Meemure Jungle Resort

Monday, January 31, 2011

විනාඩි විස්සකට අත් හිටවූ ගමේ සල්පිල........

සල්පිල් කියන්නේ ගමක සංවර්ධනයට බලපාන මරුම සංකල්පයක්.... පංසලේ හුණු පිරියම් කරන්න... ඉස්කෝලෙ පිට්ටනිය සංවර්ධනය කරන්න.. ආදී මෙකී නොකී සමාජ සේවා කටයුතු සඳහා මුදල් හොයා ගන්න, අපේ ගමේ හොඳම බේත උනේ සල්පිල් වෙන්දේසිය.... මල්වට්ටිය වෙන්දේසියෙන් පටන් ගත්තම කෑම බීම, ගොවිතැන් උපකරණ, සුවඳ විලවුන් මෙකී නොකී ලට පට සියල්ල වෙන්දේසියේ විකිණීම වෙන්නෙ සුහඳ සිතින්.... අද කියන්න යන්නෙ අපේ ගමේ වෙන්දේසිවලදි සිදු උන සිදුවීම් කිහිපයක්....


හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙට කියලා ඉස්සෙල්ල යහපත් සිදුවීම් ගැන කියලා පස්සෙ කියමු ආතල් සීන්.. සල්පිලක සිදුවුන පින්බරම සිදුවීම තමයි මේ... සල්පිල යද්දි රෑ 12ට නිමල් කොලුවා ගෙනාවා වෙන්දේසියට අපූරු භාණ්ඩයක්.... මොනාද දන්නවද?  කඬුපුල් මල් හතරක්... ඒක එවෙලෙම වෙන්දේසි කලා.. මොකද කඬුපුල් මල් ඉක්මනට පර වෙනවා... වෙන්දේසිය පටන් ගද්දිම මම ඊට රුපියල් 500ක ලංසුවක් තිබ්බා... ඒක ඒ ගානටම මට හිමි උනා.... ඒක ගත්ත ගමන් මම එය දුන්නෙ අපේ අම්මට.... අම්මා ඇහේ කඳුලු පුරෝගෙන ගිහින් බුදු මැදුරට පූජා කලා... අම්මගේ ඇහේ නැගෙන්න ඇත්තෙ සතුටු කඳුළු වෙන්න ඇති... ඒත් ඒ කඳුළු මට තාම මතකයි... ඔය ඉතින් පිනක් කරාමද කොහෙද... 



ගමේ සල්පිලේ නිවේදන කටයුතු ගොඩාක් උනේ සෝමපාල අත්තා අතින්... "ෆ්" අකුර ශබ්ධ කරන්න හරිම අමාරුයි ඔහුට... ඒ වෙනුවෙන් "ප්" කියලා තමයි කියවෙන්නේ... ඉතින් කොල්ලෝ ඔය වගේ සිද්දියක් වෙච්ච ගමන් සෝමපාල අත්තව බයිට් එකට ගන්නවා.... හැබැයි එයාගෙ පුතා හේමන්ත අයියා හිටියොත් කොල්ලෝ මීක් නෑ.. මොකෝ එහෙම උන ගමන් අරූ ඇවිත් දෙනවා කන කූං ගාන්න.... ඔන්න මේ කියන දවසෙ වෙන්දේසිය යද්දි සෝමපාල අත්තට හම්බුනා ලෙමන් පෆ් පැකට් එකක්.... ඔන්න දැන් පොර කියනවා මෙහෙම.....


මෙන්න නියම කෑමක් හම්බුනා.. කෝ දෙන්න ලංසුවක්... ලොකු සයිස් ලෙමොන් පොහ් පැකට් එකක්....


අන්න කොල්ලෝ ටිකට ආතල්... දැන් එක එකා අහනවා...


මොනාද අත්තේ.....?


ලෙමොන් පොහ්.. කෝ කියන්න බලන්න ලංසුව...


ලෙමන් පෆ්ද?


ඔව් ඔව් ලෙමොන් පොහ්.... ලොකු සයිස් පැකට් එකක්...


මොකක්ද වර්ගේ... මැලිබන් ද මන්චිද?


මම දන්නෙ නෑ... ලෙමොන් පොහ්....


අරුණයා අන්තිමට නක්කලේට වගේ ඇදලා පැදලා මෙහෙම කිව්වා.... 


ලෙමොන් පොහ් රහද.....අ...අ........අ.....ආ.....?


එක පාරටම ඌ හිටපු පැත්තෙන් මෙහෙම සද්දයක් ඇහුනා...


අඩෝ තෝ දැනගන් ඒ මගෙ අප්පච්චි කියල.. වල්$#$#@#$$$$*&^.......


බුදු හේමන්ත අයියේ ගහන්න එපෝ.... ආයේ කියන්නෙ නැතෝ.......




ඔන්න ඊලඟ කතාව... අපි තරුණ ගැටව් කාලෙ.. (ඒ කිව්වේ මේ ඊයෙ පෙරේදා) තිබ්බා පංසලේ සල්පිලක්... අපි තමයි සංවිධායකයෝ.. ඉතින් හැමදාමත් වගේ නැගලා යන මල් වට්ටි වෙන්දේසිය එදා නැගලා ගියෙ නෑ... වෙන්දේසියේ ප්‍රධාන ආදායම් මාර්ගය ඕක නිසා අපිත් පොඩි උපක්‍රමයක් යෙදුවා... මොකක්ද දන්නවද වැඩේ... සල්ලි දෙන එක්කෙනා කියන දේ අපි යකඩ කටින් කියනවා..... දැන් වැඩේ නැගලා යනවා.... හොඳ මඩ පාරවල් යනවා... උදාහරණ විදිහට මෙහෙම ඒවා යනවා.... එදා නිවේදක චමිර අයියා.. මිනිහා චන්ඩියා නිසා ඕනම දෙයක් කියනවා.... මෙහෙම කතා තමයි දැන් යන්නේ.....


385යි... සුපුන්, කෙල්ලෙක් එක්ක බර කතාවක බණ මඩුව පිටි පස්සේ....


අරූට ඇඩ්‍රස් නෑනෙ ඉතින්.....


749යි.. විමලේ අයියා ඇඳන් ඉන්න සරම හේමන්ත අයියගෙ එකක්.....


1050යි සුපුන්ගෙ අම්මට මල පැනලා අන්න ඌව ගෙදර එලෙව්වා... ශී ශී නැන්දෙ ඒක කැත වැඩේ...


ඔහොම සිනාවෙන් කතාවෙන් සල්පිල නැගලා යනවා... රෑ 12 වෙද්දිත් මල් වට්ටිය යන්නේ.... අපිටත් හරි ජොලි.. මොකෝ ඒ වෙද්දිත් මල් වට්ටිය 15000ත් පන්නලා ගිහින් තිබ්බේ... පංසලේම පොඩි මඩුවක එදා දවසෙ කැන්ටිම කරගෙන යන්නෙ සාපින් මාමා... ඒකෙ ආදායමත් යොදවන්නේ මූලික කාරණාවටමයි... කෑම ඉවිමේ හා තේ හැදීමේ දක්ශතාවය නිසාම ඔහුට ඒ වගකීම නිතරඟයෙන් පැවරුනා... ඉතින් රෑ වෙන්න වෙන්න සාපින් මාමත් සරම කැහැපට ගහගෙන පිල උඩ ඇල උනා... පොරට නින්දත් ගිහින්.... ඒ අතරෙ සල්පිල යනවා... තව මේ වගේ කතාත් කියවෙනවා...


10500යි.. අන්න රමනි නැන්දයි කුසුමා අක්කයි හෙන ඕපදූපයක් කියනවා පංසල් ඇවිත්...


12740යි... අන්න ප්‍රසන්නයා විහාර ගේ පිටි පස්සෙ සිගරට් එකක් පත්තු කලා....


15850යි... අමල් යාළුවෝ තුන් දෙනෙක් එක්ක පොඩි හාමුදුරුවෝ ශේප් කරලා පන්සලෙන් තේ බොනවා අන්න...


ඔය වගේ කතා යද්දි කතා වලට බඳුන් වෙච්ච අයට යකා ආරූඪ උනාට හැමෝම ඒක විහිළුවෙන් වින්දා... ඒ අතරෙ චමිර අයියගේ කටින් මෙන්න මෙහෙම දෙයක් කිය උනා....


18230යි අන්න සාපින් මාම ඔක්කොම එලියෙ දාලා කැන්ටිමේ පඩිය උඩ නිදි.....


මේකෙන් ඇත්තටම අදහස් කලා කියන්නෙ කැන්ටිමේ ඔහුට බාරදුන්න බඩු ඔක්කොම නිකන් ඔහෙ අනාරක්ෂිතව දාල ඔහු නිදි කියන එක...


ඒ උනාට අහගෙන හිටපු උන් මේක තේරුම් ගත්තේ වෙන විදිහකට.... කොල්ලන්ගෙ හූව පැතිරෙන්න තත්පරේකට වැඩි වෙලාවක් ගියෙත් නෑ.. ඉන්නෙ පංසලේ කියලත් අමතකයි.... විනාඩියක් යන්නත් කලින් ඇහෙන්නෙ කැන්ටිම පැත්තෙන් සාපින් මාමගෙ සද්දේ....



ඈ බොල චමිරයෝ... ඉදපිය තොට කරන්නෙ වැඩේ.. මුන්ට ඉප්පීකරේ අහු උනාම ඉන්න තැන මතක නෑ... කොන්ද කඩනව මම @#$#%^$&$^%#@*$$$&#*#*@*@)$)#()# කියලා මෙන්න පොල්ලකුත් අරන් එනවා.... අන්තිමේට සල්පිල විනාඩි 20කට කල් තබලා ලොකු හාමුදුරුවෝත් වැඩම කරලා තමයි ප්‍රශ්ණේ විසඳලා ආයෙත් පටන් ගත්තේ....


එදා ඉඳන් සාපින් මාමා ගමේ ඇවිදිද්දි, හැන්ගිච්ච කට කැඩිච්ච කොල්ලෙක් මෙන්න මෙහෙම කියනවා....


අන්න සාපින් මාමා කැන්ටිමේ.....


ඌට එච්චරයි කියන්න වෙන්නේ.. සාපින් මාමා මෙහෙම කියනවා.....


තොපෙ @#%$#%@^#%$%@*&%$#%@......... 

අපි වෙනුවෙන් අපි.... නොදැකපු හදවත් වල බිහිවුන අධිෂ්ඨාන ලේ බැම්ම......


මම මේ කියන දේවල් ගැන දැනටත් හැමෝම දන්නවා.... බ්ලොග් ඇතුලෙ ඉස්සෙල්ලාම එළි දැක්කේ දුකා අයියාගේ පෝස්ට් එකකින්... අපි මේ ගැන කතා වුනේ විහාරමහාදේවී එකේ තිබ්බ අවුරුදු උත්සවය සම්භන්ධ පළවෙනි රැස්වීමේ... මගේ සඳ ලියන පසන් මල්ලි තමයි ආරංචිය ගෙනාවේ.... අද ඒ මාතෘකාව කරලියට ඇවිත්..... කාරණේට කෙළින්ම බහිමු අපි...


