Sunday, October 16, 2011

පුංචි කාලේ අපේ ලොකේ.. ආදරණීය ටයි මාමාට නිවන් සුව ලැබේවා.......

ආදරණීය ජෝ අන්කල්ට ලියුමක් ලියලා වැඩි කලක් යන්නට මත්තෙන්ම ටයි මාමා ගැනත් ලියන්න උනා.... ඒක ඉතින් අපේ අවාසනාවක්... ඒත් පුංචි කාලේ ඉඳන්ම මේ වනතුරුත් අපේ ලෝකයේ රජවරු වෙලා ඉන්න සහ හිටපු කීර්තිධරයින් අපෙන් සමු ගන්නකොට ඒ පිළිබඳව සටහනක් නොතැබීම යම් ගුණමකු ක්‍රියාවක් හැටියට මට හැඟෙනවා.. මීට පෙරත් ප්‍රේමකීර්ති ද අල්විස්, රන්බණ්ඩා සෙනෙවිරත්න වගේ පුදගලයින් පිළිබඳව සටහන් තබපු මට මගේ සමකාලීනයෝ ප්‍රිය කරපු ටයිටස් තොටවත්තයන් පිළිබඳව නම් නොලියම බැහැ.....


මගේ මතක පොතට ටයි මාමා ආවේ හඳයා චිත්‍ර පටයෙන්... කුරුණෑගලිනුත් මඳක් ඈතට වෙන්න හිටපු අපිට බයිස්කෝප් අරුමයක් වෙලා තිබ්බ කාලයක් ඒ... කුරුණෑගල ඉම්පීරියල් සිනමාහලට ලමා චිත්‍රපටියක් වෙච්ච "හඳයා" ඇවිල්ල කියලා ගමේ කඩේ පෝස්ටරයක් ගහලා තිබ්බා... ඉතින් අපේ ලොකු අක්කගේ සහ බන්ඩා මාමාගේ ලොකු පුතා වෙච්ච කාංචනගේ මූලිකත්වයෙන් යුතු කොල්ලො කෙල්ලො හත් දෙනෙක් ගියා "හඳයා" බලන්න... මේක තමයි මම බලපු මුල්ම චිත්‍ර පටය.... ටින් බෙලෙක්ක දුරකථනය අපි හඳා ගත්තෙත් ඔය "හඳයා" චිත්‍රපටිය බලලා.. අසාධාරණයට විරුද්ධව කල්ලි ගැහෙන්න පොඩි ලමයි ටික කණ්ඩායමක් හැදුනෙත් ඔය "හඳයා" බලලා... ඉතින් "හඳයා" අපේ සිතේ තිබ්බ සිනමා සලකුණ අදටත් එහෙමයි... බලලා නැති අය "හඳයා" සිනමා පටය හොයාගෙන බලලා කියන්න අද තියෙන ලමා සිනමාව මොකක්ද කියලා හිතෙන්නෙ නැද්ද කියලා..... (අවාසනාවට මට මෙහි ටොරන්ට් ලින්ක් එකක්වත් යූ ටියුබ් ලින්ක් එකක්වත් හොයා ගන්න බැරි වුනා... බයිස්කෝප් එකේ වාසල මල්ලිත් සෑහෙන්න මහන්සි උනත් හොයාගන්න උනේ නෑ... ස්තූතියි වාසල මහන්සියට.. කා ලඟ හරි තියෙනවා නම් අප්ලෝඩ් කරලා ලින්ක් එක දාන්න කියලා ඉල්ලා සිටිනවා ඉතා ආදරෙන්...)


ටයි මාමා කියනකොටම ඔබේ හිතට ආපු දේ ගැන තමයි මම මේ කථා කරන්න හදන්නේ... අපි පොඩි කාලේ බලපු කාටූන්... ගමේ පොහොසත්ම මුදලාලිගේ ගෙදරට ටීවී පෙට්ටිය ගෙනාපු ගමන් අපේ සෙල්ලම් කාලේ තාවකාලිකව නැවතුනා ඒ ගෙදරට අපිව ඇණයක් වෙනකම්... හරියට පස්වරු 4 වෙද්දි අපි එහෙ.... මතකද ඒ කාලේ කාටූන්.. මේ තියෙන්නේ.... 


දොස්තර හොදහිත




පිස්සු පූසා..




හා හා හරි හාවා..





තව දානවානම් ලින්ක්ස් ගොඩාක් දැම්මැකි... ඒත් මේ ටික ප්‍රමාණවත් වෙයි... ටයිටස් තොටවත්තවයන්ගේ ප්‍රමුඛ තවත් සිංහල කාටූන් සිංදු වැප්ගේ මේ පෝස්ට් එකේ තියෙනවා... මට මතකෙට එන පොඩි චිත්‍ර පටයක් තියෙනවා පුංචි අලි පැටියෙක් ගැන... ජපන් චිත්‍රපටයක්.. එයත් ටයි මාමාගේ අපූරු හඬ කැවීම නිසා සිත් ඇතුලටම කා වැදිච්ච චිත්‍රපටයක්.... නම මතක් කලා. නම මතක් වෙන්නෙම නෑ.... පුංචි ඇත් පැටවා වගේ තමයි මතක.. මතක කෙනෙක් ඉන්නවනම් යටින් සඳහන් කරන්න....


ඉතින් ටයි මාමේ... අපි ඔක්කොටම ඔබ ලබා දුන් වින්දනය වෙනුවෙන් අපි ඔබට සදා ණයගැතියි... ඔබ තරම්ම නැතත් අතුල රන්සිරිලාල් මාමා අපේ පොඩි උන්ට ඒ අත්දැකීම ලබා දෙනවා.... 


ඔබට සුභ ගමනක් වේවා ටයි මාමේ....


ප.ලි. මේ ඇමතීම වැම්පයර්ට.... මචන් උඹට අමතක වෙච්ච සංකලණයක් තියෙනවා... ටයිටස් තොටවත්ත හා ප්‍රේමකීර්ති. මේක නම් මරුම මරු.. පුළුවන්නම් ලියමුද මචන් බ්ලොග් කියවන අපි ගැන හිතලා....

Friday, October 14, 2011

කළින්ම ස්ථිර කරන දහ දෙනෙකුට පමණයි... පස්සේ ආයේ නහයෙන් අඬන්න එපා....

