Meemure Jungle Resort

Tuesday, June 8, 2010

වයස අවුරුදු 14දී මම දැක්ක හොල්මන..............

ලිවීමේ හැකියාව මටත් පොඩ්ඩක් හරි තියෙනව කියලා මට හිතෙන්නෙ දවසට එක්කෙනා ගානෙ වගේ මගේ ෆලෝවර්ස්ල වෙනව දකිනකොට සහ කතා වලට වැටෙන කමෙන්ට්ස් ටික දකිනකොට... ඒක හරිම දිරිමත් කිරීමක්... මට පේන්නෙ මට දන් බ්ලොග් උණක් සෑදීගෙන එනවා කියලයි... ඒකෙ වැරැද්දක් මම නොදකින නිසා සින්ඩිකේටරයට පිං සිද්ධ වේවා කියලත් කියන්න මැලිවෙන්න ඕනෙ නැහැ නේද?

අපේ ගෙදර තියෙන්නෙ පාසලට වඩා කිලෝමීටර් 9 විතර ඈතින්. එහෙනම් කොහොමද ඉස්කොලෙට ඔයා ඇතුල් උනේ කියල අහන්න එපා.. නඩුවක් දාන්න දැනටත් පරක්කු නෑ මේ ලංකාවේ... කිලෝමීටර් 5 වෙනකන් දවසේ පැය 24 පුරාම ප්‍රවාහන පහසුකම් තිබුනත් ඉතිරි කිලෝමීටර් 3, සවස 5.30න් පස්සෙ යන්න වෙන්නෙ පයින්. දැන් නම් හන්දියෙ 3වීල් තියෙන නිසා ටුක් ටුක් ගාල ගෙදර ගියෑකි.... මම කියන කාලෙ අපේ හන්දියේ 3වීල් එකක් තියා වීල්බැරෝ එකක්වත් තිබ්බෙ නෑ.....

හොදයි දැන් පටන් ගනිමු කතාව... මම ඒ කාලෙ ඉස්කොලෙ 15න් පහළ පැසිපන්දු (Basket Ball) කණ්ඩායමේ ක්‍රීඩකයෙක්. පුහුණුවීම් ඉවර වෙන්නෙ රෑ 8ට. ඒ වෙලාවට බස් එකේ හන්දියට එනකොට 9 විතර වෙනවා... ඉතිරි ටික පයින් ගිහින් ගෙදර යද්දි කිසිම අවුලක් නැතිව රෑ 10 වෙනවා... ඒ කාලෙම කොහේ ගියත් බෙල්ල බේරගෙන ගෙදර එනව කියන විශ්වාසය දෙමවුපියන්ට තහවුරු කරල තිබුනු නිසාත් පයින් එන ඒරියා එකේ හැමෝම වගේ අදුරන නිසාත් අම්මලාට උනත් වැඩිය බයක් වෙන්න දෙයක් තිබුනෙ නෑ.

කොහොමහරි මේ කියන දවසෙත් මම ඇවිත් හන්දියෙන් බැස්සා.. එතන තිබ්බ කඩෙන් රෝස් පාන් කාලකුයි (ඒ කාලෙ තිබ්බෙ නෑනෙ පෙරේරා ඇන්ඩ් සන්ස්. ඕන පොඩි බඩගින්නකට රෝස් පාන් තමයි) ඉටි පන්දම් තුනකුයි අරගෙන ඒ කඩෙන්ම පොල් කටුවකුත් ඉල්ලගෙන පයින් එන්න පිටත් උනා... ( එයින් අදහස් වෙන්නෙ හන්දියෙ ඉදන් අපේ ගෙදරට තියෙන දුර ඉටි පන්දම් තුනයි). පොඩි ෂොර්ට් කට් එකක් තිබ්බට ඒකෙ සොහොන් කොත් 4ක් විතර තියෙන නිසා එතනින් එන්නෙත් නෑ..... ඒත් මේ එන පාරෙත් තියෙනවා හෙන සයිස් පලු ගහක්.. පොඩි කාලෙ ඉදන් අපි ඔතනින් පයින් එනවනම් එන්නෙ දුවගෙන.. මොකද එතන හොල්මන් තියෙනව කියන විශ්වාසය අපේ ගමේ ගැමියන් අතරෙ බොහොම සැරට තිබ්බා.... ඒ විශ්වාසය කොච්චර සැරද කියනවනම් අර කඩෙන් ගත්ත පාන් කාල අපි කන්න පටන් ගන්නෙත් මේ පලු ගහ පහු වුනාට පස්සෙ. හදිස්සියේවත් බය උනොත් කෑම හිරවෙලාවත් මොකුත් වෙයි කියන බයට එහෙම කරන්න කියල අපේ අප්පච්චි පවා අපිට උපදෙස් දීල තිබුනා.... මේ ගහ තියෙන්නෙ පල්ලමක.. ඒ කියන්නෙ කන්ද මුදුනට ආවහම අපිට ගහ පේනවා.. ගහ පහුවෙනකම් අපි පල්ලමේ දුවගෙන යනවා...හොල්මනක් පස්සෙන් එන්නෙ නෑ කියලා හිතට දැනුනහම නැවතිලා ආයෙත් හෙමින් යනවා...

