටවත් දෙන්න දෙපාරක් හිතපු කාලයක්.. හැබැයි ගෙවල් දවා අලු කරන්නට පෙට්‍රල් බූලි ගනන් තිබ්බා.. ඔබ විශ්වාස කරනවාද සාමාන්‍ය ජනතාව ලඟ මේ පෙට්‍රල් තිබ්බා කියලා..

අතුකෝරල මන්ත්‍රීවරයාගේ ඝාතනයේ සැබෑ වීඩියෝ දර්ශණ මාධ්‍ය විකාශය කලේ නැහැ. එතන කලබලය පටන් ගන්නෙ පස් දෙනෙක් වගේ පොඩි පිරිසක්.. හෙල්මට් දාගත්ත දෙන්නෙක්ගේ නායකත්වයෙන්.  නිට්ටඹුව ට්‍රැෆික් ලයිට් එක ලඟදි වාහනයෙන් බස්සගෙන කඩයක් ඉස්සරහා පොලුවලින් පහර දෙනවා.. ඔහුගේ ආරක්ෂකයා හැකි උපරිම උත්සාහ ගන්නවා ඔහුව ආරක්ෂා කරලා ඔහුව එතැනින් ඉවත් කර ගන්න.. පහර දෙන්නෙ තුන් දෙනයි.. බැරිම තැන ආරක්ෂක නිලධාරියා වෙඩි දෙකක් තබනවා.. ඉන් පසු තමයි සෙනඟ රැස්වෙලා මන්ත්‍රීවරයා ඝාතනය කරන්නේ.. කලහය ආරම්භ කරපු මිනිසුන් අද ඒකට වග කිවයුතු දඬුවම් විඳිනවාද කියා ඔබ සොයා බලන්න.. සත්‍ය වැටහේවි..

ගිනි තියපු ගෙවල් ගිනි ගත්තේ එකම විදිහට.. හෙල්මට් දමා ගත්ත, මුහුණු ආවරණය කරගත්ත පස් දෙනෙක් පමණ කුඩා කණ්ඩායමක් එන්නෙ හැම තැනටම.. ඔවුන් පළමුව ප්‍රධාන වයරය කඩා දමා විදුලිය විසන්ධි කරනවා.. දෙවනුව ආරක්ෂිත කැමරා කඩා බිඳ දමනවා.. තෙවනුව ජල ටැංකිය කඩා ජලය විසුරුවා හරිනවා.. ඉන්පසුව කලබගෑනිය ආරම්භ කර ගිනි තබා ජනතාව කුලප්පු කරනවා.. මෙයින් උද්දාමයට පත්වෙන ජනතාව වැඩේ අතට ගත්තාම අර මූලින්ම ආපු පස්දෙනා කිසිවෙකුට නොදැනී පලා යනවා.. වැඩේ අතට ගත්ත ඒ ජනතාව අදටත් නඩු හබ පැටලිලා දුක් විඳිනවා...

පාරවල් වල වාහන වලට පහර දුන් ක්‍රම වේදය බලන්න.. සෑම තැනම තිබෙන්නේ එකම ක්‍රමයක්.. පලමුවෙන්ම ඩෑශ්බෝඩ් කැම් ගලවනවා.. ජංගම දුරකථන ක්‍රියා විරහිත කරන්න අණ දෙනවා.. ඉන් පසුවයි සියළු පහරදීම් සිදු කරන්නේ.. ස්තාන 292කට ආසන්න තැන්වලදි මේ පහරදීම් කලාට වීඩියෝ දර්ශණ 10ක් වත් එලියට ආවේ නැහැ.. මේ හැම දෙයක්ම එකම විදිහට සිදු වුනේ කොහොමද කියලා ඔබම කල්පනා කරලා බලන්න..

රාජපක්ෂලා මොකද කලේ...

බැසිල් සහ මහින්ද මේ භීෂණකාරී අරගලය ඉතාම මැනැවින් කියවා ගන්න සමත් වුනා කියලයි මම තවම විශ්වාස කරන්නේ.. ජවිපෙ සහ පෙරටුගාමී ප්‍රමුඛ නඩයන් දිගින් දිගට ඉල්ලූ මිනිස් බිලි ලබාදීම වෙනුවට ඔවුන් සූක්ෂමව පසු බැස්සා.. පොලීසිය හමුදාව නොව, ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂකයින්ගේ ගිනි අවි, මන්ත්‍රීවරුන්ගේ පිස්තෝල පත්තු කලත් මහ ජනතාව 1000කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙනවා.. ඔවුන් ඒක තේරුම් ගෙන ඊට පසුදා වෙද්දි දේශපාලන ගේම් එකක් ගසමින් රනිල් වික්‍රමසිංහ ව අගමැති පුටුවේ වාඩි කලා.. එතැන් පටන් රනිල්ව ජනපති කරන තුරුම ඉතාම නිරායුධව අරගලයට මුහුණ දුන්නා.. රනිල් ජනපති වුනා.. දින තුනක් ඇතුලත රනිල් අරගලයට පහර දුන්නා.. අරගලය අවසන් වුනා.. අදත් තැන් තැන්වල හතු පිපෙන විදිහේ විරෝධතා දියත් වෙද්දි, විරෝධතා කරුවන්ට වැඩි පොලීසියේ පිරිස ඒ විරෝධතා මර්ධනය කරන හැටි ඔබ දකින්න ඇති..

එතැනින් පසු...

පැයෙන් පැයට ට්වීට් කරපු ඇමෙරිකානු නියෝජිතවරිය, චීන තානාපති කාර්‍යාලය ට්වීට් තියා ලියුමක්වත් ලිව්වේ නෑ..

පැයෙන් පැය මාධ්‍ය සාකච්ඡා තියපු කාදිනල් හිමි, NGO කාක්කෙක් වෙච්ච ඕමල්පේ සෝභිත හිමි, සිරිල් ගාමිණී පියතුමාලා අන්තරස්ධාන වුනා.

කුරුස කරේ තියන් පයින් ආපු අය, සමාජවාදී කලා කරුවෝ කොහේ ගියාද නෑ..

රැට්ටාගෙ එකවුන්ට් එකට වැටුනු ලක්ෂ පණහා ගැන සඳහනක්වත් නෑ නේද.. අරගලේට සහය දක්වපු යූ ටියුබර්ස්ලා දෙන්නෙක් රනිල් සහ ටිරාන් ලඟ දණින් වැටුනා කියලා ඔබ ඇහුවා නේද පහුගිය ටිකේ..

අරගලේ දිරිය කාන්තාවෝ සජබෙන් ඡන්දෙ ඉල්ලන්න ගිහින් නේද?

තව සමහරු ගම්පහින් ස්වාධීනව ඡන්දෙ ඉල්ලනවාලු නේද?

පැතුම් කර්නර්ලා, රසික ජයකොඩිලා මිලියන ගණන් ලොකු කැම්පේන් කරමින් අලුත් දේශපාලන කඳවුරු හදනවා පේනවාද?

ඒ ඔක්කොටම වඩා නොවැම්බර් දෙක විරෝධතාවය ජවිපේ මඟ අරිනවා නේද?

අරගලයට මඟ පෙන්වපු මිනිස්සු දැන් තම තමන්ගේ දේශපාලන කඳවුරු වලට වෙලා මරා ගන්නවා නේද?

අර නොමිලේ ඉදිරිපත් වුන නීතීඥ මහත්තුරු පේන්නවත් නෑ නේද?

අරගලෙන් ගෝඨාභය එලවලා රනිල් ගෙනල්ලා වෙච්ච වාසි මොනවාද?

අරගල කරන්න තැනක් හදලා මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරපු නායකයා පන්නලා විරෝධතාකරුවන්ට පන්න පන්න ගහන නායකයෙක් ඇවිත් නේද?

රාජපක්ෂලාගේ ජනපති පන්නලා පත්වුන අලුත් ජනපතිට, අරගල කරපු අයම රනිල් රාජපක්ෂ කියලා කියනවා නේද?

දුක් විඳින අවසන් පැය කිහිපය කියලා පෝස්ට් ශෙයාර් කරපු අයම දැන් මකන කෑල්ලේ ඉදලා ගණන් වැඩියි කියනවා නේද?

කොහෙවත් නැතිව ඉදලා ගිනිගන්න, ගහන ඒවා වීඩියෝ කර කර, බල බල ආතල් ගත්ත සාමාන්‍ය මිනිස්සුන්ට නඩු වැටිලා නේද?

සිස්ටම් එක වෙනස් කරන්න දඟලපු මිනිහාව පන්නලා, අලුත් කෙනෙක් ගෙනත් ආයේ පරණ සිස්ටම් එකටම දුවනවා නේද?

තව මේ වගේ අනන්තවත් කරුණු කාරණා කියතහැකි...

අරගලය ඇත්තටම මොකටද? අරගලයෙන් ඉටුවුන එකම සාර්ථකත්වය මොකක්ද?

