Thursday, November 27, 2014

ආදරණීය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලියමි....



රටේ මහත් බලාපොරොත්තු ඇතිව රට වෙනුවෙන් උඩුගම් බලා පිහිනීමටත් පොදු අපේක්ෂකයා නැමැති දං ගෙඩියට බෙල්ල තැබීමටත්, දේශ්ප්‍රේමී බලවේග එක වේදිකාවකට එක්කර ලීමටත් ඔබ තුමන් ගත් තීරණය බොහෝ සේ අගය කරන අතර ඒ පිළිබඳ වූ ස්තූතියද පළමු කොට ඔබතුමා වෙත දැන්වීමට කැමැත්තෙමි.. එබැවින් ඔබතුමා පොදු අපේක්ෂක වේදිකාවට ගොඩ වී දින හතක් ගිය පසු, එනම් අද වන විට රටේ සාමන්‍ය ඡන්ද දායකයෙක් වන මට හැඟෙන කරුණු කිහිපයක් වෙත ඔබ තුමාගේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙමි.. එය හුදෙක් ඔබතුමාව අපහසුතාවයට පත් කරන්නටවත් ඔබතුමාට මඩ ගසන්නටවත් නොව ඔබතුමාගේ ප්‍රයෝජනය සඳහා මෙන්ම උන්නතිය සඳහාද වන බව කාරුණිකව සිහි තබා ගන්නා ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි... මගේ අදහස් කරුණු වශයෙන් පහත පරිදි ගොනු කිරීමට කැමැත්තෙමි... 

1. ජනපතිවරණයට අදත් සමඟ තව ඉතිරිව ඇත්තේ දින 42ක් වැනි ඉතා සුළු කාලයකි... ඔබ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ දින පටන් තිබුනේ දින 49කි. මට හැඟෙන පරිදි එය ඉතා සුළු කාලයකි.. ඔබේ මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කර සතියක් ගොස් ඇතත් එහි ලොකු ජීවයක් සහ ගැම්මක් අද වනතුරුත් මට පෙනී යන්නේ නැත.. එබැවින් දියාරු වී ගොස් ඇති කැම්පේන් එකක් පිළිබඳ මහජන සිත් ධනාත්මකව හැසිරෙයිද කියන ගැටළුව මට පැන නැඟී ඇත.

2. මිනිසුන් ඔබේ පළමු අදහස් වලට එකඟව ඔබේ විසිල් පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටින වෙලාවයි.. ඔබ එන්නට පෙර සිටම ඔබත් සමඟ විපක්ශයේ අසුන් ගන්නා ආණ්ඩුවේ චරිත පිළිබඳව ප්‍රභල අපේක්ෂාවක් මහ ජනතාවට තිබිණ.. අදටත් එම කරුණ රැදෙන්නේ "විසිල් මත පිහිටූ බල්ටි නොතිබූ නාටකයක්" ලෙසය... මහ ජනතාවගේ අපේක්ෂා බංගත්වය මෙම කරුණ හේතුවෙන් ඉහල යන ප්‍රවණතාවක් මෙතුලින් දක්නට ලැබේ.. එබැවින් "හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට" කියා තම ඇඟ බේරා ගැනීමේ න්‍යායෙන් නොසිට ඉදිරි දින තුන හතර තුලදී නිකම්ම නිකන් සුළුජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගෙන් සැහීමට පත් නොවී ආණ්ඩුවේ ප්‍රභල බලකණු හතර පස් දෙනෙක් වත් ඔබේ ගමනට එක් කර ගැනීම තුලින් මේ අපේක්ෂා බංගත්වයට පිළිතුරු සැපයීම ඔබ කල යුතුම කාර්‍යයක් ලෙස මට හැඟේ... "මෛත්‍රීගේ විසිල් විතරයි.. කෝ තවම කවුරුත් ආවේ නෑනේ" යන්න මහ ජනතාවගේ සිත් තුළ පැලපදියම් වුනාට පසුව ඔබ මහින්ද රාජපක්ශයන් පොදු විපක්ශයට ගත්තත් වැඩක් වෙන්නේ නැති බව ඔබේ පරිනථ දේශපාලන බුද්ධියට නොවැටහෙන දෙයක් යැයි මම නොසිතමි...

