Meemure Jungle Resort

Monday, May 21, 2012

විවාහ දින මතක සටහන්.. 2 කෝ කට්ටිය බායි කියන්න....

කලින් වෙච්ච කථාවට තිබ්බ ප්‍රථිචාර වැඩි වුනත් ලියන්න වෙලාවක් තිබ්බේ නැති නිසා දෙවෙනි කොටස දාන්න පරක්කු වුනා.... ඔන්න පොරොන්දු වෙච්ච විදිහටම ඒ කොටසත් අරන් මම ආවා.. දැන් වෙලාව 11යි.. පාරිභෝගිකයා දැන්ම ස්කයිප් කලොත් මේක ලියන එක හෙටට කල් යනවා.. ඒත් ඉතින් කවදහරි ලියන්න ඕන නිසා මම ලියන්න ඉඳ ගත්තා.... 


නැවැත්තුවේ මඟුල් දිනයේ හෝටලේට එන හරියෙන්නේ... දැන් දමියා බැහැලා දොර ඇරියා.... බෙර ගහනවා.. වෙස් නටනවා.. කැරකෙනවා.. පෙරලෙනවා... වැඩ කෝටියයි.... දැන් මේ පිටි පස්සේ ඉන්න දමියගෙයි ජනාගෙයි කතා....


අම්මපා.. මූටත් ගහනවනේ මේ බෙර.. මුගෙ චරිතෙ දන්නවනම් මුන්....


ඔව් ජනා අයියේ.. එහෙනම් මූට බෙර ගහගෙන අරුන් එක්ක යන්න වෙන්නේ....


එක දවසට ඕන දෙයක් කියාගනියව් කියලා මම සද්දෙ වහලා හිටියා... මුන්ගෙ කටවල් නවත්තන්න පුළුවනෑ මොනවා කෙරුවත්...


පෝරුව ගාවට යද්දි තමයි ලොකුම ප්‍රශ්ණේ... චූ බර... ඉවසන්න බෑ.. අහ්.. පහුගිය ලිපියේ ගොඩ දෙනෙක් අහලා තිබ්බා මුළු ඇදුම ඇන්දහම කොහොමද වැසිකිලි කැසිකිලි පහසුකම් කියලා.. ඔබ ඇන්දේ නියමම මුළු ඇදුමක්නම් මේ කාර්යය ඉතා පහසුයි.. නමුත් දැන් ගොඩාක් තියෙන්නේ මංගල උත්සව සඳහා අඳින්න විතරනේ.. ඒ නිසා ඒ වගේ පොඩි පොඩි අවුල් තියෙන්න පුළුවන්.. ඔන්න ආයෙත් කතාවට... පෝරුවට නගින්න තියෙන්නේ විනාඩි දෙකක් විතරයි... අශ්ඨක කියන්න ආපු තරුණ මහතා ලඟට කිට්ටු වෙලා මෙහෙම ඇහුවා...


අයියේ.. ටොයිලට් එකට යන්න වෙලාව ඉතුරුද? අමාරුයි ඉන්න....


අපොයි දරුවෝ... තව විනාඩියනේ.. පොඩ්ඩක් ඉවසන් ඉන්න.. කොහොමත් විනාඩි විස්සනේ....


බෑ කියන්නද ඉතින්.. ඔන්න දෙපැත්තේ වැඩිහිටියෝ එකතුවෙලා අපිව සුභ පොහොතින් පෝරු මස්තකාප්‍රාප්ත කලා... දැන් පෝරුවට නැගලා ගල් ගිල්ලා වගේ ඉන්නයැ.. බිරිදගේ කණට ලංවෙලා මෙහෙම කිව්වා වෙන කාටවත් ඇහෙන්නේ නැතිවෙන්න...


රංජු.. කණ පැලෙන්න චූ බරයි හලෝ.....


වටේ උන් බැලුවේ පෝරුව උඩ හිටපු මනමාලිට හිනාව පැන්නේ මොකද කියලා බලන්න වෙන්ටැ....


දැන් ඉතින් පෝරුවේ වැඩ යනවා... එක පාරටම මගේ ඔලුව හරියේ තිබ්බ දෙයක් ඇග ඇතුලෙන් බිමට වැටෙනවා වගේ දැනුනා... හිතා ගන්න බෑ මොකක්ද කියලා... වැටුනෙත් මගෙන් පිටි පස්සට.... පොඩ්ඩක් බලද්දි දමියයි ජනකයි හොරෙන් පහක් දා ගත්තා මම දැක්කා... මම බලනවා දැකලා ජනා පහත් හඩින් මෙහෙම කිව්වා...


මේ ඕයි... අන්න ලක්බිම බිම.. වස විලි ලැජ්ජාවයි....


මට තෙරුන් නෑ ඌ කියාපු හරුපේ.. මම ආයෙත් ඇහෙන් ඇහුවා මොකක්ද මචන් කියලා..



උරහිසට ඔබපු පත්තරේ.. අර ලක්බිම පිටුව.... ඔන්න බිමට වැටුනා.. උඹේ නෙමෙයි වගේ ඉදපන් ඉතින් දැන්....


හයියෝ හත්වලාමේ... මගේ කෘෂ ශරීරය මහතයි වගේ පෙන්නන්න ගිහින් වෙච්ච අලකලංචියක තරම... දෙයියො මූණ බලපු නිසා පිටිපස්සට වැටුනේ.. කොහොමද ඉස්සරහට වැටුනනම්....


ඊට පස්සේ ජය මංගල ගාථා.. ඉටිකිරිස් ගෑණු ලමයි ටිකක් බඩවල් පේන්න ලමාසාරි ඇදගෙන ඇවිත් කිව්වා ඒ ගාථා ටික.. වහලේ උළු ගැන ගැන හිටියා.. ඇයි උන් දිහා බැලුවානම් හිනා යනවනේ.. ඒත් තනියම ඕවා බලන්න හොද නැතිනිසා බිරිදටනම් පෙන්නුවා කොහොමද අර බඩවල් ටික කියලා...


