Friday, December 26, 2014

තිස්ස අත්තනායක එළියට දාපු හොර ගිවිසුම රටට කෙසේ බලපාවිද?

පසුගියදා තිස්ස අත්තනායකයන් විසින් රටට හෙළි කරන ලද රනිල් සහ මෛත්‍රී අතර ඇති වුනා යැයි කියන ගිවිසුම බොරු එකක් යැයි, දැන් දැන් විපක්ශයේ පාර්ශ්ව විසින් හෙළි කරමින් යමින් සිටී. එසේ කලානම් තිස්ස කර ඇත්තේ ඉතා බරපතල වැරැද්දක් මෙන්ම පහත් පෙලේ කඩේ යාමක් බවද මම විශ්වාස කරමි. විපක්ෂය මේ පිළිබඳ විස්තර කරමින් මෙම ගිවිසුම බොරු එකක් බව ඔප්පු කරන අයුරු පිළිබඳව අපි සලකා බලමු.

1. අත්සන් ව්‍යාජ යැයි පැවසීම.
මෙය හොද ස්ථානයකි. අත්සන් වැරදිනම් ආයේ කතා කල යුතු දෙයක් නැත.

2. මෛත්‍රී නොවැම්බර් 1 වන විට මේක අත්සන් කරන්නේ කොහොමද යැයි පැවසීම.
  තර්කානුකූලව නිවැරදි නමුත්, පොදු අපේක්ෂකයා ලෙස පෙනී සිටීම සම්භන්දව එජාප කෘත්‍යාධිකරණ මණ්ඩලය තීරණය කරන්නට යම් සාධක අවශ්‍ය බව සිතේ.. අනෙක නම් ඊයේ එන්න කියා අද මෛත්‍රී ආවා යැයි විශ්වාස කිරීමට නොහැකි වුවත් මේ කාරණයේදී විපක්ශය ඉදිරිපත් කරන කාරනය බර වැඩිය.

3. රනිල් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීම
 මේ තුලින් රනිල් නිර්දෝශී යැයි මහජනතාවට ප්‍රභල සාක්ෂියක් සපයයි...

4. රුපියල් මිලියන 2500ක් ඉල්ලා මෛත්‍රී තිස්සට විරුද්ධව එන්තර වාසියක් යැවීම.
 මේ තුලින් මෛත්‍රී නිර්දෝශී යැයි රටේ ජනතාවට ප්‍රභල සාක්ෂියක් සපයයි...

ඉහත කරුණු නිසා තිස්ස අත්තනායක කල හෙළි දරව්ව පිළිබඳව ප්‍රභල ගැටුමක් අද වන විට ඇති වී තිබේ... ඒ පිළිබඳව විමසීමේදී එතනින් එහා ගිය යමක් පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

විපක්ශ වේදිකාවේදී තිස්ස අත්තනායකගේ මෙම ගිවිසුම බොරු යැයි පුන පුනා කියන ඔවුන් මෙහි සඳහන් කාරණයන් පිළිබඳව නිශ්ෂබ්ද වන්නේ ඇයි කියන කරුණ පිළිබඳව කිසිදු කතිකයෙකු කට නොඇරීම පිළිබඳව විස්මයට පත් විය යුතුය.. ඇරියත් ඒ පාඨලී රණවක හැර වෙන අයෙක් නෙවේ.. ඔහුද කට අරින්නේ මඳ වෙලාවකටය.. අපි එම කාරණය කරුණු වශයෙන් විමසා බලමු. මෙහි අනෙක් කරුණු අභ්‍යන්තර කරුනු නිසා 2.7 සිට විමසා බලමු.. ඇයිද යත් එය රටේ තිබෙන ජාතික ප්‍රශ්ණය නිසාවෙනි.

1. සියළු අධි ආරක්ෂිත කලාප ඉවත් කර එහි මුල් ඉඩම් අයිති කරුවන්ට ලබා දීමටද,

 මේ පිළිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශණයේදී මෙන්ම මැතිවරණ වේදිකාවේදීත් විපක්ශය කටක් අරින්නේ නැත.

2. දෙමළ ජනතාවගේ අභිලාශය ඉටුවන පරිද්දෙන් 13වන සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් සිදු කිරීමටද,

 මේ පිළිබඳවත් විපක්ශයේ කිසිවෙක් කට හොල්ලන්නේ නැත. ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සඳහනක්ද නැත.

3. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් යුධ අපරාධ සහ මානව හිමිකම් කඩ කිරීම සම්භන්ධයෙන් ශ්‍රී ලංකාවට කරන ලද නිර්දේශ සියල්ලම ක්‍රියාත්මක කිරීම සඳහා, ජාත්‍යාන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටද,

 මේ පිළිබඳව ලංකාවේදී කටක් අරින්නේ නැති නමුදු, ද හින්දු පුවත්පතට අදහස් ලබා දී තිබේ... ඒ යුධ අපරාධ සම්භන්ධයෙන් දේශීය පරීක්ෂනයක් ඇරඹීමට නියමිත බවය.

5. යුද්ධය අවසන් වී ඇති හෙයින් ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වැය කරන මුදල 40%කින් කපා හැර එම අරමුදල් උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු සඳහා යෙදවීමටද,

 මෙහි වරදක් නැත. ආරක්ශක හා නාගරික සංවර්ධන යන කොටස් දෙක වෙන් කලාට පසු ඉතිරි වෙන්නේ 60% වගේ ප්‍රමාණයක්ය.

6. රාජ්‍ය අංශයට බඳවා ගැනීම් මහා භාණ්ඩාගාරයට බරක් වී ඇති හෙයින්, රාජ්‍ය සේවයට අළුතින් බඳවා ගැනීම් වහාම අත් හිටුවා දේශපාලන වශයෙන් ලබා දුන් සියලු පත්වීම් සහ උසස්වීම් වහාම අවලංගු කිරීමටද,

 මේ සම්භන්ධවද කිසිදු වැකියක් ප්‍රකාශ වී නැත. ඒ පිළිබඳවද විපක්ෂ කතිකයන් මුනිවත රකී.

ගිවිසුම වැරදි නම් ඒ ගන්නා ක්‍රියා මාර්ග ගත යුතු සේම එහි අන්තර්ගතය පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීම වටිනා බව මගේ අදහසයි.. මේ කරුණු රටේ ජාතික ආරක්ෂාවට මෙන්ම රටේ අනාගතයටද සැබෑ ලෙස බලපාන කරුණු වේ.. ඒ නිසා මෙම කරුණු පිළිබඳව විපක්ෂයේ මතය දැන ගැනීමට රටේ ජනතාව බලා සිටින බව අපි හැමෝම දනිමු. එබැවින් එය ඉක්මණින් සිදුවන තරමට මෛත්‍රී පාර්ශ්වයට හිතකර බලාපොරොත්තුවක් ඇති කර ගත හැකියැයි මම සිතමි.

නමුත් වේදිකාව තුල මේ සම්භන්දයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමත්, ප්‍රතිපත්ති ප්‍රකාශණය තුලට මෙය ඇතුලත් නොකිරීමත්, දැනට ඔහු වටා රොක් වූ මුස්ලිම් කොන්ග්‍රසය, ටී එන් ඒ වැනි සංවිධානවල අරමුණු කෙරෙහිත් බැලූ කල මේ රටේ බුද්ධිමත් ඡන්ද දායකයාට මෛත්‍රීට විරුද්ධ වීමට එයම ප්‍රමාණවත් කරුණක් වනු ඇත. 

Friday, December 19, 2014

මෛත්‍රී මැතිතුමනි, ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව ඔබේම අවධානය පිණිස ලියමි...

ගරු මැතිතුමණි, මීට සති දෙකකට පමණ පෙර ඔබ වෙත ලිවූ පරිදි නැවතද ඔබව අමතන්නට සිතුවෙමි. කාර්‍ය බහුල ජීවිතයක් ගත කරනවා වුනාට සුවෙන් ඇතැයි සිතමි. කලින් ලිපිය මෙතනින් බලාගත හැකිය. 

ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, ඔබතුමාත් මමත් දන්නා පරිදි නව ජනපතිවරණ අපේක්ෂකයෙකුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් යනු, රටේ වෙනසක් බලාපොරොත්තු වන ජනතාවගේ හද ගැස්මයි. එය හුදෙක් බලාපොරොත්තු වලින් පිරි ලියැවිල්ලක් වනවාට වඩා, රටේ ඉදිරි ගමන පිළිබඳ යහපත් චිත්‍රයක් මැවෙන වෙනස් අත්දැකීමක් සමඟ එන ප්‍රකාශනයක් නම්, එය එම මැතිවරණ ව්‍යාපාරයට යහපත් අඩිතාලමක් වනු නො අනුමානයි.. ඉතින් ඉහත කරුණ සිහියේ තබාගෙන අපි ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ මදක් සාකච්ඡා කරමු.


ඔබතුමාගේ ප්‍රකාශනයේ පිළිවෙලින්ම, අපි පටන් ගමු මැතිතුමනි,

දැක්ම.

මේ දැක්ම ඉතා යහපත්ය. රට ගොඩ නැංවීම ප්‍රධාන අරමුණ කරගත් ඔබතුමාගේ දැක්ම අගය කල යුතුය. ඒ සමගාමීව පෙරලෙන ඊලඟ පිටු දෙකෙහි ඉතා සාර්ථක ගමනක් පිළිබඳව ඔබ විසින් විස්තර කර ඇත. සැබැවින්ම එය අපූරුය. ආස්වාදජනකය. මේ රට තුල විය යුත්තේ එයයි. මේ කරුණු වලට එකඟ නොවෙන කිසිවෙකුත් නැත. මහ ජනතාව බලාපොරොත්තු වන ශ්‍රී ලංකාව එළෙසින් බිහි විය යුතු බව මමද තදින් විශ්වාස කරමි.

නමුත් නමවන පිටුවේ අවසන් ඡේදයේදී බළලා හොරෙන්ම මල්ලෙන් එළියට පැමිණ ඇත. ඒ "ජනාධිපති ධූරයට පත් වී වසර හයක් තුල මම මගේ කාර්‍ය අවසන් කරමි" යන වැකියෙනි. ගරු මැතිතුමනි. දින සියයක් තුල කලයුතු ප්‍රධානතම කාර්යය ඔබතුමාට මඟ හැරී ඇත. පොදු ජනතාවගේ බලාපොරොත්තු අහස උසට නංවමින්, පොදු අපේක්ශකය ලෙස වාඩිවී, උත්තරීතර ධම්ම පදයේ ගාථා දෙකක් පවසමින්, ඔබතුමා අපට දුන්න පළමුවෙනි හා පාරිශුද්ධ පොරොන්දුවට ඔබතුමා මේ කලේ කුමක්ද? රනිල් පරදා අතුරලියේ රතන හිමි පෙරට පැමිණ ඇත. ඔබව කරේ තියන් යන ප්‍රධානතම බලවේගය වූ එක්සත් ජාතික පාක්ශිකයා පැත්තකට විසි වී හෙළ උරුමය නම් බෞද්ධ හිතෛශී පක්ෂය පෙරට පැමිණ ඇත. ඔබ නිතරම පුන පුනා කියන, ඉතාම ඓතිහාසික කැපකිරීමක් කල රනිල් වික්‍රමසිංහයන් පරදා, දෙපැත්තට කකුල තියාගෙන හිටපු, අවසන් මොහොතේ කල හැක්කක් නොමැති නිසාවෙන් ඔබ වෙත පැමිණි, පාඨලී චම්පික රණවකයන් ඉදිරියට පැමිණ ඇත. ඔබට ලැබෙන ඡන්දයෙන් 80%කටත් වඩා නියෝජනය කරන කරන එක්සත් ජාතික පාක්ශිකයාට මැතිවරණයට පෙරම ඔබදුන් නත්තල් තෑග්ග නිසා ඔවුන් හෙට දින වීදි බැස ප්‍රීති ගෝශා කරනු ඇතැයි ඔබට සිතෙනවාද මැතිතුමනි?

මීලඟට අනෙක් පරිච්ඡේද වලට යාමට කලින් මම වෙනත් පැත්තක් වෙත ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. ඒ ව්‍යවස්ථාව, අධ්‍යාපනය, සෞඛ්‍යය, බලශක්තිය, රජයේ සේවය හා පරිසර පද්ධතිය වැනි මාතෘකා වලට සාපේක්ශව ඊට වඩා වැදගත් කරුණක් වන අපේ රටේ වාර්ගික අර්බුධය පිළිබඳවය. ඡන්ද දායකයා ඔබ ඇතුළු සියළු අපේක්ෂකයින්ගෙන් බලාපොරොත්තු වන ප්‍රධානම කටයුත්ත, මේ එකට කල මතෲ භූමිය නැවත දෙකඩ වන්නට ඉඩක් තිබේද නැද්ද යන්නයි.  ඒ හේතුව නිසාම ඔවුන් දමිල සන්ධාණය හා මුස්ලිම් කොන්ග්‍රසය ගන්නා තීරණ පිළිබඳව දෑස් දල්වා බලා සිටියි. ඊට කලින් ඔබ ඒ පිළිබඳව දක්වන ආකල්පය කෙසේද යන්න පිළිබඳව මහ ජනතාව ඉතා දැඩි උනන්දුවකින් මෙන්ම විමසිල්ලෙන් බලා සිටි බව ඔබතුමාට රහසක් යැයි මම නොසිතමි.