කථාව කියන්න කලින් කියන්න ඕන මගේ කතාබස් වැඩසටහන ගැන... ඊයේ එහෙම නැත්නම් ඔක්තෝබර් 13වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30ට බස් රේඩියෝ තුළින් මගේ සම්මුඛ පරීක්ෂණයක් කලා වැප් මහත්තයා.... ඒක හොඳට ගියා කියලා තමයි අහපු අය කිව්වේ.... හැබැයි මෙයාලා මගේ කටහඬ ඉතා දරුණු විදිහට විකෘති කරලා තිබ්බා.. බුද්ධිගේ සංවාදය සම්භන්ධයෙන් ටිකිරි කියලා තිබ්බනේ බුද්ධිට තියෙන්නේ මහ ටකරන් කටහඬක් කියලා.... ඒත් මට හිතෙන්නේ මේ කතාබස් කාර්ය මණ්ඩලේ මේක හිතාමතාම කරන දෙයක් කියලා.... ඔන්න මම තෝරපු ගීත ටිකයි මගේ කතාබස් වැඩසටහන්යි මෙන්න මෙතනින් ගියොත් අහන්න පුළුවන්...


දැන් යමුකො කතාවට.... මීට දවස් කීපෙකට කලින් අපේ ගයාන් කල්හාර මල්ලි මූණු පොතේ පණිවිඩයක් එව්වා වැදගත් කාරණයක් සම්භන්ධව කතා කරගන්න තියෙනවා කියලා... ඉතින් අද මූණු පොතෙන්ම මේ ගැන කතා කලා.. ඒ කාරණේ නම් එලකිරි වැඩක්.. මොකක්ද දන්නවද? රට වටේ යන යතුරු පැදි සවාරියක්.... සිංහලෙන් කියනවානම් Islandwide Bike Ride එකක්....



ඉතින් මට හිතුනා ඇයි මේක ගයාන් මල්ලි තනියම යන්නේ... අපිත් ගියාම නරකද කියලා.. ඉතින් අපි දෙන්නා තව දුරටත් කතා වුනා අපි නොදන්න තව මෝටර් සයිකල් කිහිපයක් එකතු කරගෙන මේ ගමන යමු කියලා... මෙන්න පහත තියෙනවා විස්තරය...


යෝජිත දින : 2011 ඔක්තෝබර් 26,27,28,29,30


ගමන් මාර්ගය : 


   ඔක්තෝබර් 26 - කොළඹ සිට අනුරාධපුරය හරහා මන්නරම


   ඔක්තෝබර් 27 - මන්නාරම සිට පූනරින් හරහා යාපනය.. අලිමංකඩ හරහා කිලිනොච්චිය...


   ඔක්තෝබර් 28 - වවුනියාව හරහා ත්‍රීකුණාමලය පසුකරමින් මඩකලපුව (මෙහි පොඩි වෙනස්වීමක් විය හැකි ලකුනු තිබේ..) 


   ඔක්තෝබර් 29 - පොතුවිල්, බුත්තල, කතරගම හරහා තංගල්ල


   ඔක්තෝබර් 30 - නැවත කොළඹට...


නවතැන් : කූඩාරම් ගෙන යනු ලැබේ.....


ආහාර  : උදේටත් එක්කම රෑට උයන අතර දවල්ට කොහෙන් හරි මොනවාහරි බඩට දාගනු ලැබේ...


වැය : එක් අයෙකුට ඉන්ධන හා සියල්ල සමඟ රුපියල් 8000කට වඩා නොයන බව පැවසිය යුතු වේ... මේ උපරිම වියදමයි.....  


වැඩි දුර : abeetha0325@gmail.com යන විද්‍යුත් ලිපිනයට ඊයක් එවීමෙන් කතිකා කර ගත හැක.... නම, දුරකථන අංකය දන්වා එවන්න...


ස්ථිර කල යුතු අවසන් දිනය : 2011 ඔක්තෝබර් 20.


ප.ලි. මගේ දැන් බ්ලොග් ගෝලයෝ ඉන්නවනේ... නිකන් කතන්දරට මම වගේ.... ඔන්න දැන් මගේ ගෝලයෝ දෙන්නගේ බ්ලොග් දෙක... මෙන්න මේක ඩිලන්තගේ.. ලස්සන කෙටි කථා බ්ලොග් එකක්... මූ ගැන කථාවක් තියෙනවා ඒක ලියන්න ඕන ඊලඟ ලිපියෙන්... ලස්සන කෙටි කථා බ්ලොග් එකක්... මෙන්න මේක සුමුදුගේ.... අතීත කතා වගේම කවි සිංදුත් ලියවෙයි.... මෙයාගේ ගැන්සිය ගැනත් මම ඉස්සරහට කතා මාලාවක් ලියන්න හිතාගෙන ඉන්නවා..... 


ප.ප.ලි. අර මගේ කතාබස් වැඩසටහනේ එක වෙලාවකදි මම කියනවා අමරසිරි පීරිස් මහත්තයාගේ ඉරිතැළුණු වලා ගීතය මම වෙන් කරන්නේ මැද පෙරදිග වෙසෙන අපේ බ්ලොග් සහෘදයින්ට කියලා.... ඒක පොඩ්ඩක් කාරුණිකව වෙනස් කරලා හිතාගන්න සයුරෙන් එතෙර සිටින සියළුම බ්ලොග් කියවන්නන්ට සහ ලියන්නන්ට කියලා... මව් භාෂාව ලඟ නැතුව ලැතැවෙන ඔබට එම ගීය උපහාරයක් වේවා...

Wednesday, October 12, 2011

පොඩ්ඩ බැරි වුනොත් "හු" කියවෙනවද? ඒක එච්චර හොඳ පුරුද්දක් නෙවේ....

ලියන්න කථා ගොඩාක් හිතාගෙන ඉද්දි අද වෙච්ච අහඹු සිදුවීමක් නිසා මේ කථාව ලියන්න කියලා හිතුවා... ගොඩාක් පිරිමි ලමයින්ට.. එහෙම නැත්නම් පිරිමි පාර්ශ්වයේ අයට මොනවාහරි ක්ශණික සිඳුවීමක් වෙච්ච ගමන් මේ "හු" අකුර කියවෙනවා..... ඉතින් මමත් පිරිමිනේ.. මටත් කියැවෙනවා... ඉතින් මේ සම්භන්ධ කථා දෙකක් තමයි අද කියන්න යන්නේ.... අහ් අමතක වුනා.. පිරිමි අයට විතරක් නෙමෙයි සමහර කාන්තාවන්ටත් මේක කියැවෙනවා මම අහලා තියෙනවා... හරි යමුකෝ කථා වලට...