කොහොම කොහොම හරි ඒ වැඩ ඉවර කරලා ඉක්මනට දුවලා ගිහින් චූත් කරලා ඇවිත් වදින්න පටන් ගත්තා... අර කිට් එක ගහගෙන වදිනවා කියන්නේ හොද පණ ගියා.. ඒ අතරෙ ඡායාරූප ශිල්පියා නෑ.. ජනායි දමියයි ඌව එක්ක ගිහින් බොන්න.. ගෝලයෙක් මෙහෙ ෆොටෝ ගන්නවා.. අයියෝ එහෙම විකාරයක් නම් එදා.... මුළු ඇදුම ඇදන් හිටපු මාව දැකලා අපේ ඔෆිස් එකේ උන් දුන්න කාඩ් එකේ මෙහෙම ලියලා තිබ්බා....


අභියාගේ පස්ස නිකන් නාකි අලියෙක්ගේ වගේ.....


කොහොම හරි පිරිවර ගිහින් ඇඳුම් මාරුකරගෙන ආවා.. රෑ 12ට තුප්පොට්ටිය ඇදපු මට 3.00 වෙනකම්ම ඒක ඇදගෙන හිටියා... පිරිත් එහෙම කියලා අන්දපු හින්දා මස් මාළුවත් කන්න හොද නෑ නොවැ... ඉතින් ඉවසගෙන හිටියා.. සමුගන්න මොහොතත් ආවා...


මම කලින් ලිපිවලත් කියලා තියෙනවනේ.. අපේ අප්පච්චිට ඉක්මනට තරහ යනවා කියලා... හෝටලෙන් එලියට යද්දි අපිට විදින්න ගෙනත් තිබ්බා ස්නෝස්ප්‍රේ එකක්.. දෙයියනේ කියලා ජනකයා වෙරි පිටම මාව මග ඇරලා අපේ අප්පච්චිගේ මූණ පුරා විද්දා... එතනින් එහාටනම් තත්වය සෝචනීයයි.. හොඳම වැඩේ කැමරාමන්... අපි දෙන්නා කාර් එකට නැගලා ඉද්දි ඒකේ හොඳ ෆොටෝ එකක් ගන්න කැමරාමන් කට්ටියට කෑ ගහනවා...


කෝ බායි කියන්න.. බායි කියන්න....


කට්ටිය බායි කියනවා.. අපි දෙන්නත් බායි කියනවා.. ඒත් ෆොටෝ එක නෑ.. බලද්දි කැමරාව තනි අතින් අල්ලන් කැමරාමනුත් අපි දෙන්නට බායි කියනවා... අනේ සංසාරේ....


මේ කිව්වට වඩා නොකිව්ව දාහක් වද විදලා පළවෙනි දවස නිමා කරලා අපි මධුසමයට පිටත් වුනා...


ප.ලි. : ඉතිරිය ඊලඟ කොටසින්...

Thursday, May 17, 2012

විවාහ දින මතක සටහන්.. අපොයි මෙන්න මෙහෙම මඟුල්....

පස්වෙනි විවාහ සංවත්සරයත් ලඟම එනවා... ඒ නිසා මේ ගැන මතකය අවදි වෙච්ච අතරේ මගේ විවාහ දිනයේ රසබර මතක සටහන් ටිකක් ඔයාලට දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ.... හැමෝගෙම මංගල දිනයන් වල මේ වගේ මතක අනන්තවත් ඇති... රංගයත් දාල තිබ්බේ මඟුල වෙච්ච හැටි කියලා පෝස්ට් එකක්.. මම දැක්කා පරක්කු වැඩි නිසා කමෙන්ට් කලේ නෑ... අපි ඔය ගැන කිව්වොත් ඉතින්... වටේ යන්නේ නැතුව කතාවට බහිමු... (පොඩ්ඩක් ඉන්න හරියටම දිනේ මතක් කරගන්න තෑන්කින් කාඩ් එකක් හොයාගන්නකන්...)


ඔන්න 2007 ජූනි මාසෙ 6 වෙනිදා තමයි විවාහ මංගල්ලේ තිබ්බේ.. වාද්දුවේ බ්ලූ වෝටර් එකේ තමයි ඒක තිබ්බේ.. මම ඉතින් කුරුණෑගල ඉදන් වාද්දුවේ එනවා කියන එකේත් දන්නවනේ පරිප්පුව... 


කොහොම හරි ඔන්න ජූනි 5ත් වුනා... යාළු මනමාලයෝ වුනේ දමින්ද සහ ජනක... උන් දෙන්නා ගෙදරට ඇවිත් කතා කර කර ඉන්න ගමන් ඇහුවා 


මචන්, දැන් හෙට කාර් එක කීයටද එන්නේ?


අප්පට සිරි, කාර් එකක්... ඒක තාම කතා කලේ නෑනේ... උන් දෙන්නත් එක්කම පිටත් වෙලා කර් රෙන්ට් කරන තැනකින් මහ රෑ ගත්තේ කාර් එකක්.... අරන් විනාඩි 5ක් යන්න කලින් පැට්‍රල් ශෙඩ් එකකදි වස් දොස් යන්නත් එක්කම පිටිපස්සෙ එක පැත්තක් ඇද කලා... කොහොම හරි කාර් එක ගෙදර ගේද්දි 10යි....


අවසානෙට කටයුතු හොයා බලලා ඔක්කොම හරි කියලා හිතාගෙන අපි තුන් දෙනා මගේ කාමරේ පොඩි ඇලට් එකක් දාන්න හිතාගෙන ඇලවුනා.. මොකද උඩරට සාම්ප්‍රදායික කිට් එක ගහපු නිසා අන්දන අය එනවා කිව්වේ 12ට. දැන් ඇලට් එක දාන්න හදද්දිම ජනක කථා කරනවා....


මචන් අභිය...,


ඇයි බන්.. නිදා ගනින්කො....


සමා තරහා වෙලා බන්. මට නින්ද යන්නේ නෑ... (සමා කිව්වේ ජනකගෙ කෙල්ල)


ඉතින් බන් උඹටනේ නින්ද නොයන්නේ.. අපිට නින්ද යනවනේ....


උඹට පුලුවන්ද බන් මම ඇහැරිලා ඉද්දි නිදා ගන්න.... දමින්ද මල්ලි උඹත් නිද්දි බන්...


ම්ම්... ඔව් අයියේ...


