2009 ට පසු මහවිරු සැමරුම වඩාත් කතා බහට පැමිණියේ මේ වසරේ බව අප පිළිගත යුතුය. ආණ්ඩුව ප්‍රමුඛ යම් යම් පාර්ශ්වයන්ට එය මලගිය ඥාතීන් සැමරීමකි. සමරන පාර්ශ්වයන්ට එය විරුවන් සැමරීමකි. එක් පාර්ලිමේන්‍තු මන්ත්‍රී වරයෙකුට අනුව එය ද්ව්වියන් ඇදහීමක් දක්වා උතුම් කර්තව්‍යයකි. කෙසේ වුවත් රාජ්‍ය ආරක්ෂක ඇමති අද පාර්ලිමේන්තුවේ කී කතාවට අනුව මලගිය ඥාතීන් සිහි කරන අවස්ථා 10ක එල් ටී ටී ඊ සංවිධානය සම්භන්ධ විවිධ සළකුණු ප්‍රදර්ශණය කර ඇත. අප දැක තිබෙන්නේ එම 10 පමණක් බව එයින් හැඟී යාම කණගාටුවට කරුණකි. මන්ද යත් අප දුටු සෑම මලගිය ඥාතීන් සැමරුමකම එල් ටී ටී ඊ සංවිධානයේ නිල වර්ණ වූ කහ සහ රතු කොඩිවැල් දක්නට විය. මල ගිය ඥාතීන් යැයි හැඳින් වූ පුද්ගලයන් බොහොමයකගේ ඡායාරූප තිබුණේ එම සංවිධානයට අයත් නිල ඇදුම් වලිනි. නමුත් ආණ්ඩුව ඔවුන් මල ගිය ඥාතීන් ලෙස සමරා, ඊට අනුබල දෙන්නේ නම්, ඉට්ස් ඕකේ.. නෝ ප්‍රොබ්ලම් කියා නිහඬ වෙනවා විනා, අපට කල හැකි දෙයක් නැත.
මීට කලින් ද එවන්ම ත්‍රස්ත සංවිධාන සැමරීම් මේ භූමියේ තිබී ඇත. නිදහසින් පසු අතීතයේ මතකයට එන පළමු ත්‍රස්ත සැමරුම, වෙනත් කිසිවක් නොව, "සදා සමරමු සොහොයුරෝ" ලෙසින් හැඳින් වූ අප්‍රේල් මාසයට යෙදෙන විරු සැමරුමයි. ශ්‍රී ලංකා රජයකට එරෙහිව පළමුව ආයුධ ගත් ත්‍රස්තවාදී කණ්ඩායම වූයේ ජනතා විමුක්ති පෙරමුණයි. 1971 අප්‍රේල් මස 5 වෙනිදා උදෑසන 5.30 වැල්ලවාය පොලීසියට එල්ල කල ප්‍රහාරයත් සමඟම මෙම ත්‍රස්ත ක්‍රියාවන් ආරම්භ විය. අවසනදී මිය ගිය ත්‍රස්තයන් සැමරීම සඳහා "සදා සමරමු සොහොයුරෝ" වැඩසටහන කල එලි බැස ආ අතර, ඔවුන්ගේ ම්ලේච්ඡ ක්‍රියාවන්ගෙන් මැ රු ම් කෑ උදවිය වෙනුවෙන්, එම නිවෙස්වල අය අදටත් ආගමික වතාවත් පමණක් ඉටු කරමින් සැනසෙති.
ඉන් පසු ත්‍රස්තයින් සැමරීමට කරලියට ආවේ ඉල් මහ විරු සැමරුමයි. ශ්‍රී ලංකා රජයකට එරෙහිව දෙවන වරටත් අවි ආයුධ ගනිමින් රට හෙල්ලෙන භීෂණයන් මාලාවක් සිදු කරන්නට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනු ලැබිණ. ඒ සඳහා සක්‍රීය දායකත්වයන් ලබා දුන් පුද්ගලයන් අද ආණ්ඩුවේ ලොකුම පුටුවල වගකීම් දරමින් සිටී. මෙම ත්‍රස්ත ක්‍රියාදාමයට නායකත්වය ලබා දුන් ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර 1989 නොවැම්බර් මස 13 වෙනිදා ඝා ත ණ ය ට ලක්විණ. අනතුරුව ඉල්මහ විරු සැමරුම ලෙස මෙම දිනය යොදා ගත් අතර, එම ත්‍රස්ත ක්‍රියාවන් වල යෙදී මියගිය ත්‍රස්තයන් සැමරූ දිනය ලෙස සටහන් වන්නේ ඉල් මහ විරු සමරුව නමිනි. එම ත්‍රස්තයන්ගෙන් පීඩා විඳ මිය ගිය ජනතාවගේ පවුල්වල ඥාතීන්, අදටත් සිය නිවෙස්වල ආගමික වතාවත් වල යෙදෙමින් සිය මලගිය ඥාතීන් සිහි කරති. මෙවන් ත්‍රස්තයන් විරුවන් සේ දැක්වීම කෙල පැමිණියේ 2022 මැයි 09 දිනදීය. එදා දවසේ රට පුරා භීෂණවලට නඩු වලට පැටලී ඇති බොහොමයක් දෙනා 2023 පැවැත්වීමට නියමිතව තිබූ, ප්‍රාදේශීය සභා මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් නාම යෝජනා ලබා දී තිබිණි. එදා ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් වූ බල හුවමාරුවක් නොවී, ඒ වගේ ත්‍රස්ත ක්‍රියා හරහා බල හුවමාරුවක් සිදු වී නම්, අද අපට "මැයි මස විරු සමරුව" ලෙස තවත් ත්‍රස්තයන් පිරිසක් සමරන්නට අවස්තාව ලැබෙන්නට ඉඩ තිබිණ. කෙසේ වෙතත් මෙම සියළු ත්‍රස්ත ක්‍රියාවන්, විප්ලව, අ ර ග ල යන ලස්සන වචන වලින් අයිසින් කිරීමට, මෙම ත්‍රස්ත සංවිධාන නායකයින් සමත් වුන බව නොකියාම බැරිය.
