Saturday, August 31, 2013

කිතුල් මල මදින එකේ අන්තිම කොටස.... රාද? හකුරුද? පැණිද?

බ්ලොග් පටන් ගත්ත දා ඉඳලා බ්ලොග් පෝස්ට් දෙකක් අතරට ගතකල වැඩිම කාලය තමයි මේ.. ජූනි මාසේ මුල දාපු පෝස්ට් එකෙන් පස්සෙ අද තමයි ඊලඟ එක.. මල මදින්න පටන් ගත්තු අය ඊලඟ මල මදින්න ලැහැස්ති වෙන්න.. පෝස්ට් එක ලියන්න කලින් මට මේ අනන්මනන් මේල් වලින් කමෙන්ට් වලින් ඇයි උඹ ලියන්නේ නැත්තේ.. උඹට හිට් නෑ නේද වගේ ප්‍රශ්ණ අහන අයටත් උත්තර දෙන්න ඕන... උත්තරේ තමයි පහත පින්තූරේ තියෙන්නේ...



පේනවනේ ටෙස්ට් පෝස්ට් එකත් කී දෙනෙක් කියවලා තියෙනවද කියලා...

හරි.. දැන් යමු මල මදින එකේ ඉතුරු කොටසට... දැන් ඔයාලා මලට බෙහෙත් තියලා මුට්ටිය එල්ලන්න සියළු කටයුතු කරලා ඉවරයි.. ඔන්න එහෙනම් අද එතැන් සිට...

මුට්ටිය එල්ලා තැබීමෙන් පසු පළමු දින දෙකේ එන සාරය පාවිච්චි කරන්නේ නැහැ... ඉන් පසුව එන සාරය (තෙලිජ්ජ, ඇල්) තමයි භාවිතයට ගන්නේ.. මුට්ටියේ අඩියේ අළුහුණු තවරා එල්ලන එක පැණි හකුරු නිපදවන්නන් කරන වැඩක්... එතකොට තෙලිජ්ජ රා වෙන වේගය අඩු වෙනවා... මේ තෙලිජ්ජ මුට්ටියකට හලා නොනැවතී ගින්දර දමමින් දවසක් දෙකක් පෑස්සවීමෙන් පසු තමයි කිතුල් පැණි එන්නෙ.. එය තව දුරටත් උකු වන තුරු රත් කර පොල්කටුවකට වක්කර ඝන වන්නට තැබීමෙන් තමයි ගැමියන් හකුරු නිපදවා ගන්නේ...

රා බෝතලය යට ඉතුරු වන කුඩු ටික ඔබ දන්නවනේ.. අපි කියන්නේ මණ්ඩි කියලා.. එය තමයි රා සාදන්නට මදින්නාට උපකාරී වෙන්නේ... තෙලිජ්ජ ගෙනවිත් ඔවුන් එය මණ්ඩි සමඟ කලවම් කරනවා.. පැය දෙකකට පසුව ඉතා හොඳ රා ටිකක් රස විදින්නට අවස්ථාව ලැබෙනවා.. ඒ බෝතලයේ ඉතුරු වෙන මණ්ඩි හෙට දවසේත් ප්‍රයෝජනය්ට ගන්නවා.. ඉතින් මේ චක්‍රය නිතරම කැරකෙනවා...

මම කලින් කිව්වනේ රා මදින්නන් දිනකට දෙවරක්වත් මල කපනවා කියලා.. ඒ කියන්නේ මුට්ටිය එල්ලන්න කලින්  ඔවුන් මලේ කෙලවරින් මිලි මීටර් භාගෙක වගේ ප්‍රමාණයක් කපා අයින් කරනවා.. පදමට පණ පොවපු මල් පිහිය හා හුරු පුරුදු වෙච්ච අතක් ඒ ක්‍රියාවලිය කිරීම සැබැවින්ම බලා සිටින්නට ආසා කරන දසුනක්... ඉතින් මෙහෙම මල කපාගෙන කපාගෙන එද්දි මල උඩට හැරෙන්නට බලනවා.. ඊට විකල්පයක් ලෙස ඔවුන් කරන්නේ මල බිමට කර තව රැහැනක් ගැට ගැසීමයි... මලේ කෙළවරට එනකන් කැපීමෙන් පසු මේ ක්‍රියාවලිය අවසන් වෙනවා... ඉන්පසු දෙවියන්ට බුදුන්ට වූ භාරහාර ඔප්පු කිරීමෙන් පසුව තවත් අළුතෙන් පීදෙන මලක් වෙත යනවා..

ඔබට තේරෙනවා නේද? ඔබ සුළු මුදලක් දීලා ගන්න විනෝදය වෙනුවෙන් රා මදින්නෙක් කොපමණ මහන්සි වෙනවද කියලා.. කතාවට ඔවුන් කියන්නේ " මලකට බෙහෙත් තියන එක දරුවෙක් හදනවාට වඩා අමාරුයි" කියලයි...

ඔන්න එහෙනම් තම තම මල් තම තමන් මැද ගන්න...

විශේෂ ස්තූතිය :

ඊ. එම්. එම්. ජී. සෙනෙවිරත්න,
මීමුරේ..

ප.ලි.. : මේ ලින්ක් එක මගේ ඉරිසියාකරයින් සඳහායි...

Wednesday, June 5, 2013

බීගෙන ජෝනා වැටීලා වලේ.... කාගෙද පෙණ දාන මේ රා කලේ.....