ඉතින් මැතිතුමනි, ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ කිසිදු තැනක මේ පිළිබඳව සටහන් නොවීම පිළිබඳව මම විමතියට පත් වීමි. මෙය ඔබතුමාට මඟ හැරුණු බවක් නම් මට කිසිසේත්ම විශ්වාස කරන්නට නොහැකි බව මම ඔබතුමා වෙත ඉතා දැඩිව අවධාරණය කරන්නෙමි. ආණ්ඩු පක්ශය, චන්ද්‍රිකා මැතිණිය ප්‍රමුඛ ඔබගේ කණ්ඩායම වෙත දිගින් දිගටම එල්ල කරන "ඩොලර් කුට්ටි" චෝදනාව සාධාරණ යැයි සිතන්නට, ඔබතුමාම පාර කපාවි යැයි මම සිහිනෙනුදු නොසිතුවෙමි. ඉදින්, මෙය මඟ හැරීම තුළින් අපට ගම්‍ය වන්නේ කුමක්ද? පුද්ගලිකව මටනම් සිතෙන්නේ ඔබතුමා සිතා මතාම "කොලේ වහලා ගසා ඇති" බවයි. දහතුන් වන සංශෝධනය පිළිබඳව ඔබේ අවධානය යොමු කරද්දී, උතුරු පළාත් සභා මහ ඇමතිගේ ක්‍රියා කලාපය දේශ මාමක ජනතාවගේ කථා බහට දැඩිව බදුන් වෙද්දී, දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියා කලාපයන් පිළිබඳ රටේ ජනතාවගේ සිත් සතන් මහා පරිමාණයෙන් කලබද්දී, ජනපතිවරණ අපේක්ෂකයෙක් වූ ඔබතුමාගේ මනසින් මෙය ඉවත් වුනේ කෙසේද? අතුරලියේ රතන හාමුදුරුවන් වගේම පාඨලී චම්පික රණවක මැතිතුමන් ඔබ අසල සිටිද්දී මේ පරිච්ඡේදය ඔබතුමන්ගෙන් ගිලිහී ගියේ කෙසේද?

ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, ඇත්ත කියන්න. අපි තරහ වෙන්නේ නෑ. ඔබතුමා ඔබේ ඡන්ද දායකයාට කොළේ වහලා ගැහුවා නේද? දේශපාලනික වශයෙන් පිරිසිදු චරිතයක් වූ ඔබතුමාව, වටේ සිටින අය විසින් බිත්තියට හේත්තු කලා නේද? ඔබතුමා තනිව හේත්තු වූවානම් අපට අහක බලාගන්නට තිබුනා මැතිතුමනි. සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මෙන්ම පිවිතුරු හෙටක් ජාතික සභාවේ නිර්මාතෲ වරුන් වූ, පූජනීය වන්දනීය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේත්, මාවිල් ආරු සොරොව්ව ක්‍රියාන්විතයේ පුරෝගාමියා වූ අතුරලිය රතන ස්වාමීන් වහන්සේත්, එද මෙදාතුර සාධාරණය හා යුක්තිය වෙනුවෙන් පෙනී සිට ජනතා හදවත්වල මහත් ප්‍රසාදයක් හිමි කරගත් පාඨලී චම්පික රණවක මැතිතුමාත් ඔබත් සමඟ බිත්තියට හේත්තු වී කර කියාගත දෙයක් නොමැතිව සිටින බව මේ රටේ ජනතාවට නොතේරෙයි කියා ඔබ සිතනවා නම්, එය හුදෙක් විහිළුවක් පමණයි ගරු මැතිතුමනි. මේ කාරණය එතරම් සුළුකොට තකනවා නම් තවත් කවර කතාද මැතිතුමනි?  

ඔබේ ඊලඟ ඡේදය ව්‍යවස්ථාව පිළිබඳවයි. මේ ගැන නම් කථා කිරීමට කිසිම දෙයක් ඔබතුමා ඉතිරි කර නැත. කලින් කියූ පරිදිම ඔබතුමාගේ පළමු මෙන්ම පිවිතුරු මැතිවරණ පොරොන්දුව වූ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම කුඩු පට්ටම් වී ගොස් ඇත. ඊලඟට ආපු විධායක අගමැති පොරොන්දුවද කොහි ගියාදැයි නැත. මෑතදී ආ උප අගමැති කථාවද හොයා ගත නොහේ. ඔබතුමා හදවතින්ම පැවසූ ඇමති මණ්ඩලය 30කට සීමා කිරීමේ බලාපොරොත්තුවද නන්නත්තාර වී ඇත. හිතවත් මැතිතුමනි, ව්‍යවස්ථාව පිළිබඳව ඔබ දුන් පොරොන්දු සටහන් වී නැති ලේඛනයක සටහන්ව ඇති, නොදුන් පොරොන්දු පිළිබඳව අපි කෙසේ විශ්වාස කරන්නද?

ඊලඟට මම ඔබතුමන්ගේ අවධානය යොමු කරන්නේ රජයේ සේවකයන්ට ඔබතුමා දී ඇති පොරොන්දු පිළිබඳවයි. ඔවුන්ගේ වැටුප රුපියල් 10000.00 කින් වැඩි කිරීම, ඔවුන්ට ලබා දුන් යතුරු පැදි වල වල ණය වාරික කපා හැර, අය කරපු 50000.00 ක මුදල ආපසු ගෙවීමටත් ඔබතුමා රජයේ සේවකයින්ට පොරොන්දු වී ඇත. මේ ගැන යමක් කියන්න කලින් ඔබතුමාට අතීතය මතක් කර දීමට කැමැත්තෙමි. පහුගිය සැරෙත් මේ රුපිල් 10000.00 වැඩිවීම ගැන කියා, විපක්ශය තැපල් ඡන්ද ඉහළින්ම පැරදුන බව ඔබට මතක ඇතැයි සිතමි. රජයේ සේවකයා වනා හී බුද්ධි මට්ටමෙන් අඩු කොටසක් නෙමෙයි මැතිතුමනි. රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබෙන රජයේ සේවකයාට පොරොන්දුව ඇහෙද්දී දැනෙනවා, මේ ඔවුන්ට ලැබෙන දෙයක්ද? නැත්නම් තැපැල් ඡන්ද ගුන්ඩුවක්ද කියන එක. ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, රජයේ සේවකයා පිළිබඳව ඔබ තුල ඇති මේ පටු ආකල්පය ඉවත් කර ගන්න ලෙස ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමි.

විශ්‍රාම වැටුප 3500 කින් වැඩි කිරීම, ඉන්ධන බදු කෝටි 4000ක් අහෝසි කර ජනතාව වෙත සහන සැල්සීම, පිං පඩිය 1500 කින් වැඩි කිරීම සමෘද්ධිය දෙගුණයකින් වැඩි කිරීම වැනි ආර්ථිකමය පොරොන්දු ඉටු කල පසු, මේ රට කොතනට ගමන් කරයිද කියන එක තාර්කිකව සිතන බුද්ධිමත් ශ්‍රී ලාංකිකයාට බලවත් ගැටළුවක් මැතිතුමනි.

ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, තවත් අසන්න බොහෝ කරුණු තිබුණත් මම මෙතැනින් නවතිමි. හිතේ දැවෙන වැදගත්ම ගැටළු ටික පමණක් ඔබෙන් ඇසුවෙමි.  මට මෙන්ම ඔබටද මේ ගැටළු වලට උත්තර නැතැයි සිතමි. 

අවසන් වශයෙන් ඔබතුමා වෙත කරුණු දෙකක් පැවසීමට  ඉතා කාරුණිකව අවසර පතමි.

1. මිනිසුන් සුරංගනා කථා ඇසීමට රුචිකත්වයක් දක්වන්නේ බාල කාලයේදී මිස ඡන්ද අයිතිය ලැබන වයසට පැමිණීමෙන් පසු නොවේය කියන කාරණය

2. ඔබතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලියූ පුද්ගලයා හෝ මෙම කණ්ඩායම, ඉතා දැඩි මහින්ද රාජපක්ෂ පාක්ශිකයෙක් හෝ පාක්ෂිකයෝ යැයි මගේ සිතේ ප්‍රභල කුකුසක් නැඟී ඇති බව.

අදට නවතිමි මැතිතුමනි. නොසිතා හෝ යම් වැරැද්දක් සිදු වූවානම් ඉතා කාරුණිකව සමාව අයැද සිටිමි.

සුභ පැතුම්,
අභීත.

Monday, December 15, 2014

හිරුණිකා, දිගම්බරන්, රාධක්‍රිශ්ණන් සහ තිස්ස, කැටගොඩ, ගම්මන්පිල...

දේශපාලන පිල් මාරු සම්භන්ධයෙන් පසුගිය දිනවල තිබුණේ දැඩි උද්වේගකර තත්ත්වයකි. මෙහි ආරම්භය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රාජිත සේනාරත්න මැතිතුමා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන පිරිසක්, එම සන්ධානය කඩාගෙන විත් එක්සත් ජනතා පක්ෂය ප්‍රධාන සන්ධානය හා එක්ව පොදු අපේක්ෂක චරිතයට පණ පෙවීමය. අතුරලියේ රතන ස්වාමීන්වහන්සේගේ "පිවිතුරු හෙටක්" කාර්‍ය්භාරය නිසාවෙන් හෙළ උරුමයද තම තනතුරු අතහැර ඒකාබද්ධ පොදි විපක්ෂය හා එක්විය. නමුත් හෙළ උරුමයේ ප්‍රධාන සංඝටක දෙක වූ පාඨලී චම්පික රණවක ඇමතිතුමා සහ උදය ප්‍රභාත් ගම්මන්පිල මන්ත්‍රීතුමා මේ පිළිබඳව එතරම් හිතකර අදහස් නොදැක් වූ නමුත් අතුරලියේ රතන හිමි නිසා උද්ගත වූ තත්ත්වය හේතුවෙන් රජයෙන් එළියට ඒම හැර ඔවුන්ට වෙනත් විකල්පයක් නොවිණ.. ඉහත සඳහන් පිල් මාරු තරමක් පැරණි හෙයින් අපි මෑත පිල්මාරු පිළිබඳව විමසා බලමු. 


නාම යෝජනා දුන් දිනයේදී ආණ්ඩුව විපක්ෂයේ ප්‍රභල සමාජිකයෙක් මෙන්ම එහි මහලේකම් වූ තිස්ස අත්තනායක නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තම ග්‍රහණයට ගත්තේය. ඒ සමඟ ජයන්ත කැටගොඩ නම් ප්‍රජාන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායකද විය. ජයන්ත කැටගොඩ යනු සරත් ෆොන්සේකා ගෙන් හිස් වූ අසුනට පාර්ලිමේන්තු පැමිණියෙකි. එබැවින් ඔහුගේ පැමිණීම "ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක" නමැති ටැග් එක හැර ගත යුත්තක් නැති බව මගේ හැඟීමයි. ඔහුට මේ පිම්මෙන් ලොකු වාසියක් අත් වුවද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට මම පෙර කිවූ ටැග් එක හැර වෙනත් වාසියක් නැත.


නමුත් තිස්ස අත්තනායක යනු සුළුකොට තැකිය නොහැකි දේශපාලඥ්ඥයෙකි. මේ පිල් මාරුව නිසා මෛත්‍රී පාක්ෂිකයින් ඔහුව සුළුකොට තැබුවද, ඔහුගේ ප්‍රභලතාවය පෙන්වා දීම වටී යැයි මට හැඟෙයි. එක්සත් ජාතික පක්ෂයේ මෑත කාලීන පරාජයන් වලින් පසුව පැවැත් වූ මාධ්‍ය සාකච්ඡා පිළිබඳව ඔබට මතක ඇති. තනියම මාධ්‍යයන්ට මුහුණ දෙමින් ආණ්ඩුවේ ජය අවතක්සේරු කර, විපක්ශයේ පරාජය සාධාරණය කරන්නට ඔහු තනිව ප්‍රභල වෑයමක යෙදුනේය. පක්ෂය තුල ඇති වූ මතභේදයන් දුරු කරලන්නට ප්‍රභල කාර්‍යභාරයක් කල පුද්ගලයෙක් ලෙස තිස්සව අපට පෙන්වා දිය හැක. තම නායක රනිල් වික්‍රමසිංහයන් ප්‍රශ්ණ වලට මුහුණ පෑ සෑම වෙලාවකදීම ඔහු කුමක් හෝ කරමින් නැවතත් ඔහුව රජ කරවන්නට දර දිය ඇද්දේය. ඉතාම මෑත කාලයේ උදාහරණයක් ගමු. ඌව පළාත් සභා ඡන්දයේදී එක්සත් ජනතා පක්ෂය යම් නැගිටීමක් පල කර බව අප සියළු දෙනා පිළිගත යුතු තරම් වූ සත්‍යයකි. එයට හේතුව ලෙස හැමෝම දැක්කේ හරීන්ගේ සාර්ථකත්වය වගේම රනිල්-සජිත් දෙපලගේ එකමුතුකමය. මේ එකමුතුකමේ පාළම වූයේ තිස්ස අත්තනායකයි. එවැනි කාර්‍යභාරයක් කල මහ ලේකම් වරයාව බාල්දු කර කථා කිරීම නොවටිනා බව ඔබත් මමත් පිළිගත යුතුව ඇත. තිස්සගේ දේශපාලන ඉතිහාසය ගැනද යමක් පැවසිය යුතුය. විශ්ව විද්‍යාල කාලයේ සිටම ඔහු එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෙකි. 1989 වසරේ සිට 2010 වන තුරුම ඔහු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජයග්‍රහණ වාර්ථා කර පාර්ලිමේන්තු පැමිණියෙකි. නමුත් 2010 වසරේදී ඔහුට හිමි වූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීදූරයකි. ඒ ඇයිද කියා විමසා බැලීමත් වටී.. එම මැතිවරණයේදී සුළු ජාතික අපේක්ෂකයින් රාෂියක් එක්සත් ජාතික පක්ෂය වටා රැඳිණ. සුළු ජාතික අපේක්ෂකත්වයකට ඉඩ දීම පිණිස තිස්ස අත්තනායකයන්ට තම මැතිවරණ ප්‍රවේශ පත්‍රය කැප කරන්නට සිදු වූ බව එක්සත් ජාතික පාක්ෂිකයාට අමතක වීමට තරම් කාලයක් නොවේ යැයි හැඟේ... මෙවන් ඔහුට ඡන්ද පදනමක් නැත කියන්නට තරම් මෛත්‍රී පාක්ෂිකයින් ලඳ බොළඳ වීම පිළිබඳව විස්මයට පත්වීම විනා වෙන කල හැක්කක් නොමැත.


