Thursday, August 4, 2022

යාපනයේ තයානි, අරගල කරුවන්ගෙන් අහපු සංවේදී ප්‍රශ්ණය..

 



මගේ කතාව......


අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු සමාජයටම මේක කියන්න ඕනේ කියලා මම හිතාගෙන හිටියේ. 

අවුරුදු තිස් දෙකක් තිස්සේ අපේ කටවල් වහලා ඇස් බැඳලා අත් දෙක ගැටගහලා තිබ්බා වගේ තමයි අපි යාපනයේ ජීවත් වුණේ. 2009 යුද්ධය නිමාවත් සමග තමයි නීතියෙන් සහනයක් නොලැබුත් අඩුම තරමේ මේක ගැන එළියට කියන්න පුළුවන්, කතා කරන්න පුළුවන් අවස්ථාවක් ලැබුණේ. ඒ අසාධාරණය ගැන එළියට කතා කරන්න පුළුවන් අවස්ථාව අපට නිර්මාණය කරල දීපු එකට මම ශ්‍රී ලංකා රජයට අත් දෙක උස්සල වැඳලා ස්තුතිය පළකරනවා. මොකද කොටි ත්‍රස්තවාදීන්ගෙන් මේ රට නිදහස් කිරගැනීමත් එක්ක තමයි අපිට සිදුවුණ අසාධාරණය ගැන එලිපිට කතා කරන්න අවස්ථාව ලැබුනේ. 


මගේ තාත්තා සෙල්ලන් තංගතුරෙයි යාපනයේ සිට කන්කසන්තුරේ දක්වා දුවපු බස් රථයක රියදුරෙක්. මගේ අම්මාගේ නම වික්ටෝරියා. මම තමයි අපේ පවුලේ පළමුවෙනි දරුවා. ඒ කියන්නේ වැඩිමල් දරුවා. 1990 වසර වන විට මට වයස අවුරුදු පහයි. ඊලග නංගිට වයස අවුරුදු තුනයි. නංගිට පස්සේ අවුරුදු එකක මල්ලි කෙනෙකුයි තව අන්තිම මල්ලි අම්මාට ලැබිලා දවස් 53 යි.  මේක තමයි අපේ ලස්සන චූටි පවුල.


1990 පෙබරවාරි මස 20 වෙනිදා තමයි අපි අපේ තාත්තත් එක්ක අපි සෙල්ලම් කරපු, එයා අපිව හුරතල් කරපු, අපි එයාගේ උණුසුම ලබපු අන්තිම දවස. එදා රාත්‍රී 11 ත් 12 ත් අතර වෙලාවක අපේ නිවසේ දොරට කවුරුන් හෝ තට්ටු කළා. "තංගතුරෙයි තංගතුරෙයි" කවුරුහරි සද්දෙට අපේ තාත්තට එළියේ ඉදන් කතා කළා. ඒ සද්දෙට අපේ අම්මත් තාත්තත් දෙන්නම දොර ඇරගෙන එලියට ගියා. ගිහින් කවුද කියලා බලන්න ඇති. "මම තමයි නාදන්" ඔහු කිව්වා. 

ඒ අපේම ගමේ අපි හඳුනන කෙනෙක්. ඔහුත් එක්ක තව දෙන්නෙක් ඇවිත් හිටියා ඒ නාදන් කියන ගමේ පුද්ගලයා අනිත් දෙන්නව පෙන්නලා කිව්වා "මේ අය කොටි සංවිධානයේ අය, ඔයාව විමර්ශණය කරන්න ඕනලු' ඒ නිසා ඔයාගේ ගේ බලන්න ඕන කියලා මට කිව්වා ඒක නිසා මම මේ අයව එක්කගෙන ආවා" කියලා.