මතකයි නේද මේ පරණ සිංදුව.. බොහෝම කාලෙකට කලින් ජනප්‍රිය බයිලා ගීතයක්.. කිතුල් රා, පැණී හකුරු හදන හැටි ගැන ලියන දෙවෙනි ලිපිය තමයි මේ යන්නේ..  පළවෙණි ලිපියටත් හොඳ ප්‍රතිචාර තිබ්බ නිසා ඔන්න දෙවෙනි ලිපියත් ලියන්න පටන් ගත්තා.... නොබලපු කට්ටියට මෙතනින් පළවෙනි ලිපිය බලන්න පුළුවන්... ගොඩාක් කට්ටියගේ කමෙන්ට් වල මගේ ලිපියේ තිබ්බ බෙහෙත් වර්ග වලට විකල්ප බෙහෙත් වර්ග ලියලා තිබ්බ නිසා තමන්ට පහසු බෙහෙත් හොයා ගන්න ඔයාලට පුළුවන් වෙයි... ඔන්න එහෙනම් දෙවෙනි කොටස..

හරි එහෙනම් පාඩම පටන් ගනිමු.... අපි ගිය සතියේ නැවැත්තුවේ බෙහෙත් හදලා ඉවර වෙලානේ.. දැන් තමයි වැඩේ තියෙන්නේ.. ගහට නැගලා බෙහෙත් තියන භාර දූර රාජකාරිය තමයි දැන් කරන්න තියෙන්නේ.. උපකරණ විදිහට පාවිච්චි කරන්නේ මල් පිහිය, නියන් කටුව සහ කෙකි පිහිය කියන උපකරණ තුන... ගස දිගේ ඉහලට යන මදින්නා කළින්ම කරන්නේ මල සුද්ද කරන එක.. මලේ ප්‍රමාණය අනුවයි මල කපන්නේ කොතනින්ද කියන එක තීරණය වෙන්නේ.. ඒ ප්‍රමාණය පිරිසිදු කරලා ( ඒ කියන්නේ හනස්ස ඉවත් කරලා රැහැන් පාදගෙන ) අග කෙළවරේ සිට රැහැන් එකතු කර ඉත තදින් වෙලාගෙන මලේ මුලේ සිට අගල් හතරක් වගේ දුරට එනවා... ඉන්පසු අර සුඹුළු කැබලි හනසු කෑලි ඉවත් කර මල පිරිසිදු කර ගන්නවා... මතක තියා ගන්න ඕන කාරණය තමයි සම්පූර්ණ මල මේ වෙද්දිත් තියෙනවා...

ඉන්පසු තියෙන්නේ මලේ බෙහෙත් කුහරය සෑදීම.. මල පටන්

 ගන්න තැන් ඉඳන් අඟල් තුනක් හතරක් දුරින් තමයි මේ කුහරය සාදන්නේ... මලේ දිග ප්‍රමාණය අනුව මේ දුර ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්.. මලේ මුල සිට අගල් හතරක් පමණ දුරින් මලේ යටි පැත්තෙන් තමයි මේ කුහරය සාදන්නේ.. අඟල් තුනක් පමණ දිගට අඟල් දෙකක් පමණ පළලට තමයි මේ කුහරය හාරන්නේ. මලේ උඩ පැත්තට අඟල් කාලක් තියා මෙහි ගැඹුර අවසන් වෙනවා.. අවසානයේ මල දෙපැත්තට සොලවා බලා එහි නම්‍යශීලීත්වය අනුව තමයි කුහරය ප්‍රමාණවත්ද නැත්ද යන එක තීරණය වෙන්නේ... මල එතනින් ගැලවෙන නොගැලවෙන ගානට ඔවුන් මේ කුහරය හාර ගන්නවා... ඉන්පසු තමයි බෙහෙත් ගැල්වීම තියෙන්නේ... එය වෙන්නේ පහත පරිද්දෙන්..

ඉස්සෙල්ලාම අර සම්බෝලය කියන බෙහෙත අරගෙන දෝතට මැදි කරලා මලේ මුළ ඉඳන් අගට හෙමීට අත ගලා දෙවියන් බුදුන් සිහිකර මල දෙවියන්ට බුදුන්ට පිදීම ගැමියන්ගේ සිරිතක්.. දැන් අර හාරපු කුහරය ඇතුලට සම්බෝලය දාලා තද කරනවා.. කුහරයේ සෑම තැනකම ගැටෙන පරිදි මේ සම්බෝලය ගල්වමින් ඇතුල් කිරීමයි කෙරෙන්නේ...  ඇතුලට සම්බෝලය පුරවා අවසන් වීමෙන් බෙහෙත් ගැල්වීමේ පළමු අදියර අවසන් වෙනවා.. ඉන් අනතුරුව අර අළු බෙහෙත් ගෙන කුහරයේ මදි පාඩුවට පුරවා ඉතිරිය මදක් දිය කර කුහරය මුද්‍රා තැබීම සිදු කරනවා.. මෙතැනින් පස්සෙ තමයි පැහැදිලි කරන්න අමාරු හරිය... මම අමාරුවේ වැටෙන්නේ මේ වෙලාවෙදි.. බලමු මට පුළුවන් වෙයිද කියලා මෙය සාර්තකව පැහැදිලි කරන්න... මෙය මලේ රැහැන් කැපීම මල පොළවට බර කිරීම මල වෙළීම වගේ වැදගත් කාරණා ගොඩකින් සමන්විතයි... හොඳයි ඒ ටිකත් පැහැදිලි කරන්න උත්සහා කරමු...


