Friday, December 31, 2010

ආයුබෝවන් 2010...... පිළිගනිමු 2011

2010 අවුරුද්ද.... ඔන්න ඉතින් ගලාගෙන ගියා... මිනිස්සුන්ට තියෙන වැඩ කන්දරාව නිසා දැන් අවුරුද්දක් යනවා කියන්නේ පැයක් යනවා වගේ කෙටියිද කියලත් හිතෙනවා.... අද කතාව හිනා වෙන්න නෙවෙයි.. මම ලාවට වගේ හිතුවේ 2010 ආවර්ජනාත් එක්ක 2011 බලාපොරොත්තු කීපයක් ගැන කථා කරන්න ඕන කියලා..... ඒකත් එක විදිහක හිතට සැනසීමක් කියලා කියනවනේ..... මේක පොඩි මාකටිං පාරකුත් එක්ක ගොඩ දාන්න තමයි හිතාගෙන ඉන්නේ....

2010 අවුරුද්ද මගේ ජීවිතේ ආපසු හැරවුමක් උනා... මේ අවුරුද්දේ වෙච්ච විශේෂම සිද්ධිය මම අවුරුදු 10ක් තිස්සේ කරපු රජයේ රැකියාවට සමු දීම... මේ ගැන ගොඩාක් දෙනෙක් ගොඩාක් දේවල් කීවා.... ඒත් මගේ වැඩ කිරීමේ හැකියාවට හරි යන්නේ මොන වගේ දෙයක්ද කියන එක මගෙ ඔළුවට ආවෙ ගොඩාක් පහුවෙලා නිසා මම රජයේ රැකියාවෙන් ඉවත් වෙලා පූර්ණ කාලීනව ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න පටන් ගත්තා... මෙය මා ජයග්‍රහණය කළ අභියෝගයක් කියලයි හිතෙන්නේ.... ජීවිතේ තුන්වන දශකය ආරම්භය සනිටුහන් කරමින් පටන් ගත්ත 2010, තුන්වෙනි විවාහ සංවත්සරයත් පොඩි පුතුගේ පළවෙනි උපන් දිනයත් සටහන් කලා... මුළු අවුරුද්ද පුරාවට සුභාවාදීව ඇදුන 2010 අවසානය මාව නන්නත්තාර කර දමන්නට සමත් වුනා....

මා පදවමින් ආ මෝටර් රථය බවුසර් රථයක් ඇතුලට ගියේ බිරිඳත් දරුවත් ඉද්දිමයි.... වාසනාවකට අපිට හීරිමක්වත් නැතුව ඒ සිද්ධිය නිමා වුනේ පූරුවේ කරපු පිනකටම විය යුතුමයි.... රජයේ බැංකුවක්  වැදගත්ම අවස්තාවකදි මගේ බැංකු ගිණුම අත් හිටෙව්වේ මාව කබලෙන් ලිපට වැටිලා වැලලිලා යන්නටම ඉඩ දෙමින්.... මේ අවස්ථා දෙකේම වහාම ක්‍රියාත්මක වෙලා මට පිහිට වුනු මගේ යාළු මිත්‍රාදීන්, ඔවුන් තවමත් මාත් එක්ක බවනම් මට පසක් කරලා දුන්නා.... ආදරණීය මිත්‍රවරුනි... ජීවිතයේ කිසිවෙක් නොකරන උදව් මට කරලා මාව සවිමත් කරපු නුඹලාට  මම සඳා ණයගැතියි...

2011 පටන් ගන්නේ අළුත් හීන ගොඩාක් එක්ක....  ලංකා ටුවර් ඕගනයිසර්ස් ලෙස හැදින් වූ මගේ පුංචි කොම්පැනිය ජනවාරි මාසයේ පළවෙනි සතියෙන් පස්සෙ එක්ස්ප්ලෝර් ලංකා ඉන්ටනැශනල් පුද්ගලික සමාගම Explore Lanka International (Pvt.) Ltd. ලෙස ඉදිරියට යාවි.... ඉන් පසු ඔබට ලංකාව ඇතුලේ වගේම පිටරට සවාරි වුවද අප විසින් කරගත හැක... සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ලියැවෙන www.narabamusrilanka.blogspot.com බ්ලොග් අඩවිය ජනවාරි මාසයේ මුල්සතිය තුල ඔබ වෙතට පැමිණෙනු ඇත. ඒ මගින් ලංකාවේ සියළු සංචාරක තොරතුරු, දුර, හෝටල්, සහ අනිකුත් තොරතුරු පිළිබඳ තොරතුරු ඔබ අතට පත් වෙනවා ඇත...


ඔන්න ඔහොම තමයි මේ අවුරුද්ද ගෙවුනේ... ලබන අවුරුද්ද පටන් ගන්නේ... අද මම මගේ මෝටර් රථයේ කටයුතු සඳහා කුරුනෑගල යනවා... ආයෙත් අළුත් අවුරුද්දේ මුණ ගැසෙමු බ්ලොග් අවකාශයෙන්....

සතුට සාමය සමාදානය නිතර ඔබ වෙත උදාවේවා....
යස ඉසුරු ජයපැන්ද කිතුගොස ඔබේ දෙපතුල ලඟට ඒවා...
දෙදාස් එකොලහ වසරේ ඔබගේ සියළු ග්‍රහදොස් නිමා වේවා...
බ්ලොගය බලලා හිනාවෙන ඔබ සියළු දෙවිවරු රැක ගනිත්වා.....



ඔබ සැමට සුභ නව වසරක් වේවා..... 


ප.ලි. තව එක හීනයක් තියෙනවා.. දුමී, දුකා, දිනේශ්, රංග, මාරයා, කසූ සහ අපි නිතර සෙට් වෙන බ්ලොග් සෙට් එකත් එක්ක කොහෙහරි බෝතලයකුත් කඩන්න... ඇත්තට කොච්චර මිහිරි වෙලාවක් වේවිද ඒ වෙලාව...... 

Monday, December 27, 2010

පණටත් වඩා වටින අරක්කු සිගරට්.....

කාලෙකට පස්සෙ තමයි බ්ලොග් එක ලියන්නේ ආවේ... ඉස්සර අපි පොඩි කාලෙ රූපවාහිණියට එහෙම, නම ගිය ලේඛකයෝ එක්ක එනවනේ එක එක වැඩසටහන්වලට.. එයාලත් ඇවිත් එයාලගේ අත්දැකීම්, වස්තුබීජ අරවා මේවා කියලා යනවනේ නේද? අපිත් අහගෙන ඉන්නවනේ කට ඇරන්... මට මතකයි එයාලා කියනවා, සිතේ නිස්කලංකකම නැත්නම් මොකුත් ලියන්න බෑ කියලා.. අපි ඒ කාලෙ හිතුවේ මේවා පොර කමට දෙන පොර ටෝක් කියලනේ... ඒත් දැන් මටත් එහෙම හිතෙනවා.... පහුගිය දවස් ටිකේ තිබ්බ වැඩ රාජකාරිත් එක්ක බ්ලොග් කථා කොච්චර ලියන්න හිතුවත් අවිවේකී බවත් එක්ක ඒ ඔක්කොම මග ඇරිලා ගියා.... ඔන්න ඉතින් ආයෙත්... කතාවට එමු....


මිනිස්සු තමන් ප්‍රිය කරන දේවල් වලින් සමහර දේවල් තමන්ගෙ පණටත් වඩා ආරක්ෂා කරනවා.... තමන්ට යම් අනතුරක් වෙනකොට එයින් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරනවටත් වඩා මේ දේවල් ආරක්ෂා කරන්න තමයි උත්සාහ කරන්නෙ.. දැන් දන්නවනේ මම මොකාටද එන්න හදන්නෙ කියලා.... ඔව් අරක්කු සිගරට්... ගොඩාක් අය සෙට් වෙද්දි මෙහෙම කියනවා ඔයාලා අහලා ඇති.. මමත් අහලා තියෙනවා... කියලාත් තියෙනවද මන්දා....


ඒ මචන්.. උඹ වැටුනත් කමක් නෑ.. බෝතලේ වට්ටන්න එපා......

වැඩිය නැමෙන්න එපා බන්..සිගරට්
එක පොඩි උනොත් උඹම කඩේ පලයන් හරිද?


මේ ආකාරයෙන් දිවි දෙවෙනි කොට අරක්කු සහ සිගරට් රැක ගත්ත කතා හා සමාන කතා දෙකක් තමයි මම කියන්න යන්නේ...


කිතුල්ගල තියෙන හෝටලේක ඉන්නවා වේටර් වරයෙක්.. වේටර්වරයෙක් කිව්වට බහු කාර්ය යන්ත්‍රයක්... වෙලාවකට වේටර්වරයෙක්... තව වෙලාවකට බාබක්‍යු බාස්, තව වෙලාවකට බොන්ගො එක අරන් සංගීත සපයන සිද්දියක්.... වැඩත් සුපිරි... මමනම් පොරට කියන්නෙ වන් වන් නයින් කියලා..මොකද ඒ තරමට ක්ෂණික සේවයක් සපයන්නේ... මිනිහගේ තියෙන එකම වැරැද්ද අරක්කු සිගරට් වලට පමණට වඩා ඇබ්බැහි වීම.... එන අමුත්තන් සමඟ හොදට පානය කරලා කරටි කඩාගෙන එන එක තමයි පිළිවෙල...


දැන් දවසක් කිසි කෙනෙක් නෑ හෝටලේ... අරක්කුත් නෑ.. මිනිහා දැන් කල්පනා කරනවා බොන්න ක්‍රමයක්... කළමණාකරු වෙච්ච උපුල් අයියා ලගට ඇවිත් හෙමින් කියනවා මෙහෙම....


මේ නැද්ද හංගපු කොටයක් එහෙම....

පිස්සුද බන්.. මොන කොටද?

අනේ මන්දා.. බොන්නත් නෑ අද?

හැමදාම බොන්න පුරුදු වෙන්න එපා බන්.. බලපන් වයස කීයද තාම....

ඒක තමයි.. ඔන්න ඔහෙ සිගරට් එකක්වත් ගහලා නිදා ගන්්නවා...

ඈ යකෝ.. අර කන්න බොන්න නැති මිනිස්සු "ඔන්න ඔහෙ තියෙන දෙයක් කාලා නිදා ගන්නවා" කියල කියනව වගේනෙ මූ සිගරට් එකක් බීල නිදා ගන්නවා කියන්නෙ....



 දෙවෙනි කතාව උනේ මීට පැය භාගෙකට විතර කලින්... කතාව ලියන්න කලින් පොඩි අටුවා ටිකකුත් කියන එකනේ හොද නේද? ඉස්සර අපේ අම්මලා උයන්න හාල් ගද්දි මිටක් වෙන මුට්ටියකට දානවනේ හදිස්සියට ගන්න කියලා... අන්න හරි.. සතෙන් සතේ ඇඩ් එකේ තියෙන්නෙ... ඒ වගේම ගෙදර රහස් ලාච්චුවක සල්ලි එහෙමත් තියලා තියෙනවනේ හදිස්සියට ගන්න කියලා.. ඉතින් ඔය වගේ හදිස්සියේ ඕන වෙන දේවල් වල පස්ස උස්සලා (Back Up ) තියාගන්න අපි කවුරුත් මහන්සි වෙනවනෙ....

මම කිව්වනේ මේ කතාව උනේ පැය භාගෙකට කලින් කියලා.. කතා නායකයා අපේම බ්ලොග් සහෘදයෙක්.. ලියන්නේ අපේ ජීවිතේ අන්තිම හෝරාව නමින්... ලගදි සම්මානයකුත් ලැබුනා කියන්නෙ.. මී විතටත් බොහොම ප්‍රියයි... මෙයා මූනු පොතේ ඉදන් මාත් එක්ක චැට් එකක් දාගෙන ඉන්නවා.. දැන් චැට් එකේ යන කතාව මෙහෙමයි....පළවෙනි වාක්‍යය පොරගෙන්.....


මම කන සාක්කුවේ වැටෙන ගාන බන් දැන්....


මම වරකපොල යනවා බන්.. පොඩ්ඩකින් අපිත් එනවා ඔය පැත්තට....


දැන් සංවාදේ යනවා එක එක කේස් ගැන....


ඒ මචන්.. දැන් කොච්චර බීවද? බෝතලේම ඉවරද?



නෑ... නෑ... තව හදිස්සියට ගන්න ගෙනාපු බෝතලයක් තියෙනව..ඒකත් ගහලම නිදා ගන්න්නවා බන්.....


ඒ කියන්නෙ අපේ අම්මලා හදිස්සියට ගන්න හාල්, සල්ලි, වී, අරවා, මේවා තියාගන්නවා වගේ පොර හදිසියට ගන්න තියාගෙන ඉන්නෙ භාගෙ බෝතලයක්..... තනිකඩ ජීවිතේ නිසා කතන්දරට වගේ කොමෝඩ් එකේ හංගන අවශ්‍යතාවයකුත් නෑනේ..... අදාළ මනුස්සයා කවුද කියන එක තීරණය කරන එක තම තමන්ට භාරයි ඕං.....


ප.ලි.  ව්‍යාපාරික බ්ලොග් එකක් ලෙසින් එළි දකින්න සැරසෙන නරඹමු ශ්‍රී ලංකා බ්ලොග් අඩවිය ලබන වසර ආරම්භයත් සමග බලාපොරොත්තු වන්න...

Wednesday, December 15, 2010

කඩු වැනෙන එකේ දෙවෙනි කතාව.....