පළවෙනි කථාව සිසිර ගැන.... සිසිර කියන්නේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ හිටපු හිත හොඳ කාර්යාල කාර්ය සහායකයෙක්.. අවිවාහකයි ඒ කාලේ... අවුරුදු 38ක් විතර වුනා.... තිබ්බ පොඩි වැරදි දෙකයි... එකක් ටිකක් වැඩිපුර බොනවා... අනික ඇඟේ කොහෙටහරි ඇඟිල්ලෙන් ඇන්න ගමන් "හු" පමනක් නෙමේ ඉතිරි ටිකත් කියනවා.... ගොඩාක් වෙලාවට මොහුගේ "හු" එක්ක එන්නේ ක්‍රියා පදයක්.....


ඉතින් දවසක් මොහු අමාත්‍යාංශයේ අතිරේක ලේඛම් තුමාත් එක්ක ඡායා පිටපත් වගයක් ගගහා හිටියා... සිසිරට දකුණු පැත්තෙන් අතිරේක ලේඛම් තුමා හිටගෙන... මොකෙක් හරි පාදඩ පොරක් එතනින් යන ගමන් සිසිරගේ තුනටියට ඇන්නා ඇඟිල්ලෙන් අතිරේක ලේඛම්තුමාට හොරෙන්..... ක්ෂණික කෝපයට පත් සිසිරට උන්හිටි තැන් සහ ලඟ ඉන්නෙ කවුද කියලත් අමතක උනා....


හුxxxx හුxx? කියලා හු අකුරු දෙකක් සම්භන්ධ ක්‍රියා පදේකුයි නාම පදේකුයි එක්කම ප්‍රශ්ණයක් අහන ගමන්ම දකුණු අතින් අතිරේක ලේඛම්තුමාගේ මුහුණ හරහා දැවැන්ත පහරක් එල්ල කලා....


ඊලඟ තත්පරයේ හැමෝටම දකින්න ලැබුනේ අතිරේක ලේඛම්තුමාගෙ කකුල් දෙක අල්ලගෙන සමාව ඉල්ලලා වැද වැටෙන සිසිර...


මොනවා උනත් ඊට විනාඩි පහකින් පස්සේ ඇගිල්ලෙන් ඇන්න එකා හොයනවා දැක්කා ඔෆිස් එක පුරා.... වෙලාවට අහු වුනේ නැහැ....



අපි ඉස්කෝලේ යන කාලේ බැලුවා ජයලත් මනෝරත්නයන්ගේ අන්දරේලා වේදිකා නාට්‍යය.. ඒකෙත් ඉන්නවා ඔහොම "හු" අකුර කියැවෙන ඇමතිවරයෙක්.. ඔහුට "හු" අකුර විතරක් නෙමෙයි.. තව අකුරු කියැවෙනවා.... විහිළුවට වගේ වෙන අන්දරේ ඔහුට කිචි කවන වෙලාවක රාජ සභාව සහ ප්‍රේක්ෂකයෝ මැද්දේ ඔහු කීවේ මෙහෙමයි...


හු.. හු.. හු... හුන්නස්ගිරිය...


ප.. ප.. ප.. පරක්‍රමභාහු...


ඉතින් ඒකෙන් කාටවත් අවුලක් නෑනේ.. ඕක බලපු අපිත් ඕක ඒ කාලේ ඉඳන්ම පුරුදු වුනා.. අදටත් මගේ කටෙන් ඉතාම අහම්බයෙන් මේ "හු" අකුර කිව්වත් "න්නස්ගිරිය" කියන ටිකත් අහම්බෙන් වගේ මගේ කටට එනවා.. ඉතින් ඒ නිසා කාඩ් කුඩු කරගන්නේ නැතුව විහිළුවෙන් ශේප් වෙන්න හැමදාමත් අවස්ථාව උදා වෙනවා.. ඒ පුරුදුවීමේ අග්‍රපලය මම වින්දේ අද.. මෙන්න ඒ කථාව...


මගේ පොඩි දරුවාට අවුරුදු දෙකයි මාසයක් වයසයි... ඔහු ඉන්නේ බහ තෝරන වයසේ.. අපෙන් කියැවෙන හැම වචනයක්ම අල්ලගන්න තමයි මාන බලන්නේ... උදේට ඇවිත් හවසට යන ආන්ටි කෙනෙක් තමයි සතියේ දවස් පහේදි එයාව බලාගන්නේ... අද ඒ ආන්ටි ආවෙත් නෑ.. මටත් කිතුල්ගල යන්න යෙදුනා... බිරිඳට අවශ්‍යම කාරණයක් නිසා කාර්යාලයට යන්න වුනා... ඉතින් මම පොඩි මෑන් එක්ක කිතුල්ගල යන්න හිතාගත්තා..


මම ඉතින් හැම ගමනක්ම යන්නේ ත්‍රිරෝද රථයෙනේ... ඉතින් මේ ගමනෙදිත් පොඩ්ඩාගේ බඩු මුට්ටුයි මගෙ ලට්ට ලොට්ටයි දාගෙන ත්‍රිරෝද රථයේ ගමන පිටත් වුනා... හංවැල්ල පහු කරන කොටම අපිව පහු කරපු ලොරි රතයේ අපි හැප්පෙන්නේ නැතුව බේරුනේ ඉතාම අමාරුවෙන්... කලාතුරකින් මගේ මුවින් පිටවෙන "හු" අකුර එතනදිනම් පිට වුනා... ඒ එක්කම පස්සෙන් "න්නස්ගිරිය" වචන්ත් ඇවිත් ලොකු ගැටළුවක් නැතුවම "හුන්නස්ගිරිය" කියලා වචනය අවසන් වුනා.... ඒ එක්කම ඇහුනේ පොඩ්ඩගේ කටහඬ...


අප්පත්ති....


ඇයි පුතේ...?


අප්පත්ති "හුන්නත්ගිලිය" කිව්වා...


