ගරු මැතිතුමණි, මීට සති දෙකකට පමණ පෙර ඔබ වෙත ලිවූ පරිදි නැවතද ඔබව අමතන්නට සිතුවෙමි. කාර්ය බහුල ජීවිතයක් ගත කරනවා වුනාට සුවෙන් ඇතැයි සිතමි. කලින් ලිපිය මෙතනින් බලාගත හැකිය.
ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, ඔබතුමාත් මමත් දන්නා පරිදි නව ජනපතිවරණ අපේක්ෂකයෙකුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් යනු, රටේ වෙනසක් බලාපොරොත්තු වන ජනතාවගේ හද ගැස්මයි. එය හුදෙක් බලාපොරොත්තු වලින් පිරි ලියැවිල්ලක් වනවාට වඩා, රටේ ඉදිරි ගමන පිළිබඳ යහපත් චිත්‍රයක් මැවෙන වෙනස් අත්දැකීමක් සමඟ එන ප්රකාශනයක් නම්, එය එම මැතිවරණ ව්‍යාපාරයට යහපත් අඩිතාලමක් වනු නො අනුමානයි.. ඉතින් ඉහත කරුණ සිහියේ තබාගෙන අපි ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ මදක් සාකච්ඡා කරමු.
ඔබතුමාගේ ප්රකාශනයේ පිළිවෙලින්ම, අපි පටන් ගමු මැතිතුමනි,
දැක්ම.
මේ දැක්ම ඉතා යහපත්ය. රට ගොඩ නැංවීම ප්‍රධාන අරමුණ කරගත් ඔබතුමාගේ දැක්ම අගය කල යුතුය. ඒ සමගාමීව පෙරලෙන ඊලඟ පිටු දෙකෙහි ඉතා සාර්ථක ගමනක් පිළිබඳව ඔබ විසින් විස්තර කර ඇත. සැබැවින්ම එය අපූරුය. ආස්වාදජනකය. මේ රට තුල විය යුත්තේ එයයි. මේ කරුණු වලට එකඟ නොවෙන කිසිවෙකුත් නැත. මහ ජනතාව බලාපොරොත්තු වන ශ්‍රී ලංකාව එළෙසින් බිහි විය යුතු බව මමද තදින් විශ්වාස කරමි.
නමුත් නමවන පිටුවේ අවසන් ඡේදයේදී බළලා හොරෙන්ම මල්ලෙන් එළියට පැමිණ ඇත. ඒ "ජනාධිපති ධූරයට පත් වී වසර හයක් තුල මම මගේ කාර්ය අවසන් කරමි" යන වැකියෙනි. ගරු මැතිතුමනි. දින සියයක් තුල කලයුතු ප්‍රධානතම කාර්යය ඔබතුමාට මඟ හැරී ඇත. පොදු ජනතාවගේ බලාපොරොත්තු අහස උසට නංවමින්, පොදු අපේක්ශකය ලෙස වාඩිවී, උත්තරීතර ධම්ම පදයේ ගාථා දෙකක් පවසමින්, ඔබතුමා අපට දුන්න පළමුවෙනි හා පාරිශුද්ධ පොරොන්දුවට ඔබතුමා මේ කලේ කුමක්ද? රනිල් පරදා අතුරලියේ රතන හිමි පෙරට පැමිණ ඇත. ඔබව කරේ තියන් යන ප්‍රධානතම බලවේගය වූ එක්සත් ජාතික පාක්ශිකයා පැත්තකට විසි වී හෙළ උරුමය නම් බෞද්ධ හිතෛශී පක්ෂය පෙරට පැමිණ ඇත. ඔබ නිතරම පුන පුනා කියන, ඉතාම ඓතිහාසික කැපකිරීමක් කල රනිල් වික්‍රමසිංහයන් පරදා, දෙපැත්තට කකුල තියාගෙන හිටපු, අවසන් මොහොතේ කල හැක්කක් නොමැති නිසාවෙන් ඔබ වෙත පැමිණි, පාඨලී චම්පික රණවකයන් ඉදිරියට පැමිණ ඇත. ඔබට ලැබෙන ඡන්දයෙන් 80%කටත් වඩා නියෝජනය කරන කරන එක්සත් ජාතික පාක්ශිකයාට මැතිවරණයට පෙරම ඔබදුන් නත්තල් තෑග්ග නිසා ඔවුන් හෙට දින වීදි බැස ප්‍රීති ගෝශා කරනු ඇතැයි ඔබට සිතෙනවාද මැතිතුමනි?