3. ඔබේ ප්‍රකාශයේ සඳහන්ව ඇති "දින 100ක් තුල විධායක ජනපති තනතුර අහෝසි කිරීමත් රනිල් වික්‍රමසිංහයන්ට විධායක බලතල ලබා දීමත්" යන කරුණු, කරන්නේ කෙසේද කියා තවමත් අප (මහ ජනතාව) වෙත අදහසක් නැත.. අප දන්නා පරිදි පාර්ලිමේන්තුව හරහා එය කල හැකි නමුදු ජනපතිවරණ චන්දයකින් දිනූ ගමන් ඔබට මෙය කල හැකියැයි අපි විශ්වාස නොකරමු.. ආණ්ඩුවේ කථිකයින් මෙන්ම ජවිපේ නියෝජනය කරන ලාල්කාන්තයන්ද මෙය දිගින් දිගටම ප්‍රකාශ කිරීම තුල මෙම කරුණ මහජන සිත් තුලට එබෙන්නට පටන් ගෙන ඇති අතර හැකි ඉක්මනට මේ පිළිබඳව අප දැනුවත් කිරීම ඔබ සතු යුතුකමක් මෙන්ම ඔබේ ජයග්‍රහණයට පාර කැපීමක් ලෙසද මම දකිමි..

4. ග්‍රමීය මට්ටමේ ජනයා ඔබේ ක්‍රියා පිළිවෙත පිළිබඳව දැන් දැන් දෙගිඩියාවකට පත් වෙමින් සිටී.. ඔබේ ප්‍රභල අනුගාමිකයා වන එක්සත් ජාතික පක්ෂයට හිතැති ග්‍රාමීය ජනතාවගෙන් බොහොමයක් දක්වන අදහස ඔබතුමා වෙත ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි.. "අපි අපේ අපේක්ශකයෙකුට ඡන්දේ දෙන්න හිටියා.. දැන් ගහන්න වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා කාරයෙකුට.. ඊට හොඳයි ගෙදරට වෙලා ඉන්නවා.." මෙසේ පවසන්නෝ බොහෝ වෙති.. එබැවින් එක්සත් ජාතික පක්ෂයේ ග්‍රමීය මට්ටමේ කථිකයින් ලවා එම ජනතාව දැනුවත් කිරීම තුලින් ඔබට වාසියක් අත් විඳිය හැකි බවද මම විශ්වාස කරමි.. එසේ නොවේ නම් ඔබට පොළොන්නරුවෙන් පමණක් සෑහීමට පත් වී ඔබේ උදාර අරමුණ කෙරෙහි සුසුම් ලෑමට සිදුවන බව මඟේ හැඟීමයි...

5. මීලඟට මඳක් සංකීර්ණ ගැටළුවක් වෙත ඔබේ අවධානය යොමු කරමි..ඒ රටේ එක්සත් භාවය පිළිබඳ ගැටළුවයි.. ඔබේ ප්‍රධාන අනුගාමිකයා වන රනිල් වික්‍රමසිංහයන් ඔහුගේ පාලන කාලයේදී දෙමළ ඩයස්පෝරාව පිළිබඳව අනුගමනය කල ක්‍රියා පටිපාටිය අමතක කල කිසිවෙක් නැත.. 2002 - 2004 කාලයේදී ඔහුගේ පාලනය නොදන්න කිසිවෙකුට අද වනවිට ඡන්ද බලය හිමිව නැත.. අද ඡන්ද බලය හිමි සැමට ඒ කාලය මතක තිබේ.. වෙනම රටකට යන්නාක් ලෙස යාපනේ ගිය හැටි, එල්ටීටීඊ සාමජිකයන් අපේ සෙබළුන්ට පස්ස පෙන්වා හමුඳා කදවුරු අසල මලපහ කර ගිය හැටි, හමුදා බුද්ධි අංශ ඝාතනය කල හැටි, මෙන්ම තවත් ගොඩාක් කරුණු ඔවුන්ට මතක ඇත. ඊට අමතරව ඔහු රජයේ සේවකයන් බඳවා ගැනීම නතර කල හැටි, රාජ්‍ය දේපල කුණු කොල්ලෙට පෞද්ගලීකරණය කල සැටි වැනි දේවල් නිසා ඉතා කෙටි කලකින් බලයෙන් සමුගන්නට ඔවුන්ට සිදු වූ හැටි ඔබටත් අදට ඡන්ද බලය හිමිවන සැමටත් මතක ඇති දෙයක් යැයි මට මෙන්ම ඔබතුමාටත් හැඟේ යන්න මම විශ්වාසකරමි.. එබැවින් මෙවරත් එයම සිදු වේවිදැයි මහ ජනතාවගේ සිත් තුළ ඇති පැණයට හැකි ඉක්මණින් පිළිතුරු දී එම සැක සංකා ඉවත් කිරීම ඔබ සතු හදිසි කාර්යයක් ලෙසද මම දකිමි.