ඒ ආපු දෙන්නා ඒ වෙලාවේ අපේ තාත්තාව ඔවුන්ගේ කදවුරකට එක්කගෙන යන්න ඕන කියලා කිව්වා. මේ රෑ වෙලාවේ පවුලේ අයව තනියම දාල එන්න බෑ කියලා අපේ තාත්තා කිව්වා. ඒ නිසා මම උදේට එන්නම් කියලා කිව්වා. "එහෙම බෑ දැන්ම එන්න ඕන" කියලා ඒ කොටි සාමාජිකයන් දෙදෙනා තාත්තාව බලෙන් වගේ ඇදගෙන ගියා. එලියේ ඔවුන් ආපු වාහනයක් තිබ්බා. ඒකෙත් තව කීප දෙනෙක් හිටියා. ඒ අය බලෙන්ම අපේ තාත්තව පැහැරගෙන ගියා. ඊට පහුවෙනිදා 21 උදේ එළිඋණා. එදා රෑ අපේ ගමේ විතරක් 9 දෙනෙක්ව කොටි සංවිධානයෙන් පැහැරගෙන ගිහින් කියලා අපි දැනගත්තා. එල්.ටී.ටී.ඊ සංවිදානයේ චුන්නාකම් ප්‍රදේශයේ කදුරුගොඩ පිහිටි ඔවුන්ගේ කදවුරට ඒ පවුල් 9 යේම පිරිස සමග අපි උදේම ගියා. 


මේ කියන කදවුරේ සලීම් ශිවා කියන නමින් හදුන්වන පුද්ගලයෙක් තමයි කොමාන්ඩර් ලෙස හිටියේ.

අපේ අම්මාත් අනෙක් පවුල්වල අම්මලා, බිරින්දෑවරු, සහෝදර සහෝදරියෝ වගේ ඇවිත් හිටපු පිරිස මේ සලීම් ශිවාගේ කකුල් අල්ලලා වැද වැද කෑගහලා ඇඩුවා. පොඩි ළමයි ඇඩුවාම ඔහුගේ හිත උණු වෙයි කියලා හිතලා අපේ අම්මා මටත් එතන හිටපු අනිත් පොඩි අයටත් කිව්වා සලීම් ශිවාගේ කකුල් අල්ලා අඩන්න කියලා. මම ඉතින් "සලීම් මාමේ අපේ තාත්තා අපිට දෙන්නකෝ" කියලා කකුල් බදාගෙන ඇඩුවා. අනෙක් ලමයිනුත් ඇඩුවා. ඒත් ඒ හිත උණු උනේ නෑ. ඔහු ගනන්ගත්තේවත් නෑ. ඒ කදවුරේ අපේ ගමෙන් ගෙනාපු 9 දෙනත් තව පැති වලින් ගෙනාපු අයත් හිර කූඩුවක දාලා තිබුණා.


තාත්තව බලන්න අපිට ඉඩ දුන්නා. තාත්තා මගේ අත කම්බි කූරු අතරින් ඇතුලට අරන් ඉම්ඹා. තාත්තා අම්මට කතා කරලා කිව්වා ගමේ අපිට හිතවත් කොටින්ව හදුනන අය හමුවෙලා ඒ අයගෙන් උදව් ඉල්ලන්න කියලා, නම් කිහිපයක් කිව්වා. ඒ අය සමහර විට අපිට උදව් කරයි කියලා තාත්තා කිව්වා. අනිත් දවසේ උදේත් අපි ඒ කදවුරට ගියා. ඒ වෙලාවේ තාත්තගේ සාක්කුවේ තිබ්බ බඩු කියලා තාත්තගේ ලයිසන් එකයි රුපියල් 36 කුයි ඒ කදවුරෙන් අපේ අම්මට දුන්නා. 


තාත්තව විමර්ශණය කරන්න ඕනෙ කියලා මුලතිව් තුනුක්කායි ප්‍රදේශයේ තිබ්බ කොටි කදවුරකට යැව්වා කියලා සලීම් කියන පුද්ගලයා කිව්වා. තුනුක්කායි කියන්නේ කොටි ත්‍රස්ථවාදීන්ගේ වදකාගාරයක්. වචනවලින් කියන්න බැරි කම්පාවෙන් අපි ගෙදර ආවා. යාපනයේ ඉන්න හැමෝම දන්න පරිදි තුනුකායි කදවුරට ගිය කෙනෙක් ආපහු ඇවිල්ලා නෑ.  එදා ඉදලා යාපනයේ තියන හැම කොටි කදවුරකටම අපිවත් එක්කගෙන අපේ අම්මා ගියා. රතුකුරුස සංවිධානය, මානව හිමිකම් සංවිධාන හැම එකකටම අපේ අම්මා ගියා. අපේ තාත්තව බේරගන්න පුළුවන් කියලා අපේ අම්මා හිතපු හැම තැනකටම ගියා. 