මතකයි නේද අර අපි මලේ දිග ප්‍රමාණ්ය අනුව බලලා එක තැනකින් ගැට ගැහුවා.. එතනින් එහාට වියතක් විතර තියලා කොහු ළණු වලින් ඉතා තදින් වෙලනවා... මේකට හොඳටම හරියන්නේ නහපට්ට වැල් කියන එක.. අනතුරුව වෙලීම අවසන් වන තැන සිට අඟල් කිහිපයක් දුරින් (මලේ එතනින් එහාට වැඩක් නොවේවි කියා සිතෙන තැන..) තව ලණුවකින් තදට ගැට ගසා එහි අනිත් කෙළවර මදින්න ලඟ තියෙන අත්තක ගැට ගසා එතනින් මල ඉතා තියුණුව කපා දමනවා.. එතකොට ඔබට වැටහෙනවා නේද අර අවසාන කෙළවරින් ගැට ගහපු ලණුවේ කෙළවර මදින්න ලඟ තියෙන අත්තක ගැට ගසපු නිසා ඒ කපා දමමු රැහැන් ටික බිමට වැටෙන්නේ නෑ.. එය අර ලණුවෙන් එල්ලිලා තියෙනවා.. ඉන් පසුව ඉහලට ඇදගන්නා මදින්න එම රැහැන් ටික අර අපි කලින් මල ඔතපු තැන ගැට ගහනවා.. එයින් බලාපොරොත්තු වෙන්නේ මල මුලින් බරවී පොළව දෙසට පහත් වී තිබීමයි... පහත් වූ ප්‍රමාණය මදිනම් මල තවත් රැහැනක් යොදා බිමට බර වෙන්නට ඇද ගැට ගැසීමත් ගැමියන්ගේ ක්‍රමයක්... දැන් මෙතනින් මලේ සාත්තුව අවසන්... මදින්නා මලේ කෙළවර රෙද්දකින් ඔතා ගසෙන් බහිනවා... මෙන්න මෙතනින් පසුව තමයි ඔබ පුල පුලා බලා සිටි රා පෙරීම තිබෙන්නේ.... 

ඒ විස්තරත් එක්ක ලඟදිම ඊලඟ ලිපියෙන් මුණ ගැහෙමු.. තව එක ලිපියකින් ඉවර කරන්න පුළුවන් වෙයි මගේ හිතේ...


Tuesday, May 28, 2013

කිතුල් රා ගැන අහලා තියෙනවද? උඩ පැනගෙන බීවාට හදන හැටි දන්නවද? 1 කොටස...


රා... ගොඩාක් දෙනෙක්ගේ කටට කෙළ උනන මාතෘකාවක්.. ඒකට ගෑණු පිරිමි භේදයක් නැති තරම්... තල් රා, පොල් රා, ආදී නොයෙකුත් රා වර්ග ගත්තම ගොඩාක් දෙනෙක් කැමති කිතුල් රා වලට.. ඉතින් මේ "රා" හදන හැටිත් බොන තරම්ම ලේසියි කියලයි ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ.. ඒත් මේ ලිපි පෙළ කියෙව්වට පස්සෙ හිතෙයි රුපියල් 75කට 100කට ඔයාලා රස කර කර බොන මේ පානය හදන්න රා මදින මනුස්සයා කොච්චර නම් මහන්සි වෙනවද කියලා... කාන්තාවන්ගේ හිතේ දැන් ඇතිවෙන ප්‍රශ්ණෙත් මම දන්නවා.. ඔව්.. පැණි හකුරු හදන හැටිත් මේකෙන් කියනවා... මේ ලිපි පෙළ කියෙව්වාට පසු ඔබට පුළුවන් තමන්ගේ වත්තේ තියෙන කිතුල් මලට ඉතාම හොඳින් බෙහෙත් තියන්න.. දැන් එහෙනම් පටන් ගමු....

සාමාන්‍යයෙන් කිතුල් ගහක් පීදෙනවා කියන්නේ එයාගේ පළමු ගොබ ය සහ මල් දෙක එළියට එන එකට... මෙතනින් පස්සෙ තමයි කට්ටිය මල් මදින්න පටන් ගන්නේ.. ගමක තියෙන කිතුල් ගහක් පළමුවෙන්ම පීදෙන්න අවුරුදු 10ක් පමණ යන බවයි ගැමියන්ගේ විශ්වාසය.. කැලේ තියෙන ගහක් ඊට වඩා කල් ගන්න බවයි සාමාන්‍ය මතය... ගහ පීදෙන බව ගහ මුල සිටම බලන්න පුළුවන්.. ලා කොල පාට කිතුල් ගොබ දෙකක් දෙපැත්තට විහිදෙනවා දකින්න පුළුවන්.. ඊට මඳක් පහලින් හනස්සකින් ආවරණය වුන නොපිපුරුණ කිතුල් මල් දෙකක් දකින්න පුළුවන්... ගොබ දෙක මොරන විට උඩ තියෙන මල පුපුරණවා.. එතකොට තමයි උණ ගහක් එහෙම තියලා වැඩේ පටන් ගන්නේ.... 

මම කලින් කිව්වනේ මල් දෙකක් එන බව.. උඩ මල පිපිරුනාට පසුව ගැමියන් ඒ පළමු මල ගස වෙනුවෙන් අත හරිනවා.. යටින් එන මලට එහෙම නැත්නම් දෙවෙනි මලට බෙහෙත් තැබීමෙන් තමයි ගැමියන් ගස මැදීම ආරම්භ කරන්නේ.. රා, පැණි, හකුරු වෙනුවෙන් රා මැදීම ආරම්භ කිරීමට පෙර බුදුන් දෙවියන් සිහිකර තමන් කපන මලට සහ ගහට නමස්කාර කිරීමද ගැමියන්ගේ සිරිතක්...

