Meemure Jungle Resort

Monday, March 28, 2011

ඉස්කෝලෙ කොල්ලො ටික ගමේ අවුරුදු උත්සවේට......

අවුරුද්දත් ලඟ ලඟම එනවා..... අවුරුදු කාලෙට ඉතින් අවුරුදු උත්සව..... සයිබර් අවකාශයේ අවුරුදු උත්සවයේ වැඩත් මේ දවස්වල ඉතාම ඉහළින් සංවිධානය වෙමින් තමයි තියෙන්නේ.... අහ් අතුරු කතාවක් මතක් උනා... සමාවෙන්න ඕන ඔයාලගේ කාලෙන් පොඩ්ඩක් ගන්නවට මේ වගේ මනුස්සයෙක් වෙනුවෙන්.... මේක කියවලා ටිකක් නෙමෙයි ගොඩාක් හිනාවෙන්න පුලුවන් වේවි..... සයිබරයේ සිහින උළෙලට අදාළ නිල බ්ලොග් එකේ  ඇනොනිමස් කෙනෙක් මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දාලා තිබ්බා ඔයාලා දැක්කද දන්නෙ නෑ.... 


Anonymous said...

meeewaaa sallllii kada gannna weda....
meee thun lookeee mona AURUDU UTHSAWEEDA sallli aragena ethulata demmme...
methana wanchawak siddda wenawa...
kauru kauruth parisssam wena eka hondai...

SAIBAR SENAKELIYA kiyala sallli kada gannna thenak...

Anonymous said...

meee wage deewal karannna oneee sallli aragena newei...
miniusungee hith sathuta karana deyak...
ewa sallli walata karannne neee kawadawathmaaa...
HIK HIK HIK...

ඔන්න ඔහොමයි අපේ රටේ මිනිස්සූ.........  



හරි දැන් කතාවට යමු.... කලින් පෝස්ට් වලින් කියලා තිබුනු හැටියට ඔයාල දන්නවනේ මම කුරුණෑගලට කිලෝමීටර් 8ක් විතර දුරින් තියෙන සුන්දර ගමක හැදුන මිනිහෙක් කියලා... ඒත් පාසැල් කාලේ ගෙවුනේ නගරයේ..... ඉතින් මෙතන චරිත දෙකයි.... ගමේ චරිතය මෙහෙමයි.... ඉතා අහිංසක, පංසලට ලැදි, ගමේ මිනිස්සුන්ට හිතවත්, ඕන කෙනෙකුගෙ දුකට පිහිටවන, ගෑණු ලමයි දිහා නොබලන ඉතා තැන්පත් චරිතයක්..... ටව්න් එකට ගියාම චරිතය මෙහෙමයි.... පිස්සු කෙළගෙන බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න ටොපි විකුනන අයියගේ ඉදන් කුඩු ගහන මනුස්සයාත් එක්කම සෙට් වෙන ඉතින් තව බ්ලා බ්ලා බ්ලා.... ඒ ගැන වැඩිය කියන්න බෑ.. මොකද මේ බ්ලොග් එක නෑදෑයොත් කියවනවනේ..... කොටින්ම නම් දෙකකුත් පාවිච්චි වුනා.. ගෙදර අය, නෑදෑයෝ, ගමේ උදවිය කතා කරන්නේ කසුන් කියලා... මම පොඩි කාලේ ඉදන් ගෙදරට කියන නම හැටියට තමයි ඒ නම පාවිච්චි වුනේ... අනිත් නම ඉතින් නිළ නාමය... ඒ ඔයාලා කවුරුත් දන්න නම... ඉහත කියපු පාර්ශ්වයන් හැර හැමෝම කතා කරන්නේ මේ ඔරිජිනල් නමින්.. ඉතින් මේ චරිත දෙකම එක විදිහට ගෙනියන්න ටිකක් අමාරුයි... මාර ප්ලෑන් ගහන්නේ ඒවට... කිහිපයක් තමයි මේ.... 


ඉරිදට ටව්න් එකේ වැඩිය රස්තියදු ගසන්නේ නැත... (මොකද ගම්වාසීන් පොළට එන නිසා ඔවුන් ටව්න් එක වටේ සැරිසරනවා වැඩියි...)


ඉතා අප්‍රසිද්ධ කෑම රහ ඉන්දියානු කඩ භාවිතය.. (අඩු මුදලට බඩ පිරෙන්න කා ඕන තරම් වෙලා ටැග් ගැහි ගැහී ඉන්න පුළුවන් වීම)


යාලුවෝ ගෙදර ආව දිනට අසල තියෙන රක්ශිත වනයට චාරිකාවක් ස්වකැමැත්තෙන් එක්කරගෙන යෑම.. (මොකද මුං ගෙදර හිටියොත් අහල ගම් හතකවත් අපිට ඉදිරියේදී ජීවත් වන්නට නොහැකි වීම)


ඔයා ආදී තව තවත් ආරක්ෂක පියවරයන් රාශියක් තියෙනවා..... ඒවා රහස්...


ඉතින් මේ ඔක්කොම විනාශ වෙලා කීතු කීතු වෙලා යන දවසක් උදා වුනා.... ඔන්න ඒ ගැන කියන්න තමයි මේ සැරසෙන්නේ... 



අප්‍රේල් මාසයේ එක් දිනක් එනවා අපි යාළුවෝ ටික එකතු වෙලා ක්‍රිකට් ගහන්න සෙට් වෙන... රාජගුරු කියන මිත්‍රයාගේ ගේ ඉස්සරහා තියෙන වැහැර පිට්ටනියෙ තමයි සෙට් වෙන්නේ.... ඉතින් එකතරා අවුරුදු කාලෙකත් මේ වැඩේ ඉටු වුනා... හවස ගෙදර යන්න ලෑස්ති වෙද්දි ඔන්න හෙට ගැන කතා වෙනවා කට්ටිය....


මචන්, හෙට මාළිගා පිට්ටනියේ අවුරුදු උත්සවේ... ඒකට සෙට් වෙමුද? ජනක තමයි ඇහුවේ... (ඔව්.. අර වෙසක් කූඩු ජනකයා තමා....)


මට එන්න වෙන්නෙ නෑ බන්.. උඹලා පලයන්..... ඒ මම...


ඒ ඇයි බන්... මොකො සීන් එක... ගමේවත් යනවද?


නෑ බන්.. හෙට ගමේත් අවුරුදු උත්සවේ.... ඒකට ඉන්න ඕන... (වැරදි වචනයක්ද මන්දා කියවුනේ...)


අඩෝ එළනේ.. අපිත් උඹලගේ ගෙදරට සෙට් වෙන්නම්.. අවුරුදු උත්සවේට.....


අනේ මේ... උඹලානම් එන්න එපා.... ගමෙත් ඉන්න නැතිවෙන වැඩක් ඒක... අනික උඹලා ආවා කියලා තරඟෙකට සහභාගි වෙන්නත් බෑනේ.. ඒක ගමේ උන්ට සීමා කරලා තියෙන්නේ....


අනේ යකෝ... උඹ හිතන්නේ අපි උඹලගේ අවුරුදු උත්සවේට එන්නේ බනිස් කන්න කියලද? ඉදපන් ඇවිල්ලා උඹත් එක්කම උඹ ඉන්න විදිහකට ඉන්නම්....