ඒ ඇහැරලා හිටපන්කො.... මොකක්ද බන්.... 


අඩේ ජනා වද නොදී නිදා ගනින්... මෙතන ආතල් නොදී....


කියනකොටම ගෙදර පෝන් එක රිං වුනා... 


මල්ලි 11.30යි. අපි මේ අන්දන කට්ටිය කතා කරන්නේ... 12 වෙද්දි අපි ඔතන. දෙන් මූන කට හෝදගෙන ලෑස්ති වෙන්න,,,,


හරිනේ.... දැන් මම මුන් දෙන්නට පණිවිඩේ කිව්වා... ජනා නැවතත් ප්‍රශ්ණයක්...


අභියා... බ්‍රශ් එකක් ගෙනාවේ නෑ බන්.. වැඩි පුර එකක් නැද්ද?


කොහෙන්ද බන් වැඩිපුර බ්‍රශ් තියෙන්නේ.... 


ජනක අයියා, කාර් එකේ ලොකර් එකේ තිබ්බ එකක්... කාගෙද දන්නේ නෑ හැබැයි....


කාගේ වුනත් මොකද බන්, ඌ දන්නවයෑ මම ඒකෙන් මැද්දා කියලා..


ඔන්න ඔහොමයි ජනක එදා දත් මැද්දේ...


දැන් 12.04ට විතර තමයි අන්දන නැකැත් තිබ්බේ.... දිනකට කලින් මස් මාංශ වලින් වැලකිලා එහෙම හිටපු නිසා පිරිත්  දේශනා මැද්දේ ඔන්න අදින්න පටන් ගත්තා.... අප්පා.. එහෙම ඇඳුමක්.. අඳිනවා අඳිනවා ඉවරයක් නෑ.... අර උරහිස් වල තියෙන ලොකු බෝල වගේ කෑලි වලට පත්තර පිටු ඔබමින් දැන් මෙයාලා ඇන්දුවා... අන්දලා ඉවර වුනාම පිටි පස්ස හැරෙන්නවත් බැරි තරමට ඇග විශාලයි... පිටි පස්ස බලන්නත් සයිඩ් කණ්ණාඩි දෙකක් හයි කරගන්න වෙයි වගේ...


දැන් ඉතින් අපි ඔක්කොම ඇඳගෙන නෑයෝ ටිකත් පටවගෙන එනවා... කාර් එකේ එද්දි ජනකයා ආයෙත් පටන් ගත්තා උගේ සාමාන්‍ය ආතල් දීම.... ඉස්සරහා දමින්ද.. පිටිපස්සේ මමයි ජනකයි.... මල් කුමාරයෙකුත් අපි දෙන්නගේ මැද්දේ....


මචන් අභියා,


ඇයි?


තවම උඹ පරක්කු නෑ..... ඕනනම් කාර් එක හරවගෙන ආපහු යමන්...


ඒක තමයි ජනක අයියේ.. අපි විඳින වදේම බලහන්කෝ.... මූ මොන වදයක් විදීද පස්සට...? දමියත් පොහොර දානවා....


මොකද අභියා කියන්නේ.. හරවලා අපහු යමුද?


ඔය වගේ රස කථා අස්සේ ඇවිත් පොටෝ ගහලා හෝල් එකට ගිහින් අරව මේවා වැඩ ගොඩායි..... හෝටලේට ඇතුල් වෙද්දිම කැමරා ශිල්පියා දුවගෙන ඇවිත් ඉස්සරහා හිටපු දමියට මෙහෙම කිව්ව


මල්ලි, ඔයා බැහැලා මෙයාට දොර අරින්න....


මම දැන් දමියට කියනවා...


"අඩෝ.. $%&^, ඉහින් ඇරපිය දොර... තෝ කාළකණ්ණියා දොර ඇරියේ නැත්නම් බලා ගත්තැකි..." ඒ අතරෙ ජනකයත් බනිනවා ඌට.. මොකද ඌ දොර අරින්නම එපායැ දැන්... ඒ වෙලාවේ උගේ කටින් නික්මුණ වචන නම් තරු කොටු දාලාවත් ලියන්න බෑ....


අන්තිම තත්පරයට වගේ හෝටලේට ආපු නිසා කෙලින්ම පෝරුවට ගොඩ වෙන්නයි තිබ්බේ.... මෙතනින් පස්සේ ටික ඊලඟ කොටසින් කියවමු... මම හිතන්නේ කොටස් හතරක් වත් ලියන්න වෙයි.... 


ප.ලි. මේ ලිපි පෙල අවසානයේ මම පොඩි අවවාදයක් දෙන්නත් බලපොරොත්තු වෙනවා කට්ටියට.. වෙඩින්ග් එකක් ගන්නේ කොහොමද කියලා....

Tuesday, May 15, 2012

ඔබා වෙනුවෙන් මහා පුණ්‍ය කර්මයක් කරනාතුරු ඔබ සැමට.....

සනත් අයියා කියන්නේ බ්ලොග් අවකාශයට තව දුරටත් අමුත්තෙක් නෙවෙයි... සනත් අයියාගේ වියෝව දිනයේ ෆේස්බුක් නම් සමාජ ජාලයේ මෙන්ම සිංහල බ්ලොග් අවකාශය තුල තිබුණු අරුත් වැකි මෙන්ම බ්ලොග් ලිපි ඒ පිළිබඳව මොනවට සාක්ශි දරනවා.... අපි දන්නවා... ඊලඟට අපි ඔක්කොගේම හදවතේ තියෙන්නේ එක පැණයයි.. ඔබා වෙනුවෙන් අපි මොනාද කරන්නෙ කියන එකයි... මේ දිනවල මට ලැබෙන දුරකතන ඇමතුම් වලින් ඉතා විශාල පිරිසක් ඒ සඳහා ලක ලැහැස්ති වෙලා ඉන්නවා කියලා තේරෙනවා.... ඉදිරියේදී සාකච්ඡා කරලා අපි ඒ වෙනුවෙන් තීරණය කරගනිමු.... වර්තමාන තත්ත්වය පහත පරිදියි...


