Friday, August 31, 2012

වටේ යන්න කැමති අය ඇවිත් කියවන්න... අවසන් කොටස සහ ලස්සන අලුත් බ්ලොග්

මන්නාරම් කතාවේ අවසාන කොටස අරන් එන අතරේ ලස්සන අළුත් බ්ලොග් එකක් ගැනත් කට්ටිය දැනුවත් කරන්නයි හදන්නේ.. ඒ වගේම පරණ යාළුවෙක් අළුතෙන් ඇවිත් ඉන්නවා...ඉස්සෙල්ලා මන්නාරම් ගමන අවසන් කරලා ඒ විස්තර ටික කථා කරමු..

ගමනේ අවසන් දවස... අද දවසේ අපි බලන්න හිතාගෙන යන්නේ පහත සඳහන් තැන්...

1. තිරුකේතීශ්වරන් කෝවිල
2. බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන
3. මඩු පල්ලිය
4. මඩු ගල් පාලම
5. මඩු එල්ලෙන පාලම
6. මන්නාරම් කොටුව

පිළිවෙලට කථා කරමු.. අදත් සුපුරුදු පරිදිම ගියේ ත්‍රිරෝද රථයේ නිසා අපි කෙළින්ම සංචාරක ස්ථාන වලට යමු..

තිරුකෝදීශ්වරන් කෝවිල 

ඊශ්වර දෙවියන් සඳහා වූ කෝවිල් කිහිපයක් ලංකාවේ සිව්දිග් භාගයේ පිහිටා ඇත.. හලාවත මුන්නේශ්වරම්, ත්‍රීකුණාමලයේ කෝනේශ්වරම්, හා මන්නාරම තිරුකේදීශ්වරම් කෝවිල් මේ අතර ප්‍රධානව වේ.. ඉන්දියාවේ රාමේශ්වරම් කෝවිලද ඒ හා බැදී පවතී.. අප නරඹන මන්නාරමේ, ඒ-32 මාර්ගයේ පිහිටා තිබෙන තිරුකේදීශ්වරම් කෝවිල රාම රජුගේ මාමන්ඩියකු වන මායන් විසින් ඉදි කල බවට විශ්වාසයක් ඇත.. ස්නානය සඳහා මෙන්ම සියළු පහසුකම් සමඟ සකසා ඇති මෙම කෝවිලේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ..











2. බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන

තිස් වසරක ශාපලත් යුද්ධයේ අමිහිරිතම අත්දැකීමක් වූ බිම් බෝම්ම ගොඩ දැමීමේ කාර්යයේ තවමත් කට්ටිය නියැලෙනවා... විදේශ ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරෙන මෙම ක්‍රියාවලියේ සියළු කටයුතු ඉතාම හොඳ  අධීක්ෂණයකින් කෙරෙනවා අපි දුටුවා.. ජීවිත කාලයේ අපිට අඳින්න ලැබෙන ඇඳුම් විවිධයි.. සමහර ඒවා දුර්ලභයි.. මේ එවැනි ඇඳුමක් ඇඟලාගත්ත අවස්ථාවක් තමයි...









මඩු පල්ලිය


මරිය දේව මතා පිළිරුව තැන්පත් කල ඇති මෙම මඩු පල්ලියේ ඉතිහාසය පෘතුගීසි කාලය දක්වා දිව යනවා.. රුදුරු එල්ටී ටී ඊ ග්‍රහණයට නතුව තිබී 2008 අප්‍රේල් 25 වනදා මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුතු වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ 57 වන සේනාංකය විසින් මඩු පල්ලිය මුදවා ගනු ලැබුවා.. දැන් එය නිතරම වන්දනා කරුවන්ගෙන් පිරී පවතින ස්ථානයක්... මගේ ගමන් සගයා වූ අමිල කිතුණු බැතිමතෙක් නිසාම ඔහුටනම් මේ ගමන ඉතාම වැදගත් එකක් වුනා.. මේ තියෙන්නේ පින්තූර....








4. මඩු ගල් පාලම

සංචාරකයින් අතර එතරම් ප්‍රසිද්ධ නැති මෙම පාලමේ, ඡායාරූප තමයි මේ තියෙන්නේ.. මෙහි ඉතිහාසය කීමට කිසිවෙක් අපිට සොයා ගන්නට ලැබුනේ නෑ.. දන්න කෙනෙක් සිටීනම් යටින් කමෙන්ට් කරයි කියලා හිතෙනවා.. මේ තියෙන්නේ ඡායාරූප...








5. මඩු එල්ලෙන පාලම

මෙහිත් විස්තර කියන්න ඒ පිළිබඳව දන්න කෙනෙක් සොයා ගැනීම අපහසු වුනා.. මන්නාරම බලන්න යනවානම් යා යුතුම තැනක්.. එතරම්ම එය ලස්සනයි... මෙන්න ඡායාරූප..







6. මන්නාරම් කොටුව

1505 පෘතුගීසින් විසින් සාදන ලද මේ මන්නාරම් කොටුවේ අද ඇත්තේ කොටු බැම්ම පමණි.. කලපුවට මුහුන ලා ඇති කොටු බැම්ම තමයි මේ...