කලින් කතාවෙදි ඇහුවනෙ සිංහල කතා කරද්දි කඩු වැනෙනවද කියලා... කවුරු හරි හිතනවද දන්නේ නෑ මම ඉංග්‍රීසි භාෂාවත් එක්ක තියෙන තරහවක්වත් පිරිමහනවද කියලා... අනේ එහෙම දෙයක් නෙවෙයි.... මේ හැම කතාවක්ම තියෙන්නෙ ටිකක් හිනාවෙන්නයි.... ටිකක් හිනාවෙන්න කියන එකනෙ මගේ තේමාව. හිනා යන කතා ප්‍රධාන වශයෙන්ම කොටස් තුනකට විතර බෙදන්න පුළුවන්ද කියලත් හිතෙනවා.. පළවෙනි කොටස නම් පාසල් ජීවිතේ.... දෙවෙනි එක කට්ටිය බීලා කරන දේවල්... තව ඉතින් ඔහොම වර්ග කරන්න ගියොත් අද පෝස්ට් එක ලියන්න වෙන්නේ නෑ.... මම මේ දවස්වල පොඩි කතා හිඟයකිනුත් පෙලුනා... ඒත් මගේ ලෝකය ලියන රංග සහ අකේලේ හම් ලියන දිනේශ් මල්ලියි දෙන්නගෙ පෝස්ට් කියවපුහම තව අවුරු දෙකකට විතර ලියන්න කතා මතක් උනා.... යාන්තම් ජාමෙ බේරුනා.... හරි කතාවලට එමු....


කඩු කතා ගැනනේ කියනවා කිව්වේ..... සමහර අය එක පාරටම ඉංග්‍රීසි වචනයක් කියන්න ඕන වෙද්දි කලබල වෙනවා... හරියට අර එක්ස් කියන අයියා සිංහල කතා කරනකොට වගේ....ඒ වගේ කතාවක් තමයි පළවෙනි කතාව.. දෙවෙනි තුන්වෙනි කතා ඉංග්‍රීසි තේරෙන සත්තු ගැන... තිරිසන් සත්තු නිසාම දන්නෙ වචන දෙකයි තුනයි.. පැටලුනොත් ඔක්කොම විනාශයි... හරි කතා වලට යමු....


මේ සිද්ධිය උනේ බ්ලොග් කලාවේ දැවැන්තයෙකුට... තවත් බ්ලොග් දැවැන්තයෙක්ගෙ ගෙදර යද්දි සති දෙකකට විතර උඩදි තමයි උනේ මම හිතන්නේ.... දන්න කට්ටිය මොකුත් කියන්න එපා හොදද..... දැන් කාර් එක මම පදවනවා..... ජේඩීගේ දිනපොත ලියන ජේඩීයි, මගේ සඳ ලියන පසනුයි පිටිපස්සෙ සීට් එකේ.. සිද්ධියට අදාල පුද්ගලයා ඉස්සරහා ආසනේ..... අපි ඉතින් කඩේ දාගෙන යද්දි පාරෙ තිබ්බා ටිකක් විතර ලොකු ගැට්ටක්... මම ඒක නොදකියි කියලා හිතපු අපේ හිතවතා එක පාරටම මෙහෙම කිව්වා...


ඔන්න අභියා බැරියර් එකක්......


මම බැලුවා කොහෙද බැරියර් එක කියලා.... එහෙම එකක් නෑ.. මම වේගය අඩු කරලා ගැට්ට උඩින් දාන ගමන් ඇහුවා කෝ බන් බැරියර් එකක්.....?


ආහ්... බැරියර් එකක් නෙමේ..... බම්පර් එකක්...


කලබලේට පැටලෙන හැටි බලන්නකො ඉතින්..... ජේඩීයි පසනුයි මමයි මේ කතාව විනෝදයක් කර ගන්න අමතක කලේ නෑ ඉතින්..... කොල්ල ඉතින් එනකන් බයිට්...


තිරිසන් සත්තු ගැනත් කියනවා කිව්වනේ.... අර මගෙ හොදම බෝඩිමේ ඉස්සරහ ගෙදර හිටියා බල්ලෙක්.... පට්ට සැර බල්ලෙක් ඌ... අපිත් එක්ක නම් පුදුම තරහක් තිබ්බේ... ඉතින් ඒ ගෙදර පාස් කරලා එද්දි අපේ උන් ඔක්කොම කලිසමේ බෙල්ට් එක අතින් අරන් එන්නෙ.... පැන්න ගමන් දෙන්න බලාගෙන.... එහා ගෙදර අන්කල් ඌට කතා කරන්නෙ ඉංග්‍රීසියෙන්.... කම්(come) කියපුහම එනවා... ගෝ (go) කියපුහම යනවා..... 


අතින් අපේ උන්ට හපන්න ආපුහාම අපේ උන් මලටත් එක්කම ඌව පන්නන්නෙ කම් කම් කිය කිය.... බෝඩිමට් ඇවිත් අසුරු ගහලා ගෝ ගෝ කිය කිය ඌට කතා කරනවා.... නිතර දෙවේලේ කතා කරන ඉංග්‍රීසියට හුරු උන බල්ලා.... අන්කල් ගෝ කියපුහාම ලඟට එනවා.... කම් කියපුහාම එලියට යනවා..... 


හරි තුන්වෙනි කතාව.... ඔයාලා ගිහින් තියෙනවද නුවර එලියේ.... ඊට පස්සේ හෝර්ටන් තැන්නේ.... දැන් ඉතින් හිතන්න එපා මම බිස්නස් කරන්න හදනවා කියලා.... ගිහින් නැත්නම් මට කියන්න.... කතාව මේකයි.. නුවර එලියේ ඉදන් අඹේවෙල හරහා හෝර්ටන් තැන්නට යද්දි ඔයාලට දකින්න ලැබෙනවා කන්දේ ඇල කියලා විශාල ජලාශයක්.. කන්දේ ඇල රක්ෂිතය කියලා පොඩි කැලෑවකුත් තියෙනවා.... ඔන්න ඔය කියන ජලාශයේ තියෙනවා බෝට්ටු සේවයක්..... හරි හරි..පොඩ්ඩක් ඉන්න.... කතාවට එන්න කලින් පසුබිම කියන්න ඕනනේ.... ඉතින් හොර්ටන් තැන්නෙ යන හෝ ගිහින් එන අය මේ කන්දෙ ඇලේ බෝට්ටු පදින එක කරනවා ගොඩාක් වෙලාවට.. හරි දැන් බහිමු කතාවට..... 



ඒ බෝට්ටු සවාරියේ පොඩි විශේෂයක් තියෙනවා.. බෝට්ටුවක් කිව්වට ඒක ටිකක් පාලම් පාරුවක් වගේ.... මේ බෝට්ටුවේ ඉන්නවා බල්ලෙක්.... මෙයාගේ වැඩේ තමයි ජලාශයේ ඈතට බෝට්ටු සවාරියේ ගිහින් ජම්ප් කියපු ගමන් අර සීතලට වතුරට පැනලා බෝට්ටුව පස්සෙ පීනගෙන එන එක.... කට්ටියත් ඊට පස්සෙ බෝට්ටුවේ ඉන්න අයත් බල්ලා දිහාගෙන පොඩි විනෝදයක් ලබනවා.. කොච්චර ඇති වුනත් බල්ලත් ඊලඟ ගමන් වාරයෙත් බල්ලා යනව බෝට්ටුවේ... ඔන්න දැන් තමයි කතාව....



දැන් ඔන්න දවසක් මමත් එක්ක ගිය විදේශිකයො පිරිසකුත් මේ බෝට්ටුවේ සවාරියක් යන්න බලාගෙන ඉන්නවා... බෝට්ටුව නගින කොට මම එයාලට පැහැදිලි කරලා දුන්න බල්ලගෙ කතන්දරේ... දැන් එයාලත් හරිම ආසයි බල්ලගේ වික්‍රමය බලන්න.....  දැන් කට්ටිය නැග්ගා.. උපරිම දුරක් ගිහින්නෙ බල්ලට ජම්ප් කියන්නේ.... නැත්නම් ගතියක් නෑනේ.... ඒ උනාට බල්ලා බෝට්ටුවේ ගැට්ටෙ ඉන්නෙ පනින්න බලාගෙන.... එහෙට යනවා මෙහෙට එනවා.. පනින්න හදනවා ජම්ප් කීවෙ නැති නිසා ආපහු එනවා..එක විකාරයයි.... තවම බෝට්ටුව යන්න පටන් අරන් අඩි දහයක් වත් උනේ නෑ..... බල්ල දිහා බලන් හිටපු සුදු මහත්තැන් කෙනෙකුට හිතුනා බල්ලා දැන් නම් පනියි තමයි කියලා.. මොකද ඌ දගලන හැටියට කාටත් හිතෙන්නෙ එහෙමයි.... සුදු මහත්තයා බල්ලට කරුණාවෙන් මෙහෙම කිව්වා...


ඩෝන්ට් ජම්ප් (Don't Jump)


බල්ලට තේරෙනවද ඩෝන්ට්.... ඌට ජම්ප් ඇහුනා විතරයි ඌ පැන්නා..... 


දවස් හතක ගමනක් ඉවර වෙනකන් ඇන්ඩෲ මහත්තය මිස්ටර් ඩෝන්ට් ජම්ප් බවට පත් උනා අනිත් අය අතරේ.... 



  

Tuesday, December 7, 2010

ඉදලා හිටලා හරි සිංහලෙන් කතා කරද්දි කඩුව වැනෙනවද?

අපේ ගොඩාක් කට්ටිය කතා කරද්දි භාෂා කිහිපයක් පාවිච්චි කරනවා.... ලොකුවට කිව්වට මමත් එහෙමයි.... ඒ කියන්නෙ අපි සිංහලෙන් කතා කර කර ඉන්න ගමන් ඉංග්‍රීසි වචනත් පාවිච්චි කරනවා..... සමහරුන්ට නම් දරුණුවට ඕක තියෙනවා... බොහොම ස්වල්ප වශයෙන් එහෙම කරන අයත් ඉන්නවා.... ගොඩාක් වෙලාවට යෙදෙන්නෙ යා යා කියන යෙදුම... ය(ර්)ස් කියන එකනෙ ඔය යා වෙලා තියෙන්නෙ... අපේ වැප් මල්ලි, බ්ලොගී, සංසාරෙ අපි ලියන නංගි එහෙමනම් නිතරම මේ යා යා කියන වදන පාවිච්චි කරනවා.... මේක අහලා මට මතක් උනා පොඩි කතා දෙකක්... එකක් අපේ යාළුවෙකුට සිදු උන සත්‍ය සිදුවීමක්... අනික මම කියෙව්වෙ මහින්දගෙ ආගිය කතා තීරයෙන් හෝ පත්තඬුවන අහපු කියපු කතා කියන තීරු ලිපි දෙකින් එකකදි...



අපේ යාළුවෙක් හිටියා... නම අංජන... පාසැල් කාලයෙත් හොද කථිකයෙක්.. රැකියාව කලෙත් නම ගිය කල්බදු සමාගමක.... පොඩි කඩු උණකුත් නොතිබුනා නෙමෙයි... පොඩ්ඩක් දා ගත්තහමනම් ඩේලි නිව්ස් පත්තරේ පෑගුනා වගේ... ඉංග්‍රීසියෙන්මයි කතාව.... ඉතින් මේ අංජන මලයා දවසක් ගියා තමන්ගේ ප්‍රධානියා ලගට.... ඔහුත් ආයතනයේ වැඩ ගැන ලොකු කතාවක් කියලා අංජනගෙන් මෙහෙම ඇහුවා.....


තේරුනා නේද අංජන....?


යා බොස් යා යා......


යා කිව්වේ අංජන................?


අපේ එකා ප්‍රධානියාගෙ කාමරෙන් වාශ්ප වෙලා ගියාලු...


දෙවෙනි කතාව මේකයි.. සමහරවිට කට්ටිය අහලත් ඇති....


ඔය ලොකු ලොකු කාර්යාලවල තියෙනවනෙ එක රැස්වීම්... ඉතින් මේවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයිනෙ පැවැත්වෙන්නෙ.... දවසක් සාකච්ඡා කාමරේ මේ වගේ බර සාකච්ඡාවක් යනවා.... ලොක්කත් ඉතින් එතනනේ... ලොක්කගේ කාර්යාල සහායක සිරි මල්ලි, ලොක්කගේ කාමරේ පාළු කප කප නිදි කිර කිර ඉන්නවා... එක පාරටම දුරකථනය නාද වුනා.... සිරි මල්ලි දුවලා ගිහින් ගත්තා රිසීවරේ.....  කතා කලේ ලොක්කගේ නෝනා.... දැන් දෙබස මෙහෙමයි....


හලෝ.........



ආ..සිරි මල්ලිද? කෝ සර් ඉන්නවද?


ආ. සර් නෑනෙ මැඩම්..... හදිසි මීටින් එකකනෙ.....


අහ් එහෙමද? සිරි..... සර්ට එහෙනම් පණිවිඩයක් කියනවද?


කියන්නම් මැඩම්, මොකක්ද පණිවිඩේ......?


දුව වැඩිවියට පත්වුනා කියලා ඉක්මණට ගෙදර එන්න කියනවද එහෙනම්.....


හරි මැඩම්... මම ඉක්මනට කියන්නම්.......


දැන් සිරි මල්ලිටත් සතුටුයි... ලොක්කගේ ගෙදර පාටියක්... පේන්ට් කරන වැඩ ටිකක් එහෙම කරලා දීලා ගානක් කඩා ගන්න පුළුවන්නෙ.... පොර දුවලා ගියා සාකච්ඡා කාමරේට... ගිහින් හිට ගත්තා පැත්තකින්... දැන් පොරට ඇහෙනවා ඉංග්‍රීසි එහාට යනවා..මෙහාට යනවා.... එන්න එන්නම පොරටත් ආවා ටිකක් මේ කඩු කික් එක ඇඟට. අන්න ඒ වෙලාවෙ තමයි ලොක්කා දැක්කෙ සිරීව.... මොකක් හරි පණිවිඩයක් තමයි කියලා දැනගත්ත ලොක්කයි සිරියි අතරෙ දෙබස යනවා මෙහෙම.....



ආ සිරී.... වයි(why)?


මූත් දැන් කඩු කික් එකේනෙ ඉන්නේ..... දන්න විදිහට ඉංග්‍රීසි වචන දාලා මෙහෙම උත්තර දුන්නා.....