මල මැදීමට ගහට යන්න කිතුල් මල් මදින්නන් භාවිතා කරන්නේ උණ ලීයක්.. ශක්තිමත් උණ භටයක් ගෙන වේ රැහැන් වලින් හා කිරි වැල් වලින් ගහට හේත්තු කරලා ගැට ගහනවා.. උණ ලීයේ තියෙන පුරුක් තමයි ඔවුන් ඉහලට නගින්න භාවිතා කරන්නේ... උණ ලීය දිගේ ඉහලට නගින ගැමියා පළමුවෙන්ම කරන්නේ මල මැදීමට නිසි තත්ත්වයේ තිබේදැයි පරීක්ෂා කිරීමයි.. ලා කොළ පාටට තිබේනම් කෘමි උවදුරක් නැත්නම් ගැමියන් මලට බෙහෙත් තැබීම ආරම්භ කරනවා... බෙහෙත් බැඳීම යන්නෙන් අදහස් කරන්නේ මලෙන් වැඩි ඵලදාවක් ලබාගැනීම සඳහා යම් යම් ඖෂධ මලට තබා බැඳීමයි.. දැන් මොනවද මේ බෙහෙත් කියලා තමයි ඔබේ හිතට නැගෙන ප්‍රශ්ණේ නේද? මෙන්න මේක තමා වැදගත්ම පාඩම.. එහෙනම් මෙන්න බෙහෙත්...

බෙහෙත් වර්ග දෙකයි.. එකක් හඳුන්වන්නේ සම්බෝලය කියලා.. අනෙක හඳුන්වන්නේ පස් ඇඹුල කියලා.. සම්බෝලය සඳහා අමුද්‍රව්‍ය වෙන්නේ අරං කහ, මුරුංගා පොතු, අං කැන්ද කොළ සහ පොතු, පැපොල් මුල්, කුඩු මිරිස් කොළ සහ පොතු, ඇඹුල් දොඩම් කොළ සහ පොතු. මේ ටික අරගෙන වන්ගෙඩියේ කොටාගන්නවා සම්බෝලයක් ගාණට එනතුරු... ඉන් පසුව කෙසෙල් කොලේක ඔතලා උණු අළු පල්ලේ තම්බා ගන්නවා... උණු අළු පල්ලේ කියන්නේ නේද? ලිපේ අළු යට අර පොට්ටනිය තියලා ඊට උඩින් දර දාලා පත්තු කරනවා.. ඊට පස්සේ විනාඩි 20ක් විතර තැම්බෙන කල් ඉඳලා එය ඉවත් කරගන්නවා.. ඔන්න සම්බෝලේ ඉවරයි... ඊලඟ බෙහෙතත් මේ එක්කම හදාගන්න ඕන.. පොල් ලෙලි අළු, ලිපේ අළු, බැටරි කුඩු අරගෙන පුහුඩුළු ඇඹුලෙන් අනාගෙන එයත් පැත්තකින් තියෙනවා..

ඔන්න බෙහෙත් හදාගෙන ඉවරයි.. දැන් ඉතින් මල් හොයාගෙන බෙහෙත් හදාගෙන රෙඩි වෙලා ඉන්න.. ඊලඟ සඳුදට කියනවා මල කපලා බෙහෙත් තියන හැටි...

තව කොටස් තුනක් වත් ලියන්න වෙයි මුළු ලිපි පෙළම දාන්න....

Wednesday, May 22, 2013

ඔබේ තොල් සෙක්සි පාට නැත්නම් මෙන්න උපදෙස්...... කොල්ලන්ට ස්පෙශල්...



ධනුක ගේ චැට් ඩික්ශණරි එකෙන් "සෙක්සි" කියන එකේ තේරුම අහපුහාම කිව්වේ "ලිංගික ආකර්ෂණය ඇති" කියන එක තමයි ඒකේ තේරුම කියලා.. ඉතින් අපි කවුරුත් කැමතිනේ "ලිංගික ආකර්ශණය ඇති" පිරිමියෙක් හෝ කාන්තාවක් වෙන්න. ඉතින් ඔය සෙක්සි කියන එක ගත්තම නොයෙකුත් ගැජමැටික් තියෙනවනේ.. හමේ පාට ඉඳලා ගත්තොත් කොන්ඩේ, ඇගේ හැඩය සහ එකී මෙකී නොකී දේවල් කොච්චර තියෙනවද? මාතලන් පහුගිය දවසක කතා කලේ ටෑන් පාට කාමුකද කියන ටොපික් එකනේ... අද මම කථා කරන්නේ කොහොමද ඔබේ තොල් සෙක්සි පාට කරගන්නේ කියලා.. මටත් මේක ලැබුනේ අහම්බෙන් කෝච්චියේ කතා කර කර එද්දි ගෑණු ලමයෙක් එක්ක.... 

මේ දවස්වල මම නිතරම මීමුරේ යනවනේ.... අළුත් සංචාරක නිකේතනයේ වැඩ වලටයි ඒකෙ පටන් ගත්ත වගා කටයුතු ව්‍යාපෘතියයි මේ ටිකේ නිතරම ඉන්නෙ එහේ.. ඉතින් ගොඩාක් මම පාවිච්චි කරන්නේ කෝච්චිය... උදේ 7.30ට නුවරට තියෙන ඉන්ටසිටි එක තමයි මේකට මම යොදාගන්නේ.. පහුගිය දවසකත් මේකේ එද්දි වේයන්ගොඩ හරියෙදි බ්‍රේක් බයින්ඩ් වෙලා පැය 2ක් විතර ප්‍රමාද වුනා.. ඉස්සරහා අසුනේ හිටපු ගෑණු ළමයත් එක්ක මම ඉතින් කතාව පටන් ගත්තා.. සතියේ දවසක් නිසා මුළු දුම්රිය මැදිරියටම හිටියේ මගීන් 10ක් විතර... අපි දෙන්නා මූණෙන් මූණ බලාගන්න සීට් එකක.. දැන් ඉතින් කයිය..