මේ තවත් ඡායාරූප... 





මාගේ ඊලඟ සිහිනය... ඒ 32 පුත්තලමේ සිට යාපනය බලා..
මම කලින් කිව්වනේ අළුත් බ්ලොග් එකක් හදුන්වලා දෙනවා කියලා.. ඒ තමයි ගැඹුර සරලව හා සුගමව කියන බ්ලොග් එක.. ලස්සන කථාවක් එහෙමත් යනවා... ඒ වගේම වයිට් කණ්ණාඩි කියන පරන හිතවතියකුත් මේ දවස්වල උසස්පෙළ ඉවර වෙලා කල එලි බැහැලා ඉන්නවා.. බ්ලොග් ලෝකේ සමාන්‍ය තියරියක් අනුව ඉදිරියේදී මේ බ්ලොග් එකේ හිට් වැඩි වෙන එක ගැන නම් ආයේ අහන්න දෙයක් නෑ.. ඔය දාල තියෙන පාරවල් දිගේ ගිහින් බලන්න එහෙනම්...

ප.ලි. දේශාටන ඉවරයි.. මම කියපු ජීවිතයේ අඳුරු පැත්ත අරන් මම එනවා ලබන සතිය දිහාවට.. අමාරුවෙන් මේ මාසේ පෝස්ට් 4ක් ලියා ගත්තා...

Monday, August 27, 2012

අද කාටද නෙළුවේ කියලා බලන්න මගේ බ්ලොග් එකට ගොඩ වෙන ඔබට....

මේ දවස්වල අළුත් ව්‍යාපාර කටයුතු නිසා ඉතාම කාර්ය බහුල වෙලා ඉන්නේ... ඒ නිසා මේ මාසෙටම ලියන්න වුනේ පෝස්ට් දෙකයි.. මේ තුන්වෙනි එක.. බ්ලොග් යාලුවෝ දෙන කෝල් වලින් වගේම චැට් මැසේජ් වලින් ඊ මේල් වලින් කියවුනේ මම ලඟදිම පහර එල්ල කරන්නේ කාටද කියලා බලාගෙන ඉන්නේ කියලා... අනේ මම බයයි ඕවට... හිනාවෙන්න ආපු මගේ බ්ලොගේට දැන් එන්නේ කාට හරි නෙලනවා බලන්න වගේ..... ඉතින් එයාලා වෙනුවෙනුත් මොකුත් නොලියා ඉන්න එක හරි නැති නිසා මම ඔවුන් වෙනුවෙනුත් යමක් අකුරු කරන්න හිතුවා.. මෙන්න ඒ වෙනුවෙන් ලිපියක්.. මේ ලිපියෙන් මම නෙලන්නේ කාටද? කාටවත් නෙලන්නේ නෑ..ඒත් නෙලන්නෙ කාටද කියලා බලන අයටයි, අනිත් අයටයි ඔක්කොටම මෙන්න එහෙනම් "වටේ යන්න - 3". ඒ කියන්නේ මන්නාරම් සංචාරයේ තුන්වන කොටස.. නොකියවපු අය ඉන්නවානම් මෙන්න මෙතනින් යන්න. පළවෙනි කොටස මෙතනින්.. දෙවැනි කොටස මෙතැනින්....


අපි අවසන් කලේ ලුණු ලේවාය නරඹලා කූල් බියර් දෙකකුත් අරන් නවාතැනට ගිය හැටි නේ... මොන කාරණාවක් නිසාද මන්දා අපි දෙන්නටම කිසිම බඩගින්නක් දැනුනේ නෑ... ඒක නිසාම පොඩි බයිට් එකකුත් එක්ක බියර් දෙක පානය කරලා සුදර්ශන්ට ඇමතුවේ හවස් ගමනට සුදානම් වෙමින්.. හවස් වරුවේ අපි හිතාගෙන හිටියේ මඩු පල්ලි ගොස් ඇවිත් ඉර බහින වෙලාව බලලා ආදම්ගේ වැලි පර බලන්න යන්නයි... ඉන්පසුව රෑ බෝ වී මන්නාරම් කාලි අම්මාන් කෝවිලේ ගිණි පෑගීමේ උත්සවය බලන්න යන්නත් අදහස් කලා.. නමුත් වැඩි විස්තර සඳහා මන්නාරම නාවික හමුදාවේ ලුතිනන් කොමදෝරු දයානන්ද මහතාට ලබාදුන් දුරකථන ඇමතුමේදී එතුමා පැවසුවේ වැලි පර බලනට යන අවසන් බෝට්ටු ගමන හවස 3.30ට පිටත් වන බවයි... මඩු ගමන පසුවදාට කල්තැබූ අපි වහාම ආදම්ගේ පාලම බලන්නට පිටත් වුනා....