ආ සර්.... සර්ගෙ වයිෆ්(Wife) කෝල් කලා.....


ආ මොකටද සිරී.....


අජන්ට්(Urgent) මැසේජ්(Massage) එකක් සර්......


ආ මොකක්ද සිරී.....


සර්ගෙ ඩෝටර්(Daughter) එන්ලාජ්(Enlarge) වෙලා කියලා ගෙදර එන්න කිව්ව ඉක්මනට...


මීටින් එකට වෙච්ච දේ ඔයාලම හිතාගන්න.....




ප.ලි. ඉංග්‍රීසි වචන සිංහල යුනිකෝඩ් වලින් ගහද්දි තමයි ඇඬෙන්නෙ.....

Tuesday, November 30, 2010

කසාදයක් බඳිනවද? බුදු අම්මෝ.... මට නම් බෑ......

මේ දවස්වල ටිකක් වැඩියෙන් බ්ලොග් වල තියෙන මාතෘකාවක් ගැන තමයි කියන්න හදන්නේ.... විවාහය ආදරය පවුල් ජීවිතේ ආදී විවිධ ඒ ආශ්‍රිත මාතෘකා සම්භන්ධයෙන් විව්ධ වූ දේවල් සිංහල බ්ලොග් ක්ශේත්‍රයේ අනන්තවත් ලිපි ලියවිලා තියෙනවා.. ඒවා ගැනත් පොඩි මාකටින් පාරක් දෙන ගමන් මම මේ මගේ අදහසුත් ඒ එක්කම දාන්න තමයි හදන්නෙ..... කුමන ලිපියෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ තවම.. කවුරුත් කියවන දුමීගෙ පෝස්ට් එකකින්ම මේ ගැන කියන්න පටන් ගමු එහෙනම්.... විවාහකයන්ගෙ බ්ලොග් ලිපි ගැන බලලා ඊට පස්සෙ බලමු තනිකඩයන්ගෙ බ්ලොග් ගැන....


දුමීගෙ බ්ලොග් එකේ තියෙන පවුල් ජීවිතේ ලිපිය බලනකොට වගේම තව බ්ලොග්ස් වල තියෙන විවිධ කතා වලිනුත් ගොඩාක් දේවල් මතක් වෙනවා... කතන්දරගෙ බ්ලොග් එකෙත් පවුල රැකෙන කතාවක් කියෙව්වා පොඩි තේ අලකලංචියක් ගැන... මේ හදිස්සියට ඒකත් හොයා ගන්න බැරි උනා..... මගෙත් පෙම් හසුන් කතාව ලිව්වෙ අනේ මේක ඩිලීට් කරන්න වෙයිදෝ කියන විචිකිච්චාවෙන්... ඒ අතරෙ මගෙ විවාහය ගැන අප්පච්චි කියපු කතාවෙනුත් ගන්න තියෙන ආදර්ශ කිහිපයක් තියෙනවා... මේ හැම කතාවකදිම කියන්නෙ සිංහයෝ වගේ බදින්න කලින් ජීවත් වෙන කොල්ලො පොඩි පසු බෑමකට ලක් වෙනවා කියන එකදෝ මන්දා.... (දුමී කියන්නෙ නම් මීයො වෙනවා කියලා...) තවත් පැත්තක් තියෙනවා... දුකාගෙ විවාහය හා සතුට කියන කොටසින් බලපුහාම ඒකෙ තියෙන ආතල් පැත්තත් අපිට පේනවා.... මාරයාත් ඉන්නේ බෑ කියාගත්ත ගමන්මනේ.... මාරයත් බයනම් අනිත් උන් ගැන කුමන කතාද නේද? මේවා බලලද කොහෙද පොඩි කුමාරිහාමිත් අපි වගේ පොඩි පිරිමි දරුවන්ට බනිනවා ඇට්ටි හැලෙන්න..... ඉතින් මේවා කියවන උන්ට බදින්න හිතෙන්නෙම නැති වෙනවා......


විවාහ වෙලා නැති අයගෙ බ්ලොග් බැලුවොත් කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි හොයා ගන්න හැටි, විවාහ වෙලා ජීවත් වෙන හැටි,මේකෙ සුන්දර පැත්ත ගැන ලියනවා, එක්කො කතා ලියනවා, එහෙම නැත්නම් කවි ලියනවා.. විවාහ ජීවිතේ සුන්දරත්වය බූට් කේස් ගමකට ලියවෙනවා.. මගේසඳ ලියන මලයත් සොදුරු සිතෙත් මේ වගේ ඒවා ඕනෙ තරම්.... හේමලයගෙත් ඒවා චුට්ටක් එහෙමද මන්දා.. පිස්සා මල්ලිත් ඉතින් කොහොමත් ආදරේට බර එකා නොවැ.. අපි දන්නවනෙ දිනිති නංගිගෙ කතා මාලාවෙන්ම.... පේනවනෙ බ්ලොග් ගඩොල් මලයත් කෙල්ලො පස්සෙ ගිහින් කරලා තියෙන දේවල්වල තරම.... විවාහ වෙලා ඉන්න අය එපා කියන විවාහ වෙලා නැති අය ඕන කියන මේ අරුම සංසිද්ධියේ තේරුම දන්න කෙනෙක් ඉන්නවද මම අහන්නෙ....



විවාහ වෙච්ච එකා විවාහ වෙන්න හදන එකාට මෙහෙම කියනවා..


අයියෝ මල්ලි මේ කසාදනම් බදින්න එපා.....


එතකොට විවාහ වෙන්න ඉන්න එකා මෙහෙම උත්තර දෙනවා...


ඒක තමයි අයියෙ සලකලා බලන්න ඕන...


මෙන්න ඊලඟ සතියේ ඌ බැඳලා....


ඕක ඉතින් කවදාවත් කෙලවර වෙන දෙයක් නොවෙන හින්දා තව කොච්චර දුර මේ බ්ලොග් පෝස්ට් එක ලිව්වත් කෙළවරක් නම් කරන්න බැරිවෙයි.... 



මගේ ගොඩාක් යාලුවන්ට විවාහ උත්සවයෙදි තෑග්ගක් දෙද්දි මම ඒකෙ මෙහෙම කවියක් ලියන්න පුරුදු වෙලා ඉන්නවා.... ඒ මෙහෙමයි....


සියලු සැප උතුරන....
දරුවන් ගෙදර පොර කන....
බිරිඳ බෙරිහන් දෙන......
දිනය නුඹටත් උදා වෙනු ඇත....



Wednesday, November 24, 2010

කෝච්චි කතා වල අවසන් කතාව.... සෙට් වෙච්ච හැටි....


කෝච්චි කතා මාලාව අවසන් කරන්නයි යන්නෙ..... පළවෙනි කතාවෙදිම කිව්වනෙ අපි සෙට් වෙනවා කියලා මාසෙකට සැරයක් විතර මධු විතක් තොල ගාන්න..... ගොඩාක් වෙලාවට සෙට් වෙන්නෙ පොල්ගහවෙල තානායමට... මොකද ඒක තියෙන්නෙ පොල්ගහවෙල දුම්රිය ස්ථානයට අල්ලපු ඉඩමේ.... කොටුවෙන් 5.10 ට පිටත් වෙන පවර්සෙට් එකේ අපි ඇවිත් 6.40 විතර වෙද්දි පොල්ගහවෙලින් බැහැලා යනවා.... යනකොට සියළු ආම්පන්න රෙඩි වෙලා තියෙන්නෙ.. ආ.. ඒ කොහොමද කිව්වෙ නෑනෙ... අර දෙවෙනි කතාවෙ තියෙන්නෙ උදේ කෑ ගහන සීන් එකක්.... පොල්ගහවෙල තානායම ලගින් යද්දිත් අපි සමහර දවස්වලට දෙනවා අමුතු හූවක්.... (අර කෝපි කඩේ හූව..) ඒකෙන් තමයි තානායමේ කට්ටිය දැනගන්නෙ අපි හවස එනවා කියලා.... ආයෙත් කතාවට යමු.... අපිට හරියටම තියෙන්නෙ පැය එකයි විනාඩි විස්සයි... මොකද 5.50ට කොටුවෙන් පිටත් වෙන මහව කෝච්චිය පොල්ගහවෙලට එනවා 8.00 වෙද්දි... ඒකෙ තමයි ගෙදර එන්නෙ... ඉතිරි ඒවා අරගෙන මහව කෝච්චියේ ඉන්න යාලුවන්ටත් පොඩ්ඩක් අරගෙන තමයි අපි එන්නෙ... දැන් කියන්න යන්නෙ ඒ හා සම්බන්ධ සිද්ධි කීපයක්.....


මෙහෙම සෙට් වීම් වලදි ගොඩාක් වෙලාවට බයිට් වෙන්නෙ චින්තක මල්ලි.... කෝච්චි පෙට්ටි පහක විතර ආදර සම්බන්ධතා කිහිපයක් එකවර කිසි ගේමක් නැතිව කරගෙන ගිය සත්‍ය ප්‍රේම බෘංග රාජයෙක්... ඉතින් කට්ටිය අසිහියට එලඹෙන කොට මේ අහිංසකයව තමයි බයිට් එකට ගන්නේ.. ඒ මීට කලින් බීපු දවස්වල චින්තක ගෙදර ගියාම වෙච්ච දේ.... සමහර ඒවා ගොතපු ඒවා කියලයි මට හිතෙන්නෙ..ඒත් පළවෙනි කතාව නම් ඇත්ත එකක්..... ඔන්න කතා දෙක....

දවසක් මේ වගේ සෙට් වෙච්ච චින්තක මල්ලි යනවා ගෙදර... මහව කෝච්චියෙන් මිනිහ බහින්නෙ වැල්ලවින්.. එතන ඉදලා කිලෝ මීටර් දෙකක් විතර මිනිහා යන්නෙ පාගන බයිසිකලෙන්.... කොහොමත් මූ පොඩි එකා නිසා ඒ දවස්වල ගෙදරට හොරෙන් නෙ බොන්නෙ... ඉතින් ගෙදරට අහු වෙයි කියන බයෙන් තමයි නිතරම හැසිරෙන්නෙ.....ඉතින් ගෙදර ගේට්ටුව ගාවින් බැහැලා උනබට ගේට්ටුව තල්ලු කරලා ඇතුලට ඇවිත් ආයෙත් ගිහින් උනබට ගේට්ටුව වහලා ඉස්තෝප්පුව ගාවට බයිසිකලේ තල්ලු කරගෙන ඇවිත් එතනින් බයිසිකලේ උස්සලා ගේ ඇතුලින් තියලා දොර වහලා ගියාම තමයි දෙමවුපියෝ සැක හිතන්නෙ නැත්තේ... ටිකක් වැඩි වෙන සමහර දවසට ඔය පිලිවෙල අවුල් යනවා....


දවසක් ඉතින් අපේ චින්තක මල්ලි ගෙට ගොඩ වෙලා බයිසිකලේ එහෙම නවත්තලා සාලෙට ඇතුල් වෙන කොටම පොරගේ තාත්තා මෙහෙම ඇහුවලු කිව්වලු....


තෝව නම් ජීවිතේට හදන්න බෑ.... අදත් බීලා නේද ආවේ.....


නෑ තාත්තේ... බීලා නෑ.....


බීලා නෑ.... එහෙනම් මොකද වෙනදට තල්ලු කරන් එන බයිසිකලේ උඹ ගේට්ටුව ලග ඉදන් කරේ තියාගෙන ආවේ...


කොල්ලා පාඩුවේ කට වහගෙන ගේ ඇතුලට ගියාලු.....


දෙවෙනි කතාවත් චින්තක මල්ලි ගැනමයි.... මේ කියන දවසෙ මිනිහට කණ පැලෙන්න බීලා නෝන්ඩි නොවී ගේ ඇතුලට රිංගලා තමන්ගෙ පාඩුවේ නාලා කරලා ලාවට ගේ ඇතුලට එන්න පුළුවන් උනාලු.... ඊට පස්සෙ අපේ මලයට ඇහුනේ එයාගෙ අම්මා කතා කරන සද්දේ...


පොඩි පුතා... ඔන්න කෑම එක මේසෙ උඩ.. කාල නිදා ගන්න.....


මිනිහත් කෑම එක කාල පිගාන හෝදලා රැක් එකට දාලා පාඩුවෙ නිදාගෙන.....


පහුවදා උදේ අපේ චින්තක කොලුවා නැගිට්ටෙ අම්ම යක්ශාවෙශයෙන් කෑ ගහන සද්දෙට.. අම්ම මෙහෙම කියනවා පොරට ඇදේදිම ඇහුනා....


මේකා නම් කවද හරි අපේ මූනෙ දැලි ගානවා.... ඊයෙ රෑත් බීලා ඇවිත්... මූව හැදුවට වඩා හොදයි ගොන් වස්සෙක් හදා ගත්තානම්, අඩු ගානෙ ඌ මිදුලෙ තියෙන තණකොල ටික හරි කනවා...... අම්මා බනිනවා හිටු කියලා.....


මූත් පාඩුවෙ කුස්සිය පැත්තට ගියා.... හොරෙන් බලපු පොරට සීන් එක තේරිලා ඉක්මනට ඇදගෙන ගෙදරින් මාරු උනා... කලින් දවසෙ රෑ අම්මා රොටී හදලා තියෙන්නෙ.. රොටිය උඩට ලුනුමිරිසුයි පොලුයි දාපු අම්මා මේක මේසෙ උඩින් තියලා වහලා නිදා ගත්තා.... අන්තිමට උන දේ හිතා ගන්න පුලුවනිද?


කණ පැලෙන්න බීලා ආපු පුතන්ඩියා ලුනු මිරිසුයි පොලුයි කාල රොටිය හෝදලා රාක්කෙට දාල ගිහින් නිදා ගත්තා......


පහුවදා රොටිය දැකලා තමයි අම්මට මාරයා ආවේශ උනේ.....