දවස් යන්න යන්න අපේ අම්මට කිසිම ආදායම් මාර්ගයක් නැතුව අපි හතර දෙනෙක්ට කන්න දෙන්නවත් බැරුව ගියා. ඊට පස්සේ දවසක යාපනය් කොටි කාර්‍යාලයකට ගිය අම්මා "එක්කෝ මගේ මහත්තයාව දෙන්න නැත්තම් අපිට නොකා නොබී මැරෙන්න වෙන්නේ" කියලා කිව්වා. ඊට පස්සේ ඔවුන් අපේ අම්මගෙන් ගෙදර තත්වය ගැන ලියුමක් ලියලා දෙන්න කිව්වා. ඊට පස්සේ දිනක කොටි සාමාජිකාවක් අපේ නිවසට ඇවිත් අපිට පොත්පත් ගෙනල්ලා දුන්නා, ඇදුම් ගෙනල්ලා දුන්නා. ඒ අම්මා ලියුමේ පාසල් යන දරුවෙක් ඉන්නවා කියලා ලියලා තිබුන නිසා වෙන්න ඇති' ඒ අය අපේ අම්මාට යෝජනා කලේ ආදායම් මාර්ගයක් නැතුව ලමයි බලාගන්න බැරිනම් සෙන්චෝලෙයි ප්‍රදේශයේ තියන ළමා පරිවාස මධ්‍යස්ථානයට අපිව බාරදෙන්න කියලා. අම්මාට සංවිධානයට බැදෙන්න කිව්වා. අපේ අම්මා ඒ යෝජනා දෙකම ප්‍රතික්ෂේප කළා. එහෙනම් ස්වාමියා නැති පවුල් වලට රුපියල් දෙසීයක් මාසෙකට දෙනවා ඒක ඇවිත් ගන්න කියලා අපේ අම්මාට ඔවුන් කිව්වා. ඒ මාසෙ ඉදන් ඒ රුපියල් දෙසීය ගන්න හැම මාසෙම මාවත් එක්කගෙන අම්මා කොටි කාර්‍යාලයට යනවා. 


අපි වගේම ඒ රුපියල් දෙසීය ගන්න කොටි ත්‍රස්ථවාදීන් විසින් තාත්තලාව පැහැරගත් ගොඩක් පවුල්වල කට්ටිය එතනට එනවා. එතකොට මට සුභාෂිනී හා සුමාජිනී කියලා මගේ වයෙසෙම අවුරුදු හයේ විතර යාළුවෝ දෙක්කෙන් හමු උනා. ඒ දෙන්නාගේ තාත්තලාවත් කොටි ත්‍රස්ථවාදීන් පැහැරගෙන ඝාතනය කරලා තිබුනා. ඒ රුපියල් දෙසීය වෙනුවෙන් කොටින්ගේ ලොකු රැස්වීම් වලට බස් වලින් අපිව එක්කන් යනවා. ඒවට අපි යන්නම ඕන. තාත්තව පෙන්නනවා කියලා තමයි පොඩි අපිව එක්කගෙන යන්නේ. හැබැයි තාත්තවනම් කවදාවත් දැක්කේ නෑ. ඒ ගිහින් එනකොට අපිට බත් පාර්සලයක් දෙනවා. මේ කාලයේ අපේ අම්මාගේ වයස 29 යි. ස්වාමියෙක් නැති තරුණ කාන්තාවක් කුඩා දරුවන් හතර දෙනෙක් එක්ක මේ වගේ සමාජයක ජීවත් වෙන්න කොහොම සටනක් දෙන්න ඕනද කියලා හිතලා බලන්න. අද මට හිතෙන්නේ අපේ අම්මා යකඩ ගැහැණියෙක්! 


අපේ අම්මා කුඹුරු වැඩ සදහා යන්න පටන්ගත්තා. ගෙවල්වල වැඩට ගියා. ඒවාගේ ඉතුරුවෙන කෑම පාර්සල් කරගෙන අපිට අරන් ආවා. ඒ වගේම තාත්තා නැති අපිට අපේ ඇති හැකි නෑදෑයෝ කවුරුත් උදව් කලේ නෑ. අම්මා වැඩට යද්දී තනියම හිටපු අපිව බලාගන්න කියපු නෑදෑ හිතවතුන් අතින් අපි හින්සාවට පීඩාවට දූෂණයට ලක් උනා. අනිත් සහෝදරයෝ ගොඩක් පොඩි නිසා ඒ හැම පීඩාවක්ම ලොකු ගෑණු දරුවා විදියට මම තනියම දරාගත්තා. අද වෙනකල් මගේ ලමා කාලය මගේ තාත්තා නැති උනාට පස්සේ ගෙවපු කටුක ජීවිතය ගැන කතා කරන්නවත් මට අවස්ථාවක් ලැබුනේ නෑ. ඒ කාලය මගේ ජීවිතයේ අදුරුතම කාලයක්.