හරියටම තලෙයි මන්නාරම් ජැටියට යද්දි වෙලාව 3.20යි.. කලින් ඇමතුමක් ලබා දී තිබූ නිසා සියළු කටයුතු පහසු වුනා... ලංකාවේ සිට ඉංදියාව දක්වා යන මෙම පාලමේ දෙවෙනි වැලි පරය තෙක් අපිට ගමන් කරන්න පුළුවන්... සම්පූර්ණ ගමන කිලෝමීටර් 20ක්.. මුහුදට බැසීම ටිකක් අනතුරුදායකයි මඩු මාළුවන්ගේ ගැවසීම නිසා... මේ තියෙන්නේ එහි ඡායාරූප...
ගමනට සූදානම්ව...

වතුර පාර ඇඟට වදින නිසා දුරකතන පාවිච්චිය එතරම් ගුණදායක නෑ..

බෝට්ටුවේ කොහේ ගියත් මම යන්න ආස මෙතන.... :)

නාවුක හමුදා කාර්යය මණ්ඩලය.. 


මේ සමබරතාවය ගිලිහුනොත් නම් කෙළින්ම මුහුදේ... 

ඈතට යන්න යන්න ගොඩබිම පෙනෙන්නේ මෙහෙමයි... 

මේ වැලි පර පණ මෙන් රකින නාවික හමුදා සොයුරන්ට අපි එහි සම්පූර්ණ ස්තූතිය පුද කල යුතුයි.. එහි අත හැරෙන පොඩි පොලිතීන් කැබැල්ල පවා ඔවුන් යළි රැගෙන එනවා... නාවික හමුදා සොයුරන්ගේ විපරම් බැල්ම සහිතව අපි මුහුදේ නාන්න ලැහැස්ති වුනා.. මුහුද නිශ්චල වුනත් යටින් අදින ගතියනම් ටිකක් වැඩියි.. ඒ නිසා බොහොම කල්පනාවෙන් නාන්න ඕන... මේ තියෙන්නේ තව ඡායාරූප...


ආදම්ගේ පාලමේ නාපු අපි...

අනතුරුව නැරඹුවේ තලෙයි මන්නාරම් ප්‍රදීපාගාරය.. හවස හයෙන් පසු සෑම තත්පර 15කටම වරක් මෙයින් නිකුත් වෙන ආලෝක කදම්බය නැවියන්ට ඉතා ප්‍රයෝජනවත් වනවා කියන එක හිතාගන්න අමාරු කාරණයක් නෙවෙයි....
තලෙයි මන්නාරම් ප්‍රදීපාගාරය



මේ තියෙන්නේ මොකක්ද කියලා දන්නවද? මේ තමයි ඉතාමත් ප්‍රසිද්ධ මන්නාරම් ජැටිය.. එවකට ඉන්දියාවට යාමට මෙන්ම බාණ්ඩ ප්‍රවාහනයටද තෝතැන්නක් වූ මේ ජැටිය ඉතාමත් අබලන් තත්ත්වයේ තමයි අද තියෙන්නේ.. නමුත් මේ සිදුවෙන සංවර්ධන වැඩ පිලිවෙලේ තරමට මෙයත් ඉක්මනින් පිළිසකර වෙයි කියා හිතෙන බවක් තමයි අවට හිටපු ධීවර ජනතාව අපට කිව්වේ....


මන්නාරම් කන්‍යාරාමය ඇරිලා ගීතය මතකද? යුද්ධය කාලයේ අපේ හදවත් පීරි ගාපු ඒ ගීතයේ  තිබ්බ කණේරු ගහ... අද කණේරු ගහනම් නෑ.. පේසාලෙයි හන්දියනම් තියෙනවා.... විශාරද රශ්මි සංගීතා ගායනා කරන ගීතය අහලා නැත්නම් මෙතනින් අරගෙන අහන්න.. (වැම්පා උඹ මේක කියවනවානම් ට්‍රයි එකක් දියන්කො ලංකාවේ යුද්ධය ගැන ලියවෙච්ච සිංදූ සීරීස් එකක් පටන් ගන්න..)

රාත්‍රියේ අපි ගියේ මන්නාරමේ පත්තිනි දේවාලය බලන්න... එයනම් සැබෑ මංගල්‍යයක්.. අළුත් ඇඳුම් ඇඳගත් කාන්තා පිරිමි ජනකාය හැබෑ භක්තියෙන් එම මංගල්‍යයේ යෙදිලා හිටියා.. ගිණි පෑගීම යෙදිලා තිබ්බේ ගොඩාක් රෑ.. පසුවදා උදෙන්ම මඩු බලා පිටත් වීමට තිබූ නිසා අපි ටිකක් ඉක්මනට එතනින් ආවා...
ගිණි පෑගීම සඳහා සැකසූ ගිණි ගොඩ..

පත්තිනි දේව මෑණියන්ගේ පිළිරුව...

පත්තිනි දේව මෑණියන්ගේ පින්තූර...
අවසන් කොටසත් මේත් එක්කම මේ සතියේ ලියා මේ කතා පෙළ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා... මේ මාසෙට   ලිපි තුනක් ලිව්වෙත් අමාරුවෙන්....