  

Wednesday, November 17, 2010

කෝච්චියේ දෙවන කතා...... නැන්දම්මා සහ තවත් කතා.....

කෝච්චියේ පලවෙනි කතාවට තිබ්බ ප්‍රතිචාර ටිකක් ඉහලයි... ඒ නිසාම දෙවෙනි කතාවත් දාන්න කියලා ආපු ඉල්ලීම් ප්‍රමාණයත් වැඩි නිසා කෝච්චියේ තවත් කතා කිහිපයක් දාන්න හිතුවා.... මේ කතා පොඩි පොඩි ඒවා නිසා එක පෝස්ට් එකකින් කතා දෙකක් තුනක් විතර දාන්න පුළුවන්... සමහරවිට පත්තර වල තියෙන හිනා නොයන ජෝක්ස් ගණයට වැටුනත් කට කොනින් හරි ටිකක් හිනාවෙන්න පොඩි උත්සහයක් ගන්න.. නැත්නම් මම පව්නෙ....


උදෑසන 5.50ට අපිව පටවගන්න මහව කෝච්චිය හැල්මේ කොළඹට ඇවිත් 8.20 විතර වෙද්දි අපිව මරදානෙන් හලනවා... දැන් නම් මේ කාලසටහන වෙනස් කියලා තමයි ආරන්චි... ඉතින් මේ පැය දෙක හමාර ඉත විනෝදයෙන් ගෙවෙන්නෙ නිකන් විනාඩි 15ක් ගත වෙනවා වගේ.... මඩ ගැසීම්, විහිළු තහළු, කාඩ් සෙල්ලම්, අනියම් ප්‍රේම සම්බන්ධතා, නියම ප්‍රේම සම්භන්ධතා ආදී මෙකී නොකී ගොඩාක් ක්‍රියා කෝච්චිය ඇතුලෙ තියෙනවා මේ පොඩි වෙලාවෙ....


අපි ඉතින් තාරුන්‍යයෙ හොදම කාලෙ නිසා කෝච්චියේ එලියෙ සහ ඇතුලෙ ගිය ගෑණු ළමයි කෙරෙහි තමයි වැඩි අවධානයක් යොමු කලේ... වැඩියෙන්ම අවධානයක් යොමු කලේ කෝච්චි පාරත් එක්ක සමාන්තරව දිවෙන ගුරු පාරවල් වල පයින් යන ගෑණු ළමයි කෙරෙහි තමයි..... ඔවුන් තමයි අපේ විහිලු වලට ගොඩාක්ම ගොදුරු උනේ.... ඒත් ඒවා හරි අහින්සක විහිළු.... 13 වෙනි පෙට්ටියෙන් දෙන ගැට වලට ගොදුරු වන අයට විශාල හූවක් නිර්මාණය වෙන්නෙ 14 වන පෙට්ටියෙන්..... අනේ මන්දා වටේ යනවද කියලා..ඒත් පසුබිම නොකිය කතාව කිව්වම වැඩකුත් නෑනෙ.... හරි ඔන්න කථා ටික.....




උදේ පාන්දර ගුරු පාරවල් දිගේ ලස්සනට ඇද ගත්ත ගෑණු ළමයි ලස්සනට ඇවිදගෙන එනවා... කුරුණෑගල ඉදන් එද්දි ප්‍රධාන වශයෙන් දුම්රිය පලවල් තුනකදී මේ දසුන් ඉතා සමීපව අපිට දකින පුළුවන්.... ගිරාඹේ, අඹේපුස්ස, සහ වේයන්ගොඩ දුම්රිය ස්ථාන කිට්ටුව තමයි මේ ගුරු පාරවල් සෙට් එක තියෙන්නෙ... ඔන්න ආයෙත් කතාව පිට...  ඉතින් මේ ගෑණු ළමයි දකින අපේ උන්ට කට වහගෙන ඉන්න බෑනෙ... ඔන්න ඉතින් එකෙක් මෙහෙම කෑ ගහනවා....


ආ.. නංගී මොකද තවම පනාව ඔළුවේ......


එක පාරටම එයාලට හිතෙන්නෙ උදේ කොන්ඩෙ පීරපු පනාව තවම ඔලුවෙ ගහගෙනදෝ කියලා... ඉතින් අතේ තියෙන දේවල් බිම අත ඇරලා අත කෙලින්ම ඔළුවට ගෙනියනකොට තමයි තේරෙන්නෙ රැවටුනා නේද කියලා... ඒ එක්කම 14 වෙනි පෙට්ටියෙන් එන හූ සද්දෙට බනින්න හදනකොටම මෙන්න කෝච්චිය ගිහින්....


 පිරිමි අයට වෙන්නෙත් මේ හා සමාන දෙයක්.... කොච්චර දැකලා තිබ්බත් කෝච්චිය දිහා හැමෝම බලනවනෙ.... ඉතින් මේ කෝච්චිය දිහා බලන පිරිමි අයට අපේ උන් බෙරිහන් දෙන්නෙ මෙහෙම....


ඔන්න මනුස්සයෝ හැප්පෙයි..........


මොහොතකින් කෝච්චිය දිහා බලාගෙන ඉන්න මනුස්සයා හෙනට කලබල වෙලා කානුවට පනින්න හදන්නෙ පස්ස බලන ගමන්....  අන්තිම මොහොතෙදි තේරෙද්දි තමන් රැවටුනා කියලා තියෙන හොදම වචන වලින් තමයි අපිට බනින්න හදන්නෙ.... ඒ වෙනකොත් 14 වෙනි පෙට්ටියේ හූවට මනුස්සයා ගොදුරු වෙලා ඉවරයි...... බනින කොට කෝච්චිය ගිහිල්ලත් ඉවරයි.......



එක්ස් අයියගෙ ගොතේ ගැන මම කිව්වනෙ මගෙ පළවෙනි කතාවෙදි... මේකත් ඒ ගොතේ ගැනම කතාවක්... තලවත්තේගෙදර කියන ස්ටේෂන් එකෙන් නගිනවා උසස් පෙල වගේ කරන ගෑණු ළමයෙක්.... කොල්ලො විහිලුවට වගේ කිව්වෙ යකා නංගි කියලා.. ඇයි මෙහෙම කියන්නෙ කියලා මම දාපු කලින් පෝස්ට් එකක කමෙන්ට් එකක තිබ්බ වගේ මතකයි.... ඉතින් මේ නංගි ටිකක් එක විදිහක්.... පිරිමි ළමයි කෙරෙහි දැක් වූ සැලකිල්ල ටිකක් වැඩියි... අපේ උනුත් ඉතින් එන්න කියලා සීට් දීලා බයිට් කරන්නෙ... නංගිගෙ ගෙවලුත් රේල් පාර අයිනෙමයි... අම්මා හැමදාම රේල් පාර ලගට වෙලා කෝච්චිය යනවා බලාගෙන ඉන්නවා... හවස එද්දිත් ඔහොමයි... 


ඉතින් අපේ උන් මේ අම්මට නැන්දම්මේ කියලා කෑ ගහනවා.. එයත් ඒක විහිලුවක් ලෙස භාර අරගෙන අපිට අතත් වනලා ගෙදරට යනවා... ඔහොම යද්දි අර එක්ස් අයියටත් ඕන උනා නැන්දම්මේ කියලා කෑ ගහන්න.... මිනිහත් දුවන කෝච්චියෙන් ඔළුව එලියට දාලා මෙහෙම කිව්වා....


නැන්.. න්...න්... නැන්.... නැන්.. න්...න්... නැන්....


කියද්දි කෝච්චිය ගියා......


ඕක අහන් හිටපු කුමාර අයියා එක්ස් අයියට මෙහෙම කිව්වා...


මචන් එක්ස්, උඹ හෙට පොල්ගහවෙල හරියෙන් ඕක කියන්න පටන් ගනින්..... එතකොට මේ හරියට එද්දි ගානට කියා ගන්න පුළුවන්.....


තමන් බයිට් උන බව දැන ගත්ත එක්ස් අයියා කුමාර අයියා දිහා රවලා බලලා පාඩුවේ ඉද ගත්තා...  

Friday, November 12, 2010

කෝච්චියෙ කතා අංක 01... ඇබින්දක් විතර 18+

මේ දවස්වල මම ඉන්නෙ හරි සතුටෙන්... මගේ පරිඝණක දැනුම දුර්වල නිසා මම හිතුවෙ කවුන්ටරේ තමයි ආපු ගාන පෙන්නුම් කරන්නෙ කියලා... ඒ උනාට ගූගල් දෙයියන්ගෙ බස් ඩෑෂ් බෝඩ් එකට ගිහින් බලපුහම මෙන්න බොලෙ මාස පහට 18000ක්ම ඇවිත් ගිහින්.. මම හිතුවෙ බොරුවක්ම කියලා... ඒත් වැප් මල්ලි කියන්නෙ ගූගල් දෙයියන්ට වරදින්න විදිහක් නැහැලු... ඉතින් ඒක නිසා මට පොඩි කික් එකක් ආවා මේ බ්ලොග් ලියන එක ගැන.. වැප් මල්ලිට ඔන්න තව පාරක් ස්තූතියි.. ඔන්න මට ඉදිරියටත් උදව් කරන්න ඕන... කතන්දරවත් මතක් කරන්නත් ඕන.. මොකද එයාගෙ බ්ලොග් එක නැත්නම් මම බ්ලොග් ලියයි.... නුවන් කිත්මල් මල්ලිත් මට බොහොම වැදගත් වෙන විද්‍යුත් ලිපියක් එවලා තිබුනා.. බොහොම ස්තූතියි මල්ලි.... 


මේ කතාව ලියන්න කලින් එකදෙයක් ඔක්කොටම කියන්න ඕන.. මම මේ කතාව කියන්නෙ ටිකක් හිනාවෙන්න විතරයි.... ආගම් පහතට දාන්නවත් මිනිස්සුන්ගෙ දුර්වලතා වලට අගරුවක් කරන්නවත් නෙවෙයි... ඒ නිසා මේක කියවන ඔබ හැමෝම මේ ඇහින් කියවලා අනිත් ඇහින් බැහැර කරලා දාන්න... ආ.. ටිකක් හිනාවෙන්නත් අමතක කරන්න එපා..... හරි දැන් ඉතින් කථාවට යමුකො.... මම කියලා තියෙනවා මගෙ මුල්ම කථාවකදි අපේ ජීවිතවල එක එක ජීවිත තියෙනවා කියලා.. ඒ කියන්නෙ කැම්පස් ජීවිතේ, බෝඩින් ජීවිතේ, මාරයගෙ වගෙ පංසල් ජීවිතේ, වගේ එක එක ජීවිත. ඉතින් මට මෙච්චර කලක් අමතක වෙලා තිබ්බ කෝච්චි ජීවිතේ ගැන තමයි අද කියන්න යන්නෙ.... මම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වැඩ කරන කාලෙ අවුරුදු දෙකක් විතර මම කෝච්චියෙ දිනපතාම වැඩට ආවා ගියා.. පුදුම ෆන් කාලයක් ඒක.... උදෙට සහ හවසට පැය දෙක හමාර ගානෙ ආතල් ගත්තා... එතනත් ඔයාලට කියන්න කතා සීරීස් එකක්ම තියෙනවා.... ඉතින් ඒක නිසා ඔන්න පලවෙනි කතාව දිහාට හැරෙමු....


 කෝච්චියෙ වැඩට යන හැමෝටම නිසි අසුනක් තියෙනවා.. අපි ගියෙ මහව කෝච්චියෙ දහතුන්වෙනි පෙට්ටියෙ දෙවැනි කෑල්ලෙ වම් පැත්තෙ දෙවෙනි ශීට් එකේ.... මහව කෝච්චියෙ ඒ කාලෙ තිබ්බ තිරිසන්ම පෙට්ටිය... මරුම කොල්ලො සෙට් එකක් හිටියෙ.... පිස්සු කෙළින්න ජන්මයෙන්ම ආපු හැකියාවක් තිබ්බේ... මේ සෙට් එකේ හිටියා එක්ස් නම් වූ අයියා කෙනෙක්... මිනිහා මුස්ලිම් භක්තිකයෙක්... ඒත් සිංහල වගේ හැසිරෙන්න තමයි ගොඩාක් කැමති... එයාට නිතරම ඕන උනා තමන් චතුර විදිහට සිංහල කතා කරනවා කියලා අනිත් අයට පෙන්නන්න... ඒ උත්සහය නිසාම මනුස්සයට ගොත ගැහෙනවා... ඉතින් මේ උත්සහය නිසා ගොත ගැහෙන එක අනිත් උන් විහිලුවට ගන්නව නිතරම...


ආයෙත් කතාවට.... ඉතින් මේ කෝච්චි සගයෝ කොහෙට හරි මාසෙකට සැරයක් සෙට් වෙනවා පොඩි මධුවිතක් තොල ගාන්න.. ඒ සෙට් වෙන හැටිත් හරි අපූරුයි.. ඊලග කතාවෙදි ඒක දාන්නම්... ඉතින් මේ එක්ස් නම් වූ අයියත් එනවා... මිනිහා බොන්නෙ නෑ.... ඉතින් ඔක්කොම මදුවිත පානය කරලා ඊලග කෝච්චියේ නැගලා ගෙදර එනවනෙ... එක්ස් අයියයි විජේ අයියයි බහින්නෙ පොතුහැර දුම්රිය පලෙන්.. අපි ඊලග එකෙන්.. විජේ අයියගෙ යතුරු පැදියෙ තමයි එක්ස් අයියත් දුම්රියපලේ ඉදලා ගෙදරට යන්නෙ.... දැන් මේ සෙට් වෙලා ගෙදර යන දවසෙත් එක්ස් අයියා නැග්ගා විජේ අයියගේ යතුරු පැදියෙ පිටි පස්සට.... විජේ අයියා කණ පැලෙන්න බීලා... දැන් බීපු එකා පදිනවා බීපු නැති එකා පිටිපස්සෙ ඉදගෙන යනවා....



