Meemure Jungle Resort

Wednesday, June 30, 2010

මනුවෙල් අප්පුහාමි එකයි බොලොක්කෙයි

මේ කතාව බාලදක්ෂ කරන කාලෙ කතාවක්.. මේක ටිකක් බාලදක්ෂවලට ගැලපෙන්නෙ නැති උනත් ලියන්න ඕන කියලා කිව්වෙ අපේ චාමර ජයවීර මල්ලි.. බාලදක්ෂයෝ උනත් කොල්ලොනෙ ඉතින්.. උන්ගෙත් එක එක වෙලාවල් වලට පොඩි පොඩි නැහැදිච්ච වැඩ තියෙනවා.. ඒත් ඒවාත් ගොඩාක් වෙලාවට බාලදක්ෂ සමූහය වෙනුවෙන් කරපු දේවල් කියලත් කියන්න පුලුවන්.... ගහගත්තෙ මරාගත්තෙත් පාසල වෙනුවෙන් කියන කාලයක් ඕන කොල්ලෙකුට එනවා.... ඉතින් ඔය වගේ අපි කරපු එක චොර වැඩක් ගැන කියන්නයි මම මේ ලැහැස්ති වෙන්නෙ... සාමාන්‍යයෙන් Camp එකක් ලං වෙනකොට අපි යනවා ඒකට අවශ්‍ය බඩු ගන්න.. බාලදක්ෂ කදවුරු වලට ඕන ඉතින් ඔය හට්ටි මුට්ටි ලනු කඹ වගේ ලට්ට පට්ටනෙ.. මේවට කුරුණෑගල තියෙන ජනප්‍රියම කඩේ තමයි මනුවෙල් අප්පුහාමි සහ පුත්‍රයෝ කියන්නෙ.. ඉතින් මේ කඩෙන් බඩු ගන්න යනකොට අපි 20ක් විතර යනවා.. ඒ කාලෙත් 2000ක විතර බඩු ගන්න යන අපි 4000ක විතර බඩු ගේන්න හිතාගෙන තමයි මේ වැඩිපුර එක්ක යන්නෙ... කොල්ලො 20ක් එක කඩේකට ගියහම වෙන දේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ඔයාලට...

මනුවෙල් අප්පුහාමි එකේ ඉදන් අපේ පාසැලට කෙලින් පාර... මීටර් 700ක් විතර තියෙනවා.. හැබැයි මැද හරියෙ තියෙනවා පාරවල් 5ක් විතර එකට සෙට් වෙන පුත්තලම් හන්දිය.. මේකෙන් පාර මාරු වෙන එක හෙනම ගේමක්.. හදිස්සියකට නම් මෙතනින් ඒ කාලෙත් යන්න බෑ.. දැන්නම් කොහොමටවත් යන්න බෑ.. එච්චරටම Traffic.