ප.ලි. පහුගිය දවස්වල බ්ලොග් ලෝකයේ කඩා වැටීමක් තියෙනවා කියලා කට්ටිය කෑ ගැහුවට පරණම බ්ලොග් තුනක් මේ සතියේ නැවත කරලියට ඇවිත් තියෙනව දැක්කා... මේ තියෙන්නේ ඒවාට යන පාර... "දියත් කුලේ අපි" , "ටොපිය" , "හිපියෙකුගේ සටහන්" 

Thursday, August 16, 2012

දුකා.. උඹ හිතාගෙන ඉන්නේ උඹ පොරක් කියලද බන්..?


එක එක ක්ෂේත්‍ර වල වීරයෝ ඉන්නවා.. හෙණ පොරවල් ඉන්නවා.. පොරවල් වෙන්න මහන්සි වෙන පොරවලුත් ඉන්නවා.. අන්තිමේට පොර වෙන්න දගලලා හද්ද චාටර් වෙන එවුනුත් ඉන්නවා... පොඩි කාලේ ඉඳන්ම අපිට එහෙම අය මුණ ගැහෙනවා.. අනිත් එවුන් වෙනුවෙන් පෙනී ඉදින්නට ගොස් හොම්බ බිම ඇනගෙන "ආයි" කියලා බෙරිහන් දෙන උනුත් ඉන්නවා.. පාසැල් කාලයේදී, සමාජයේදී මෙහෙම අය මුණ ගැහුණම එය ඉතා අමරණීය සිහිවටණයක් වෙනවා... මගේ බ්ලොග් එකේ නම ටිකක් හිනාවෙන්න වුනාට ඒකේ හිනා යන කථා යන්නේ නෑ කියලා කට්ටිය දැඩිව චෝදනා කරන නිසා අද මම අපේ දුකා ගැන ටිකක් හිනා යන චාටර් සීන් ටිකක් කියන්න යන්නේ...

ඩී.යූ.කේ. ආනන්ද... මුල අකුරු ඔක්කොම එකතු කරපුහාවම ඩී.යූ.කේ.ඒ. (දුකා). මිනිහා දුකා වෙන්න සති මාස ගනන් ගියේ නෑ.. කුරුණෑගලම සහෝදර විදුහලක පැසිපන්දු ක්‍රීඩකයෙක්.. අපි කවුරුත් කථා කලේ දුකා කියලා.. මගේ අළුත් ඔෆිස් එකේ වැඩ කරන අපේ ඉස්කෝලෙම මල්ලි කෙනෙක් එක්ක අද හිනා වුනෙත් පණ්ඩිතකම ඉහ වහා ගිය උගේ රසබර මතක කිහිපයක් මතක් වෙලා... එසැණින් අකුරු කරන්න ගත්තා අමතක වෙන්න කලින්...

කුරුණෑගල නගරයේ බාලක පැසිපන්දු කණ්ඩායම් තිබ්බේ දෙකයි.. එකක් අපේ පාසල, අනෙක අපේ අල්ලපු පාසල.. අල්ලපු පාසැලේ කණ්ඩායමේ තමයි මේ දුකා හිටියේ... ඌ උගේ නම කියන්නේ ඩියුක් කියලා ටිකක් පොශ් කරලා... අපි ආතල් එකට කියන්නේ දුකා කියලා.. ඔහොම තමයි ඩියුක් දුකා වුනේ... දැන් ඉතින් මූ ගැන කියන්න ගිය කතා කියන්න අමතක වෙනවා... 

ගොඩාක් වෙලාවට අපි ප්‍රැක්ටිස් මැච් ගහන්නේ මුනුත් එක්ක.. එක්කො අපි උන්ගේ කෝට් එකට යනවා.. නැත්නම් දුකාලා අපේ කෝට් එකට එනවා.. දවසක් මූ එනවා කොණ්ඩේ වවාගෙන.. ඒක  දැකපු දුකාගේ එම්අයිසී දුකාට මෙහෙම කිව්වා..

බලපන් උඹේ කොණ්ඩේ හැටි.. ගිහින් අරන් වරෙන් කෘෂිකර්ම කාමරෙන් ගස් කපන කතුර ඔය වැඩි ටික කපලා දාන්න...

මූ කරබාගෙන පිටත් වුනා.. විනාඩි දෙකකින් විතර සර් ඉදිරියේ ගස් කපන කතුරත් එක්කම මූ ඉන්නවා...

සර්, මෙන්න ගස් කපන කතුර..

මොකටද?

ඇයි සර් මගෙ කොණ්ඩෙ කපන්න.. සර්මනේ ගේන්න කිව්වේ....

දුප් පරයා මගෙන් ගුටි නොකා....

බලාගෙන හිටපු අපිට බඩවල් අල්ලගෙන හිනා.. සර්ටත් හිනාව තද කරගෙන ඉන්න බැරි වුනා වැඩි වෙලාවක්..