දැන් ඉතින් වෙන කුමක් කරන්නද? මම මොකුත් නොකියා ගෙදර ආවා....



පහුවදා උදේ ටිකක් බැලුවා.... කට්ටිය එන පාටක් නෑ.. මමත් ගියා අවුරුදු උත්සවේට.... ඔන්න 11 විතර එද්දි අක්ක එනවා මාව හොයාගෙන.... දැන් දෙබස මෙහෙමයි...


මේ කසුන්...


ඇයි අක්කේ...


අන්න තමුසගේ වසවර්තියෝ ටික ගෙදරට පාත් වෙලා...


හා... හා... ඉන්නවා.. මම එන්නම්.... කියලා කරගෙන ගිය වැඩෙත් නවත්තලා ගෙදර ගියා.... මේ ඉන්නේ සූ ගාලා හය දෙනෙක් විතර.. යන්තම් ඇති.. මුන් හයදෙනාවනම් කටින් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්.... ඉතින් අවුරුදු කෑම කාලා තේ එහෙමත් බීලා දැන් අවුරුදු උත්සවේට යන්න රෙඩි වෙලා... මමත් දැන් පයින්ම මුන්ව එක්කගෙන යනවා.. දන්නවනේ ඉතින් අවුරුදු සිරිය... ඔක්කොම අලුත් ඇදුම් ඇදලා එහෙමනෙ පිට්ටනියට එන්නේ... ගිය වෙලාවෙ ඉදන් බෙල්ලට මෝටර් හයි කරලා වගේ අපේ උන්ගේ... 


අඩෝ අභියා.. කවුද බන් අර කෑල්ල.. ඕයි මට සෙට් කරලා දෙනවකෝ...


පිස්සුද බන්.. අපේ මාමා කෙනෙක්ගේ දුවක්.... කටවහ්ගෙන හිටපන්...


මොනාද බන්..අඩෝ අර දුවන එක කවුද බන්.... ඒ ඒකනම් සුපිරි.. අඩෝ මචන් ඒකි කුරුණෑගල ක්ලාස් එනවද?


යකෝ ඒකි අපේ අල්ලපු ගෙදර... පිලිවෙලකට හැසිරියව්.. ගමේ උන්ගෙන් කන්නෙ නැතුව....


අඩෝ.... උඹ ඉන්නේ මාර ගමකනේ... ශිහ් අපේ ගම්වල නෑනේ ඕයි මේ වගෙ ලස්සන කෙල්ලෝ...


ඉතින් ඔහොම ගෙවනවා ඉතින්... ගමේ ඉන්න කෙල්ලෝ ඇවිත් ආ කසුන් අයියේ කියලා මට කතා කරලා යනකොට මුන්ට පණුගාය වගේ.... මමත් ඉතින් මුංව අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නවා... මෙන්න හොඳම ටික.....


ටිකිරි කිරි අම්මා මතකනේ... ඔව්.. අර කළවැද්දාගේ කතාවේ හිටියේ.... දැන් කිරි අම්මා එනවා දුවත් එක්ක... දුව නෑකමට නැන්දා උනත් මට වඩා අවුරුද්දක් බාලයි... ලස්සනයි.... කිරි අම්මා මම ලඟ නැවතුනා.... දැන් මාත් එක්ක කතාව... කෙල්ල පැත්තක හිටගෙන... අපේ උන් ඔක්කොම ඒකිට ඇහැ දාගෙන...


ආ.. කසුන් පුතා... අවුරුදු උත්සවේට ආවද?


ඔව් කිරි අම්මා.... තව ටිකකින් යන්න කියලා බැලුවේ...


ආ.. යාළුවොත් ඇවිල්ලා නේද?..... පුතාලත් මේ කිට්ටුවමද?


අනේ නෑ ආන්ටි... අපි ටිකක් ඈත.. කසුන්ගෙන් එන්න කියලා පොරේ මේ අවුරුදු උත්සවේ බලන්න...


අනේ කොච්චර එකක්ද පුතා.... අනිත් එක කසුන් පුතාගේ යාලුවොනේ.... මේ ගමේ වෙන එව්වෝ වගේ නෙමෙයි.. ගුණ යහපත් කොල්ලො කීපදෙනයි ඉන්නේ.. අපි ඉතින් අපේ ලමයින්ටත් කියන්නේ මේ කසුන් පුතාව ආදුරුසෙට අරගෙනවත් හැදියල්ලා කියලා.... අනේ සන්තෝසයි පුතෙ කතා කරපු එකට... ගිහින් එන්නම් මම.. පන්සලුත් යන්න ඕන මේ ගමන්ම.... ගිහින් එන්නම් කසුන් පුතේ....


හරි කිරි අම්මේ.... මමත් එන්නම්කො උඩහා පැත්තේ හවස්වෙලා....


හරි නේද? අපේ උන්ට දෙපැත්තෙන් හිනා.... එතන ඉඳන් අවුරුදු ගානක් යනකන් බයිට්... හිටපු ගමන් උන් දෙන්නෙ මේ වගේ ටෝක්...


අපේ පැවැත්මත් එන්න එන්න නරක් වෙනවා බන්.. අභියවවත් ආදුරුසෙට අරන් හැඳෙන්න ඕන....


හිනාවෙලා බිම බලාගන්නවා ඇරෙන්න වෙන කුමක් කරන්නද?

ප.ලි. ඔක්කොම එහෙනම් අවුරුදු උත්සවේදි මුණ ගැසෙමු.....  කාර්ය බහුල ජීවිතෙන් මිදිලා ටිකක් හිනාවෙලා යන්න එන්න අප්‍රේල් තුන් වෙනිදා උදේ 9.30 වෙද්දි හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනේට. තවමත්ලියාපදිංචි උනේ නැත්නම් මේන්න මෙතනින් ගිහින් ලියාපදිංචි වෙන්න.


ප. ප. ලි. ශ්‍රී ලංකා - නවසීලන්ත අවසන් පූර්ව තරගයේ රුපියල් තුන්සීයට වැඩි ටිකට් පහක් හොයාගන්න අවශ්‍යයි... තියෙන කෙනෙක් ඉන්නවානම් මට ඇමතුමක් දෙනවද කරුණාකරලා... 0714449162

Friday, March 25, 2011

ඔන්න ඉතින් අවුරුදු වලින්ම තිස් දෙකක් ජීවත් උනා කියන්නේ.... II කොටස

ජීවිත මැරතන් එකේ තිස් දෙවෙනි කණුව පහු කරලා තිස්තුන්වෙනි අවුරුද්ද ගෙවන්න පට ගත්ත එකේ දෙවෙනි කොටස තමයි දැන් ලියන්න යන්නෙ... උදේ ඉදන් සුබ පැතුම් වැහි වැහැලා..... මූණුපොතෙ බිත්තිය පිරිලා... කලින් පෝස්ට් එකෙත් සුභ පැතුම් පිරිලා... මේකටත් එහෙම වෙයි.... ඉතින් සුභ පැතූ හා පතන හැමෝටම අනේක වාරයක් ස්තූතියි. ඉතින් අවුරුදු තිස් දෙකක අතීතාවර්ජනය ඇතුලේ පාසැල් දිවිය ලඟට එනකම්ම ඉවර කලානෙ.. දැන් එතැන් සිට......


