Saturday, January 10, 2015

මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ "අපි" පරාද වී තිබේ...

එක දිගටම දේශපාලන සටහන් තැබූ මම මේ පෝස්ට් එකෙන් පසු දේශපාලන සටහන් ලිවීම තාවකාලිකව නැවතිය යුතුය යන මතයේ සිටිමි. මැතිවරණයට කලින් මා විසින් පළකල අනාවැකිය වැරදී ගොස් ඇත. 2015 මැතිවරණයේදී මහින්ද රාජපක්ෂයන් ජනපති කිරීමට අපමණ වෙහෙසක් ගත් බව මගේ සයිබර් යහළුවන් වෙන ඔබ සැවොම දනිති. නමුත් ප්‍රථිපලය වෙනස් විය. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නව ජනාධිපති ලෙස මේ වන විටත් දිවුරුම් දී අවසන්ය. මැතිවරණයට කලින් පෝස්ට් කිහිපයක් දැමූ නිසා අවසන් කිරීමටද පෝස්ට් එකක් දැමිය යුතුයැයි මම අදහස් කලෙමි.

මැතිවරණය සාමකාමීය. එය ගැන ගැටළු නැත. මහින්දටත් "අයියෝ අයිඩින්ටිය අත්‍යවශ්‍ය කලේ" යැයි සිතෙන්නට ඇත. ජනතා මතය ඉදිරිපත්ව ඇත. ඒ මතය පිළිගෙන ඔහු නික්ම ගොස් ඇත. අතීතයේ පරාජය වන බව කල් තියා දැනගෙන පිස්සු කෙළපු නායකයන් අතර මහින්ද මිනිසෙක් ලෙස හැඳින්විය හැක. අපේ කැමැත්ත ඔබ වූ කල, බහුතරයකගේ කැමැත්ත ඔබ නොවූ කල, ඒ කැමැත්තට හිස නමා ඔබ පිටව යාම විශිෂ්ඨ ක්‍රියාවක් ලෙස මම දකින අතර ඒ වෙනුවෙන් පැසසුම් ද පුද කරමි.

පළමු ඡායරූපය
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, ඔබ වෙනුවෙන් වූ සැක සංකා අදටත් මසිත තුල එලෙසමය. රටේ ඒකීය භාවය පිළිබඳව, ඔබගේ සංධානය කෙරෙහි මා සිත තුල දැඩි ගැටළුවක් තිබිණ. වෙන පොරොන්දු ගැන මම සැලකිලිමත් නොවෙමි. මොන පොරොන්දුව ලබා ගැනීමටත් රටක් තිබිය යුතුය. අද දිනයේ ඇතැමුන් හැසිරුණ ආකාරය ( පළමු ඡායරූපය පරිදි) සහ ජනපතිවරණයට ප්‍රථම දවට ගහ ප්‍රදේශයේ ආගමික ස්ථානයකට ගිය ඔබට ඔවුන් ප්‍රීති ඝෝශා නගපු ආකාරය පිළිබඳ මම ඔබේ අවධානය යොමු කරමි. ඒ වගේම එරික් සෝල්හයිම්ගේ ට්විටර් පණිවිඩය ගැන ද ඔබ අවධානය යොමු කරතැයි බලාපොරොත්තු වෙමි. මැතිවරණ ප්‍රථිපල දෙස ගැඹුරින් අධ්‍යයනය කරන ලෙසත්, ඉන්පසු හැඟෙන දේ පිළිබඳව විදහාගත් දෑසින් සිටින ලෙසත් මම ඔබතුමාගෙන් ඉල්ලමි.

පරාජය පරාජයම වන්නේය. ජයග්‍රහනයද එසේය. මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් ප්‍රමුඛ නව රජයට සුභ පතන ගමන්ම ඒ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුන සියළුම දෙනාට සුභ පතමි. 