ඉලංදාරියා... එහෙම නැත්නම් දිලුම් දිසානායක... සිංහල බ්ලොග් ලෝකය තුල සොඳුරු නිමැවුම් කරපු, නොදැකපු තවත් එක් බ්ලොග් කරුවෙක්.. සොඳුරු තරුණයෙක්... මොහු ගැන අටුවා ටිකා අවශ්‍ය නෑ... සිංහල බ්ලොග් කියවන ඕන කෙනෙක් මොහුගේ සරල පද්‍ය වගේම අනෙකුත් ලිපි වලත් සුවය විඳින්න ඇති... අද ඔහු අසරණ වෙලා.... අපේ උදව් ඔහුට අවශ්‍ය වෙලා... අපේ එකෙක් වෙනුවෙන් අපි කඳුලැලි හෙලිය යුතු වෙලාව ඇවිත්.... වලට වැටුණු ඌව, වලෙන් ගොඩ අරගන්න අත දිය යුතු වෙලාව ඇවිත්... අද ඔහුට වූ දේ හෙට වෙන්නෙ අපට.... ස්වරූපය විතරක් පොඩ්ඩක් වෙනස් වෙයි... ජීවිතේ හැටි එහෙමයි... 


දෛවයට හරස් වෙන්න කාලය ඇවිත්.... ඉලංදාරියාට ශ්‍රවනය නැති වෙන්න දෙන්න බෑ... දැනටමත් මේ පිළිබඳව අපේ බ්ලොග් කරුවන් අරන් තියෙන පියවරයන් ඉතා ප්‍රශංසනීයයි... ඔබත් එකතු වෙන්න.... මේ මහඟු පිනට දායක වෙමු... කවදාවත් නොදැක්ක, කවදාවත් මුණ නොගසුනු හඬා වැටෙන හඳවතකට සිනා දෙන්න එන්න.... 


ටිකක් හිනාවෙන්න බ්ලොග් එක කියවන මාගේ දයාබර ප්‍රේක්ශකයිනි.... මම ඔබව තුටු කර ලිව්වා වූ පිනෙන් මා ලද කුසලකර්මයක් වේ නම් එය ඔහු සුව වීම වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න.... ඔබේ දෙනෙත් වහගෙන තත්පර 30ක් ඔහුට සුව ප්‍රාර්ථනා කරන්න... මගේ බ්ලොග් එකට පසසන මෙන්ම ගරහන ඔබත් ඔහු වෙනුවෙන් යමක් කරන්න..... ඔබට කල හැකි දේ ඇල්පෙනෙති තුඩක් තරම් කුඩා විය හැකි... ඒත් එය අපට මහ මෙරක්.... දිලුම්ගේ හදවතට පිඹින සිනා පොදක්...


ඉලංදාරියා කොල්ලෝ... සිංහල බ්ලොග් ලියන උඹේ සහෝදර සහෝදරියෝ අද උඹ වෙනුවෙන් අත්වැල් බැදගෙන... අපේ උන් ආතල් ගන්න හදපු සිහින උළෙලත් උඹ වෙනුවෙන් වෙන් කරලා.... උඹට ඇහෙන්න සලස්වන එක අපේ ඒකායන අරමුණයි.... අපි ඒ දේ උඹ වෙනුවෙන් කරනවා මචන්... අපි ඒ හීනෙ අඩිය දකිනවා... අපිත් එක්ක ගයලා අපිත් එක්ක හිනාවෙලා උඹ රඟන වේදිකාව වැඩි ඈතක නෙමෙයි  මචන්...


වැඩි විස්තර මෙතනින් ගන්න.... ඔබේ ඇසේ නැගුනු උණු කඳුළට වටිනාකමක් එක් කරන් අපිත් එක්ක පෙල ගැහෙන්න... ලාංකික අපේ හදවතේ ලබැඳියාව ලොවට කියන්නට එන්න.... දිලුම්ට සවන් යුග තිළිණ කර ආඩම්බරයෙන් ලොවට පිය නගන්න එකතු වෙන්න....  

Saturday, January 29, 2011

කබල්ලෑවගෙයි කළවැද්දාගෙයි වෙනස දන්න කවුරු හරි ඉන්නවද?

පොඩ්ඩක් ජනප්‍රිය කථාවක් මගේ එකක් වගේ කියන්න ගිහින් ඊයේ නා ගත්තද මන්දා... ඒත් ඉතින් අහපු නැති අයත් ඉන්න ඇතිනේ කියාගෙන හිත හදා ගත්තා ඕං... මේ ටික ලියනකොටත් අද ලියන කතාව මොකක්ද කියලා හිතලා නෑ...  වැපාගෙ බ්ලොග් බස් සතිය කෑවා අපිව.... මල ඉලව්ව... ඒත් ඉතින් මොනවාහරි ලියන්නත් ඕන නිසා අපේ ගමේ සිද්ධ වෙච්ච කබල්ලෑ අර්බුදේ ගැන කියමු....


කුරුණෑගල නගරේ ඉඳලා කිලෝමීටර් 8ක් විතර දුරින් තමයි මගේ මහ ගෙවල් පිහිටලා තියෙන්නේ.. සමාජමය හා ආර්ථික අවශ්‍යතා නිසා කොළොම්පුරේ රැදුනට හිතනම් තියෙන්නේ කොතෙකුත් ගමේ.. ඊයෙ ගමේ ගිහින් ආපු නිසා තමයි මේ කතාව මතක් උනේ.... ඇළ දොළ කෙත්වතුවලින් වගේම කඳුහෙල් වලින්ද පොහොසත් අපේ ගමේ හැමෝම වගේ නෑදෑයෝ.... හැමෝම හිත් යටින් එකිනෙකත් එක්ක තරහ උනත්, මතුපිටින් දිවෙන් දිව ගාගෙන ඉන්නේ... දන්නවනේ ඉතින් ගම්වල හැටි.. අද මරා ගන්න උන් හෙට මෙන්න එකට යනවා කරට අතකුත් දාගෙන.... ඔහ් කතාවට යමු....


ඉතින් ගමේ උඩහ කෙළවරේ තියෙන්නෙ පලාගල කියන කන්ද.. මේක රක්ෂිත වනයක්.... අපි ඉතින් නේක කෙළි කලා ඕකෙ... ඒ ගැන පෝස්ට් දහයක් උනත් ලියන්න පුළුවන්... ඉතින් ඒ කඳු කිට්ටුව ජීවත් උන ටිකක් වයසක චරිත දෙකක් තමයි තිලකා කිරිඅම්මයි, ටිකිරි කිරිඅම්මයි.... අල්ලපු ගෙවල් දෙකේ තමයි වාසය කලේ... ඊට පහල කඩේ විපුල මාමගේ... ඒ ලඟ ගෙදරක තමයි බණ්ඩා මාමයි එයාගෙ බිරිඳයි පුතාලා දෙන්නයි හිටියෙ... ලොකු පුතා කාන්චන.. පොඩි පුතා පුබුදු... මම මේ ගැන කිව්වේ, මෙයාල තමයි මේ නාට්ටියේ චරිත...

මම මේ කියන කාලෙ අපේ ගමේ වල් ඌරෝ කළවැද්දෝ නරි වගේ කැලෑ සතුන්ගෙන් කිසි අඩුවක් තිබ්බේ නෑ.. ඈයා, කබල්ලෑවා, ඉත්තෑවා වගේ උන් දකින්න දුර්වල උනත් නිතර ගම්මැද පාරවල් වල ගවසුනා... වල් ඌරා, ඉත්තෑවා, කළවැද්දා වගේ උන් ගමේ මිනිස්සු නොදකින තරමට හොඳයි.... අහම්බෙන් වත් දැක්කොත් පිරිමි සියළු තරහා මරහා පැත්තක තියලා එකතු වෙන්නේ ඌව නිවන් යන්න... ඒ වැඩේ ඉවර වෙලා ආයෙත් මිනිස්සු ටික මරාගන්නේ ඌව බෙදා ගන්න... ඔහ්.. ඔන්න ආයෙත් කතාව යනවා වෙන පැත්තක... හරි ඉතින් මේ කළවැද්දයි කබල්ලෑවයි දෙන්න ටිකක් සමානයි... ඒක නිසා දැක්ක ගමන් එක පාරට අඳුර ගන්න බෑ.. කබල්ලෑවාගේ පොතු තියෙනවා.. කළවැද්දාගේ නෑ... උඩ පිංතූරෙ ඉන්නෙ කබල්ලෑවා.. පින්තූරෙට වඩා කබල්ලෑවා ටිකක් අදුරු පාටයි.... ... යට පිංතූරේ ඉන්නේ කළවැද්දා......


දැන් ඔන්න දවසක තිලකා කිරි අම්මාගේ දර මඩුවේ කළවැද්දෙක් ඉඳලා.. හැබැයි දැකලා තියෙන්නේ ටිකිරි කිරි අම්මා... මේ දෙන්නා දැන් බය වෙලා කෑ ගහනවා කබල්ලෑවෙක් ඉන්නවා එලවන්න කවුරු හරි එන්නෝ.. කිය කියා.... ඉස්සෙල්ලාම ඔතනට ගියේ කාංචන.. ඔව් ඔව්.. බණ්ඩා මාමාගේ ලොකු පුතා තමා... ඒ අතරෙ කඩේ හිටපු විපුල මාමාත් දුවගෙන ආවා... පොර ආයෙ හිටගෙන බොරු දෙන්නේ... ඉතින් මනුස්සයා කාංචනටත් ඇහැක් ගහලා මෙහෙම කිව්වා...


අම්මෝ මෙහෙම කබල්ලෑවෙක්... සූ එකට දුන්නොත් හොඳ ගානක් හොයා ගත්තෑකි.... ඔවුන් අරන් මහන්සි වෙන්න බෑ කාංචන.. ඔය කැලේට ගිහින් දාමු....


කොහොම හරි දෙන්න ලං වෙලා බලපුහාම කළවැද්දා තුවාල වෙච්ච එකෙක්... තඩි පොහොර උරේකට දාගෙන ගිහින් කැලේට අත ඇරලා දන්න විදිහට උට බේතුත් කරලා ඇවිත්.... මෙතන ඉඳන් තමයි විසිල් බල්ටි තියෙන්නෙ මේ නාට්ටියේ....


පහුවදා උදේ කාංචනයි පුබුදුයි පන්ති ගියා කුරුණෑගල... විපුල මාමගෙ කඩේ ලඟ නැවතිලා කළවැද්දා සීන් එක ගැනත් කතා කරලා හිනාවෙලා තමයි මුන් දෙන්න ගියේ....


ඔන්න ටිකක් දවල් වෙලා තිලකා කිරි අම්මා එනවා විපුල් මාමගෙ කඩේට... බඩු ටික දීලා ඉවර වෙලා විපුල් මාමා දෙනවා ගිනි ගෙඩියක් ගානට මෙහෙම....