මීට සමගාමීව එක්සත් ජාතික පක්ෂයද දැවැන්ත පහරක් එල්ල කලේය. ඒ මනාප විශාල සංඛ‍යාවකින් බස්ණාහිර පළාත් සභාව ජයග්‍රහණය කල හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නම් වූ පළාත් සභා මන්ත්‍රීවරියව තම පාර්ශ්වය වෙත ඇද ගනිමිනි. හිරුණිකාගේ සිරිකොත ආගමනය නිවැරදිය, සංවේදීය. තම පෞද්ගලික තරහකරුවන් සමඟ එක මේසයේ වාඩිවී කෑම ගත නොහැකි බවත්, ඒ නිසා මානුශීය පැත්තෙන් ඒ පිළිබඳව කිසිදු දොසක් නැඟිය නොහැකි බවත්, මේ ලිපිය ලියන මමත් පිළිගත් සත්‍යයක් බව කිව යුතුය. ඇයගේ දේශපාලනය ගැනත් යමක් කිව යුතුය. ඇය්ගේ දේශපාලනයට හොඳම පූර්වාදර්ෂයක් චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණියගෙන් ගත හැකිය. චන්ද්‍රිකා මැතිණිය විජය කුමාරණතුංග නම් මානව හිතවාදියාගේ දේහය මතින් මහ ඇමති පුටුව කරා පැමිණියේය. අන්තුරුව ජනපති පුටුව කරා පැමිණීමටද ඇයට අවශ්‍ය වටපිටාව සිරිමාවෝ මැතිණිය විසින් එකල පැවති පවුල් වාදය හරහා අවස්ථාව උදා කර දෙනු ලැබින. හිරුණිකාත් එසේමය. භාරත් ලක්ෂ්මන් නම් මානව හිතවාදියාගේ මරණයත් සමඟ වූ අනුකම්පා ඡන්ද විශාල ප්‍රමාණයක් ඇය වෙනුවෙන් මනාප පෙට්ටියට වැටිණ. ජයග්‍රාහී පක්ෂයක් තුලින් ඡන්දය ඉල්ලීම නිසාත්, එක්පුද්ගලයෙකුට මනාප තුනක් ලබා ද්ය හැකි නිසාත් හිරුණිකාගේ මනාප අංකයට, ඡන්ද දායකයාගේ ප්‍රමුඛත්වය නොවුනත් දෙවන හෝ තෙවන මනාපය හිමිවීම තුළින් ඇය මේ ජයග්‍රහණය ලැබූ බව පැවසිය හැක. නමුත් ඇගේ ඡ්න්ද දායකයා ඇය පසුපස මෛත්‍රී කරා ඒයැයි සිතිය හැකිද යන්න අප අපගේම මනසින් විමසා බැලිය යුතුය. නමුත් වර්තමාන දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි ඉදිරියේදී මෛත්‍රී, පාඨලී හවුලෙන් ඇරඹෙන නව දේශපාලන පක්ෂයකට හිරුණිකාද එක් වුවහොත් ඇයගේ ඡන්ද පදනම පිළිබඳව යම් අදහසක් ඇති කර ගැනීම ඔබ වෙතටම බාර කරමි.


දිගම්බරන් සහ රාධාක්‍රිශ්නන් ගැනද කතා කල යුතුය. ඔවුන් අප පෙර කී පුද්ගලයින් තරම් වැදගත් නොවෙතත් ඔවුන්ගේ එජාප ආගමනය නිසා කුමක් සිදුවේද යන්න වාක්‍ය කිහිපයකින් කිව හැක. මේ දෙදෙනාගේම රාජධානිය නුවර එළිය දිස්ත්‍රික්කයයි. මොවුන් දෙදෙනාම මහින්ද රාජපක්ෂයන්ගේ කර පිටින් දේශපාලනයේ යම් තැනකට පැමිණි දෙදෙනෙකි. නමුත් වතුකරය නියෝජනය කරන තොන්ඩමන් සහ චන්ද්‍රසේකරන් තවමත් මහින්ද රාජපක්ෂ සමඟිනි. මෙය උදාහරණයකින් පැහැදිලි කලොත් තරාදියක එක් පැත්තකට වට්ටක්කා ගෙඩියක් සහ ලබු ගෙඩියක් දමා අනෙක් පැත්තට නෙල්ලි ගෙඩියක් හා ලොවි ගෙඩියක් දමා ඇති සේය. පාක්ෂිකත්වය නිසා මේසේ නොපෙණීමට ඉඩ ඇති අතර ඒ පිළිබඳව මැදහත් සිතින් බලන ලෙස ඉල්ලා සිටිමි.


මේ සම්භන්ධ අවසාන සාමාජිකයා උදය ප්‍රභාත් ගම්මන්පිල වේ. ඔහුගේ එහෙට පැන මෙහෙට පැනීම ගැන අපි සමබර මනසින් විමසා බලමු. උදය ප්‍රභාත් ගම්මන්පිල නම් හිටපු පළාත් සභා ඇමති වරයාගේ අතීතය දෙස බලන කල, රටට අහිතකර මෙන්ම තම ආත්මාර්ථය වෙනුවෙන් ගත් තීරණයන් පිළිබඳ මතකයක් නැත. අවංකවම කිවහොත් හෙළ උරුමයද එවන් දේශපාලන තීරණ පිළිබඳව ඇත්තේ අල්ප මතකයකි. ඔහු සති කිහිපයකට කලින් පක්ෂයත් සමඟ එක්ව රටේ යහපාලනය උදෙසා වෙනත් මඟක ගමන් කිරීමට තීරණය කලේය.  නමුත් ඔහුගේ මනසට ඒ දීගය රිස්සා නැත. ඔහු එය දුටුවේ රට කබලෙන් ලිපට ඇද දැමීමක් ලෙසයි. එහි ආසන්නතම උදාහරණයක් ලෙස ජ.වි.පෙ. කිසිවෙකුට සහය නොදීමට ගත් තීරණයද සැලකිය හැක. ජවිපෙට මෙන්ම ගම්මන්පිලටද මෛත්‍රී පාර්ශ්වයේ ඉදිරි දැක්ම පිළිබඳව පැහැදිලි විශ්වාසයක් නැත. සාපේක්ෂව නිවැරදි යැයි හැඟෙන තීරණයක් වෙත ගම්මන්පිල පැමිණ ඇත. පෝස්ටර් බැනර් වලින් තොර 100%ක් පරිසර හිතකාමී මෙන්ම විනිවිද භාවයෙන් යුක්ත මැතිවරණ ව්‍යාපාරයක් තුළින් ජනතා මනාප තුනක ප්‍රමුඛත්වය හිමි කරගත් ගම්මන්පිලගේ පුනරාගමනයේ වැඩි වාසිය හිමිවන්නේ මහින්දටද? මෛත්‍රීටද? යන්න තර්ක කල යුතු දෙයක් නොවන බව හැඟේ..

ඉතින් මේ පිල්මාරු ගැන මට හැඟෙන දේ මෙසේය. එයින් වැඩි වාසි අත් වෙන්නේ කාටදැයි මම විසින් නොපවසන අතර එය තීරණය කිරීම ඔබ වෙත භාර කරමි. මෙම කරුණු සියල්ල විවාදයට විවෘත වන අතර එම විවාදය තුලදී ඔබේ සභ්‍යත්වය ආරක්ෂා කර ගන්නා ලෙසද ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි...

Monday, December 8, 2014

ඔබේ ඡන්දයට මෙම කරුණු බලපාවිද?

මැතිවරණයක්... නිකන් එකක් නෙවෙයි... ජනාධිපතිවරණයක්.... රටේ ඉන්න පළමු පුරවැසියා ඔබේ තීරණය මත පත්වෙන මැතිවරණය... මේ මැතිවරණයේ ඇත්තටම උණුසුමක් තිබ්බේ නෑ... නමුත් 2014 නොවැම්බර් මාසේ 21 වෙනිදා මෛත්‍රීපාල මහත්තයා යූ හැඩයේ වංගුවක් හරවලා අරගෙන ඇවිත් පොදු අපේක්ෂකයා කියන චරිතෙට පණ පෙවීමත් එක්ක මේ සටනට පොඩි කික් එකක් ආවා... පොඩි කික් එකක්මත් නෙවෙයි... මේ සටන මහ දැවැන්ත සටනක් බවට නිර්මාණය වුනා... මම දාගෙන ඉන්නේ නිල් පාට කණ්ණාඩියක් කියලා තමයි ගොඩාක් අය කියන්නේ... නමුත් ඒ කණ්ණාඩිය තුලින් හෝ මේ මැතිවරණයේදී මේ දෙගොල්ලෝ මුහුණ දෙන හැටි විමසා බලන්නයි හදන්නේ....

පළවෙනි එක... මහින්ද රාජපක්ෂ යුද්ධය විකුණාගෙන කෑම.. ඔව්.. මේ සම්භන්ධව කාරණා ගොඩාක් තියෙනවා.. ඔව්.. ඔහු යුද්ධය මාකට් කරනවා.. ඔබට මතක ඇති... එදා මෙදා තුර හිටපු අනිත් අපේක්ෂකයොත් යුද්ධය මාකට් කලා.. හැබයි ඔවුන් මාකට් කලේ ඔවුන්ටවත් ඔවුන්ගේ හිටපු නායකයිටවත් විසඳන්න බැරි වුණ යුද්ධයක්.. මතකනේ සින්දුවකුත් ආවා "යුද්ධේ හිඟන්නාගේ තුවාලේ නේදෝ..." කියලා... එතකොට මහින්ද රාජපක්ෂ මාකට් කරන්නේ ඔහුගේම සේනාධිනායකත්වයෙන් අවසන් කරපු යුද්ධයක්.. මේ මාකට් කරන විදි දෙකේ ඔබ වඩා හොඳ විකල්පය ලෙස දකින්නේ කුමන කාරණයද?

ඊලඟ කාරනය... මිනීමරු කේපීලා, කරුණා අම්මාන්ලා, පිල්ලෙයාන්ලා ඔහුගේ ඔඩොක්කුවේ දාගෙන ඉන්නවා කියලා විපක්ෂය චෝදනා කරනවා... ඒ අතරෙම රනිල් මහත්තයා කියනවා ඔහුගේ කාලයේ ලිච්ඡවි රජ දරුවන්ට සේ සාමෙන් මේක විසඳගන්නයි වැඩ කලේ කියලා.. ප්‍රභාගේ දකුණු අත වෙච්ච කරුණා ගැලෙව්වෙත් ඔහු කියලයි ඔහු කියන්නේ... එතකොට අපට මෙහෙම ප්‍රශ්ණයක් එන්නේ නැද්ද? කරුණා ඒ කාලේ ගැලෙව්වානම් ඇයි ඔහුට ඒ කාලේ දඬුවම් නොදුන්නේ... අර කියන සාම මාවතට ප්‍රභා ඇවිත් ආයුධ බිම තිබ්බානම් ඔහු ඔවුන්ට දඬුවම් කරන්නේ නැද්ද? ඒ න්‍යාය අනුව රනිල් මහත්තයා හිටියානම් කේපීලා, කරුණාලා, පිල්ලෙයාන්ලා විතරක් නෙවෙයි, නඩේසන්ලා, සුසෙයිලා, බාලසිංහම්ලත් එක්ක ප්‍රභාකරනුත් ඉන්න තිබ්බේ ඔහුගේ ඔඩොක්කුවේ නෙවේද? අනෙක් අතට මනුශ්‍ය ඝාතන රැසකට වග කියන්න අවශ්‍ය ජවිපේ අද පාර්ලිමේන්තුවේ ඉන්නේ කොහොමද? එල්ටීටීය මිනීමැරුවානම්, රට අරාජික කරන්න හැදුවානම් එය ජවිපෙත් කරන්න හැඳුවා කියලා රටේ මිනිස්සුන්ට මතකයි... එල්ටීටීය කලා සේම ඔවුන් මිනිසුන්ගේ ඡන්ද අයිතිය පවා අවි ආයුධ පෙන්වා වලක්වපු කාලයක් තිබ්බා කියන එක අමතක කරන්න මහ ජනතාවට තාම අමාරුයි.. එතකොට ඒ ගොල්ලට එකකුයි මේ ගොල්ලට තව එකකුයි දෙන එක සර්ව සාධාරණද? එහෙම නැත්නම් මේ විදිහ හොඳද? එහෙමත් නැත්නම් කල පව් නැවත විමර්ෂණය කරලා මේ දෙගොල්ලොම හිරේ දානවද? මේ වෙනුවෙන් අහන්න තව එක කාරණයක් තියෙනවා... ජවිපේ මිනී මරද්දි ඒ ආණ්ඩුව ජවිපෙ පුනරුත්ථාපනය කලාද මර්ධනය කලාද? එල්ටිටීය එහෙම කරද්දි මේ ආණ්ඩුව ඔවුන්ව මර්ධණය කලාද පුනරුත්ථාපනය කලාද? මෙන්න මේ වගේ විපක්ෂය තම වාසිය තකා යටපත් කරණ කරුණු කාරණා බොහොමයි.. ලිපිය දිග් ගැස්සෙන නිසා මෙහෙම නවතිමු...

ඊලඟ කාරණය... මේ මැතිවරණ පොරොන්දු.. ඒ කාලේ ඉඳන් බලය ඉල්ලපු සියළු ජන නායකයින් දුන්න පොරොන්දු ගත්තම ප්‍රධාන වශයෙන් පොරොන්දු හතරයි තිබ්බේ.. එතනින් එහාට පොරොන්දු තිබ්බේ නෑ.. මේ මට දැනෙන විඳිහට ඒ පොරොන්දු හතර..

1. අපි යුද්ධය අවසන් කරනවා

2. අපි රට සංවර්ධනය කරනවා.....

3. විධායක ජනාධිපතික්‍රමය අවසන් කරනවා...

4. ව්‍යවස්ථාව සංශෝධනය කරනවා...

මීට සාපේක්ෂව පොඩි පොඩි පොරොන්දු තව තිබුනත් ඔය උඩ තියෙන හතර තමා ප්‍රධාන වශයෙන් තිබුනේ... මහින්ද රාජපක්ෂට කලින් ආපු සියළු නායකයින් මේ හතරින් කරපු එක දෙයක් කියන්න පුළුවන් කමක් තියෙනවද? මම හිතන්නේ තව දුරටත් කතා කරන්න දෙයක් නෑ කියලයි...