විජේ අයියා යතුරු පැදිය පැදගෙන අස්ස වේගෙන් යනවා දැන්.. එක්ස් අයියත් කකුල් වෙව්ල වෙව්ල පාර දිහා බලාගෙන යනවා.. එක්ස් අයියට පෙනුනා ඈත වලක්.... මිනිහ විජේ අයියට ඒ ගැන කියන්න හදද්දි අනේ අර ගොතේ ආවා.. දැන් එක්ස් අයියට කියන්න උනේ මෙච්චරයි...


වි ... වි.. ජ්.. විජ්ජ්ජේ..... ව.. ව.. වල්........


කියද්දිම වලේ වැටුන යතුරු පැදිය දඩෝන් ගාලා මහ පාරෙ ඇදගෙන වැටුනා... භක්තිමත් ඉස්ලාම් බැතිමතෙක් වන එක්ස් අයියගෙ මුවින් දෙවියන් සිහි කරන වදන නිකම්ම පිට වුනා...... ඒ කියන්නෙ අල්ලාහ් කියලා...


කරුමෙ කියන්නෙ අර කලින් ගොත ගැහිච්ච වාක්‍යයයි නිතරම චතුර විදිහට කියවෙන දෙවියන්ගෙ නමයි මනුස්සයට එකටම තමයි කියවුනේ.... ඒක නිසා වටේ අයට මේක ඇහුනෙ මෙහෙමයි....


වි ... වි.. ජ්.. විජ්ජ්ජේ..... ව.. ව.. වල්........ලා...හ්.....


පහුවදා උදේම කෝච්චි පෙට්ටියට නැග්ග විජේ අයියා මේ ගැන කියලා මුළු දහතුන්වෙනි පෙට්ටියම ගිනි තිබ්බා... මාස තුනක් විතර වෙන පෙට්ටියක ගිය එක්ස් අයියා පස්සෙ ආයෙත් අපිත් එක්ක සෙට් උනා.....

Wednesday, November 10, 2010

පට්ට රුවන් වැකි.......

අද කියන්න යන්නෙ ටිකක් වෙනස් මාතෘකාවක්.... ඔයාලා පාරෙ තොටේ යද්දි දැකලා තියෙනවා නේද ඔය ත්‍රී වීල් වල ලොරිවල එහෙම ගහලා තියෙන වැකි... අද මම පොඩි ගමනක් යද්දි දැක්ක රුවන් වැකියක් නිසා මට ඒ ගැන පෝස්ට් එකක් ලියන්න හිතුනා.... මේ පෝස්ට් එක කියවන ඔයාලත් කමෙන්ට් විදිහට ඔයාලා මගතොට දැකපු වාක්‍යයන් දමාවි කියලත් මම හිතනවා....



ත්‍රීවීල් වල තමයි හොදම කතා තියෙන්නෙ.... පිඹගෙන යන ත්‍රීවීල් එකක පිටි පස්සෙ මෙහෙම ගහලා තිබ්බා...


මටත් වඩා හදිස්සිනම් උඩින් යන්න.....


ඇත්ත තමයි.... මිනිහා ගිය විදිහටනම් මට හිතුනෙ ඊයෙ යන්න තිබ්බ ගමනක් අද යනවා කියලයි.....


කොහොමත් ත්‍රී වීල් රියැදුරෝ එහෙන් මෙහෙන් දාලා අස්සෙන් රිංගලා යන්න සමත් අයනෙ... එක පාරට තමන්ගෙ වාහනේ ඉස්සරහින් ත්‍රී වීල් එකක් මතුවෙනවා දැකලා ඉබේටම තිරිංග තද කරන වාහන රියැදුරන්ගෙ මුවෙනුත් පිට වෙන්නෙ මරුම වදන් තමයි... ඉතින් මෙහෙම අස්සෙන් රිංග රිංග යන ත්‍රී වීල් එකක් පිටි පස්සෙ ගහලා තිබ්බ මෙහෙම වැකියක්....


පොඩි උනාට දග නෑ පැටියෝ.....


බනින්න හදනකොටම මේ වැකිය දැක්ක අයට බනින්න අමතක වෙනවා ඇතිනේද? 



පුද්ගලික බසුත් ඉදලා හිටලා ලංගම බසුත් මේ වගේ වැකි ප්‍රදර්ශනය කරනවා.. පුද්ගලික බස් වල ජනප්‍රියම කවි තමයි විල්ඹට් අඹතලාව මහත්තයාගෙ කවි.. ඒ ගැනනම් වෙනම ලිපියකුත් ලියන්න පුළුවන්.. ඔන්න වටේ යනවා.. ආයෙ කතාවට එන්න ඕන.. හරි ඉතින් දවසක් රියදුරු මහත්තයගෙ අසුන උඩින් මගී ජනතාවට කියවන්න පුළුවන් වෙන විදිහට මේ වගේ වැකියක් මම දැක්කා.....


නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්...


ඇත්තටම ගෑනු ලමයි රියැදුරු මහත්තයා දිහා බල බල ගිහින් අන්තිමේට එයත් බල බල යන්න ගත්තම බස් එකේ යන මගීන්ට ඊලග මොහොතෙ අත්වන ඉරනම ගැන හිතාගන්න පුළුවන් නේද?



අද මට මේ කතාව කියන්න පාදක උන වැකිය තමයි මේ... අතේ සතයක් නැතිව කෝටි ගනන් ගැන කතා කරන අයට හිතේ හැටියට ගහන අතුල් පහරක් වගේ තමයි මට මේක දැනුනෙ... බලන්නකො මොකද්ද මේ වාක්‍යය... පරණ ආතල් එකක්ද දන්නෙනම් නෑ..... ඒත් මම නම් අදමයි දැක්කෙ..


හබලක්වත් නැති අපට නැව් ටෝක් මොකටද?

ඇත්තට මොකටද?

Saturday, November 6, 2010

අප්පච්චි ගැන තවත් කතාවක්.....

බ්ලොග් එකක් ලියන්න පටන් ගද්දි හිතුවෙ නැති තරම් මම දැන් දුර ඇවිත්ද කියලා හිතෙනවා.. ඒ මම අද 76 වෙනි ලිපියත් ලියන නිසා වගේම කවුන්ටරේ පෙන්නන තුන්දහස් හයසිය ගානක පැමිනීම වගේම මගේම වෙලා ඉන්න 97 දෙනාත් දැක්කම.... මාස පහකදි මම ආපු දුර ගැන මම නම් හොදටම සෑහීමකට පත් වෙලා ඉන්නෙ... ඒ අතරෙ ජනප්‍රිය බ්ලොග් කරුවෙක් වෙන ටැබූ පොඩි බ්ලොග් සම්මාන ප්‍රධානයකුත් කරලා.... ඔන්න එකෙනුත් පොඩි සම්මානයක් මට ලැබිලා... ඒකට ස්තූතියි කියලත් ටැබූට කියන ගමන්, හිතේ ගොඩ නැගිච්ච පුංචි පහේ සංතෝසෙකුත් එක්ක තමයි අද ලියන්න ගත්තෙ......



අද මම කියන්න යන්නෙ මම විවාහ වෙන්න කාලෙකට කලින් මගේ අප්පච්චි මට කිව්ව අපූරු කතාවක්..... අප්පච්චි ගැන කතා කිහිපයක්ම කියලා තියෙනවනේ.. ඒ නිසා අප්පච්චි වෙලාවකට යකෙක් වගේ තරහ යන වෙලාවකට යාලුවෙක් වගේ හිතවත් වෙන කෙනෙක් කියලා දැනටමත් ඔයාලා දන්නවනෙ... මේ අප්පච්චි යාලුවෙක් වගේ හිතවත් වෙච්ච වෙලාවක කියපු කතාවක්...


මම ඉතින් මගෙ ආදර සම්භන්ධතාවය ගැන ගෙදරට එහෙම කියලා මගේ විවාහ කටයුතු කරන අයුරු ගැන ගෙදර සාකච්ඡා වෙන කාලෙදි තමයි මේ කතා සිද්ධ වුනේ..... බදින්න යන එකා බයිට් වෙන එක කොතනත් සිරිතක්නෙ... ඒක නිසා මටත් ඒ ධර්මයෙන් මිදෙන්න බැරි උනා... අප්පච්චියි මමයි දවසක් ගියා මෙහෙම දෙබසක්...


ආ.. දැන් මොකද වැඩ කටයුතු?


හොදයි අප්පච්චි.. මම බදිනවා කියන්නෙ...


ආ එහෙමද? අප්පච්චි ඇහුවෙ හිනා වෙවී....


කමක් නැද්ද අප්පච්චි?


මම උඹට කමක් නෑ කියන්නෙත් නෑ.... කමක් තියෙනවා කියන්නෙත් නෑ.....


ඈ.. ඒ මොකද?


බදින්න එපා කිව්වොත් උඹ හිතයි මම ඉරිසියාවට කියනවා කියලා....



බැදපන් කිව්වොත් පස්සෙ කාලෙක උඹ හිතයි.. යකෝ අප්පච්චිවත් මට බදින්න එපා කිව්වෙ නෑනෙ කියලා.....


කොහොමද කතාව... ටිකක් වෙලා ගියාට පස්සෙ මට තේරුනා මාව බයිට් උනා තමයි කියලා..... 

Wednesday, November 3, 2010

ඇතුවත් බැරි නැතිවත් බැරි තනතුර

අද ලියන්න යන්නෙ ඒ මීට අවුරුදු කීපෙකට කලින් මම ලියපු කවියක්.... ඒ කාලෙ මම සේවය කලේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ කළමණාකාර සහකාර වරයෙක් විදිහට. එහි ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් ලෙස සේවය කලේ ප්‍රවීණ ලේඛිකා රූපා එස්. ඒකනායක මහත්මියයි... එතුමියගෙ ප්‍රධානත්වයෙන් ඉතා විශිෂ්ඨ ගනයේ බිත්ති පුවත්පතක් අමාත්‍යාංශය තුල ක්‍රියාත්මක කෙරුනා.. මගේ නිර්මානත් එහි ඉදලා හිටලා පළවුනා.... එහි පළවුන මගේ නිර්මානවලින් එකක් තමයි මම අද ලියන්න හිතන්නෙ.....



පුද්ගලයෙකු තම දිවි සරි කරගන්නා        තනතුර..
නියමිත වැටුපක් අරගෙන කරගෙන යන තනතුර...
වෙද ගොවි කම්කරු ගුරු ආදී ලෙස වන  තනතුර...
කවුරුත් ආඩම්බර වෙයි පිළිබද තම        තනතුර.....


පැය අටකට අප උඩ යන අප දරනා       තනතුර.....
වෙනකකු සිත රිදවයිනම් වැඩකට නැති තනතුර....
ගේට්ටුවෙන් පිට වූ විට වලංගු නැති       තනතුර...
අයථා වැඩ සිදු වන විට ගහලා යන        තනතුර....



අද පහලින් බලය නැතිව ඉන්න එකා           තනතුරින්......
හෙට වෙනකොට පුදුම ලෙසට ඉහලට යයි    තනතුරින්.....
සමහරු පන්දම් අල්ලා උඩ සිටියත්              තනතුරින්.....
කල අවැඩක් හෙළිවන විට පැනලා යයි        තනතුරින්.....


හොද වැඩ බොරු වැඩ ගොං වැඩ කරනට හැකි  තනතුර...
සමහරුනගෙ ඔලුව ටිකක් පුම්බා ඇති               තනතුර...
කොයික කොහොම උනත් අපිත් රැක ගත යුතු  තනතුර...
මහ ජනයට වාසි වෙන්න යෙදවිය යුතු             තනතුර...  



තමන් ඉහල අනෙකා පහල උනත් විවිධ           තනතුරින්.....
කර ගන්නට බැරි දේ ඇත බලය පෙන්වා          තනතුරින්...
අනෙකගෙ තත්ත්වය පහලට දාන එකා             තනතුරින්....
නිකමෙකු වෙයි වැඩකට නැති ඔහු දරනා           තනතුරින්....


බොරුවට උඩ පනින් නැතුව තම තනතුර ගැන       සිතා...
මනුස්සකම ඉහලට ගමු තනතුර පසුවට                  තබා...
මේ පින්බිම ඇතුලෙ ඉන්න සේවක අප සැම       දෙනා....
සාමය සමගිය පතුරමු සැම මුව නගමින්              සිනා... 



Monday, November 1, 2010

අප්පච්චිගෙ දඩුවම්.... 01

බ්ලොග් ලියන්න ටිකක් කම්මැලි හිතිලා මේ බස් කෙරුවාව නිසා... ගූගල් බස් එකට අපිව හුරු කරපු එකට වග කියන්න ඕන අපේ වැප් මල්ලි.. මිනිහා තමයි මේ විදිහට අපිව අයාලේ යැව්වෙ.... හරි ඒ කතාව පැත්තකින් තියලා අපි යමු අපේ කතාවට.... කලින් කියපූ කතාවෙ මම අපේ අප්පච්චි ගැන කියලා තියෙනවනෙ... දඩුවම් කරන කොට තමන්ගෙ දරුවා කියලා නෑ... දෙනවා කන් දෙකෙන් දුං විසිවෙන්න.. ඒ වගේම අපූරු දඩුවම් දෙන එකෙත් කෙලවරක් නෑ.... මේ ගැන සීරීස් එකක්ම ලියන්න පුළුවන්.. මට දුන්නු මරු දඩුවමක් ගැන ඔයාලට කියන්නම්....