තෙවෙනියාට අපි අපේ ප්‍රධාන මාතෘකාවට යමු. ඒ මහ විරු සැමරුමයි. ආණ්ඩුවට අනුව මල ගිය ඥාතීන් සැමරීමයි. නමුත් ඔබ නොදන්නවා ඇති. මේ මලගිය ඥාතීන් සැමරුම මෙවර පවත්වනු ලැබූයේ 35 වෙනි වතාවටයි. මේ වසර 35පුරාම මෙරටදී හෝ විදෙස් රටකදී ඔවුන් මෙය සමරා තිබේ. පළමු මහ විරු සැමරුම පැවැත් වූ බව සඳහන් වන්නේ 1989 නොවැම්බර් මස 27 වන දින මුලතිව් කැලෑවේ තිත්තකෙයිකුලම ප්‍රදේශයේ බවයි. ඔවුන් සැමරුවේ, ආරක්ෂක හමුදා අතින් 1982 නොවැම්බර් 27 දින මිය ගිය පළමු එල් ටී ටී ඊ නිල සාමාජිකයා ලෙස දැක්වෙන ලුතිනන් ශංකර් නැමැත්තාගේ මිය යෑමයි. ඊට පෙර දිනය දා එනම් නොවැම්බර් 26 දිනය එල් ටී ටී ඊ නායක, වේ ලු පි ල්ලේ පිරබාහරන්ගේ උපන් දිනය යෙදී තිබීමද විශේෂත්වයක්. වසර තිහක යුධ සමයක් තුල 60,000කට ආසන්න ජීවිත ප්‍රමාණයක් විනාශ විය. එම විනාශය කල ත්‍රස්තයන්, අද විරුවන් සේ සමරන අතර, ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියාවලින් මිය ගිය අහිංසකයින්ගේ ඥාතීන් සිය මලගිය ඥාතීන්ව සැමරීම උදෙසා නිවෙස්වල ආගමික වතාවත් සිදු කරමින් සිටී. එම ත්‍රස්තයන් විරුවන් සේ සැමරීම, වත්මන් රජය, මලගිය ඥාතීන් සැමරීමක් සේ සැලකීම කෙතරම් අගනේදැයි ඔබ තීරණය කරන්න.
ඉහත තුනෙන්ම සමරන්නේ විරුවන් නොවේය. දේශීය හෝ විදේශීය කාගේ හෝ දේශපාලන බලවේගයකට රැවටී, තම තරුණ ජවය සහ හැකියාවන් සිය දේශයේ හානිකරත්වයට උර දුන් අමුම අමු ගොබ්බයන් රැලක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
සිව්වැන්න, 2019 අප්‍රේල් 21 සිදු වූ පාස්කු ප්‍රහාරයයි. ම රා ගෙ න මැ රෙ න ත්‍රස්ත ප්‍රහාරයන් හමුවේ භීෂණය රජවිය. ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගිය සැබෑ වින්දිතයන් අප සමරන්නේ අප්‍රේල් 21 දින පමණි. ඉදිරි වසර පහ තුලදී, මලගිය ඥාතීන් සැමරීමක් ලෙස අර්ථකතනය කරමින්, ස හ රා න් ප්‍රමුඛ ත්‍රස්ත කල්ලිය සැමරීමක් සිදුවුවහොත් අප පුදුම විය නැත්තේ, මම ඉහතින් සඳහන් කර ඇති සියළුම කාරණා නිසාය.
ම්ලේච්ඡත්වය විසින් උත්කර්ශයට නඟන්නේ ම්ලේච්ඡත්වයම පමණි. ම්ලේච්ඡත්වය විසින්, රටක අනන්‍යතාවයක්, ජාතිකවාදයක්, සහ මව්බිමක සැබෑ විරුවන් උත්කර්ෂයට නැංවීමක් අපට කිසිදා බලාපොරොත්තු විය නොහැක. බලය රඳා පවත්වා ගැනීමටත්, බලයෙන් විතැන් වීමටත් පමණක් නොව, ජීවත් වීමට පවා අපට රටක් තිබිය යුතුය. අසමත් පාලකයන්ට රට කෑලි කෑලි වලට බෙදා වෙන් කර, පාලනය කිරීම ඉතා පහසු කාරණයක් බව අතීතයේ බොහෝ පාඩම් අපට උගන්වා තිබේ. අපට තිබෙන්නේ බලා සිටීම පමණි.
තමන් ගැසූ කතිරය, ජයග්‍රහණය කල පසු එම ජයග්‍රහණයෙන් උදම් වී සිටින බහුතර සමාජයකට මෙම ලියැවිල්ල හුදෙක්ම විහිළු සහගත වන බව මම දනිමි. නමුත් කිසියම්ම දවසක, සතුරන් විරුවන් වී විරුවන් රටේ පරම හතුරන් බවට පත්වූයේ කෙසේදැයි සොයා බලන්නෙකුගේ අවධානය පිණිස පමණක් මෙම ලිපිය ලියා තබමි.
No comments:
Post a Comment