මම ජාතිවාදියෙක් නොවෙමි. නමුත් ඊයේ ජනපතිවරණයදී ලැබූ ප්‍රතිපල සංසන්දනය කරන විට, එවන් ජාතීවාදී හැඟීමක් හිතේ කොණක සිට එළියට පනින්නට තැත් කරයි.... අමාරුවෙන් නතර කරගෙන පුරුදු පරිදි සිත දමනය කරගෙන සිටිමි.   මේ ශ්‍රී ලංකාද්වීපය තුල අපි එකාවන්ව සිටිය යුතුය. නමුත් එක් කොටසක් ජාතිය ගැන නොසිතා තම මතය සාධාරණව සිතා, තමන්ට කැමති අපේක්ෂකයාට ඡන්දය දී තිබිණ. තව කොටස් දේශපාලන මතවාද සහ තම ජාතීන් අතර ඇති සියළු බේද අමතක කර එක් පටු අරමුණක් වෙනුවෙන් ඡන්දය භාවිතා කර ඇත. එහි ප්‍රතිපලය ලෙස යාපනය දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 179300කින්, වන්නි දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 107040කින් උතුරු පළාත ද, වැඩි ඡන්ද 167791කින් මඩකලපුව දිස්ත්‍රික්කයද, වැඩි ඡන්ද 112333කින් දිගාමඬුල්ල දිස්ත්‍රික්කයද, වැඩි ඡන්ද 88227කින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයගෙන ඇත. ඒ අනුව උතුරු නැගෙනහිර පළාත් දෙකේ වත්මන් ජනපතිවරයාට හිමි ඡන්ද ප්‍රමාණය 654961කි. ඔහුගේ සමස්ත ජයග්‍රහණය වැඩි ඡන්ද 449072 කි. දැන් ඔබ මට ජාතිවාදී ලේබලය අලවන්න උත්සාහ කරාවි. නමුත් මේ ප්‍රායෝගික සත්‍යයට අපි නුදුරු කාලයේදී මුහුණ පෑ යුතුය. රටේ වැඩිම සංවර්ධනයකට හිමිකම් කීවේත්, රටේ වැඩිම නිදහසක් භුක්ති විඳීමට අවස්ථාව ලැබුනේත් මේ පළාත් දෙකටයි. නමුත් මහින්ද හිතූ ලෙස කිසිවක් වෙලා නැත. කලගුන බයිලාව මෙතනට හරි ගියේ නැත. ඔවුන් සටන් වදින්නේ කුමක් අරඹයාද යන්න, මහින්දට, මෛත්‍රීට, පාඨලීට මෙන්ම මාදුළුවාවේ සෝභිත හිමිටද දැන් වැටහිය යුතුය. පාඨලී ප්‍රමුඛ හෙළ උරුමය දැන් ඔවුන්ට ජනතා බලයක් නොමැති බව තේරුම් ගත යුතුය. ජවිපෙද එසේය. ඔවුන් මෙම සන්ධානයේදී නිල ලත් අවලංගු කාසිය හා නිල නොලත් අවලංගු කාසිය බවට පත් වී ඇත. අකුරණ, මැද කොළඹ වැනි ආසනවල තත්ත්වය සොයා බලන්න. මේ ප්‍රතිපල තවත් අවබෝධ කර ගත හැක.

පහසුව සඳහා පහත රූප සටහන ඉදිරිපත් කරමි.


නමුත් මේ තත්ත්වය කතා කරන්නට අකැපය. ඒ රටේ ජාතිවාදය ඇවිස්සීමට තුඩු දෙන නිසාය. 

ජාතිවාදී සලුව ප්‍රයෝජනයට ගෙන, මෙම බෙදුම් වාදී සංකල්පය පහසුවෙන් බැහැර කල හැක. නමුත් අළු යට ගිනි පුපුරු එළියට එන්නේ වටපිටාවම ගිනි තියාගෙන බව ඔබත් මමත් දන්නා කරුණකි. ගහ දන්න අයට කොළ කඩා පෑමෙන් වැඩක් නැත. කොලයත් ගහත් ඔවුන් හොඳට හඳුනති. එනිසාම මේ පිළිබඳව ගැඹුරින් හිතන්නට රජය පෙළඹිය යුතුය. දැන් කොටියන් නැත. ඉන්නේ පූසන් වේ... ඔවුන් ඉවසිල්ලෙන් සිතා මතා වලිගය සොලවා නිහඬව සිට, නිහඬවම තම ගොදුර වෙත කඩා පනී. ගොදුර අත හැරෙන්නේ එහෙමත් වෙලාවක මිස නිතරවම නෙවේ. ඒ ගැන දැන් ඇති.

මෙවර ඡන්දයේදී පාවෙන ඡන්ද හිමි තරුණ කැල මෛත්‍රී ජනපතිතුමා වෙනුවෙන් සෑහෙන කාර්‍ය භාරයක් කලේය. අපේ සමගාමී වයසේ ඉන්න පිරිස බෙදුම්වාදයෙන් දැඩිව බැට කෑහ. ඒ බෙදුම්වාදයෙන් තිරිසන් ලෙස බැට කෑ අවසන් තරුණ පරපුරයි. අප දැන් ජීවිතයේ තුන්වෙනි දශකය පසු කරමින් සිටී. නමුත් දැන් ඉන්න තරුණයින්ට මේ පිළිබඳව අත්දැකීම් හෝ පාඩමක් ලබා නැත. 2009 දී 18 සපිරි තරුණයින් අද වෙන විට වයස 23කි. ඔවුන්ට තිබෙන්නේ ලස්සන අතීතයකි. ඒ වගේම තේරෙන කාලයේ සිට යුද්ධයද ජයග්‍රාහීය. පරාජයන්, විනාශයන් පිළිබඳව කිසිදු ප්‍රායෝගික අත්දැකීමක් නොමැති ලංකාවක් ඔවුන්ට උදා වී තිබිණ. එනිසා ඔවුන්ට වෙනසක් අවශ්‍යය. එය සාධාරණය. නමුත් මම තවමත් සිතන්නේ, ඔවුන් වරද්ද ගත්තා කියාය.  

මහින්දගේ නික්ම යාම ගැනද කට කතා තිබේ. ඇත්ත වන්නට ඇති ඉඩකඩ බොහෝ වැඩිය. මම එය දකින්නේ මෙසේය. මහින්දද පෘතග්ජනයෙකි. බලයට, වස්තුවට, විඳි සැප සම්පත් වලට ඔහුටද ආශාවක් නොතිබෙන්නට නොහැක. බලයෙන් මත්වී රටට අහිතකර තීරණ ගෙන ඔහු ගොඩ නැගූ රට අගාධයට පත් නොකර, ජන මතයට හිස නමා යෑමට ඔහු අදිටන් කර ගත් බව අපි පිළිගත යුතුය. එබැවින් ඔහු ගත් අවසන් තීරණය පිළිබඳව අප හිස නැමිය යුතුය.