පාසලේන් අයින් උන ගමන් මම ආවේ NIBM එකට... විශ්ව විද්‍යාලයකට යන්න සුදුසුකම් නැති උන නිසා... තිබ්බනම් තමයි පුදුමෙ කරපු වැඩවල හැටියට... දෙවි පිහිටෙන් තමයි උසස් අධ්‍යාපනය හදාරන්න හැකි ගානටත් පාස් උනේ... ඔහොම ඉන්නකොට රජයේ රස්සාවක් ලැබුනානේ.. ඒ තමයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශේ ලිපිකරු තනතුරක්.. දැන් කියන්නේ කළමණාකාර සහකාර කියලනේ.. ඒ කාලේ පඩිය 3990.00 බෝඩිමට 1750යි... ගත්ත ගමන් ඉවරයි.... සොදුරු සිත ලියන වත් එහෙමත් මාත් එක්කමයි පත්වීම් ගත්තෙ මම හිතන විදිහට... එතන අවුරුදු  7ක් ඉදලා ආවේ විභාග දෙපාර්තමේන්තුවට..... එතනත් අවුරුදු තුනක්ම ඉදලා තමයි රජයේ සේවයට සමු දුන්නේ.... ඒ කියන්නේ මගේ සංචාරක ව්‍යාපාරය පටන් ගත්තේ.... වර්තමානය වෙනකොට දෙන්නෙකුට රැකියා දෙන්න තරම් සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා බුදු සරණින්..... වෘත්තීය ජීවිතේ මගේ හිතේ ලොකු බලාපොරොත්තු නෑ.... එදිනෙදා කාලා ඇදලා ජොලියෙ සැනසීමෙන් ඉන්න පුළුවන් උනොත් ඒ ප්‍රමාණවත්. 


ජීවිතේ පුද්ගලික පැත්තත් මෙච්චර කාලයක් වැඩි කරදරයක් නැතුව ගෙවිලා තියෙනවා... නිසි කලට අවශ්‍ය දේවල් කරගෙන නිසි විදිහට ජීවත් වෙනවා කියල තමයි හිතෙන්නේ.. විවාහ වෙලා දරුවො හදාගෙන අපූරුවට ගෙවෙන ජීවිතේ සංකීර්ණ වෙනවා දැන් මේ ව්‍යාපාරෙත් එක්ක.. ඒකට ඉක්මනට පිළියමක් කරන්න වෙනවා... එදා මෙදා තුර මගේ ජීවිතයේ ලැබිච්ච හොඳම තෑග්ග, ඒ කියන්නේ මගේ බිරිඳ රංජුලා මට දෙන්නේ අරුම පුදුම සහයොගයක්... දැන හැඳින අවුරුදු හයකට කිට්ටු වෙන්න කාලයක් ගෙවිලා තිබ්බත් කිසිඳු අඬ දබරයකින් තොරව මැසිවිලිවලින් තොරව ගෙවන මේ ජීවිතේ මට අති විශාල මානසික සහනයක්.... අපි දෙන්නට ලැබුනු තෑග්ග අපේ පොඩි මෑන් මින්හස්.... පොර තමයි මාව වගකීමකින් හිතන්න පුරුදු කලේ.. මේ දවස්වල අත් ට්‍රැක්ටරයක් වගේ... පුටුවක් යටින් ගිහින් ඇඳක් යටින් මතු වෙන්නේ.... ඉතාමත් සතුටින් ගෙවන මේ ජීවිතේ ඉදිරියටත් මෙහෙමම පවතීවි... 



ඊලඟට යාළුවෝ... අද වෙනතුරු කිසිම යාළුවෙක් මාත් එක්ක තරහා වෙලා නෑ.... මගේ යාළුවෝ ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. පාසැල් කාලයේ යාළුවෝ, බාලදක්ෂ යාළුවෝ, ශිෂ්‍ය නායක යාළුවෝ, රැකියා යාළුවෝ, ව්‍යාපාර යාළුවෝ සහ අලුත්ම කොටස බ්ලොග් යාළුවෝ.... මගේ ජීවිතය සාර්ථක කරගන්න යාළුවන්ගෙන් ලැබෙන්නෙ පුදුමාකාර සහයෝගයක්.. මම එහෙම කිව්වේ අදටත් මගෙ ව්‍යාපාරයේ කරන කටයුතු වලින් 70%ක් විතරම එන්නේ මගේ යාළුවො මාර්ගයෙන්.. උඹලා වගේ යාළුවෝ ලැබෙන්න මම පිං කරලා ඇති මචන්....


ඉතින් ඔච්චර තමයි.... මේ ගෙව්වා වගේම බොහොම සරල සුගම ජීවිතයක් විඳින්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියටත්..... බලමු නේද? ජීවිතේ මොන පැත්තට පෙරලෙයිද දන්නේ නෑනේ..... ඕන හිස්තැනක් දෙකක් පණහයි කියලා පාඩුවේ ජීවත් වෙනවා....


ප.ලි. ඔක්කොම එහෙනම් අවුරුදු උත්සවේදි මුණ ගැසෙමු.....  කාර්ය බහුල ජීවිතෙන් මිදිලා ටිකක් හිනාවෙලා යන්න එන්න අප්‍රේල් තුන් වෙනිදා උදේ 9.30 වෙද්දි හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනේට. තවමත්ලියාපදිංචි උනේ නැත්නම් මේන්න මෙතනින් ගිහින් ලියාපදිංචි වෙන්න.

ඔන්න ඉතින් අවුරුදු වලින්ම තිස් දෙකක් ජීවත් උනා කියන්නේ.....

එක්දහස් නවසිය හැත්තැ නවයේ මාර්තු විසි පහ තමයි දවස.... පෙර කළ කුසලවල බලයෙන් මිනිස් ජීවියෙක් ලෙස මේ ශ්‍රී ලංකාද්වීපයට මම ගොඩ බැස්සේ එදාලු.. එදා ඉදන් අද වෙනකන් අනිත් මිනිස්සුන්ගෙ අකුසල බලය පල දෙනවද මන්දා ඉතින්...... ඉතින් මේ ජීවිතේ දිහා ආපහු හැරිලා බලමුද කියලා මම මගෙ හිතෙන් ඇහුවා.. පොරත් ඔය යස අගේට හා කිව්වේ..... ඉතින් ඔන්න ආපහු බලන්න පටන් ගන්නයි යන්නේ... ඉස්කෝලෙ යන අයට නම් මේ කථාව වැදගත් වෙයි.....