ඔව් පුතේ ඒක ලස්සන කන්දක්නේ නුවර පැත්තේ තියෙන....


හරි නේද? ජයලත් මනෝරත්නයන්ට මල් තියන්න හිතුනේ ඒ වෙලාවේ තමයි....


ත්‍රිරෝද රථයේ මල්ලි ඉන්දිකටනම් හිනාව නවත්තගන්නම සෑහෙන වෙලාවක් ගියා....


ප.ලි. : අද බදාදානේ... හෙට බ්‍රහස්පතින්දා... පසුගිය ලිපියේ කිව්වා වගේම හෙට රාත්‍රී 8.30ට බස් රේඩියො එකේ යන්නේ කතාබස්. අර වැප් නිශාන්ත මහත්තයා බ්ලොග්කාරයෝ ගෙන්නලා ඉන්ටවීව් කරන්නෙ.. ඉතින් හෙට එකට එන්නේ ටිකක් හිනාවෙන්න බ්ලොග් එක ලියන අභීත එදිරිසිංහ කියලා කෙනෙක්... අමතක නොකර එකතු වෙන්න හෙට රාත්‍රී 8.30ට www.buzzradio.lk සමඟ.... 

Monday, October 10, 2011

බ්ලොග් ලියන කියවන හැමෝටම පොඩි ආතල් එකක්... උපරිමට ෆන් ගන්න මෙතනට සෙට් වෙන්න.....

අද ලියන්නේ මගේ 150වෙනි ලිපිය.... මට ඒ ගැන ටිකක් සතුටුයි..... බ්ලොග් එකේ සාරාංශයකුත් මෙහි ලියන ගමන්ම තාමත් හරියටම ඔබ ලඟට ගිහින් නැති අපේ පොඩි ගැජමැටික් වැඩක් ගැන පොඩි ඔත්තුවක් දෙන්නයි යන්නේ... ලිපි 150ක්, අවුරුදු 1යි මාස 5ක්, මේ ලියන මොහොත වෙද්දි හිට් 102915ක්, ෆලෝවර්ස්ලා 344ක්, කමෙන්ට් 3114ක් වගේ ඉතාම සතුටුදායක තත්ත්වෙකට මේ බ්ලොග් එක පත් වෙලා තියෙන එක ගැන මම නිහතමානීව ආඩම්භර වෙනවා.... ඒ වගේමයි මෙච්චර දිරියක් දෙමින් මාත් එක්ක හිටපු ඔබ සැමට මාගේ හිස නමා පිළිගන්වන ආචාරයත් මේ සමඟින් පුද දෙනවා..... 



මාත් එක්ක අලුතින්ම එකතු වුනු අයගේ දැන ගැනීම සඳහා මේවත් මතක් කරන්න ඕන.. මම පුද්ගලිකව හිතන විදිහට මගේ බ්ලොග් එකේ මුල් කාලයේ තමයි රසවත්ම කතා ලියැවුනේ..... බෝඩිං ජීවිතේ ගැන කථා, උපුල් මල්ලිගේ කතා මාලාව වගේ රසබර කතා ටික ඔයාලගෙන් මඟ හැරිලා වගේ.... පුලුවන්නම් වෙලාවක් තියෙන වෙලාවක ගිහින් කියවලා එන්න... ටිකක් හිනා යනවා ඔන්න..... ඒ වගේමයි එද ඉඳන් අද වෙනකන් ලියැවුන ලිපි වලින් මම කැමතිම ලිපිය.... නවම් මචන්, ආයෙ ලියන්න එපා බන් මේ වගේ කතා..... මේ කතාව ටිකක් හිනාවෙන්න නෙමෙයි.... කියන කතාව අදටත් මම කියවන්නේ හරිම ආසාවකින් වගේම පුංචි වේදනාවකින්.. හරි ඉතින් කතා ඉවරයි.. කියන්න ආපු කාරණේට බහිමු.....


මේක ගොඩාක් අය දැනටමත් දන්නවා.... මමත් මීට කලින් මේ ගැන කියලා තියෙනවා... ඒත් ආයෙත් කියන්න යන්නේ.. සල්ලි හොයන්න මිනිස්සු පොරකන කාලේ අපේ බ්ලොග් කරුවො කාරියො අතින් වියදම් කරගෙන කරන බස් රේඩියෝ එක ගැන කියන්න තමයි මම හදන්නේ.... වෙළඳ දැන්වීම් අනංමනං එක්ක කණ රිදෙන එෆ්එම් අහපු ඔයාලට අපේ කොල්ලො කෙල්ලෝ හොද විනෝදයක් දෙනවා... මේ ගැන සම්පූර්ණ විස්තරයක් තමයි පහතින් දැක්වෙන්නේ.... සතියේ දවස් හතේ විශේෂ වැඩසටහන් කීපයක්ම තියෙනවා.... ඒ ඇරුනම සිංදු විතරයි.... මෙන්න විශේෂ වැඩසටහන් ටික....


ඉරිදා රත්‍රී 8.30ට ආදරණීය නිශාන්තය : ගී ඉල්ලීම් වැඩසටහනක් කරන්නේ සිහින තවලම ලියන කාවින්ධ්‍යා නංගියි, මගේ මතක ලියන ප්‍රියන්ත අයියයි...  මේකෙම නැවත විකාශය යනවා සිකුරාදා පස්වරු හයට... විද්‍යුත් ලිපි මගින් මෙන්ම ස්කයිප් හරහාත් ගීත ඉල්ලන්න පුලුවන්.....


සෑම මසකම පළවෙනි සහ තුන්වෙනි සඳුදා රාත්‍රී 8.30ට යනවා බස් රේඩියෝ නාට්ටිය... කරන්නේ සිහින සහ කිඩෝ ඇතුලු පිරිසක්... මේ දවස්වල යන්නේ ශර්ලොක් හෝම්ස් කථා මාලාව...


සෑම මසකම දෙවෙනි සහ හතරවෙනි සඳුදා රාත්‍රී 8.30ට යනවා බස් රේඩියෝ සවාරිය.. ශ්‍රී ලංකාව පුරා තියෙන සංචාරකමය අතින් වටින ස්ථාන ගැන ඔබට කියන එක තමයි මෙහි අරමුණ.. කරන්නේ ටිකක් හිනාවෙන්න ලියන මම සහ ජීවිතය වචනයෙන් ලියන මිලුශ් රන්දිම (සෝරෝ) මෙහි නැවත විකාශය යන්නේ බ්‍රහස්පතින්දා පෙරවරු 10ට.