මම මේ දක්වන්නේ මගේ මතය පමණකි. එය කඩේ යාමක් ලෙස කාට හෝ හැඳින්වීමට පුළුවනි. නමුත් එසේ සිතන අය පහත පෝස්ටු කියවා තත්ත්වය තේරුම් ගන්නා ලෙස ඉල්ලමි.

ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන මට හිතෙන දේ...

Wednesday, January 7, 2015

2015 මැතිවරණ අනාවැකිය, යහපාලනය ඇති කිරීම සහ පවත්වාගෙන යාම.. මෛත්‍රී වෙත ඡන්දය ප්‍රකාශ කරමුද?

අද දවසේ උණුසුම්ම මාතෘකාව හෙට පැවැත්වෙන ඡන්දයයි... යහපාලනය යන්න මෙම මැතිවරණ වේදිකාවේ ඉහලින්ම කියවෙන වචනයයි. එනිසා අපි යහපාලනය ඇති කිරීම සේම එය පවත්වාගෙන යාම පිළිබඳවත් කථා කරමු. මෙම මාතෘකාව ශ්‍රී ලංකික දේශපාලනය සඳහා කොයි තරම් අදාල වේදැයි අපි මොහොතකට සිතමු.

සේනානායකවරුන්, බණ්ඩාරණායක වරුන් සිටි කාලය මෙන් අද කිසිවකු සමාජ සේවය උදෙසා දේශපාලනයට එන්නේ නැත. දැන් දේශපාලනයේ යෙදෙන පක්ෂ විපක්ෂ සියළු මන්ත්‍රී වරුන්ට එය හුදෙක්ම රැකියාවක් මෙන්ම ව්‍යාපාරයක්ද වේ.. ලක්ෂ ගණන් සල්ලි විසි කර ඡන්දය දිනා කෝටි ගනන් ඉපයීමේ අරමුණ ඔවුන්ගේ සිත් තුල තිබෙන බවට කිසිදි සැකයක් අප සිත් තුල නැත. එම ප්‍රායෝගික සත්‍යයට අප මුවින් විරුද්ධ වුවත් මගේත් ඔබේත් හැමගේත් හදවත් ඒ පිළිබඳව එකඟ වෙනවා ඇත. උදාහරණ බලන්න. මහින්ද පාක්ශිකයින් මහින්දගේ සහ සහෝදරයින්ගේ ඉපයීම් ගැන දනිති.. මෛත්‍රී පාක්ශිකයින් මෛත්‍රීගේ මෙන්ම, සහෝදරයින්ගේ ඉපැයීම් ගැන දනිති.. නමුත් තමන් කැමති අපේක්ෂකයාගේ ඉපැයීම් නොදකිමින් අනෙක් පාර්ශ්වයේ ඉපැයීම් දකිති.

නමුත් "සාපේක්ෂ" නමින් වචනයක් සිංහල භාශාව තුල ඇත. 1979 සිට 2005 වන තෙක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩු නැති ලංකාවක් අපට හිමිව තිබිණ.. 1988 මැතිවරණයේ සාධාරණත්වය කොතෙක්ද යත් ඡන්ද පෙට්ටි 72ක්ම ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට ආවේ එකදු ඡන්ද පත්‍රිකාවක්වත් නොමැතිව හිස් පෙට්ටි ලෙසිනි. 94 දී චන්ද්‍රිකා මැතිණියට රැල්ලක් තිබුණත් මැතිවරණ වංචා මෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියාද බොහෝ විය.. 2002 මැතිවරණ රාජකාරී වල යෙදුණු මම ගෙදර ආවේ දකුණු කණට ඉහලින් ප්ලාස්ටර් එකකුත් දමාගෙනය. ඒ අපේ ඉතිහාසයයි.. අද මෙවැනි ක්‍රියා ඉතිහාසයට "සාපේක්ෂව" අවම මට්ටමක පවතී.. ඉදිරි කාලයේ එය ශූන්‍ය කර ගැනීමට හැකිවෙතැයි නොසිතුවත් මීටත් වඩා අඩු මට්ටමකට ඒවි යැයි බලාපොරොත්තු වෙමි.

බෝම්බ වලින් ගහන ජීවිතය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් අපට තිබිණි.. උදේ ගෙදරින් ගොස් හවස ගෙදර එනතුරු අපේ ජීවිතය පිළිබඳව අප විශ්වාස කලේ නැත. අද එසේ නැත. අපි සාමකාමීව බලාපොරොත්තු පොදි බඳිමි ජීවත් වෙමු. එදාට "සාපේක්ෂව" මෙදා අපි නිදහස සිතුසේ භුක්ති විඳිමි.

එකල මාධ්‍ය කරුවන්ට අත් වූ ඉරණම අපට මතකය. මාධ්‍යවේදීන්ගේ පෑන එසවෙත්ම ඔවුන් උණ්ඩයට බිලිවී තිබිණ. ප්‍රගීත් සහ ලසන්ත හැරුණු කොට වෙනත් මාධ්‍ය ඝාතනයක් පහුගිය අවුරුදු 10 පුරා අපට මතක් නොවෙන ගානය. අන්තර් ජාල මාධ්‍ය ඔස්සේ ඕනෑම අයෙක් ඕනෑම දෙයක් පවසයි.. ඔවුන්ට අත් වෙන මරණයක් නැත. සුදු වෑන් භීතිකාවක් තිබුනද, එහි චාරිකා කරන ල නිවැරදි කරුවෙක් පිළිබඳ මතකයක් නැත... එදාට "සාපේක්ෂව" මාධ්‍ය නිදහස අපි සිත් සේ භුක්ති විඳිමු. 