කෙල්ලො සම්භන්ධෙන් මූ හෙණ කුලෑටියි.. ඒ උනාට කෙල්ලෝ ගැවසෙන තැනකට යන්නේ උපරිමට කිට මරලා... ටූනමන්ට් එකකට ගියත් මැච් කිට් එක ගහන්නේ අන්තිම විනාඩි පහේ... එතකන් ට්‍රැක් කිට් එකෙන් ලොකු එක දදා ඉන්නව වටේට පේන්න... මේ කියන දවසේ අපි ප්‍රැක්ටිස් කලේ බාලිකා ඉස්කෝලෙක.. බාලිකාවෙද, කොන්වන්ට් එකේද කියලා හරියටම මතක නෑ... කොන්වන්ට් එකේ තමයි.. ඒකේ ගර්ල් ගයිඩ් රූම් එක ලඟ ටැප් එක ඉස්සරහදි තමයි මේකෙ හොඳම හරිය සිද්ධ වුනේ... හැමදාම සෙට් වෙනකොට දුකාව බයිට් එකට ගන්න එකේ අදත් ඌව බයිට් කරන එක ගැන අමුතුවෙන් කට්ටියට තීරණය කරන්න දෙයක් තිබ්බේ නෑ.. දැන් එකෙක් මුගෙන් අහනවා.. දල්ලා  තමයි මූව බයිට් එකට ගන්න දෙයියා...

අඩෝ දුකා.. අද මොකද බන් පිළිවෙළට ඇඳලා කියලා...?

අළුත් කෑල්ලකට බැස්සා බන්...

අනේ පලයන් බන්... අපි නොදන්න උඹේ කෑලි...

ඇයි දල්ලා මොකෝ.. අපිට බැරිද කෑලි වලට බහින්න...

හරි කෑල්ලක බහිනව කිව්වනේ.. උඹ පොරක් නම් අපි කියන වැඩේ කරනවද?

ඔව් යකෝ.. මම පොරක් තමයි.... නිකන් පච වැඩ කරන්න කියන්නෙ නැතුව ඕන දෙයක් කියහන්...

හරි අර යන කෙල්ලගෙන් අහපන් අභියාට කැමතිද කියලා..

මගේ ඇඟ සීතල වෙලා ගියා.. ඒත් ඒ කාලේ කෙල්ලො කියන දේට ලොකු ප්‍රමුඛතාවයක් නොදුන්න නිසාත්, ඒ කෙල්ල අපි අදුරන ෆිට් එකක් වීම නිසාත්, හරි ගියොත් මටමනේ කියන සිතිවිල්ල නිසාත්, මමත් නිහඬව හිටියා...

අයියෝ.. සිම්පල් සීන් එකක්නේ.. හිටු මම අහන්න...

මූ ගියා.. දැන් කෙල්ලත් එක්ක පොඩි කථාවක් කරගෙන යනවා... එක පාරටම කෙල්ල මූට බනිනවා දැක්කා.. ඒ එක්කම මට රවනවාත් දැක්කා.. ගස්සලා අනිත් පැත්ත හැරිලා යනවාත් දැක්කා... අපේ උන් හිනාවෙලා ප්‍රීතිය සමරනවා එකිනෙකාට පහේ ඒවා එහෙම දාගෙන.. මමත් ඉතින් හිනාවෙලා හිටියා... මූත් මූණ බෙරි කරගෙන ඇවිත් අපි ලඟ වාඩි වුනේ මෙහෙම කියාගෙන...

ඒකි උඹට බෑ කිව්වා අභියා..... මම උඹව ගොඩ දාන්න පට්ට කට්ටක් කෑවා.. හරි ගියේ නෑ බන්....

හරි බන්.. ඒකි බෑ කිව්වට කමක් නෑ.. උඹ සිරා පොරක්... ඉතින් කවුද බන් උඹේ අළුත් කෑල්ල...

දල්ලා ආයෙත් පටන් ගත්ත කථාව, ප්‍රැක්ටිස් පටන් ගත්ත නිසා එතනින් ඉවර වුනා.. මූ පොරක් වුන නිසා මූට පට්ට හැපි... අපිටත් ඒක එතනින් අමතක වුනා.... බ්‍රේක් එකකදි මමයි දල්ලයි ටැප් එකට ගියා වතුර ටිකක් බීලා එන්න.. එතකොටම අර කෙල්ල එනවා දුවගෙන.... අන්න ඒ වෙලාවෙනම් මට හීන් දාඩිය ටිකක් දැම්මා. ඇයි බොලේ.. අරූ මොනවා කියලද දන්නේ නෑනේ.. ඒ මදිවට ගෑණු ඉස්කෝලයක් ඇතුලේ...

මේ අය්යේ,, අර දුකා කියන එකාට පිස්සුද?

කෙල්ල ප්‍රශ්ණේ ඇහුවේ අපි දෙන්නගෙන්ම.... දල්ලටත් නිකන් කොයිල් වගේ... මොකද ඌ හිතුවෙත් මම හිතපු දේමයි... ඒක නිසා එක පාරට කෙල්ල මෙහෙම අහපුහාම අපිට හිතා ගන්න බැරි වුනා ඒ පාර මොකක්ද වෙන්න යන්නේ කියලා....

ඇයි නංගි, මොකක්ද ඌ කිව්වේ....?

නෑ අයියේ අර වෙලාවේ දුකා මගෙන් ඇවිත් මහ අමුතුම තාලේ ප්‍රශ්ණයක් ඇහුවනේ...

ඒ මොකක්ද?

නෑ... දුකා ඇහුවා.. "නංගි, අභීත අහනවා ඔයා මට කැමතිද කියලා.." 