තිලකම්මා දන්නවද කාංචනයා කරලා තියෙන වැඩේ....


මොකක්ද පුතේ.. මට ආරංචියක් ආවේ නෑනේ...


අර කබල්ලෑවා...


ඔව් ඔව්...


දෙහිවල සත්තු වත්තට අරන් ගියානෙ අද උදේ.... ඊයේ හන්දියට ගිහින් ටැලිපෝන් කරාම කිව්වලු 20000.00ක් දෙන්නම් කියලා.. (97 විතර 20000.00ක් කිව්වම හිතා ගන්න පුලුවන්නෙ...)


නෑ.. මූව මරන්න එපැයි පුතේ... මගේ වත්තේ හිටපු කබල්ලෑවා ඌ කොහොමද විකුණන්නේ....


ඔන්න දෙන දෙයියෝ උඩ පැන පැන දෙනවා වගේ ටිකිරි කිරි අම්මත් එනවා කඩේට.... ටිකිරි කිරි අම්මා දැක්ක ගමන් තිලකා කිරි අම්මා මෙහෙම කිව්වා...


බලපන් නංගියේ අර නොසංඩාලයා කරලා තියෙන වැඩේ.. අර මගේ දර මඩුවෙ හිටපු කබල්ලෑවා සත්තු වත්තට විකුනලාලුනෙ 20000.00කට...


මෙන්න ටිකිරි කිරි අම්මාගේ උත්තරේ...


නෑ...?! අක්කේ... උඹේ දර මඩුවේ හිටියට මමයි ඉස්සෙල්ලාම දැක්කේ... එහෙනම් ඒකෙන් කොටහක් මටත් අයිතියි.... ඇත්තද විපුල පුතේ මේ කියන කතාව....


මේ පොර දැන් තව පත්තු කරනවා.....


අනේ නැන්දේ මාව හවුල් කරගන්න එපා ඕවට.... ඌ ඔන්න පාන්දරම අරගෙන ගියෙ එහෙම කියලා තමයි.... කඩේට ඇවිත් මටත් කියලා ගියේ.. පුබුදුත් ගියේ තනිවට කියලා....


දැන් කිරි අම්මලා දෙන්නා යකා නටනවා කඩේ ඇතුලේ..... අන්තිමට දෙන්නගේ තීරණය උනේ බණ්ඩා මාමගේ ගෙදර ගිහින් මේ ගැන අහන්න.... ඔන්න ඒ ගෙදර ඇති වුන දෙබස..... කිරි අම්මලා දෙන්නා දැන් මාරවේෂ වෙලා ඉන්නේ...


බණ්ඩා පුතේ.... බණ්ඩා පුතේ....


ආ මොකෝ නැන්දේ බෙරිහන් දෙන්නේ...


බෙරිහන්... බෙරිහන් නෙමෙයි දෙන්න ඕන... කෝ කාන්චන පුතා....


ඌට අද පංති නොවැ... උදේම පංති ගියා....


හහ්... හරි පංති.. කෝ එහෙනම් පුබුදුව....


උටත් පංති නොවැ.... ඌත් ගියා.....


අනේ බණ්ඩා පුතේ මේ... අපිව රවට්ටන්න හදන්න එපා උඹ... අපි දන්නවා උන් දෙන්න ගියේ සත්තු වත්තට.... ආවදෙන්කො ඔවුන්...


බණ්ඩා මාම දන්නෙ නෑනෙ මේ මෙලෝ දෙයක්... පොරට හිතා ගන්නවත් බෑ දැන් මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා...


මොකක්ද නැන්දේ මේ හතර බීරි කතාව...


මේ බණ්ඩා පුතේ.. උඹ හදන්නේ අපිව රවට්ටන්න.... අපේ වත්තෙ හිටපු කබල්ලෑවා ඌ කොහොමද විකුනන්නේ.... ආවදෙන්කො ඕකා මම බලා ගන්න...


ඔන්න දැන් බණ්ඩා මාමටත් මල පනිනවා...


නැන්දෙ මේ.... දැන් ඉතින් මටත් යකා නගිනවා... කබල්ලෑවෙක් බැරිනම් බූරු පැටියෙක් හරි කමක් නෑ... ඌ ගෙනිච්චානම් උගෙත් එක්ක බලා ගන්න... මම දන්න ඉටි රෙද්දක් නෑ... ආයෙ ඔය ගැන කටක් ඇරියොත් නැන්ද කියලා බලන්නෙ නෑ ඕන්....


හරි එහෙනම් අපි ඕකා ආපුහාම බලාගන්නම්කෝ.... කියලා බවලත්තු දෙන්න ගෙවල් වලට ගියා... දැන් දෙන්නගෙ අරමුණ අරූ එනකොට බෙල්ලෙන්ම අල්ලගන්න.... ඒ අතරෙ විපුලා මාමගෙ කඩේ හරහා මේ සන්තෑසිය ගමේ කොල්ලො ටික අතරෙ පැතිරිලා.... තිලකා කිරි අම්මගෙ කට නිසා කොල්ලොත් බලන් හිටියේ බයිට් එකට ගන්න චාන්ස් එකක් එනකන්.... ඒ කටේ කතා ගැනත් වෙනම බ්ලොග් එකක් ලිව්වෑකි...



දැන් අපිත් එතන පාරේ විකට් කණු ටිකක් හිටවගෙන ක්‍රිකට් ගහනවා අරූ එන වෙලාවට..... ඔන්න හවස 5.30ට විතර පුබුදුයි කාංචනයි එනවා ක්ලාස් ඇරිලා... අපි ඉතින් අර ගෙවල් දෙකට ඇහෙන්න කෑ ගහනවා.. 


පුබුදු ඔහොමම බෑග් එක තියලා වරෙන්... කාංචන උඹ වරෙන් බැට් කරන්න... පුබුදු උඹ රැකපන්....


ඔය ටික ඇහෙන කොටම ගෙවල් දෙකේ දොරවල් ඇරිලා කිරි අම්මලා දෙන්නා එනවා නිකන් රොකට් වගේ.... ආපු ගමන් තිලකා කිරි අම්මා අරුට කතා කලා... විපුල මාමත් කවදාවත් නැතුව අපිත් එක්ක ක්‍රිකට් ගහනවා සීන් එක බලන්න.... දැන් තිලකා කිරි අම්මයි ඌයි අතරෙ යන දෙබස මෙහෙමයි...


ඒයි කාංචනයෝ මෙහෙ වරෙන්.... උඹ කොහෙද අද ගියේ...


ආ කිරි අම්මා... මොකෝ මේ ක්‍රිකට් ගහනවා බලනවද? මම පංති ගියා....


ඇත්ත කියපන් උඹ කොළඹ නේද ගියේ....


මොන කොළඹද? මට අද දවසම පංති...


දැන් කොල්ලො ක්‍රිකට් ගැහිල්ල නවත්තලා සීන් එක නරඹනවා කොයි වෙලේ හූ තියන්න වෙයිද දන්නේ නෑනෙ ඉතින්..... ඊලඟට ගේමට බැස්සෙ ටිකිරි කිරි අම්මා....


අනේ කංචන පුතේ... උඹගෙ ගොරක මදි මාව තම්බන්න.... කෝ අර ඊයෙ තිලකක්කාගේ දර මඩුවේ හිටපු කබල්ලෑවා....


ඇයි ඌ මමයි විපුල් මාමයි කන්දට ගිහින් දැම්මනේ... අනික ඌ කළවැද්දෙක්.....


ආ.. ඇත්තද? එතකොට උඹ බෑග් එකේ දාගෙන අරගෙන ගියේ ඒ කළවැද්දද?



මොන බැග් එකක්ද? ජයන්ත මහත්තලාගෙ ගෙදරට පොල් ගෙඩි වගයක් නම් මම ගිහින් දුන්නා බෑග් එකේ දාගෙන...


මේ ඒවයින් වැඩක් නෑ... උඹ කබල්ලෑවා 20000ට විකුනුවානම් 15000ක් දියන් අපි දෙන්නට.... නැත්නම් අපි යනවා පොලීසි...


කවුද කිරි අම්මට ඔය කතාව කිව්වේ....


ඇයි අර විපුල පුතා කිව්වේ උඹයි මලයයි දෙන්නා කොළඹ ගියා කියලා... පුතේ අපි නරක මිනිස්සු කියන්න එපා හරිද?


දැන් කාංචනයට තේරුනා විපුල මාමා අඹරලා තමා කියලා ලස්සනට.... මුටත් කර ගන්න දෙයක් නෑ... අපිටත් හිනා.. මුටත් හිනා.... කිරි අම්මලාටත් දැන් ලාවට වගේ වැටහෙමින් තිබ්බේ විපුල මාම ඇන්දුවා කියලා.... අන්තිමට කාංචන අයියා කිරි අම්මලාගෙන් මෙහෙම ඇහුවා....

හරි දැන් මම කොහේ ගියා කියලද කිව්වේ....


උඹ සත්තු වත්තට කබල්ලෑවා අරන් ගිහින් 20000ක් ගත්ත කිව්වේ....


කොහෙද කොළඹ සත්තු වත්තට....? (ඒ කාලෙ අපි හිතන් හිටියෙ දෙහිවල කියන්නේ කොළඹ කියල..)


නැත්නම් කුරුණෑගල තියෙනවද සත්තු වත්තක්....


කිරි අම්මේ.. උදේ 6ට ගිහින් හවස 5 වෙද්දි කබල්ලෑවෙකුත් උස්සාන කොළඹ ගිහින් එන්න පුලුවන්ද?


ඔන්න දෙන්නට තේරුනා කෑවා තමයි කියලා.. දෙන්නම විපුල මාමා දිහාට හැරුනේ එකටමයි... ඒත් හැමදාමත් වගේ ඉස්සර උනේ තිලකා කිරි අම්මගේ කට....


විපුල පුතේ.... උඹ අහුවෙන්න එපා ආයෙ මට... කෙළිනවා ගල් ගෙඩියකින් ඔළුව කුඩු වෙන්න.....


කොල්ලො ටික කරපු දේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ....


 ප.ලි.... හෙට (2011.01.30) හවස 06.00ට අවුරුදු උත්සවේ නිල බ්ලොග් අඩවිය නරඹන්න.....

Thursday, January 27, 2011

සිංහ පැටව්...... පොඩි උන්ට යෝග්‍ය නැත... පොඩ්ඩක් විතර 18)+......