කෝච්චිය ගොඩාක් පරක්කු වෙයි වගේ නේද?

ඒක තමයි.. මටනම් හොඳටම පරක්කු වෙනවා... 10 වෙද්දි මම නුවර ඉන්න ඕන...

එහෙම නම් මෙතනින් බැහැලා නිට්ටඹුවට ගිහින් බස් එකේ යන්න තියෙන්නේ...

මම දන්නේ නෑ අයියේ....

ඔහොම පටන් ගත්ත කථාව සමාජ, දේශපාලන, විනෝදාත්මක ආදී විවිධ කතා දිගේ ඇදී ගියා..   මගේ විවාහක තත්ත්වය, ඇයගේ පෙම්වතාගේ සමුගැනීම, වෙන කොල්ලො පස්සෙන් ඇවිත් කරදරයක් වෙන හැටි ඔය ආදී ඉතා පෞද්ගලික මාතෘකා වලටත් ඇවිත් දැන් කතාව ගලාගෙන යනවා..  ඒ අතරේ කෝච්චිය බලන දුම්රිය ස්ථානයේ නතර කලා ඉදිරියෙන් එන දුම්රියකට ඉඩ දෙන්න... "දිවි නැගුම" ජැකට් එකක් දාගෙන හිටපු වෙළෙන්දෙක්ගෙන් එයා වතුර බෝතලයක් ගත්තා.... මම බුලත් විටක් ගත්තා...

අයියා බුලත් විට කනවද?

ඔව්..

දුංකොලත් කනවද?

ඔව්.. ඇයි ඔයා බුලත් විට වලට අකමැතිද?

අනේ නෑ. මම කැමතියි බුලත් විට කන අයට...

ඒක ටිකක් අසාමාන්‍යයි වගේ.. වෙන ගෑණු ළමයි කැමති නෑනේ බුලත් විට කණ අයට...

ඒ උනාට මම කැමතියි.. විට කන අයගේ තොල් මාරම "සෙක්සි" පාටයි.....

කියපුහාම විශ්වාස කරනවා ඕයි... මම ලැජ්ජාවෙන් ඇඹරුනා...... (මොකද අහන්ඩද "මගේ තොලුත් සෙක්සි පාටද නංගි" කියලා..)

Friday, April 26, 2013

සයිබර් ෆෙස්ටිවල්, ලොක්කෝ, කබ්බෝ සහ මම.....

අද කවුරු හෝ මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාලා තිබ්බා.. ඒ පහුගිය ටෙස්ට් පෝස්ට් එක වෙනුවෙන්.. ඇනෝ දාලා තිබ්බත් ඔන්න ඔහේ මේ ගැන ලියනවා කියලා හිතාගෙන කැෆේ එකකටම ලොග් වෙලා ලියන්න පටන් ගත්තා.. මාරයා, ආගන්තුකයා වගේ ලඟදි පදින්චිය මාරු කරපු ගොඩට මමත් මේ ලඟදි එකතු වුන නිසා තවම අන්තර්ජාල පහසුකම් ලබාගෙන නෑ.. බ්ලොග් කරුවන්ගෙන් වංචා කරපු සල්ලි ටික එකතු කරලා මගේම කියලා සංචාරක නිකේතනයක් පටන් ගත්ත නිසා මේ දිනවල නිතරම නුවර - කොළඹ දුවනවා.. ඒ අතරට ලැබිච්ච පුංචි විවේකයේදි තමයි මේ ලිපිය ලියන්න පටන් ගත්තේ....            

පහුගිය දෙවාරයටම වඩා කල්ලි ගැසීම බලවත්වම පෙන්නුම් කරපු සයිබර් ෆෙස්ටිවල් එක කියලයි මම මේ පාර සයිබර් සැණකෙළිය දකින්නේ.. එක එක විදිහේ ටී ශර්ට් ඇදගෙන පිරුණ කට්ටිය ගොඩාක් තැන්වල හිටියා.. බස් රේඩියෝ, ලාස්ට් රෝ, වගේම ඇනොනිමස් සංකල්පය උදෙසා ලෙසින් ටීශර්ට් කල්ලි තුනක් තිබ්බා.. ඒත් හැමෝම බලාපොරොත්තු වුනේ මේක නෙවෙයි.. කබ්බෝ කියන අයගෙයි අනිත් අයගෙයි වලිය.. ඒත් දකින්නට ලැබුනේ නිකන්ම නිකන් ගෑණු වලියක්.. ඒක ගැන කියන්න ගියොත් මුළු සයිබර් ෆෙස්ටිවල් එකම චාටර් වෙන බව මගේ හැඟීම...

පළවෙනි සයිබර් සැණකෙළියේදිම මම කිව්වා මේක අපේ දෙයක් කියලා.. ඒ අපේ දෙයක් ලෙස මෙම උළෙළ මාකට් කරපු එක මම මේ පාර ඉතා හොඳින් දුටුවා.. පහුගිය දෙපාරම සයිබර් සැණකෙළිය ගැන සඳහන් උනේ "අභීත අයියාගේ සිහිනයෙන් එළියට ආපු" වගේ වැකි.. මේ පාර එය ඉතා ලස්සනට අපි, ඒ කියන්නේ බ්ලොග් කාරයෝ කරපු සයිබර් ෆෙස්ටිවල් එකක් ලෙස මුල සිටම මාකට් වෙච්චි එක ගැන බොක්කෙන්ම සතුටු විය යුතු වෙනවා...