ආදරණීය පාඨකයිනි... ලක්ෂ 69ක ඡන්ද කියන්නේ මේ රටේ ආගමක් මතවත්, දේශපාලන පක්ෂයක් මතවත් එකතු කරන්න පුලුවන් ඡන්ද සංඛ්‍යාවක් නෙවෙයි.. ඒ වගේම තුනෙන් දෙකක පාර්ලිමේන්තුවක් කියන්නෙත් එහෙම දෙයක්.. ගෝඨාභය දිනුවේ සමස්ත රටක එකමුතුකමේ ජයග්‍රහණයක් විදිහට.. අන්න ඒ එකමුතුකම කැඩීමයි එකම අරමුණ වුනේ.. විදේශීය රටවල ඉදන් පොහොට්ටුවේ ඇතුලෙ හිටපු ජනපති අගමැති හීන දැකපු අයට ඕන වුනා මේ රටේ ජාතිකවාදී බලවේගයන් කෑලි කෑලි වලට කඩා විසුරුවලා දාන්න.. අතීතයේ වගේ දේශපාලනය නිසා මිනිසුන් මරාගන්න තත්ත්වයට අරන් එන්න.. මේ රට අස්ථාවර කරලා විනාශ කරලා දාන්න.. පොහොර රට වටේ හැදෙන්න කලින් රසායනික පොහොර ගේන්න.. ඖෂධ ප්‍රතිපත්තියක් හැදෙන්න කලින් ඖෂධ මාෆියාව පරණ තත්ත්වෙට ගේන්න.. මත්ද්‍රව්‍ය ජාවරම විනාශ කරන්න කලින්, මත්ද්‍රව්‍ය ජාවාරම හිස ඔසවා ගන්න.. ඔව් ඒ සියල්ල ඉටුවුනා... ඒ වෙනුවෙන් ගැලූ මිලියන ගණනින් මුදල් අරගලයට පොම්ප වුනේ ඒ ගැන හාංකවිසියක් නොදැන රැවටුනු අහිංසක ජනතාවට මිනීමරු චෝදනා සහ අපරාධ ඡෝදනා ගොනු කරලා ඉවර කරලා...

අන්තිමේ හොරකම් කරපු සල්ලි කියපුවාත් නෑ.. 225න් පිට බලයත් නෑ.. රට හදන විද්වත් සභාවත් නෑ.. වැටේ එල්ලපු ජංගියත් නෑ.. නටපු නැටුමකුත් නෑ.. බෙරේ පලුවකුත් නෑ...

හැබැයි..

අරගලෙන් ගෝඨා එලෙව්වා, මහින්ද එලෙව්වා.. බැසිල් එලෙව්වා කියලා හිත හදාගෙන, ගෝඨා එලවලා ජනාධිපති වුන රනිල්ට, රනිල් රාජපක්ෂ කියනවා...

එහෙමනම් ඉතිරිය තීරණය කිරීම ඔබට භාරයි...

අභීත එදිරිසිංහ

Thursday, August 4, 2022

යාපනයේ තයානි, අරගල කරුවන්ගෙන් අහපු සංවේදී ප්‍රශ්ණය..

 



මගේ කතාව......


අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු සමාජයටම මේක කියන්න ඕනේ කියලා මම හිතාගෙන හිටියේ. 

අවුරුදු තිස් දෙකක් තිස්සේ අපේ කටවල් වහලා ඇස් බැඳලා අත් දෙක ගැටගහලා තිබ්බා වගේ තමයි අපි යාපනයේ ජීවත් වුණේ. 2009 යුද්ධය නිමාවත් සමග තමයි නීතියෙන් සහනයක් නොලැබුත් අඩුම තරමේ මේක ගැන එළියට කියන්න පුළුවන්, කතා කරන්න පුළුවන් අවස්ථාවක් ලැබුණේ. ඒ අසාධාරණය ගැන එළියට කතා කරන්න පුළුවන් අවස්ථාව අපට නිර්මාණය කරල දීපු එකට මම ශ්‍රී ලංකා රජයට අත් දෙක උස්සල වැඳලා ස්තුතිය පළකරනවා. මොකද කොටි ත්‍රස්තවාදීන්ගෙන් මේ රට නිදහස් කිරගැනීමත් එක්ක තමයි අපිට සිදුවුණ අසාධාරණය ගැන එලිපිට කතා කරන්න අවස්ථාව ලැබුනේ. 


මගේ තාත්තා සෙල්ලන් තංගතුරෙයි යාපනයේ සිට කන්කසන්තුරේ දක්වා දුවපු බස් රථයක රියදුරෙක්. මගේ අම්මාගේ නම වික්ටෝරියා. මම තමයි අපේ පවුලේ පළමුවෙනි දරුවා. ඒ කියන්නේ වැඩිමල් දරුවා. 1990 වසර වන විට මට වයස අවුරුදු පහයි. ඊලග නංගිට වයස අවුරුදු තුනයි. නංගිට පස්සේ අවුරුදු එකක මල්ලි කෙනෙකුයි තව අන්තිම මල්ලි අම්මාට ලැබිලා දවස් 53 යි.  මේක තමයි අපේ ලස්සන චූටි පවුල.


1990 පෙබරවාරි මස 20 වෙනිදා තමයි අපි අපේ තාත්තත් එක්ක අපි සෙල්ලම් කරපු, එයා අපිව හුරතල් කරපු, අපි එයාගේ උණුසුම ලබපු අන්තිම දවස. එදා රාත්‍රී 11 ත් 12 ත් අතර වෙලාවක අපේ නිවසේ දොරට කවුරුන් හෝ තට්ටු කළා. "තංගතුරෙයි තංගතුරෙයි" කවුරුහරි සද්දෙට අපේ තාත්තට එළියේ ඉදන් කතා කළා. ඒ සද්දෙට අපේ අම්මත් තාත්තත් දෙන්නම දොර ඇරගෙන එලියට ගියා. ගිහින් කවුද කියලා බලන්න ඇති. "මම තමයි නාදන්" ඔහු කිව්වා. 

ඒ අපේම ගමේ අපි හඳුනන කෙනෙක්. ඔහුත් එක්ක තව දෙන්නෙක් ඇවිත් හිටියා ඒ නාදන් කියන ගමේ පුද්ගලයා අනිත් දෙන්නව පෙන්නලා කිව්වා "මේ අය කොටි සංවිධානයේ අය, ඔයාව විමර්ශණය කරන්න ඕනලු' ඒ නිසා ඔයාගේ ගේ බලන්න ඕන කියලා මට කිව්වා ඒක නිසා මම මේ අයව එක්කගෙන ආවා" කියලා.


ඒ ආපු දෙන්නා ඒ වෙලාවේ අපේ තාත්තාව ඔවුන්ගේ කදවුරකට එක්කගෙන යන්න ඕන කියලා කිව්වා. මේ රෑ වෙලාවේ පවුලේ අයව තනියම දාල එන්න බෑ කියලා අපේ තාත්තා කිව්වා. ඒ නිසා මම උදේට එන්නම් කියලා කිව්වා. "එහෙම බෑ දැන්ම එන්න ඕන" කියලා ඒ කොටි සාමාජිකයන් දෙදෙනා තාත්තාව බලෙන් වගේ ඇදගෙන ගියා. එලියේ ඔවුන් ආපු වාහනයක් තිබ්බා. ඒකෙත් තව කීප දෙනෙක් හිටියා. ඒ අය බලෙන්ම අපේ තාත්තව පැහැරගෙන ගියා. ඊට පහුවෙනිදා 21 උදේ එළිඋණා. එදා රෑ අපේ ගමේ විතරක් 9 දෙනෙක්ව කොටි සංවිධානයෙන් පැහැරගෙන ගිහින් කියලා අපි දැනගත්තා. එල්.ටී.ටී.ඊ සංවිදානයේ චුන්නාකම් ප්‍රදේශයේ කදුරුගොඩ පිහිටි ඔවුන්ගේ කදවුරට ඒ පවුල් 9 යේම පිරිස සමග අපි උදේම ගියා. 


මේ කියන කදවුරේ සලීම් ශිවා කියන නමින් හදුන්වන පුද්ගලයෙක් තමයි කොමාන්ඩර් ලෙස හිටියේ.

අපේ අම්මාත් අනෙක් පවුල්වල අම්මලා, බිරින්දෑවරු, සහෝදර සහෝදරියෝ වගේ ඇවිත් හිටපු පිරිස මේ සලීම් ශිවාගේ කකුල් අල්ලලා වැද වැද කෑගහලා ඇඩුවා. පොඩි ළමයි ඇඩුවාම ඔහුගේ හිත උණු වෙයි කියලා හිතලා අපේ අම්මා මටත් එතන හිටපු අනිත් පොඩි අයටත් කිව්වා සලීම් ශිවාගේ කකුල් අල්ලා අඩන්න කියලා. මම ඉතින් "සලීම් මාමේ අපේ තාත්තා අපිට දෙන්නකෝ" කියලා කකුල් බදාගෙන ඇඩුවා. අනෙක් ලමයිනුත් ඇඩුවා. ඒත් ඒ හිත උණු උනේ නෑ. ඔහු ගනන්ගත්තේවත් නෑ. ඒ කදවුරේ අපේ ගමෙන් ගෙනාපු 9 දෙනත් තව පැති වලින් ගෙනාපු අයත් හිර කූඩුවක දාලා තිබුණා.