අඟහරුවාදා රාත්‍රී 8.30ට තියෙන්නේ බස් මැගසින්... යම් දෙයක ප්‍රවීනයෙක් එක්ක අදාල ක්ශේෂ්ත්‍රය ගැන කෙරෙන ඉතා වැදගත් කතා බහක්... කරන්නේ බ්ලොග් රාශියකට හිමිකම් කියන ලසිත බෙනරගම මල්ලි..


බදදා රෑ 8.30ට තියෙන්නේ හිංදි චාට් ශෝ එක...  කරන්නේ දුලාන් මල්ලි.... ඔහු තමයි අර හිංදි සින්දු ගැන තියෙන බ්ලොග් එක ලියන්නේ... මේකත් ඉතා රසවත් වැඩසටහනක්....


බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30ට තමයි බස් රේඩියෝ එකේ ජනප්‍රියම වැඩසටහන තියෙන්නේ.. ඒ තමයි කතාබස්.. බ්ලොග් ලෝකයේ චරිතයක් එක්ක දොඩමලු වෙන මිනිත්තු 90ක්... මේ තියෙන්නෙ මේ සතියෙ එන කෙනා ගැන තියෙන හෝඩුවාව.... කරන්නේ වැප් නිශාන්ත.. මෙයාත් බ්ලොග් කිහිපයක්ම ලියනවනේ....


සිකුරාදා රෑ 8.30ට විකාශය වෙන්නේ අශාන් මල්ලි කරන වර්ල්ඩ් ටුවර් එක.. ලෝකයේ උණුසුම් පුවත් වගේම අලුත්ම ඕපදූප ටිකත් මෙයින් අහන්න පුලුවන්.... එකතුවෙන්න සිකුරාදාටත් බස් රේඩියෝ එකත් එක්ක එන්න...


සෙනසුරාදා රෑ 8.30ට යන්නේ බස් රේඩියෝ චාට් ශෝ එක.. මේක කරන්නේ හශිකා නංගියි අපේ ඉතාලි ඩිලාන් මල්ලියි, ආදරනීය නිශාන්තය වගේම සජීවී වැඩසටහනක්.... මූනු පොතෙන් ඡන්දය දීලා ඔයාලා කැමති ගීතය දිනවන්න පුලුවන්....


මේ හැර අනිත් හැම වෙලාවෙම එක දිඟට සිංදු.... ඔබේ අදහස් හා යෝජනා, චෝදනා වගේ සියළුම දේවල් info@buzzradio.lk කියන විද්‍යුත් ලිපිනයෙන් දන්වන්න පුලුවන්... http://blog.buzzradio.lk/ අඩවියෙන් බස් රේඩියෝ නවතාවයන් ගැන දැනුවත් වෙන්න පුලුවන්.....  


ප.ලි. :  ප. ලි කාරණා දෙකයි.. එකක් තමයි අද රෑ 8.30ට බස් රේඩියෝ වටා එකතු වෙන්න කියන එක...... දෙවෙනි එක තමයි... ඔන්න හත් ඉලව්වේ ලිපි 150ක් ලියලා ඉවරයි....


ප. ප. ලි. මට අමතක වෙච්ච දෙයක් තියෙනවානම් රේඩියො කරන අය පොඩ්ඩක් පහලින් සටහන් කරන්න....

Saturday, October 8, 2011

හෙණ ගහපිය ලංකාවේ දේශපාලනයට.......... තුහ් නොදකින් ලංකාවේ දේශපාලනේ.....



හිතේ තියෙන පුදුම වෛරයකින් මේක ලියන්නේ..... මේ රටෙ දේශපාලනයේදී මිනීමරු ඡන්ද කාලයෙන් අපි සමු ගත්තා යැයි මෑත කාලයේ සිතුවද භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රයන්ගේ මිය යෑමෙන් සහ දුමින්ද සිල්වාගේ සිද්ධියෙන් අපට තාමත් ගම්‍ය වෙන්නේ ලංකාවේ  නොදෝමකින් සම්මත දෙකේ පංතියේ ගූ වැඩ වල මානසිකත්වය දෝංකාර දෙන බවය..............


යකෝ.. අපිට තොපේ දේශපාලන අටමඟලෙන් වැඩක් නැත... හිතේ කහටක් නැතුව ජීවත් වීමට පමණැක් උවමනාය.... මරා ගන්නේ නැතුව ගසා කාපියව්.. අපේ රීරි මාංශයම උරා බීපියව්.. ඒත් අඹ ඇටයක් තරම්වත් වටිනා ජීවිතයක්වත් විනාශ කිරීම නවත්තපියව්...


තුහ් නොදකින් ලංකාවේ දේශපාලනේ..... 



අපි ලංකාවේ දේශපාලනය සම්භන්ධ පොරවල් නොවෙමු.. නමුත් පක්ශ විපක්ශ මිනිස්සුන්ගේ ජීවිතවල අගය දන්නෙමු..... එකෙකුගේ බලය වෙනුවෙන් සටන් වදින මිනිසුනේ.. ඔබ හෙට දිනයේ ඔහුගේ හව් හරනය නොමැතිව මඟට බැසිය යුතු වේ.... ඔබට වැටහේවි.... ඔබ ඇද්දේ පාපියෙකුගේ මල මූත්‍රා රාශියක් බව.... නැවතත් කියන්නේ...


තුහ් නොදකින් ලංකාවේ දේශපාලනේ........



උඹත් මමත් ඔහුත් ඇයත් ලංකා මාතාවගේම පුරවැසියෝය.... අහවල් මල ඉලව්වක් හිංදාද බොලව් වෙඩි තියාගත්තේ..... රටට ඔහුගෙන් වැඩක් නැති වුවත් කුටුම්භයට පියෙක්, ස්වාමි පුරුශයෙක්, සහෝදරයෙක් හෝ වෙන හත් ඉලව්වෙක් නැති වෙන බව තොපිට හිතුනේ නැද්ද බොලව්...  වෙඩි තැබූ ඔබ හිරේ යන විට බලපියව්කෝ උඹ වටේ හිටපු මිනිස්සු උඹත් එක්ක ඉදීද කියලා.. නොදකින් මෝඩ හරක්..... අපිත් ඉපදුනානේ මේ ලංකාවේ තොපිත් එක්ක ජීවත් වෙන්න...