ඉතින් මේ ගෙදරදි දෙන දඩුවම් වලට වැඩිපුරම වගේ භාජනය උනේ අහිංසකව කල් ගෙවපු මාවම තමයි.... මට වැඩිමල් අය විදිහට හිටියෙ අක්කලාම තුන් දෙනෙක් නිසා එයාලගෙ පවුත් එක්කම පොලී සමගින් ගෙවීමේ න්‍යායට මම වගකීමෙන්ම බැදිලා හිටියා..... අප්පච්චිට තරහා ගියාම ගහන්නෙ මොකෙන්ද කියන එක එච්චරම ප්‍රශ්නයක් නෙමෙයි.... ගිරය, පුවක් ගෙඩිය වගේ සැහැල්ලු අවි වගේම ලගම තියෙන පුටුව වගේ බර අවිත් පාවිච්චි කරන්න අප්පච්චි පැකිලුනේ නෑ.. මේ කතා පසුවට කියන්න තමයි හිතන් ඉන්නේ..... ගෙදර තියෙන ඕනම දෙයක් අප්පච්චිගේ අයුධයක් පත්වීම සදහා වන හොදම උදාහරණය වන්නේ දිනක් මේසය මත තිබූ පරිප්පු දීසිය දෙවෙනි අක්කාගේ කණ අසලින් පියාඹා ගොස් බිත්තියේ වැදී අවසන් ගමන් ගිය මතකයයි.... 


මේ කියන්න යන්නෙ බාලදක්ෂ උණ නිසා මා ලැබූ දඩුවමකි... මේ කතාව කියද්දි අප්පච්චිගෙ තවත් ගුණාංගයක් ගැන නම් නොකියම බෑ.. ඒ තමයි අපි එනවා කිව්ව වෙලාවට ගෙදර එන්න ඕන.... පරක්කු වෙනවානම් රෑ ගෙදර එන්නෙ නැත්නම් උදේ කියලා යන්න ඕන.... කලින් එනවා කියලා ගිහින් පරක්කු උනොත් නම් බඩුම තමයි.... මේ කොන්දේසිය තමයි මම නම් නිතරම කඩ කලේ.... හරි කතාවට එමුකො...... 


බාලදක්ෂ කදවුරක් ලංවෙද්දි අපට තියෙන රාජකාරි එමටයි.... ඉතින් ඉස්කෝලෙ ගහන්නෙ ෆුල් නයිට්... ඇදුම් පහ හයක් අරන් ඉස්කෝලෙට එනවා... එලි වෙනකන් පුවක් ගස් කපනවා... කාලීන උපකරණ හදනවා.. ඉස්කෝලෙ තැඹිලි කඩනවා, අල්ලපු වතුවල කෙහෙල් කැන් කපනවා වගේ එකී මෙකී නොයෙකුත් වැඩ..... උදේම නැගිටලා ඉස්කෝලෙ ටැප් එකෙන් නාගෙන පොඩිවෙච්ච ඇදුම් මාර ගේමක් දීලා තලාගෙන අපි පංතියට යනවා.. ඉතින් මේ වගේ දවසක තමයි මම අපේ අප්පච්චිට කලින් එනවා කියලා ඉස්කෝලෙ ආවේ..... 



කෑම්ප් එකේ වැඩ නිසා ඔක්කොම එකසිය ගානට වැඩ.... මටත් ගෙදර සපුරා අමතක වෙලා හිටියෙ...... ඔන්න පාන්දර එකට විතර මතක් උනා දෙවියනේ අප්පච්චිට එනවා කිව්වා නේද කියලා... දෙපාරක් හිතන්න කිසිම කාරණාවක් නෑ.. අද ගියෙ නැත්නම් හෙට බඩු ෂුවර්.... කොල්ලෙක්ගෙන් ඉල්ලාගත්තා පාගන බයිසිකලයක්.. පැද්දා කෙලින්ම ගෙදරට කිලෝමීටර් 8ක්.... කොහොමහරි ගෙදර එද්දි පාන්දර 2ට විතර ඇති.... දැන් ඉතින් බයේ ගැහි ගැහි තට්ටු කලා දොරට.... අප්පච්චිගෙ ගාම්භීර සද්දෙත් බර අඩි තියලා එන සද්දෙත් ඇහුනම අපේ පපුවෙ සද්දෙ ඊට වඩානම් වැඩි වෙනවා.... අප්පච්චි දොර ඇරලා මෙහෙම ඇහුවා....


ආ.... උඹ දැන්ද එන්නෙ....


ඔව් අප්පච්චි පොඩ්ඩක් පරක්කු උනා....


ආ ඇත්තද? එහෙම අහපු අප්පච්චි දොර වහලා ඇතුලට ගියා.... ටිකක් වෙලා ගියාට පස්සෙනෙ මට මතක් උනා යකෝ.. මම තවම එලියෙනෙ ඉන්නෙ.... ආයෙ දොරට තට්ටු කරලා කිසිම වැඩක් නෑ.. අප්පච්චිගෙ තීරණය ජීවිතේට වෙනස් වෙන්නෙ නෑ.... අක්කගෙ කාමරේ ජනේලෙන් පහුවදා අදින්න තියෙන ඇදුම් ටික ඉල්ලගෙන වෙන කරන්නම දෙයක් නැති නිසා ආපහු පැද්දා ඉස්කෝලෙට....



සෑහෙන කාලයක් යනකන් කොල්ලො මාව බයිට් එකට ගත්තා මේ සීන් එක නිසා... මොනවා කරන්නද? අපිත් ඉදලා හිටලා හරි ඇස්වහ කටවහ යන්න හරි බයිට් වෙන්න ඕනනෙ කියලා විදගෙන හිටියා.....


ප.ලි. ඊලග කතාව ඉක්මනට දාන්න හිතාගෙන ඉන්නවා....

Tuesday, October 12, 2010

අන්සතු නොකල යුතු දේවල්......

මේ කතාව පටන් ගන්න කලින් කිව යුතු කාරනා කිහිපයක් තියෙනවා.... වැම්පයර් මල්ලිට හිස නමා ගරු කරලා මගේ ස්තූතිය මේ අයුරින් පුද කරන්න කැමතියි... රන්බණ්ඩා සෙනෙවිරත්නයන් පිළිබදව ලියන්න යැයි මම ඉල්ලපු ඉල්ලීමට කන් දීලා ඔහු ඉතාමත්ම වැදගත් ලිපි කිහිපයක් (එක, දෙක, තුන ආදී වශයෙන්) පල කරලා තිබ්බා.... තව පාරක් ස්තූතියි වැම්පයර් සහෝ...... ඒ එක්කම ඔහු විසින් රචිත The Harmonic Tunes of Premakeerthi De Alwis and Victor Rathnayaka – Episode 01| ප්‍රේමකීර්ති ද අල්විස් + වික්ටර් රත්නායක සුසංයෝගය - පළමු දිගහැරුම කියන ලිපිය පිළිබදවත් මගේ ස්තූතිය ඔහුට හිමි විය යුතුමයි....


ඊලග කාරනය තමයි මම බ්ලොග් ලියන්න පටන් අරන් දැන් මාස හතර හමාරක් පමන වෙනවා.. බ්ලොග් කවුන්ටරේ දාගත්තෙ ඊට මාස දෙකකට විතර පස්සෙ.. කම්පියුටර් වැඩ කෑලි වැඩිය දන්නෙ නැති නිසා ආගිය කතා ලියන හසිත මලයගෙන් අහගෙන තමයි ඒකත් දැන ගත්තෙ.. දැනට මගේ පස්සෙන් එන අය 86 දක්වා වැඩි වෙලා.. බ්ලොග් කවුන්ටරෙත් 3100 පාරකට වඩා කැරකිලා.. ඊටත් වඩා මේ වැඩෙන් මාරම ෆිට් යාලුවො වගයක් හම්බ උනා... ඊලග ලිපියෙන් ඒ ගැන ලියන්න හිතාගෙන ඉන්නෙ.... ඒ ඔක්කොටම ඒ වෙනුවෙන් උපරිම ස්තූතිය පිරිනමලා ඔන්න දැන් කතාව පටන් ගන්න යන්නෙ....



අපේ අප්පච්චි ගමේ පරම්පරාගතව හිටපු කෙනෙක්... ගමේ ඉස්කෝලෙ පටන් ගද්දිම ඒකෙ මුල්ගුරු තුමාගෙ ලොකු පුතා... අප්පච්චිත් ගුරුවරයෙක්... විශ්‍රාම ගියෙත් නියොජ්‍ය විදුහල්පතිවරයෙක් විදිහට... ආදි කාලෙ මුල්ගුරුවරුන්ට ගමක තිබ්බ සැලකිලි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ... ඒ ගරුත්වයෙ සැලකිල්ල ගමේ තවමත් අපේ අප්පච්චිට හිමියි... අප්පච්චි ඉතා දැඩි ප්‍රතිපත්ති වල හිටියෙ... මට උනත් දඩුවම් කරන්න ගියාම ඒකෙ කිසිම සීමාවක් තිබ්බෙ නෑ... ඒ ගැන වෙනම පෝස්ට් එකකින් කියන්න පුලුවන්... ඒත් අප්පච්චිගෙ ශිෂ්‍ය ශිෂ්‍යාවො එක්ක හරිම ලෙන්ගතුයි... ඉතින් ඒ නිසා අප්පච්චිගෙ අවවාද අනුශාසනා වගේම ගුටි, වේවැල් පාරවලුත් ගෝල බාලයන්ට මදි නොකියන්න ලැබුනා...

දවසක් අප්පච්චි ගෙදර තියෙන වෑන් බූම් එක හදන්න ගෙවල් ගාව තිබ්බ ගැරේජ් එකට ගියෙ මාවත් අඩ ගහගෙන... අප්පච්චිගෙ ගෝලයෙකුත් ඇවිත් හිටියා බයික් එකේ රිම් එකක ඇද ඇරගන්න. කාලෙකින් මුණ ගැහුනු ගුරුතුමයි ගෝලයයි අතරෙ කතාව යනකොට මමත් පැත්තක ඉදගෙන අහගෙන හිටියා.... ගෝලයගෙ නම අමිල. අමිල ඉතින් අප්පච්චි ලගට ඇවිත් කතාව පටන් ගත්තා... සංවාදය පහත ආකාරයට තමයි ඕං යන්නෙ...

ආ සර්.. වෑන් එක හදන්න ආවද?

අමිල කොහොමද? ඔව්... මේ  වෑන් එකේ උඩට පොල් ගෙඩියක් වැටිලා.. ඒකෙ ඇද ඇරගන්න ආවා මේ නිශාන්තට කියලා....

ආ.. මමත් සර් මෙ බයික් එකේ රිම් එක ඇදවෙලා ඒක පොඩ්ඩක් කෙලින් කර ගන්න ආවා... යාලුවෙක් අරන් ගිහින් තාප්පෙක හප්පලා.. මිනිහත් ඉස්පිරිතාලෙ...

අමිල... යාලුවන්ට දෙන්න ඕන දේවලුයි එපා දේවලුයි දෙවර්ගයක් තියෙනවා... මොනවා දුන්නත් කමක් නෑ.. හතරක් තියෙනවා යාලුවන්ට තියා වෙන කාටවත් දෙන්න හොද නැති....

මොනව කරන්නද සර්... ඇවිත් ඉල්ලද්දි බෑ කියන්නත් බෑ.. මොනවද සර් අර හතර?

පලවෙනි එක තමයි අමිල තමන්ගෙ පෑන.. මම කියන්නෙ මේ බෝල්පොයින්ට් පෑන ගැන නෙමෙයි.. අර ඉස්සර තිබ්බ තින්ත පෑන්.. ඒව තමන් ලියන අකාරය අනුව තමයි හැඩ ගැහෙන්නෙ....

ආ... ෆවුන්ටන් පෑන් කියන ඒව නේද සර්...

අන්න ඔව්.. දෙවෙනි එක තමයි තමන්ගෙ පොත්... ඒවා ගත්තොත් වෙන කිසිම කෙනෙක් ගෙනත් දෙන්නෙ නෑ... ඒ නිසා පොතුත් තමන් ලගම තියාගන්න ඕන..

අප්පෝ.. ඔව් සර්... මගෙ පොත් නම් ගෙනිච්ච එකෙක්වත් ආපහු ගෙනත් දීලා නෑ... ඇත්තම තමයි කතාව...

තුන්වෙනි එක අමිල තමන්ගෙ වාහනේ.... ඒවා ටික කලක් යද්දි තමන්ගෙ ඇගට බද්ධ වෙනවනෙ.... දෙන්නෙක් හෝ කිහිප දෙනෙක් පාවිච්චි කරද්දි එහෙම වෙනවා අඩුයි...

ඒකත් ඇත්ත සර්.. ඒත් ඉල්ලද්දි බෑ කියන්නත් බෑනෙ... ඊට පස්සෙ උන් හිතන්නෙ අපි ලොකුකමට දුන්නෙ නෑ කියලනෙ.. මොකක්ද සර් ඉතුරු එක...

අන්තිම එක අමිල තමන්ගෙ ගෑනි... ඒකනම් ඉතින් ඔයාලා කොහොමත් කරන්නෙ නෑනෙ කියල අප්පච්චි පොඩි හිනාවකුත් දැම්මා...


අපෝ..සර් අන්තිම එක තමයි කරන්න අමාරුම එක ඔතනින්... අමිල කිව්වෙ වටෙ පිටේ හිටපු ඔක්කොම හිනා ගස්සවලා...

අප්පච්චිටත් හිනා ගියා... ඒ හිනාවෙන්ම අප්පච්චි ඇහුවා මොකද අමිල එහෙම කියන්නෙ...

ගෑනු අයෙ අමුතුවෙන් දෙන්න දෙයක් නෑනෙ සර්.. උන් අපිට හොරෙන් යනවනෙ.... 

අප්පච්චිගෙනුත් හිනාව එලියට පනින්න ගියෙ බොහොම අවම කාලයක්... ප්‍රධාන බාස් විනාඩි දෙකකට වඩා වැඩ නැවැත්තුවා හිනා වෙන්නම.

Wednesday, October 6, 2010

ආදරණීය කල්ලා සර්ට උපහාර පිණිස................