මීලඟට අනෙක් පරිච්ඡේද වලට යාමට කලින් මම වෙනත් පැත්තක් වෙත ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. ඒ ව්‍යවස්ථාව, අධ්‍යාපනය, සෞඛ්‍යය, බලශක්තිය, රජයේ සේවය හා පරිසර පද්ධතිය වැනි මාතෘකා වලට සාපේක්ශව ඊට වඩා වැදගත් කරුණක් වන අපේ රටේ වාර්ගික අර්බුධය පිළිබඳවය. ඡන්ද දායකයා ඔබ ඇතුළු සියළු අපේක්ෂකයින්ගෙන් බලාපොරොත්තු වන ප්‍රධානම කටයුත්ත, මේ එකට කල මතෲ භූමිය නැවත දෙකඩ වන්නට ඉඩක් තිබේද නැද්ද යන්නයි. ඒ හේතුව නිසාම ඔවුන් දමිල සන්ධාණය හා මුස්ලිම් කොන්ග්රසය ගන්නා තීරණ පිළිබඳව දෑස් දල්වා බලා සිටියි. ඊට කලින් ඔබ ඒ පිළිබඳව දක්වන ආකල්පය කෙසේද යන්න පිළිබඳව මහ ජනතාව ඉතා දැඩි උනන්දුවකින් මෙන්ම විමසිල්ලෙන් බලා සිටි බව ඔබතුමාට රහසක් යැයි මම නොසිතමි.
ඉතින් මැතිතුමනි, ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ කිසිදු තැනක මේ පිළිබඳව සටහන් නොවීම පිළිබඳව මම විමතියට පත් වීමි. මෙය ඔබතුමාට මඟ හැරුණු බවක් නම් මට කිසිසේත්ම විශ්වාස කරන්නට නොහැකි බව මම ඔබතුමා වෙත ඉතා දැඩිව අවධාරණය කරන්නෙමි. ආණ්ඩු පක්ශය, චන්ද්‍රිකා මැතිණිය ප්රමුඛ ඔබගේ කණ්ඩායම වෙත දිගින් දිගටම එල්ල කරන "ඩොලර් කුට්ටි" චෝදනාව සාධාරණ යැයි සිතන්නට, ඔබතුමාම පාර කපාවි යැයි මම සිහිනෙනුදු නොසිතුවෙමි. ඉදින්, මෙය මඟ හැරීම තුළින් අපට ගම්‍ය වන්නේ කුමක්ද? පුද්ගලිකව මටනම් සිතෙන්නේ ඔබතුමා සිතා මතාම "කොලේ වහලා ගසා ඇති" බවයි. දහතුන් වන සංශෝධනය පිළිබඳව ඔබේ අවධානය යොමු කරද්දී, උතුරු පළාත් සභා මහ ඇමතිගේ ක්‍රියා කලාපය දේශ මාමක ජනතාවගේ කථා බහට දැඩිව බදුන් වෙද්දී, දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියා කලාපයන් පිළිබඳ රටේ ජනතාවගේ සිත් සතන් මහා පරිමාණයෙන් කලබද්දී, ජනපතිවරණ අපේක්ෂකයෙක් වූ ඔබතුමාගේ මනසින් මෙය ඉවත් වුනේ කෙසේද? අතුරලියේ රතන හාමුදුරුවන් වගේම පාඨලී චම්පික රණවක මැතිතුමන් ඔබ අසල සිටිද්දී මේ පරිච්ඡේදය ඔබතුමන්ගෙන් ගිලිහී ගියේ කෙසේද?
ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, ඇත්ත කියන්න. අපි තරහ වෙන්නේ නෑ. ඔබතුමා ඔබේ ඡන්ද දායකයාට කොළේ වහලා ගැහුවා නේද? දේශපාලනික වශයෙන් පිරිසිදු චරිතයක් වූ ඔබතුමාව, වටේ සිටින අය විසින් බිත්තියට හේත්තු කලා නේද? ඔබතුමා තනිව හේත්තු වූවානම් අපට අහක බලාගන්නට තිබුනා මැතිතුමනි. සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මෙන්ම පිවිතුරු හෙටක් ජාතික සභාවේ නිර්මාතෲ වරුන් වූ, පූජනීය වන්දනීය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේත්, මාවිල් ආරු සොරොව්ව ක්‍රියාන්විතයේ පුරෝගාමියා වූ අතුරලිය රතන ස්වාමීන් වහන්සේත්, එද මෙදාතුර සාධාරණය හා යුක්තිය වෙනුවෙන් පෙනී සිට ජනතා හදවත්වල මහත් ප්‍රසාදයක් හිමි කරගත් පාඨලී චම්පික රණවක මැතිතුමාත් ඔබත් සමඟ බිත්තියට හේත්තු වී කර කියාගත දෙයක් නොමැතිව සිටින බව මේ රටේ ජනතාවට නොතේරෙයි කියා ඔබ සිතනවා නම්, එය හුදෙක් විහිළුවක් පමණයි ගරු මැතිතුමනි. මේ කාරණය එතරම් සුළුකොට තකනවා නම් තවත් කවර කතාද මැතිතුමනි?