තුහ් නොදකින් ලංකාවේ දේශපාලනේ.... 
ප.ලි.. කලකට පසු හිතේ කැකෑරෙන වෛරයෙන් ලියූවක් මිස කාටවත් කඩේ යෑමක් නොවේ.... මම අදහන දෙයනම් කවුරුන් කෙසේ මිය ගියද ඔහු අපේ එකෙකි.... එයට මහින්දද රනිල්ද කියා වෙනසක් නොමැත...

Thursday, October 6, 2011

හිට් ලක්ෂයක්, අළුත් බ්ලොග් දෙකක්, පුදුම කරුමයක්......

මෙලෝ සම්බන්ධයක් නැති වාක්‍ය ඛණ්ඩ තුනක් තියෙද්දි ඇත්තටම හිතුවා නේද මොකක්ද මේ කියන්න හදන්නේ කියලා.. මේ පොඩි පහේ කතන්දර තුනක් තමයි කියන්න යන්නේ.. ටිකක් හිනා යන්නේ ඉතින් අන්තිම කතාවට තමයි.. වැඩි විස්තර නැතුව බහිමුකො කථාවට....


ටිකක් හිනාවෙන්න බ්ලොග් එක පටන් ගන්න කලින් මම සිංහල බ්ලොග් කියවා කියවා හිටියා.. කතන්දර, මාරයා, දුකා ඒ කාලෙත් රජ පොරවල්.... හිට්ස් ලක්ශ ගනන්.... ෆලෝවර්ස්ලත් ගමකට... බ්ලොග් එක පටන් ගද්දි මම හිට් ගනන් ගත්තෙ නතුවට පස්සේ මටත් හිතුනා ෆලෝවර්ස්ලා 300ක් විතර ඉදලා හිට් එහෙම ලක්ශයක් පැන්නුවොත් මොන වගේ වෙයිද කියලා... ඔන්න දැන් දෙකම වෙලා.. අනේ කිසි වෙනසක් නෑ.. මේ තිබ්බ විදිහටම තියෙන්නේ.. ඒත් හිතට හරිම අපූරු සතුටක් දැනෙනවා මේ වගේ පියවරින් පියවර ඉදිරියට යද්දි.... ඔන ඉතින් හිට්ස් ලක්ශේ කතාව ඉවරයි.. කෝ කට කොනට ලාවට හිනාවක් ගන්න බලන්න කට්ටිය...



අළුත් බ්ලොග් දෙකක් කිව්වට මේක අළුත් බ්ලොග් දෙකක් නෙමෙයි....   මමම ගොඩක් කල් ඉදලා ලියන බ්ලොග් දෙකක්..... සුන්දර ලංකාවේ ඇවිදින ඔයාලට අත්වැලක් වෙන්න මම බ්ලොග්ස් දෙකක් කරනවා කියලා ඔයාලගෙන් බොහෝ දෙනෙක් දන්නවා... නමුත් ඒ බ්ලොග් දෙක ප්‍රමාණවත් තරම් ඔයාලගේ අතරට ගිහින් නෑ කියලා මට හිතුනා.. ඉතින් එහෙනම් ඒ බ්ලොග් දෙකට යන පාර... නරඹමු ශ්‍රී ලංකා එකට මෙතනින් යන්න.... එහිම ඉංග්‍රීසි පරිවර්ථනයට මෙතනින් යන්න..... මීට අමතරව ලංකාවේ සංචාරය කරන්නට අවශ්‍ය උපදෙස් එහි තිබෙන දුරකථන මාර්ග වලින් ඔබට නොමිලයේ ලබා ගන්න පුළුවන්.... ඔන්න එහෙනම් දෙවෙනි කථාවත් ඉවරයි.. එහෙනම් ආයෙත් ගන්න බලන්න කට්ටිය පොඩි හිනාවක් කට කොණට....


මේ තියෙන්නේ ශාන්තගේ වාහනේ...
තුන්වෙනි කතාවත් මගේ රැකියාව සම්භන්ධ එකක්.. හැමෝම දන්නවනේ මම විවිධ සවාරි සංවිධානය කරන එකෙක් කියලා... සිංහලෙන් කිව්වොත් ටුව(ර්) කෝඩිනේටර් කෙනෙක්නේ... ඉතින් ට්‍රිප් යන එක කාට විනෝදයක් වුනත්.. අනේ අම්මපා මටනම් දැන් ඒක මල වදයක් වෙලා තියෙන්නේ.. ඉතින් පුළුවන්තරම් උත්සහ කරන්නේ ගෝලයෝ යවලා වැඩේ ශේප් කර ගන්න.... මේ කියන්න යන්නෙත් ඒ වගේ කථාවක්.. යාල වනයේ බ්ලොක් 2 එකට යන්න තියෙන ගැලපෙනම වාහනේ තමයි ශාන්තගේ ඩිෆෙන්ඩර් එක.. මුළු තිස්ස සහ යාල කලාපයටම වින්ච් එකක් හයි කරපු ෆෝ වීල් රථයකට තියෙන්නෙ එච්චරයි... ඉතින් බ්ලොක් 2 එකේ යන්න හොඳම වාහනේ තමයි ඒක...



පරිසර වේදියෝ, පරිසර හිතකාමියෝ, වනජීවී ඡායාරූප ශිල්පියෝ ඔක්කොම මේකට එන අතරේ කොළඹ ඉදන් ලොකු ෆෝ වීල් වාහන වල වැඩ දාන්නත් කට්ටිය එනවා බ්ලොක් 2 එකට.. මේවාට ඒ මහත්තුරු කියන්නේ මඩ් ෆන් කියලා.. ඉතින් උදව්වට එක්ක යන්නේ ශාන්ත.. ශාන්ත දැන් අවුරුදු 22ක් තිස්සේ මඩ් ෆන් කරනවා.... දවසක් ශාන්ත මාත් එක්ක කතා කර කර ඉන්නවා.. පහත තියෙන්නේ කතාව...


ඉතින් ශාන්ත.. අද මොකද එලියේ....


අභීත මහත්තයෝ දවස් 5ක් ඇතුලේ හිටියේ.. අද තමයි එලියට ආවේ.. ආයේ හෙට බ්ලොක් ටූ...