පොඩි පොඩි සිද්ධි නිසා සමහරු ඕනවට වඩා පිම්බෙනවා... සමාජමය හා විවිධ ලොකුකම් අරන් පිස්සු කෙලින පොරවල් මේ ලෝකෙ ඕන තරම්. අද මම කියන්න යන්නෙ ඒ වගේ කතාවක්... එල්ටීටීඊය පරදවපු මේ කාලෙ ජාත්‍යාලෙන් ඔද වැටිච්ච පොරවල් අනන්තවත් මේ රටේ හිටියනේ... යුද්ධෙට දශෙමෙකින්වත් හිතින් උදව් නොකරපු මිනිස්සු අන්තිමේ දිනපු පිලට හෝයියා කියලා යුධ ජයග්‍රහන සැමරුවා කියලා ඔයාලා කවුරුත් දන්නවනේ... මම මේ කියන්න හදන්නෙ එහෙම ඔද වැඩිලා චොර වෙච්ච පොරකගෙ කතාවක්.... එහෙනම් ඔන්න කතාව..... මම මේ කියන කතාවෙ ප්‍රධාන චරිතය වැප්නි සාන්ත ලොක්කා එහෙම නෙමෙයි.... මොකද ඔය කියන මනුස්සයගේ පිටින්නෙ මේ කතා ඔක්කොම යන්නෙ දැන්....


මේක පොඩිම පොඩි කතාවක්.. මේ කියන මනුස්සයත් සෑහෙන ජාත්‍යාලයෙන් ඔද වැඩිලා ඒක දෙගොඩ තලා පිරිලා උතුරලා ඔකඳ වෙලා හිටපු මනුස්සයෙක්.... ඉතින් මේ පොර ටව්න්හෝල් එකෙන් 120 බස් එකට නැග්ගා.... සෙනඟ පිරුනු බස් එකේ මේ මනුස්සයාට ඉඳගන්න තැනක් තිබ්බේ නෑ....  ඉතින් ඒක දැක්ක පොර මිනිස්සුන්ට මේ විදිහට ටෝක් එක දෙනවා......


යකෝ අපි සිංහ පැටව්.. කෝ මේකෙ අපිට සීට් නැද්ද? හරි කමක් නෑ.. අපි සිංහ පැටව්.... වෙන එකෙකුටවත් බෑ යකෝ අපිව යටත් කර ගන්න... අපි සිංහ පැටව්.... උඹලා දන්නවද? අපි සිංහ පැටව් යකෝ.... අපිට පුළුවන් හිටගෙන යන්න මොකද අපි සිංහ පැටව් බන්.... 


ඔහොම කියනකොට පිටිපස්සෙ හිටියා අපේ බස් එකේ ගැන්සිය වගේ නසරාණි කොල්ලො කෙල්ලො සෙට් එකක්.... උන් දැන් මූව ආතල් එකට අරගෙන බයිට් කරනවා... ඒක දැකපු අර පොර මුන්ටත් බනිනවා පොරි හැලෙන්න මෙහෙම....



අඩෝ උඹලා හිනාවෙන්නෙ මොකද? අපි සිංහ පැටව් ඩෝ... උඹලා මොකද හිනා වෙන්නෙ.... අපි සිංහ පැටව්.... අපිට හිනා වෙන්න බෑ මෙලෝ එකෙකුට.. මොකද අපි සිංහ පැටව්.... තොපි මේ කෙල්ලොත් එක්ක තුරුලු වෙලා අපේ උන්ට හිනා වෙන්නෙ මොකෝ.. අපි සිංහ පැටව් ඩෝ....


දැන් ඔන්න අපේ උන්ටත් මල පැන්නා.. අපිත් එක්ක හිටපු රාජගුරු උගෙන් මෙහෙම ඇහුවා...


හරි අයියෙ.. අයියා සිංහ පැටියෙක් තමයි... ඒත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.... මම අයියගෙන් ඇහුවට කමක් නැද්ද?


අඩෝ ඕන ප්‍රශ්ණයක් අහපන් ඩෝ.. අපි සිංහ පැටව් අරිද? අපි භය නෑ ඩෝ.. අහපන් ඕන ප්‍රශ්ණයක්.... අපි සිංහ පැටව් ඩෝ.....


අරූගෙ ප්‍රශ්ණේ මේකයි.....


අයියෙ... අපිට දැනගන්න ඕන අයියගේ අම්මා කැලේට ගියාද? නැත්නම් සිංහයා ගෙදර ආවද කියලා? 



ඉතිරි ටික හිතා ගන්න දෙයක් නෑනේ.. අනේ අර සිංහ පැටියා ඊලඟ හෝල්ට් එකේ  ඉඳන් කොහෙ ගියාද කියලා හොයාගන්න ලැබුනේ වත් නෑ....


ප.ලි. මේ කතාව සැර වැඩි ඇති.. ඒත් බොරු ලකුණු දා ගන්න දඟලන උන්ට එහෙම කියවෙන එක හොඳයි කියලයි මගේ පුද්ගලික අදහස....

Wednesday, January 26, 2011

අද කියන්න හදන්නෙ ටිකක් අමුතු කතාවක්..... පිස්සු හැදෙන සිංදුවක්..

මම මීට කලිනුත් සින්දු ගැන ලියලා තියෙනවනේ.... අදත් ලියන්න හදන්නේ ඒ වගේ කතාවක්... මේක මගේ කතාවක් නෙවෙයි.. මම අහපු කතාවක්... මේක කිව්වේ ජයලාල් රෝහණ කියන ප්‍රවීණ නළුවා (මුතුමිණ). මතක හැටියට පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක ගිය "මා සිත් ගත් ගී" වගේ නමක් තියෙන වැඩසටහනක.... වැඩසටහන මෙහෙයවූයේ කැළුම් ශ්‍රීමාල් මහත්තයා වගේ තමයි මතක.. මතක නෙමෙයි ඔහු තමයි... දැන් ජයලාල් රෝහණ මහත්තයා තමයි ඔහු කැමති ගීත පවසන්නේ ඇයි ඔහු මේ ගීයට කැමති කියලා පවසන ගමන්.... පහතින් දැක්වෙන්නෙ ඔහු තෝරපු එක ගීයක් සහ කැමති හේතුව... ගීත කිහිපයක් තෝරලා ඔහු කැළුම්ට මෙහෙම කිව්වා....


කැලුම්.... මම සිංදුවකට ගොඩාක් ආස වෙන්නේ ඒ සිංදුව ලියන්න පාදක වෙච්ච හේතුවත් හොයලා බලලා... මම ඊලඟට කියන්න යන සිංදුවත් අන්න ඒ වගේ... ඒ ගීතය අපූරු මොහොතක ලිය උන ගීතයක්.... මෙන්න මෙහෙමයි ඒ සිංදුව ලියවුනේ....


දැන් ඔන්න සිද්ධිය....


අපි ඉස්සර නාට්ටි කරන කාලෙ අපේ එක නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් සිටියා හරිම ලජ්ජශීලී, කාටවත් කරදරයක් නැති විශිෂ්ඨ චරිතයක්.. ඔහුගෙ හැකියාව ගැන නම් කියලා වැඩක් නෑ... මට නම කියන්නෙ බෑ.. මේ සිංදුව ඇහුවට පස්සෙ සමහර දන්න කට්ටිය දැනගනියි... අපි නාට්‍ය පුහුණුවීම් වලදි පොඩි දෙපැත්ත කැපෙන කතාවක් කීවත් ඔහු බිම බලාගන්නවා... ඒ තරම්ම ලැජ්ජාශීලියි, අහිංසකයි හැබැයි හැකියාව අතින් අති විශිෂ්ඨයි... 


ඉතින් කැළුම්, මේ මහත්තයා කසාදයක් බැන්දා.. මධුසමයට ගියේ වැල්ලවත්තෙ හෝටලේකට... ගිහින් දැම්මෙ මමයි තවත් ප්‍රවීන මහාචාර්ය ගීත රචකයෙකුයි.. මේ ගීත රචකයගෙ කාර් එකේ තමයි අපි ගියේ... ඉතින් අපි මේ නව යුවලව හෝටලේට දාලා හවස වැල්ලවත්තේ මුහුදු වෙරලට ආවා ඉතින් පොඩි මධුවිතක් තොල ගාන්න හිතාගෙන... අපි ඉතින් අළුත් මනාල ජෝඩුව ගැනත් කතාවෙන ගමන් අපේ වැඩෙත් කරගෙන යනවා... ඔන්න එක පාරටම මාත් එක්ක හිටපු ගීත රචක තුමා මට මෙහෙම කිව්වා...


ජයේ.. අපට අමතක උනානේ.. අර මනුස්සයගේ ඇදුම් බෑග් එක මගේ කාර් එකේ ඩිකියෙනෙ... 


ඔන්න ඉතින් අපි මහ රෑම ආයෙ ගියා අර කාමරේට නැවතත්... බයෙන් වගේ දොරට තට්ටු කලා.... මොකද පැය හතරක් වගේ කාලයක් ගිහින්නෙ තිබුනේ... මනාලයා ඇවිත් දොර ඇරියා... අපි ඇදුම් බෑග් එක දුන්නා.... මනාලිය වේල් එක ගලවලා ඇඳ උඩ ඉඳගෙන හිටියා.... මනාලයා ටයි එක ගලවලා අත් දිග ෂර්ට් එකේ අත් දෙක නමලා ලොකු ඇඳි පුටුවක අතක කොලයක් තියාගෙන මොනාදෝ කුරුටු ගගා හිටියා.. 


ප්‍රවීන ගීත රචක තුමා දැක්ක ගමන් ඔහු ඒ කොලේ දීලා මෙහෙම කිව්වා....


මේක ගිහින් අමරදේව මහත්තයාට දෙන්න...


ඒ කොල කෑල්ලේ තිබ්බ සිංදුව තමයි කැළුම් මේ...... කියලා ඔහු කතාව අවසන් කලා..


දැන් සින්දුව මොකක්ද කියන එක නේද ප්‍රශ්නේ.... මෙන්න සින්දුව අහලා බලන්න.......


මම ආසම ගීයක්..... මේ සිද්ධියත් හිතේ තියාගෙන අහද්දි කොහොමද? ඇඬෙනවා නේද?


ප.ලි. අවුරුදු උත්සවේ ගැන කවුරුත් අමතක කරන්න එපා... දන්නවනේ තැන... තිඹිරිගස්යායෙ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයේ අප්‍රේල් තුන් වෙනි ඉරිදා.....

Tuesday, January 25, 2011

ලොමු දැහැගැන්වෙන සිනා වී කඳුළු පනින ත්‍රිරෝද රථයෙන් මාර භවනට චාරිකාවේ විස්තර මෙන්න....