පහුගිය දවස් කිහිපයේ මාරයාත් මමත් ඇතුළු පිරිස ඔබාගේ පවුලේ ඥාතීන් හා දිගින් දිගටම සම්භන්ධ වුනා.. ඒ අනුව අලුත්ම තත්ත්වය වන්නේ එළඹෙන සිකුරාදා දින ඕස්ට්‍රේලියාවේදී ආදරණීය සනත් අයියා අපෙන් සමු ගන්නා බවයි.. එදිනම රාත්‍රී ඔහුගේ ගම්පහ නිවසේ සුමදුර ධර්ම දේශණාවක් පැවැත්වෙන අතර සෙනසුරාදා දහවල් සාංඝික දානයක් පිලිගැන්වීමට නියමිතයි..


එදිනට අපිට සහභාගී වීමට එනිවසින් ආරාධනා ලැබුණා.. ඒත් මගේ පුද්ගලික හැගීම නම් අපි සියල්ල එහිගොස් නිවැසියන්ට කරදරයක් වනවාට වඩා කිහිප දෙනෙක් එහි ගොස් ඒ සඳහා සහභාගී වීමටයි. ඉදිරි මාසය ඇතුලත ඔහු වෙනුවෙන් බ්ලොග් අවකශය නියෝජනය කරමින් මහා පින්කමක් සිදු කිරීමට කතිකා කර ගනිමු....


ඒ වගේම සයිබර් සිහිණ උළෙල සංවිධායක කමිටුවෙනුත් මම ඉතා කාරුණිකව ඉල්ලන්න කැමතියි එහි අනුග්‍රාහකයින්ගෙන් ලැබුනු මුදල් සනත් අයියා වෙනුවෙන් වැය කිරීමට කටයුතු කරන ලෙසට..


ඔබේ අදහස් අගයමි...   

Sunday, May 13, 2012

ආදරණීය සනත් අයියේ, උඹට සමු දෙන්න මගේ හිත හයිය නෑ අයියේ....

කොතනින් පටන් ගන්නද? කොතනින් ඉවර කරන්නද කියලා මට තවමත් හිතෙන්නේ නෑ....  ගිය අවුරුද්දේ ජනවාරි මාසයේ පළවෙනි සයිබර් සිහින උළෙල ගැන පෝස්ට් එකක් වැටෙනකොටම මගේ ස්කයිප් එකට රික්වෙස්ට් එකක් ආවා... ඒ ඕස්ට්‍රේලියාවේ පදිංචිය සදහන් කියලා සටහන් වුන සනත් විජේවර්ධන කියලා කෙනෙක්ගෙන්.. රික්වෙස්ට් එක පිළිගත්ත ගමන්ම වීඩියෝ කෝල් එකක් ආවා....මම ආන්සර් කලා.....


අහ් අභීත.. මම සනත්... දන්නවද දන්නේ නෑ.. ලාස්ට් රෝ එකේ ඔබ්සර්වර්...


අම්මට සිරි ඔබා අයියේ... තැන්ක් යූ රික්වෙස්ට් එකක් එව්වට....


එතැනින් ඇරඹුන කථාබහ පෙරේදා රෑ වෙනකනුත් ඉතා සුහදව ගෙවුනා.. ඔහුගේ අපේකම සංකේතවත් වුනේ මෙන්න මෙහෙමයි....


අභීත.. මම අප්‍රේල් ලංකාවට එනවා... උඹ කාර් රෙන්ට් කරනවනේ... මට එකක් දියන්.. වෙන උන්ට සල්ලි දෙනවට වඩා අපේ එකෙක්ට දෙන එක හොදයිනේ...


මේ තවත් දවසක්...


අභීත මගේ දුවලා ලංකාවට එනවා.. උන්ට ජෙට්වින් එකේ කියලා කියන ඩ්‍රයිවරයෙක් සෙට් වෙලා ඩොලර් 650ක් ඉල්ලනවා.. උඹට කරන්න පුළුවන්ද ඊට අඩුවෙන්.. පුළුවන්නම් කියපන්.. මම සෙට් කරන්නම්....


මෙහෙම හෘදයාංගම වෙච්ච සහෘදයින් මගේ ජීවිතේට මුණ ගැහිලා තියෙන්නේ අතලොස්සයි... මේ තවත් අත්දැකීමක්... පහුගිය අවුරුද්දේ අග භාගයේ මම දරුණු චෝදනා කිහිපයකට නිල නොලත් වශයෙන් මුහුණ දුන්නා මේ බ්ලොග් අවකාශේ.. ස්කයිප් කෝල් එකකින් මාව අමතපු ඔබා අයියගේ දෙබස තමයි මේ...


අභීත, උඹට මොකක්ද මේ දවස්වල වෙලා තියෙන්නේ...


පොඩි සල්ලි හිරවීමක් අයියා...


කවුන්ට් නම්බෙර් එක එවපන්.. මම හෙට එකවුන්ට් එකට එවන්නම්... මම අප්‍රේල් 1 ලංකාවට එනවා.. එදාට දීපන්...


ඊට පහුවදා මගේ බැංකු ගිණුමේ ඇදහිය නොහැකි තරම් මුදලක් බැර වෙලා තිබ්බා...


ආදරණීය අයියේ.. මේවා කා එක්කවත් කියනවට උඹ කැමති වුනෙත් නෑ... ඒත් අදනම් නොකියම බෑ... කවුරු මොනවා කිව්වත් උඹේ මනුස්සකම හිර කරලා තියන්න මට බෑ...


ලංකාවට ආපු හැම වෙලේම පළමු දුරකථන ඇමතුම ගන්නේ මටනේ...


"මේ උඹ කොහෙද? මම එයාපෝට් එකේ..."


එතැනින් පස්සේ හමුවෙන හැම මොහොතක්ම සුංදරයි....


අවසානෙට මට ඔබාව මුණ ගැහුනේ මැයි පලවෙනිදා... ඒ මම ඒ මාසේ දුවන්නට ලබා දුන්න කාර් රථය ආපහු ගන්න ගිය වෙලාවේ.. ගියේ අන්තිම පේලියේ මාමයිට් මල්ලියි මමයි... බිරිඳට හොරෙන් ඔහු ඇහුවෙ මෙහෙමයි...


මම හෙට යනවා... ගේ ඇතුලේ පොඩ්ඩක් තියෙනවා... මොකද කියන්නේ.. ගහලා යනවද? 
ඒත් අවාසනාවට ඒ දේ සිද්ද වුනේ නෑ....