හා පැටික්කි දාලා තිබ්බනෙ ගුරු දිනය ගැන පෝස්ට් එකක්... ඒකට කමෙන්ට් එකක් දාන එක නවත්තලා මට හිතුනා අපේ ඉස්කෝලෙ හිටපු සොදුරුම ගුරු පියෙක් ගැන ලියන්න... ඒ තමයි අපේ කල්ලා සර්... ගුරුවරයෙක් නෙමෙයි ගුරු දෙවියෙක්... ෆිසික්ස් උගන්නන චන්ද්‍රසේන සර් කියපුහම පරම්පරා 3ක විතර ගෝලයෝ හිටියා... හැමෝම හරිම ආදරෙයි සර්ට.... අපි කොමර්ස් කලත් අපිත් එක්කත් ඒ සුහදතාවය ඒ විදිහටම සර් තියාගත්තා... කොල්ලන්ගෙ හද ගැහෙන රාවය ඒ තරම් වටහා ගත්ත ගුරුතුමෙක්නම් මට හම්බුනේ නෑ මුලු ජීවිත කාලයටම. සර් අපි අතරින් වෙන් වෙලා අවුරුද්දකට කිට්ටුයි.... ඒත් හදවතේ ගැඹුරුම තැනක සර් ඉන්නවා... කලින් කතාවල මම කියපු බූලා සර්ත් අපේ කල්ල සර් ගෙන් ඉගෙන ගෙන තියෙනවා... අද කියන්න යන්නෙ කල්ල සර් ගැන මගේ රසබර මතක සටහන් තුනක්.....


එක්තරා දවසක සර් මේන් හෝල් එක පැත්තට ඇවිදගෙන එනවා.. අපි සර් ගෙන් මෙහෙම ඇහුවා...

සර් බඩගිනියි.. සල්ලි එහෙම නෑ නේද සර් අතේ...

ඈ යකෝ... මම ලග කොහෙන්ද උඹලට දෙන්න සල්ලි...

ඔය තියෙන්නෙ සර්..... 

නෑ..... යකෝ... මම ලග..........

ඔන්න ඉතින් පොට වරද්දගන්න යන්නේ... දෙන්නකො සර් කීයක් හරි....

නෑ යකුනේ.... මෙන්න මෙච්චරයි අතේ තියෙන්නෙ 

කියලා සර් රුපියල් දෙකේ කාසියක් පෙන්නුවා.....

හරි හරි.. සර් ඉන්න අපි බලන්නම්...

කියපු අපේ එවුන් දෙන්නෙක් සර්ගෙ අත් දෙකින් අල්ල ගත්තා... අනිකා පර්ස් එක ගත්තා... අනිත් එකා සාක්කු ටිකට බැස්සා.... තිබ්බ සල්ලි ටිකත් අරන් කැන්ටින් එකට ගියා....

තොපි වගේ උන්ට උගන්නන්න මමත් ඉපදුනානෙ මේ ලොකෙට 

කියපු සර් හිනාවෙවී යන්න ගියා....


මේ කතාව නම් පරම්පරා කීපෙක ඉදන් එන ආදි කාලෙ කතාවක්.... ඒක සර් විශ්‍රාම යනකන්ම භාවිතා වුනා.... චන්ද්‍රසේන සර්ට කල්ලා සර් කියන්න හේතුව මම කලින් කිව්වෙ නෑනෙ... ඒ තමයි සර්ගෙ ඡවි වර්ණය... කලුයි කියන්නෙ පට්ට කලුයි... ඒ නිසා තමයි කොල්ලො කල්ලා සර් කියන්නෙ.... හරි කතාවට බහිමුකො...

සර් ඒ කාලෙ ඉදන්ම ගෙදර පොඩි අතිරේක පන්තියක් පවත්වාගෙන ගියා.. ගොඩාක්ම මේකට සහභාගි වෙන්නෙ අපේ ඉස්කෝලෙම කොල්ලො... හැමදාම ගේට්ටුව ගාවට යන අපේ කොල්ලො හඩ නගා මෙහෙම අහනවා...

බල්ලා කයි ද?

මේකෙ අනිත් පැත්ත තේරෙනවනෙ.... සර් ගේ ඇතුලෙ ඉදන් මෙහෙම උත්තර දෙනවා...

මම නිදි නෑ යකෝ.... මෙහෙ වරෙව්......


සර් අපිට නම කියලා කතා කලේ බොහොම කලාතුරකින්.... යකුනේ.. අඩේ.... වගේම මෙතන කියන්න බැරි වචනත් පාවිච්චි කලා..ඒත් ඒ හැම වචනෙකම ඉතාම ලෙන්ගත් බවක් වගේම ආදරණීය බවක් ගෑවිලා තිබ්බා... ගොඩක් වෙලාවට සර් කොල්ලන්ට මෙහෙම කතා කලා..

ඒයි........ එච්. පී. මෙහෙට වර......

එච් පී කියන එකේ තේරුම අපි ඇහුවමනම් කිව්වෙ හුරතල් පුතා කියන එක කියලයි.... හරි අනිත් කතාවට යමුකො... සර්ට හිටියෙ පුතයි දුවයි.... පුතා අපිට වඩා වැඩිමල් උනාට දුව අපේ වයසෙ.... ඉතින් සර්ගෙන් දුව ගැන අහන්නත් අපි අමතක කලේ නෑ.. ඒ වෙලාවටනම් ඉතින් හොදම පද තමයි..... එක දවසක් අපේ එකෙක් ඇහුවා සර්ගෙන් මෙහෙම....

ඇයි සර් ඔච්චර කලු.............?

තොපේ ගෙවල්වලට වගේ අපේ ගෙවල් වලට සුද්දො පැන්නෙ නෑ යකෝ....

ඔන්න කොල්ලෙක්ගෙන් තව ප්‍රශ්ණයක්....

එතකොට සර්, සර්ගෙ දුව සුදු......?

ඊට පස්සෙ ඉතින් තනිකරම සර්ගෙ කටින් පිටවෙන්නෙ මරු කතා.... ඒත් තරහෙන් නෙමෙයි.... සුපුරුදු සිනා මුසු මුවින්.... 

සර් ගැන තව කතා ඕනෙ නම් මෙතනින් කියවන්න පුළුවන්.... කමෙන්ට් හැටියටහ් ගොඩාක් කතා වැටේවි කියලාත් මට හිතෙනවා...ආදරණීය කල්ල සර් පිළිබද මතකයන් කියා නිම කරන්න බෑ.. සියලු මලියදේවයෝ ඔබතුමාට බෙහෙවින් ආදරය කරනව තවමත්.... ගුරු දිනයේදී අපේ පැතුම...

නිවන් සුව ලැබේවා ගුරුතුමනි.....

කාලයේ කවි කොලය.....

මේ රටේ වසනා අපත් දැන් එකම දේකට කොටුවෙලා..
වගේ හිතෙනවා අනේ මන්දා මගේ වරදක්දෝ කියා....
විපක්ෂය දුර්වලව පවතින නිසාවෙන්දෝවත් සිතා...
ආණ්ඩුව කරනා වැරදි වැඩ ඉබේටම යට හැංගෙනා...


දේශපාලන ප්‍රභල මිනිසා විපක්ෂෙන් සිටි නැගිටලා....
අනේ අද ඇත සිපිරි ගෙදරක පෝලිමේ බත් ටික කකා...
තමන් වපුරපු දේද මන්දා ගත්තෙ ගෙට අස්වනු නෙලා...
ඒත් ජාතික වීරයෙක් ඔහු අපේ හද තුල රජවෙනා....


ජෙප්පො මංගල සමග පිරිවර ඔහුව ඇදලා ගත්තදෝ....
දේශපාලන කියන වැසිකිලි වලට තල්ලුව දුන්නදෝ....
මැතිතුමනි හිර ගෙදර වෙසෙනා මෙය සිතා නුඹ බැලුවදෝ....
නුඹෙන් ගොඩ ගිය එවුන්ගෙන් අද නුඹට ඉන්නේ කවුරුදෝ....


දැයේ විරුවෙක් වෙතට සුපිපෙන නැවුම් රතු මල් ටික හදේ....
ඔබට පුදනා සිතක් තියෙනවා ඒත් පිදුමට නොහැකි වේ....
ශක්‍ර දෙවි වුව මේ දෙයින් පාඩමක් දැන ගත යුතුම වේ...
අප ඇගිල්ලේ තරම නොමදැන ඉදිමුනොත් මේ ටිකම වේ...


කරුනා කේපී පිල්ලෙයාන් වැනි ත්‍රස්තයන් ඇත නිදහසේ....
රටක් දිනු සෙන්පතිදු අද ඇත කූරු ගනිමින් සිපිරි ගේ.....
විපක්ෂෙට තවමත්ම බැරිවිය ගොඩ නගන්නට තම මතේ...
එවැනි උදවිය කුමට දෙස්පාලනේ උදෙසා මේ රටේ.....


අප සොයාගෙන අපම කෑවොත් දිවි ගෙවිය හැක මේ රටේ.....
අවට දේ හොයනට ගියොත් අත්වෙන්නෙ කාටත් සිපිරි ගේ...
උගුරෙ ලේ රහ මතුව එනකන් මොර දුනත් අප හෙට උදේ....
වැටයි නියරයි එකට එක්වී ගොයම කන එක නොවැරදේ....


ප.ලි. හිටපු ජනරාල් වෙනුවෙන් ශෝකයෙනි... මම මහින්ද වූවා නම් මමද කරන්නේ මේ ටිකම විය හැක... ඔබද එසේමය....එසේනම් වරද කාගේද?

Tuesday, October 5, 2010

බූලා සර්ගෙ වීරක්‍රියා.... 02

ඔන්න බූලා සර් ගැන කතා මාලාවේ අංක දෙක හෙවත් අවසාන කතාව තමයි ලියන්න යන්නෙ.... එක කියවපු නැති කට්ටිය මෙතනින් ගිහින් කියවන්න.... ඒ පෝස්ට් එකේදිත් මම කිව්වා සර් හිත හොද මනුස්සයෙක් වගේම වැරැද්ද දැක්කොත් මාරයා නගිනවා කියලත්... ඒත් කොලු වයස ගැන අවබෝධයකුත් තිබුනා... එක්තරා සිදුවීමකදි තමා මට හිතුනෙ සර්ගෙත් පාසැල් කාලේ ගැන සර් ට තවමත් අමතක වෙලා නෑ කියලා.... දැන් කියන්න යන්නෙ ඒ සිද්දිය....

මේකත් ස්පෝට් මීට් කතාවක්... ස්පෝට් මීට් එකට කලින් දවසෙ රෑ අපි අපේ හට් හැදීමෙ නිරත වෙලා ඉන්නවා... සර් මේන් හෝල් එක අයිනෙ ඉදන් පිට්ටනිය දිහා බලාගෙන ඉන්නවා.... මම කොහෙ හරි යන ගමන් සර්ට මාට්ටු උනා... සර් මාත් එක්ක ඉතා සුහදව හෙට වැඩ සටහන ගැන කතා කර කර හිටියා.... ඔන්න එක පාරටම විදුලිය විසන්ධි උනා.... ඔන්න එතකොට තමයි මට තරු පෙනුනෙ... පිට්ටනියෙ අහු මුලු ගානෙ පුංචි පුංචි රතු පාට එලි නිවි නිවි පත්තු වෙනවා... හැමෝටම තේරෙනවනෙ ඉතින් ඒ මොනාද කියලා....


මට දැන් දාඩියත් දාලා.. එතකොටත් මම ශිෂ්‍ය නායකයෙක්... බැරිවෙලාවත් සර් කිව්වොත් එහෙම ගිහින් එක්ක එනවා අරුන් ඔක්කොම කියලා... ඉවරනෙ ඔක්කොම.... ඒත් සර් ගෙ මුවගට හීනි හිනාවක් ආවේ.... පොඩ්ඩක් සද්දෙනුත් හිනා වෙච්ච බූලා සර් මට මෙහෙම කිව්වා..

හහ්.. එදිරිසිංහ...හහ්.. හහ්... අපේ කාලේ වගේමයි අයිසෙ තාමත්......

එහෙම කියපු සර් මාත් එක්කම ප්‍රධාන ශාලාව පැත්තට ඇවිදගෙන ආවා.....


මම, බෝයා, ටශියා සහ තාමා හතර දෙනා එකම පංතියේ හිටපු ශිෂ්‍ය නායකයෝ.. අපෙ ඉස්කෝලෙ ප්‍රධාන ශාලාවෙ තියෙන හුඩ් එක යටට වෙලා අපි ඉන්නවා ලොකු කතාවක... ප්‍රධාන ශාලාවේ උඩ තට්ටුවෙ තියෙන්නෙ විදුහල්පතිතුමාගෙ කාර්යාලය බූලා සර්ගෙ සහ අනිකුත් නියෝජ්‍ය විදුහල්පතිතුමන්ගෙ කාර්යාල.... අපි හතරදෙනා ඉන්න තැනට වගේම උඩ තට්ටුවේ ඉන්න අයටත් ප්‍රධාන ගේට්ටුව හොදින් පේනවා... ඉතින් අපි හතර දෙනා ඔතන ඉන්නකොට අපේම පන්තියේ යාළුවෝ හතර දෙනෙක් ප්‍රධාන ගේටුව ලගට ආවා.. ආපු විදිහෙන්ම අපි දැන ගත්තා මුන් ආවෙ ගේට්ටුවෙන් පනින්න කියලා.. මොනවා උනත් පන්තියෙ කොල්ලොනෙ කියලා අපි අහක බලා ගත්තා... ගේට්ටුව ලොක් කරලා නිසා තාප්පෙන් පැනපු කොල්ලො ටික පාසලෙන් නික්මිලා ගියා.. මෙතන ඉදන් තමයි කතාව....

එක පාරට බූලා සර් උඩ තට්ටුවෙන් එඹිලා අපිට මෙහෙම කිව්වා...

ඕයි.. එනවා පොඩ්ඩක් මෙහාට....

අපි හතර දෙනා දැනගත්තා ටොපිය හම්බ වෙන්න තමයි යන්නෙ කියලා. දැන් අපි හතර දෙනා අපිටම ඇගිල්ල දික් කරගෙන මටද සර් කියලා අහනවා.. සර් කිව්වෙ මෙහෙමයි..