දේශපාලන රැකවරණ ලබන කොටි ගැනද කිව යුතුය.. අද මේ ආණ්ඩුවෙන් කේපී, කරුනා මෙන්ම පිල්ලෙයාන්ද දේශපාලන රැකවරණ ලබන බව විපක්ෂය පුන පුනා කියති. නමුත් නිල නොවන වශයෙන් කලින් පැවති සියළු ආණ්ඩු වලදී ප්‍රභාකරන් නමැති කොටි නායකයා මෙන්ම ඔවුන්ගේ ප්‍රභල ත්‍රස්ත අනුගාමිකයෝද රැකවරණය ලැබුවායැයි කියන්නට අපේ කට ගොළු වුවත්, හවත දනී.. එදාට "සාපේක්ශව" ආණ්ඩුවේ රැකවරණ ලබන ත්‍රස්තවාදීන් අද අපට නැත.

දූෂණ වංචා ගැන කියති. රට පුරා සැකසූ යටිතල පහසුකම් ගැන කතා නොකර ව්‍යාපෘති දහයක පමණ මහා පරිමාණ වංචා පිළිබඳව විපක්ශය කියති.. ඊට පිළිතුරු දෙන ආන්ඩු පක්ශ නිළධාරීන්ගේ වචන තඹයකට නොසලකා ඔවුන් දිගින් දිගටම වංචා වූවා යැයිද කියති. විවාද වලදීද ආණ්ඩු පක්ශය එම කාර්යයන් සාධරණය කරන්නට උත්සහ ගනිද්දී ඊට ඇහුම් කන් දෙන්නටවත් උත්සහ නොකර ඔවුන් දිගින් දිගටම එම වංචා ගැන කියති. වංචා සිදු වූයේ නැත කියන්නට මම අධම වන්නේ නැත. නමුත් මේ කියන තරම් යකා කළුදැයි මම ඔබෙන් අසමි. 

රජයේ ව්‍යාපෘතිවල ආදායම් මහ ජනතාවට නොලැබෙන බවට විපක්ෂය චෝදනා කරති. ඔවුන් මේ රවටන්නට උත්සහ කරන්නේ අපවය. දිගු කාලීන ආයෝජන වල ප්‍රතිලාභ මහ ජනතාවට ක්ෂණික නූඩ්ල්ස් සේ විනාඩි දෙකකින් ලැබේනම්, ආසියාවේ අශ්චර්යය කරා යන ගමනට අපට මෙතරම් නටන්නට වන්නේ නැත. ඒ යටි තල පහසුකම් නිසාම අද දවසේ ශ්‍රී ලංකාව අයෝජනයට කදිම තෝ තැන්නක් බව අන්තර්ජාතික ප්‍රජාව විශ්වාස කරති. අන්තර්ජාලය භාවිත කරන ඔබට මෙම කරුණු හොයා ගැනීමට වැඩි වෙනසක් දැරීමට සිදු වන්නේ නැත.

බෙදුම් වාදයද, අන්තවාදයද යුධමය වශයෙන් අද දින අප රට තුල නැත. නමුත් මතවාදීමය වශයෙන් ඇත. ජනපතිගේ වචනයට පිටින් නොයන 'බොදු බල සේනාව' අද ජනපති ලඟය. ඒ වචනය පසෙක ලා, මස් රාත්තලම ඉල්ලන අන්තවාදී සියළු දෙනා අද මෛත්‍රී ලඟය. "අපි ලඟ ගිවිසුම් නෑ. නමුත් ජයග්‍රහයෙන් පසුව අප අපේ ඉල්ලෙම් පිළිබඳව පොදු අපේක්ෂක සමඟ සාකච්ඡා කරනවා", දෙමල සන්ධානයේ බළලා මල්ලෙන් එළියට පැන්නේ එසේය.

මීගමුවේ ධීවර උද්ඝෝශණ, රතු පස්වල උද්ඝෝශණ වලදී මහ ජනතාව මිය ගියේය. පාසැල් ගිය සිසුවෙක්ද ගෙදර ආවේ මිනී පෙට්ටියකිනි. නමුත් ඊට එහා අතීතය අපට මතකය. උද්ඝෝෂණයකදී පොලීසිය අවම බලය වෙනුවට හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව, උපරිම බලය පාවිච්චි කල අවස්ථා එමටය. තම ඉල්ලීම් දිනා ගැන්මට ගොස් සමූහ වශයෙන් ඝාතනය වූ කාලයක් තිබිණ. උතුර නැගෙනහිර පෙදෙස්වල ලමුන් පාසැල් ගොස් නැවත ගෙදරට නොපැමිණීම එම දෙමාපියන්ට සාමාන්‍ය දෙයක් වී තිබිණ. ඇඹිලිපිටියේ දරුවන් දස දෙනෙක්ම පාසැල් ගොසින් හොර රහසේම සූරියකන්දේ මිහිදන් වී තිබිණ. ඒ අප තුල තිබෙන මතකයයි.. 2005 වසරට කළින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි පිට ස්ථිර පලකයක් ඉදිව තිබුනේ රැකියා විරහිත උපාධිධාරීන්ට උපවාස කිරීමටය... අද එසේ නැත. එදාට "සාපේක්ෂව" අද දින උපදින අපේ දරුවාගේ හෙට දින සුරක්ෂිතය.