අවුරුදු උත්සවේ ගැන කියන්න දෙයක් නෑනේ... ඔහු අපේ වියපත් බඹරා වුනා කිසිම අවුලක් නැතුව.... ඒ මිත්‍රත්වය ගැන එදා ආපු හැමෝම සාක්කි දරාවි...


කොහොමද මම මේ ලිපිය ඉවර කරන්නේ....


උඹට සමුදෙන්න මට වචන නෑ සනත් අයියේ.... අපි අතරටම නැවත ඇවිත් අපේම වෙලා ඉපදියන් අයියේ.....

Monday, May 7, 2012

මගේ ලෝකයේ රංගගේ විවාහයේ සැබෑ තතු.... සහ හවත් බ්ලොග් ගොසිප්ස්.....

සුභ විවාහ ජීවිතයක් වේවා මචන්.....!
ගොඩාක් කාලෙකින් කාටවත් මඩක් ගහන්න බැරි වුන නිසා අද පටන් ගත්ත මගේ ලෝකයේ රංගයාව ප්‍රධාන චරිතෙ හැටියට... ඔයාලා කවුරුත් දන්න හැටියට දැන් ඌ විවාහක පුරුශයෙක්... අර සිංහ නාද ඔක්කොම බලු කෙදිරිලි වෙලා තියෙන්නේ.. පේනවනේ ලියන පෝස්ට් වල තියෙන දියාරු ගතිය... විවාහ වුනෙත් ඔබ කවුරුත් දන්න සුපුරුදු බ්ලොග් කාරිණියක් එක්ක.. "නෑ මම වෙඩි තියන්නේ මේ සමනලයට" බ්ලොග් එක ලියන "රමීශා" තමයි මුගේ මනාලිය.. ඉතින් මේ බ්ලොග් එක ලියන්නේ කොල්ලෙක් කියලා කියපු එවුන් හිතන්න එපා රංගයා කොල්ලෙක්වද බැඳලා තියෙන්නේ කියලා... මගෙ මේ ඇස් දෙකෙන්ම දැක්කා ඒකි කෙල්ලෙක්....   



එක පාරටම ෆේස්බුක් එක නැවැත්තුවා.. ඒ එක්කම බ්ලොග් එකත් නැවැත්තුවා... අපිට නිකම් ඔල්මොරොන්දම් වගේ මෙච්චර ෆිට් එකේ හිටපු එකා අපිටත් නොකියා මේ කරන වැඩ ගැන අපිටත් නිකන් චාටර් හැගීමක් ඇති වෙලා තිබ්බේ... ඉතින් ගත්තා දුරකථනෙට.. දෙබස මෙහෙමයි...


අඩෝ උඹට මොකද වෙලා තියෙන්නේ....?


මොකුත් නෑ බන්.. ටික දවසක් ෆ්‍රී එකේ ඉන්නවා බන්....


ඇත්ත කියහන් උඹට කෙල්ලෙක්වත් සෙට් උනාද?


නෑ බන්.. ගිය සතියේ මම බැන්දා..... (ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ දැනුනේ මට...)


ඈ...? උඹ කිව්වෙවත් නෑනේ කව්ද කෙල්ල...?


මොකද බන් කිව්වෙ නැත්තේ.. අපි අර අන්තිමට සෙට් වුන වෙලාවේ මම ලසියාට කිව්ව.. උඹ නිදි ඒ වෙලාවේ...


හරි හරි සුභ පැතුම් එහෙනම්...


හරි මචන්.... මේ දවස් ටිකේ රෑ 12 වෙනකම් ඔෆිස් එකේ වැඩ... එපා වෙලා ඉන්නේ..


හරි බන්.. අපි උඹට සෙට් වෙන්න කතා කරන්නේ නෑ.. භය නැතුව හිටු....


දැන් මූ බැන්දා කියන එක හරි... ඒත් මූ බැන්දෙ කවුද කියන එක තමයි ප්‍රශ්ණේ... දැන් ඉතින්  මම දන්න උන්ට කතා කලා.. උන් දන්නේ නෑ.... අන්තිමට දවසක් ආවා අපි ටික සෙට් වෙන.. එදා දවසේ දුරකථන ඇමතුම තමයි මේ...


අසියා.. අද හවස සෙට් වෙමුද කොට්ටාවේ....


අද නම් අවුලක් නෑ කීයටද?


7ට විතර... අර ඇබ්සින්ත් එක ගහමු.. 


මම බියර් එකක් ගහන්නම් මචන්.. ඇබ්සින්ත් බෑ... වෙන කවුද එන්නේ.... (අම්මට සිරි.. මූ දැන් දෙන ටෝක්ස් සහ අහන ප්‍රශ්ණ... මට ඉතින් යටි සිතින් සිනා....)


මමයි, ලසියයි, පැට්ටයි තමයි.. පසනාට කතා කරන්නේ නෑ...ඌට මේ සෙනසුරාදා එක්සෑම්.. අරක බීලා මොනවා වෙයිද කියලා කවුද දන්නේ....


හරි මම එන්නම්.. හරියට 7 වෙද්දි මම උඹලගේ ගෙදර...


පුළුවන්නම් ගෑණිත් එක්ක වරෙන්.. නැත්නම් ෆොටෝස් හරි ගෙනෙන්...


හරි මචන්... මම කියලා බලන්නම්....


හවස 7 වුනා.. ත්‍රිරෝද රතයක් ආවා.. ඒකෙන් බැස්ස මුගෙ මනමාලි දැකලා මගේ ඇස් දෙක උඩ ගියා... මූට මේක කියන්න බැරි වුනානේ කියන තරහටම නොසරුප් වදන් පේලියක් මගේ මුවින් පිට වුනා... උන් දෙන්නා උන්ට නෙවේ වගේ අහගෙන හිටියා.... කොහොමත් සෙට් වෙච්ච ගෙදර කවුරුත් නොහිටපු නිසා මේ කෙල්ල අපිට උයලා බයිට් එහෙම හදලා දුන්නා.. අරූ බියර් කෑන් 8ක්ද කොහෙද ශීතකරණයට දැම්මා... පැට්ටා එන්න පරක්කු වෙච්ච නිසා මුගේ ප්‍රේම පුරාණය කිව්වා... මමත් ඉතින් අහගෙන හිටියා.. දවස් අටක් ඇතුලත යාළුවෙලා බැදලා ඔක්කොම ඉවරයි කියන්නේ... මෙන්න මෙතන ඉදන් තමයි සිංහයා බලු වුන කතාව පටන් ගන්නේ... 