පුංචි කාලේ මම හිටියේ කිරි අම්මලාගේ ගෙදර... කිරි අම්මා, පුංචිලා,  මාමලා මාව බලාගත්ත හැටි ගැන ලා මතක කිහිපයක් මගේ හිතේ තියෙනවා.. ඉස්කෝලෙ යන්න ඔන්න මෙන්න කියලා තමයි ගෙදර ආවේ...එතකන් හැම සති අන්තෙකම වගේ අම්මයි අප්පච්චියි අක්කලා තුන් දෙනයි ආවා මාව බලන්න.... ලොකු දඩබ්බරකම් නැති උනත් කරපු පුංචි පුංචි දඩබ්බරකම් නම් ඕසෙට.... ඒත් රස්සවක් කරනකම්ම අම්මයි අප්පච්චියි අපිට පුළුවන් හැටියට කන්න දීලා අපිව උස් මහත් කලේ කාටවත් කරදරයක් නොවී කියන එකත් මම දන්නවා.... තියෙන හැටියකට කාලා වෙන දෙයක් බලාගෙන හිටපු අපෙත් එච්චර ලොකු අහස උසට බලාපොරොත්තු තිබුනෙත් නෑ.... කුඹුරු යායේ හාන, ගොයම් කපන පාගන වැඩ වලට වගේම ගමේ පංසලේ දේවල් වලටත් සහභාගී උනා... එක දෙයක් කියන්න ඕන... ලමා කාලය කොච්චර සුන්දර උනත් අප්පච්චිගේ දැඩි නීති රීති නිදහස යම් තරමකට සීමා කලා කිව්වොත් තමයි නිවැරදි.


ජීවිතේ මග කියවන ලොකුම පාඩම මම හැදෑරුවේ ඉස්කෝලෙන්. බාලාංසෙ ඉඳන් උසස්පෙල දක්වාම ගියේ එකම ඉස්කෝලෙකට... බ්ලොග් එකෙ කළින් ඉදන්ම හිටපු අයනම් දන්නවනේ.. ඒත් නොදන්න අයට කියන්න වෙනවනෙ... මගේ පාසැල කුරුණෑගල මලියදෙව විද්‍යාලය. අධ්‍යාපනය කෙසේ වෙතත් එයින් ලැබූ සමාජමය ගුරු හරුකම් අදත් අපිට කෙලින් හිටගන්න දෙන්නෙ අප්‍රතිහත ධෛර්යයක්. ඉස්කෝලෙ ගිහින් අපි හැම දෙයක්ම කලා... එක දෙයක් ඇර.. ඒ තමයි නිසි විදිහට ඉගෙන ගන්න එක... ඒකෙ අඩුව සමහර වෙලාවලට නොදැනෙනවා නෙවෙයි..ඒත් වටේ පිටේ තිබ්බ උසස් අධ්‍යාපන ආයතන කිහිපයකට පිං සිද්ද වෙන්න ඒකත් ඔලුවට බරක් නොවෙන තරමට විසදිලා අවසන්. එක තැනක් ගැන ඊයෙ ලියපු පෝස්ට් එකෙත් තිබ්බනේ....


ඉස්කෝලෙ ඇතුලෙම ලබපු තව අත්දැකීම් වර්ග තුනක් තියෙනවා.... අදටත් එයින් ආසම එක පැසිපන්දු පිටිය.... අවුරුදු 13න් පහල හා 15න් පහල පැසිපන්දු කණ්ඩායමේ සමාජිකත්වයට ආයුබෝවන් කියන්න උනේ සාමාන්‍ය පෙළ විභාගය නිසා... විශය භාහිර එක ක්‍රියාකාරකමකට විතරක් අම්මා අවසර දුන් නිසා බාලදක්ෂ ව්‍යාපාරය විතරක් තෝරා ගන්න සිදු වුනා... ඔයාලගේ හිතට ආපු ප්‍රශ්නෙම මගේ හිතටත් ආවා..ඇයි මම පැසි පන්දු තෝරගත්තෙ නැත්තේ කියලා.. අදටත් මම හේතුව දන්නේ නෑ..... ඒත් හැම දෙයක්ම වෙන්නේ හොදටයි කියනවනේ.... අද මම කරන ව්‍යාපාරයට 95%ක්ම පාර කිව්වේ බාලදක්ෂ ව්‍යාපාරය හා බැඳිච්ච අත්දැකීම්..... මේ නිසා තමයි මට අද දිනයෙත් හිල්ටන් හෝටලයේ ඇදේ නිදියනවා වගේම අම්බලමක පැදුරක්වත් නැතුව නිකම්ම නිකම් නිදා ගැනීමටත් හැකියාවක් තියෙන්නේ... පිරිමියෙකුට තිබිය යුතු ගස් නැඟීමේ හැකියාව, පිහිනීමේ හැකියාව, රිය පැදවීමේ හැකියාව වගේ මූලික කරුනු මට හැකි උනෙත් බාලදක්ෂ ව්‍යාපාරයට පිං සිද්ද වෙන්නයි..... 


පාසැලේදි තව පන්නරයන් රාශියක් ලද තෝතැන්න වූයේ ශිෂ්‍ය නායක මඩුල්ලයි.... පිරිස් පාලනය, නායකත්වය, පීඩනයන්ට ඔරොත්තු දීම වගේ න්‍යායාත්මක නායකත්ව ලක්ශන ඇගට දා ගත්තේ මේ ශිෂ්‍ය නායක මණ්ඩලයෙන්... මිනිහෙක් කථා කරද්දි මූ මොකාටද එන්න හදන්නේ කියන එකයි... ඊලඟට මෙයා කියන්නේ මොකක්ද කියන එකයි නිකන් ඉවෙන් වගේ තේරුම් ගන්න හැකියාවක් ලැබුනේ මෙතැනදි..... පාසලේදී ප්‍රාථමිකවත් සමාජයේදී ද්වීතියිකවත් මේ අත්දැකීම් ලැබුණත් පාසලේදී ලබන ප්‍රාථමික අත්දැකීම් තමයි ඔප මට්ටම් වෙලා එලියට එන්නේ..... 


දිග වැඩිවෙයි වගේ ඉතිරි කොටස හවසටම දාමු.... : සමාවෙන්න ඕන හැමෝම....

Thursday, March 24, 2011

හුටා.. මගේ බ්ලොග් එක... අනේ මන්දන්නේ නෑ අමතක වෙලා ගියාද කියලා...... මොනවා උනත් මෙන්න නයිට් ප්‍රැක්ටිකල් අංක දෙක....

මේ කාලය නම් හුස්ම ගන්නවත් වෙලාවක් නැති තරම්ම කාර්ය බහුලයි.... මට හිතාගන්න බෑ ඊලඟට එන පැයේදි මම කොහේ ඉදියිද කියලා.... බ්ලොග් එක බැලෙන්නේත් ඉතා කලාතුරකින්.... මගේ බ්ලොග් එක මම බලාපොරොත්තු උනාටත් වඩා ප්‍රේක්ශක ප්‍රමාණයක් එකතු කරන තැනක් වෙලා තියෙන හොඳම වෙලාවේ මට ඔයාලා වෙනුවෙන් ලියන්න වෙලාවක් නැතිවෙලා.....


ව්‍යාපාර කටයුතු, සයිබරයේ සිහින උළෙල, අළුත් කාර්යාලයක් දැමීමේ වැඩ අතරේ යාළුවෝ මුණ ගැහෙන්නත් වෙලාවක් හොයා ගන්න ඕන. මේ වෙලාවෙ බ්ලොග් ලිපියක් ලියන්න වෙලාවක් ලබා දීම පිළිබඳ ස්තූති කරන්න ඕන අපේ ඔබ්සර්වර් අයියට... දන්නවද එයා ලංකාවට ඇවිත්... එයාට මේ මාසෙ පාවිච්චි කරන්න වාහනයක් හොයන්න මේ දවස් ටිකේම මහන්සි උනා... ඔන්න තව පැය දෙකකින් වාහනේ ගේනවා කියලා ඒකෙ අයිතිකාරයා කියපු නිසා ඒ පැය දෙකට දා ගන්න තරම් විශේෂ වැඩකුත් නැති නිසා බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියන්න පටන් ගත්තා..... 