මහින්ද රාජපක්ෂ කියන්නේ අපි දන්න යකා නෙව... අපි මේ නොදන්න දෙවියා ගැන හොයලා බලමු... මෛත්‍රී මහත්තයා ඇවිත් කීවා නොයෙකුත් කථා.. ඒ අතරින් රටේ ජනතාවට දැනුන ලොකුම කථාව තමයි ආණ්ඩුව පෙරලන් 20ක් මෛත්‍රීත් එක්ක එනවා... 20ක් නාම යෝජනා දවසේ එනවා.. තව අය පස්සේ එනවා... අනිත් ඔක්කොම ජනපතිවරණ පොරොන්දු... මේ පූර්ව මැතිවරණ පොරොන්දු... අද වෙනතුරු 7 දෙනෙක් ඇවිත් තියෙනවා.. ඊට අමතරව අලියගේ මහ ලේකම් තුමා මහින්ද රාජපක්ෂ ලඟට ගිහින් තියෙනවා... ප්‍රධාන පූර්ව මැතිවරණ පොරොන්දුව ඉටු කරන්න අසමත් වීම තුල මගේ හිතේ නැඟුනේ මෙහෙම ප්‍රශ්ණයක්...

"දවස් 20ක් යනකොට ආණ්ඩුවේ මන්ත්‍රීන් 20ක් ගන්න බැරි මනුස්සයා කොහොමද රටේ ජනතාවගෙන් තුනෙන් දෙකක් අරගෙන ව්‍යවස්ථාවක් සංශෝධනය කරන්නේ....."

අනෙක් කාරණය මේ කට්ටියට චන්ද්‍රිකා මැතිණිය සෙට් වුනේ කොහොමද? බොහොම සරල ප්‍රශ්නෙකින් ගොඩාක් දේවලට උත්තර හොයා ගන්න පුළුවන්.. ප්‍රශ්ණය මෙයයි.. "අවුරුදු ගාණක් රටේ විධායක පුටුවටම වෙලා ඉඳලා හදන්න බැරි වෙච්ච රට හදන්න නැවත ආසාවක් ඇති වුනේ ඇයි?" හිටපු ජනපතිනිය ගැන හදවතට එකඟව දන්න අයට මේ ප්‍රශ්ණෙට පිළිතුරක් හොයා ගන්න එක කජු කනවටත් වඩා ලේසියි මම දන්න විඳිහට.. වෛරයක් අරවා මේවා තියෙනවද කියලා මම දන්නේ නෑ... නමුත් කුමක් හෝ පෙරළියක් ඇය පිටිපස්සේ තියෙනවා කියන එක ඕනෑම මනුස්සයෙකුට තේරුම් ගන්න පුළුවන් දෙයක්...

තවත් වැදගත් කාරණයක් ගනිමු... ඒ තමයි රනිල් වික්‍රමසිංහ හා තිස්ස අත්තනායක. මම කියන්නේ මේ දෙන්නම පැන්නා.. එක්කෙනෙක් විතරක් නෙවෙයි.. රනිල් ඡන්දෙන් පැන්නා.. තිස්ස පක්ෂෙන් පැන්නා... මේ මැතිවරණය දිනන්න පොඩි හරි චාන්ස් එකක් තිබ්බනම් රනිල් මෛත්‍රී කෙනෙක් හොයන්නේ නෑ... පරාජයෙන් භරිත වෙලා ඉන්න ඔහුට තව දුරටත් රෙදි ඇදගෙන පරාජය වෙන්න බෑ... පරාජය දැක දැක දුවපු කෝච්චියට මෛත්‍රී බෙල්ල තිබීමෙන් රනිල් ගැලවුනා... ඒ අතරේ තිස්ස.. යන්තමින් හෝ ජයග්‍රහණයක් පෙනෙනවනම් ඔබ හිතනවද පක්ශයක මහ ලේකම් කෙනෙක් අනිත් පැත්තට පනියි කියලා.. අපි අහලා තියෙනවා ගිලෙන් නැවෙන් මීයෝ පනිනවා කියලා.. හැබැයි ගිලෙන නැවට මීයෝ නගිනවා කියලා අහලා නෑ... ඒ නිසා මෙතනදි මෛත්‍රී ඇරුනම අනිත් ඔක්කොම මෛත්‍රී පරදින බව දන්න බවයි මගේ අදහස....

තීරණය ඔබ සතුයි... ජනවාරි නව වෙනිදා උදේ වෙනතුරු අපි බලාගෙන ඉමු...

ඊලඟ ලිපිය... "හෙළ උරුමය, ජවිපෙ, හිරුණිකාට මොනාද කරන්න පුළුවන්..."

Thursday, November 27, 2014

ආදරණීය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලියමි....



රටේ මහත් බලාපොරොත්තු ඇතිව රට වෙනුවෙන් උඩුගම් බලා පිහිනීමටත් පොදු අපේක්ෂකයා නැමැති දං ගෙඩියට බෙල්ල තැබීමටත්, දේශ්ප්‍රේමී බලවේග එක වේදිකාවකට එක්කර ලීමටත් ඔබ තුමන් ගත් තීරණය බොහෝ සේ අගය කරන අතර ඒ පිළිබඳ වූ ස්තූතියද පළමු කොට ඔබතුමා වෙත දැන්වීමට කැමැත්තෙමි.. එබැවින් ඔබතුමා පොදු අපේක්ෂක වේදිකාවට ගොඩ වී දින හතක් ගිය පසු, එනම් අද වන විට රටේ සාමන්‍ය ඡන්ද දායකයෙක් වන මට හැඟෙන කරුණු කිහිපයක් වෙත ඔබ තුමාගේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙමි.. එය හුදෙක් ඔබතුමාව අපහසුතාවයට පත් කරන්නටවත් ඔබතුමාට මඩ ගසන්නටවත් නොව ඔබතුමාගේ ප්‍රයෝජනය සඳහා මෙන්ම උන්නතිය සඳහාද වන බව කාරුණිකව සිහි තබා ගන්නා ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි... මගේ අදහස් කරුණු වශයෙන් පහත පරිදි ගොනු කිරීමට කැමැත්තෙමි... 

1. ජනපතිවරණයට අදත් සමඟ තව ඉතිරිව ඇත්තේ දින 42ක් වැනි ඉතා සුළු කාලයකි... ඔබ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ දින පටන් තිබුනේ දින 49කි. මට හැඟෙන පරිදි එය ඉතා සුළු කාලයකි.. ඔබේ මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කර සතියක් ගොස් ඇතත් එහි ලොකු ජීවයක් සහ ගැම්මක් අද වනතුරුත් මට පෙනී යන්නේ නැත.. එබැවින් දියාරු වී ගොස් ඇති කැම්පේන් එකක් පිළිබඳ මහජන සිත් ධනාත්මකව හැසිරෙයිද කියන ගැටළුව මට පැන නැඟී ඇත.

2. මිනිසුන් ඔබේ පළමු අදහස් වලට එකඟව ඔබේ විසිල් පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටින වෙලාවයි.. ඔබ එන්නට පෙර සිටම ඔබත් සමඟ විපක්ශයේ අසුන් ගන්නා ආණ්ඩුවේ චරිත පිළිබඳව ප්‍රභල අපේක්ෂාවක් මහ ජනතාවට තිබිණ.. අදටත් එම කරුණ රැදෙන්නේ "විසිල් මත පිහිටූ බල්ටි නොතිබූ නාටකයක්" ලෙසය... මහ ජනතාවගේ අපේක්ෂා බංගත්වය මෙම කරුණ හේතුවෙන් ඉහල යන ප්‍රවණතාවක් මෙතුලින් දක්නට ලැබේ.. එබැවින් "හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට" කියා තම ඇඟ බේරා ගැනීමේ න්‍යායෙන් නොසිට ඉදිරි දින තුන හතර තුලදී නිකම්ම නිකන් සුළුජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගෙන් සැහීමට පත් නොවී ආණ්ඩුවේ ප්‍රභල බලකණු හතර පස් දෙනෙක් වත් ඔබේ ගමනට එක් කර ගැනීම තුලින් මේ අපේක්ෂා බංගත්වයට පිළිතුරු සැපයීම ඔබ කල යුතුම කාර්‍යයක් ලෙස මට හැඟේ... "මෛත්‍රීගේ විසිල් විතරයි.. කෝ තවම කවුරුත් ආවේ නෑනේ" යන්න මහ ජනතාවගේ සිත් තුළ පැලපදියම් වුනාට පසුව ඔබ මහින්ද රාජපක්ශයන් පොදු විපක්ශයට ගත්තත් වැඩක් වෙන්නේ නැති බව ඔබේ පරිනථ දේශපාලන බුද්ධියට නොවැටහෙන දෙයක් යැයි මම නොසිතමි...

3. ඔබේ ප්‍රකාශයේ සඳහන්ව ඇති "දින 100ක් තුල විධායක ජනපති තනතුර අහෝසි කිරීමත් රනිල් වික්‍රමසිංහයන්ට විධායක බලතල ලබා දීමත්" යන කරුණු, කරන්නේ කෙසේද කියා තවමත් අප (මහ ජනතාව) වෙත අදහසක් නැත.. අප දන්නා පරිදි පාර්ලිමේන්තුව හරහා එය කල හැකි නමුදු ජනපතිවරණ චන්දයකින් දිනූ ගමන් ඔබට මෙය කල හැකියැයි අපි විශ්වාස නොකරමු.. ආණ්ඩුවේ කථිකයින් මෙන්ම ජවිපේ නියෝජනය කරන ලාල්කාන්තයන්ද මෙය දිගින් දිගටම ප්‍රකාශ කිරීම තුල මෙම කරුණ මහජන සිත් තුලට එබෙන්නට පටන් ගෙන ඇති අතර හැකි ඉක්මනට මේ පිළිබඳව අප දැනුවත් කිරීම ඔබ සතු යුතුකමක් මෙන්ම ඔබේ ජයග්‍රහණයට පාර කැපීමක් ලෙසද මම දකිමි..

4. ග්‍රමීය මට්ටමේ ජනයා ඔබේ ක්‍රියා පිළිවෙත පිළිබඳව දැන් දැන් දෙගිඩියාවකට පත් වෙමින් සිටී.. ඔබේ ප්‍රභල අනුගාමිකයා වන එක්සත් ජාතික පක්ෂයට හිතැති ග්‍රාමීය ජනතාවගෙන් බොහොමයක් දක්වන අදහස ඔබතුමා වෙත ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි.. "අපි අපේ අපේක්ශකයෙකුට ඡන්දේ දෙන්න හිටියා.. දැන් ගහන්න වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා කාරයෙකුට.. ඊට හොඳයි ගෙදරට වෙලා ඉන්නවා.." මෙසේ පවසන්නෝ බොහෝ වෙති.. එබැවින් එක්සත් ජාතික පක්ෂයේ ග්‍රමීය මට්ටමේ කථිකයින් ලවා එම ජනතාව දැනුවත් කිරීම තුලින් ඔබට වාසියක් අත් විඳිය හැකි බවද මම විශ්වාස කරමි.. එසේ නොවේ නම් ඔබට පොළොන්නරුවෙන් පමණක් සෑහීමට පත් වී ඔබේ උදාර අරමුණ කෙරෙහි සුසුම් ලෑමට සිදුවන බව මඟේ හැඟීමයි...

5. මීලඟට මඳක් සංකීර්ණ ගැටළුවක් වෙත ඔබේ අවධානය යොමු කරමි..ඒ රටේ එක්සත් භාවය පිළිබඳ ගැටළුවයි.. ඔබේ ප්‍රධාන අනුගාමිකයා වන රනිල් වික්‍රමසිංහයන් ඔහුගේ පාලන කාලයේදී දෙමළ ඩයස්පෝරාව පිළිබඳව අනුගමනය කල ක්‍රියා පටිපාටිය අමතක කල කිසිවෙක් නැත.. 2002 - 2004 කාලයේදී ඔහුගේ පාලනය නොදන්න කිසිවෙකුට අද වනවිට ඡන්ද බලය හිමිව නැත.. අද ඡන්ද බලය හිමි සැමට ඒ කාලය මතක තිබේ.. වෙනම රටකට යන්නාක් ලෙස යාපනේ ගිය හැටි, එල්ටීටීඊ සාමජිකයන් අපේ සෙබළුන්ට පස්ස පෙන්වා හමුඳා කදවුරු අසල මලපහ කර ගිය හැටි, හමුදා බුද්ධි අංශ ඝාතනය කල හැටි, මෙන්ම තවත් ගොඩාක් කරුණු ඔවුන්ට මතක ඇත. ඊට අමතරව ඔහු රජයේ සේවකයන් බඳවා ගැනීම නතර කල හැටි, රාජ්‍ය දේපල කුණු කොල්ලෙට පෞද්ගලීකරණය කල සැටි වැනි දේවල් නිසා ඉතා කෙටි කලකින් බලයෙන් සමුගන්නට ඔවුන්ට සිදු වූ හැටි ඔබටත් අදට ඡන්ද බලය හිමිවන සැමටත් මතක ඇති දෙයක් යැයි මට මෙන්ම ඔබතුමාටත් හැඟේ යන්න මම විශ්වාසකරමි.. එබැවින් මෙවරත් එයම සිදු වේවිදැයි මහ ජනතාවගේ සිත් තුළ ඇති පැණයට හැකි ඉක්මණින් පිළිතුරු දී එම සැක සංකා ඉවත් කිරීම ඔබ සතු හදිසි කාර්යයක් ලෙසද මම දකිමි.