කතාව කියන්න කලින් වෙනත් වල්පල් කතාවක් කියන්න තියෙනවා ඕං... ඊයෙ මගෙ කතාවට කවුරු හරි (ඇනොනිමස්) මලයෙක් දාලා තිබ්බ කමෙන්ට් එකකින් මට නිකමට හිතුන දෙයක් නිවැරදි කරන්න තමයි මේ කෙටි සටහන ලියන්නේ... මේ බ්ලොග් අවකාශේ තියෙන කිසිදු සිංඩියක් එක්ක මාගේ සෘජු හෝ වක්‍ර සම්බන්ධතාවක් නෑ... සින්ඩි කරගෙන යන යාලුවෝ ඉන්නවා.... ඒවත් දුකට සැපට පිහිටවෙන ප්‍රභල මිතුදම් විතරයි.... සින්ඩිත් එක්කනම් මගේ සම්භන්ධයක් නෑ... අනික මම මේ අයිටී පැත්ත දන්නෙම නැති තරම්..... අනිත් කාරණේ තමයි ඊයෙ ගෑනු ලමයෙක් මගෙන් කෝල් කරලා ඇහුවා මගෙ බ්ලොග් එකේ එයාලා දාන කමෙන්ට් වලට රිප්ලයි කමෙන්ට් දාන්නෙ නැත්තෙ ඇයි කියලා.... ඔන්න ඒකට නම් මම හැමෝගෙන්ම සමාව ඉල්ලන ගමන් තරහා වෙන්න එපා කියලත් ඉල්ලනවා.... මම හරිම අමාරුවෙන් කාලෙ හොයාගෙන තමයි බ්ලොග් එක ලියන්නෙත්.... ඒ නිසා කමෙන්ට් දාන්න කාලෙ හොයාගන්න එක අමාරුයි.... බැරි වෙලාවත් එහෙම කරන්න උනොත් මට අනිත් අයගෙ බ්ලොග් කියවන වෙලාව තමයි කැප කරන්න වෙන්නෙ... මෙන්න නැවතත සමාව ඉල්ලන්නේ හිස නමා.... 

යක්කල යන ටුවර් එකට කට්ටිය හොයා ගත්ත හැටි මම ඊයේ කීවනේ..... මගේ රථය හදිසි අනතුරකට භාජනය වෙලා ගැරේජ් එකේ නිසා ගෙවල් ගාවා හන්දියේ තුශාර මලයට තමයි හයර් එක වැදුනේ.... කොට්ටාවෙ ඉඳලා යක්කලට ගිහින් පැය දෙකක් විතර ඉඳලා ආපහු එන්න...එන රූට් එක කියන්න බෑ.. එන උන් මොන තත්ත්වෙන් එයිද කියලා දන්නෙ නෑනේ.. ගෙවල් වලට බස්සන්න උනොත් එහෙම... මම කොට්ටාවෙ ඉඳන් මාළබේට ඇවිත් SLIIT එක ලඟින් පසාව දාගත්තා.. අනේ දැක්ක කෙනෙක් ඉන්නවානම් හිනා කාලා මැරෙන්නේ..... කොල්ල ඉංග්‍රීසි භාශාවෙන් ලියපු ලොකු සයිස් පොත් තුනක්ම අරන් තමන් වාහනේට නැග්ගේ... අනේ අර අරක්කු ගඳ තමයි ඉවසන්න බැරි උනේ... ගිය පන්තිය මොකක්ද කියලා මම ඇහුවට කිව්වේ නෑ.. මම ඇහුවේ මමත් යන්න.. බස් එකේ ඉංග්‍රීසි පොත් කීපෙකුත් ලස්සනට අරන් ගිහින් බීලත් එන්න පුළුවන් පන්ති ඔච්චරමනෙ ඇත්තෙ ලංකාවටම... 


පොඩ්ඩක් විතර පරක්කුත් වෙලා... වැප් මල්ලිත් ඉන්නවා කිව්වනේ බියගම ට්‍රැෆික් ලයිට් එක ලඟ... මේ වෙද්දිත් ප්‍රමාදය නිසා ඔහුගෙ ජංගම දුරකතනයෙන් මට හරි ජුගුප්සාජනක කෙටි පණිවිඩ එන්න පටන් ගෙන තිබුනේ.... කොහොමහරි එතන්ට යද්දි කොල්ල ඉන්නවා... අපේ රියදුරු වාහනේ නැවැත්තුවේ වැපාට පොඩ්ඩක් ඉදිරියෙන්.. එක පාරටම අපෙ ත්‍රී වීල් එකේ හිටපු එකෙක් මෙහෙම කෑ ගැහුවා...


ඒ සිරිපාල...... වරෙන් වරෙන්..........


වැපා ක්ෂණයෙන් අහක බලා ගත්තත් ඊලඟ තත්පරේ දුවගෙනම ඇවිත් වාහනේට නැග්ගා... වෙන කියලා ඉතින් මොනවා කරන්නද? දැන් ඔන්න කට්ටිය හරි... දැන් යන ගමන් කතා කලා යක්කල ඉන්න දෛවඥ්ඥ මහත්තයාට...


ඒ මචන්... හවස මොනා හරි කරමු නේද?


හා හා.....


මොනාද බ්‍රෑන්ඩ් එක...


උගුරෙන් පහලට යනවා නම් ඕන දෙයක් බන්..


මොනවාහරි විශේෂ සැන්ඩි ඕනද?


ඇල්වතුර හරි කමක් නෑ බන්.... උඹලා කොහෙද ඉන්නේ?


මිරිස්වත්ත කිට්ටුව...


කලබලයක් නැතුව පරිස්සමින් හෙමින් වරෙන්....


අනේ සංසාරේ කියාගෙන අපි දුරකථනය විසංධි කලා... මිරිස්වත්තේ හන්දියෙන් ඔය පාට බෝතල් කිහිපෙකුයි රුපියල් 100ක තම්බපු කඩලයි අරගෙන පාර හොයාගෙන අමාරුවෙන් මාර භවනට සැපත් උනා.... ඉතා උණුසුම් ආකාරයෙන් අපිව පිළිගත්ත මාර දෛවඥ්ඥ මහත්තයා එයාගෙ මාර භවන ඇතුලට අපිව එක්කගෙන ගියා.... කවුරු හරි දැකලා නත්නම් හිතාගන්න අර කෙසෙල් කොටුවෙ චූටි මහත්තයා ඇඳපු චිත්‍රෙමයි... වෙනසකට තියෙන්නෙ ඒකෙ තිබ්බ ඩෙස්ක්ටොප් එක වෙනුවට ලැප්ටොප් එකක් තියෙන එක විතරයි.... මාර භවන අති විශාලයි.. කාමර තුනක් තියෙන ලොකු සයිස් උඩු මහලක්... (මේවා කියන්නේ දුමීලට දුකාලට) කුස්සියේ උයන පිහින බඩුත් එක්ක සෑහෙන ආදායමක් ගන්න පුළුවන් හිස් බෝතල් ප්‍රමාණෙකුත් නොතිබුනා නොවෙයි.....



මගේ නක්ෂත්‍ර කටයුතු යන අතරේ බෝතල් වල මූඩිත් ඇරිලා වටේ යන්න පටන් ගත්තා... නොයෙකුත් කතා මාතෘකා අතරේ බ්ලොග්වල ලියන්න බැරි කතාත් සෑහෙන්න කිය වුනා.... අහ් බයිට් එක... දුමියා මචන්...අර නමේ තේරුම කියපු රමණි අක්කා සුපිරි චිකන් ඩෙවල් එකක් එවලා තිබ්බා.. මොන අදහසකින් මෙහෙම උදව් කරනවද මන්දා....? ඉතින් කිසි වරදක් නැතුව වැඩේ නැගලා ගියා....


අවවාදයක් දෙන්නේ.... පැනි මුට්ටිත් එක්කනම් කවුරුත් බොන්න සෙට් වෙන්න එපා... උදෙත් බීලා රෑත් බොන්න බෑ කියපු එකා ගහපු ශොට් පහේදිම වීදුරුව කටට ගන්නකොටම කෝල් එකක් එනවා.. ඉතින් කනේ තියන් කුණු කුණු ගානවා...ඒ වෙලාව ඇතුලත අපේ කොල්ලට ගෑණු ළමයි දහයක් නම් කෝල් කලා..ඊට වැඩි උනත් අඩු වෙන්න විදිහක් නම් නෑ.. අන්තිමට ෆෝන් එක උදුරගෙන කෙල්ලන්ටත් බැන්නට පස්සෙ ඔන්න යන්තම් වැඩේ ශේප්.


ඉතාම සොඳුරු මොහොතකට සමු දීලා එන්න හදන කොට නිවැසියා නිදි... ඒවට හෙතු අවවාද අනුශාසනා ආකාරයෙන් කමෙන්ට් එකක් විදිහට පහතින් වැටෙයි මම හිතන්නේ... ඔක්කොම අස් කරලා එහෙම අපි පිටත් උනා... උඩ මම කියපු විදිහටම ගමන් මාර්ගය වෙනස් උනා.... කට්ටියම ගෙවල් ලඟින් බස්ස ගෙන මමත් සතුටින් ගෙදර ආවා....



පහුවදා උදේ මම දුරකතන ඇමතුමක් දුන්නා පොරකට....


ඒ මොකෝ බන් උනේ.. මට මොකෝ උනේ......


මම කොහොමද දන්නේ.... උඹටනෙ බන් උනේ.... හික්z


මේකෙ නොකියවුනු තැන් අනිත් උන් දායි කමෙන්ට් විදිහට.... මේ කිසි තැනක මඩ නෑ... ඇත්ත ඇති සැටියෙන්... සත්‍යය ප්‍රථමයෙන්.....


ප.ලි. බ්ලොග් සතියෙ දවස් දෙකක් ඉවරයි.. හෙට මොනාද ලියන්නෙ ?



Monday, January 24, 2011

බ්ලොග් ලියන අපේ හිතවතුන් සති අන්තය ගත කරන හැටි...

බ්ලොග් ලියන එක සම්පූර්ණෙන්ම වගේ අමතක වෙලා ගිහිල්ලා... ඒ හිතේ තියෙන කරදර ගතිය නිසා... වැප් මල්ලිගෙ බ්ලොග් සතිය නිසා මටත් හිතුනා ඔන්න ඔහේ පොඩි සපෝට් එකක් දෙනවා කියලා.... අද ලිපිය එච්චර රසවත් වෙයිද කියන්න අමාරුයි.... මොකද හිතේ පීඩනය උපරිම වෙලා තියෙද්දි තමයි මේක ලියන්නේ.... මිනිස්සුන්ගෙ නරක කාල එනවා කියන්නේ මොන නැව ගිලුනත් බෑන්ඩ් චූන් වෙලා හිටපු මමත් මේ දවස්වල ටිකක් සලිත වෙලා ඉන්නේ..... ඔහ්...ආයෙ පිට.. මගේ පස්සෙන් එන කට්ටිය 152කට වැඩිවෙලා වගේම හිට්ස් 30000ට ලං වෙලා තියෙන නිසාත් මේ බ්ලොග් ලිවිල්ලනම් මොන හිතේ කරදර තිබ්බත් නවත්තන්නෙ නම් නෑ ඕං...



රස විඳින්න තියෙන කතා පස්සෙ දවසක ලියන්න හිතාගෙන පහුගිය සතියෙ බ්ලොග්කරුවෝ ආශ්‍රිතව සිදු වුන සිදුවීම් කිහිපයක් (කිහිපයක් කිව්වට දෙකයී) කියන්න තමයි මේ යන්නේ... මගේ ලෝකය ලියන රංග අයියා එයාගෙ 100වෙනි පෝස්ට් එකෙන් දැම්මනේ අපිට කෝල් කරලා ආතල් ගත්ත හැටි... ඒත් ඉතින් මිනිස්සුන්ගේ කරුම හැටියට පව් පල දෙනවා... මේක පල දුන්නේ දිට්ඨ ධම්ම අනුවේදනීය විදිහටද මන්දා.... ඔන්න ගිය සෙනසුරාදා අපි පොඩි ගමනක් යන්න සෙට් වෙලා මිනිහවත් එක්කගෙන යන්න හිතාගෙන පොරට කෝල් කලා....