හරි දැන් මාතෘකාව.. ලියන්න කතා කිහිපයක් ලයිස්තු ගත කරලා තිබ්බත් මේ සිදුවීම මතකෙට ආවේ මගේ ලෝකය එකේ තිබ්බ නයිට් ප්‍රැක්ටිකල් පෝස්ට් එක කියෙව්වට පස්සේ.... රංග අයියා කියන ඔය ආයතනයේ ඔය කියන ඩිප්ලෝමාවම මමත් කරානේ.... රංග ලොක්කා මට වඩා වැඩිමල් නිසා ඒ කාලෙත් අපේ ඉන්ස්ට්‍රක්ටරයෙක් වී සිටින්න ඇති සමහර විට.... ඒ කියන්නෙ පොර අපේ සල්ලි වලින් කාලා බීලත් ඇති එහෙනම්......  :D



රංග කියපු විදිහටම අපිත් බැච් එකේ ඉන්න පජාතම සෙට් එකට ෆ්‍රී වෙන දවසක් බලලා නයිට් ප්‍රැක්ටිකල් එකක් දා ගන්නවා... පළවෙනි එක පොඩ්ඩක් නුපුරුදු විදිහට යන්නේ... ඒත් කට්ටිය බෑග් වල දාගත්ත බෝතල් වලින් ටික වෙන්න අනුමත වෙනවා..... මධ්‍යම රාත්‍රිය වෙද්දි  අපේ උන්ට ආවේ අමුතුම උණක්... ඒ තමයි අර අච්චර ලොකුවට තියෙන ලොබි එකේ "වන් බම්ප්" ගහන්න... මධ්‍යම රාත්‍රිය වෙද්දි කොයි ඉන්ස්ට්‍රක්ටර් අයියත් ඒසී එකත් දාගෙනම පොරවගෙන නිදි.... ඒ නිසා උන්ගෙන් ප්‍රශ්ණයක් කොහොමත් නෑ...ඒත් එක ප්‍රශ්ණයක්.... කෝ මේකට බෝලෙකුයි බැට් එකකුයි...... බැට් එකක් නම් ගැලවෙච්ච පුටු ඇන්දකින් හොයා ගත්තා...ඒත් බෝලයක්... කොහෙන් කියලා හොයන්නද? ඔන්න එකෙකුට ගණදෙවි නුවණ වගේ එකක් පහල් වෙලා අපේ උන්ගෙන් මෙහෙම ඇහුවා....


මචන්.. බෝලයක් නම් තියෙනවා... පොඩ්ඩක් පොඩියි... ජිල් බෝලයක් විතර ඇති... අවුලක් නැද්ද?


අපේ උනුත් මේ කථාව දෙපැත්තට හරවගෙන අරූව කින්ඩි කරන ගමන් මෙහෙමත් කිව්වා....


යකෝ හාල් ඇටේකට වඩා පොඩ්ඩක් ලොකු උනානම් ඇති... තියෙන ජිල් බෝලයක් ගෙනෙන්...


මූ ගියා ලැබ් එකට... ගෙනාවා බෝලයක්.... මොකක්ද දන්නවද ගෙනාව බෝලේ.... දැන් වගේ ඉස්සර ඔප්ටිකල් මවුස් තිබ්බේ නෑනේ..තිබ්බේ මිකෑනිසම් මවුස් කියන එක (වචනේ හොයලා දුන්නේ මගේ මරනය..). ඉතින් ඒ මවුස්වල යට තියෙන බෝල මතකනේ.. මූ අන්න ඒ බෝලයක් තමයි අරන් ආවේ.... එදා මෙදාතුර වන් බම්ප් ගහන්න සුදුසුම බෝලේ තමයි මවුස් එකේ බෝලේ.. ඉපිලීම එහෙම නැත්නම් බම්ප්වීම වැඩි නිසාත් බෝලය ඉතාම පොඩි නිසාත් ආතල් එකේ උපරිමේ ගන්න පුලුවන්.... බයවෙන්න එපා... කොච්චර හයියෙන් ගැහුවත් කැඩෙන්නේ නෑ.... ඉතින් මේ සෙල්ලම පාන්දර වෙනකන්ම ගියා.... ඊට පස්සෙ ඉතින් නයිට් ප්‍රැක්ටිකල් ආවෙම "වන් බම්ප්" ගහන්න බලාගෙන.... 


මම ජීවිතේ දැක්ක ආතල්ම ලිෆ්ට් එක දැක්කෙත් ඔය NIBM එකේදි තමයි..... අතින් දොර වහලා දැල් දොරකුත් වහලා බහිනකන් ඇගේ ලේ නැතුව ත්‍රාසජනක ගමනක් යන්න පුළුවන් ඒකේ....


ප.ලි. ඔක්කොම එහෙනම් අවුරුදු උත්සවේදි මුණ ගැසෙමු.....  කාර්ය බහුල ජීවිතෙන් මිදිලා ටිකක් හිනාවෙලා යන්න එන්න අප්‍රේල් තුන් වෙනිදා උදේ 9.30 වෙද්දි හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනේට. තවමත් ලියාපදිංචි උනේ නැත්නම් මේන්න මෙතනින් ගිහින් ලියාපදිංචි වෙන්න.

Thursday, March 17, 2011

හීනයක් මේ විදිහට සැබෑවෙන එකම එකා මමද දන්නේ නෑ.....



මතකද දවස? 2011 ජනවාරි 08. මම මගෙ බ්ලොග් එකේ මෙන්න මේ පෝස්ට් එක දැම්මා.... හීනය... සැබෑවෙයි කියලා බලාපොරොත්තුවකුත් නොතිබුනාම නෙවෙයි.... ඒත් මෙන්න ඒක හැබෑ වෙන්න යනවා... විවිධාකාරයේ අමුතු අමුතු දේවල් ගොඩාක් එක්ක ඒ හා බැදිච්ච පින්බර අරමුණකුත් එකතු කරගෙන මේ ගමන ඉදිරියට ඇදෙන හැටි දැක්කම මට මගේ සතුට වාවන්න අමාරුයි.... සයිබරයේ සිහින උළෙල ගැන දැන ගන්න මෙතනින් යන්න....


ඉතින් මගේ හීනය නිසාම මම මේකට ඇතුලත් වෙන්න අවශ්‍ය ෆෝම් එකත් මෙතන දාන්නම්... ඔයාලත් එන්න බලාපොරොත්තු වෙනවානම් මේක පුරවලා සබ්මිට් කරන්න... ගේට්ටුවෙන් ඇතුල් වෙන්න අවශ්‍ය නිසි අවසරය එතනින් ලැබේවි... සබ්මිට් කරලා විතරක් මදි හැබැයි.. ස්තිර කිරීමේ පණිවිඩයත් හැකි ඉක්මනට යවන්න ඕන... එතකොට තමයි ඔබව සයිබර් උත්සවයට එන පුද්ගලයෙක් කියලා නිල වශයෙන් සටහන් වෙන්නේ.... ඒ වගේමයි.. ඔබ කැඳවාගෙන එන පුද්ගලයා පිළිබඳ වගකීමත් ඔබ විසින් දැරිය යුතුයි ඔන්න.... හරි මෙන්න ෆෝම් එක.. ඉස්සෙල්ලා රෙජිස්තර වෙලා ඉන්න...