දැන් ඉතින් කතාවට බහිමුකො... මමයි දිනේශ් මල්ලියි කඩෙන් එලියෙ ඉන්නවා වටපිට බල බලා.. අපිට පේනව ඇතුලෙ අපේ උන් මල යුද්දෙ.. හැමෝම ට්‍රයි කරන්නෙ මොකක් හරි වැදගත් භාණ්ඩයක් හොරෙන් උස්සන්න... මේ අතරෙ අපි දෙන්න දැක්ක කඩෙන් එලියෙ එල්ලලා තියෙන බොලොක්ක ( කප්පි ) සෙට් එකක්... දැන් අපි දෙන්නට මේ එකක් උස්සන්නමයි ඕන.. ඒ කාලෙ ඒ වගේ සිතිවිල්ලක් පහල උනොත් ආයෙ ඒක වලක්වාගන්න හරිම අමාරුයි නෙ... අපි දෙන්නත් මේක ක්‍රියාත්මක කරන්න පොඩ්ඩක්වත් පැකිලුනේ නෑ.. දැන් වට පිට බලලා ගත්තා බොලොක්කෙ අතට. දැන් මේක අතට අරන් එතනට වෙලා ඉන්නත් බෑනෙ... අනිත් උන් එනකන් අපි පොඩ්ඩක් පහලට වෙලා ඉමු කියලා කතා වෙලා අපි පොඩ්ඩක් එලියට බැස්සා.. එතනින් ගිහින් කඩේට මීටර් 70ක් වගේ තියලා අපි දෙන්නා කයියකුත් ගහගෙන ඉන්න කොට මට පෙනුනා කඩේ හිටිය පොරක් අපේ පැත්ත බල බල අපේ ලගට එනවා... ලොතරැයියක් ඇදෙන්න යන්නෙ කියලා මට ඉවෙන් වගේ තේරුනා.. දිනෙශ් පොඩි එකා නිසා මම එයාට කිව්වා, "මචන් උඹ මාව වැඩිය දන්නෙ නෑ කියපන් අපිව අල්ලගත්තොත්" කියලා. දැන් පොරත් ලග ලගම එනවා.. බොලොක්කෙ මගෙ අතේ... අර මිනිහා ආපු ගමන් "හහ්, පොඩි කාලෙ ඉදලම හොරකම නේද" කියල අපි දෙන්නගෙ අතින් අල්ලගත්ත...

දැන් මිනිහ අත් දෙකින් අපි දෙන්නව අල්ලගෙන... මගෙ අනිත් අතේ හොර බඩු.. ඒ කියන්නෙ බොලොක්කෙ.. ( කප්පිය ). දැන් මිනිහට බොලොක්කෙ ගන්නත් ඕන.. ඒත් අත් තුනක් තියෙන එකක්යැ... මිනිහා මාව අත ඇරල කප්පිය ගත්තා.. මම නිදහස්.. ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත මම දැන් හුරේ රන්..... ඒ අතරෙ පාර දෙපැත්තෙ උන් කෑ ගහනව මට ඇහෙනවා "ඔන්න හොරෙක්, ඔන්න හොරෙක්" කියලා.. දුවන අතරෙ පස්ස හැරිලා මම බලනකොට දැක්ක දෙයින් මගෙ ඇග සීතල වෙලා ගියා.. අර බර උස්සන පොරක් උගේ යකඩ කොක්කත් උලුක් කරගෙන මගෙ පස්සෙන් පන්නනවා... හරියට මම උගේ මුට්ටයක් ඉස්සුවා වගේ... කොහොම හරි අච්චර අමාරු පුත්තලම් හන්දියෙනුත් මම සස් ගාලා පැන ගත්තා.. පනිනකොටම අපේ කොල්ලෙක් ශක්‍රයා වැඩියා වගේ යතුරු පැදියකින් එතනට පාත් උනා.. මම අත දාලා උගේ පිටි පස්සට නැගලා එන ගමන් ආපහු පස්ස බැලුවා.. අර පොර ඉන්නවා අත් දෙක ඉනට ගහගෙන මට ඔරෝගෙන.. මම ඉතින් අමනාපකම් දුරු වෙන්නත් එක්ක පොරට ටටාත් කිව්වා... කොහොමහරි මේ adventure එක ඉවර කරලා මම බාලදක්ෂ කාමරේට එද්දි අර වෙසක් කූඩුව කතාවෙ ජනකයා ඉන්නවා එතැන... මම ඌට සීන් එක කියලා මිනිහව ටක් ගාලා මනුවෙල් අප්පුහාමි එකට පිටත් කලා කේස් එක ශේප් කර ගන්න...