අපේ තාත්තව පැහැරගෙන ගිහින් අවුරුදු තුනකට පස්සේ 1993 ඔක්තෝබර් මාසයේ මම පාසල් ගිහින් ඇවිත් ඉන්නකොට කාර් එකක කොටි සාමාජිකයන් හතර දෙනෙක් ඇවිත් ෆයිල් එකක් දීලා අපේ තාත්තව ආයුධ ප්‍රවාහනය කිරීම, කොටින්ට විරුද්ධ කණඩායමකට සහයෝගය දීම, ඔත්තු බැලීම කියන චෝදනා වලට වරදකරු නිසා කොටි නායකයාගේ නියෝගයෙන් තාත්තාට මරණ දඩුවම දුන්නා කියලා කිව්වා. 


අපේ අම්මා කෑගහෙන ගෙදට තිබ්බ පුටු වලින් ඒ ආපු අයට ගැහුවා. ඔවුන් එහෙම කිව්වාට අපේ තාත්තාට මොකද උනේ කියලා හරියට දැනගන්න අපිට ක්‍රමයක් තිබුනේ නෑ. එදා තමයි අපේ තාත්තව මැරුවා කියල අපි දැනගත්තේ. 


1993 අපේ තාත්තා මැරුවා කියලා කොටි ඇවිත් කියද්දී මගේ වයස අවුරුදු නවයක් වගේ. 


ඊට මෑත කාලයේ 2021 දී උතුර දකුණ යා කිරීම සදහා "එකමුතුවේ පාගමන" ලෙස මාතර ඉදන් යාපනය වෙනකල් පාගමනක් යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය සංවිධානය කරලා තිබුනා ඒකට මමත් සහභාගී උනා. ඒ වෙනුවෙන් කොළඹ පැවති මාධ්‍ය සාකච්ජාවේදී මගේ තාත්තව කොටි පැහැරගෙන අතුරුදහන් කරපු සිද්දිය ගැන මම මාධ්‍යට කිව්වා. ඒ පාගමනට ආපු අපේ අල්ලපු ගමේ එක්කෙනෙක් ඒ කතාව අහලා ඒ මාධ්‍ය සාකච්ජාව ඉවර වෙලා මාත් සමග කතා කළා. එයා අපේ තාත්තත් එක්ක එකට හිර ගෙදර ඉදලා තියනවා. එයාවත් කොටි පැහැරගෙන. ඔහු එතනින් වාසනාවකට බේරිලා ආවත් අදටත් ඔහු එහිදී දුටු දහස් ගනනක් ඝාතන නිසා ඉන්නේ මානසික පීඩනයෙන්. ඒ කදවුරට මස් කඩය කියලාලු කියන්නේ. මේ වදකාගාර ගැන ජාත්‍යාන්තර මානව හිමිකම් සංවිධාන වල වාර්තාවල සදහන් වෙලා තියනවාදැයි මම දන්නේ නෑ. පස්සෙ මම දැනගත්තා තුනුක්කායි, වට්ටුවාකායි, වල්ලිපුරම් මේ තැන් තුනේම කොටි වදකාගාර තිබිලා තියනවා. ඒ වදකාගාරවල තොරතුරු වෙනම පොතක ලියන්න පුළුවන්. මේ මට මුනගැසුනු අයියගේ සහෝදරයෝ තුන්දෙනෙක් ඝාතනය කරපු නිසා මොහුව නිදහස් කරලා. ඒ දිනයේ මගේ තාත්තා ඇතුළු සීයක පමණ පිරිසක් මරා මාර්ගය අයිනක ටයර් දමා පිළිස්සූ බව ඔහු මට කිව්වා. ඒ අයියාටත් කොටි දුන් වදබන්දන නිසා ඔහු කිසිදු වැඩක් කල නොහැකි පුද්ගලයෙකු වෙලා. ඔහුගේ වකුගඩු දෙකම වැඩ කරන්නේ නෑ. 