ඊලඟට බැනර් නේ.... ජේඩී මල්ලියා මරු බැනර් එකක් ඩිසයින් කරලා තිබ්බා.... ප්‍රමානයන් දෙකකට ඔයාලට ගැලපෙන එක බ්ලොග් වලට දාගන්න පුළුවන්... මෙන්න එහෙනම් ඒකත් දැම්මා... 


කුඩා ප්‍රමාණයේ බැනරය...


http://cyberfestival.blogspot.com/" target="_blank">http://lankeeya.lk/jd/cyber.jpg" width="200" height="249" border="0">


මධ්‍යම ප්‍රමාණයේ බැනරය....


http://cyberfestival.blogspot.com/" target="_blank">http://lankeeya.lk/jd/cyber250.jpg" width="250" height="311" border="0">


දවසේ වැඩසටහන ගැන දන්නවනේ ඉතින්..... උදේ 9.30ට ආරම්භ කරලා හවස් වෙනකන් ඉන්නයි බලාපොරොත්තුව... හවස දෙකට පටන් ගන්නවා ඩීජේ එක... ඔන්න ඊට පස්සෙ නටන එකයි තියෙන්නේ දිවවල් ටයි වගේ දාගෙන... බිරින්දෑවරු, ස්වමි පුරුෂයෝ, දරුවෝ වගේම වෙන්ඩ ස්වාමි පුරුෂයොයි, වෙන්ඩ බිරින්දෑවරුයිත් එක්ක ගෙන ආවට කමක් නෑ... වෙන්න දරුවෝ නේද? හරි ඉතින් ඉන්නවානම් එයාලවත් එක්ක එන්න......  



ඒ වගේම හීනය සැබෑ කරගන්න උදව් දෙන හැමෝටමත් ස්තූතියි ඔන්න... අපේ ඔක්කොගෙම වැඩක් වෙලා තියෙන හීනෙට අයිතිකාරයෝ නෑ...ඒ නිසා හැමෝම එදාට එන්න.... මම දන්නවා... අපි අපි මුණ ගැහෙන්න මීට වඩා අවස්ථාවක් නැති වේවි....


මෙන්න තවත් කාරණයක්.. ඉහත දක්වපු ෆෝම් එක අපි අන්තර්ජාලය හා මුසු කලේ ඊයෙ උදේ වරුවේ.... මේ වෙනකොට 60 දෙනෙකුට වඩා පිරිසක් ඒ හා එක් වෙලා ඉන්නවා... පිරිමි ළමයින්ට සුභ ආරංචියක්ද මංදා... වැඩිපුර එනවා වගේ පේන්නෙ නම් ගෑණු ළමයි වගේ......  හරි අපි එහෙනම් අප්‍රේල් 03 වෙනිදට මුණ ගැහෙමු... ජය වේවා... (ඔක්කොම මේක කියවලා ගිහින් චන්දෙ දාන්න :D )





ප.ලි. අද අපේ සුපිරි බ්ලොග් කරුවෙක්ගේ හා බ්ලොග් කාරිණියක්ගේ උපන් දිනේලු.... බ්ලොග්කරු තමයි අපි කවුරුත් දන්න දිලුම්... ඒ කියන්නේ ඉලංදාරියා... සුභ උපන් දිනයක් වේවා මලේ.... උඹේ උපන් දින තෑග්ග අපි මේ අවුරුද්දෙ දිනයක දෙන්න හිතන් ඉන්නේ.....


බ්ලොග් කාරිණිය සිහින දකින්නියකගේ අඩවිය ලියන ස්වප්නා.... නම කියනවට කැමති වෙයිද දන්නේ නෑනේ.... සුභ උපන් දිනයක් වේවා නංගි...... ඔයාගේ උපන් දින තෑග්ගත් මේ අවුරුද්දේ ලැබේවි ඔන්න...

Saturday, March 12, 2011

බාලදක්ෂ දිවියේ තවත් එක දවසක්.....

පහුගිය පෝස්ට් එකෙන් මගෙ අළුත් ව්‍යාපාරය ගැන දාපු නිසා හැමෝම ඒකටත් කමෙන්ට් කරලා තිබ්බා.. ඒ නිසා ආපු දුරකථන ඇමතුම් නිසා මේ ප්‍රචාරක ක්‍රමය හොදයි කියලත් හිතුනා.... ඒත් මේ ටිකක් හිනාවෙන බ්ලොග් එක මාකටින් බ්ලොග් එකක් කරන්න කිසිදු අදහසක් මගේ නැති නිසා ඒ හා සම්භන්ධ තවත් පණිවුඩ දෙකක් දන්වලා මගේ ව්‍යාපාරය ගැන කතා නවත්තනවා... එක තමයි ඔබ ඉන්නේ පිටරටනම් අර්ධ කාලීනව කරන්න පුළුවන් රැකියාවක් මා සතුයි.... තව දුරටත් කිව්වොත් ඔබ ඉන්න රටේ මගේ නියෝජිතයෙක් වෙන්න පුළුවන්. ඒ පිළිබඳව මගේ ඊ මේලය හරහා වැඩි විස්තර දැනගන්න පුළුවන්..... අංක දෙක තමයි ඔබ සංචාරක ක්ෂේත්‍රයේ අයෝජනය කරන්න හිතමින් සිටිනවානම් ඒ ගැන උපදෙස්ද අපෙන් ලබා ගත හැකියි.. හරි ව්‍යාපාර කතා ඉවරයි....


හරි දැන් කතාව.. බාලදක්ෂ ජීවිතය මට පහුගිය ටිකේ තිත්ත වෙලා හිටියෙ කොල්ලකාරයෝ නිසා.. අපේ දහඩිය මහන්සියෙන් ගොඩ නගාපු දේවල් තමුන්ගෙ වගේ අනුන් පාවිච්චි කරන අවස්ථා කිහිපයක් එක ලඟ උදා වුන නිසා මම හිතා ගත්තේ මම දැන් ඒ සඳහා යොමු වුනා ඇති කියලයි... ඒත් අද දිනයේ නැවතත් බාලදක්ෂ ජීවිතයට එබී බලන්න අවස්ථාවක් මට උදා වුනා.... ඒ මගේ ආදරණීය ගුරු මෑණි කෙනෙක් වුන අවන්ති ගුරු මහත්මියයි ආදරණීය නවාතැන ලියන ජනනි පුංචි ටීචරුයි නිසා.... ඔවුන් දෙදෙනා තමයි දැන් නුගේගොඩ අනුලා විද්‍යාලයේ බාලදක්ෂිකා ආචාර්යවරියන්.... ඉතින් මට අද දිනයේ එහි පැවැත්වුන කඳවුරු ගිනි මැලයට සහභාගී වෙන්න අවස්ථාව උදා වුනා... මේ දවස්වල ජීවිතය වචනයෙන් ලියන සෝරෝවාත් මාත් එක්ක ඉන්න නිසා මේ ගමන්වලට ඔහුගේ සහභාගිත්වයත් තියෙනවා... බාලදක්ෂ අත්දැකීම් පිරිණු අපේ දිවියෙන් බිඳක් අනුලා දූවරුන්ට දෙන්න හැකිවීමනම් සතුටක්... 