මේ කියන දවසෙත් මම ඔන්න පයින් එනවා.... පොඩ්ඩක් චිරි චිරි ගගා වහිනවා.. වෙනදට වඩා කලුවරයි... හොල්මන් වලට අයිඩියල් කාලගුනයක් තමයි තිබුනෙ... කොහොමහරි හොල්මනේ පලවෙනි පියවර වශයෙන් පලු ගහ ලග කන්ද මුදුනෙදි හොදට තිබුනු ඉටි පන්දම එක පාරටම නිමුනා.... බෑග් එකෙන් ගිනි පෙට්ටිය අරන් තව ගිනිකූරු 5ක් විතර අරගෙන ගැහුවත් ඒවා නිමුනෙ හුලගක්වත් නැතිව.... වීරයා වෙන්න ඕන නැහැනෙ.. ඇත්තම කියනවනම් මම හොදටම බය උනා... කොහොමහරි හය වෙනි නැත්නම් හත් වෙනි ගිනිකූරෙන් ඉටි පන්දම පත්තු කරගත් ගැහෙන සිතින් පලු ගහ දිහා බැලුවා.. මොකුත් අවුලක් නැහැ.. පලු ගහ නිසලයි... මම නැවතත් ගමන පටන් ගත්තා....

ඔන්න හොල්මනේ දෙවෙනි පියවර.. පලු ගහ තියෙන්නෙ පාරෙ වම් පැත්තෙ.. මම දන් බය නිසා දුවන්නෙත් නැතිව පාරෙ දකුනු පැත්තෙ කෙලවරින්ම හෙමින් හෙමින් යනවා... පලු ගහ දිහාවත් බලන්නෙ නැතුව. පලු ගහ ලගටම යද්දි මට ඇහෙනවා.. ශ්... ශ්ශ්.. ශ්.. වගේ සද්දයක්.. ඒ වෙලාවෙනම් පපුවෙ බිත්තරයක් වුනත් තම්බන්න පුලුවන්... ඕන කෙහෙල්මලක් කියලා මම පලු ගහ දිහා බැලුවා. දැක්ක දෙයින් මගෙ ඇග හිරි වැටිලා ගියා... මිනිහෙක්ගෙ ඡායාවක් ගහ මුල.. මේ රෑ නම් අහල ගම් හතක මිනිස්සුන්ගෙන් එකෙක්වත් මේ පලු ගහ යට ඉදගෙන ඉන්නෙ නැති එක නම් මට 200% විශ්වාසයි... හැබැයි මේ කල්පනාවත් එක්කම මගේ බය අඩු වෙලා විචිකිච්චාව ටිකක් වැඩි උනා කියලයි මට දැන් හිතෙන්නෙ. දැන් පලු ගහට හරියටම පාරෙ විරුද්ධ පැත්තෙන් තමයි මම ඉන්නෙ. ඒ මදිවට නැවතිලාත්. වැස්ස නිසාත් වැස්සත් එක්ක ආපු වැහි අදුර නිසාත් ඒ පොඩි දුරවත් පැහැදිලිව පේන්නෙ නෑ... මිනිහා අතින් පොලව හාරනව වගෙ පේනවා.. එතකොට තමයි අර ශ් සද්දෙ එන්නෙ.. මම ටිකක් හයියෙන් අඩිය පොලවෙ ගැහුවා.. එ සද්දෙට අර ඡායාව ඔලුව ඉස්සුවා වගේ දැක්කා... මගේ කකුල් ලොක් උනා... කෙල ගිලුනා.. තොලකට වේලුනා.... තවමත් ඒ වෙලාව මතක් වෙද්දි මගේ ඇගේ හිරි ගඩු පිපෙනවා..