දැන් පැයකට විතර පස්සෙ කට්ටිය ඔන්න ආවා ඉස්කෝලෙට.. පොඩි උන් මට වදිනවා.. මම බැලුව මොකද මේ කියලා.. මම ඇහුව මොකද බන් කියලා... අයියගෙ සීන් එකට පින් සිද්ද වෙන්න අපිට අඩු ගොඩාක් බඩු අද අපි ගොඩ දා ගත්තා කියලා කිව්වා.. පස්සෙයි මටත් මීටර් උනේ.. කඩේ උන් මගෙ සීන් එකට ඇහැ දාන අතරෙ මුන් කඩෙන් බාගෙකටම ගේම දීලා... දිනේෂුත් මාව දන්නෙ නෑ කියලා හෙන මර්සියක් දාල බේරිලා ..

එදා තමයි අපේ උන් රුපියල් දෙසීයට පැට්‍රල්මැක්ස් එකකුයි ප්ලාස්ටික් ලොකු බකට් එකකුයි අරන් තිබ්බෙ.. ඔයාල හිතනව ඇති එච්චර ලාබෙට කොහොමද ඒ දෙකම ගත්තෙ කියලා... වෙලා තියෙන්නෙ මෙහෙමයි... රුපියල් 200ක් දීලා ප්ලාස්ටික් බකට් එක අරන් පැට්‍රල්මැක්ස් එක බකට් එක ඇතුලට දාලා පියනෙන් වහගෙන ඇවිත්....

ප.ලි. මේ වගේ වැඩ හරි නෑ කියලා තේරෙන්නෙ දැන්.. ඒත් ඒ කාලෙ මේ වගේ ආතල් ගත්තෙ නැත්නම් වැඩකුත් නෑ කියල හිතෙනවා වෙලාවකට...

Monday, June 28, 2010

මාතර යාළුවෙක් මට දුන්න වස ලැජ්ජාව...


මේක උනේ මම අර ද්වීතීයික අධ්‍යාපනය හදාරන කාලේ... සිංහලෙන් කියනවනම් උසස් පෙළ කරලා වෙන ඩිප්ලෝමා එකක් හදාරපු කාලෙ.... ඒ ඩිප්ලෝමා එක මම කලේ කොළඹ 7 තිබ්බ ආයතනයක.... මම කොළඹ ඇවිත් නැවතුනේ දෙහිවල නැදිමාලේ.. මාතරින් ආපු යාලුවෙකුත් ඒ හරියෙම නැවතිලා හිටියා... ඉතින් අපි දෙන්න යන්නෙ එන්නෙ එකට... දන්නවනෙ ඉතින් ඒ වයසට ෆිට් කොල්ලො දෙන්නෙක් බස් එකේ යනවා කිව්වම..

ලස්සන කෙල්ලෙක් එහෙම බස් එකට නැග්ගම අපි ඉතින් අනන්මනන් කියනව එහෙමනෙ.. පාරෙ ගෑණු ළමයෙක් ගියත් අනිකටත් පෙන්නලා පොරක් වෙන්න බලන කාලෙනෙ ඉතින්... ඒත් මගෙ මාතර යාලුවා (දසුන්) ඒ ගැන වැඩි උනන්දුවක් තිබ්බෙ නෑ... ඒත් ඉතින් ඌත් ඉදල හිටල ඒ ගැන උනන්දු නොඋනාමත් නෙමෙයි... පස්සෙ තමයි දැනගත්තෙ පොර මටත් හොරෙන් ඒ කාලෙම කෙල්ලෙකුට ට්‍රයි කරපු වග...

දවසක් අපි දෙන්න බස් එකේ යනකොට බම්බලපිටිය හරියෙදි පාරෙ ගියා ලස්සනම ලස්සන ගෑණු ළමයෙක්. මම තමයි දැක්කෙ... දැන් තියෙන්නෙ දසුන්ට පෙන්නන්න තියෙන උනන්දුව... අපි දෙන්න හිටගෙන හිට්ය නිසා මම මූ දිහා බැලුවත් පොර ඉන්නව අහක බලාගෙන.. මම හෙමීට ඇගිල්ලෙන් ඇන්නා.... මිනිහ මට රවලා අනිත් පැත්ත බලා ගත්තා... මම ආයෙත් ඇන්නා.. ඒ පාර මූ මගෙ දිහාට හැරිල මගෙන් අහනව...