තාත්තව බලන්න අපිට ඉඩ දුන්නා. තාත්තා මගේ අත කම්බි කූරු අතරින් ඇතුලට අරන් ඉම්ඹා. තාත්තා අම්මට කතා කරලා කිව්වා ගමේ අපිට හිතවත් කොටින්ව හදුනන අය හමුවෙලා ඒ අයගෙන් උදව් ඉල්ලන්න කියලා, නම් කිහිපයක් කිව්වා. ඒ අය සමහර විට අපිට උදව් කරයි කියලා තාත්තා කිව්වා. අනිත් දවසේ උදේත් අපි ඒ කදවුරට ගියා. ඒ වෙලාවේ තාත්තගේ සාක්කුවේ තිබ්බ බඩු කියලා තාත්තගේ ලයිසන් එකයි රුපියල් 36 කුයි ඒ කදවුරෙන් අපේ අම්මට දුන්නා. 


තාත්තව විමර්ශණය කරන්න ඕනෙ කියලා මුලතිව් තුනුක්කායි ප්‍රදේශයේ තිබ්බ කොටි කදවුරකට යැව්වා කියලා සලීම් කියන පුද්ගලයා කිව්වා. තුනුක්කායි කියන්නේ කොටි ත්‍රස්ථවාදීන්ගේ වදකාගාරයක්. වචනවලින් කියන්න බැරි කම්පාවෙන් අපි ගෙදර ආවා. යාපනයේ ඉන්න හැමෝම දන්න පරිදි තුනුකායි කදවුරට ගිය කෙනෙක් ආපහු ඇවිල්ලා නෑ.  එදා ඉදලා යාපනයේ තියන හැම කොටි කදවුරකටම අපිවත් එක්කගෙන අපේ අම්මා ගියා. රතුකුරුස සංවිධානය, මානව හිමිකම් සංවිධාන හැම එකකටම අපේ අම්මා ගියා. අපේ තාත්තව බේරගන්න පුළුවන් කියලා අපේ අම්මා හිතපු හැම තැනකටම ගියා. 


දවස් යන්න යන්න අපේ අම්මට කිසිම ආදායම් මාර්ගයක් නැතුව අපි හතර දෙනෙක්ට කන්න දෙන්නවත් බැරුව ගියා. ඊට පස්සේ දවසක යාපනය් කොටි කාර්‍යාලයකට ගිය අම්මා "එක්කෝ මගේ මහත්තයාව දෙන්න නැත්තම් අපිට නොකා නොබී මැරෙන්න වෙන්නේ" කියලා කිව්වා. ඊට පස්සේ ඔවුන් අපේ අම්මගෙන් ගෙදර තත්වය ගැන ලියුමක් ලියලා දෙන්න කිව්වා. ඊට පස්සේ දිනක කොටි සාමාජිකාවක් අපේ නිවසට ඇවිත් අපිට පොත්පත් ගෙනල්ලා දුන්නා, ඇදුම් ගෙනල්ලා දුන්නා. ඒ අම්මා ලියුමේ පාසල් යන දරුවෙක් ඉන්නවා කියලා ලියලා තිබුන නිසා වෙන්න ඇති' ඒ අය අපේ අම්මාට යෝජනා කලේ ආදායම් මාර්ගයක් නැතුව ලමයි බලාගන්න බැරිනම් සෙන්චෝලෙයි ප්‍රදේශයේ තියන ළමා පරිවාස මධ්‍යස්ථානයට අපිව බාරදෙන්න කියලා. අම්මාට සංවිධානයට බැදෙන්න කිව්වා. අපේ අම්මා ඒ යෝජනා දෙකම ප්‍රතික්ෂේප කළා. එහෙනම් ස්වාමියා නැති පවුල් වලට රුපියල් දෙසීයක් මාසෙකට දෙනවා ඒක ඇවිත් ගන්න කියලා අපේ අම්මාට ඔවුන් කිව්වා. ඒ මාසෙ ඉදන් ඒ රුපියල් දෙසීය ගන්න හැම මාසෙම මාවත් එක්කගෙන අම්මා කොටි කාර්‍යාලයට යනවා. 


අපි වගේම ඒ රුපියල් දෙසීය ගන්න කොටි ත්‍රස්ථවාදීන් විසින් තාත්තලාව පැහැරගත් ගොඩක් පවුල්වල කට්ටිය එතනට එනවා. එතකොට මට සුභාෂිනී හා සුමාජිනී කියලා මගේ වයෙසෙම අවුරුදු හයේ විතර යාළුවෝ දෙක්කෙන් හමු උනා. ඒ දෙන්නාගේ තාත්තලාවත් කොටි ත්‍රස්ථවාදීන් පැහැරගෙන ඝාතනය කරලා තිබුනා. ඒ රුපියල් දෙසීය වෙනුවෙන් කොටින්ගේ ලොකු රැස්වීම් වලට බස් වලින් අපිව එක්කන් යනවා. ඒවට අපි යන්නම ඕන. තාත්තව පෙන්නනවා කියලා තමයි පොඩි අපිව එක්කගෙන යන්නේ. හැබැයි තාත්තවනම් කවදාවත් දැක්කේ නෑ. ඒ ගිහින් එනකොට අපිට බත් පාර්සලයක් දෙනවා. මේ කාලයේ අපේ අම්මාගේ වයස 29 යි. ස්වාමියෙක් නැති තරුණ කාන්තාවක් කුඩා දරුවන් හතර දෙනෙක් එක්ක මේ වගේ සමාජයක ජීවත් වෙන්න කොහොම සටනක් දෙන්න ඕනද කියලා හිතලා බලන්න. අද මට හිතෙන්නේ අපේ අම්මා යකඩ ගැහැණියෙක්! 


අපේ අම්මා කුඹුරු වැඩ සදහා යන්න පටන්ගත්තා. ගෙවල්වල වැඩට ගියා. ඒවාගේ ඉතුරුවෙන කෑම පාර්සල් කරගෙන අපිට අරන් ආවා. ඒ වගේම තාත්තා නැති අපිට අපේ ඇති හැකි නෑදෑයෝ කවුරුත් උදව් කලේ නෑ. අම්මා වැඩට යද්දී තනියම හිටපු අපිව බලාගන්න කියපු නෑදෑ හිතවතුන් අතින් අපි හින්සාවට පීඩාවට දූෂණයට ලක් උනා. අනිත් සහෝදරයෝ ගොඩක් පොඩි නිසා ඒ හැම පීඩාවක්ම ලොකු ගෑණු දරුවා විදියට මම තනියම දරාගත්තා. අද වෙනකල් මගේ ලමා කාලය මගේ තාත්තා නැති උනාට පස්සේ ගෙවපු කටුක ජීවිතය ගැන කතා කරන්නවත් මට අවස්ථාවක් ලැබුනේ නෑ. ඒ කාලය මගේ ජීවිතයේ අදුරුතම කාලයක්.


අපේ තාත්තව පැහැරගෙන ගිහින් අවුරුදු තුනකට පස්සේ 1993 ඔක්තෝබර් මාසයේ මම පාසල් ගිහින් ඇවිත් ඉන්නකොට කාර් එකක කොටි සාමාජිකයන් හතර දෙනෙක් ඇවිත් ෆයිල් එකක් දීලා අපේ තාත්තව ආයුධ ප්‍රවාහනය කිරීම, කොටින්ට විරුද්ධ කණඩායමකට සහයෝගය දීම, ඔත්තු බැලීම කියන චෝදනා වලට වරදකරු නිසා කොටි නායකයාගේ නියෝගයෙන් තාත්තාට මරණ දඩුවම දුන්නා කියලා කිව්වා. 


අපේ අම්මා කෑගහෙන ගෙදට තිබ්බ පුටු වලින් ඒ ආපු අයට ගැහුවා. ඔවුන් එහෙම කිව්වාට අපේ තාත්තාට මොකද උනේ කියලා හරියට දැනගන්න අපිට ක්‍රමයක් තිබුනේ නෑ. එදා තමයි අපේ තාත්තව මැරුවා කියල අපි දැනගත්තේ. 


1993 අපේ තාත්තා මැරුවා කියලා කොටි ඇවිත් කියද්දී මගේ වයස අවුරුදු නවයක් වගේ. 