මට මෙතනදී අහන්න ප්‍රශ්ණයක් තියනවා. කොටි පොලීසි, කොටි උසාවි පවත්වාගෙන බොරු ආණ්ඩුවක් පවතවාගෙන ගිය මේ අය අපේ තාත්තා වරදක් කලානම් ඒ උසාවියට දාලා චෝදනාවලට සාක්ෂි පෙන්නලා අපේ තාත්තට දඩුවම් නොකලේ ඇයි. වදකාගාරවල මරා දැම්මේ ඇයි. කොටි සංවිධානය දෙමළ ජනතාව වෙනුවෙන් සටන් කරපු අය නොවේ. ඔවුන් මිනීමරුවන් පමණයි. ශ්‍රී ලංකා රජය විසින් අතුරුදන් කරපු අයට සාධාරණයක් ඕනේ කියලා ජිනීවා ගිහින් කෑගහන පුද්ගල‍යන් නෙවෙයි ජිනීවා යන්න ඕන අපියි. අපි තමයි ඇත්තටම ජිනීවා යන්න ඕන අය. කොටි සංවිධානයෙන් පැහැරගෙන ගිය අතුරුදන් කල අයගේ බිරින්දෑවරු, මව්වරු, දරුවන් වගේම සහෝදරයන් දහස් ගනනක් මානසික ලෙඩුන් ලෙස උතුරේ ජීවත් වෙනවා. මම ඒ අයව හොයාගෙන අද වෙනකල් ඔවුන් සමග ඉන්නවා. මම ඒ වෙනුවෙන් "යාපනයේ කාන්තා පෙරමුණ" නමින් සංවිධානයක් පිහිටෙව්වා. ඒකේ සක්‍රීය සාමාජිකයන් ගනන පමණක් 3000කට වැඩී. ඒ හැම දෙනාම කොටි පැහැරගෙන ගිය පවුල්වල අය. මීටත් වඩා පිරිසක් සමජයෙන් වහන් වෙලා ඉන්නවා. ඒ අහගේ හඩ මෙතෙක් කල් කොටි තුවක්කුවට යටවෙලා තිබුනේ. මේ අය ජිනීවා ගියානම් ජිනීවා ගොඩනැගිලිවල ඉඩ මදි වෙනවා කියලානම් මම දන්නවා. 1990 අපේ තාත්තව කොටි පැහැරගෙන ගිහිල්ලා පස්සේ 1993 මරණ දඩුවම දුන්නා කියන දවස වෙනකල් අපේ අම්මා මානව හිමිකම් සංවිධාන වලට ගියා. හැම තැනටම ගියා නමුත් සාධාරණයක් උනේ නෑ. ඒ දුෂ්කර කාලයේ අපේ අම්මා හදපු වඩේ කඩයප්පන් පුංචි මගේ අතේ කඩවල් වලට යැව්වා. එතකොට මට අවුරුදු හතක් අටක් විතර ඇති. ඒ කාලයේ අපේ ගමේ තිබුනා පවුල් විශාල පිරිසක් හිටපු අවතැන් කදවුරක්, ඒකට ගිහින් මම ඒවා විකුණගෙන ඇවිල්ලා ඒ සල්ලි වලින් තමයි අපි පස් දෙනාම ජීවත් උනේ. 


ලගදී මගේ පාසලේ යාලුවෙක් හම්බවෙලා මම වඩේ විකුණපු කතාව කියලා එයා ඇඩුවා. කවුරුහරි මේ වගේ ජීවිතයක් ගතකලොත් විතරයි අපේ වේදනාව ඒ අයට දැනෙන්නේ. මගේ පණ යනකල් කොටි අපිට කරපු විනාශය 

ඒ මගේ චූටි පවුල විනාශ කරපු විදිය මගේ මනසෙන් යන්නේ නෑ. මම මගේ මරණය දක්වා කොටින්ට විරුද්ධයි. ඒකේ වෙනසක් නෑ.