"මොකො බන් අනින්නෙ කියලා.... "

මටත් මල පැන්නා.. උඹට එපානම් මට මොකද කියලා මම නිකන් හිටියා... ටොරින්ටන් බැහැලා පයින් යන ගමන් මම ඌට කිව්වා... මචන් මීට පස්සෙ මම ඇන්නොත් ටිකක් වටපිට බලපන්.. පෙන්නන්නෙ මොකක් හරි වැදගත් දෙයක්... එක්කො ලස්සන කෙල්ලෙක් එහෙම නැත්නම් අලුත් වාහනයක්.. වගේ කතා... පස්සෙ මූත් කිව්ව ඉතින් කියන්න එපායැ බන් කලින්.... යකෝ අවුරුදු 20ක කොල්ලෙකුට ඕකෙ කියන්න දෙයක් තියෙනවද? මමත් තනියම හිනා වෙවී ඔය කේස් එක අමතක කරලා දැම්මා...

කොහොම හරි තව දවසක් උදා වුනා.... අපි හවස ක්ලාස් ඇරිලා යන ගමන් තමයි මේක උනේ.. අර කිව්වා වගේම ඉතා ලස්සන ගෑණු ළමයෙක් නැග්ගා අපේ බස් එකට... මම කොහොමත් වටපිට ගැන උනන්දුවෙන් ඉන්න නිසා මෙයාවත් ඉස්සෙල්ලාම දැක්කෙ මම... දසුන්ට දැන් සීන් එකත් කියලා තිබ්බ නිසා උගේ අවධානය යොමුවීම පිණිසත් මම ඌට වැලමිටෙන් ඇන්නා.. පොරට මතක් උනා මම කලින් දවසක දුන්න අවවාදෙ.. බැලුවා වටපිට.. කෝ. කවුරුත් නෑ... ඒත් තිබ්බ උනන්දුවට මේකා බස් එකටම ඇහෙන්න මගෙන්ම මෙහෙම ඇහුවා.....

කෝ කොහෙද බන්? කොතනද ඉන්නෙ? මට පේන්නෙ නෑ....

ඔය උනේ ලස්සනට... බස් එකේ ඔක්කොටම මීටර් උනා සිද්දිය... දෙනෝදාහක් ඉදිරියේ වෙච්ච ලැජ්ජාවට පින් සිද්ද වෙන්න දෙහිවලට ටිකට් ගත්ත අපි දෙන්න බම්බලපිටියෙන් බැහැලා වෙන බස් එකක ගියා.... ඒ යනකන් මම ඌට අමතපු ආකාරය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ නේද?

ප.ලි. : යාපනේ චාරිකාවෙ විස්තර ලියන ගමන් ආපු පොඩි නිදිමත ගතිය නිසා තමයි මේක ලිව්වෙ.... හෙට වෙද්දි යාපනේ ගමන ගැන ලියන්න බලාපොරොත්තු වෙනවා....

Sunday, June 27, 2010

බෝඩිමේ කතා 5. (ලුනාට කොහොමද නම වැටුනෙ...)