ඒ කාලයට "සාපේක්ෂව" මේ කාලයේ වෙනස මෙයයි. වෙනස ඇති වී ඇත. යහ පාලනයද ඇති වී ඇත. එබැවින් එය නන්නත්තාර කර ගන්නවාද? නැතිනම් එය තව දුරටත් පිළිවෙළක් කර ගන්නවාද? යන්න ඔබ විසින් තීරණය කල යුතුය. මැතිවරණ වේදිකාවේ තිබෙන ප්‍රධාන කරුණු කිහිපය මම කෙටියෙන් දැක්වීමි. මෙහි බේසික් එක නැත්නම් ප්‍රාථමික ස්වරූපය එලෙස යැයි අපි සැවොම දනිමු. නමුත් අපේ ඇසේ තිබෙන පාට කණ්ණාඩි නිසා අපි මේ කතා අපිට ඕන විදිහට වෙනස් කරගෙන සිටිමු. 

මෛත්‍රීපාල මැතිඳුන්ට පැමිණ යහපාලනයක් කියා ඇති කිරීමට දෙයක් නොමැත. ඔහුට ඇත්තේ "යහපාලනය" නමැති නිවසේ පදිංචි වීමය. ඕනනම් ඇටෑච් බාතෲම් සාදා, සිවිලිම් ගසා, වායු සමීකරණ සවි කිරීමට ඔහුට හැකිය. නමුත් දේශපාලන වශයෙන් දිගු කාලයක් අනාත වී සිටි ඇරියස් කාරයින් බොහෝ දෙනෙක් ඔහු වටේ සිටිති.. ඔවුන් මේ ඇරියස් කවර් කරන කල, ඔහුට "යහපාලන" නිවසේ වහලය, මෙන්ම දොර ජනෙල්ද ගලවා තෙමි තෙමි සිටින්නට සිදු වන්නේය.

මා දකින යහපාලනය මෙයයි.. ෆැන්ටසිය අත හැර පොළවට පය තැබිය යුතුය... එවිට මේ සියල්ල තේරුම් යනු ඇත. එසේ වූ කල මෛත්‍රීට ඡන්දය දිය යුතුද යන ගැටළුව ඔබ ඔබෙන්ම අසාවි. රටේ අවිනිශ්චිත  යහපාලනයක් ගැන සිතා මෛත්‍රීට ඡන්දය දී ඔබේ අයිතියේ වටිනාකම අඩු කරගන්නට ඔබ කැමතිදැයි මට ඔබෙන් අසන්නට සිත් වේ. බුද්ධියට මෙන්ම හදවතට ඉඩ දෙන්න... ඔබේ ඡන්දය නිවැරදිව පාවිච්චි කරන්න.

2015 අනාවැකිය.



53% - 56% ත් අතර ප්‍රතිශතයක් ඇතිව ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයා ලෙස තෙවන වරටත් පත් වීමේ වාර්තාව සමඟ මහින්ද රාජපක්ෂයන් නැවතත් ජනාධිපති වනවා ඇත. ඔහුට මඩ ගැසූ, ඔහුට විරුද්ධ අනේක විද හිරිහැර කල අය, 2015 ජනවාරි 9 වෙනිදාටත් කිසිදු හිරිහැරයක් නැතිව එලෙසින්ම සිටිනු ඇත. අන්තර ජාලයේ ෆේක් ප්‍රොෆයිල් රාශියකින් සර්වර් සියල්ල නිදහස් වනු ඇත. ගොසිප් සයිට් බොහොමයක් අප්‍රේල් වනතුරු දිගු නිවාඩුවක් ගත කරනු ඇත.

එහෙනම්, සුභ අනාගතයක් මිත්‍රවරුණි. "වසර හතරක තරම් කාලයක සිට ඇති වූ සැබෑ වෙනස" සමඟ මිස, "පරණ පන්නයේ අළුත් වෙනසක්" සමඟ දින දෙකකින් හමු නොවීමට අදිටන් කර ගනිමු.

Thursday, January 1, 2015

පාඨලී ච්ම්පික රණවක මැතිතුමණි, මේ ඔබේ අවධානය පිණිසයි.......

ගරු මැතිතුමනි, ඔබට ප්‍රිය කරන ඔබේ හිතවතකු වූ මට, මීට දින පහකට පමණ කලින් ඔබව පෙනුණේ ඉතා නිවැරදි කරුණු කථා කරන, මහින්ද රාජපක්ෂයන්ගේ ඔබ කියන විදිහේ පාලනය දුරු කර, යහපත් රටක් මෙන්ම යහපාලනයක් උදෙසා රට කැන්දා ගෙන යාම සඳහා සැබෑ උත්සාහයක් දරන සොඳුරු මිනිසෙකු ලෙසයි. අප මහින්ද රාජපක්ෂ මහතාට පාක්ෂිකව සිටියත් ඔබේ කථා පිළිබඳ දෙතුන් වතාවක් කල්පනා කලෙමු. ඔබේ කථාවල තිබූ නිවැරදි බවත් ඔබේ සහජ කථිකත්වයත් නිසා මහින්ද රාජපක්ෂ මහතා වෙතම ඡන්දය දෙන්නට සිටි අප ද, යම් විචිකිච්ඡාවකට පත් වූ බව අපේ හදවත සාක්ෂි දරනවා ඇති.