ඒ වගේම සමරු කලාපයටත් සෑහෙන බ්ලොග් කරුවන් පිරිසක් මුදල් ලබා දීලා තියෙනවා මම දුටුවා.. එයත් මම හිතන්නේ, සින්හල සයිබර් අවකාශය ගැන කවුරු මොනවා කිව්වත් උන්ගේ හිත්වල ඒ පිළිබඳව හැගීම් තියෙනවා කියන්නට සාධකයක්.. 

ඊලඟට මේ සයිබර් උළෙලට මගේ දායකත්වය... රුපියල් පන්දහසක් දෙනවා කියලා පොරොන්දු වුනත් අන්තිමේදී "සල්ලිත් දීලා පවුලටත් එක්කම බැනුම් අහගන්නේ මොකටද" කියලා හිතුන නිසා එය වලක්වන්නට කටයුතු කලා.. ඒත් සංවිධායක මණ්ඩලය පිටු භාගෙක ඇඩ් එකක් දාලා තිබ්බා.. උන්ට බැන බැන ඒකට 1000.00ක් දුන්නා... මුලදී ග්‍රවුන්ඩ් එකක් නැතුව සංවිධායක මණ්ඩලය පොඩ්ඩක් හිර වුනා.. ඒ වෙලාවේ තමයි ප්‍රදීප් මල්ලි මට කතා කලේ... මමත් ඒ වෙනුවෙන් ටිකක් මහන්සි වුනා.. ඒත් අපිට සුදුසු තැනක් හම්බ වුනේ නෑ.. ඒ වෙලාවම තමයි මගේ ඉතාම ලඟ මිත්‍රයෙක් වෙච්ච තරුණ සේවා සභාවේ ක්‍රියාකාරී අධ්‍යක්ශ මිලින්ද රාජපක්ශව මතක් වුනේ.. දුරකථන ඇමතුම පහත පරිදියි..

මිල්ලා.... මට පොඩි උදව්වක් ඕන...

කියන්න අභීත අයියේ... මොකෝ සීන් එක...

මචන් අපෙ අවුරුදු උත්සවයක් තියෙනවා... ඒකට යූත් එකේ පිට්ටනිය ඕන.. උඹලගේ ස්පොන්සර්ශිප් එකෙන් ඒක අරන් දියන් අපිට...

කවද්ද අභීත අයියේ දවස...

අප්‍රේල් 22..

හරි.. උඹ වැඩේ වුනා කියලා හිතා ගන්න අභීත අයියේ... මට එ-මේල් එකක් දෙන්න රික්වෙස්ට් එකක් විදිහට..

එල.. තැන්ක් යූ මිල්ලා....

ඔන්න ඔහොමයි ඒ ප්‍රශ්නේ විසදුනේ... එක කෝල් එකකින්, දවසට රුපියල් 33000.00ක් අය කරන ක්‍රීඩා පිටිය අපට ලබා දීමටත් ඒ වගේම ඊට අවශ්‍ය සියළු අවශ්‍යතා ලබා දීමටත් ප්‍රධාන ආරධිතයා ලෙස එම අව්ස්ථාවට සහභාගී වීමත් යන කරුනු වලට ජාතික තරුණ සේවා සභාවේ මිලින්ද රාජපක්ෂ මැතිතුමාට ඉතාම ස්තූතිවන්ත වන අතර ඒ සම්හන්ධ උපදේශකත්වය ලබා දුන් ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරෙරා මැතිතුමාටද ගෞරව පූර්වක ස්තූතිය පුද කරනවා...

ඉතින් ක්‍රීඩා පිටියෙන් පස්සේ මාව ඕන වුනේ කඹේටනේ... ඒකත් සපයලා දුන්නා.. ඇනෝ ඇවිදින් මට බනින සමහරු මගේ කඹේ හති දාගෙන ඇඳපු හැටි මම උපේක්ෂා සිතින් බලාගෙන හිටියා.. අභීතයා සම්භන්ධ වෙනවානම් අපි ඕකට එන්නේ නෑ කියපු අය එදා ඇවිල්ලා උඩ පැනපු හැටිත් මම උපේක්ශාවෙන් බලාගෙන හිටියා.. ඒ විතරක් නෙවෙයි... මට එක එක අතවර කරනවා කියලා පාරම් බාපු සමහරු මට මූණවත් නොදී පැත්තකට වෙලා ඉන්නවා දැකපු මට, උන් ගැන දුකත් හිතුනා...   


කොහොම වුනත් මෙවර සයිබර් සැණකෙලිය හොඳින් ඉවර වුනා.. සුපුරුදු පශ්චාත් කටයුතුත් කොට්ටාව කැසබ ලංකා එකේදි පැවැත්වුනා.. ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ... මම දැක්ක අවුරුදු උත්සවය ඔච්චරයි... අන්තිමට කාරණා තුනක් ගැන කියන්න ඕන...

1. කබ්බෝ නරක නෑ... එයාලා හරිම අහිංසක සමණල ලමයි ටිකක්...... ප්‍රදීප්, ගයාන් වගේ උන් එතනින් බැබලිය යුතු චරිත.....