ඔබේ ඊලඟ ඡේදය ව්‍යවස්ථාව පිළිබඳවයි. මේ ගැන නම් කථා කිරීමට කිසිම දෙයක් ඔබතුමා ඉතිරි කර නැත. කලින් කියූ පරිදිම ඔබතුමාගේ පළමු මෙන්ම පිවිතුරු මැතිවරණ පොරොන්දුව වූ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම කුඩු පට්ටම් වී ගොස් ඇත. ඊලඟට ආපු විධායක අගමැති පොරොන්දුවද කොහි ගියාදැයි නැත. මෑතදී ආ උප අගමැති කථාවද හොයා ගත නොහේ. ඔබතුමා හදවතින්ම පැවසූ ඇමති මණ්ඩලය 30කට සීමා කිරීමේ බලාපොරොත්තුවද නන්නත්තාර වී ඇත. හිතවත් මැතිතුමනි, ව්‍යවස්ථාව පිළිබඳව ඔබ දුන් පොරොන්දු සටහන් වී නැති ලේඛනයක සටහන්ව ඇති, නොදුන් පොරොන්දු පිළිබඳව අපි කෙසේ විශ්වාස කරන්නද?
ඊලඟට මම ඔබතුමන්ගේ අවධානය යොමු කරන්නේ රජයේ සේවකයන්ට ඔබතුමා දී ඇති පොරොන්දු පිළිබඳවයි. ඔවුන්ගේ වැටුප රුපියල් 10000.00 කින් වැඩි කිරීම, ඔවුන්ට ලබා දුන් යතුරු පැදි වල වල ණය වාරික කපා හැර, අය කරපු 50000.00 ක මුදල ආපසු ගෙවීමටත් ඔබතුමා රජයේ සේවකයින්ට පොරොන්දු වී ඇත. මේ ගැන යමක් කියන්න කලින් ඔබතුමාට අතීතය මතක් කර දීමට කැමැත්තෙමි. පහුගිය සැරෙත් මේ රුපියල් 10000.00 වැඩිවීම ගැන කියා, විපක්ශය තැපල් ඡන්ද ඉහළින්ම පැරදුන බව ඔබට මතක ඇතැයි සිතමි. රජයේ සේවකයා වනා හී බුද්ධි මට්ටමෙන් අඩු කොටසක් නෙමෙයි මැතිතුමනි. රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබෙන රජයේ සේවකයාට පොරොන්දුව ඇහෙද්දී දැනෙනවා, මේ ඔවුන්ට ලැබෙන දෙයක්ද? නැත්නම් තැපැල් ඡන්ද ගුන්ඩුවක්ද කියන එක. ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, රජයේ සේවකයා පිළිබඳව ඔබ තුල ඇති මේ පටු ආකල්පය ඉවත් කර ගන්න ලෙස ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමි.
විශ්‍රාම වැටුප 3500 කින් වැඩි කිරීම, ඉන්ධන බදු කෝටි 4000ක් අහෝසි කර ජනතාව වෙත සහන සැල්සීම, පිං පඩිය 1500 කින් වැඩි කිරීම සමෘද්ධිය දෙගුණයකින් වැඩි කිරීම වැනි ආර්ථිකමය පොරොන්දු ඉටු කල පසු, මේ රට කොතනට ගමන් කරයිද කියන එක තාර්කිකව සිතන බුද්ධිමත් ශ්‍රී ලාංකිකයාට බලවත් ගැටළුවක් මැතිතුමනි.
ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, තවත් අසන්න බොහෝ කරුණු තිබුණත් මම මෙතැනින් නවතිමි. හිතේ දැවෙන වැදගත්ම ගැටළු ටික පමණක් ඔබෙන් ඇසුවෙමි. මට මෙන්ම ඔබටද මේ ගැටළු වලට උත්තර නැතැයි සිතමි.
අවසන් වශයෙන් ඔබතුමා වෙත කරුණු දෙකක් පැවසීමට ඉතා කාරුණිකව අවසර පතමි.
1. මිනිසුන් සුරංගනා කථා ඇසීමට රුචිකත්වයක් දක්වන්නේ බාල කාලයේදී මිස ඡන්ද අයිතිය ලැබන වයසට පැමිණීමෙන් පසු නොවේය කියන කාරණය
2. ඔබතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලියූ පුද්ගලයා හෝ මෙම කණ්ඩායම, ඉතා දැඩි මහින්ද රාජපක්ෂ පාක්ශිකයෙක් හෝ පාක්ෂිකයෝ යැයි මගේ සිතේ ප්‍රභල කුකුසක් නැඟී ඇති බව.
අදට නවතිමි මැතිතුමනි. නොසිතා හෝ යම් වැරැද්දක් සිදු වූවානම් ඉතා කාරුණිකව සමාව අයැද සිටිමි.
සුභ පැතුම්,
අභීත.