ඊට මෑත කාලයේ 2021 දී උතුර දකුණ යා කිරීම සදහා "එකමුතුවේ පාගමන" ලෙස මාතර ඉදන් යාපනය වෙනකල් පාගමනක් යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය සංවිධානය කරලා තිබුනා ඒකට මමත් සහභාගී උනා. ඒ වෙනුවෙන් කොළඹ පැවති මාධ්‍ය සාකච්ජාවේදී මගේ තාත්තව කොටි පැහැරගෙන අතුරුදහන් කරපු සිද්දිය ගැන මම මාධ්‍යට කිව්වා. ඒ පාගමනට ආපු අපේ අල්ලපු ගමේ එක්කෙනෙක් ඒ කතාව අහලා ඒ මාධ්‍ය සාකච්ජාව ඉවර වෙලා මාත් සමග කතා කළා. එයා අපේ තාත්තත් එක්ක එකට හිර ගෙදර ඉදලා තියනවා. එයාවත් කොටි පැහැරගෙන. ඔහු එතනින් වාසනාවකට බේරිලා ආවත් අදටත් ඔහු එහිදී දුටු දහස් ගනනක් ඝාතන නිසා ඉන්නේ මානසික පීඩනයෙන්. ඒ කදවුරට මස් කඩය කියලාලු කියන්නේ. මේ වදකාගාර ගැන ජාත්‍යාන්තර මානව හිමිකම් සංවිධාන වල වාර්තාවල සදහන් වෙලා තියනවාදැයි මම දන්නේ නෑ. පස්සෙ මම දැනගත්තා තුනුක්කායි, වට්ටුවාකායි, වල්ලිපුරම් මේ තැන් තුනේම කොටි වදකාගාර තිබිලා තියනවා. ඒ වදකාගාරවල තොරතුරු වෙනම පොතක ලියන්න පුළුවන්. මේ මට මුනගැසුනු අයියගේ සහෝදරයෝ තුන්දෙනෙක් ඝාතනය කරපු නිසා මොහුව නිදහස් කරලා. ඒ දිනයේ මගේ තාත්තා ඇතුළු සීයක පමණ පිරිසක් මරා මාර්ගය අයිනක ටයර් දමා පිළිස්සූ බව ඔහු මට කිව්වා. ඒ අයියාටත් කොටි දුන් වදබන්දන නිසා ඔහු කිසිදු වැඩක් කල නොහැකි පුද්ගලයෙකු වෙලා. ඔහුගේ වකුගඩු දෙකම වැඩ කරන්නේ නෑ. 


මට මෙතනදී අහන්න ප්‍රශ්ණයක් තියනවා. කොටි පොලීසි, කොටි උසාවි පවත්වාගෙන බොරු ආණ්ඩුවක් පවතවාගෙන ගිය මේ අය අපේ තාත්තා වරදක් කලානම් ඒ උසාවියට දාලා චෝදනාවලට සාක්ෂි පෙන්නලා අපේ තාත්තට දඩුවම් නොකලේ ඇයි. වදකාගාරවල මරා දැම්මේ ඇයි. කොටි සංවිධානය දෙමළ ජනතාව වෙනුවෙන් සටන් කරපු අය නොවේ. ඔවුන් මිනීමරුවන් පමණයි. ශ්‍රී ලංකා රජය විසින් අතුරුදන් කරපු අයට සාධාරණයක් ඕනේ කියලා ජිනීවා ගිහින් කෑගහන පුද්ගල‍යන් නෙවෙයි ජිනීවා යන්න ඕන අපියි. අපි තමයි ඇත්තටම ජිනීවා යන්න ඕන අය. කොටි සංවිධානයෙන් පැහැරගෙන ගිය අතුරුදන් කල අයගේ බිරින්දෑවරු, මව්වරු, දරුවන් වගේම සහෝදරයන් දහස් ගනනක් මානසික ලෙඩුන් ලෙස උතුරේ ජීවත් වෙනවා. මම ඒ අයව හොයාගෙන අද වෙනකල් ඔවුන් සමග ඉන්නවා. මම ඒ වෙනුවෙන් "යාපනයේ කාන්තා පෙරමුණ" නමින් සංවිධානයක් පිහිටෙව්වා. ඒකේ සක්‍රීය සාමාජිකයන් ගනන පමණක් 3000කට වැඩී. ඒ හැම දෙනාම කොටි පැහැරගෙන ගිය පවුල්වල අය. මීටත් වඩා පිරිසක් සමජයෙන් වහන් වෙලා ඉන්නවා. ඒ අහගේ හඩ මෙතෙක් කල් කොටි තුවක්කුවට යටවෙලා තිබුනේ. මේ අය ජිනීවා ගියානම් ජිනීවා ගොඩනැගිලිවල ඉඩ මදි වෙනවා කියලානම් මම දන්නවා. 1990 අපේ තාත්තව කොටි පැහැරගෙන ගිහිල්ලා පස්සේ 1993 මරණ දඩුවම දුන්නා කියන දවස වෙනකල් අපේ අම්මා මානව හිමිකම් සංවිධාන වලට ගියා. හැම තැනටම ගියා නමුත් සාධාරණයක් උනේ නෑ. ඒ දුෂ්කර කාලයේ අපේ අම්මා හදපු වඩේ කඩයප්පන් පුංචි මගේ අතේ කඩවල් වලට යැව්වා. එතකොට මට අවුරුදු හතක් අටක් විතර ඇති. ඒ කාලයේ අපේ ගමේ තිබුනා පවුල් විශාල පිරිසක් හිටපු අවතැන් කදවුරක්, ඒකට ගිහින් මම ඒවා විකුණගෙන ඇවිල්ලා ඒ සල්ලි වලින් තමයි අපි පස් දෙනාම ජීවත් උනේ. 


ලගදී මගේ පාසලේ යාලුවෙක් හම්බවෙලා මම වඩේ විකුණපු කතාව කියලා එයා ඇඩුවා. කවුරුහරි මේ වගේ ජීවිතයක් ගතකලොත් විතරයි අපේ වේදනාව ඒ අයට දැනෙන්නේ. මගේ පණ යනකල් කොටි අපිට කරපු විනාශය 

ඒ මගේ චූටි පවුල විනාශ කරපු විදිය මගේ මනසෙන් යන්නේ නෑ. මම මගේ මරණය දක්වා කොටින්ට විරුද්ධයි. ඒකේ වෙනසක් නෑ.


මට අවසාන වශයෙන් කියන්න දෙයක් තියනවා. මම දැක්කා ගෝල්ෆේස් අරගලකරුවන් කියන අය මේ පහල පින්තූරයේ ඉන්න කොටි සාමාජිකාව ගැන ගොඩක් දුක් වෙලා කවි පවා ලියලා තියනවා. මේ පින්තූරයේ ඉන්නේ කොටි සංවිධානයේ මාධ්‍ය අංශයේ හිටපු, ආයුධ පුහුණුව ලබපු ඒ සංවිධානයේ ලුතිනන් කර්නල් කෙනෙක් මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් කෙනෙක්. මේ කාන්තාව බලහත්කාරයෙන් සංවිධානයට බදවාගත් කෙනෙක් නොවේ. රටවල් 35 කට වඩා මිලේච්ජ ත්‍රස්ථවාදී සංවිධානයක් ලෙස තහනම් කල කොටි සංවිධානයට මේ කාන්තාව තම කැමැත්තෙන්ම  එක්වුනා. 2007 දී කොටි සංවිධානයේම නායකයෙක් එක්ක විවාහ වෙලා දරුවෙක් ලබලා සතුටින් ජීවත් උනා. 2009 යුද්ධයේ අවසන් කාලයේ මේ ත්‍රස්ථවාදී නායිකාව මිය ගියා. ඒ මියගිය අවස්ථාවේ ජායාරූප කිහිපයක් මාධ්‍යට නිකුත් වුණා. කිසිවෙකු ඝාතනය වීම මම අනුමත නොකලත් මට මේ පින්තූරය ඔසවාගෙන යන අරගලකරුවන්ගෙන් අහන්න දෙයක් තියනවා. 


ලෝකයේ ඇති ත්‍රස්ථවාදී කල්ලිවල අල්කයිඩා, බෝකෝහරාම්, අයි එස් අයි එස් වගේ ලෝකයේ දරුණුම ත්‍රස්ථ කල්ලි වලත් මාධ්‍ය අංශයක් තියනවා. මාධ්‍ය අංශ වල හිටියා කියලා ඒ අය ත්‍රස්ථ සංවිධානයේ වගකීම් වලින් ඒ අපරාද වලින් මිදෙන්න බෑ. කොටි ත්‍රස්ථවාදීන් මගේ තාත්තා වගේ අහිංසකයන් දහස් ගනනක් උතුරේ මරලා තියනවා. දකුණෙත් අහිංසක මිනිස්සු මරලා තියනවා කැබිතිගොල්ලෑව, අරන්තලාවව, පිළියන්දල බස් බෝම්බය, කොටුව දුම්‍ රිය පළ, මඩකලපුවේ මුස්ලිම් ජනතාව වගේ. දේශපාලනය ගැන වචනයක් නොදන්න සාමාන්‍ය මිනිසුන්, කුඩා දරුවන් මරපු සංවිධානයක සාමාජිකාවක් ඇය. මට අරගලකරුවන්ගෙන් අහන්න තියෙන්නේ. ඒ කොටි කාන්තාවගේ පින්තූරය එක්ක ඇයි මගේ තාත්තගේ පින්තූරයක්, කැබිතිගොල්ලෑව බස් බෝම්බයේ පින්තූරයක්, අරන්තලාව හාමුදුරු ඝාතනයේ පින්තූරයක්, දළදා මාලිගාවට ගහපු බෝම්බයේ පින්තූරයක් අරන් ගියේ නැත්තේ? එහෙම උනානම් නේද ඒ කොටි කාන්තාවගේ පින්තූරය අරන් යන එකේ සාධාරණයක් තියෙන්නේ? උතුරේ සාමාන්‍ය ජනතාව ඇයි අරගලයට සහභාගී නොවුනේ? ඒකට හේතුව තමා ඒ...