දැන් කොල්ලා බියර් බිබී හිටියා... නමුත් මූට ඇබ්සින්ත් එක බොන්නත් ඔන.. මූ හෙමීට ඇබ්සින්ත් එකට අත තිබ්බා.. 


ඒයි.. ඔයා බියර් නේද බොනවා කිව්වේ... දැන් මොකද ඔය කරන්නේ...?


වයිෆ් දිහා මූ බලපු අසරණ ඇස් දෙකේ දාහක් දේවල් ලියැවිලා තිබ්බ බවක් මමයි පැට්ටයි දැක්කා ..... :( :(





කථාව දිග වැඩි නිසා තවත් බ්ලොග් ගොසිප් එකක් කියන්නම්.. ගිය පාර සයිබරයේ සිහින උළෙල නිසා ඇන්ඩ්‍රොයිඩ් නයි ඇරියේ රංග... මේ පාරත් එහෙම පොරක් හිටියා.. ඒ වෙන කවුරුත් නෙවේ....අපේ ලියන්නා ලොක්කා.. ඔව් ඔව්.. අර බුරුසු රැවුල තියෙන පොර තමයි... කලින් දවසක් සෙට් වෙද්දි කවුරු හරි මෙහෙම ඇහුවා...


ලියන්නා අයියේ.. කීයක් වුනාද බන් ෆෝන් එක....


අනේ.... වැඩි ගානක් නෑ බන්.. පනස් දෙදා....හයි....


ඌ ඒක කියපු විදිහට අපි ඔක්කොටම හිනා ගියා... දෙවෙනි සිද්ධිය මේකයි... සිහිණ උළෙල දවසේ ඕනයා ඉස්පිරිතාලෙනේ... දැන් මේක ආරන්චි වුන එවුන් මගෙන් අහනවා විස්තර.. ඔන්න දහ දෙනෙක් විතර වට වෙලා මගෙන් විස්තර අහනවා...


ඒ අභීත අයියේ.. ඕනයාට කොහොමද බන්...


ඌට ටිකක් අමාරුයි බන්.. හොස්පිට්ල් ඇඩ්මිට් කරලා..


නෑ.. කොහෙද?


නාරාහේන්පිට ආසිරි එකේ බන්... කිරුළ පාරෙ එකේ....


කීයද අයියේ වෝඩ් එක...


307..


ඔක්කොම ඉස්සරහා සැම්සුංග් ෆෝන් එක ඇදපු ලියන්නා මෙහෙම ඇහුවා..


අභියා.. කීයද බන් වෝඩ් එක කිව්වේ.....


307 බන්....


ඒකේ පේන්ට් එක ඕපන් කරපු වෙනියා ඇගිල්ලෙන් 307 ඇදලා සේව් කර ගත්තා... සැනසුම් සුසුමක් හෙලලා මෙහෙම කිව්වා...


අද හවස යන්න ඕන බන් බලන්න ඌව...


අනිත් උන්ගේ කටින් පිට වුනේ මේ වගේ දෙයක්...


අම්මට සිරි.. කෝමද ලියන්න අයියගේ ෆෝන් නයි පාර....

Thursday, May 3, 2012

සෝ සෝ ගාන සුදේසීය සේවේ.....


මගෙ බ්ලොග් එකේ නම "ටිකක් හිනා යන්න" වුනාට මොකද පහුගිය ටිකේ අනන්මනන්, සමාජ සුභ සාධන කටයුතු, පිට කසා ගැනීම්, කඩේ යාම් වගේ දේවල් ලිව්වට පස්සේ මගේ තේමාවට අදාලව මොකුත් ලිව්වේ නැති නිසා මට හිතුනා මොනා හරි අටමගලයක් අදනම් ලියන්නම ඕන කියලා.. ගමේ කතා කිහිපයක්ම ඔයාල කියවපු නිසා තවත් එක් අපූරු චරිතයක් ගැන මම අද ලියන්නයි හිතුවේ... 


මතකද අර උරුලෑවා කථාව.. ඒකෙදි මම කීවනේ  අපේ ගමේ උඩහ සහ පහල ලෙස කොටස් දෙකක් තිබෙන බවත් ගමේ හැමෝම නැදෑයෝ වෙන බවත් මම කීවා.. වර්තමානයේ අඩු උනත් කුල බේදයත් මීට අවුරුදු 10කට විතර කලින් ටිකක් සැරට තිබ්බා.. ඒ වුනාට හැමෝටම කියන්න දුරින් උනත් ඕනම වෙලාවක නෑ කමක් තිබ්බා.. ප්‍රේමයේ නාමයෙන්... "අසිරිමත් වු දේකි මෙලොව ප්‍රේමය නමිනා.. " කියනවනේ... ඔන්න යනවා වටේ.. මෙන්න කථාව....



ලීලා කිරි අම්මයි කුඹල්පොල අත්තයි 55 පැනපු වයසක ජෝඩුවක් ඒ කාලේ... දරු මල්ලෝ නැතුව පොඩි ගෙදරක තමන්ගේ පාඩුවේ ජීවත් උනා... ඒ වුනාට කිරි අම්මානම් පට්ට ඕපෙ, ඒ වගේම මෝහෙ.. කෙල්ලෙක් පැනලා ගිය විස්තරේ අල්ලපු ගෙදර කණ නෑහෙන පියතිස්ස අත්තගේ කිරි අම්මට බෙරිහන් දීලා කියන ගමන් බල්ලෙක් හරි තමන්ගේ වත්තේ මායිමට එනවද කියලා ඇහැ දාගෙන ඉන්නේ... ගේ ඉස්සරහ වගේම වැටේ මායිමේ පුවක් ගස්වල හැදෙන පුවක් ඉතිවල තියෙන ගෙඩි ගනන ටක්කෙටම කිව්වැකි උන්දැට කණ්ණාඩි නොදාම.... කුඹල්පොල අත්තා වැඩි කරදරයක් නැති උන්දැ කියලා තමයි ගමේ වැඩිහිටියෝ කියන්නේ... උන්දෑ කරපු රස්සාවෙන් විශ්‍රාම ගිය ගමන්ම තමුන්ගේ වාහේ දාල ගිහින් මහණ වුනා... එදායින් පස්සේ කුඹල්පොල හිමි බලන්න නිතර යන එන එක ගමේ කාගෙත් පුරුද්දක් වුනා වගේම ලීලා කිරි අම්මාටත් හැකි ලෙස උදව් පදව් කරමින් ගම් වාසීන් ජීවත් වුනා...