 හලෝ... මේ මගේ ලෝකය ලියන රංගද?
       (පසුබිමින් ගාල ගෝට්ටි සද්ද)


 ඔව්... ඔයා ක.. ක. කවුද?


 මම ඔයාගෙ සමහර කතාවල චරිතයක්... උඹලා බ්ලොග් ලියලා අපිව සවුත්තු කරලා පොරවල් වෙනවා නේද?


 නෑ මම රංග නෙ.. නෙමෙයි.... උම්ම්ඹට වෙරදිල්ල්ල්ලා.. ම්මම ෆ්ෆ්ෆෝන් එක තියනවා දෙන්..... 


 xxxxxxxxxxxxxxxxxxxxx මහත්තයානේ....


 වොව් වොව් ක්.. කවුද බන් උඹ....?


 මමත් ඔයාගෙ කතාවල චරිතයක්.... ඔයාලා අපේ කාඩ් කුඩු කරනවා... අපිත් දෙනවා ගේමක් ලගදිම උඹට....


 හරී..ඊ.ඊ ... කරල්ල්ලා බල්ලපාන්.... අපිත් එත්තකොට්ට්ට්ට හැකි පම්මණින් කරන්වා මොනාඅරි... අප්පිටත් පුළුවන් දේවල් ත්තියෙනවා අරීද?


 ඇයි උඹ චන්ඩිද? 


 චන්ඩි නෙම්මෙයි... ඒත් මොක්කුත් බෙරි මින්ශ්ශුත් නෙවෙයි ආ..... උම්ම්ඹ නම කියපාන්.. නෙත්නම් මම ෆෝන් එක කට් කරනවා....


 මචන් .. මම අභීත.. කොහෙද බන් ඉන්නේ මේ.....


 අඩ්ඩෝ.. උම්ම්ම්ඹද? කිතුල්ගල ආවා බන් ඔෆිස් එක්කේ ශෙට් එකත් එක්ක.. කන පැලෙන්න ගහලා බන් ඉන්නේ.. මොක්කද්ද කතාකලේ....


 අපි හවස පොඩි ගමනක් යනවා.. උඹවත් සෙට් කරගෙන යමු කියන්න කතා කලේ.. හරි එහෙනම් කමක් නෑ මචන්.. අපි යනවා....


 එල්ල්ල්ල මච්චාන්.. මම ප්ෂ්ෂෙ දවෂක ෂෙට් වෙන්නම්.. බායි මචන්....


 හරි මචන්.. එහෙනම් තිබ්බා... අපි ගියා කොල්ලො...



ඔන්න ඔහොම එක සිද්ධියක් ඉවර උනා... දැන් හවස ගමන යන්න තියෙන්නෙ යක්කලට.. බ්ලොග් යාළුවෙක්ව මුණ ගැහෙන්න.. කාලෙක ඉඳන් ඔහු තමයි මගේ නිල ජ්‍යෝතිෂ උපදේශක... ඒ වගේ වැඩකට තමයි යන්නේ.. යන එකේ පොඩි විනෝදෙටත් එක්ක කට්ටිය එක්ක යන්න තමයි දැන් මේ වටේට කතා කරන්නේ... ඔන්න වැපා මල්ලිට කතා කලා..


වැපා මචන්, අභීත කතා කරන්නේ...


ආ මොකෝ... මම නිදි බන්...


යක්කල යනවා හවස.. යමුද? අරූව හම්බෙන්න යන්නේ...


එහෙනම් යන වෙලාවට කියපන්.. මම එන්නම් බියගම ට්‍රැෆික් ලයිට් ලඟට.... නොදකින් මගෙ නින්දත් කැඩුවා තෝ....


හරි හරි එහෙනම්... මුල ඉඳලා නිදා ගනින්....


වැපාගෙ කෝල් එක තියලා කතා කලේ මඟේ සඳ ලියන පසන් මල්ලිට...


මචන් පසා.. කොහෙද ඉන්නේ...


මම බොරැල්ලේ...


ආ... මොකෝ කරන්නේ... අද ක්ලාස් නේද?


ක්ලාස් ගියෙ නෑ අයියෙ මේ යාලුවෝ වගයක් සෙට් වෙලා... බීලා ඉන්නේ කණ පලෙන්න...


අහ්.. අපි යනවා අද යක්කල අරූව හම්බෙන්න. මමයි වැපයි යන්නේ.. උඹත් වරෙන් 5ට මාළඹේට. 


හරි අයියේ... දවලුත් බීලා රෑත් බොන්න බෑ... ඒත් මම එන්නම්... හරියට පහට මම මාළඹේ...


පසන්ගෙ කෝල් එක තියලා ගත්තා මගේ මරනය ලියන මරණෙට කෝල් එකක්...


ඒ මචන්.. අපි අද යක්කල එනවා...


එල කීයටද? මොකටද?


අර පොරව හම්බෙන්න එන්නෙ... මමයි වැපයි පසනයි එන්නෙ.. උබ මොකද කරන්නෙ මේ වෙලාවේ....


මම මේ ගම්පහ රෙස්ට් හවුස් එකේ බොනවා බන් යාලුවෝ කට්ටියක් එක්ක... හවස ෂුවර් නෑ..ඒත් බලන්නම් එන්න...


අන්තිමට මූණු පොතේ චැට් එකේ සෙට් උනේ ගෝල්ඩ්ෆිශ් බ්ලොග් එක ලියන ප්‍රසන්න මල්ලි.. මිනිහා තමයි කතාව පටන් ගත්තේ....


අභීත අයියා.. යක්කල යනවලු නේද?


ඔව් කවුද කීවේ...? උඹත් වරෙන්....


මට අරූ කිව්වේ උඹලා එනවා කිව්වා කියලා... මට එන්න වෙන්නෙ නෑ අයියා....


ආ.. ඒ මොකො...?


පානදුරේ සුමංගල බාලිකා එකේ විවිධ ප්‍රසංගයක් තියෙනවා.. ඒක බලන්න යන්න ඕන අයියා......


ඕන්න ඔහොම තමයි අපේ බ්ලොග් සහෘදයෝ තමන්ගෙ විවේකී සති අන්තය ගත කරන්නේ....


 ප.ලි. ලොමු ඩැහැගැන්වෙන සිනා උපදවන ත්‍රීරෝද රියක ගිය යක්කල ගමනේ විස්තර ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.....

Tuesday, January 11, 2011

පිස්සු හැඳෙන සඳ... එන්න කියවන්න වෙබ් අවකාශෙ ඉන්න ඔක්කොම......

රැයේ දැකපු හීනේ අද උදේ සැබෑ වී ගියා...... මෙහෙම සින්දුවක් අහලා තියෙනවා මතකද හැමෝටම.. අම්මපා මට එහෙම සිද්ධියක් වෙන්නයි යන්නේ... ප්‍රියන්ත අයියගෙ මගේ මතක බ්ලොග් එක කියෙව්වනම් දැනටමත් දන්නවා මම මේ මොකක් ගැනද කියන්න යන්නෙ කියලා... මම අර දැක්ක සැබෑ ලෝකෙ හීන කියලා දැම්මනේ ගිය සතියෙ පෝස්ට් එකක්.... අර අපි ඔක්කොම එකතුවෙලා පට්ට පිස්සුවක් කෙළියේ.. ඉතින් දැන් ඒක සැබෑ වෙන්නයි යන්නේ...

ඊයෙ දවසේ අපි ගියා ගූගල් බස් එකේ.. නිශාන්ත මල්ලි දැම්මානෙ බස් එකක් අබියගෙ හීනෙ සැබෑ කරමුද කියලා.. මෙන්න බොලේ බස් එක නැගලා ගියා... ඒක කැඩිලා දැන් දෙවෙනි බස් එකකුත් යනවා... ඉතින් මේ ගැන විස්තර කියන්නයි හදන්නේ..... මටනම් මාර සතුටුයි මෙහෙම වෙන එක.... පසන් මල්ලි හදපු මල් වැකිය එහෙමම දාන්නයි හදන්නෙ මම.. මෙන්න ඒක..


සයිබරයේ සිහින බක් මහ උළෙල




මෙතුවක් කාළයක් පුරා සයිබර් යාය පුරාවට
දෙනෙතින් නොව හදවතින් හදුනාගත් සහෘදයන් එක්කොට 
තවත් එක් සොදුරු දිනයක මුන ගැසෙන්නට අවසරයි!!!
බක්මහේ සුන්දරත්වය විදින්නට එන්න අප හා එක්වන්න... 


සයිබර් අවකාශයේ සිටින ඔනෑම සහෘදයකුට හෝ 
ඔ​හුගේ මිතුරන්ට සහභාගි විය හැක.


තවත් එක් නිමේෂයක එක් වෙමුද විදින්නට නොදුටු මිතුදම.....



ඊයේ හවස වෙද්දි කට්ටිය පිට්ටනියත් වෙන් කරගෙන ඉවරයි.... ඔන්න මගේ වචනයෙන් මේ ගැන විස්තර.... මේ උත්සවේ තියෙන්නේ අප්‍රේල් 3වෙනිදා උදේ 9.30 ඉදන් හවස 03.30 වෙනකන්....... තිඹිරිගස්යායේ තියෙන හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයේ... බ්ලොග් කරුවන්ද බස් කරුවන්ද කියන එක අදාළ වෙන්නෙ නෑ... සයිබර් අවකාශයේ සැරි සරන මිතුරන් හඳුනාගන්න කැමති ඕනම කෙනෙකුට මේකට සහභාගී වෙන්න පුළුවන්.... ඉතින් ඒ නිසාම මේකට කිසිඳු බේදයකින් තොරව ඕනම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්.... අනේ මම බ්ලොග් ලියන්නෙ නෑ.. අනේ මම බස් වල යන්නෙ නෑ... මේ කෙඳිරිලි මොකුත් ඕන නෑ... ඊ මේල් ඇඩ්‍රස් එකක් තියෙනවම්, සයිබර් අවකාශයේ ඉන්නවනම්, මූණු පොතේ ඉන්නවානම් ඕනම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්...