මේ ලිපිය ලියන අද දිනය පියා නොමැතිව අනේක දුක් පීඩා මැද මා ඇතුළු සහෝදර සහෝදරියන් උස් මහත් කල යකඩ ගැහැණිය! මගේ අම්මාගේ 60 වන උපන්දිනයයි. 04.08.2022


සත්‍ය කතාව - තංගතු‍රෙයි තයානී.(සභාපති යාපනය කාන්තා පෙරමුණ)

පරිවර්ථනය - තාරුක ෆොන්සේකා.

තංගතුරෙයි තයානී ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා පල කරන ලදී.

Saturday, April 30, 2022

අන්තර්වාර පාලනයේ යටිකූට්ටු අදහස කොතනද?

 


පහුගිය දිනවල විවිධ පාර්ශ්ව විසින් අන්තර්වාර පාලනයක් එහෙමත් නැත්නම් සර්ව පාක්ෂික පාලනයක් ගේන්න ඕනා ලෙස බෙරිහන් දෙන්න පටන් ගත්තා.. මේකේ ප්‍රථිපල ලෙස අරගල, කුමණ්ත්‍රණ සාකච්ඡා වගේ බොහෝ දේවල් පැවතියා..


ගාලු මුවදොර අරගලය මෙයින් සුවිශේෂයි. ගෑස් නෑ.. තෙල් නෑ යනුවෙන් පටන් අරන් ගෝඨා ගෝ හෝම්, 225ම එපා, මහින්ද ගෝ හෝම්, ආදී විවිධ සටන් පාඨ එල්ල වුනා. ඒ වගේම පාස්කු ප්‍රහාරයට සාධාරණයක් කරන්න කියා වසර තුනකට පසු මහ පිරිසක් හඬ නගන්න පටන් ගත්තා... ඒ කාලේ නිහඬව සිටි මේ පිරිසට හදීසියේ පාස්කු ප්‍රහාරය මතක් වුනේ ඇයි කියන එක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්..

ඒ වගේම ආණ්ඩුවේ මන්ත්‍රීවරු 33ක් පමණ ස්වාධීන වෙලා තියෙනවා. ඒ ස්වාධීන වූ පක්ෂවලම සමහර මන්ත්‍රීවරු මේ වෙද්දි ඇමතිකම් අරගෙනත් තියෙනවා. ස්වාධීන වෙච්ච සමහරු ඒ කාලේ කිව්වේ ස්වාධීන වුනා කියන්නේ සජිත්ගෙ විපක්ෂෙට යනවා කියන එක නෙවෙයි කියලා. හැබැයි දැන් දැන් සෙට් එක සජිත් පස්සෙනුත් අඬ අඬ යනවා පේනවා..

අද අන්තර්වාර පාලනයක් ඕන කියන පොහොට්ටුවේ මන්ත්‍රීවරු 10 දෙනා මහනායක හිමිවරු හමුවෙලා තිබුනා. ඔවුන් කියනවා සජිතුයි අනුරයි කැමති නෑනේ අපේ හාමුදුරුවනේ කියලා.. ඒකයි මම කියන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අරගෙන ආපු මන්ත්‍රීවරු තමන්ගේ කුට්ටිය වැඩි කර ගන්න කරපු කුමණ්ත්‍රණය දැන් ගාලු මුවදොර අරගලේ වගේ වෙලා කියලා. ඒකත් දැන් මිනිස්සුන්ට ආතල් ගන්න මාතෘකාවක් වෙලා..

අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හමුවෙලා ආපු පක්ෂ 11 කල්ලිය එලියට ඇවිත් මාධ්‍යයට කතා කලා..

සිරිසේන කිව්වා, අලුත් අගමැතිවරයෙක් පත් කරන්න ජනපති එකඟ වුනා කියලා..

වාසු කිව්වා අගමැති ධූරය ගැන කතා වුනේ නැහැ කියලා..

විමල් කිව්වා අගමැති ගැන සාකච්ඡා වෙන්නේ පක්ෂ සියල්ලේ තීරණය අවසන් වුනාමය, නම් ගැන කිසිවක් කතා වුනේ නැතිය කියලා..

එලියට ඇවිල්ලා මාධ්‍යයට එක දෙයක් කියන්න තරම් සමඟියක් නැතිව කොහොම ආණ්ඩු කරයිද මන්දා...

මේ අන්තර්වාර කතාවේ හොඳම කතාව එලියට පැන්නේ අද සිරිසේනගෙ මාධ්‍ය සාකච්ඡාවේදි.. අද සිරිසේන උන්නැහැ අපූරු කතාවක් කිව්වා...

"අන්තර්වාර පාලනය පිහිටවන්නේ අවුරුද්දක කාලයකට.. ඒක මැතිවරණයකට යනකම් කෙරෙන ක්‍රියාවක්.. අන්තර්වාර පාලනය ඉවර වුන ගමන් අපි මැතිවරණයකට යනවා.."

ඉතින් මොකක්ද මේ කියන්නේ.. මේ තමයි සිරිසේන 2015 - 2019 කරපු වැඩේ.. මේ කියන්නේ කැඳ හැලිය වගේ ඔක්කොම එවුන් දා ගනින්.. ඊට පස්සෙ අපි එහෙට මෙහෙට ඇද ඇද රට තවත් පහලට දාන්නම්.. මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙලා තියේවි.. අන්න ඒ වෙලාවට මැතිවරණයක් තියලා අපි ජයහ්‍රහණය කර ගන්නම් කියන කතාව.  ඉතින් මේක නොතේරෙන කුමන හෝ මෝඩයෙක් ඉන්නවානම්,

හා ඉචිං.. ඒම කරමු හිටං කියලා කියයි..

මේකේ ඊටත් වඩා බරපතල කාරණය මහජන පරමාධිපත්‍යයට අමු අමුවේ පයින් ගැසීම...

ජනතාව ඡන්දෙ දෙන්නේ පොදුජන පෙරමුණු ආණ්ඩුවක් හදන්න.. ඒ කැමැත්ත වෙනස් වෙන්නේ අරගලවලින්වත්, භීෂණයෙන්වත් නෙවෙයි.. ඡන්දෙකින්.. පොදුජන පෙරමුණු ආණ්ඩුවක් හදන්න ජනතා කැමැත්ත අරගෙන අන්තර්වාර පාලනයක් ඉල්ලීම තක්කඩි කමද, නැතිනම් නොදැනුවත්කමද කියලා හිතන එක ඔයාලට බාරයි..

එතකොට මොකක්ද මේකේ අවසානය..

අන්තර්වාර සිහින ගිලිහී ගොස්, ආපහු ගෝඨා ජනපති මහින්ද අගමැති රජය ස්ථිර වෙනවා.. ඊලඟ ඡන්දෙදි ආයෙමත් සිරිසේනලා විමල්ලා ගම්මන්පිලලා රෙදි නැතිව පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලනවා.. සමහර විට ජවිපෙටත් වඩා අඩුවෙන් ඡන්ද ගන්න නිකම්ම නිකම් විකල්පයක් වෙන්නත් පුලුවන්..

ඉතින් පින්වතුනි... සිරිසේන අවුරුදු පහක් රනිල් එක්ක නටපු නාඩගම විමල් සිරිසේන ගම්මන්පිල නඩයට නැවත නටන්න දී, රට කබලෙන් ලිපට තල්ලු කරනවාද කියනෙක තේරුම් ගැනීම සහ තවකෙකුට වටහා දීම ඔබට භාරයි.

අභීත එදිරිසිංහ




Thursday, April 28, 2022

නාකි මයිනා.. දැන් පලයන්..


ඉහත මාතෘකාව රට හදන්න විප්ලව කරන තරුණ ප්‍රජාවගේය. තමන්ගේ හෘද සැත්කම වෙලේ මහින්ද රාජපක්ෂ ගැන හොඳ වැපිරූ උපුල් ශාන්ත සන්නස්ගලද නාකි මයිනා වචනය පාවිච්චි කරනු දුටුවෙමි. රටේ උගත්‍ යැයි සම්මත විශ්ව විද්‍යාල සිසුවෝ මයිනා ගෝ ගම පිහිටුවාගෙන පදිංචිව සිටී.


බලා සිටියා දැන් හොඳටම ඇති නිසා නාකි මයිනා ගැන වචනයක් ලියන්නට කාලය එළැඹ ඇත.