2. බ්ලොග් ලියන පරණ උන් අභීතයාත් එක්ක තරහයි කියපු අයට එදා දවසෙදි එහි සැබෑ තත්ත්වය දැකගන්නට ලැබෙන්න ඇති... මට එක එක ඒවා කරනවා කියපු අයට පුළුවන් වුනේ මගේ හෙල්මට් එක හන්ගලා පොඩි සිඟිති ආතල් එකක් ගන්න විතරයි... 

3. මේක තමයි වැදගත්.. මෙවර සමාජ සත්කාර්‍යය උදෙසා තිබෙන මුදල මදි කියන එක තමයි මගේ පෞද්ගලික මතය... එයටත් මොකක් හරි වැඩ පිලිවෙලක් අවැසි වෙනවා.. ඒකට දරුවනේ දැන්ම ඉදන් පෙළ ගැහියල්ලා... 

එහෙනම් මගේ කථාව මෙයින් අවසානයි... අවශ්‍ය අයගෙන් අහන්න ඕන එක ප්‍රශ්ණයක් විතරක් මම අහලා යන්නම්....

කෝ... දැන් උඹලා මට කලාද?

Sunday, March 10, 2013

ඇනෝනිමස් පෝස්ට් සහ ඒවට වැටෙන ඇනොනිමස් කමෙන්ට්........ කබ්බන්ට විශේෂයි...


මේක තමයි මේ කාලයේ ජනප්‍රියම මාතෘකාව... මම මේ ගැන නම් ලිපි ලියලා තියෙනවා ඕන තරම්... ඒත් ඒ කවදාවත් මේ මාතෘකාව අද තරම් ජනප්‍රිය වෙලා නෑ.. ඇනොනිමස් සයිට් ගොඩාක් මේ බ්ලොග් අවකාශෙට ඇවිත් ගියා.. ඉස්සර වෙලාම ආපු එක තමයි එදා සුපිරි ජනප්‍රිය බ්ලොග් එක වෙච්ච ඇනොනිමසයා කියන බ්ලොග් එක... ඒකේ තියෙන ගොඩාක් දේවල් වලට කට්ටිය බැන බැන හරි කමෙන්ට් කලා.. හැමෝම ආවා ගියා.. ඊට පස්සේ ඒ සයිට් එකේම වර්ශන් තුනක් ආවා.. ඒවත් ඒ ගමන්ම නැතිවෙලා ගියා... ඊට පස්සේ ආවා බ්ලොග් විචාරක, වෛෂ්යාවක් නොවේ, ලකෆ්‍රාන්ස්, දැන් මොකක්ද වර්ඩ්ප්‍රෙස්ස් එකකුත් ඇවිත්... ඉතින් මේ හැමෝම බ්ලොග් අවකාශය වෙනුවෙන් සේවයක් කරනවද නැද්ද කියන එක කියවන ඔයාලා දන්නවා... මේකටත් හරියන්නම දැන් ඇනෝ කමෙන්ට් කියන එකත් උපරිමේටම ඇවිත්.. අද මම කියන්න යන්නේ මගේ ඇනෝනිමස් අත් දැකීම් වලින් බිඳක්... 


දැන් මම බ්ලොග් ලියන්නේ මොකටද? කියලා ඇහුවොත් ඔයාලා අමුතු අමුතු උත්තර දෙයි.. නමින් එන අය කියයි ගොඩාක් කථා.. ඒත් ඇනෝ එන අය කියයි "තෝ බ්ලොග් ලියන්නේ xx xxxx පුතෝ කාව හරි අන්දලා ගානක් කඩා ගන්නනේ බොල කියලා..." මේක තමයි දැන් ඇනෝ ට්‍රෙන්ඩ් එක.. වැදගත් සංවාදයක් ඇනෝ හරහා ගොඩ නැගෙන්නේ නැත්තේ ඇයි කියන එක දැන් සිංහල බ්ලොග් අවකාශයෙන් අහලා වැඩක් නෑ.. ඒක අහන්න ඕන තම තම හිත් වලින් කියන එක තමයි මගේ මතය.. 

ප්‍රියන්ත වෙනිවැල්පිටිය (වෙනී) අයියා ලියලා තිබ්බා මේ ඇනෝ ගැන ලිපියක්.. ඇනෝනිමසයාත් ලියලා තිබ්බා... ඒ ගැන.. නමුත් අපි වර්තමානයේ එතනට තල්ලු වෙන්නේ ඇයි කියන හේතුව මොකක්ද? ඇත්තටම ඒ වෙන මොකුත් නිසා නෙවෙයි මම හිතන්නේ.. මීට අවුරුද්දකට කලින් බ්ලොග් කරුවෝ කියන්න ඕන දේ මූනට කිව්වා... එහෙම කියාගන්න බැරි තව සමහරුන් ඇනෝ වැරදියට පාවිච්චි කරලා කුණුහරපෙන්ම ඒක කියනවා.. ඒකට හේතුව මොකක්ද කියලා ඇහුවොත් මට කියන්න තියෙන්නේ ඒ කාලයේ අතීතය හා වර්තමානයට පුරුක් තිබ්බා.. මම ඒක උදාහරණයක් විදිහට මෙහෙම පැහැදිලි කරන්නම් පහළින්...