හතර දෙනාම එනව උඩට......

අනේ ඊලග පියවරේ වෙන දේ පැහැදිලියි.... ඒ නිසා අපි හතරදෙනා උඩ තට්ටුවට පියමන් කලා... සර් කතා කරන්නෙ ව්‍යාකරණානුකූලව කියලා මම කලින් කතාවෙ කිව්වනෙ.. සිද්ධිය ගැන අදහස් දක්වපු බූල සර් අපිට බැන්නෙ මෙහෙමයි....

අ.... අයිසෙ බෝයා.. තමුසෙලාගෙ ශිෂ්‍ය නායක පදක්කම් වලින් වැඩක් නෑ ඕයි...

ඇයි සර්...?

ඇයි?.... අයිසෙ.. තමුසෙලා බලාගෙන ඉද්දි ශිෂ්‍යයින් හතර දෙනෙක් පිළිවෙළින් එක දෙක තුන හා හතර යන ආකාරයට තාප්පෙන් පැන ගියා....

අපි හතර දෙනාට හිනා ගියෙ නැත්තෙ බයට... ඒත් නඩුව ඉවර වෙලා ශිෂ්‍ය නායක කාමරේට ආවෙත් හොදටම හිනාවෙවී....

Friday, October 1, 2010

බූලා සර්ගෙ වීරක්‍රියා.... 01

අද කියන්න යන්නෙ අපේ ගුරුතුමෙක් ගැන කතාවක්.... බ්ලොග් ගඩොල් මල්ලිගෙ කොටියා සර් වගේම අපෙත් හිටියා බූලා සර් කෙනෙක්.... සර් ගැන රස කතා ගොඩාක් තියෙනවා. ඒත් නියම ගුරුතුමෙක්.... අපේ ඉස්කෝලෙම ඉගෙන ගෙන අපේ ඉස්කෝලෙම නියෝජ්‍ය විදුහල්පතිතුමා වෙලා ඉන්නෙ... හොදට හොදටම හොදයි... නරකට ඉතින් බඩුම තමයි.... ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ගුරුතුමා වගේම විද්‍යාලයේ විනය පාලක උනෙත් එතුමාමයි... කොච්චර හොද සර් කෙනෙකුට උනත් පිරිමි ඉස්කෝලෙක කාඩ් එකක් නැතුව ඉන්න අමාරු නිසා දෙයියනේ කියලා බූලා සර් කියන ආදරනීය නාමයෙන් තමයි ලමයි සර්ව අදුන්වන්නෙ.... සර්ට තිබ්බා හොද බේස් කටහඩක්... කතා කරනකොට හරිම ගාම්භීරයි... ඕනම කොල්ලෙක් ඒ කට හඩ ඇහුන ගමන් වෙව්ලලා නවතිනවා... ඉතින් මම කියන්න යන්නෙ මේ සර් ගැන රස කතා කිහිපයක්... පළවෙනි කොටස යන්නෙ ක්‍රීඩා උත්සවය හා සබැදි රස කතා කිහිපයක්....


පාසැලේ ක්‍රීඩා උත්සවයට කලින් දින තුනක් පුරා එහි පුහුනුවීම් යනවා.. ඒ වගේ මෙහෙයවීම තනිකරම සිද්ද වෙන්නෙ බූලා සර්ගෙ අතින්.... ඉතින් දවස පුරාම මයික් එක අරගෙන කොල්ලන්ට උපදෙස් දෙන එක තමයි කරන්නෙ.... ඉතින් ඒ සද්දේ සෑහෙන දුරකට ඇහෙනවා.. බේස් වැඩි කටහඩින් නික්මෙන ගාම්භීර කටහඩ ඕනම දෙයක් කන වැකුනු පමනින් ඉටු කරන්න කොල්ලන්ව පොලඹවනවා.. ඒත් ඉතින් සර්ට ඉදලා හිටලා වරදිනවා... ඒ වෙලාවට තමයි කොල්ලන්ට රජ ආතල් එන්නෙ.. මම අද ඒ වගේ සිදුවීම් තුනක් තමයි කියන්න හදන්නෙ.


ඔන්න පළවෙනි ආතල් එක... දවසක් පුහුනුවීම් ඉවර වෙලා සර් ඉදිරි වැඩකටයුතු ගැන ලමයින්ව දැනුවත් කරනවා මෙහෙම අර සුපිරි බේස් කටහඩින්.....


දරුවනේ... ක්‍රීඩා උත්සවයේ පුහුණුවීම් තවදුරටත් ජනවාරි තිහ, තිස් එක සහ තිස් දෙක යන දිනවල පැවැත්වීමට නියමිතයි.......


ඔන්න ඉතින් කොල්ලන්ට හිනා... ඒ එක්කම පැත්තක හිටපු සර් ගෙන දුවගෙන ඇවිත් කනට කරලා මොකක්දෝ කිව්ව... බූලා සර් ටක් ගාලා මෙහෙම කිව්ව... 


සමාවෙන්න... තිස්දෙක නෙවෙයි පෙබරවාරි එක...


ඉතින් මේ සිදුවීම කොල්ලන්ගෙ මුවේ රැව් දෙන්නෙ ඊලග අවුරුද්දෙ ක්‍රීඩා උත්සව පෙරහුරු වෙනකන් විතරයි... මොකද සර් අවුරුද්දෙන් අවුරුද්දට අලුත් ඇඩ් ලබාදෙන නිසා.... මෙන්න ඊලග අවුරුද්දෙ දුන්න ඇඩ් එක....


ක්‍රීඩා උත්සවය ආරම්භ වෙන්නෙ ප්‍රධාන ශිෂ්‍ය නායක, උප ප්‍රධාන ශිෂ්‍ය නායක සහ නිවාසවල නායකයින් සිව්දෙනා මාච් එකේ ගිහින් කොඩි එසවීම මගින්... තූර්ය වාදන කණ්ඩායමේ සංගීතයට තමයි මේ ටික වෙන්නෙ.... ඊට පස්සෙ කොඩි එසවීම කොඩි කනු දෙසට හැරීම වෙන්නෙත් තූර්ය වාදන කණ්ඩායමේ සිග්නල් වලට අනුවයි... ඒ සිග්නල් එක දෙන්නෙ තම්මැට්ටම් ශබ්ධ දෙකකට පසුව එන බේස් ඩ්‍රම් ශබ්දයකින් තමයි... ඒක ලමයි හදුන්වන්නෙ ටක් ටක් බුම්... කියලා


ඉතින් ඔහොම යනකොට අපේ බූලා සර්ට ඕන උනා මේ සිග්නල් එක වෙනස් කරන්න.. මයික් එක අතට ගත්ත බූලා සර් තූර්ය වාදක කණ්ඩායමේ නායකය වෙච්ච උඩේට මෙහෙම කිව්වා....


අයිසේ උඩේ.... ටක් ටක් දෙකට මැද්දෙන් බුම් එක යොදන්න....


කොල්ලනට මේකෙන් වෙන අර්ථයක් ගන්න පොඩි වෙලාවයි ගියෙ..


මොකක්ද කිව්වෙ කියන එකනම් කාටවත් තේරුනේ නෑ මම හිතන්නෙ....


ඔන්න ඊලග කතාව.. මේක උනෙත් ඒ අවුරුද්දෙමයි.... තූර්ය වාදක කණ්ඩායම අචාර පෙලපාලිය සදහා සංගීතය සපයනවා.... ලැබුනත් නෙත් යුග දහසක උරුමේ ගීතය.... මවුගුන ගීතයක් කියලා කවුරුත් දන්නවනේ... බූලා සර්ත් දැනගෙන හිටියා.. මට හිතෙන්නෙ එහෙම දැනගෙන නොසිටියානම් හොදයි කියලා... වෙච්ච සිදුවීමේ හැටියට.... දැන් සර්ට ඕන උනා මේ සංගීතය මදකට නවත්තන්න... මයික් එක ගත්ත සර් මුලු නගරෙටම ඇහෙන්න මෙහෙම උපදෙසක් දුන්නා තූර්ය වදක කණ්ඩායමේ නායකයා වෙච්ච උඩේට...


අ... උඩේ.. ඔය අම්මට ගහන සින්දුව පොඩ්ඩක් නවත්තන්න....


හිතා ගන්න පුලුවන්ද ඔයාලට එතන ඇති උන තත්වේ.... 



Saturday, September 25, 2010

ආපෝ මට නම් ලංකාවට යන්නම බෑ හොට්නෙ අනේ...

දැන් මටත් හොද ප්‍රේක්ශක ජනතාවක් ඉන්නවා... ඔවුනුත් දැන් මට කතා ලියලා එවනවා... අර මම ලියපු ආ.. පුතා මම ඉන්නෙ කොළඹ කියන කතාවෙ ජාත්‍යන්තර පියවර තමයි මේ මගේ රසිකාවිය ලියලා තියෙන්නෙ.. ඒ වගේම වෙන්න පොෂ් අය ගැනත් පොඩි අදහසක් ගන්න පුළුවන්... ඉතින් මේ ලිපිය මට එවපු රසිකාවිය ගැනත් පොඩ්ඩක් කිව්වොත් දැනට අවුරුදු 14කට එහා ඉදන් දන්න අදුනන කෙනෙක් තමයි... මෙයා ගැනත් මම මීට කලින් කතාවක් කියලා තියෙනවද මන්දා...... හිකිස්.... හරි වැඩි වැල් වටාරම් නැතුව එයාගෙ වචනෙන්ම කිව්වොත් මෙන්න මෙහෙමයි කතාව.....



සාමාන්‍යයෙන් අපි අපේ රටේ ඉදල වෙනත් රටකට ගියාම එක පාරටම ස්ථාවර වෙන්න අමාරුයිනෙ. ලොකුම සල්ලි කාරයෙකුට උනත් රුපියල් ඩොලර් වලට හැරෙනෙකොට ටිකක් දැනෙනව. අනිත් එක මෙහෙ ඕනෙම දෙයක් මුලින්ම ගන්න Credit History එක බලනව. ඒ කියන්නෙ 100 ලකුනු ගන්න ඕනෙ. ඒකට මෙහෙ අඩුම ගානෙ මාස 6ක්වත් ඉද ල තියෙන්න ඕනෙ. හොද ගිනුමක් තියෙන්නෙ ඕනෙ. රෑකියවක් තියෙන්න ඕනෙ. ඉතින් එන ගොඩක් අය ඔය ඔක්කොම හදාගෙන එන්නෙ නෑනෙ. ඒ නිසා එන ගොඩක් අය මුලින්ම ඉන්නෙ හවුල් නවාතෑනක. ඒක තමා විදිය. ඉතින් අපිත් ආපු මුල්ම කාලෙ හිටියෙ එහෙම තෑනක. අපිත් මාස 6ක් විතර එහෙම හිටියා. ඉතින් ඒ අපි ගෙදරට ගිය මුල්ම දවස. ඒ ගෙදර පවුල් 3ක් හිටියා. ඔන්න ඉතින් අපි දෙන්නා ගිහිල්ලා අපේ බඩු ටික අස් කරනවා.මොනාද ඉතින් කිලෝ 100ක් නෙ ලංකාවෙන් ගෙනියන්න පුලුවන්. ඉතින් අපි දෙන්නා අපි දෙන්නාගෙ බෑග් අස් කර හිටියෙ. ඔන්න කවුද දොරට තට්ටු කරනවා.මගෙ මහත්තයා ගිහිල්ලා දොර ඇරියා. කාලගොල වගෙ මනුස්සයෙක් එක්ක අගල් 5ක විතර කොට කලිසමක් ඇදගත්තු ගෑනු කෙනෙක් හිටියා.. අපි ඒ දෙන්නට අමර සහ සාමා කියමුකො ඔන්න සංවාදය

අමර : ආ ඔයාල අද නේද ආවෙ? කොහොමද?

අපි : ඔව් අද තමායි ආවෙ වරදක් නෑ. බොහොම ස්තුති බලන්න ආවට

සාමා : අස් කරනවා නේද?

මම : ඔව් තව ටිකක් තියෙනවා

සාමා : හරිම රස්නෙ නේද
(ඒ Summer එක පටන් ගත්තම කාලේ..)

මම : හ්ම්ම්ම් ටිකක් රස්නේ නම් තමා... එත් තින් අපෙ රටත් රස්නෙනෙ. අවුලක් නෑ එච්චරම.

සාමා  : ආපෝ මට නම් ලංකාවට යන්නම බෑ හොට්නෙ අනේ....ඒ මදිවාට දුවිලි.....

මම  : එහෙමද? ඔයාල ඈවිත් ගොඩක් කල්ද? ලංකාවෙ කොහෙද ඔයාල?
ඔන්න එතකොටම අමර පෑනලා උත්තර දුන්නා

අමර : නෑ නෑ අපි ඈවිල්ලා තාම සති 3. මම නම් මයියංගනේ මෙයානම් පදවියෙ...

එත් එක්කම මගෙ මහත්තය මගෙ දිහාත් මම එයා දිහාත් බෑලුවෙ, අපි නොදැනම හෑමදාම පදවිය පෑත්තට හිම වෑටෙනවද දන්නෙ නෑ කියන්න වගේ.. එත් එක්කම සාමායි අමරයි පිච්චිලා යන බෑල්මක් දාගෙන මෙහෙම කීව...

සාමා : අනේ මට පොඩි වෑඩක් අමතක උනා මම පොඩ්ඩක් කාමරෙට යනවා..

දවස් 3 විතර යනකම් මම ඒ ජෝඩුව දක්කෙ නෑ... ඔන්න ඔහොමයි මිනිස්සු මේ රටට පය ගහපු ගමන් වෙනස් වෙන්නෙ


ප. ලි. අපේ පුතාත් මහියංගනේ පැත්තෙ මම හිතන්නෙ.... පුතාත් ඔහොමද කියන්නෙ ආ......

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...