මහින්ද රාජපක්ෂ මැතිතුමනි,

නාකි මයිනා නොහිටින්නට අද ගෙදර පලයං ලෙස බෙරිහන් දෙන අයගෙන් 99%ක් දෙනා මහ මඟ මියැදෙන්නට ඉඩ තිබුණි.

ඒ යුද්ධයෙන් පමණක් නොව, මීට වසර තුනකට ඉහතදී පවා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වූ මොහොතේ, ඔබ එයින් දේශපාලන වාසි ගෙන රට අවුලෙන් අවුලට පත් කලානම්, අර හංගා තිබූ අසිපත් ඔවුන්ගේ ගෙල සිපගනු ඇත.

රටේ නාකි මයිනාට ගෙදර යන්නට කියන උන්, ගෙදර නාකි මයිනන් තමන්ගේ ආරක්ෂාව පිණිස ඔවුන්ගේ පාසැල මුර කලා ඔවුන්ට මතක නැත.

ඔවුන්ගේ ගෙදර නාකි මයිනන් දෙපල, ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාව පිණිස වාහන දෙකක ගමන් බිමන් ගියා මතක නැත.

අද ඔවුන් ව්‍යායාම පිණිස ඇවිදින්නේ කා විසින් ඇරඹූ සංකල්පයක් මත ඉදි වූ ව්‍යායාම් මංතීරු මත දැයි ඔවුන්ට මතක නැත.

කොවිඩ් එන්නත් රටකට ගෙන ඒමේදී ඔබ කල කාර්‍යය භාරය ඔවුන්ට මතක නැත. මීට වසර දෙකකට පෙර මුඛය හා අධෝ මුඛය වසාගෙන ගේ අස්සට වී කියුබාව කේරලය දෙස බලන්න කිය කියා සිටි හැටි ඔවුන්ට මතක නැත.

ප්ලැකනිල් බොන්න කියූ විපක්ෂයේ කෙරුවාව අමතක ඔවුන්ට ගඟට දැමූ මුට්ටිය මතකයේ තිබේ..

චීනයට පමණක් දෙවෙනි වූ ආර්ථිකය, ඇෆ්ගනිස්ථානයටත් වඩා පහල ගෙන ගිය, ඔවුන් පත් කල රජයක් තිබූ බවක් ඔවුනට මතක නැත.

රටක මහ බැංකුව කොල්ල කෑමෙන් පසුව, රටේ ආර්ථිකය නන්නත්තාර වී ගිය බව ඔවුන්ට මතක නැත.
මේ වනවිටත් ලෝකය පුරා රාජ්‍ය නායකයින්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් මේ අර්බුධයෙන් රට ගොඩ දමන්නට ඔබ වෙන මහන්සිය මොවුන් දන්නේ නැත.

අරගල විප්ලව කෙතෙක් තිබියදීත් ඔබ සාකච්ඡාට එන්නැයි කීම මොවුනට තේරෙන්නේ නැත. තේරුණත් ඔබ ලඟට පැමිණ දෙපයින් සිට ගැනීමේ කොන්දක් ඔවුන්ට නැත.

එමනිසා, නාකි මයිනා ගෙදර පලයන් යන්න ඔවුන්ගේ අශ්වාදය පිණිස, ස්වයංව පොර වීම පිණිස යොදා ගැනීම ගැන රටේ ඔබට ආදරය කරන පුරවැසියන් අඹ මල් රේණුවක තරම් තැකීමක් නොකරයි..

මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ලොං හැලිච්ච නාකි සුනඛයන්ගෙන් උප්පත්තිය ලබපු උන්ගේ කටින් නාකි මයිනා කියවෙන එක, වාසනාවක්මය. එය ඔවුන්ගේ උපරිමයයි. අවසන් වශයෙන් ඔවුන්ට කීමට එක දෙයක් තිබේ..

නාකි මයිනා නොහිටියානන්, ඔබට උප්පත්තිය දුන් ගෙදර ඉන්න  ලොං හැලිච්ච සුනඛ ඩබල මේ වනවිට ඔබත් සමඟම පරලොව ගොස් තිබෙන්නට ඉඩ තිබුණි. සමහර විට එසේ බෙරිහන් දෙන ඔබට වෘෂණ කෝෂ තුලදීම හන්දියක මියැදෙන්නට වාසනාවද තිබුණි. ඔබේ ඒ වාසනාවට පයින් ගැසූ, මේ නාකි මයිනා ගෙදර යා යුතුම නොවේද?

"වචනයේ පිළිවෙත... කියයි ඔබගේ පෙළපත"

අභීත එදිරිසිංහ 

Tuesday, April 26, 2022

විමල්ටයි, ගම්මන්පිලටයි, සහය දෙන අනික් ඇම්බැට්ටයන්ටයි අභීතගෙන් ලිපියක්...



විමල් වීරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල වෙත ලියමි.

ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්‍රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්ලගේ ඇසට වැලි ගසා, මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගෙදර යවා, තමන් රජවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම පිළිබඳව පළමුව සුභ ප්‍රාර්ථනා කරමි.

ගාළු මුවදොර අරගලය තුල දෙමලෙන් ජාතික ගීය ගායනා කිරීම, පාස්කු ප්‍රහාරය සම්භන්ධව ජාතික ජන බලවේගයට සම්භන්ධ පිරිස් නගන ප්‍රචාරණය, ස්වාමීන් වහන්සේලාට සිදුවෙන ගැහැට වැනි ඔබට සංවේදී සිද්ධීන් කිසිවක් මේ වනවිට ඔබේ දෑසට නොපෙනෙන්නේ කෙසේදැයි මා පුදුමයට පත් වී සිටිමි. අගමැති සිහිනයට බාධා වී ඇදෙන් වැටෙයි කියා බයට එවන් නපුරු සිහින නොදකින එක ඔබේ වාසනාවක්මය.

මහත්වරුනි, ඔබ දෙපල විස්මිත ගුරුවරුය. රට, ජාතිය, ආගමට වඩා මුදල් සහ බලය වැදගත් බව ඔබ අපට කියා දෙමින් පවතී. කොරෝනාවෙන් පසුව ගොඩ නැගෙන්නට හදන රට, ඔබ දෙපළ විසින්ම දේශද්‍රෝහීන්, රටේ අවාසනාවට උපන් උන් ලෙස හැඳින්වූවන් මේ රට අවුලට පත් කරද්දී ඔබ විසින් ඔවුන්ට සහයෝගය ලබාදෙමින් මේ රට තවත් අවුලෙන් අවුලට පත් කිරීම අප විස්මයෙන් යුතුව උගනිමින් සිටිමු. එපමණක් නොව ඔබ පාර්ලිමේන්තු පැමිණියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙනි. ඒ බැසිල් රාජපක්ෂ විසින් සැදූ පක්ෂයෙනි. ගාළු මුවදොරදී ජාති ආලය ගැන අම්මට සිරි වෙන්න ටෝක් ඉශූ කලේ බැසිල් රාජපක්ෂ තැනූ වේදිකාවලය. මහ මැතිවරණය තුලදී රට පුරාම ඔබේ පක්ෂයේ ඡන්ද දායකයන්ට ඡන්දය ඉල්ලමින් බෙරිහන් දුන්නේ බැසිල් රාජපක්ෂ තැනූ වේදිකා තුලය. එකල ඔබ ඒ ඇමෙරිකානුවා ඉල්ලුවොත් පශ්චාත් භාගය පවා පුද දීමට තරම් ලෙංගතුය. අද ඔහු අවලස්සන ඇමෙරිකානුවා වී ඇත. අප එම පාඩම ඔබෙන් ඉගෙන ගනිමින් සිටිමු. ඔබේ ඡන්ද දායකයා ඔබව පාර්ලිමේන්තු එව්වේ මහින්ද රාජපක්ෂට සහාය වීමටය. ඔබ දෙදෙනාට මතක ඇත්නම් 2015 මහ මැතිවරණයෙන් පසු සිරිසේන රජයට සම්භන්ධ වන්නට ඔබට කතා කල පසු ඔබේ පිළිතුර වූයේ "අපට ජනතාව ඡන්දය දුන්නේ විපක්ෂයේ ඉන්න" කියාය. නමුත් අද ජනතාව ඔබට ඡන්දය දුන්නේ ඇයිදැයි ඔබට මතක නැත. ඔබව පත් කලේ මහින්ද රාජපක්ෂට සහාය දෙන්න මිස මහින්ද රාජපක්ෂට විශ්‍රාම යන්න කියන්න නොවේය.