ඡායාවෙන් ආවේ මිනිස් කෙදිරිලි හඩක්.. "අනේ පුතේ................" කියල තමයි කිව්වේ... බය අඩු උනේ නැති උනත් කුතුහලයක් හිතට දැනුනා මේ මොකෙක්ද? කියලා..... මම හයියෙන් ඇහුවා "කවුද ඔතන" කියලා... ඡායාව කිව්වෙ මොකක්ද දන්නවද? "අනේ මට බඩගිනියි, කන්න දෙයක් ගෙනත් දියන් පුතේ" කියලා... දැන් නම් මට ලගට යැවුනා.. බලපුහම හිගන කෙනෙක් වැස්ස නිසා ආපහු යන්න විදිහක් නැතුව පලු ගහ මුල ඉදගෙන ඉන්නවා.. කරන්න වැඩක් නැති නිසා තමයි අර කෝටුවකින් පොලව හාර හාර ඉදල තියෙන්නෙ... මේ වෙද්දිත් මගේ බය ඇරිල තිබ්බෙ නෑ.. මම වචනයක්වත් කතා නොකර කඩෙන් ගත්ත පාන් කාල එයාට දීල ගෙදරට එනකන් දුවගෙන අවා මතකයි...

මේ ටිකත් කියන්න ඕන. එදා ගෙදරට දුවගෙන ඇවිත් පිල උඩ ඉදගෙන මම මහා හයියෙන් ඇඩුවා.. අම්මලාට හෙන අවුල්.. අම්මලා මොකද කියල ඇහුවත් මට සිද්ධිය කියා ගන්න කට ඇර ගන්න සෑහෙන වෙලාවක් ගියා.. එදා රෑත් මම හීනෙන් දැක්කෙ ඒ මනුස්සයව.. අම්ම පන්සිල් ගන්න කියලා ඔලුවෙ තෙල් වගේකුත් ගෑවා. පහුවදා උදේ පාන්දරම බස් එකේ ආයෙත් ඉස්කොලේ යද්දි මම පලු ගහ ලග බැලුවෙ මනුස්සයා ඉන්නවද කියලා.. එයා එතන නොහිටියත් ඊලග හෝල්ට් එකෙන් බස් එකට නැගල ටවුන් එකට ටිකට් එකක් ගද්දි මම මාත් එක්කම හිනා වුනා.

ප.ලි. හැබැයි එදායින් පස්සෙ ඇත්ත හොල්මනක් ආවත් මම බය වෙන්නෙනම් නැතිවෙයි...

8 comments:

  1. ජයවේවා..එඩිතර කොල්ලෙක්නෙ.එතකොට මචං එතන ඇත්තටම ඉදලා තියෙන්නෙ හොල්මනක්ද? නැත්නම් හිගන්නෙක්ද?

    ReplyDelete
  2. අයියාට අම්මලා තාත්තලා අභීත කියලාම නම දාලා තියෙන්නේ ඒක නිසා තමා :)

    ReplyDelete
  3. පිස්සු කියෝනවා.. මතක් වෙද්දිත් මගෙ කකුල් ගැහෙනවා..... :D

    ReplyDelete
  4. සිරාවටම අභීත අයියෙක්...

    ReplyDelete
  5. පට්ට අභීත කොල්ලෙක් නේ බං උඹ... :ඩී

    ReplyDelete
  6. චැහ්...ආටෝප නැති උනාට කොර කතාව.

    ReplyDelete
  7. Iskole indan km 9 nam bas eken km5yi nam payin km3 yi nam ituru 1km walata mokada une

    ReplyDelete