ඔබ පරිසර අමාත්‍යාංශය දැරුවේය. දැව සංස්ථාව ලාභ ලැබුවේය. ඔබ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය දැරුවේය. විදුලි බල මණ්ඩලය ලාභ ලැබුවේය. ඔබ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය දැරුවේය. නැනෝ මධ්‍යස්ථානය ඇරඹුවා පමණක් නොව යල් පැන ගිය ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයට 4D ප්‍රක්ශේපණ යන්ත්‍රයක්ද සවිකර ඊට ද නව මුහුණුවරක් දුන්නේය.. ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැවැන්ත මිනිසෙකි. විපක්ෂයේ අනෙක් සියළුම දෙනා අපගේ විවේචනයට ලක් වූ නමුත්, ඔබව විවේචනය කරන්නට අපට සිත් නොදුන්නේ එවන් හානියක් ඔබතුමාට කිරීම, හදවතට එකඟව කරන්නට අපහසු නිසාවෙනි.එබැවින් ගරු මැතිතුමනි, පහත කරුණු ඔබේ අවධානය සඳහා යොමු කරන්නට අදහස් කරන්නේ දේශයට ලැදි අපේ සිත් සතන් යම් අස්වැසිල්ලකට ලක් කිරීමේ අපේක්ෂාවෙනි.

හෙළ උරුමය සහ සරත් ෆොන්සේකා මැතිඳුන් හැර විපක්ෂයේ සිටින අනෙකුත් පාර්ශ්ව හතම යුද්ධය මෙන්ම ජනවාර්ගික ගැටළුව දෙස බැලුවේ කුමන පැත්තද යන්න පිළිබඳව ඔබතුමාට අවබෝධයක් ඇතැයි සිතමි. යුද්ධය ජයග්‍රහණය කිරීමට ප්‍රධාන දායකත්වය දුන් සේනාධිනායක සහ ආරක්ෂක ලේකම් විසිකර දමා, දැන් විපක්ෂය ඔබව හා සරත් ෆොන්සේකා මැතිතුමා පෙන්වමින් යුධ ජයග්‍රහණයේ අයිතිය ඔවුන් වෙත උදුරා ගැනීමට යත්න දරන බව ඔබතුමාට නොවැටහේ යැයි නොසිතමි. හෙළ උරුමය සහ සරත් ෆොන්සේකා නමැති මල් දෙක නොතලා ජාතිවාදී බලවේග රොන් ගනිමින් සිටින බව ඔබතුමාට නොතේරෙනවා නම් එය විස්මයට කරුණක් බව මට සිතේ. කොස් ඇට බාන බළලෙකුගේ තත්ත්වයට ඔබ පත් වනවාට, විපක්ෂයට විරුද්ධ බලවේගයේ සිටින අපද කැමති නැති බව ඔබතුමා වෙත පැවසිය යුතුය.

මෛත්‍රී වේදිකාවේ සිටින ප්‍රධාන කථිකයා ඔබයි. අනෙක් සියළු පාර්ශ්ව අභිබවා දේශහිතෛශී සියළුම ආගම්වල ජනතාව ඔබතුමා කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇත. දැනට තිබෙන සුළු අවස්ථාවෙන් හෝ වාසියක් වී, මෛත්‍රී පාර්ශ්වය ජය ගත හොත් ඔබතුමා දංගෙඩියට නියම වූවකුගේ තත්ත්වයට වැටෙන බව ඔබ පිළිගත යුතුය. උදාහරණයක් ලෙස එක කරුණක් ගෙන හැර දක්වන්නට අවසර පතමි. 2005 වසරේ උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹෙද්දී ඔබ සිටියේ මහින්ද රාජපක්ශයන්ගේ පිළේය. ඔබම කියන පරිදි හෙළ උරුමය මහින්ද රාජපක්ශයන්ට බලකර යුද්ධය කරා තල්ලු කරගෙන ගොස් එය ජයග්‍රාහීව නිමා කලේය. නමුත් දැන් ඔබ පවසන අයුරින් යම් දූශණයක් සිදුවී ඇත්නම් එම කතන්දර වලින් මෙහා පැත්තට මහින්ද රාජපක්ෂයන් තල්ලු කිරීමට නොහැකි විය. එක් පුද්ගලයෙක් යහ මගට ගන්නට නොහැකි වූ ඔබට සහ ඔබේ පක්ෂයට, පුද්ගලයින් 8 දෙනෙකු යහපාලනයක් වෙත තල්ලු කිරීමට ඔබට හැකි වේයැයි ඔබ සිතනවාද? "යහ පාලනය ඔසවා කර උඩ තැබුවහොත් ඔබට එය නිසි තැනට ගෙන ගොස් දෙන්නම්" කියා පැවසිය හැකි නමුත්, එය ඔබේ කර උඩට ඔසවා දීමට කෙනෙක් මේ විපක්ෂය තුල නොමැති බව මම ඔබට පෙන්වා දීම, ඔබට තරම් නොවන බව මගේ හැඟීමයි. එය පිළිබඳව මීට වඩා විමසිල්ලෙන් බලන ලෙස මම ඔබෙන් ගරු කටයුතුව ඉල්ලා සිටිමි.