 6. රටේ අති මහත් දැවැන්ත සංවර්ධන ක්‍රියා දාමයක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.. ඔබ බලයට පත් වූ පසු එම සංවර්ධන ක්‍රියාදාමයට කුමක් සිදුවේද යන්න මහජනතවගේ සිත් තුල ඇති තවත් ප්‍රශ්ණයකි... අද ගමේ පාසලට ගුරුවරු ඇත. විද්‍යාගාර ඇත.. මීමුරේ වැනි හුදෙකලා ගම්මාන වලට පවා ජාතික පද්ධතියෙන් විදුලිය සැපයේ.. නාගරික බොහෝ දෙනාට අඩුම තරමේ යතුරු පැදියක්වත් ඇත.. පාරවල් සුව පහසුය.. අධිවේගී මාර්ග ඉදිවෙමින් පවතී.. විකල්ප වරායන් සේම විකල්ප ගුවන් තොටුපලවල්ද ඇත.. සංචාරක කර්මාන්තය සීග්‍ර දියුනුවකට බඳුන් වී ඇත.. ත්‍රිරොද රථ ගාල් වල ඇති ත්‍රිරෝද රථ ගණනින් විශාලය. ගොවියන් මෙන්ම කිසිවකුත් රටේ පොදු කරුණු අරඹයා වහ බොන්නේ නැත. ජනතාව නිදහසේ රට පුරා ගමන් කරයි... කොළඹ පැල්පත් වාසීන් අඩු වෙමින් පවතී.. නගර අලංකාර වෙමින් පවතී.. ක්‍රිකට් පමණක් දියුණු වූ අප රටේ රගර් ද, දරුවන්ගේ ආශාව මුදුන් පත් කල නිසා හෝ යම් මට්ටමක ජාත්‍යාන්තර දියුනුවකට පැමින තිබේ.. පොලීසි, රෝහල්, බස් නැවතුපොලවල් වල යටිතල පහසුකම් වර්ධනය වී ඇත. ඉතින් මෙවැනි ක්‍රියාවන් ඉදිරියටත් පවත්වා ගෙන යෑම පිළිබඳ ඔබේ අදහස කෙබඳුදැයි දැන ගැනීමට කැමැත්තෙමි.. ඔබේ මැතිවරණ ප්‍රකාශයේදී එය එළි දැක්වීමට ඉඩ ඇති යැයි මගේ හැඟීමයි.. නමුත් ආණ්ඩුවේ කථිකයින්ට ඉණිමන් තනන කරුණු ඇතුලත් වුවහොත් ඔබට ජනපතිකම තබා විපක්ශ නායකකමවත් නැති වන බව ඔබේ බුද්ධියට තේරුම් යතැයි මම බලාපොරොත්තු වෙමි.

7. රටේ ජනතාවගෙන් බහුතරයක් සිටින්නේ "රට හැදෙනවානම් උන් කොච්චර ගැහුවත් කමක් නැත" යන මානසිකත්වයේ බව ඔබටත් මටත් අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුවන බව ඔබට වැටහෙනවා ඇතැයි සිතමි... මේ කුඩා කාලය තුල මිනිසුන්ගේ සිත් වලින් එම ආකල්පය බැහැර කිරීමට ඔබ පියවර ගත යුතුය.. එපමණක් නොව, ඔබ වටේ ඇරියස් කවර් කිරීමට බලා සිටින දේශපාලනඥ්ඥයන්ගෙන් මෙම වංචා දූෂණ නැවත සිදු නොවන්නේ යැයි යම් සහතිකයක් ඔබ විසින් ජනතාවට දිය යුතුව ඇත. නැතිනම් ජවිපේ කියනා ලෙස "බලය අනෙක් පාර්ශ්වයට ලබා දීම තවත් එක් ඔළුගෙඩි මාරුවක් පමණක් වනු ඇත". මෙවර ඔබේ අනුගාමිකයින් සතුව මහින්ද රාජපක්ශ ප්‍රමුඛ ආණ්ඩුවේ දේශපාලකයෙන්ගෙන් ගත් පාඩම් නිසා ඔවුන්ද නිසි අයුරින් වංචා දූෂණ කිරීමට පෙළබෙනු ඇත.. කලින් කී ලෙසට එම කරුණු කාරණා සම්භන්ධව ඔබේ ප්‍රතිපත්තිය කෙසේ දැයි මහ ජනතාව වන අප බලා සිටිමි...

8. තවත් එක් ඉතා වැදගත් ප්‍රායෝගික කරුණක් පිළිබඳවද ඔබේ අවධානය යොමු කරමි. මහින්ද රාජපක්ෂයන් අගමැති වීමට ප්‍රථම ඔබ වැනි චරිතයකි.. නමුත් ඔහුව විශාල ප්‍රතිරූපයක් ලෙස පිම්බූවේ ෆේස්බුක්වත්, අන්තර් ජාලයවත්, මේ කොටන බ්ලොග් වත් නෙමේය.. ඔබ ඇතුළු දක්ෂ කථිකයින් විසින් ඔහු අති ප්‍රභල චරිතයක් කරනු ලැබුවෝය.. අපේ වචනයෙන් කියනවානම් කථිකයින් ඔහුව පොරක් කරනු ලැබුවෝය.. එම අවස්ථාවෙන් හා එතුලින් ඇති වූ ජනවරමින් ප්‍රයෝජනය ගත් ඔහු දේශීය විදේශීය බලවේගයන්ට නතු නොවී යුද්ධය දිනා, රට මිනිසුන්ගේ දෑසෙට පෙනෙන සීග්‍ර සංවර්ධන මාවතකට ඇද දමමින් පොරක් බවටම පත් විය.. මෛත්‍රී මැතිතුමණි, මේ බැලුමේ හුලං පිරවූ එකට වඩා හුලං බැස්සවීම අමාරු බව ඔබත් දන්නවා ඇතැයි සිතමි.. මහින්දයන් පොරක් කරන්නට සිටි කථිකයින්ට වඩා ඔබ වටේ සිටින කථිකයින් සාපේක්ශව අඩුය.. දුර්වලය... අඬමින් ජනතාව අමතනවාට වඩා ආඩම්භරයෙන් ජනතාව අමතන එක හිතට වදින බව අප දන්නා කරුණකි.. කෙඳිරියෙන් ජනතාවට කරුණු කියනවාට වඩා ආවේගශීලීව මැතිවරණ වේදිකාවේ කරන කථාවට ජනතාව කැමතිය.. මෙන්න මේ අඩුව ඔබේ පාර්ශ්වය තුල දක්නට ඇති ප්‍රභල අඩුපාඩුවක් බව නොකියාම බැරිය.  

9. දැන් ඇතියැයි කියා සිතමි.. තව කරුණු විශාල ප්‍රමාණයක් තිබුනත් ඒවාත් ප්‍රකාෂ කලොත් ඔබට මෙම සටනද එපා විය හැක.. කෙටි කලක් තුල මෙවැනි සුළු කරුණු වගේම බරපතල කාරණා රැසක් පිළිබඳ වූ විකල්පද ජනපතිවරණ සටනේදී ඔබ මහ ජනතාව වෙතට ධනාත්මකව ලබා දිය යුතුව ඇත. එය සාර්ථකව කිරීම සඳහා ඔබට සුභ පතමි. තවත් ලිපියක් සති දෙකකින් විතර එවන්නට බලාපොරොත්තු වෙමි.. මෙහි ඇති ඌණපූර්ණය මෙන්ම මෙහි කරුණු වලට එකඟ හා විරුද්ධ අදහස් පහතින් වැටෙන කමෙන්ට් වලින් ඔබට බලාපොරොත්තු විය හැකි බවද මතක් කරමි..

එසේනම් සුභ අනාගතක්... මෛත්‍රී පාලනයක්...

මෙයට,
ටිකක් හිනා වෙන්නට ලියන අභීත.
  

Monday, November 3, 2014

Friday, August 29, 2014

රසික නානායක්කාරගේ (රනාගේ..) මෝඩ චූන් චැලෙන්ජ් එකට....


එක එක කාලවලින් එක එක මෝඩ චූන් චැලෙන්ජ් එනවා.. අළුත්ම එක අයිස් බකට්.. බැරැක් ඔබාමාගේ ඉඳලා අනන්තවත් මිනිස්සු දැන් මේකට අයත් වෙලා.. සමහරු නානවා.. සමහරු නොනා සල්ලි දෙනවා.. සමහරු බාල්දි ඔළුවේ කඩන් වැටිලා මැරිලා වැටෙනවා.. අනිත් උන් බාල්දිය ඔළුවට වැටෙද්දි ඒ පිම්මටම ඇලට වැටිලා ගිලිලා මැරෙනවා.. මේ ඔක්කොම මොකට කරනවද කියලා හිතෙද්දි එක වෙලාවකට මහ පුදුමත් හිතෙනවා...

මූණු පොතේ තිබ්බ එක කණ්ඩායමක් ගියා විල්පත්තු.. රසිකත් ගියා ඒ එක්ක.. ගිහින් නානකොට මොලේ පෙඟිලද කොහෙද ඌටත් ඇවිත් අර අයිස් බකට් වගේ හද්ද පජාත මෝඩම මෝඩ අයිඩියා එකක්.. මේක කියවන සමහරු දන්නවා ඇති.. දැනටමත් පොර, බ්ලොග් ලෝකේ මූණු පොතේ හෙන පොරවල් වෙලා රඟන සෙට් එකක් එකතු කරගෙන මේ අමු මිරිස් අභියෝගේ කියන සංකල්පය ක්‍රියාත්මක කරන්න අඩි තාලම් දාලා... දැන් මොකද්ද මේකේ අරමුණ...?

ලංකාවේ අපි ඕනම විපත්තියකදි එකතු වෙන්න හරිම ආසයි.. සුනාමියේදිවත් ඒ වගේ අනිත් විපත් වලදිවත් අපි අපේ මිනිස්සුන්ව තනි කලේ නෑ.. ඒ හැම වෙලාවෙම අපි ඒ මිනිස්සුත් එක්ක හිටියා.. ඇත්තටම රසික මේ වෙලාවේ එහෙම එක පාර එන විපතක් නොවෙන, ඒත් කාගෙවත් අවධානයක් වැඩිපුර නොදෙන පැත්තක් ගැන හිතලා මේ වැඩේ පටන් අරන් තියෙනවා.. රජරට ඉන්න අහිංසක මිනිස්සු බොහොම පීඩාවට පත් කරන වකුගඩු ගැටළුවට ලක්ශ 30ක් වැනි දැවැන්ත මුදලක් ප්‍රධානය කිරීම තමයි මේ කාර්යයේ අරමුණ...

මෙතන ඉදන් කියවන අය පහල තියෙන ඕන දෙයක් කරන්න...

ඕන අය අමු මිරිස් කන්න...
එපා අය නොකා ඉන්න...
ඕනනම් මේ වැඩේ සමච්චලයට ලක් කරන්න...
තවත් ඕනනම් ඌට ඇති තරම් මඩ ගහන්න...
නැත්නම් මේ කාර්යයට විරුද්ධ වෙලා කකුලෙන් ඇදලා එක දාගන්න...
දාගෙන හෙන පට්ට පොරක් වෙලා වීරයෙකුත් වෙන්න...

ඒත් අවසානයට අර අහිංසක මිනිස්සුන්ට පොඩි හරි උදව්වක් කරන්න හිතේ තියාගන්න...

එහෙනම් ලෑස්ති වෙන්න....

බ්ලොග් කරුවන්ගේ මුහුණු පොත් මිතුරන්ගේ අති විශාලතම සමාජ සේවයට එකවෙමු... ඔන්න පහල තියෙනවා ලින්ක් එක එතනින් ගිහින් දැන ගන්න විස්තර...

වකුගඩු රෝගීන් සඳහාම වූ අමු මිරිස් අභියෝගය හා ඔබත් එක්වෙන්න......

Tuesday, June 10, 2014

ජඩ නිරුවත් මාධ්‍ය කලාවක අපූරු කෙළි සෙල්ලම්.....


ආදරණීය සංචාරකයිණි, මිතුරණි, සුභ පතන්නෙනි.. අද දවසේ ලංකාවේ ජාතික පුවත්පත් දෙකක ඔබ ආදරය කල අපූරු නවාතැන වූ මීමුරේ ජන්ගල් රිසෝට් පිළිබඳව ඉතා ද්වේශ සහගත් පුවත් පත් ලිපි දෙකක් පලවී තිබුනා ඔබ දකින්නට ඇති.. මීමුරේ ජන්ගල් රිසෝට් වෙත පය තැබූ ඔබ මෙහි සඳහන් කරුණු වල තිබූ සාවද්‍ය කරුණු වලට එකඟ නොවෙන බවට අපගේ දැඩි විශ්වාසයක් තිබේ... මීමුරේ කඳවුරට පාතබන ඔබට අපගේ කාර්‍ය මණ්ඩලය පළමුවෙන් පනවන නීති රෙගුලාසි ඔබට මතක ඇති.. ඊට අවනත නොවූ කණ්ඩායම් දෙකක් පිටව ගොස් ඇති බවත් අප ඔබ වෙත පවසා ඇත... අප මේ සැරසෙන්නේ මේ පුවත් පත් වර්තා දෙකේ ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත හෙළි කිරීමටයි.. ඒ විතරක් නොව ලංකාව අගාධයට පත් කිරීමට පෑන මෙහෙයවන නිරුවත් ජඩ මධ්‍යකරුවන්ගේ සැබෑ නිරුවත ඔබ වෙත ගෙන එන්නටය...

පලමු ලිපියේ සබැඳිය පහත සඳහන් වේ.....

http://www.divaina.com/2014/06/10/feature02.html

මොහු නමින් ජගත් කණහැරආරච්චිය... දිවයින පුවත්පතේ මාධ්‍ය වේදියෙකි.. අද උදේ වරුවේ අපගේ ව්‍යාපාරයේ හිමිකරු හා ජනිත් අරන්දර මල්ලිත් ඔහු හා ඔහුගේ දිනපතා දිවයින ප්‍රධාන කතෲ තුමන් මුණ ගැහුනෙමු.. මෙහි හඬ පටයද අප සතුවන අතර ඉදිරි දිනෙක ඔබ වෙත ඉදිරිපත් කෙරෙනු ඇත... කිසිදු සාක්ෂියක් නොමැතිව, මනුස්ස ආත්මයක් ලද්දෙක් තමන්ගේ පිරිමිකමත් උගසට තබා ලියූ බොරු, සාධාරණය කරන්නට නොහැකිව ලත වෙන ආකාරය අප එහිදී දැක්කෙමු... අප ඔහුට අභියෝග කිහිපයක් භාරදෙන්නෙමු... 