මම බ්ලොග් ලියන්න එනකොට කතන්දර, වැපා, රන්දිල්, තිස්ස අයියලා වගේ අය අපිට උපදෙස් දුන්නා... ඇනෝ දැම්මත් ඒකේ වගකීමක් අපේ හිත් වලට දැනුනා.. වර්තමානයේ ඒ පුරුක් සබඳතාවය බ්ලොග්කරුවන්ගෙන් ගිලිහිලා තියෙනවා.. ඇනෝ මොකක්ද? ඇනෝ පාවිච්චි කරන්නේ කොහොමද වගේ සංකල්ප පිළිබඳ දේවල් බ්ලොග් කරුවන්ගෙන් ගිලිහිලා තියෙනවා.. මෙන්න මෙතන තමයි ලොකුම අවුල කියලයි මට හිතෙන්නේ.. 

ඇනෝ කමෙන්ට් දාද්දි අපිටත් වැරදුනා.. උදාහරණයක් ලෙස මම එක්තරා පුද්ගලයෝ දෙන්නෙක් සම්භන්දයෙන් ගෲප් එකක දාන්න ගිය එකක් වැරදිලා ඇනෝ සයිට් එකක වැටුනා.. මම එසැනින් ඒ දෙන්නට මේල් එකක් යවලා සමාව ඉල්ලන්න කටයුතු කලා.. මේ වගේ වැඩ තව කොච්චරවත් වුනා ඒ දවස්වල.. වෛශ්‍යාවක් නොවේ ලියපු බ්ලොග් කාරියටත් බ්ලොග් විචාරක ලියපු බ්ලොග් කරුවාටත් මේ වැඩේම වුනා... මේකේ අළුත්ම අවුට් පුට් එක අපේ සෑම් මල්ලි.. එයා ලකෆ්‍රාන්ස් එකේ දාපු කමෙන්ට් එකක් නමෙන්ම පල වුනා..

මෙන්න මේ හේතුව නිසා උද්ගත වෙච්ච තත්ත්වය නිසා තමයි මම මේ බ්ලොග් පෝස්ට් එක ලියන්න හිතුවේ.... ඒකෙදි ඒ මල්ලි ගොඩාක් කරුණු කියලා තිබ්බා.. පළවෙනි එක තමයි "කවුද මේ ලකෆ්‍රාන්ස් බ්ලොග් එක ලියන්නේ කියලා එයාට හොයා ගන්න ඕන වුනා.." කියන එක... ලකෆ්‍රාන්ස් අදුන්වන විදිහට ඔහු කබ්බෙක්... නමුත් වටිනා බ්ලොග් එකක හිමි කරුවෙක්.. (බ්ලොග් අවකාශයේ සීනියර්ස්ලා ඉන්නවද? කබ්බෝ ඉන්නවද කියන එක චමිලගේ මෙන්න මේ පෝස්ට් එක කියවලා ඔබට තේරුම් ගන්න පුළුවන්...) ඒත් ඉතින් බ්ලොග් එකක් ලියන්නේ කවුද කියන එක හොයන එක ඔච්චරටම වැදගත්ද?

මීට අමතරව තව බ්ලොග් කරුවෙක් මගෙන් ඇහුවා මෙහෙම ඇනෝලා මට අම්බානට බනිද්දි කොහොමද මට නෙවේ වගේ ඉන්නේ කියලා... මම ඉතින් උත්තර දෙන්න කවුද බැන්නේ කියලා දන්නවයැ.... ඉතින් කොහොමද උත්තර දෙන්නේ...

ප්‍රධාන කාරණය.. ඉතින් මීට පස්සෙවත් ඇනොනිමස් දාද්දි අර ගුගල් දෙවියන් විසින් දීලා තියෙන ඇනොනිමස් ඔප්ෂන් එක සෙලෙක්ට් කරලා කමෙන්ට් එක දාන්න.. මම අත්දැකීමෙන් දන්නවා එක පාරයි වරදින්නේ.. ඒ වැරදීම අතීතයේදී නම් හදා ගන්න පුළුවන් බ්ලොග් කියන්නේ හෙන ආතල් දෙයක් නිසා.. ඒත් වර්තමානයේ බ්ලොග් කියන එක අපි ඉර පායන එක බහින එක වගේ වැදගත් දෙයක් නිසා ඒ වැරැද්ද හදා ගන්න අමාරුයි දරුවනේ...


මෙන්න මේ ටිකත් කියන්න ඕන.. දැන් මේ ලකෆ්‍රාන්ස් බ්ලොග් එක ලියන්නේ මම කියලා ලේබලේ අලවලා මගේ බිරිඳට දරුවට දෙමවුපියන්ට අම්බානක බනින්න ඇනෝලා පෙළ ගැහිලා ඉන්නවනේ... ඒ වගේම කෝල්ස් එහෙමත් දීලා මගෙන් ගොඩාක් කට්ටිය ඇහුවා උඹද මේක ලියන්නේ කියලා.. ඒ අයට දෙන්න ඕන උත්තරේ තමයි මම මේ පහළින් ලියන්නේ....

නිකමට හරි ඇත්තට හරි හිතපල්ලකෝ ලකෆ්‍රාන්ස් බ්ලොග් එක ලියන්නේ මම කියලා.... හරි.. දැන් උඹලා මට මොනවා කරන්නද? අනේ නිකන් යනවා මනුස්සයෝ වැඩක් බලාගෙන....

(ඇනොනිමස් ලියන්නේ චමිල කියලා ලේබලේ අලවලා තිබ්බ කාලෙක චමිලත් මේ විදිහටම කියලා තිබ්බ... ලින්ක් එක දාන්න පෝස්ට් එක හෙව්වට ලැබුනේ නැති නිසා චමිලට කෝල් කරලා තමයි හරි වචන පේලිය අහගත්තේ...)

ප.ලි. කුණුහරප නැති ඕනම ඇනෝ කමෙන්ට් පළවන බවත් කියන්න ඕන


ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.

  අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...