ඊලග කාරනය තමයි මම බ්ලොග් ලියන්න පටන් අරන් දැන් මාස හතර හමාරක් පමන වෙනවා.. බ්ලොග් කවුන්ටරේ දාගත්තෙ ඊට මාස දෙකකට විතර පස්සෙ.. කම්පියුටර් වැඩ කෑලි වැඩිය දන්නෙ නැති නිසා ආගිය කතා ලියන හසිත මලයගෙන් අහගෙන තමයි ඒකත් දැන ගත්තෙ.. දැනට මගේ පස්සෙන් එන අය 86 දක්වා වැඩි වෙලා.. බ්ලොග් කවුන්ටරෙත් 3100 පාරකට වඩා කැරකිලා.. ඊටත් වඩා මේ වැඩෙන් මාරම ෆිට් යාලුවො වගයක් හම්බ උනා... ඊලග ලිපියෙන් ඒ ගැන ලියන්න හිතාගෙන ඉන්නෙ.... ඒ ඔක්කොටම ඒ වෙනුවෙන් උපරිම ස්තූතිය පිරිනමලා ඔන්න දැන් කතාව පටන් ගන්න යන්නෙ....
අපේ අප්පච්චි ගමේ පරම්පරාගතව හිටපු කෙනෙක්... ගමේ ඉස්කෝලෙ පටන් ගද්දිම ඒකෙ මුල්ගුරු තුමාගෙ ලොකු පුතා... අප්පච්චිත් ගුරුවරයෙක්... විශ්‍රාම ගියෙත් නියොජ්‍ය විදුහල්පතිවරයෙක් විදිහට... ආදි කාලෙ මුල්ගුරුවරුන්ට ගමක තිබ්බ සැලකිලි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ... ඒ ගරුත්වයෙ සැලකිල්ල ගමේ තවමත් අපේ අප්පච්චිට හිමියි... අප්පච්චි ඉතා දැඩි ප්‍රතිපත්ති වල හිටියෙ... මට උනත් දඩුවම් කරන්න ගියාම ඒකෙ කිසිම සීමාවක් තිබ්බෙ නෑ... ඒ ගැන වෙනම පෝස්ට් එකකින් කියන්න පුලුවන්... ඒත් අප්පච්චිගෙ ශිෂ්‍ය ශිෂ්‍යාවො එක්ක හරිම ලෙන්ගතුයි... ඉතින් ඒ නිසා අප්පච්චිගෙ අවවාද අනුශාසනා වගේම ගුටි, වේවැල් පාරවලුත් ගෝල බාලයන්ට මදි නොකියන්න ලැබුනා...
දවසක් අප්පච්චි ගෙදර තියෙන වෑන් බූම් එක හදන්න ගෙවල් ගාව තිබ්බ ගැරේජ් එකට ගියෙ මාවත් අඩ ගහගෙන... අප්පච්චිගෙ ගෝලයෙකුත් ඇවිත් හිටියා බයික් එකේ රිම් එකක ඇද ඇරගන්න. කාලෙකින් මුණ ගැහුනු ගුරුතුමයි ගෝලයයි අතරෙ කතාව යනකොට මමත් පැත්තක ඉදගෙන අහගෙන හිටියා.... ගෝලයගෙ නම අමිල. අමිල ඉතින් අප්පච්චි ලගට ඇවිත් කතාව පටන් ගත්තා... සංවාදය පහත ආකාරයට තමයි ඕං යන්නෙ...
ආ සර්.. වෑන් එක හදන්න ආවද?
අමිල කොහොමද? ඔව්... මේ වෑන් එකේ උඩට පොල් ගෙඩියක් වැටිලා.. ඒකෙ ඇද ඇරගන්න ආවා මේ නිශාන්තට කියලා....
ආ.. මමත් සර් මෙ බයික් එකේ රිම් එක ඇදවෙලා ඒක පොඩ්ඩක් කෙලින් කර ගන්න ආවා... යාලුවෙක් අරන් ගිහින් තාප්පෙක හප්පලා.. මිනිහත් ඉස්පිරිතාලෙ...
අමිල... යාලුවන්ට දෙන්න ඕන දේවලුයි එපා දේවලුයි දෙවර්ගයක් තියෙනවා... මොනවා දුන්නත් කමක් නෑ.. හතරක් තියෙනවා යාලුවන්ට තියා වෙන කාටවත් දෙන්න හොද නැති....
මොනව කරන්නද සර්... ඇවිත් ඉල්ලද්දි බෑ කියන්නත් බෑ.. මොනවද සර් අර හතර?
පලවෙනි එක තමයි අමිල තමන්ගෙ පෑන.. මම කියන්නෙ මේ බෝල්පොයින්ට් පෑන ගැන නෙමෙයි.. අර ඉස්සර තිබ්බ තින්ත පෑන්.. ඒව තමන් ලියන අකාරය අනුව තමයි හැඩ ගැහෙන්නෙ....
ආ... ෆවුන්ටන් පෑන් කියන ඒව නේද සර්...
අන්න ඔව්.. දෙවෙනි එක තමයි තමන්ගෙ පොත්... ඒවා ගත්තොත් වෙන කිසිම කෙනෙක් ගෙනත් දෙන්නෙ නෑ... ඒ නිසා පොතුත් තමන් ලගම තියාගන්න ඕන..
අප්පෝ.. ඔව් සර්... මගෙ පොත් නම් ගෙනිච්ච එකෙක්වත් ආපහු ගෙනත් දීලා නෑ... ඇත්තම තමයි කතාව...

තුන්වෙනි එක අමිල තමන්ගෙ වාහනේ.... ඒවා ටික කලක් යද්දි තමන්ගෙ ඇගට බද්ධ වෙනවනෙ.... දෙන්නෙක් හෝ කිහිප දෙනෙක් පාවිච්චි කරද්දි එහෙම වෙනවා අඩුයි...
ඒකත් ඇත්ත සර්.. ඒත් ඉල්ලද්දි බෑ කියන්නත් බෑනෙ... ඊට පස්සෙ උන් හිතන්නෙ අපි ලොකුකමට දුන්නෙ නෑ කියලනෙ.. මොකක්ද සර් ඉතුරු එක...
අන්තිම එක අමිල තමන්ගෙ ගෑනි... ඒකනම් ඉතින් ඔයාලා කොහොමත් කරන්නෙ නෑනෙ කියල අප්පච්චි පොඩි හිනාවකුත් දැම්මා...
අපෝ..සර් අන්තිම එක තමයි කරන්න අමාරුම එක ඔතනින්... අමිල කිව්වෙ වටෙ පිටේ හිටපු ඔක්කොම හිනා ගස්සවලා...
අප්පච්චිටත් හිනා ගියා... ඒ හිනාවෙන්ම අප්පච්චි ඇහුවා මොකද අමිල එහෙම කියන්නෙ...
ගෑනු අයෙ අමුතුවෙන් දෙන්න දෙයක් නෑනෙ සර්.. උන් අපිට හොරෙන් යනවනෙ....
අප්පච්චිගෙනුත් හිනාව එලියට පනින්න ගියෙ බොහොම අවම කාලයක්... ප්‍රධාන බාස් විනාඩි දෙකකට වඩා වැඩ නැවැත්තුවා හිනා වෙන්නම.