1. අප කඳවුරු භූමියට පැමිණෙන සංචාරකයින් ඔහු කියන ආකාරයට හැසිරෙනවානම් ඒ පිළිබඳ ඡායාරූප හෝ වෙනත් සාක්ශි අප වෙත සපයන ලෙසට...

2. අප විසින් කඳවුරු භූමිය තුල ගංජා, මත්කුඩු, හා ගණිකා ව්‍යාපාරයේ නියැලෙන බවට පිළිගන්නට හැකි කුමන හෝ පිළිගත හැකි සාක්ෂියක්...

3. අප ව්‍යාපාරයේ හිමිකරු අභීත නමින් අන්වර්ථ නාමයකින් පෙනී සිටිනවානම් ඔහුගේ ඇත්ත නම ප්‍රසිද්ධ කරන ලෙසද ඉතා කරුනාවෙන් ඉල්ලා සිටිමු...

4. උඩුදුම්බර කලාපයේ පළමු පුරවැසියා වන ගරු ප්‍රදේශීය ලේකම් තුමන් බඩේ බිත්තර තබාගෙන අභීත නමින් වූ අන්වර්ථ නාමයකින් පෙනී සිටින්නා වෙනුවෙන් යම් දිනෙක පෙනී සිටියානම් ඒ කවද්ද කොතනද යන්න ප්‍රකාශ කරන ලෙස අපි ඔහුගෙන් කරුණ පෙරදැරිව ඉල්ලා සිටිමු... 

5. ඔහුගේ ලිපියේ පස්වෙනි ඡේදයේ සඳහන් පළමු වාක්‍ය හතර හැර වෙනත් කිසිදු කරුණක සත්‍යතාවක් තිබේනම් එයද අප වෙත ඉදිරිපත් කරන මෙන් කාරුණිකව දන්වමු...

6. අනිකුත් කඳවුරු බිම් මෙහෙයවන්නන්ගේ කඳවුරු බිම් ඔබගේ ඇස ගැටුනේ නැත්තේ ඇයි... ඒ ඔබ ඉලක්ක කරමින් ගියාද? නැත්නම් ඔබ දැක්කේ මෙච්චරද?

7. එසේ සාක්ශි සැපයීමට ඔහු අපොහොසත්නම් අප ඔවුන් වෙත දුන් ලිපිය, ලබන සතියේ අඟහරුවාදා පළවන දිවයින පත්‍රයේ සොබාසර අතිරේකයේ කිසිදු සංස්කරණයකින් තොරව පළ කිරීමට නිහතමානී විය හැකි බව අප වෙත පෙන්වීමටද ඔහු වෙත අප අරාධනය කරන්නෙමු...

ඔබට ඔහුගෙන් කෙලින්ම දැනගත හැකි දෙයක් වේනම් පහත සඳහන් කරනුයේ ඔහුගේ ෆේස්බුක් සබැඳියාවයි.... මේ තුලින් ඔබට ඔහුගෙන් ඔබේ හිතේ ඇති ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාගත හැකි වේවි කියා අප ඉතා තරයේ විශ්වාස කරමු...

https://www.facebook.com/jagath.kanaharaarachchi.9?fref=ts

ඔහු පිළිබඳවද යමක් සඳහන් කිරීම වටී.. ඔහුගේ ප්‍රොෆිලය පුරා ඔහු දුම්බර මිතුරෝ ටී ශර්ටයෙන් සැරසී පින්තූර පල කර ඇති බව ඔබට දකින්නට පුළුවන් වේවි... එම පින්තූර දකින ඔබට වැටත් නියරත් උඩ පැනගෙනම ගොයම් කා ඇති බව ඔබට සාක්ශාත් වෙනවා ඇති.... දුම්බර මිතුරෝ සංවිධානයේ ෆේස්බුක් සබැඳියාව පහත දැක්වේ...

https://www.facebook.com/dumbara.mithuro?fref=ts

මෙම පිටුව හා අප පිටුව දකින ඔබට මීමුරේ වෙසෙන අහිංසක අව්‍යාජ ගම්වාසීන්ට වැඩි මෙහෙයක් කල පිරිස කවුදැයි අදහසක් ගත හැක... 

ජගත් කණහැරආරච්චි මැතිතුමනි, ඔබගේ අසත්‍යය පිරුණු, ජඩ, තිරිසන්, නොහික්මුණු පෑන් තුඩට සදාචාරවත් ඉදිරියක් ලබාදෙතැයි සමස්ත ශ්‍රී ලංකිකයින් වශයෙන් අප බලාපොරොත්තු වෙමු...

අපි දැන් දෙවන ප්‍රවෘත්තිය දෙස හැරෙමු... මව්බිම පත්තරේ කැලෑහඳ අතිරේකයේ තමයි ඒක පළවුනේ.. පහත තියෙන්නේ සබැඳිය...

http://www.mawbima.lk/e-paper.html

මෙහි කතෲ හසිත කුරුප්පු හා ලිපිය ලියූ සවනි ශේසාදිවත් අපි අද උදේ මුණ ගැහුනෙමු... මෙහිද හඬ පටය අප සතුව ඇති අතර එයද ඉදිරි දිනෙක ඔබ වෙත ලබා දෙන්නට බලාපොරොත්තු වෙමු...

අරුම පුදුම කාරණාව නම් මෙයයි.... ලිපිය ලියූ සහ සංස්කරණය කල දෙදෙනාම මීමුරෙ ගමට පය තබා වත් නැත... කොහෙන් හෝ ආපු ඡායාරූප කිහිපයක් ගෙන හිට් වෙන නිව්ස් එකක් පළ කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වේ.. අප ව්‍යාපාරයේ අයිතිකරුට අපූරු නමක් ඔවුන් පට බැඳ ඇත.. ඒ "කොළඹින් ඉඟිල ආ මූසල උලලේනා" ලෙසයි... එය පමණක් අපේ සිත් ගත්තෙමු... පහත දැක්වෙන්නේ සංස්කාරක හසිත කුරුප්පුගේ ෆේස්බුක් සබැඳියයි... ඒ තුලට ගොස් ඔබට ඔහුගේ අදහස් ලබාගත හැකියි...

https://www.facebook.com/hasitha.kuruppu?fref=ts&ref=br_tf

මොවුන් තරුණ මාධ්‍ය කරුවන්ය... අදරණීය නංගිටයි මල්ලිටයි අපි මේ සහෝදර සෙනෙහසින් කියන්නේ... තරුණ මාධ්‍යවේදීන්ගේ වගකීම ඕක නෙවෙයි දරුවනේ... ඊට වඩා ගොඩාක් වෙනස් දෙයක්... මීට පස්සෙවත් කොහෙන් හරි ඡායාරූප කිහිපයක් ලැබුනාම සිඟිති ආතල් එකක් අරගෙන චූන් නොවී වග කිව යුතු මධ්‍ය කරුවෙක් ලෙස හැසිරීමට කටයුතු කරණ ලෙස අපි ඔබ දෙපලගෙන් ඉතා කාරුණිකව ඉල්ලාසිටිමි...

දැන් කියවූ ඔබට මෙතන වෙලා තිබෙන්නේ කුමක්දැයි අවබෝධයක් ඇති... එකම ඡායාරූප කිහිපයක් සමඟ එකම සාවද්‍ය ප්‍රවෘත්තියක් එකම දවසේ පුවත්පත් දෙකක පළවීම හරිම අපූරු අත්දැකීමක් නොවේද?

ආදරණීය මාධ්‍යකරුවණි... ලබන අඟහරුවාදා එනම් 2014 ජූනි මස 17 වන දිනයේ ඔබගේ පුවත් පත් දෙස අප දෑස් දල්වා බලා සිටිමු... මේ අසාධාරණය සාධාරණයක් කලේ නැතිනම් ඔබට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට අප කිසිදු පසුගාමීත්වයක් නොදක්වන බව ඔබ වෙත ඉතා කරුණිකව දැනුම් දෙමු...

ස්තූතියි...
මීමුරේ ජන්ගල් රිසෝට් කාර්ය මණ්ඩලය.  

ප.ලි. මේ සමඟම හඬ පටත් ලබා දෙන්නටත් අප අදහස් කරගෙන සිටියත් නීතීඥ්ඥ උපදෙස් මත එය ඔබ වෙත ඉදිරි දිනෙක ඉදිරිපත් කරනවා ඇත..

ප.ප.ලි. ගිය සතියේ බලන්න බැරිවෙච්ච කට්ටිය අද රෑ 10.00ට වෙනස වැඩසටහන බලන්න ස්වාධීන රූපවාහිනියේ.....

Saturday, May 10, 2014

අපි වෙනුවෙන් අපි.... නොදැකපු හදවත් වල බිහිවුන අධිෂ්ඨාන ලේ බැම්ම...... 2

බ්ලොග් ලියන කියවන අපි... කාලෙකට සැරයක් දකින එහෙම නැත්නම් කවදාවත් නොදැකපු මිනිස්සු... බ්ලොග් ලියන්න කාලෙන් කාලෙට එක එක අය ආවා.. සමහරු ගියා.. සමහරු ඉන්නවා... මොන ප්‍රශ්ණ තිබ්බත් අපි එකා වගේ එක පවුලක උන් වගේ හිනාවෙවී, කකාබිබී, රණ්ඩු වෙවී, තරහ වෙවී තාමත් එකට ඉන්නවා... ඒක අපේ හැටි.. ඒත් මේ කෙනෙකුට කරදරයක් උනහම අපි ඔක්කොම එකතු වෙන්නේ ඒ අපේම එකෙක් කියලා අපේම හදවත් වලට දැනෙන හින්දා... අද මම මේ ලියන කථාව ඒ වගේ එකක්... මේකේ හිනාවෙන්න තැනක් නෑ... නමුත් අපේ එකෙක් වෙනුවෙන් දුක් වෙන්න හඬා වැටෙන්න උදව් කරන්න එකතු වෙන්න ඔයාලට පුළුවන්...

ඇය ජනිතා රාජපක්ෂ... 2010/2011 කාලෙදි බ්ලොග් ක්ශේශ්ත්‍රයත් එක්ක ලඟින්ම වැඩ කල චරිතයක්.. ඇය මේ වෙලාවේ ඉන්නේ රෝගීව... ජයවර්ධනපුර රොහලේ ප්‍රධාන දැඩි සත්කාර ඒකකයේ 6 වෙනි ඇදේ ප්‍රතිකාර ගනිමින් ඉන්නේ... මේ වෙද්දි ගත වෙන්නේ 46 වෙනි දවස... ඇය කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත් වෙන බව තමයි වෛද්යවරුනම් පවසන්නේ..

මතකද අපි... එදා දිළුම් වෙනුවෙන් එකතු වුනා.. ඊට පස්සේ ජෙරූශා වෙනුවෙන් එකතු වුනා... තව ගොඩාක් අය වෙනුවෙන් එකතු වුනා... අද අපිට ජනිත වෙනුවෙන් එකතු වෙන්න කාලය ඇවිත්... ඔබ කරන්න ඕන දේ දුකා අයියගේ මෙන්න මේ පෝස්ට් එකේ තියෙනවා.. ඊට අමතරව ඔබට පුළුවන්නම් මේ දේත් කරන්න....

ඔබ අදහන ආගමෙන් ඉල්ලන්න ජනිතා රාජපක්ෂට නිරෝගී සුවය.. වෙසක් දවසේ පහනක් පත්තු කරද්දි කූඩුවක් එල්ලද්දි මලක් පූජා කරද්දි හඳුන් කූරක් ගහද්දි අධිශ්ඨාන කරන්න ජනිතට ඉකමන් සුවය....

හැම දේටම වඩා අධිශ්ඨානය හයියයි... ඔබට ලේසියෙන් දිය හැකි දේත් එයයි... අද සිට නොකඩවා පතමු උදේට....

ජනිතා රාජපක්ෂ රාජපක්ෂ සොයුරියට ඉක්මන් සුවය ලැබේවා....

මූල්‍යමය ආධාර කරන්න ශක්තිය තියෙන අයට ඒක කරන්නේ කොහොමද කියන එක දුකා අයියගේ මෙන්න මේ පෝස්ට් එකෙන් බලාගන්න පුලුවන්.. මොකද ජනිතාගේ එක බෙහෙතකට විතරක් රුපියල් 7000කට අධික මුදලක් වැය වෙනවා...

ඒ වගේමයි... ජනිතාගේ දෙමවුපියන් හා සම්භන්ධීකරණය වීමට අවැසි අයට මගෙන් ඒ ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන්...

නැවත නැවතත් ජනිතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..

Monday, April 28, 2014

ගෑණිට බයේ නොබී දුවන බ්ලොග් කරුවා කවුද?


ඔබේ බිරිඳත් ඔබ බොනවට අකමැතිද? මෙන්න මෙහෙම වෙලා තියෙනවද? මේ ලිපියේ දෙවෙනි කොටස දාන්න පහකට ආසන්න කාලයක් වුනා.. හදිස්සියේ අපේ කථානායකයා පිළිබඳ හදිසියේ වූ මතකයකින් තමයි මතක් වුනේ අම්මපා.. අරකේ දෙවෙනි කොටස ලියනවා කිව්වට ලිව්වේ නෑනේ කියලා... අද ලියන්න යන්නේ පවුලට බයේ නොබී දුවන බ්ලොග් කරුවා ගැනයි තවත් සූටි කථාවකුයි.... රස හරිය පස්සට තියලා සූටි කථාව කියලා ඉමු...