පසුගිය ජනපතිවරණයේදී ඔබ හැර අන් සියළු අන්තගාමී බලවේග එදත් සිටියේ විපක්ශයේය. එදා ඔබ අතින් දැඩිව විවේචනය වූ පුද්ගලයින් සමන්න එක වේදිකාවකය. අරමුණ යහ පාලනයකි. අගනේය. එදත් තිබුනේ ඔය අරමුණමය. නමුත් ෆොන්සේකා මහතාට එදත් හරහට හිටියේ ඔය අන්තගාමී බලවේගමය. එදා ඔවුන්ව නිර්දය ලෙස විවේචනය කලේත් ඔබමය. අද ඔබ එතැනය. ජ.වි.පෙ. හෙමීට මඟ හැර ගොස් අත පිහදාගෙන තිබේ. ඔබ විමසිල්ලෙන් බැලූකල ඔබට නොපෙනෙනවායැයි නොසිතෙන කරුණක් පිළිබඳව කීමට කැමැත්තෙමි. ඒ එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ මැතිවරණ ක්‍රියාදාමය තාමත් බිම්මට්ටම දක්වාත් ගෙන ගොස් නොමැති බවය. මෙය දකින මා හට පෙනෙනුයේ ඔවුන්ද හෙමිහිට මාරු වී ගොස් ඇති සෙයකි. අවධානයෙන් පසු වන්න. ඔක්කොම කුණු බේරේ වැවට යැයි පැරණි කියමණක් තිබේ.

ආණ්ඩු පක්ශයේ ඉන්නා කල ඔබ අපට දෙමළ සංධානයේ අරමුණු පැහැදිලි කර දුන්නේය. අළුත්ගම සිද්ධියේදී සංහල ජනතාව මෙන්ම අන්තගාමී නොවූ මුස්ලිම් වරුන් වෙනුවෙන් නිවැරදිව පෙනී සිටියේය. හකීමව මෙන්ම බදුර්දීන්වද දැඩිව විවේචනය කලේය. රජයෙන් හකීම් ඉල්ලූ දේ කුමක්ද යන්න ලිඛිතව මාධ්‍ය වෙත නිකුත් වී තිබේ. එම ඉල්ලීම් රජය ප්‍රතික්ශේප කර තිබින. දැන් ඔවුන් මෛත්‍රී සමඟ එක් වූවේ එම අරමුණු හැර දමා යැයි විශ්වාස කරන ලෙසට ඔබතුමා අපට කියන්නේද? දින දෙකකට කලින් දෙමළ සන්ධානයද මාධ්‍ය ප්‍රකාශයක් කරණු ලැබින. උතුරේ දේශපාලන විසඳුමක් මෙන්ම හමුදා කඳවුරු ඉවත් කිරීම ගැන ද ඔවුන් කිසිවක් සාකච්ඡා කර නැතිලු. අවසානයේදී කීවේ " 9 වෙනිදායින් පසු අප ඒ ගැන සාකච්ඡා කරනවා" අන්න එතනදි නම බළලා මල්ලෙන් එළියට පැන්න බව ඔබතුමාට වැටහෙන්නට ඇතැයි සිතමි. මේ කාරණ දෙස බලන විට ලංකා දේශපාලනයේ ප්‍රතාපවත් චරිතයක් වූ ඔබවත් ඔවුන් විසින් රවටා ඇති බවක් පෙනේ. එසේ නැතිනම් ඔබ විසින් හිතා මතා රැවටීමට ලක්ව ඇති බවක් ඔබ දෙස බලා සිටින අපට හැඟේ.

දැන් ඔබට මතක් කර දෙන්නේ ඔබතුමාගේ දැඩි දැඩි අකමැත්තට මෙන්ම දැඩි විවේචනයට ලක්වූ පුද්ගලයෙක් ගැනයි. ඒ වික්‍රමභාහු කරුණාරත්න වේ. ඔහු පිළිබඳ ඔබේ මතය සක් සුදක් සේ පැහැදිලිය. නමුත් අද ඔබ එතැනය.

2005 සිට 2014 තෙක් ඔබ දැඩි විවේචනයට ලක් කල තවත් චරිතයකි. ඒ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණියයි. ඔබ කියූ අයුරින් නම් ඇය "ලංකාව තුල හිටපු දූශිතම නායිකාවයි.අද ඔබ ඇය සමඟ එක වේදිකාවක සිටගෙන සිටියි. ගරු මැතිතුමණි. සිතින් විමසා බලන්න. අද ඔබටද කන්න ඕන වූ විට කබරයා තලගොයා වී ඇති සේය.

ගරු මැතිතුමනි, අද වන විට රායප්පු ජෝෂප් පූජක තුමන්ද ඔබේ පිළ හා එක්ව තිබේ.. ඔබේ පක්ෂයේ අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ අදහස් හා රතන හිමිගේ අදහස් අයිසින් කේක් සහ ලුණු මිරිස් වැනිය. සුළු හෝ අවස්ථාවකින් මෛත්‍රී මැතිතුමා දිනුවහොත්, මංජුල වෙඩිවර්ධනලාද, සුනන්ද දේශප්‍රියලාද නැවත ලංකාවට පැමිණෙනු ඇත. ඔවුන් සමඟද ඔබට සමීප ඇසුරක් පැවැත්වීමට සිදු වනු ඇත. විමසා බලන්න.. ඔබ සිටින්නේ කොහිද කියා...