ලීලා කිරි අම්මට දරුවෝ හිටියේ නෑ කියලා අපි කිව්වනේ.. සහෝදර සහෝදරියන්ගේ දරුවෝ තමයි සැලකුවේ.. ඇත්තම කියනවානම් හතර ලියද්දෙ හිටපු අක්කගේ දරුවෝ තමයි අදටත් වැඩියෙන් සලකන්නේ... ඉතින් මේ දරුවෝ අතරේ විදේශගත වෙලා හිටපු තිස්ස බාප්පා එයාගේ ගෙදරට අළුත් රූපවාහිනියක් ගෙනාපු නිසා ගෙදර තිබ්බ පරණ රූපවාහිනිය ලීලා කිරි අම්මට දුන්නේ ඇගේ පාළුව මකාගන්නටත් බණක් දහමක් ගෙදර ඉඳන් අසා ගන්නටත් රුකුලක් වේවි කියලා හිතුණු නිසා වෙන්න ඇති.... ලීලා කිරි අම්මත් බණ්ඩා මාමගේ ලොකු පුතා වෙච්ච කාන්චනයට කියලා මේකට ඇන්ටොනා එකක් එහෙම ගෙනත් අටෝගත්තා.. ඕන්න දැන් උන්දැ බලනවා ටැලිවිසොන්....


මේ අතරේ දවසක සමූපෙට යන්න ආපු ලීලා කිරි අම්මා අපේගෙදරට ගොඩ වෙලා තමන්ට සුපුරුදු කුස්සියේ පොඩි පුටුවෙන් ඉද ගත්තා.. එතනින් ඉද ගන්නේ කුස්සියේ වැඩ කරන ලුසියයි, අපේ අම්මයි එක්ක හොඳ ඕපයක් ගහගෙන තේ පොඩ්ඩක් බොන්න හම්බෙන එක නිසයි... දෙයියනේ කියලා අපේ අම්මාටත් බැරිම දේ තමයි ඔය ඕප වලට ඔළුව දාන එක. බත් මුට්ටිය රොස් වෙන සුවඳට අපි කාමරේ ඉඳන් කෑ ගැහුවේ නැත්නම් ලීලා කිරි අම්මා එන කවදාවත් අපට කන්න නම් වෙන්නේ නෑ.. සහතිකයි.... දැන් මෙන්න පටන් ගත්තා දෙබස...


දුවේ.. අර මාපලෑ ලොකු කෙලී අන්න චමිරයත් එක්ක පැනලා ගිහිල්ලු....


ඇත්තද පුංචි අම්මේ.. කවද්ද?


ඊයේ රෑ කියන්නේ.... ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම ගිහිල්ලලු...


අනේ .. පව් නේද පුංචි අම්මේ.. අපේ කිරීගේ වයස... කිරීගේ පංතියේමයි මයෙ හිතේ....


අනේ නෝන මහත්තයා.. ඕවා ඔහොම තමයි.. මේ ගමේ කී දෙනෙක්නම් දැන් යනවද ඔහොම... ඒ ලුසියා...


අනේ හිටපන් ලුසියො... උඹලට පොඩි දේවල් උනාට මේවා හොඳ දේවල් නෙවේ.. නේද දුවේ.....


අනේ මන්දා පුංචි අම්මේ... උන්ට හොඳනම් අපෙ මොකෝ ඉතින්...


ඔන්න එතකොටම මම යනවා කුස්සිය මැදින්... පොල් ගෙඩියක් ලෙලි ගැසීමේ අම්මගේ අණට කීකරු වෙලා ක්‍රියාත්මක කරන්න තමයි මේ යන්නේ.... මාව දැක්ක කිරි අම්මගේ මාතෘකාව වෙනස් වුනා...


අනේ කසුන් පුතේ.. මම මේ උඹව හම්බෙන්නමයි ආවෙත්...


ආ.. මොකෝ කිරි අම්මේ....


තිස්ස පුතා ටැලිවිසොනයක් ගෙනත් දුන්නනේ...


අප්පා.. එහෙමද? මරුනේ... මොකක්ද කිරි අම්මේ වර්ගේ...


කළු සුදු එකක්... බන්ඩා පුතාලයෙ කාන්චනායාට කියලා ඇන්ටොනාවක් ඒම දාලා අටෝ ගත්තා... ඒත් ඒක සෝ සෝ ගානවනේ....


එහෙනම් හරියට ටියුන් වෙලා නැතුව ඇති කිරි අම්මේ....


ඒක තමයි.. උඹලට තේරෙන තරම් තෙරේනවය මේ ගමේ එකාලට.. අනේ වෙලාවක් තීන වෙලාවක වරෙන්කො මයෙ අම්මේ.. (කොහොමද කිරි අම්මගේ බටර් පාර.)


මම එන්නම්කො කිරි අම්මේ හවස දිහාට... මෙහෙම කිව්වට මමත් ඒ කාලේ දැකලා තිබ්බේ රූපවාහිණී 5යි. අපේ ගෙදර එක විතරයි ටියුන් කරන්න දන්නේ... ඒකත් ගෙදර එක නිසා... දැන් පලයන්කෝ මේක ටියුන් කරන්න... මේ කියන අවුරුද්ද 1994 වගේ.. හිතන්නකො මීට අවුරුදු 20කට විතර කලින් කුරුණෑගල ඩොටේ ගමක කොල්ලෙක් දන්න ටැලිවිසොන් ගැජමැටික් තත්වේ.... 