මම රජයේ සේවකයෙක් වෙලා වැඩ කරන කාලේ විදාතා කියලා ප්‍රදර්ශන දුම්රියක් රට වටේම දිව්වා.. එක එක දුම්රිය පොලවල් වල නවත්තලා සති ගනන් ඒකේ තියෙන දේවල් පාසල් සිසුන්ට පෙන්නන එක තමයි වැඩේ.. අවුරුදු 2ක් විතර මම තමයි ඒකේ සම්භන්ධීකරණ කටයුතු සියල්ල කලේ... ඉතින් හැම මාසෙකට සැරයක්ම මම දුම්රිය ස්ථානයක සතියක් විතර නැවතිලා ඉන්නවා... සමහර විට තවත් කවුරු හරි ඇදගෙන යනවා... හවස වැඩ ඉවර වෙලා ලඟම තියෙන මත්පැන්හලකට ගොඩ වෙලා හීනියට අඩියක් ගහගෙන ඒ ප්‍රදේශය පුරා පයින් ඇවිදින එක තමයි මෙහෙම තව එකෙක් ඉන්න දවසට අපි කරන රාජකාරිය..

දුම්රිය  ගම්පහ තමයි නැවැත්තුවේ.. මම එදා එකතු කරගත්තේ මගේ පාසැල් මිතුරෙක්ව.. මිනිහගේ පෙම්වතිය ඉන්නෙත් ගම්පහ නිසා තමයි මිනිහා මාත් එක්ක එකතු වෙන්න ප්‍රධාන සීන් එක වුනේ.. මිනිහා දවල් ගිහින් පෙම්වතිය මුණ ගැහිලා ආවට පස්සේ අපි දෙන්නා පොඩි ශොට් එකක් ගහල ඉන්නකොට ආයෙත් එනවා පොරට කෝල් එකක්..

සුදූ ඔයා කොහෙද ඉන්නේ...

මම අභියත් එක්ක ස්ටේශන් එකේ....

කෝ.. මට කෝච්චි සද්දයක්වත් ඇහෙන්නේ නෑනේ..

ඇයි.. මේ කෝච්චි යන්නේ.. අපි එහා පැත්තේ කඩේ කන ගමන්...

මම දැන් අස්ගිරියේ ගාඩ්න් එක ලඟට එනවා.. ඔයාට එන්න පුළුවන්නේ..

හපෝ.. මේ වෙලාවේ.. කොහොම එන්නද?

ඇයි අනේ... මම කෙල්ලෙක් වෙලත් එන්න පුළුවන්නම් ඔයාට බැරි මොකද?

හරි හරි.. මම එන්නම්... අභියත් එක්ක එන්නේ..

හරි කමක් නෑ.. විනාඩි 15න් එන්න..

ෆෝන් එක තිබ්බ පොර මගේ පැත්තට හැරුනා....

අභියා මාර සීන් එක...

ඇයි මොකද?

කෙල්ල එන්නලු මල්වත්ත ගාවට...

ඉතින් පලයන්.. මම මේ ටික ඉවර කරන්නම්...

*&^*& කතා කරන්න එපා.. යමන් මාත් එක්ක...

එතකොට මේ ටික...

ඒ ටික අරන් යමන්....

හරි යමන්....

දැන් යනවා දෙන්නා... මූ යනකොට විනාඩි 5ක් විතර පරක්කු වෙලා.... මම එළියේ පාළමක් උඩට වෙලා අවට සිරි නරඹද්දි මුන් දෙන්නා අස්ගිරියේ ගේට්ටුව ගාව අයිනේ කථාව... විනාඩි 5 යනකොට අරූට ගස්සපු කෙල්ල පිඹගෙන මම ලඟට ආවා... එන පොට හොඳ නැති බව තේරුනත් මමත් බලාගෙන හිටියා... ලඟට ආපු කෙල්ල මට කිව්වේ මෙන්න මේකයි...

අභීත.. මම බලාගන්නම්කෝ ඔයා ගැනත්...

අනේ නන්ගි.. මම ගැන බලාගන්න කෙනෙක් ඉන්නවා... ඔයා අරූ ගැන විතරක් බලාගන්න.. මට දෙකක් කරන්න අමාරුයි...

තවත් මල පැනපු කෙල්ල යන්න ගියා ඉගිල්ලිලා...

අරු නිකම් මම ලගට ආවේ අශ්පයා මැරිච්ච කව් බෝයි වගේ... දෙබස මෙහෙමයි...

මොකෝ බන් අරකි වරම අතට අරන් ගියේ...

මාර සීන් එක අභිය... මල පැනලා ගියේ...

ඇයි...

විනාඩි දෙක තුනක් යද්දි කෙල්ල ඇහුවනේ යකාගේ ප්‍රශ්ණයක්...

එ මොකද්ද?

ඇයි ඔයා අද මට කිස් එකක්වත් දෙන්නෙ නැත්තේ...

ඉතින්.. උඹ හිටියද නිකන් ගල් බිල්ලා වගේ....

ඇහුවට පස්සේ දුන්නා බන්... කිස්ස් එකත් එක්කම තමයි ඔය උඹටත් බැනලා ගියේ...

ඒ මොකෝ බන්...

අරක්කු ගඳ දැනිලා බන්... රුපියල් 1000ක විතර බීලා කෝටියක විතර වෙරි හිදුනා බන්....

අයියෝ සල්ලි...

ඒ කථාව ඉවරයි... දැන් ප්‍රධාන මාතෘකාවට යමු... මීට අවුරුදු කීපෙකට කලින් අපේ කාලයේ බ්ලොග් ලියපු උන් එක්ක පොඩ්ඩ පොඩ්ඩ සෙට් වෙනවා සතියකට විතර සැරයක්... මේකේ අනිවා සෙට් වෙන එකෙක් හිටියා.. ටිකක් වැඩිමල් උනත් අපේම ලබැදියාවකින් අපිත් එක්ක හිටපු දැනටත් ඉන්න පොරක් තමයි මේ... සමාන්‍යයෙන් සෙට් වෙද්දි අපි ඌට කෝල් කරන එක අනිවා කරනවා... ඔන්න දැන් පුරුදු පරිදි සෙට් උනා නෙවෙයි.. සෙට් වෙනවා.. අදාල මනුස්සයා කොහොමත් කලින් යනව 90%ක් අවස්ථාවලදි... ගොඩාක් වෙලාවට ඒ පුද්ගලය එක පැත්තක් ගද්දි අනිත් පැත්ත ගන්නේ මමයි රංගයි ලසියයි තමයි ගොඩාක් වෙලාවට... 

පොඩ්ඩක් මධුවිත පානය කරන මොහු විනාඩි 30කින් විතර පුරුදු කථාව එනවා මෙහෙම...

මචන්.. මම දැන් යන්නද? 

ඒ මොකෝ බන්.. මේ තාම පටන් ගත්ත විතරනේ...

නෑ බන්.. ස්කයිප් කෝල් එකක් එනවා...

ඉතින් මෙතන ඉදන් කරපන්කෝ....

නෑ යකෝ.. ගෑණි කෝල් කරන්නේ.....

ඉතින් මැසේජ් එකක් දාල තව ටිකක් ඉඳල පලයන්...

බෑ බන්.. යන්නම ඕන....

එතකොට උඹ නොබී දුවන්නේ ස්කයිප් කෝල් එකක් නිසා.. ගෑනි ගෙදර හිටියනම් අපිට හිතාගත්තැකි උඹට වෙනදේ...

ඔන්න ඔහොමයි පොර ගෑනි ස්කයිප් කරද්දිත් නොබී ඉන්න හදන්නේ.. කවුද කියලානම් අහන්න එපා... හැබැයි මෙයාගෙන් මම මඩක් ගහල බ්ලොග් පෝස්ට් එකක් දාන්නද කියලා අහපුහාම ඊට කලින් උඩ පැනගෙන බ්ලොග් පෝස්ට් එකක් දැම්මා වගේ මතකයි... අයියා... මගේ පෝස්ට් කල එළි බහින්නෙ හෙමීට.....

ප.ලි. ඒ සුන්දර කාලේ මතක් උනේ ඊය ඔබා මාමා වෙනුවෙන් අන්තිම පේලිය කරපු ලේ දන් දීමට ගිය අතර තුර... මම බ්ලොග් කාරයොත් එක්ක පළවෙනි පාරට සෙට් වෙච්ච හැටි තමයි මේ තියෙන්නේ... අම්මපා මේ චරිත දැන් කොහෙද? ඒ කාලේ ගහගත්ත මඩ දැන් ගහ ගන්න වෙලාවක් නැති හැටි....

Friday, February 7, 2014

නොදන්නා බ්ලොග් පාඨකය නුඹට ස්තූතියි....

මේ බ්ලොග් ජීවිතේ පෝස්ට් 251ක් පුරාවට මීට කලින් මම ස්තූති කලේ නම දන්න බ්ලොග් කරුවන්ට විතරයි.. එකම එක බ්ලොග් ලිපියක ඇනෝටත් ස්තූති කලා මතකයි.. ඇනෝ කිව්වට ඉතින් අපි හොඳින් දන්න අපේ වටේම ඉන්න අයනේ.. ඒක නිසා ඇනෝවරුන්ට ස්තූති කලාට අපේම අයට තමයි ස්තූති කරලා ඇත්තේ.. අද මේ හෘද්‍යාංගම ස්තූතිය පිරි නමන්නේ වෙනම කවුද කියලා හිතා ගන්නවත් බැරි මගේම ආදරණීය බ්ලොග් පාඨකයෙකුට.. කතාව මෙහෙමයි...


පහුගිය සතියක මම දැම්මනේ මගේ මීමුරේ කඳවුරු භූමිය ගැන බ්ලොග් ලිපියක් සියළු විස්තර ඇතිව.. එය අද වෙනකොට විශාල හිට් ගොඩක් කරා ගිහින් තියෙන්නේ.. ඊටත් වඩා කාරණය තමයි මේ බ්ලොග් එක කියවන කවුරු හෝ මේ ලිපිය කොපි කරලා මේල් බොඩි එකට පේස්ට් කරලා තමන් දන්න අඳුරන හැමෝටම යවලා තියෙනවා.. අන්තිමේ කොච්චර දුරක් ගියාද කියනවානම් මම ලඟට තුන් පාරක්ම ආවා.. ඒකෙන් වෙච්ච ප්‍රථිපල පහත පරිදියි.. මම ලොකු අමාරුවක වැටුනත් අනාගතය උදෙසා ඒක ලොකු ශක්තියක්.. ඒ නිසා නැවතත් කවුදැයි කියා නොදන්නා නුඹට මහ මෙරක් තරම් ස්තූතියි... අහ්.. ප්‍රථිපල කියන්න අමතක වෙනවා තව පොඩ්ඩෙන්...  

1. මීමුරේ කඳවුරු බිමකට සීමා වෙච්ච මට මී මුරේ කඳවුරු බිම් තුනක් ඉතා කඩිමුඩියේ සකසන්න සිදුවීම

2. මාර්තු අවසන් වන තෙක් මගේ ප්‍රධාන කඳවුරු භූමියේ සියළු සති අන්තයන් වෙන්වී අවසන් වීම

3. පෙබරවාරි 14,15,16 කියන දීර්ඝ සති අන්තයේ ප්‍රථම වතාවට කණ්ඩායම් පහක් හැසිරවිය යුතු වීම..

4. අප්‍රේල් මාසය පුරාවට දින 30ම තාවකාලික වෙන් කිරීම් වලින් දින පොත පිරී යාම..

මේ ආදී තවත් විස්තර තිබ්බත් මගේ බ්ලොග් ලිපිය යැවීම නිසා ඔබට පින් අත් වන ලොකුම ක්‍රියාවලිය මෙයයි..

අසරණ මීමුරේ ගම්වාසීන් 20 දෙනෙක් විතර එක දිගට මගේ කඳවුරු භූමියේ සේවයේ නිරත වෙලා ඉන්නවා.. ඔබ දුන්න ඒ හයිය නිසා අපි අපේ ප්‍රධාන කඳවුරු භූමිය ඉතා සුව පහසු කඳවුරු භූමියක් බවට දින 10ක් ඇතුලත පත් කලා.. ඒ මිනිසුන් ගන්න සතයක් ගානේ ඔබට අත් වෙන්නේ මහා කුසලයක් හිතවතාණණි..

එසේනම් බ්ලොග් පාඨක හැමටත් මීමුරේ විඳින්න අරාධනා කරමින් මම නැවතත් එම මේල් එක යවපු හිතවතාට මාගේ හෘද්‍යාංගම ස්තූතිය පිරිනමනවා..

අළුත් කඳවුරු භූමියේ නව ඡා‍යාරූප ලබන සතියේ බලාපොරොත්තු වෙන්න..

Tuesday, February 4, 2014

මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ.....


අද දවස පෙබරවාරි හතර වෙනිදා... අපේ ශ්‍රී ලංකාවේ 66වෙනි නිදහස සමරන දවස... මේ ගීතය ගැන ප්‍රදීප් මල්ලිගේ මූණු පොතේ දාලා තිබ්බ සටහනක් නිසා මීට අවුරුදු 18කට කලින් මතකය අවදි වෙච්ච  නිසා මට මේ ගැන ලියන්න හිතුනා.. ඒ කාලේ ඉදන්ම මගේ බ්ලොග් එක කියවපු අයට මතක ඇති දේශපාලනික සටහන් වගේම සින්දු ගැන මම දන්න දේත් කිහිපයක් ලියලා තියෙනවා.. එක කාලයක් මමයි වැම්පායි දෙන්නා රන්බන්ඩා සෙනෙවිරත්නයන් ගැන ලිපි පෙලවල් දෙකකුත් කරගෙන ගියා... එහෙම ජෝඩු දාලා බ්ලොග් ලිව්ව එකම සටහන් පෙල ඒක කියලා තමයි මට මතක.. ඒත් අද කියන්න යන්නේ දේශපාලන සටහනක්වත් හිනායන කතාවක්වත් ගීතය ගැන කතාවක්වත් නෙවෙයි.. ඔන්න කතාව...

සමහර ගීත තියෙනවා ජීවිතය වෙනස් කරන.. මගෙත් තියෙනවා එහෙම සින්දු තුනක්... ඒකෙ පළවෙනි අත් දැකීම තමයි මේ.. මම බාලදක්ෂ කථාත් කිහිපයක් ලියලා තියෙන නිසා හැමෝම දන්නවනේ මම බාලදක්ෂයෙක් වෙලා හිටපු කාලයක් තියෙනවා කියලා.. මේත් ඒ හා සම්භන්ධ කතාවක්...