2015 දී මහින්ද රාජපක්ෂ මැතිතුමන් දේශපාලනයට සමු දෙතැයි සිතා ඒ හිස්තැන අල්ලා ගැනීමට මහින්ද සුලඟ නමින් ඔබ දෙදෙනා කරපු උත්සාහය හරි ගියේ නැත. ඒ සාකච්ඡා මේසවල අපද සිටි බැවින්, ඔබේ සුදු ළූණු අපට අදාල නැත. පොදුජන පෙරමුණ හදන එකට විරුද්ධව ඔබ දෙදෙනා ගෙන ගිය ප්‍රචාරණය සාර්ථක වූයේ නැත. මහින්ද ගෝඨා බැසිල් අවුලවන්නට, කොටවන්නට ඔබ එදා ගෙන ගිය වැඩ පිළිවෙල සාර්ථක වූයේ නැත. ඉතින් මහත්වරුනි, ඔබ දෙදෙනාගේ ඔය ත්‍රීවීල් හිඟන පක්ෂ දෙකට ඕනෑ විදිහට රටේ මහ ජනතාව හැසිරෙන්නේ නැත. පාකිස්තානයේ සේ පාර්ලිමේන්තුවේ සෙල්ලම් දාලා පාරට බහිද්දී මේ රටේ කළගුණ දන්න දේශප්‍රේමී මහ ජනතාව ඔබේ මුහුණට කෙල ගසනු ඇත. ඔබේ මේ ව්‍යාපෘතියත් අසාර්ථක වෑයමක් ලෙසට ඉතිහාසයට එක්වෙනු ඇත.

ඔබ දෙදෙනාගේ මේ බල තණ්හාවට සහාය දීමට සිටින අනෙක් සියළු දෙනාට මම එක් දෙයක් පමණක් මතක් කරන්නට කැමතිය.

"ජනතාව අවදියෙන්.. ඇමතිකම් තාවකාලික බව ඔබ අප දනී. මහින්ද අත හැර රනිල්, සජිත්, අනුර, සම්පන්දන්, රිෂාඩ්, හකීම්, පාඨලී වැන්නවුන් සමඟ ඔබට එක පෙළට සිට ගත හැකිය. අවුරුදු දෙකක් ඇමතිකම් දරන්නට ඇති කෑදර කමට, රාජිත ලබා දෙන වරප්‍රසාද වලට තිබෙන කෑදරකමට, විජේදාස රාජපක්ෂලා ඔබේ සුලු පක්ෂවලට දෙන ලංසු වලට එකඟ වන්නට ඔබට හැකිය. මතක තියා ගත යුතු වන්නේ මහින්ද රාජපක්ෂට පිටු පෑ චරිත වලට පසුගිය ඡන්දයේදී අත් වූ ඉරණම පමණි.. විමල් උදය සමඟ වැලලෙනවාද, රටක ජනතාවක් සමඟ ඉදිරියට යනවාද යන්න ඔබේ තීරණයකි."

විමල්ට, උදයට ඉහත කරුණු නොතේරුණා නම් පහත උදාහරණ කියවා තේරුම් ගනු ඇති.

1. පංසලේ ඝණ්ඨාරේ තිබෙන්නේ හදිසියකදී හදිසියකදී මිනිසුන් කැඳවීමට විනා මල් පහන් පූජා කරමින් ප්‍රාර්ථනා ඉටුවීමට භාර හාර වීමට නොවේ.

2. නිවසක බ යනු අල් ලයනු ලෙක් ඇති කරන්නේ බිරීමට මිස ගෘහ මූලිකත්වය ලබා දීමට නොවේ.

3. වත්ත වැඩ කරන්න ගත්ත එකා, වැටෙන් එලියට ගොස් ගල් ගැසුවා කියා වත්තේ අයිතිකාරයා එලියට බහින්නේ නැත. (ඕනනම් ටිකක් ඈත කොහෙට හරි ගිහින් එනකන්, මෙන්න මේක ටිකක් බලාගෙන හිටපං කියන්නට පුලුවන)

ස්තූතියි

මම

අභීත එදිරිසිංහ

ප.ලි. මීට වඩා සැරට පොලිස් පැමිණිලි, වාහන අංක, නිවාසවල ලිපින, දුරකථන හඬපට එක්ක නැවත ලිපි ලියන්න මට අවස්ථාව දෙන එක නොදෙන එක ඔබට භාර කරමින් නවතිමි.

Sunday, April 24, 2022

අරගල කරුවනි, පපුවට අත තියලා කියන්නේ.. දැන් ගෙදර පලයන් මචන්....




මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන් තමන්ට අනන්‍ය වූ දේශපාලනයක නිරත විය යුතු බව මම දැඩිව විශ්වාස කරන දෙයක්. නමුත් සටන් කර ජය ගැනීමට අවශ්‍ය දෙයක්, විහිළුවක් වී මියැදෙනවාට වඩා, එය අප සැම දෙනාගේ මාතෲ භූමිය අවුලෙන් අවුලට පත් වෙන අරගලයක් බවට පත් වෙනවා නම්, එය නවතා දැමීම සෑම දෙනාම සතු වගකීමකි. මම ආණ්ඩුව පාර්ශ්වයේ බව සැබෑවකි. මෙය කියවන ඔබද, ඔබට අනන්‍ය වූ දේශපාලන මතවාදයක ඇති. එය යම් පක්ෂයකට හිතැති සේ වගේම නිදහස් චින්තකයෙක් ලෙස දේශපාලනයක නියැලෙන්නෙක්ද විය හැක. එම මතවාදය ඔබේද මගේද අයිතිය සේම එය අභියෝගයට ලක් කරන්නට අයිතියක් නොමැත.


දැන් මචන් ගෙදර පලයන්... මේ මගේ අදහසයි. අර ගල වලට ආදරය කරන ඇයි මම මෙහෙම කියන්නේ.. මේ පහලින් තියෙන්නෙ හේතු...

රට තවත් අගාධයට ඇදගෙන යන්න එපා මචං...

ඔයාලාගෙ අරගලය පිට දාලා සමහරු විදෙස් ශ්‍රමිකයන්ට මේ රටට සල්ලි එවන්න එපා කියනවා.. ලංකාවට සංචාරකයෝ එන ප්‍රධාන රටවල් තමන්ගෙ පුරවැසියන්ට ලංකාවට යන්න එපා කලබලකාරී රටක් කියලා ලේබල් ගහනවා.. බංකොලොත් දේශපාලන පක්ෂ ඔයාලාගෙ පිටින් දාලා කලහකාරී අරගල සංවිධානය කරනවා.. පොදු දේපල විනාශ කරනවා.. පාරවල් ටයර් පුච්චලා විනාශ කරනවා.. පාරවල් වහලා ජන ජීවිත අවුල් කරනවා.. ප්‍රවාහනයට බාධා කරලා රටේ සැපයුම් ජාලා වලට බාධා කරනවා. මේ වෙලාවේ උඹලා පාරට බැස්සෙ රටේ අවුලක් තියෙනවා කියලා.. දැන් උඹලාගෙ අර ගලේ නිසා රට අවුලෙන් අවුලට පත් වෙනවා.. අර ගලය නිසා රට තවත් පහලට වැටෙනවා නම් ඒ අර ගලය කුමක් සඳහාද?

අරගලයට විසඳුමක් තියෙනවාද?

උඹලා Gota Go Home කියනවා.. Go Home Gota කියනවා.. ගෝඨා ගෙදර හිටියේ මචං.. දැන් ඉන්නේ ජනාධිපති මන්දිරයේ.. උඹලාගෙ අර ගලෙන් වුන එක දෙයක් තමයි ගෙදර හිටපු ගෝඨා ජනාධිපති මන්දිරේට ආපු එක. හරි හරි උඹලා අදහස් කරන්නෙ ගෝඨා බලය අත හරියි කියන එකනේ මචං.. ඒක වෙන්නෙ නෑ කියන එක තව දුරටත් පැහැදිලියි.. ඉතින් උඹලාට තව අවුරුදු දෙක හමාරක් විතර ඔහොමම ඉන්න වෙනවා...

විසඳුම් හිතුවක්කාර විදිහට ලබා ගන්න බෑ මචං.. පුංචි කාලේ අම්මාගෙන් සෙල්ලම් බඩුවක් ඉල්ලලා දුන්නෙ නැති උනාම මහ පාරේ ඉදගෙන අඬලා සෙල්ලම් බඩුව ගන්නවා වගේ අර ගල වලට විසඳුම් ගන්න බෑ මචං.. මහින්ද රාජපක්ෂ සාකච්ඡාවකට එන්න කිව්වා.. උඹලා ගියේ නෑ.. උඹලා ඒකට එක එක හේතු කිව්වා.. අන්තිමට ඊයේ මහින්ද රාජපක්ෂ කියනවා..

"සාකච්ඡා වලට එන්නෙ නැත්නම් අර ගලය ඔහොමම ගියාවේ"

ඒ තමයි සෘජු ප්‍රකාශ.. අපි ඔක්කොම නායකයෝ, සාකච්ඡා කරන්න අපි යන්නෙ නෑ.. ඕනනම් මෙතන්ට එන්න වගේ උඹලා කියපු දාහක් ප්‍රකාශ වලට රාජ්‍ය නායකයෙක් දුන්න පිළිතුර.  "ඕනනම් ඇවිත් කතා කරලා ප්‍රශ්ණෙ විසදාගනින්, නැත්නම් ඔන්න ඔහෙ ඔතන්ට වෙලා ඉදපන්.. " ඕක තමයි මහින්දගේ ප්‍රකාශයේ සාරාංශය. අර ගල යක් ඒ වගේ ගණන් නොගන්න, තුට්ටුවට දාන තත්ත්වෙට පත්වෙන එක අර ගලයට පෙම් බඳින අපි වගේ මිනිස්සුන්ටත් දුකක් මචං...