 6. රටේ අති මහත් දැවැන්ත සංවර්ධන ක්‍රියා දාමයක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.. ඔබ බලයට පත් වූ පසු එම සංවර්ධන ක්‍රියාදාමයට කුමක් සිදුවේද යන්න මහජනතවගේ සිත් තුල ඇති තවත් ප්‍රශ්ණයකි... අද ගමේ පාසලට ගුරුවරු ඇත. විද්‍යාගාර ඇත.. මීමුරේ වැනි හුදෙකලා ගම්මාන වලට පවා ජාතික පද්ධතියෙන් විදුලිය සැපයේ.. නාගරික බොහෝ දෙනාට අඩුම තරමේ යතුරු පැදියක්වත් ඇත.. පාරවල් සුව පහසුය.. අධිවේගී මාර්ග ඉදිවෙමින් පවතී.. විකල්ප වරායන් සේම විකල්ප ගුවන් තොටුපලවල්ද ඇත.. සංචාරක කර්මාන්තය සීග්‍ර දියුනුවකට බඳුන් වී ඇත.. ත්‍රිරොද රථ ගාල් වල ඇති ත්‍රිරෝද රථ ගණනින් විශාලය. ගොවියන් මෙන්ම කිසිවකුත් රටේ පොදු කරුණු අරඹයා වහ බොන්නේ නැත. ජනතාව නිදහසේ රට පුරා ගමන් කරයි... කොළඹ පැල්පත් වාසීන් අඩු වෙමින් පවතී.. නගර අලංකාර වෙමින් පවතී.. ක්‍රිකට් පමණක් දියුණු වූ අප රටේ රගර් ද, දරුවන්ගේ ආශාව මුදුන් පත් කල නිසා හෝ යම් මට්ටමක ජාත්‍යාන්තර දියුනුවකට පැමින තිබේ.. පොලීසි, රෝහල්, බස් නැවතුපොලවල් වල යටිතල පහසුකම් වර්ධනය වී ඇත. ඉතින් මෙවැනි ක්‍රියාවන් ඉදිරියටත් පවත්වා ගෙන යෑම පිළිබඳ ඔබේ අදහස කෙබඳුදැයි දැන ගැනීමට කැමැත්තෙමි.. ඔබේ මැතිවරණ ප්‍රකාශයේදී එය එළි දැක්වීමට ඉඩ ඇති යැයි මගේ හැඟීමයි.. නමුත් ආණ්ඩුවේ කථිකයින්ට ඉණිමන් තනන කරුණු ඇතුලත් වුවහොත් ඔබට ජනපතිකම තබා විපක්ශ නායකකමවත් නැති වන බව ඔබේ බුද්ධියට තේරුම් යතැයි මම බලාපොරොත්තු වෙමි.

7. රටේ ජනතාවගෙන් බහුතරයක් සිටින්නේ "රට හැදෙනවානම් උන් කොච්චර ගැහුවත් කමක් නැත" යන මානසිකත්වයේ බව ඔබටත් මටත් අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුවන බව ඔබට වැටහෙනවා ඇතැයි සිතමි... මේ කුඩා කාලය තුල මිනිසුන්ගේ සිත් වලින් එම ආකල්පය බැහැර කිරීමට ඔබ පියවර ගත යුතුය.. එපමණක් නොව, ඔබ වටේ ඇරියස් කවර් කිරීමට බලා සිටින දේශපාලනඥ්ඥයන්ගෙන් මෙම වංචා දූෂණ නැවත සිදු නොවන්නේ යැයි යම් සහතිකයක් ඔබ විසින් ජනතාවට දිය යුතුව ඇත. නැතිනම් ජවිපේ කියනා ලෙස "බලය අනෙක් පාර්ශ්වයට ලබා දීම තවත් එක් ඔළුගෙඩි මාරුවක් පමණක් වනු ඇත". මෙවර ඔබේ අනුගාමිකයින් සතුව මහින්ද රාජපක්ශ ප්‍රමුඛ ආණ්ඩුවේ දේශපාලකයෙන්ගෙන් ගත් පාඩම් නිසා ඔවුන්ද නිසි අයුරින් වංචා දූෂණ කිරීමට පෙළබෙනු ඇත.. කලින් කී ලෙසට එම කරුණු කාරණා සම්භන්ධව ඔබේ ප්‍රතිපත්තිය කෙසේ දැයි මහ ජනතාව වන අප බලා සිටිමි...