අපි දෙන්නට හිනාව නවත්ත ගන්න බෑ.. බීපු වතුර ටිකත් ඉස්පොල්ලෙ ගියේ දෙන්නටම එකට.. හිනාවෙලා හිනාවෙලා දුවගෙන ආවේ කෝට් එකට.... ආපු ගමන්ම මේ කතාව අපේ එවුන් එක්ක කියන්න අපි දශමයක්වත් පරක්කු වුනේ නෑ...

එතනින් පස්සේ උගේ තත්ත්වය නම් ඉතා සෝචනීයයි...

ඌ දැන් එංගලන්තේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරනවා.. ලංකාවට ආවම අදටත් අපිත් එක්ක සෙට් වෙනවා.. අදටත් ඌ මුණ ගැහුනම අපි ආතල් එකට අහනවා  "දුකා, උඹ හිතාගෙන ඉන්නේ උඹ පොරක් කියලද බන්..?" කියලා.. 

"අනේ උඹේ අම් %%*^*%$($$((%((^^*%$" මෙහෙම තමයි උත්තරේ එන්නේ...

ප.ලි. දුකා උඹ මේක බලනවනම් මෙතන කමෙන්ට් නොකර මට ස්කයිප් එකෙන් කියපන්..

ප.ප.ලි. කට්ටියට හිනා ගියාද දන්නේ නෑ.... 

Wednesday, August 15, 2012

පුද්ගලික න්‍යාය පත්‍රයක තරම.....

ඔහු නිතරම අභියෝග වලට මුහුණ දුන්න පොඩි කොලු පැටියෙක්.. හැමෝම කිව්වේ ඔහුට තියෙන්නේ පුද්ගලික න්‍යාය පත්‍රයක් කියලා... ඔහු පුංචි කාලේ ඉඳන්ම එහෙමයි කියලා දෙමවුපියෝ වගේම ගුරුවරුත් කිව්වා... නමුත් ඒ ක්‍රමේ සමාජයේ ඉන්න ගොඩාක් දෙනෙක් පිස්සු වට්ටන්න පුළුවන් එකක් කියලා ඒ කවුරුත් හිතන්න නැතුව ඇති...

පාසැල් කාලයේ ඔහු ඔහුගේ යාළුවන්ට උදව් කලා.. බැරි බැරි ගාතෙ උනත් ඔහුගෙ හිතේ තිබ්බේ ප්‍රතිලාභයක් ලැබෙනවානම් ලැබෙන්න ඕන තමන්ගෙ එකෙක්ට කියලා... ඔහු හැමෝමත් එක්ක හොඳින් හිටියා... ඔහුට තරහා කාරයෝ හිටියේ නෑ.. සමහර වෙලා වලදි ඒකම ඔහුට පරහට හිටියා... පාසලේදි උනත් ඔහුට වගකීම් දෙන්න ගුරුවරු පැකිලුණේ නෑ.. ඔහු ඔහුගේ වැඩේ හරියට කරනවා කියලා ඔවුන්ට විශ්වාසයක් තිබ්බා.. 

ඒ කාලේ ඔහුගේ වටේ හිටපු යහළුවෝ කල්ලිය ඉතාම දැඩි මිතුරුකමින් වෙලිලා හිටියා.. ඔහුට පවරපු රාජකාරි හැම දේකටම ඔවුන් උර දුන්නා.. ඒ නිසා ඔහුගේ සාර්ථකත්වය පසු පස යහලුවෝ  සිටියේ හරියට ඉඳිකට්ටයි නූලයි වගේ... ඒ නිසා ඔහු යහළුවන්ට තදින් ඇළුම් කලා.. ඔහුට භාර දුන්න වැඩේ කට්ටිය එකතු කරගෙන සාර්ථකව නිමා කරන්න ඔහු සමත් වුනා.. ඒ සාර්ථකත්වය පිටුපස ඔහුගේ මිතුරන් සිටීම නිසා ඔහු සමඟම ඔහුගේ මිතුරනුත් බැබලෙන්න උනා... ඔහුට සමීප නැති අය ඔහුට සමීප වෙන්න දැඟලුවා.. ඔහු ඔවුන්වත් තම කල්ලියට එකතු කරගත්තා... අළුතින් එකතු වුන ගොඩාක් අය ඔහුගේ රිද්මය නොදන්න නිසා විවිධ ගැටළු වලට මුහුණ දුන්නත් ඔහුත් සමඟ වැඩ කලා.. පාසැල් කාලය ඉවර වෙලා මේ කට්ටිය සමාජ ගත වුනා....