ඒ නිසා ඔය විදිහට අර ගලවලට විසඳුම් ගන්න බෑ.. උඹලා අර ගලේ කරන්නෙ කොළඹ. කොළඹ කියන්නේ ආණ්ඩු විරෝධී තෝතැන්නක්.. 2019 අන්තිම අවාසි දායක තත්ත්වයක් යටතෙත් ගෝඨා විරෝධී සියළුම බලවේග කොළඹින් ගත්තේ ඡන්ද 640,464යි.. උඹලාගෙ අරගලේට එන්නේ 6000ක වගේ පිරිසක්.. ඒකෙනුත් 1%යි.. ඒ බන් ජේවීපී එකට ඔයිට වඩා ඡන්දෙත් දුන්නා.. දැන් "කොළඹ විතරක් නෙවෙයි රටෙන්ම එනවා" කියන්න එපා.. එතකොට මේක 1%ටත් අඩුවෙනවා.. ඉතින් මේ 1%කටත් අඩු කුලකයක් පාරේ ඉදගෙන හිටියා කියලා, රටේ නායකයාට බලයෙන් ඉවත් වෙන්න පිස්සුවක් තියෙනවාද මචං... එහෙම නෑ මචං...

මේ නාස්තිය ජාතික අපරාධයක් මචං...

දවස් පහලොවක් මිනිස්සුන්ට කෑම.. වතුර බෝතල්, විදුලියට ඉන්ධන, කෑම්පින් ටෙන්ට්ස් වලට වියදම, උඹලාගෙ පැවැත්මට වියදම මේ හැම එකකම වියදම බලහං.. මේ වෙද්දි කොච්චර වියදමක්ද? මේකේ ලොක්කන්ට පිටරටවලින් එන ඩොලර් උඹලාට එන්නෙ නෑ.. යන්තම් හරි උඹලාගෙ අර ගලේ නිසා රටට වෙන වාසියකට තියෙන්නෙ ඒ ඩොලර් ටික. උඹලා ඔය අර ගලේ අත ඇරියත් නැතත් දැන් ආණ්ඩුව පෙරලන්න ඒ ඩොලර් ටික රටට එනවා.. රටේ මිනිස්සුන්ට තියෙනවා කියලා උඹලා කියපු ගෑස් ප්‍රශ්ණ, ඉන්ධන ප්‍රශ්ණ, කෑම ප්‍රශ්ණ, විදුලිය ප්‍රශ්ණ අරගල බිමට තිබ්බේ නෑ මචං.. උඹලාට තිබ්බ උනන්දුවට උඹලා ඒවා විසඳාගත්තා.. රටේ මිනිස්සුත් එහෙමයි.. උනන්දුව තියෙන මිනිහා විකල්ප හොයා ගත්තා.. බැරි එකා බෙරිහන් දුන්නා..

ඉතින් මේ මිනිස්සුන්ගේ කාලය මිල මුදල් තව දුරටත් නාස්ති කරන එක අත ඇරපන් මචං.. මේ කාගෙ වුනත් සල්ලි නිකරුණේ නාස්ති කරන්නේ..උන් අමාරුවෙන් හම්බ කරනවා.. උඹලා ෆේස්බුක් එකේ කෑම නෑ, වතුර නෑ කිය කිය පෝස්ට් දාලා ඒ මිනිස්සුන්ගේ දත ගලවනවා.. උඹලාම මිනිස්සුන්ට කන්න නෑ, බොන්න නෑ කිය කිය බෙරිහන් දිදී, ඒ මිනිස්සුන්ගෙන්ම කනවා බොනවා..

අන්තිමේ ගෝඨා ගෙදර ගිහිල්ලාත් නෑ.. මිනිස්සුන්ගේ සල්ලි, කාලය ඔක්කොම නාස්තිත් වෙලා.. උඹලාම හිතපල්ලා..

දැන් ලස්සනට රැවටුනා ඇති  මචං...

උඹලාගෙ අරගලේ මාර ලස්සනයි මචං.. විශේෂයෙන් ප්‍රොජෙක්ටර් එකෙන් ගහපු ෆ්ලෑශ් වර්ක්ස් ටික, ජෙහාන් කුරුසෙ කරේ තියන් ආපු එක, කළණගෙ ක්‍රියා පටිපාටිය, ඒවා මාර ක්‍රියේටිව් මචං.. ඒක දැක්කාම අරගල භූමියේ ඉන්න උඹලාට මාර කික් එකක් එනවා මචන්.. එතන ඉන්න මිනිස්සුන්ගෙ හැකියාවෙන් මේ අරගලේ මාර ලස්සන වෙනවා.. ඒ ලස්සන අපිත් විඳිනවා මචන්.. හැබැයි ඒ ක්‍රියේටිවිටි එකෙන් උඹලාට හෙන ලස්සනක් ආවාට, රෑට රෑට මිනිස්සු දාහක දෙදාහක සද්දෙන් උඹලාගෙ ඇඟේ හිරිගඩු පිපුනාට, ගෝඨා ගෙදර යන්නෙ නෑ මචන්.. මේ හැකියාවෙන් පරිපූර්ණ අති දක්ෂ මිනිස්සුන්ගේ ඒ තියෙන ප්‍රතිභාවයන්, අමු අමුවේ හෑල්ලු වෙලා, පට්ට පජාත වෙලා ඒ මිනිස්සුන්ගේ ක්‍රෙඩිබිලිටිය බලු නොවටින ගාණට වැටුනාම, ඒකට කවුද වග කියන්නෙ මචන්.. ඒ ප්‍රශ්ණේ උඹලා උඹලාගෙන්ම අහපල්ලා...

ඒ නිසා ලස්සනට, නිර්මාණශීලීත්වයට රැවටිලා ගෝඨා ගෙදර යන ෆැන්ටසියේ උඹත් ඉන්නවානම්, ඒක රියැලිටියක් වෙනකන් ගෝල්ෆේස් එකේ ඔහොමම ඉදගෙන හිටපං මචං...

බොර දියේ මාළු බාන්න තව දීලා, උඹලාගෙ අරමුණ නන්නත්තාර කරගන්නවාද?

උඹලා ආවේ #GoHomeGota කියාගෙන.. ඉදලා හිටලා 225ත් එපා කිව්වා.. දැන් මචන් ඒවා සටන් පාඨ වලට විතරක් සීමා වෙලා.. දෙමලෙන් ජාතික ගීය ගායනා කරන්න, ගංජා නීතිගත කරන්න, සමලිංගික අයිතිවාසිකම් ඉල්ලගන්න, ප්‍රභාකරන් මැරුනේ යුද්ධෙන් නෙවෙයි කියන්න, උතුරට ස්වයං පාලනේ ඉල්ලන්න,  මේ වගේ අමුතු අමුතු ඒවාත් අරගල බිමට ඇවිත්. මේ ලියන මමත් මේ සමහර ඒවාට එකඟයි.. හැබැයි උඹලාගෙ Go Home Gota තේමාව එක්ක මේවා තියන්න, එක්කො අරගලේ සංවිධානය කරන උන්ට පිස්සු වෙන්න ඕන.. නැත්නම් මේවා අරගලේට ගේන උන්ට පිස්සු වෙන්න ඕනා.. නැත්නම් මේවා දැක දැක අරගලේට යන උන්ට පිස්සු වෙන්න ඕනා...

ඉතින් මචං, දැන් ඇති නේද?

මේ ඔක්කොම කියෙව්වාමත් උඹලාට තේරෙන්නෙ නැත්නම්, උඹලා ඔහොම නෙවේ, සරම් ඇඳන් ඔලුවෙන් හිටං ගෝල්ෆේස් එකේ හිටියාත් උඹලා ඔය අරගලේ පටන් ගත්ත පළමු අරමුණ සිද්ධ වෙන්නෙ නෑ කියන එක, තව දුරටත් මොනවා ලියන්නද? ඒ වෙනුවට අරගලේ පවත්වාගෙන යන්න එදිනෙදාට බිහිවෙන හතු මොඩ්ල් එකේ සංකල්ප එක්ක ජීවත් වෙනවා කියන එක උඹලාට තේරුම් යන්නෙ නැතිවෙයි. ඒත් කමක් නෑ.. අපි ලිව්වා.. අපි ගියා...

අරගලකරුවා සමච්ඡලයට ගැනීම සිය දිවි නසා ගැනීමක් මචං, ඒ නිසා උඹලා ඕක නවත්තලා ගෙදර ගියා කියලා අපි උඹලාට හිනාවෙන්නෙ, සමච්ඡලයට ගන්නෙ නෑ මචං.. උඹලාට දැන් තියෙන ලොකුම ප්‍රශ්ණෙත් ඒක කියලා අපි දන්නවා...

ඒක ප්‍රශ්ණයක් කර ගන්න එපා මචං....

අරගලයට ජයවේවා....!

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...