අත්දැකීම් අතින් වූ මද බව නිසා ටිකක් අපහසු කාර්යයක් බව පෙනුනත් ඒ සියළු අපහසුතා මග හරවාගෙන ඔවුන් අවසානයේදී ඉතා සාර්ථක ගිනි මැල සංදර්ශනයක් අවසන් කල බවයි මගේ මතයනම්.... පෙර දිනයේ මා සඳහන් කල පරිදිම කාලය ගැටළුවක් උනේ ඔවුන්ගේ අඩුවක් නිසා නොව වෙනත් භාහිර පාර්ශ්වයන්ගේ බක පන්ඩිත මැදිහත්වීම් නිසයි.... ඒත් සියළු බාධක මග හරවාගෙන සතුටෙන් පිරිණු රාත්‍රියක් අවසන් කරන්නට හැකිවීම පිළිබඳව අනුලා දූවරුන්ට මෙන්ම ගුරු මහත්මීන්ටද ගෞරවය පිදිය යුතුමයි...... ආදි බාලදක්ෂයින් ගායනය කලේ අකුරු මැකී නෑ ගීතය... ඒ ගීතය අපේ ජීවිතට කොච්චර සමීපද? අද දිනය ගැන සැහීමට පත් වෙන්න එම ගීතය සවන් වැකුනු එකම ඇති කියලයි මට හිතෙන්නේ....


මීට අවුරුදු 23කට ප්‍රථම පෝතක බාලදක්ශයෙක් විදිහට බැදුනු හැටි මට අද වගේ මතකයි.... එද ගැයූ ගිනිදලූ නැග එතී ගීතය මම අදත් ගැයුවා... එදා වගේම හැගීමක් මටත් දැනුනා... මම අද පොඩි තීරනේකටත් ආවා... ඒ තමයි පාසැල් වලින් අයින් වන බාලදක්ෂයින්ට ඔවුන්ට හරියන රැකියා සොයාදීමේ ව්‍යාපෘතියක් අරඹන්න.. අපි ඒ ගැන ඉදිරියට බලමු....


අද කතාව හිනාවෙන්න නෙවෙයි..ඒත් ටිකක් හිනාවෙන්න හිතාගෙන මේ බ්ලොග් එක බලන කට්ටිය සදහා අද දවසේ සිදු වුන රසවත් කතා කිහිපෙකුත් කියන්න ඕනනේ... ඒත් ඉතින් ජනනිට මඩ ගහන්න වෙන නිසා ඒකත් නවත්තන්න වෙනවා... මොකද ඒ ටික අපි අවුරුදු උත්සවේට තියාගමු.... එදාට දෙමු සුපිරි මඩක්..


ඒ අතරේ තමයි අවුරුදු උත්සවේ මතක් උනේ.. ඔන්න අපි ඒකට අද ඉදන් වැඩ පටන් ගන්නවා... හෙට රාත්‍රී අවුරුදු උත්සව බ්ලොග් එක බැලුවොත් අළුත්ම රස්නේ නිව්ස් දැන ගන්න ඔයාලට පුළුවන් වේවි...


ප.ලි.. මෙන්න සංජු ටීචරුත් බාලදක්ෂිකා කතා දාලා... බ්ලොග් අවකාශයේ බාලදක්ෂ බාලදක්ෂිකාවන් සෑහෙන ප්‍රමානයක් ඉන්නවනේ බොලේ...

Saturday, March 5, 2011

2011ට පෙරලියක්... එන්න අපිත් එක්ක එකතු වෙලා විනෝද වෙන්න...

100 වෙනි පෝස්ට් එකට කමෙන්ට් කරපු හැමෝටම ඉස්සෙල්ලම ස්තූතිවන්ත වෙන්න ඕන... අනේ මේ බ්ලොග් එක ගැන අදහස් තියෙනවනම් ගිහින් පළ කරලා එන්න දැන් උනත් පරක්කු නෑ... කමෙන්ට් නොකරපු කට්ටිය ඉන්නවනම් මෙතනින් ගිහින් කමෙන්ට් කරන්න... මොකද ඒක මට ලොකු හයියක්.. හරි හරි යන්න යන්න.... ගිහින් කමෙන්ට් එකක් දාලා එන්න.... කමෙන්ට් ටික නම් මල් හතයි.... ආයෙ ඉතින් නිල් කැටේ වාගේ... මගේ බ්ලොග් එක යා යුතු මාවත ගැන නිසි අවබෝධයක් මට ලබා දුන්නා ඒක... ඒ ගැන නම් කමෙන්ට් කරපු අයට මෙන්න මගෙන් ආයෙත් තුති මල් මිටි දෙකක්......



සියවෙනි පෝස්ට් එක දාලා ගොඩාක් කල් යනකන් සද්දයක් තිබ්බේ නැත්තේ පහුගිය දවස්වල තිබ්බ අධික වැඩ කන්දරාව නිසයි.... ව්‍යාපාරික ගැටළු වගේම රජයේ බැංකුවක් මට කල හදියකුත් නිසා ඉතා දැඩි අවිවේකී කාලයක් තමයි ගෙවුනේ... ඒ අතරේ මගේ ආදරණීය අම්මා පොඩි පහේ අසනීපයකට රෝහල් ගත කිරීම නිසා සියළු වැඩ නවතා එක දිගට දින හතක් පමන කුරුණෑගලටම වී සිටියා... ඒ අතර තුරේ කුඩු උන කාර් එකත් යන්තම් අමුනගෙන කොළඹ ගෙනාවා.. (කොහොමද කාර් නයා..) අද කතාව ටිකක් හිනා වෙන්න නෙවෙයි.. පොඩි වෙළඳ දැන්වීමක් වගේ එකක්.... මගේ අළුත් පුංචි සමාගම ගිය සතියෙ නිළ වශයෙන් විවෘත කෙරුනා.... අද මම ඒ ගැන පොඩි හැඳින්වීමක් එක්ක පොඩි මාකටිං පාරක් දෙන්න යන්නේ....




බ්ලොග් එකේ දකුණු පැත්තේ දෙවැනියට තිබ්බ ලාංඡනය වෙනුවට අලුත් ලාංඡනයක් ඇවිත් නේද? ඒක තමයි මගේ අළුත් ව්‍යාපාර පොඩ්ඩ.... ලංකා ටුවර් ඕගනයිසර්ස් වෙනුවට දැන් ඔයාලට පේන්නේ එක්ස්ප්ලෝ(ර්) ලංකා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම Explore Lanka International (pvt.) Limited කියන නමින්... ව්‍යාපාර දෙකම එක වගේ උනාට අළුත් එකේ සේවා පරාසය ඉතා විශාලයි... මෙන්න ඒ ගැන.... ප්‍රධානව අපේ සේවාවන් බෙදෙන්නෙ කොටස් හතරකට...


01. හෝටල් වෙන් කරදීම් හා චාරිකා සංවිධානය කිරීම....