පිට රටවල්වල ඉන්න කට්ටිය මම හිතන්නෙ මේකටම එයි කියලා... මොකද දුමියත් කියලා තිබ්බනෙ පවුලගෙ යාළුවගේ මාලෙ හරි උකස් කරලා හරි එනවා කියලා.. ඔන්න කට්ටියම දිනේ මතක තියා ගන්න.... ඒ නිසා එන්න පුළුවන් අය හැමෝම එන්න උත්සහ කරන්න.... එය ලාංකීය වෙබ් අවකාශයේ සොඳුරු මොහොතක් වේවි.... අනිත් කට්ටිය අනුග්‍රාහකයෝ.... අපි මේක පුළුවන් තරම් අඩු වියදමින් කරන්න හදන්නෙ..දැනට තීරණය කරලා තියෙන්නෙ එන එක්කෙනෙක්ගෙන් රුපියල් 150ක් වගේ මුදලක්.. ලැබෙන අනුග්‍රාහකයෝ මත ඒ මුදලත් අඩු කරන්න හිතාගෙන ඉන්නේ.... දැනටමත් රුපියල් 30000ක අනුග්‍රාහකත්වයන් අපිට ලැබිලා තියෙනවා.... එක්ස්ප්ලෝර් ලංකා ඉන්ටනැෂනල් ආයතනය රුපියල් 15000කුත් ලංකාවේ ගූගල් බස් පදින අය රුපියල් 5000කුත් හද ගී පොතේ තිස්ස අයිය රුපියල් 5000කුත් බ්ලොග් සහ බස් ප්‍රේක්ශකයෙක් වෙච්ච සුලෝචනා සහෝදරිය රුපියල් 5000කුත් ලෙසින්.... ඔයාලා කාටත් පුළුවන් නම් මේ කෙරෙහි රුපියල් 5000ක බැනර් එකක් තමන් වැඩ කරන ආයතනයෙන් අරන් දෙන්න ඒක නම් අපිට ලොකු හයියක් වෙයි......

එහෙනම් මේකට එනවා කියන එක අපිට කියන්නෙ කොහොමද කියන එක ඉදිරියේදී දන්වන්නම්..
තියෙන තරඟ සහ සියළු විස්තරත් එක්කම.....

එහෙනම් ඩීජේ සංගීතයත් දිවා ආහාරයත් සිසිල් පැනුත්.. තව එකී, මෙකී සහ නොකී දේවලුත් (හොරෙන් ඇහැක් ගැහුවා ඕන්..) එක්ක සුපිරි දවසක් ගෙවන්න කට්ටිය රෙඩි වෙන්න.....

වැඩි විස්තර දැන ගන්න ඉතින් මටම කතා කරන්න.... +94714449162.

Saturday, January 8, 2011

අප්පද බොල මෙහෙමත් හීන...... සැබෑ ලෝකෙ හීන.....

දෙසැම්බර් මාසය ගෙවිලා ගියා... අනේ අම්මේ රට ඉදන් ආපු යාළුවෝ කන්දරාව.. එහෙම කිව්වට 5 දෙනයි ආවෙ... උන් මට කරපු විනාසෙක තරම අම්මපා... ගන්න දෙයක් නෑ.. මම මේ දවස්වල ඉන්නෙ නෝන මහත්තයලගෙ ගෙදරනේ... ඉතින් මේ රට ඉදන් ආපු යාළුවෝ පස් දෙනාම මට තෑගි බෝග ගෙනත් තිබ්බා... දෙයියනේ කියලා පස් දෙනාම පිළිවෙලින් ගෙනාපු තෑගි භෝග තමයි මේ... අපේ ලොකු අයියා (පරණ සිංදු දෙන්නේ) චිවාස් රීගල් එකක්, සුගත් කියලා එකෙක් ආවා අමරුල්ලාද මොකක්ද කියලා ජීවිතේට අහල නැති කොක්ටේල් ඩ්‍රෙසිං එකක් අරන්... නිරෝශ් ආවෙ බ්ලැක් ලේබල් එකක් අරන්... කසුන් ආවෙ රෙඩ් ලේබල් එකක් අරන්... අනිත් එකා ආවෙ හෙනසි එකක් අරන්... අනේ අම්මපා මුංට ගේන්න වෙන දෙයක් තිබ්බෙම නැති හැටි... ලොකු අයියට නම් මම දුන්න ඇනවුමක්..ඒත් සල්ලි ගත්තේ නෑ...ඒකට නම් දෙනවා ගේම කවද හරි... ඔය දුමීලා වැම්පයර්ලා පුතාලා පිස්සලා දිනේශ්ලා එහෙමත් රට ඉඳන් එනවනෙ කියලා මතක් වෙද්දි ඇඟ හීතල වෙනවා... මොකද අහිංසකව ඉන්න මට මේවා තෑගි විදිහට හම්බෙද්දි අපේ හාමිනේලගෙ ගෙදර ඇත්තෝ මම ගැන මොනවා නොහිතාවිද? ඒත් ඉතින් හිත හොඳින් දෙන දේ කොහොම එපා කියන්නද? සිනා පාල භාර ගත්තා අන්තිමේදී....

කලින්ම කියන්නේ මේ පෝස්ට් එකේදි මම මේ බ්ලොග් ලියන හිතවතුන් කීප දෙනෙක්ගෙ නම් සඳහන් කරනවා..ඒත් ලින්ක් දාන්නේ නෑ, මොකද එහෙම කලොත් මේ පෝස්ට් එකේ ලින්ක් දාලා ඉවරයක් කරන්න වෙන්නෙ නෑ... ඒ නිසා කවුරුත් ඒ ගැන තරහ ගන්න එපා... කතාව මම සැබෑ ජීවිතේදි දකින සිහිනයක් ගැන... මම හිතන්නේ මම පහුගිය පෝස්ට් එකේ මම ඒ සිහිනේ ගැන දැම්මා... අප්පට සිරි කමෙන්ට් වැටුනා ඕසෙට... ප.ලි. කෑල්ලට කමෙන්ට් කරලා තමයි සමහර අපේ අය අවුරුද්දට සුභ පැතුවේ.... ඉතින් මෙහෙම එකක් උනොත් කියලා මගේ හිතේ ඇඳුනා පොඩි චිත්‍රයක්.. ඒ කියන්නේ අපි මේ බ්ලොග් අවකාශයේ ඉන්න නංගිලා මල්ලිලා අයියලා අක්කලා ඔක්කොම එක දවසක දවල්ට සෙට් වෙලා නිකන් පොඩි ගෙට් ටු ගෙදර් එකක් වගේ ෆන් එකේ ගියොත් කොහොම වෙයිද කියලා.... මේකෙ චරිත කිහිපයක් මම හිතුවා.... ඒ ඉතින් මම එක්ක කතා බහ කරලා පොඩි ඇයි හොදයියක් තියෙන අය මිසක්, ඒ සඳහා මිනුම් දන්ඩක් පාවිච්චි කරලා තෝරගත්ත කට්ටිය නෙවෙයි.... හරි දැන් පාටියට යමු...



ඔන්න ඉතින් අපි උදේ රැස් වෙනවා... දුමීලා දුකාලා මැද පෙරදිග අරාබි කබා එහෙම ඇදගෙන එන්නෙ.. පුතත් එන්නෙ ඔටුවෙක් පිටේ එහෙම නැගලා... කතන්දරත් තට්ටෙට දිලිසෙන්න තෙල් ටිකක් ගාලා, අර ෆ්‍රේම්ලස් කණ්ණාඩියෙන් වියත් බැල්මක් දාලා එහෙම තමයි එන්නෙ.. ඔය අතරෙ වැප්, මගේ මරණය, නිශ්, සංසාරසිඳු, ජේඩී, රනා, එහෙම කලින්ම ඇවිත් කට්ටිය පිලිගන්න.... පබළු, ජනිතා, ජනනි නංගිලාත් උන්ට එකතු වෙලා කැකිරි පලනවා... ඩෙනිමට උඩින් ටී එකක් බස්ස ගත්ත පිස්සයි, කලිසමට යට කරලා මැදපු ෂර්ට් එකකින් සැරසුනු මාරයයි දෙන්නත් ලස්සනට එද්දි ඔතනට තඩි හාලි බයික් එකක් එනවා... ඒකෙ එන්නෙ කවුද? බදුල්ලෙ ඩොටේ ඉදන් පාත් වෙන ෆා ද බ්ලොගීයි පුවත් මවන කුශාන් ලොක්කයි..ඊයෙ රෑ ඉදන්මලු එන්නේ..... කොල්ලෝ ගැන්සියක් කෙල්ලෝ ටික දිහාට ඇහැ දාගෙනම එකට බහිද්දි කට්ටියට තේරෙනවා පිස්සු පූසෝ රංචුව කියලා... ඒ අතරෙ ජීවිතේ මල් නංගි, අන්ශුවා සුදු හංසි, හිරු ප්‍රභා කට්ටියත් හිචි හිචි ගගා එද්දි වැප්ලා මරනෙලාටත් පොඩි කිචියක් එහෙමත් එනවා... අනුරාධ එන්නෙ තඩි කැමරාවක් අරගෙන... අහ්.. මකරා... චානක මල්ලි මකර මූනක් දාගෙන තමයි එන්නේ... අර චෙස් ශූරයත් එක්ක ගහපු පොටෝ එකත් පපුවෙ ගහගෙන එන්නෙ... දෙපැත්තට කරේ එල්ලගත්තු බෑග් තඩියෙ ඔබා ගත්තු ලැප්ටොප් එක ගැන හිත හිත මේ පැද්දි පැද්දි එන්නෙ ප්‍රියන්ත... උදේම නුවරින් පිටත් වෙන්න ඇති පව්... කවුද මේ කලු ලෝගුවක් ඇදගෙන බහින්නේ.. ආ වැම්පා මලයා... කොල පාට බෝතලේකුත් තියෙනවද මන්දා අතේ... අනිත් අතේ රිඳී හැන්දකුත් තියෙන්නෙ. මෙලෝ පිළිවෙලක් නැතුව කවුද මේ.. ආ.. අකේලේ හම්... තවත් කට්ටියක් කවුද? ඔහ් වාසල, රොයිලි බයිස්කෝප් ගැන්සිය... කවුද මේ කොල්ලො කෙල්ලෝ රංචුවක් එන්නේ... ආ.. හසී පවුල... මැද එන කොට ඩයල් එක පිස්සු හසියා වෙන්න ඇති.. ඔව්නෙ බිලී පිත්තකුත් අතේ තියෙන්නෙ.. සොඳුරු සිතේ වත් එක්ක එන පොඩි ගෑණු ළමයා හා පැටික්කි වෙන්න ඇති.. දෙන්නම මාතර නෙ... රතු පාට ශර්ට් එකක් ඇඳගත්තු ඇට මැස්සත් බරට අඩිය තිය තිය එන ටැබූත් ටිකක් වෘත්තීමය පෙනුමක් තමයි පල කරන්නේ.... ඩෙස්මන්ඩ් මොරිස්ගේ පොතකුත් තියෙනවා කිහිල්ලේ.. රංගත් කවුදෝ කෙල්ලෙක් එක්ක හෙමින් පාත් වෙනවා කෙල්ල නම් කැරොකි ක්ලබ් එකකින් ඊයෙ රෑ සෙට් කර ගන්න ඇති...(මේකට නම් මට හිනා ගියා). ඇස් දෙක රතු කරගෙන විටක් එහෙම හපාගෙන ඊයෙ බීවා වගේ එන්නෙ රවා..ඒ කියන්නෙ තුෂාර රවීන්ද්‍ර මලයා... මේ ඔක්කොමත් ඇවිත් අන්තිමේට කිසිම දෙයක් සිඳු නොවුන ගානට ශර්ට් එකකුත් උඩින් දාගෙන පොඩි උඩු රැවුලකුත් තියාගෙන කවුද මේ එන්නෙ කූල් එකේ..අනේ හද ගී පොත. තිස්ස අයියා... ඊට පස්සෙන් අස්සයා මැරිලා කඩුවත් නැති කරගෙන වගේ තංගල්ලෙ ඉදන් පයින් එනවා වගේ එන පොඩි දරුවා සෝරෝ... ඔන්න මතක් උන අයයි නැති අයයි දැන් ඇවිත්.. නැත්නම් ඉවරයක් වෙන්නෙ නෑ මේක.... ඒ අස්සෙ කවුද අර කලබලේ බොන්ගෝ එකකුත් පිටේ එල්ලගෙන දුවගෙන එන කළු තඩියා.. ආ..මගේ සඳ ලියන පසන් මල්ලි...