ගරු මැතිතුමනි, ඔබේ මුව කෙසේ වෙතත් හදවත මේ වනවිට ගොළුවී ඇති බව අපි දනිමු. එනිසා පසුගිය දශකය තුල වීර ශ්‍රේශ්ඨ මෙන්ම පැහැදිලි දර්ශනයක් සහිත වූ ඔබතුමා , තව දුරටත් එසේම සිටීම අප බලාපොරොත්තු වන සත්‍යයකි. හොරු රැල වෙත වැටුණු ගිරා පෝතකයෙක් නොවීමට ඔබටද නොහැකි වන බව අපි දනිමු. මෙම කරුනු ඔබ නොදන්නවා යැයි මම නොසිතමි. නමුත් බැඳගත්ත බෙරේ ගැසිය යුතු බව  ඔබ මෙන්ම අතුරලියේ රතන හිමියන්ගේද විශ්වාසය වී ඇතැයි අප සිතමු.

ලිපියේ අවසානයට ලඟා වී ඇත. ඉහත සියළුම වැල්වටාරම් සත්‍ය බව ඔබ හොඳින්ම දන්නා බව මට විශ්වාසය. එම නිසා ඔබ ප්‍රමාද නොවී විකල්පයක් තෝරාගත යුතු බව මට හැඟේ. ඒ පිළිබඳව වූ මාගේ යෝජනාවන්ද පහතින් එක් කරමි.

01. මෛත්‍රී පාර්ශ්වය වෙනුවෙන් ඡන්දය දෙන්න හදන "ඒකීය රටක්" යන සංකල්පයේ සිටින සියළු ශ්‍රී ලාංකිකයින්ට ඔබ මේ අන්තවාදී ආගමනයන් පිළිබඳව සාධාරන මතයක් ඇති කල යුතුය. ඒ "අපේ මාවතට පැමිණියේ නැත්නම් ඔවුන්ට පැවැත්මක් නැත" යන ප්‍රාථමික කථා වලින් නොව ඔවුන්ගේ අන්තවාදී අදහස් හා මෛත්‍රී රජය ගැටෙන්නේ කෙසේද යන්න මෙන්ම එම අන්තගාමී අදහස් මෛත්‍රී රජය ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ විස්තරාත්මකව පැහැදිලි කල යුතුය.

02. මේ අන්තගාමී බලවේගවල අදහස් ඡන්ද පදනම මත පිහිටා පිළි ගැනීම ඔබට තරම් නොවන බව මගේ හැඟීමයි. ඔබ සහ ඔබේ පක්ෂයේ සෘජු මතයන්ට ඔවුන් අනුකූල නොවේනම්, ඔබ ස්වාධීන විය යුතුය. ඔබ සහ ඔබේ පක්ෂය තරම් සෘජු ක්‍රියා පිළිවෙතක් නැති ජ.වි.පෙ. පවා අද ඔබට කලින්ම එම තීරණය අරගෙන ඇත. මෙම තත්ත්වයේ බරපතල බව කලින්ම දැනගත් ජ. වි.පෙ. ඇඟ බේර ගත්තා පමණක් නොව, තමන් ගත් දේශපාලන තීරණය සම්භන්ධයෙන් අද ඔවුන් ඉතා ප්‍රීතියට පත් වෙනවා ඇත.

03. මම මේ කියන කාරණාව ක්‍රියාත්මක කිරීමට ඔබට අපහසු බව මම දනිමි. නමුත් මම කල්පනා කරන ආකාරයට ඔබටත් ඔබේ පක්ෂයටත්, රටටත් වැඩිම යහපතක් ඇති වන්නේත් මෙම විකල්පය තුලින් බව මම සිතමි. ගරු මැතිතුමනි.. "ආපසු හැරෙන්න...". මේ වෙනකොට කිසිදු අන්තවාදී බලවේගයක් නැති මහින්ද රාජපක්ශ මහතා සහ එක්වන්න. මහින්ද රාජපක්ෂයන්ගේ ජය තහවුරු කර ඔබේ සටන ආණ්ඩුව ඇතුලේ සිට ඔබේ සටන මෙහෙය වන්න. මුළු ශරීරයකින් අල්ලා ආපසු හරවනවාට වඩා කණෙන් අල්ලා පසුපසට හැරවීම පහසු බව ඔබත් දන්නා කරුණකි. එසේනම් අපත් ඔබ සමඟ එක පෙළට සිට ගනට කිසිදු මැලි කමක් නොදක්වමු. කලින් පැවසූ කරුණු දෙකටම වඩා මම මේ විකල්පය ඉතා දැඩිව විශ්වාස කරමි.

ඔබටද අනෙක් බලවේග වලට සේම පුද්ගලික න්‍යාය පත්‍රයක් ඇත්නම් මෙම ලිපියෙන් සඳහන් එක් අකුරක් කෙරේවත් සලකා නොබැලීම කෙරෙහි මගේ කිසිදු අපැහැදීමක් නැත. එදා වගේම රටේ ඉදිරි ගමනය සඳහා ඔබේ කැපවීම, මම සේම ඔබා ආදරය කරන කවුරුත් බලාපොරොත්තුවෙන් සිටින බව ඔබට මතක් කර දෙමි.

ස්තූතියි,
අභීත එදිරිසිංහ.

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...