 මෙය ශ්‍රී ලංකාවේ ඕනම ප්‍රදේශයකට, අවශ්‍ය දින ගනනකට, අවශ්‍ය පහසුකම් අනුව අපි විසින් සංවිධානය කර දෙනවා.... ඊට අමතරව දඹදිව වන්දනා චාරිකා, සිංගප්පූරුව මැලේෂියාව වැනි රටවලට ව්‍යාපාරික චාරිකා, කෙන්යාවේ වන ජීවි චාරිකා, ඊජිප්තුව වැනි රටවල පුරා විද්‍යාත්මක චාරිකා වැනි දේවලුත් සංවිධානය කෙරෙනවා..... තවත් රටවල් රාශියක් එක්ක අපි සංචාරයීය කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා.... ලංකාව තුල තියෙන විවිධ වර්ගයේ හෝටල් වල අසිරිය විඳ ගැනීමට වගේම කොහේ හෝ ගිහින් අතේ තියෙන ගානට ගැලපෙන, වගකීමක් සහිතව නවතින්න හැකි හෝටලයක් හොයාගන්න අපව අමතන්න ඔබට පුළුවන්...


02. කඳවුරු චාරිකා සහ ධීර චාරිකා....


ශ්‍රී ලංකාව තුල වගේම ලෝකය තුලත් සංචාරක ක්ශේත්‍රය තුල ඇති වී තිබෙන අළුත්ම රැල්ල තමයි මේ කඳවුරු හා ධීර ක්‍රියා.... ලංකාව තුල සිටින  මේ ක්ශේත්‍රයේ ප්‍රවීනයන් සමග අත්වැල් බැඳගෙන සිටින අපිත් මේ පිළිබඳව හසළ දැනුමකින් හා හැකියාවකින් හෙබියි..... ජාතික වනෝද්‍යාන තුල වගේම පාරිසරිකව ත් ඇද ගන්නා ස්ථාන බොහොමයක් අපි සතුයි... කඳවුරු උපකරණ මෙන්ම ධීර ක්‍රියා සඳහා අවැසි උපකරණද අප සතුයි... අවශ්‍ය අයට කුලියට ගැනීමක්ද කළ හැකියි.... මේ වර්ගයට අයත් වෙන තවත් ක්‍රියාකරකම් බොහොමයක් තිබෙන බවද පැවසිය යුත්තකි... ඒ අතර ලෙන් ගවේශණ, වයිට් වෝටර් රාෆ්ටිංග්, ගෑස් බැලූන් චාරිකා, දිය ඇලි චාරිකා, පා ගමන්, ආදී විවිධ ක්‍රියාකාරකම් ඉතා පහසු මිලට අපෙන් ලබාගත හැකියි... ලණුවක එල්ලිලා ලෙනකට බහින්න, කැළණි ගඟේ සැඩ පහර දිගේ ඩිංගි බෝට්ටු පදින්න, අලගල්ල බතලේගල ආදී කඳු පන්ති තරනය කරන්න වගේ ක්‍රියාකාරකම් වලට ඔබ කැමතිද? අපට කථා කරන්න.. ඔබේ අවශ්‍යතාවය ඉක්මනින් ඉටු වේවි....


03. වන ජීවී චාරිකා සහ කුරුළු නැරඹුම් චාරිකා....


ශ්‍රී ලංකාව තුළ තිබෙන ජාතික වනෝද්‍යාන තුල මෙන්ම වෙනත් ස්ථාන වලදීත් වන සතුන් නැරඹීම සඳහා මෙන්ම ගොඩාක් දෙනෙකුගේ විනෝදාංශයක් වෙච්ච කුරුල්ලන් නැරඹීමද අප ලවා සංවිධානය කරවා ගත හැකියි... අග නුවර සිට කිලෝ මීටර සිය ගානක්                             ඈතට ගිහින් ගහක මැස්සක් උඩට වෙලා, ඈත වතුර බොන වල් අලින් දිහා රැයක් බලා ගෙන ඉන්න ඔබ කැමතිද? ශ්‍රී ලංකාවට ආවේනික මෙන්ම සංචාරක කුරුල්ලන් වගේම සමණලයින් නැරඹීමට ඔබ ප්‍රිය කරනවාද? එහෙනම් මේ වෙලාව ඔබගෙයි.... යාල විල්පත්තු වගේ ජාතික වනෝද්‍යාන ඇතුලේ කුඩාරමක් ගහගෙන දිවියෙක් හරි වලහෙක් හරි නෙත ගැටෙනකන් බලන් ඉන්න ඔබ කැමතිද? අපට කතා කරන්න.. ඔබේ අවශ්‍යතාවය ඉටු වේවි... 






4. උත්සව, සම්මන්ත්‍රණ ව්‍යාපෘති කළමණාකරනය

මේක ගොඩාක් වැදගත් වෙන්නේ ආයතනික වශයෙන් හෝ විදේශිකව ඉන්න ශ්‍රී ලාංකික උදවියටයි.... ආයතනික විදිහට ගත්තොත් ඔබේ ආයතනයේ සීමාවාසික පුහුණු, විනෝද චාරිකා, ආදී කටයුතු සියල්ල අප ලවා ඉතා සාධාරණ මිලකට ලබා ගත හැකියි...  විදේශීය රටවල ඉන්න ශ්‍රී ලාංකිකයින්ට  අපෙන් වෙන සේවාව කුමක්ද කියලයි මම කියන්න යන්නේ... ඔබට ලංකාවේ ඉන්න අම්මව, තාත්තව, බිරිඳව පුදුම කරවන්න උපන් දින සාදයක් පවත්වන්න අවශ්‍යනම් අපට කතා කරන්න... ඔබේ විවාහය සංවිධානය කරන්න ලංකාවට එන්න ඔබට වෙලාවක් නැත්නම් අන්තර්ජාලයෙන් අපව මෙහෙයවමින් අප ලවා එය ඉටු කරවා ගන්න.... ඉතින් ඉකමනට අපට කතා කරන්න...

ඉතින් ඔන්න ඕක තමයි සාරාංශය.... අපිව සම්භන්ධ කර ගන්න පුළුවන් ක්‍රම තමයි පහත දැක්වෙන්නේ....  


ලිපිනය                       : Explore Lanka International (Pvt.) Limited.
                                    180\3, Malapalla,
                                    Pannipitiya,
                                    Sri Lanka.

                                    මෙන්න වෙබ් අඩවිය

විද්‍යුත් ලිපිනය           :  info@explorelankainternational.com

දුරකථන අංකය          : 0094714449162 අභීත

                                    0094715364077 මාලක


ප.ලි. ටැබූ විසින් මගේ සියවන පෝස්ට් එකට දමපු කමෙන්ට් එකට අදාල දේ ගැන මම අවධානය යොමු කලේ මීට ටික කලකට පෙරයි... කාර්ය බහුලත්වය හා වෙනත් කාරණා නිසා එය මඳින් මඳ කල් ගියා.. ශ්‍රී ලංකාවේ සුන්දර තැන් ගැන සිංහලෙන් වගේම ඉංග්‍රීසියෙන් ලියැවුනු බ්ලොග් දෙකක් ලබන සතියට කළින් එළි දකීවි... ස්තූතියි නැවත සැරයක් මගේ අවධානය ඒ කෙරෙහි යෙදෙවූවාට.....