අනේ පුතේ ගිහින් ඕක හදලා දීලා එන්න...


හා අම්මේ... කිරි අම්මේ, මම ගිහින් බන්ඩා මාමලාගේ ගෙදර ගිහින් ක්‍රිකට් ගහනවා... කිරි අම්මා ඇවිත් කතා කරන්න... 


හා පුතේ.. මම ඇවිත් කතා කරන්නම්....


ඔය ඉතින්... උඹට කිව්වේ කිරි අම්මගේ ටීවී එක හදලා දෙන්න කියලනේ... නැතුව ඉතින් කාන්චනලත් එක්ක නටන්ට කියලයැ....  අම්මා එහෙම කියනකොටත් මම ඒක ඇසෙන නෑසෙන දුරකට ගිහින් ඉවරයි....


කොහොමහරි සෙල්ලම් කර කර ඉන්න ගමන් කිරි අම්මා කතා කලා.. දැන් මමත් ගියා ලීලා කිරි අම්මගේ ගෙදර.. මුළු ගමටම පෙනුන සුවාදීනෙයි ජාතිකෙයි ලෙසටම පේනවා ඒ ටීවී එකේ... ඉතින් මේකේ වැරැද්ද මොකක්ද බොලේ....


මේ පේන්නේ කිරි අම්මේ අයිටීඑන් එකයි ජාතිකයි දෙකම.. මේකේ මොකුත් ප්‍රශ්ණයක් නෑනේ...


අනේ පුතෙ, ඕකේ සුදේසීය සේවෙයි වෙළඳ සේවෙයි අල්ලලා දීහන්කෝ.....


කෙළලා තියෙන්නේ... දැන් මේ කළු සුදු ටීවී එකට ටියුන් කරහන්කෝ ස්වදේශීය සේවෙයි, වෙළඳ සේවෙයි.... මුන්දැට කිව්වට තේරෙයිද මන්දා කියලා හිතුනත් ඔන්න ඔහේ කිව්වා....


කිරි අම්මේ... ස්වදේශීය සේවය අහුවෙන්නේ රේඩියෝ වලට.. වෙළඳ සේවෙත් එහෙමයි... ටීවී වලට අහුවෙන්නේ ජාතික එකයි අයිටීඑන් එකයි විතරයි.. අපේ ගෙදරත් එච්චරයි අහුවෙන්නේ....


අනේ පලයන්.. උඹලගේ ඉරිසියාව... අර පියතිස්ස මල්ලිගේ ගෑනි කිව්වේ ඕව මෙකට අහුවෙනවා කියලා....


කිරි අම්මේ, එහෙ තියෙන්නෙ රේඩියෝ එකක්නේ... ඉතින් ඒ රේඩියෝ එකට ඒවා අහුවෙනවා ඇති...


ඉතින් බන්, රේඩියෝවට අහුවෙනවානම් ටැලිවිසොන් එකට අහුවෙන්නෙ නැත්තෙ මොකොද? උඹ මාව රවට්ටන්න නේද හදන්නේ.....


කිරි අප්පට බල්ලො පැනපි... දැන් දීපල්ලකෝ උත්තර.. දන්න ශිල්ප දාලා එතැනින් බේරිලා ගෙදර ආවා අන්තිමට.


මෙතන ඉදන් තමයි විසිල් හා බල්ටි...


පහුවදා තමයි හොඳම ආතල් එක ආවේ... පාසැල් බස් රථයට මම නගින නැවතුමට පස්සේ නැවතුමෙන් තමයි කාන්චනයා බස් එකට නගින්නේ... මූ නැගලා දොර ලඟ ඉදන්ම මට බෙරිහන් දුන්නා...


අඩේ කසුනයා..., උඹ මොනාද අර ලීලා කිරි අම්මාට කලෙ ඊයේ....


මල හත්වලාමේ.. මේ මොකක්ද මේ කියන්නේ.. ඇරත් මුළු බස් එකටම ඇහෙන්න... 


ඇයි බන්... 


ඊයේ රෑ අපේ ගෙදරටත් ඇවිත් බැන්නා උඹට.. උඹ බොරු කියනවා කියලා ඉරිසියාවට.... 


නෑ බන්.. ටීවී එකට ස්වදේශීය සේවෙයි වෙළඳ සේවෙයි අල්ලලා දෙන්න කිව්වා.. මම කිව්වා ඒවා රේඩියෝ චැනල් කියලා.. පිළිගන්නේ නෑ බන්... මටත් බැන්න මම ඉරිසියාවටලු එහෙම කියන්නෙ කියලා....


ඉතින් බන්, උඹ ගියාට පස්සේ මම ටියුන් කරලා දුන්නා.. අන්න උදේ පාන්දරම පියතිස්ස අත්තගේ කිරි අම්ම එක්කලත් උඹට බනිනවා ගමටම ඇහෙන්න..


ඈ....? උඹ කොහොමද ටියුන් කලේ.....


නෑ බන්. මම එකටයි දෙකටයි ජාතිකේ ටියුන් කරලා තුනටයි හතරටයි අයිටීඑන් ටියුන් කලා...


ඉතින්....


ඊට පස්සේ කිව්වා දෙකේ යන්නේ ස්වදේශීය කියලා.. හතරේ යන්නේ වෙළඳ සේවේ කියලා....


ඉතින් බන් දෙකේම එකනේ යන්නේ...


ඔව් බන් මම කිව්වා ස්වාදීනෙයි වෙළඳ සේවෙයි එකම කොම්පැනියේ කියලා, ජාතිකෙයි ස්වදේශීයයිත් එකම කොම්පැනියෙ කිව්වා... ඒ හින්දා දෙකේම එකම පේන්නේ කියලා කිව්වා...


නෙද්දකින්.. උඹේ වැඩනම්....


ඇයි යකෝ නැත්නම් මටත් වෙන්නේ උඹට වගෙම ඉරිසියාකාරයා කියලා අහගන්නනේ.....


ඕන්න ඔහොමයි අපේ ලීලා කිරි අම්මා ස්වදේශීය සේවෙයි වෙළඳ සේවෙයි ටීවී එකෙන් බැලුවේ......


ප.ලි. : මොකුත් නැත...


උඩම පින්තූරේ මෙතනින්..