පොඩ්ඩා දැන් තරුණයෙක් වෙලා.. ඒත් මිතුරු සමාගමය තාමත් එහෙමමයි... පාසලට අමතරව විවිධ ක්ෂෙශ්ත්‍රයන්හි මිතුරන් ඔහුට වැහි වැහැලා.. ද්වීතීයික අධ්‍යාපන ආයතනය, රැකියා ස්ථානය, වෙනත් සම්භන්ධතා වලින් ඔහුගේ මිතුරු ජාලය පිරිලා.. ඔවුන්ගෙන් ලබන උදව් වගේම ඔහු කරන උදව්ත් නිසා නිසා ඔහුගේ මිතුරු ජාලය ඉතාම සවිමත් උනා.. ඒ වගේමයි ඔහු එක ක්ෂේත්‍රයක් පිළිබඳ හසලව හැදෑරුවා.. එයද  මිනිසුන්ට විනෝදය සපයන ක්ෂේත්‍රයක් හරහා හොයාගන්නට ඔහුට හැකි වුනා.. එන්න එන්නම මොහුගේ මේ ක්‍රියාව ජනප්‍රිය උනා.. ඒ හරහා ඔහුගේ මිතුරු ජාලය ඉතා විශාල වුනා... ජීවිතේට දැකලා නැති සමහරු මිතුරන් පවා මොහුට ලං වුනේ ඒ සාර්ථකත්වයෙන්...

ඒත් ඔහුටම ආවේණික මිතුරු ප්‍රතිපත්තියේ ඔහු තාමත් හිටියා... ඒ කොහෙන් හරි ප්‍රතිලාබයක් ලැබෙනවානම් එය ඔහුගේ හිතවත් එකෙකුට කියන මතය ඔහු තදින් විශ්වාස කලා.. ඒ නිසා ඔහුගේ ක්‍රියා වලින් ඔහුගේ මිතුරන් විවිධ ප්‍රතිලාභ ලබනවා.. මිතුරන්ගේ උදව්වෙන් ඔහුත් ප්‍රතිලාභ ලබනවා.. මේ හේතුව නිසා ඉතා දැඩි මිතුරු සංසදයක සමාජිකයෙක් බවට ඔහු පත් වෙලා තිබුනා.. හැම වෙලාවෙම හැම කාර්යයකදීම ප්‍රධාන තැනක් ඔහුට හිමි වුනා.. 

අභියෝග වලට මුහුණ දීම ඔහුගේ පුරුද්දක් වෙලා තිබ්බා.. විවාහ වෙලා තරුණයාගෙන් මිදී මිනිසෙක් වීමේදීත් ඔහුට තිබ්බේ පුද්ගලික න්‍යාය පත්‍රයක්.. ඔහු ඒක වෙනස් කලේ නෑ.. රැකියාවෙන් මිදිච්ච ඔහු තමන් විශේශීකරණය ලද  ක්ෂේත්‍රයෙන් ව්‍යාපරයක් ආරම්භ කලා.. එහිදීත් ඔහුට මිතුරන්ගෙන් අඩුවක් උනේ නෑ.. ඒ නිසා දෙස් විදෙස් ඔහුගේ ව්‍යාපාරය ජනප්‍රිය වුනා.. ඔහුට ඉතා සරු කාලයක් ලැබුවා... මිතුරෝ ඔහු වටේ හිටියා... ඔහුට ලැබෙන සෑම දෙයක්ම ඔහු මිතුරන්ගේ උදව්වෙන් කරගත්තා.. ඒ වෙනුවෙන් ඔවුන්ට ප්‍රතිලාභ ලබා දුන්නා.. ඔවුන් ඔහුගෙන් උදව්වක් ඉල්ලූ විගස කෙසේ හෝ එය ඉටු කරලා දෙන්න වෙර දැරුවා.. තමන් යටතේ තිබෙන රැකියා වලට මිතුරන් ගත්තා.. ව්‍යාපාර අවස්ථා මිතුරන් වෙත බෙදා දුන්නා... පාසලේ මිතුරන් සේම සමාජයේ මිතුරන් ඉතා දැඩිව ඔහු හා බැඳුනා.. මී විත සමහර මිතුරු කම් සවිමත් කලා... නන්නාදුනන අනවශ්‍ය මිතුරුකම්වල සැබැඳියාව වැඩි කරන්න මීවිත රුකුලක් වුනා.. ඔහුගේ ව්‍යාපාර සවිමත් වෙද්දි ඔහුගෙන් උදව් ලබන පිරිස වැඩි වුනා..

සමහර විදෙස්ගත මිතුරන්ගේ රැකියා අවදානම් වෙද්දි ඔහුත් එක්ක එකතු වෙන්න ඔවුන් වෙර දැරුවා.. ඔහුගේ උදව් ලබන්න කල්පනා කලා.. ඔහුත් උදව් කලා.. ඒ වෙනුවෙන් ඔහුගේ කාලය වැය කලා.. ධනය ශ්‍රමය වැය කලා... ඔවුනුත් උදව් කලා.. අහවල් ව්‍යාපාරය කරන කෙනා මගේ යහළුවෙක් කියමින් ඔහුව අදුන්වලා දුන්නා.. විවිධ සමාජ සේවා වැඩ අතරේ ඔහු පෙරමුණ ගත්තා.. කිසිම ප්‍රතිලාභයක් නැති ක්‍රියා වෙනුවෙන් ඔහු මුදල් වියදම් කලා.. සමහර මිතුරන්ගේ කටයුතු වෙනුවෙන් කාලය නාස්ති කලා.. මිතුරු සමාගමය වෙනුවෙන් ධනය මෙන්ම ශ්‍රමයද නාස්ති කලා.. මේ හැම දෙයක්ම සිදු වෙමින් කාලය ඉතා හොඳින් ගෙවී ගියා... 