මට අවසාන වශයෙන් කියන්න දෙයක් තියනවා. මම දැක්කා ගෝල්ෆේස් අරගලකරුවන් කියන අය මේ පහල පින්තූරයේ ඉන්න කොටි සාමාජිකාව ගැන ගොඩක් දුක් වෙලා කවි පවා ලියලා තියනවා. මේ පින්තූරයේ ඉන්නේ කොටි සංවිධානයේ මාධ්‍ය අංශයේ හිටපු, ආයුධ පුහුණුව ලබපු ඒ සංවිධානයේ ලුතිනන් කර්නල් කෙනෙක් මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් කෙනෙක්. මේ කාන්තාව බලහත්කාරයෙන් සංවිධානයට බදවාගත් කෙනෙක් නොවේ. රටවල් 35 කට වඩා මිලේච්ජ ත්‍රස්ථවාදී සංවිධානයක් ලෙස තහනම් කල කොටි සංවිධානයට මේ කාන්තාව තම කැමැත්තෙන්ම  එක්වුනා. 2007 දී කොටි සංවිධානයේම නායකයෙක් එක්ක විවාහ වෙලා දරුවෙක් ලබලා සතුටින් ජීවත් උනා. 2009 යුද්ධයේ අවසන් කාලයේ මේ ත්‍රස්ථවාදී නායිකාව මිය ගියා. ඒ මියගිය අවස්ථාවේ ජායාරූප කිහිපයක් මාධ්‍යට නිකුත් වුණා. කිසිවෙකු ඝාතනය වීම මම අනුමත නොකලත් මට මේ පින්තූරය ඔසවාගෙන යන අරගලකරුවන්ගෙන් අහන්න දෙයක් තියනවා. 


ලෝකයේ ඇති ත්‍රස්ථවාදී කල්ලිවල අල්කයිඩා, බෝකෝහරාම්, අයි එස් අයි එස් වගේ ලෝකයේ දරුණුම ත්‍රස්ථ කල්ලි වලත් මාධ්‍ය අංශයක් තියනවා. මාධ්‍ය අංශ වල හිටියා කියලා ඒ අය ත්‍රස්ථ සංවිධානයේ වගකීම් වලින් ඒ අපරාද වලින් මිදෙන්න බෑ. කොටි ත්‍රස්ථවාදීන් මගේ තාත්තා වගේ අහිංසකයන් දහස් ගනනක් උතුරේ මරලා තියනවා. දකුණෙත් අහිංසක මිනිස්සු මරලා තියනවා කැබිතිගොල්ලෑව, අරන්තලාවව, පිළියන්දල බස් බෝම්බය, කොටුව දුම්‍ රිය පළ, මඩකලපුවේ මුස්ලිම් ජනතාව වගේ. දේශපාලනය ගැන වචනයක් නොදන්න සාමාන්‍ය මිනිසුන්, කුඩා දරුවන් මරපු සංවිධානයක සාමාජිකාවක් ඇය. මට අරගලකරුවන්ගෙන් අහන්න තියෙන්නේ. ඒ කොටි කාන්තාවගේ පින්තූරය එක්ක ඇයි මගේ තාත්තගේ පින්තූරයක්, කැබිතිගොල්ලෑව බස් බෝම්බයේ පින්තූරයක්, අරන්තලාව හාමුදුරු ඝාතනයේ පින්තූරයක්, දළදා මාලිගාවට ගහපු බෝම්බයේ පින්තූරයක් අරන් ගියේ නැත්තේ? එහෙම උනානම් නේද ඒ කොටි කාන්තාවගේ පින්තූරය අරන් යන එකේ සාධාරණයක් තියෙන්නේ? උතුරේ සාමාන්‍ය ජනතාව ඇයි අරගලයට සහභාගී නොවුනේ? ඒකට හේතුව තමා ඒ...


මේ ලිපිය ලියන අද දිනය පියා නොමැතිව අනේක දුක් පීඩා මැද මා ඇතුළු සහෝදර සහෝදරියන් උස් මහත් කල යකඩ ගැහැණිය! මගේ අම්මාගේ 60 වන උපන්දිනයයි. 04.08.2022


සත්‍ය කතාව - තංගතු‍රෙයි තයානී.(සභාපති යාපනය කාන්තා පෙරමුණ)

පරිවර්ථනය - තාරුක ෆොන්සේකා.

තංගතුරෙයි තයානී ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා පල කරන ලදී.

No comments:

Post a Comment

යාපනයේ තයානි, අරගල කරුවන්ගෙන් අහපු සංවේදී ප්‍රශ්ණය..

  මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...