8. තවත් එක් ඉතා වැදගත් ප්‍රායෝගික කරුණක් පිළිබඳවද ඔබේ අවධානය යොමු කරමි. මහින්ද රාජපක්ෂයන් අගමැති වීමට ප්‍රථම ඔබ වැනි චරිතයකි.. නමුත් ඔහුව විශාල ප්‍රතිරූපයක් ලෙස පිම්බූවේ ෆේස්බුක්වත්, අන්තර් ජාලයවත්, මේ කොටන බ්ලොග් වත් නෙමේය.. ඔබ ඇතුළු දක්ෂ කථිකයින් විසින් ඔහු අති ප්‍රභල චරිතයක් කරනු ලැබුවෝය.. අපේ වචනයෙන් කියනවානම් කථිකයින් ඔහුව පොරක් කරනු ලැබුවෝය.. එම අවස්ථාවෙන් හා එතුලින් ඇති වූ ජනවරමින් ප්‍රයෝජනය ගත් ඔහු දේශීය විදේශීය බලවේගයන්ට නතු නොවී යුද්ධය දිනා, රට මිනිසුන්ගේ දෑසෙට පෙනෙන සීග්‍ර සංවර්ධන මාවතකට ඇද දමමින් පොරක් බවටම පත් විය.. මෛත්‍රී මැතිතුමණි, මේ බැලුමේ හුලං පිරවූ එකට වඩා හුලං බැස්සවීම අමාරු බව ඔබත් දන්නවා ඇතැයි සිතමි.. මහින්දයන් පොරක් කරන්නට සිටි කථිකයින්ට වඩා ඔබ වටේ සිටින කථිකයින් සාපේක්ශව අඩුය.. දුර්වලය... අඬමින් ජනතාව අමතනවාට වඩා ආඩම්භරයෙන් ජනතාව අමතන එක හිතට වදින බව අප දන්නා කරුණකි.. කෙඳිරියෙන් ජනතාවට කරුණු කියනවාට වඩා ආවේගශීලීව මැතිවරණ වේදිකාවේ කරන කථාවට ජනතාව කැමතිය.. මෙන්න මේ අඩුව ඔබේ පාර්ශ්වය තුල දක්නට ඇති ප්‍රභල අඩුපාඩුවක් බව නොකියාම බැරිය.  

9. දැන් ඇතියැයි කියා සිතමි.. තව කරුණු විශාල ප්‍රමාණයක් තිබුනත් ඒවාත් ප්‍රකාෂ කලොත් ඔබට මෙම සටනද එපා විය හැක.. කෙටි කලක් තුල මෙවැනි සුළු කරුණු වගේම බරපතල කාරණා රැසක් පිළිබඳ වූ විකල්පද ජනපතිවරණ සටනේදී ඔබ මහ ජනතාව වෙතට ධනාත්මකව ලබා දිය යුතුව ඇත. එය සාර්ථකව කිරීම සඳහා ඔබට සුභ පතමි. තවත් ලිපියක් සති දෙකකින් විතර එවන්නට බලාපොරොත්තු වෙමි.. මෙහි ඇති ඌණපූර්ණය මෙන්ම මෙහි කරුණු වලට එකඟ හා විරුද්ධ අදහස් පහතින් වැටෙන කමෙන්ට් වලින් ඔබට බලාපොරොත්තු විය හැකි බවද මතක් කරමි..

එසේනම් සුභ අනාගතක්... මෛත්‍රී පාලනයක්...

මෙයට,
ටිකක් හිනා වෙන්නට ලියන අභීත.
  

Monday, November 3, 2014

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...