ජීවිතේ හැමෝටම බලපාන නරක කාලය ඔහුටත් බලපෑවා.. ඔහු දිගින් දිගටම අසාර්තක වෙන්න පටන්  ගත්තා.. ඔහුගෙන් උදව් ගත් මිතුරන් ඔහුට උදව් කලා.. නමුත් දිගින් දිගටම අසාර්ථක වුනා.. ව්‍යාපරය වැටුනා.. මිතුරන් ටිකින් ටික ඔහුගෙන් ඈත් වෙන්න පටන් ගත්තා... මිතුරන් ඔහුගේ වැරදි දකින්න පටන් ගත්තා.. ඔහුව තෙරුම් ගනිපු සැබෑ මිතුරන් ඔහුගේ වටේ එකතු වෙලා හිටියා... ඔවුන් ඔහුට හයියක් වුනා.. නමුත් ඔහුගෙන් ඈත් වෙලා ඔහුට පරිභව කරපු ඔහුගේ මිතුරෝ ප්‍රමාණය වැඩි වුනා.. ගොඩාක් දෙනෙක්ගේ දෑස් පාට කණ්ණාඩි වලින් වැහුනා... මිතුරන් පිළිබඳව ඔහු පාඩම් ඉගෙන ගන්න පටන් ගත්තා... හැමෝම හිතවතුන් කියලා හිතාගෙන හිටපු ඔහුට හිතවතුන් කවුද කියලා වැටහෙන්න පටන් ගත්තා... ව්‍යාපාරික පරමාර්ථ වලින් ඔහුත් සමඟ එකතු වුන අය ඔහුව හෙළා දකින්න වුනා... සමහරු ඔහුව හිරේ දාන්න හැදුවා.. ඔහුව හොරෙක්, මංකොල්ල කාරයෙක්, කපටි නරියෙක්, භේද භින්න කරන්නෙක්, යටි කූට්ටු කාරයෙක්, දිය යටින් ගින්දර ගෙන යන්නෙක් ආදී ලෙස හංවඩු ගහන්න උත්සාහ කලා... ඒත් හැම දෙයක්ම බොරු වෙමින් කාලය ප්‍රශ්ණ විසදද්දි ඔවුන් අදටත් ඔහුව ආපහු වලට ඇදලා දාන්න දරන උත්සාහය නවත්තලා නෑ...  ඒත් ඔහු තාමත් යහතින් ඉන්නවා... ගොඩාක් මිතුරන්ගේ වෙස් මුහුණු ගැලවෙන්න පටන් ගත්තා... ඔහුගේ බිඳ වැටීම, ඔහුට පෙනේරයක් වුනා.. මිතුරන්ගේ වැරදි සම්භන්ධයෙන් ඔහු ඉවසපු තරම, ඔහුගේ වැරදි සම්භන්ධයෙන් බොහෝ මිතුරන් නොඉවසන බව ඔහුට පසක් වෙද්දි ඔහු ප්‍රමාදයි කියලා ඔහුට වැටහුනා... ඒ වගේම ඔහුව පහළට ඇද දමමින්, තමන් ඉතා සුවිශේෂී පුද්ගලයෙක් යැයි හඳුන්වා ගන්නත් ඔහුගේ සමහර මිතුරන් අදටත් වහෙන් ඔරෝ ක්‍රියා කරනවා කියලා ඔහු දන්නවා.... ඔහු අතින් වුනු වැරදි වලට ඔහු දෙවියන්ට ස්තූතිවන්ත වුනා... පාසැල් කාලයේ යහළුවෝ හා අළුතින් ඇතිවුනු සැබෑ මිත්‍රශීලීන් ඔහු වටේ ඉතුරු වුනා... ඔවුන් ඔහුත් සමඟ ඉදිරියට යන්න එකතු වුනා... 

ෆීනික්ස් පක්ෂියා සේ ඔහු අළු මතින් නැගිටින්න වෙර දැරුවා.. ඔහු නැගිට්ටා.. දැන් ඔහුගේ මිතුරු ජාලය අඩු වෙලා.. පාසැල් කාලයේ ඔහුත් සමඟ හිටපු මිතුරන් හා තවත් ලැබැදි මිතුරන් ගොඩ දෙනෙක් ඔහු වටේ එකතු වෙලා... ඔහු යහපත් ගමනකට පය ඔසවන්නට පටන් අරන්... පරණ කාලය නැවත ආරම්භ කරලා... ඔහුගේ ගමන ඔහු පාඩුවේ යන්න ඔහු අධිශ්ඨාන කරගෙන අවසන්...

ඒත් ඔහුගේ පෞද්ගලික න්‍යාය පත්‍රය තවමත් එලෙසමයි....

යමක් ලැබෙනවානම් ලැබෙන්න ඕන අපේ එකෙකුට....

ප.ලි. තව දවස් දෙකකින් මන්නාරමේ අනිත් විස්තරේ එනවා...

ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.

  අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...