මොකො ෆොටෝස් ගන්නවද?


මේ දවස්වලනම් අර ෆොටෝස් ගහන මහත්තයෙක් එක්ක හිටියේ.... හෙට එනවා මඩ් ෆන් සෙට් එකක්....


අහ්.. හෙට මඩ් ෆන් යනවද? මරු ආතල් වැඩේ නේද ශාන්ත....


ආතල්.... ආතල් නෙමෙයි මහත්තයෝ.. මේවා කරුම කරුම... සර්විස් ස්ටේශන් එකට යනකොටම කොල්ලො ටික හැංගෙනවා... හැමදාම කරවටක් වතුරෙ.. අඳින්න යට ඇදුමක් නෑ.. මුන්ට පිස්සුද මන් දන්නෙ නෑ මහත්තයෝ... ඇත්තටම මේවානම් මහ කරුම.....

Wednesday, October 5, 2011

ඔබත් බ්ලොග් කියවන අවිවාහක තරුණයෙක්ද අවිවාහක තරුණියක්ද එහෙනම් එන්න කියවන්න.....

මංගල දැන්වීම් වලට දැන් තියෙන්නේ පුදුම ඉල්ලුමක්.... ටිකක් හිනාවෙන්න බ්ලොග් එකෙනුත් අප්‍රමාණ තල්ලුවක්නේ දෙන්නේ මේ වගේ වැඩ වලට..... මතකනේ මේ පෝස්ට් එක.. ඔන්න දෙසැම්බර් කසාදත් බඳිනවලු... මේ පෝස්ට් එක ලියන්න හිතුනේත් ඊයේ ගිය ගූගල් බස් එකක් නිසා... මේකේ රියැදුරු ප්‍රවීන් ඉන්ද්‍රනාම.. ඔහු සමාජයීය වගකීමක් තනියම කරට අරන් තමයි මේ බසය පාරට දැම්මේ... දැන් ඉතින් කියන්න එපා මොනාද මේ කියන්නේ කියලා... දැන් ඉවසිල්ලක් නෑ නේද? මෙන්න මෙහෙම දැන්වීමක් ඊයේ පල වුනා... ඉතින් සැමගේ සුභ සිද්ධිය පතා මම මේක බ්ලොග් එකේ පළකරන්න අවසර ගත්තා ප්‍රවීන්ගෙන්... එහෙනම් කට්ටිය හිතන්න බලන්න මේ මනාල මනාලියෝ කවුද කියලා....


1. [මනාලයෝ] ගම්පහ පදිංචි කොණ්ඩය ඉත්තෑකූරු සේ සැකසූ කඩවහන තරුණයෙකුට මනාලියක් සොයයි... මත්පැනට ගිජුය.. අනන්මනන්(කෙටි ඇසුරකින් පසු දැනුවත් කෙරෙනු ඇත.) උපකරණ ගැන හසල දැනුමක් ඇත.... කුළුදුල් ප්‍රේමයට අවංක නිහතමානී රුවැති යුවතියකට ඇරයුම්.. කේන්ද්‍ර කොපිය සමග විමසන්න චතුෂ තුෂර කුමාර (සොහොයුරා) බාරේ..

2. [මනාලයෝ] මූණ මඳක් සුදුමැලි, වයස 33ක් වන, මත්පැනට මඳක් . ගිජු ෆුල් ස්ට්‍රේට් ගති ඇති, ලක්ෂ දෙක ඉක්මවා වැටුප් ලබන, නිතර විදේශ සංචාරයන්හි නිරත වන, උස අඩි 6 ඉක්මවූ දෙහධාරී මිතුරාට, පාරේ එක්කගෙන යා හැකි මනාලියක් මිතුරු කැල සොයයි..... කුල බේද නොසැලකේ.... වරදට සමාව දෙන අතර ඇයද වරදට සමාව දිය යුතුය (මෙය අනිවාර්ය වේ :D)....


3. [මනාලයෝ] සිංහල බ්ලොග් අවකාශයම භූමිකම්පාවක් සේ සෙලවූ, හැක්පෙටිපොල බලකායේ අතිගරු කැඳවුම්කරුට මනාලියක් සොයනු ලැබේ. ජාති ආගම් කුල මල ලිංග භේද නොසැලකේ. දෙහි මංගල්‍යය පවත්වා ඇත. මනාලිය උදේට හවසට සැතපුමක් පයින් යා යුතුය... නියරේ කෙළින් යා හැකි විය යුතුය.... කලුවරකදී දත් කුට්ටමෙන් හැදිනිය හැකි බුද්ධියක් තිබිය යුතුය..



4. [මනාලයෝ] නිට්ටඹුව වෙසෙන ප්‍රවීන ජ්‍යෝතිෂවේදිවෙකුට නිට්ටඹුව අවටින්ම පුන්චි පහේ කෑල්ලක් සොයයි.. වයස නොපෙනේ යැයි ඔහු සිතයි... තරුණියන් කිහිප දෙනෙකු සමඟ කෙටි ඇසුරකින් වෙන් වී ඇතත් නීතිමය බැඳීමක් නොමැත....අම්බානෙක කෙට්ටු වීම, රෑකදී පේන තරමට පාට තිබීම, දෙන දෙයක් කෑමට හැකි වීම, ඔහු සිටිනා හැටියකට වැටී සිටීමට හැකි වීම, දරුවන් පිලිබඳ සිහින මාලිගා නැති වීම අවශ්‍යයි. වරදට සමාව දෙනු ඇති අතර ඔහුගේ වරදටද සමාව අපේක්ෂා කරයි. වැන්දඹු දික්කසාද සලකා බැලේ. ලිංග බේදය පමණක් සලකයි. ඉක්මනින් අයදුම් කරන්න.

5. [මනාලියෝ] දකුණු ලක රැජින.. රජයේ රැකියාවක් ඇති, කාව්‍යමය සිතක් ඇති, බ්ලොග්කරණයට හිතැති, කොල්ලෙක් තවම නැති මදක් චබී තරුණියට සුදුසු සහකරුවෙක් බ්ලොග් කරුවෝ සොයයි..... අවසන් තීරණය ඇය සතුය.... [පාවා දී අවසන්]

6. [මනාලයෝ] පොලොස් ඇඹුල හදන්න පුලුවන් යුවතියකටයි මේ ඇරයුම.....
සතියකට දෙතුන් වතාවක් උදේට,දවල්ට හා රෑට පොලොස් ඇඹුල් රසට සදා දීමට ඹබටත් හැකිනම් මා සොයන සහකාරිය ඹබ විය හැකිය. රසට පොලොස් හදන්න පුලුවන් නම් කොල්ලෙකු උවද සලකා බලනු ලැබේ.