දැන් ඔන්න පටන් ගත්තා ගෙට්ටුව.... මොකුත් කතා පැවැත්තිලි නෑ... ඔක්කොම තම තමන්ව අඳුන්නලා දුන්නා.. වැඩේට ටිකක් වෙලා ගියා... කණ්ඩායම් වගේ බෙදිලා පොඩි ගේම්ස් වගේකුත් කරලා පොඩි සුහදත්වයක් වර්ධනය කර ගත්තා.. දැන් ඉතින් එකම පවුලක් වගේ.... බිරින්දෑවරු බ්ලොගියන්ටත් ස්වාමිපුරුෂයින් බ්ලොගයින්ටත් දුවා දරුවො වෙනම ලෝකයකටත් අවතීර්ණ වෙලා මේස ටික එහෙම එකතු කරගෙන දැන් තම තමන්ගෙ එක එක චොයිස් වලට සෙට් වෙලා... කාන්තාවො ටික සෙට් උනාම ආයේ දන්නවනේ.. කකුලෙ ගාන ඒවා.. මූනෙ ගාන ඒවා... ලමයා ලොකු කරගන්න හැටි. උයන පිහන හැටි (ඒ කතා වලට වැම්පාත් ගිහින් පොඩි ටෝක්ස් ටිකක් දීලා එනවා...) රස්සවලට යන හැටි මේ ඔක්කොම ගැන කතාව... පිරිමි ටික බස් එකක් අරන් කොළඹ වටේ ගිහින් ආවත් කිසි කෙනෙක් දන්නෙ නෑ....

පිරිමි දරුවො ඉතින් එක වැඩකට සෙට් උනා... සංවිධායක මණ්ඩලේ සැර බීම අත හැරලා තිබ්බ නිසා තම තමන් ගෙනාපු නෙක නෙක බෝතල් ටික මේසෙට වැටෙන්න පටන් ගත්තා.... වැම්පාගේ ඇබ්සින්ත් එකේ ඉදලා මාරයාගෙ ගල් බෝතලේ දක්වා එක එක ජාතියේ පාට පාට බෝතල් මේසෙ උඩට ආවෙ තම තම ණැන පමණින් අවශ්‍ය දේ පානය කරන්නට නිදහස එක්කයි. කොකා කෝලා, ස්ප්‍රයිට්, සෝඩා සහ පොඩි ස්නැක් එකක් සංවිධායකයෝ දුන්න නිසා බයිට් ප්‍රශ්නෙකුත් නෑ.. වැම්පා හදාගෙන ආපු බීෆ් මොකක්ද එකකුත් තියෙන්නෙ... ඒ ඇති නොවැ... වාසල, ප්‍රියන්ත, ජේඩී වගේ අය බොන්නත් කලින් බයිට් එකට වැඩේ දෙන්න සෙට් වෙලා... මෙච්චර වෙලා හිටපු නැති රචින්තයත් මේ ඉන්නෙ බොන මේසෙ. හරි ශෝයි... දැන් වැඩේ නැගලා යනව..... ඒ අතරෙ අපේ මේසෙ කතා බහ අච්චාරුවක් වගේ....
 

කතන්දරගේ කතා ඉතින් බොහොම හෙමින්... මේ සද්දෙත් එක්ක මොනවා කියනවද කියලා ඇහෙන්නෙත් නෑ.. පිස්සලා වැප්ලා මරනේලා දිනේශ්ලා කොල්ලෝ ටික එක එක බයිලා.. ඒ අතරෙ කෙල්ලො එහෙම පෙන්නලා පොඩි පොඩි ඉඟිබිඟිත් යනවා.. රනාගේ නීඩ් වීදුරුවත් කට්ටියගෙ අවධානෙට ලක්වෙලා... රවා කතාවලට හිනා වෙන ගමන් මගෙ උරහිසේ ඔළුව ගහ ගන්නවා.... ටැබූ ඉතින් අති විශිෂ්ඨ කතා පවත්වනවා කිහිල්ලෙ තියෙන පොතත් ඉඳහිට පෙරලෙනවා.. ඇට මැස්සා ඉතින් මහින්ද මහත්තයාට දෙනවා ඇෂ්ඨි හැලෙන්න.... ඒත් ඉතින් අහගෙන ඉන්න ආසයි... තිස්ස අයියත් පරන සිංදුවක් කොඳුරන ගමන් ඇඟිල්ලෙන් පොඩි තට්ටුවක් දානවා මේසෙට මේ ඔක්කොම කතා අහගෙන.. දුමියගේ මඩ පාරවල් කාගෙන දුකා එහෙම දත් මිටි කනවා... පූසො ටිකත් වෙනම ආතල් එකක් ගන්න ගමන් වැඩේට සෙට් වෙලා පාඩුවෙ බොනවා ලෝකෙ අන්තිම බීම වගේ.. බොන්නෙ නැතුව ඉන්න මල්ලිලා අයියලා එහෙමත් කිසි කරදරයක් නැතුව අපෙන්ම ආතල් අරගෙන ඉන්නවා... අනුරාධ මලයයි කුශාන් ලොක්කටයි වෙන වැඩක් නෑ.... ඉඳගෙන හිටගෙන නැවීගෙන නිදාගෙන ඇඹරීගෙන දත් මිටි කාගෙන පොටෝ අල්ලන එක තමයි රාජකාරිය... ආපු අයගෙන් 90%ක් වගේ අරගෙන ආපු ඩිජිටල් කැමරා වල එලි හතර අතට පත්තු වෙන අතරෙ තම තමන්ගෙ ජංගම දුරකථනවල කැමරාත් ක්‍රියා කරගෙන හැමෝම දඟලන්නෙ මේ සොඳුරු මොහොතේ සිහිවටන වැඩි කර ගන්න.... ඔය අතරෙ තමයි ඇස් දෙකත් හීනි කරගෙන පසන් මල්ලි එන්නෙ සබේට.. බොන්ගො එක එහෙම අරගෙන. ඔන්න සිංදු යන වෙලාව.. කාන්තා පාර්ශ්වයත් පුටු ටික අපේ මේසෙට ලං කරගෙන වැඩේට රෙඩි....


පසන්ගෙ අඳෝනා සිංදුයි, තිස්ස අයියගෙ පරන සිංදුයි වැම්පාගේ සරල සිංදුයි එකතු වුනාම සින්දු වල කිසිම අඩුවක් නෑ... එකක් ඉවර වෙනකොට එකක් ලෙස පටන් ගන්න සිංදු පෙරහැරට කාන්තාවන්ගෙ අත්පුඩියෙන් ලැබෙන සහයෝගයත් උපරිමයි... ඒක දැක්කම පූසෝ සෙට් එක එහෙම උඩ පැනලා සිංදු කියන්නේ.... නන්ස්ටොප් එකක්ම වෙච්ච සිංදු ටිකට කොල්ලො ටික ඩාන්ස් කරන්න එන්නෙ ආතල් එකේ උපරිමය විඳ ගන්න මිසක් වෙරි වෙලා නෙමෙයි කියන එක හැමෝටම තේරෙන දෙයක්. පාටිය අංග සම්පූර්ණ වෙලා යන්න එකෙක් වැටෙන්න ඕන නිසා ඔන්න කවුරු හරි බිම.... දැන් ඉතින් කට්ටිය ඒ ගැනත් කතාව... මික්ස් වෙච්ච හින්දා වෙන්න ඇති, උදේට කන්නෙ නැතුව හිස්බඩ ගැහුවද දන්නේ නෑ ඔය වගේ කතාව.. ඒ වගේ සිද්දි වලදි පෙරමුණ ගන්න වැපා, ඉතින් අර වැටුන චරිතෙ එක්කගෙන ගිහින් සාත්තුව. මරනෙත් උපදෙස් දෙනවා විතරයි ඌට... මේ අවු අස්සෙ මාරයාගෙ බණකුත් ඉල්ලනවා ගෑණු ළමයි ටික... උගේ කෙටි කාලීන ධර්ම දේශනේ ඉවර වෙද්දි තුන විතර වෙලා.... කෑම උනත් නරක් වෙන නිසා මිසක් බඩ්ගින්නක් නෑනෙ කියන කට්ටිය දහවල් අහාර වේල සට සට ගාල කෑවා... තව ඉතින් කතා බහ කරලා සනීපාරක්ෂක කටයුතු කරලා ඉවර වෙද්දි වෙලාව හතරයි...

සිප ගැනීම්, බදා ගැනීම්, වැළඳ ගැනීම්, කඳුළු සැලීම් වලින් පිරිලා දැන් කට්ටිය එක එක්කෙනාට යනවා කියනවා... ආයෙත් හම්බෙමු කියනවා.. දුරකථන අංක හුවමාරු කර ගන්නවා... සමරු සටහන් දා ගන්නවා... ඔය වගේ නොයෙක් විදි... අන්තිමේට ටැග් ගැහිලා ගැහිලා කට්ටිය විසිර යද්දි මමයි මගෙ නෝන මහත්තයයි ගෙදර එන්නෙත් ග
කරපු දවස ගැන පුදුම සතුටකින්..



ඔන්න ඕකයි මම දැකපු හීනේ.. මේකට තව දේවල් එකතු වෙලා මේකෙන් සමහර දේවල් හැලිලා කරුමෙටවත් වැඩේ උනොත් කොහොම වේවිද?  මටනම් හිතනකොටත් ආතල්..... හික් හික්...

ප.ලි. කට්ටිය කමෙන්ට් කරන්න කලින් මම කියන්නේ.. අර වැටුනේ මම නෙමෙයි.... විදේශ ගත වෙලා ඉන්න කට්ටිය ලංකාවට එන්නෙ කවද්ද කියලත් දාන්න.. මොකද කරුමෙටවත් හීනෙ සැබෑ වුනොත් එහෙම.... නම ලියන්න බැරි වුන අය සමාවෙන්න ඕන... අනවසරයෙන් නම් දාපු එකටත් සමාව ප්‍රසිද්ධියේ ඉල්ලනවා ඕං....