පුංචි කාලේ ඉඳන්ම බාලදක්ෂ ජීවිතයට යොමු වෙන ඕනෑම කෙනෙක්ගේ සිහිනය තමයි ජනාධිපති බාලදක්ෂ පදක්කම.. පාසැල් ශිෂයයෙකුට ලංකාවේ ජනාධිපති අතින් අත්සන් කරපු සහතික ගන්න පුලුවන් දෙකයි.. එකක් ජනාධිපති c පදක්කම.. අනෙක හර්මන්ලූස් සහතිකය.. ඔය දෙකම ගත්ත අතිශය දුර්ලබ සිසුවෝත් මේ ලංකාවේ කිහිප දෙනෙක් හරියටම කිව්වොත් අතලොස්සක් ඉන්නවා.. මම ජනාධිපති බාලදක්ෂ පදක්කම ගැන කතා කරන්නම්.. මට ඒක විතරක් තියෙන නිසා..

මේක ගන්න පුංචි කාලේ ඉඳලා මාර කට්ටක් කන්න ඕන.. පුංචි වයසේ ඉන්න කෙනෙකුට ඔරොත්තු නොදෙන තරමේ කැපවීම් කරන්න ඕන.. ප්‍රජා සේවා කරලා, සැතපුම් ගනන් පයින් ගිහින් විවිධ ව්‍යාපෘති මෙහෙයවලා, කඳවුරු බිම් වල දින ගනන් නිදි මරාගෙන කට්ට කලා, වැඩ සතිය කියන සංකල්පෙත් එක්ක විවිද තැන් වල අනේක වද වේදනා විඳින එක වගේ මෙකී නොකී විවිධ වද වේදන සහ අති සුන්දර මතකයන්ගේ අග්‍ර ඵලය තමයි මේ ජනාධිපති පදක්කම.. මේක ගත්ත මිනිහෙකුගේ ජීවිතයේ ඉදිරියට එන විවිද සැප දුක් වේදනා කම්කටොලු එයාට ලොකු දේවල් නෙමෙයි.. 

බාලදක්ෂයෙක් සතුව ලොග් පොතක් තියෙනවා කියලා ඕන කෙනෙක් දන්නවනේ... ඒක පලවෙනි පිටුව ලෝක බාලදක්ෂ ලාංඡනේටයි, දෙවෙනි පිටුව ශ්‍රී ලංකා බාලදක්ෂ ලාංඡනයටයි, ඊලඟ පිටු තව ලාංඡන කිහිපයකට්යි තමන්ගේ පුද්ගලික තොරතුරු වලටයි වෙන් වෙනවා... ඊට පස්සේ තමයි තම්න්ගේ න්‍යායත්මක සටහන් සහ ප්‍රායෝගික සටහන් වලට වෙන් වෙන්නෙ.. මගේ ලොග් පොතේ මේ පුද්ගලික තොරතුරු වලටයි තමන්ගේ සටහන් වලටයි අතර පිටුවේ ශ්‍රී ලංකා ජාතික ධජයක් අලවලා මෙන්න මේ ටික ලියලා තිබ්බා....

ප‍ටු අදහස් නම් පවුරින් ලෝකය

කැබලි වලට නොබෙදී


ඥානය නිවහල් වී


බියෙන් තොරව හිස කෙලින් තබාගෙන


හිඳිනට හැකි කොහිදෝ


ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට


මාගේ දේශය අවදි කරනු මැන පියානනේ




සත්‍යය පතුලින් ගලනා පිරිසුදු වචන කොහිද ඇත්තේ


ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා


නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී ගිලී නොගියේ


ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට


මාගේ දේශය අවදි කරනු මැන පියානනේ




පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා


සදා දියුණු වන සිතුවිලි උදෙසා කම් කටයුතු උදෙසා


ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ


ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට


මාගේ දේශය අවදි කරනු මැන පියානනේ




සංකල්පය - රබීන්ද්‍රනාත් තාගෝර්


පද - මහගමසේකර


සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව


ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සමග සුනිල් එදිරිසිංහ



ඉතින් මේවා ඔයාලට මොකටද නේද? මම ඉතින් නිකන් ලිව්වේ... ඉතින් ඔය බාලදක්ෂ ජීවිතේ අග්‍ර ඵලය වෙච්ච ජනාධිපති පදක්කමේ සම්මුඛ පරීක්ෂණයට මම සහභාගී වුනා.. පරීක්ෂණ මණ්ඩලය මාත් එක්ක වචනයක්වත් කථා නොකර මගේ ලොග් පොත ගත්තා... පිටු පෙරලගෙන පෙරලගෙන ගිහින් ඔය පිටුවේ නැවතුනා.. ඒ පිටුව තුන් දෙනාගේ අතින් අත ගියා.. පොත වහලා මට දීලා 

"හරි... ඊලඟ එක්කෙනා එන්න"

කියලා කිව්වා.. මාත් එක්ක වචනයක්වත් කථා කලේ නෑ.. මම හිතුවා කෙළවුනා තමයි කියලා... ඒත් මගේ 17 වෙනි උපන් දිනය දවසේ මට ලැබිච්ච අපූරු උපන් දින තෑග්ග වුනේ මම ජනාධිපති බාලදක්ෂයෙක් කියලා ලිපියක් අපේ ගෙදරට ආපු එකයි...

මේ සින්දුව ඇහෙද්දි දකිද්දි මට නිතරම මතක් වෙන්නේ ඔය සිදුවීම... 


ප.ලි. අවුරුදු හතරකට ආසන්න බ්ලොග් කලාවේ 250 වෙනි පෝස්ටුව මේ වගේ රසබර මතකයකින් සටහන් කරන්න ලැබිච්ච එක ගැන මට තියෙන්නේ අසීමිත සතුටක්.. ස්තූතියි ප්‍රදීප් මල්ලි...

Sunday, January 19, 2014

නිසංසල තැනක්.. වෙනස් අත්දැකීමක්.. එන්න විඳලා බලන්න...

හැමදාම හිනා යන කථාම ලියන්න ඕන නෑනේ.. ඇනෝ නැතිව කෑමත් නෑ වගේ නිසා ඔන්න ආයෙත් ඇනෝ ඇරියා.... අද ලියන්න යන්නේ මගේ අභිවෘද්ධිය පිණිස ලියැවෙන පෝස්ට් එකක්.. ඔයාල හැමෝම කැමතිනේ විනෝද චාරිකා යන්න.. මම අද කියන්න හදන්නේ වෙනස් සංචාරක අත්දැකීමක් ගැන... හැමෝම ලංකාව වටේ ගිහින් හෝටලයක නැවතිලා අසිරිය විඳලා එනවනේ.. මෙන්න ඒ වෙනස් අත්දැකීම ගැන, වටේ යන්නේ නැතිව කෙටියෙන්...

මේක ඇත්තටම මගේ සැබෑවෙච්ච හීනයක්... පොඩි කාලේ ඉඳලම බාලදක්ශ ව්‍යාපාරයේ හිටපු නිසාත් සංචාරක කර්මාන්තය වෘත්තියක් විදිහට කරන නිසාත් මගේ පොඩි හීනයක් තිබ්බා කාටවත් කරදරයක් නැතිව විනෝද වෙන්න පුළුවන් ටිකක් අමුතු විදිහේ තැනක් නිර්මාණය කරන එක ගැන... ඒක දැන් වෙලා ඉවරයි ඔන්න.. අපි මේ තැන ගැන කොනක ඉඳන් කතා කරමු...

ගම තමයි සුන්දර මී මුරේ ගම්මානය.. බටදඬු කැලේ එහෙම නැත්නම් නකල්ස් එහෙමත් නැත්නම් සුන්දර දුම්බර මිටියාවතේ තමයි මේ ගම්මානය තියෙන්නේ.. කොල පාටින් පිරිච්ච කඳුවලින් වටවුන පහත් බිමක තියෙන මේ ගම්මානය සුන්දරත්වයෙන් අති පොහොසත්.. නුවරින් තෙල්දෙනිය හරහා හුන්නස්ගිරිය නගරයට ඇවිත් එතනින් වමට හැරිලා කිලෝමීටර් 36ක් ගමන් කලාම තමයි මී මුරේ ගම්මානය මුණ ගැහෙන්නේ... මේ තියෙන්නේ ගමේ ඡායාරූප...











නවාතැන මෙන්න මෙහෙම තැනක්.. මේකේ තනිකරම තියෙන්නේ කූඩාරම්.. කූඩාරම සම්පූර්ණයෙන්ම මෙට්ට කොට්ට ඇඳ ඇතිරිලි වලින් සමවිතයි... ඔබේ අවශ්‍යථාවය අනුව දෙදෙනෙක්, සිව් දෙනෙක් සහ පස් දෙනෙක් ඉන්න පුළුවන් කූඩාරම් අපෙන් ඉල්ලුම් කරන්න පුළුවන්... අපි එය සූදානම් කරලා දෙනවා... ඒ වගේමයි මෙහි අලෝකකරණයත් ඉතාමත් සම්ප්‍රදායානූකූල විදිහට තමයි තියෙන්නේ.. අඩි පහක් විතර උස පන්දම් රාශියකින් සහ යෝධ ගිණිමැලයකින් කඳවුර රාත්‍රිය පුරා එලිය කරනවා.. කූඩාරම් වල පාවිච්චිය උදෙසා අපි එක කූඩාරමකට එක විදුලි පන්දම බැගින් ලබා දෙනවා.. මේ තියෙන්නේ ඒ කඳවුරු භූමිය පේන හැටි...



කෑම බීම නේ ඊලඟ ප්‍රශ්ණය... නගරයේදී ඔබට කෑමට දුර්ලභ ගමේ කෑම ජාති භුක්ති විඳින්න පුළුවන් තැනක් තමයි ඒ... මොනවද කියලා බලාගන්න වෙන්නෙ නම් එතනට ඇවිල්ලම තමයි... රාත්‍රියට විතරක් පොඩි වෙනසකට බටහිර පන්නයේ ආහාර වේලක් ඔබට ලැබේවි... හැබැයි මතක තියාගන්න.. මේ කෑම වලට කිසිදු රසායනික රස කාරකයක් අපි දාන්නේ නෑ.. නැවුම් ආහාර වල රසය නැවුම් රසයෙන්ම ඔබට විඳින්න පුළුවන් වේවි... මේ තියෙන්නේ ඡා‍යාරූප කිහිපයක්... බලන්නකෝ කොහොමද කියලා...



දැන් මීමුරේ ගිහින් අපි මොනවද කරන්නේ කියන ප්‍රශ්ණයනේ තියෙන්නේ.. ඔබට හිතේ හැටියට ඇවිදින්න පුළුවන්... දොල පහරේ එබිලා ඇති වෙනකන් නාන්න පුළුවන්.. ජංගම දුරකථන අන්තර්ජාල සංඥා නැති නිසා කිසි කෙනෙක් නෑ ඔබට බාධා කරන්න.. ඊට අමතරව අපිත් එක්ක කැලේ යන්න පුළුවන්.. දිය ඇලි බලන්න, ගල් ලෙන් බලන්න.. මේ වගේ නොයෙකුත් ක්‍රියා තියෙනවා කරන්න.. ත්‍රාසජනක ක්‍රියා වලට කැමතිනම් ඒවත් කරන්න පුළුවන්... ගල් මත ලිස්සා යන්න පුළුවන්.. ගැබුරු දිය වලවල් වලට පැනලා බලන්න පුළුවන්.. දිය ඇලි දිගේ ලිස්සා පහළට එන්න පුළුවන්.. මෙහෙම කිව්වට තේරෙනවා අඩුයිනේ.. මේ තියෙන්නේ ඡායාරූප කිහිපයක්...










ඕනනම් ඉතාම නැවුම් කිතුල් රා පොල්කට්ටක රස බලන්නත් පුළුවන් වේවි...


මේ තියෙන්නේ මගේ කඳවුරු බිමට ආපු මල්ලිලා වගයක් හදපු වීඩියෝ එක.. ඒකත් බලන්නකො...


දැන් ප්‍රශ්ණේ වියදම නේද.. අපි අවම 8 දෙනෙක් බලාපොරොත්තු වෙනවා එක කණ්ඩායමකට.. එක රාත්‍රියක් සහ දින දෙකක් සඳහා මේ සියළුම පහසුකම් එක්ක ඔබට වැයවෙන්නේ එක්කෙනෙකුට රුපියල් 3500.00ක් පමණයි.. රාත්‍රී දෙකක් සහ දින තුනක් සඳහා ඔබට වැය වෙන්නේ රුපියල් 4800.00ක් පමණයි..

ඊලගට ආරක්ෂාව.. අපි ඔබට හතර දෙනෙක් ගෙන් යුත් කාර්‍ය මණ්ඩලයක් ලබා දෙනවා.. ආරක්ශකයෙක්, කෝකියෙක්, ජීවිතාරක්ශකයෙක් සහ පහසුකම් සලසන්නෙක් විඳිහට.. මේ හතර දෙනා ඔබේ ආරක්ෂාව පිළිබඳව 100%ක් බලාගනීවි.. ඒ වගේමයි සනීපාරක්ෂක පහසුකම් සියල්ලත් අපි සලසලා තියෙන්නේ... අවුරුදු දෙකකට වැඩි ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් ඉන්න පුළුවන් වාතාවරණයක් අපි එතන නිර්මාණය කරලා අවසන්..

ඉතින් අපි ඔබේ පැමිණීම අපේක්ෂාවෙන් ඉන්නවා.. වෙන්කිරීම් කරන්න අවශ්‍ය දුරකතන අංක පහත පරිදියි... වැඩි විස්තර ඕනෑම එකක් සාකච්ඡා කර ගත හැකියි..

0714449162 සහ 0815678578 අභීත

ප.ලි. - ඡායාරූප වල අයිතිය එම හිමිකරුවන් සතුවන බව කාරුණිකව සලකන්න...

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...