7. [මනාලයෝ]  අවුරුදු 4ට කලින් විවාහ වී ඇති නිසා ඉවත් කරන ලදී.... සමහර විට කමෙන්ට්වල නැවත පලවේවී...

8. [මනාලයෝ] 86 පසු ඉපදුන.. රුමත්, ගුණවත්, බුද්ධිමත්, උගත් තරුණියකට මෙන්න මහගු අවස්ථාවක් තම ජිවිතය සතුටින් පුරවා ගැනිමට..සුරාවෙ පිරුණු, සුදුවෙන් තොර, සුදු පිරිවටක් මෙන් බුද්ධියෙ කොටසක් වර්ධනය වී නැති නිති පන්සිල් පොය අටසිල් ( පාර්ටිස් වලදි වලංගු නැත) රක්නා රත්‍රන් පුතෙකගෙන් පිරිනැමෙන පහත පැකෙජයන් සදහා ඔබත් දැන්ම අයදුම් කරන්න

පැකෙජ් අංක 1. වරදට සමාවදෙමි - අවමය කොටි 2.5 දැවද්දක් සමග ගොඩින් අක්කර 10 යි මඩින් අක්කර 4 යි

පැකෙජ් අංක 2. සියල්ලොම එක වහලක් යට. - අවමය කොටි 5 ක දැවැද්දක් සමග නිවසක් සමග මාමන්ඩියගෙ බිස්නස් වල නිත්‍ය හිමිකාරත්වය(රත්තරන්, මැනික් සම්බන්ද ව්‍යාපාර සලකනු නොලැබෙ)

පැකෙජ් අංක 3. පැත්තක් නැහැ. - අයදුම්කාරියන්ව සම්මුක පරික්ෂනයක් සදහා යොමු කිරිමෙන් අනතුරුව සලකා බලනු ලැබෙ.

පැකෙජ් අංක 4. මුකුත් නැහැ. - අයදුම් කරන්න. උඩ තුනෙන්ම ආවෙ නැත්තම් ඩෙෆා.. ඉස්සලාම එන අයදුම් පත්‍රය ගැන විසෙස සැලකිල්ලක්.

ඔබගෙ ලිපියෙහි ඉහල වම් කෙලවරෙයි, පැකෙජ් අංකය සදහන් කරන්න..


9. [මනාලියෝ] වයස 22 ක් වන බොදු ඩොක් තරුණියකට ගුණවත් නැනවත් චරිතවත් කියන දේකට එහෙයි කියමින් ජීවිත කාලෙම ඩොක් සමග ජීවත් විය හැකි තරුණයෙකු ඇගේ යහලුවන් විසින් සොයනු ලැබේ . අවසන් තීරණය ඇය සතුයි

10. [මනාලියෝ] නුවර එළීයේ පදිංචි පැහැපත් පිරිපුන් ගුනවත් මට සුදු සහකරුවෙක් මම සොයමි දැවැද්දට බර වාහනයක්, රේල් පීලි ඇඳක් සහ හෙන්ඩුවක්... !!

11. [මනාලයෝ] ඓතිහාසික කන්ද උඩ රට පුරවරයේ දැනට ඉතිරිව ඇති එකම අවිවාහක බස් ජොකියෙකුට රෑමත්.. උගත්.. ලාමක.. අවිහිංෂක.. සුකුමාල..විනීත ළඳක් සොයනු ලැබේ...
බයිසිකල්වල පිටිපස්සේ යැමට හැකියාවක් තිබිය යුතු අතරම..වංගු ගනිද්දි බිය වි කෑනොගැසිය යුතුය. බ්රේක් ගසන විට බෙල්ල මිරිකන අයෙක් නොවිය යුතු අතර එම අවස්ථාවන්හිදී වඩාත් තදින් පිටේ හැපීම අගය කරනු ලැබේ.


12. [මනාලයෝ] ඉතාලියේ වෙසෙන කට්ට කළු යොවුන් කුමරෙකුට මන්ද මානසිකත්වයෙන් පෙලෙන රූමත් තරුනියකගේ අවශ්‍යතාවය දැනී ඇත..... ඔබම ඉල්ලුම් කරන්න... විවාහයෙන් පසු විදේශ ගත වීමට සූදානම් විය යුතුය.... සුදු පැහැයට වඩා කැමතියි.. වෙන අයැදුම්කාරියන් නැත්නම් කාපිරි වුවද සලකා බැලේ... වැඩි කලක් ඉවසිය නොහැකි බව අවධාරනය කරන්නෙමු



13. [මනාලයෝ] ඇඹිලිපිටියේ උපන් කොළඹ වගේ හැසිරෙන යකෙක් වගේ තරුණයෙකට කොළඹ හතෙන් පොෂ් කෙල්ලෙක් සොයයි... අවුරුද්දක වගකීම සහිත ඇන්ඩ්‍රොයිඩයක් හිමිය.... රෑට දැක්කොත් භය නොවිය යුතු අතර මත්පැන් කිසිවක් කටේ නොතියන බව පවසයි..... අයැදුම් කිරීම @#$%$% බාරේ......


විවාහක අයගේ ඒවත් තිබ්බා... ඒවා වැඩක් නැති නිසා අයින් කලා.....



මේ අය කවුද කියලා හිතන ගමන් අයදුම් කරන්න හිතෙනවානම් අයදුම් කරන්න.. ඔබේ දැන්වීමත් මෙහි පලකරන්නේ නම් කමෙන්ට් එකක් හැටියට පල කර යන්න.... මේ වෙලාවෙත් ඒ බස් එකේ සමහර මංගල දැන්වීම් ලියවෙනවා..... පුළුවන් උනොත් යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙනවා...


ප.ලි. මා විසින් ඇතුල් කල යම් යම් සංශෝධනවල වගකීම මා විසින්ම භාරගනු ලැබේ..

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...