පොඩ්ඩා වෙඩින් එකට ගිය කතාවට කස් (කසුනි.) දාලා තිබ්බ කමෙන්ට් දැක්කම තමයි මේ කතාව මතක් උනේ... බෝඩිමේ කතා වලට නම් කස්ගෙ කමෙන්ට් වරදින්නෙ නෑ... කතාව කියන්න කලින් මගෙ බෝඩිමේ කතා වලට කමෙන්ට් කරන කස් ගැනත් එයාගෙ සහපිරිවර ගැනත් නොලිව්වොත් පොඩි අඩුවක් කියලයි මට හිතෙන්නෙ.... කොල්ලො කොතනද එතැ කෙල්ලොත් ඉන්නවනෙ.. අපේ බෝඩිමේ උන්ගෙ හිටපු සදාදරණීය, හිතවත් සහ අමරණීය කෙල්ලො සෙට් එක තමයි මෙයාලා... අපේ උන්ගෙ සහෝදරියො විදිහටත්, මිතුරියො විදිහටත්, සමහරුන්ගෙ පෙම්වතියො විදිහටත් මේ ගෑණු ළමයි ටික අපිත් එක්ක හිටියා...

කස්, සෙව්වා, දිනූ, ශිරෝමි ඇතුලු නඩේකින් තමයි මෙයාලා සමන්විත උනේ... අපේ බෝඩිමේ තිබ්බ පාටි වලටත් මෙයාලා ආවා.. කොටින්ම අපේ බෝඩිමේ ලොක්කා අපිට වඩා මේ කෙල්ලො සෙට් එකට ආදරෙයි... කොහොමහරි කස් මේ සෙට් එකට එකතු උනේ, කැම්පස් ආපු පළවෙනි දවසෙ ගේට් එක ලග තිබ්බ අඹ ගහ යටට වෙලා අම්මා නෑ කියලා අඬ අඬා ඉද්දි කියලා තමයි රට්ටු කියන්නෙ... මෙයාලගෙ කතාත් තව ගොඩායි... ඒවා පස්සට කියමු... දැන් එමු කතාවට...

අපේ බෝඩිමේ සංයුතිය ගැන මම පළවෙනි කතාවෙදිම කිව්වනේ... මේකෙ හිටපු අන්ජයි ලුනයි නිවුන්නු.... හරියට කෝලිකුට්ටු සහෝදරයො වගේ.. එකම රූපෙ නැති උනාට පොඩි පොඩි සමාන කම් තිබුනා... කොහොමහරි එක දවසක මේ දෙන්න අපේ බෝඩිමට ආවා නවතින්න කතා කර ගන්න... දැන් අංකල් එක්ක පොඩි සම්මුඛ පරීක්ෂණයක්... අපි කොහොමත් අපේ බෝඩිමට එන අයට තේ එකක් දෙනවා... බෝඩිමට අලුතෙන් එන අයට දෙන තේ එක ටිකක් වෙනස්... ඉතින් ඔය සම්මුඛ පරීක්ෂණය වෙලාවෙ අපි ගියා තේ එක හදන්න... අංකල්ටත් එකක් හදලා මේ නිවුන් සහෝදරයො දෙන්නටත් තේ දෙකක් අපි හැදුවා.. වෙනසකට තිබුනෙ ඒ තේ දෙකේ සීනි වෙනුවට ටිකක් වැඩිපුර ලුණු දාලා තිබ්බ එක විතරයි... පොඩි බිස්කට් පැකට් එකකුත් තිබ්බ වගේ තමයි මතක... දැන් අංකලුත් දන්නවා සිද්ධිය.. අංකල් එයාගෙ තේ එක අරන් අර දෙන්නටත් කිව්වා බොන්න කියලා.... දැන් මේ දෙන්නා ගත්තා තේ එක.. අන්ජා තේ එක කටේ තිබ්බා විතරයි එලියට දුවගෙන ගිහින් පෲ.....ස්..ස්..ස්..ස්..ස්..ස්......... ගාලා දැම්මා... එත් ලුණා නෙමෙයි ගානක්වත් ගත්තෙ... ඌ බොනවා අපූරුවට...

අපි හිතුවෙ අපිට වැරදිලා ලුණු හැදි ඔක්කොම අන්ජගෙ එකට දාන්න ඇති කියලයි... තේ එක මේසෙ උඩින් තිබ්බ ගමන් අපේ එකෙක් හිස් කෝප්ප දෙක අරන් ටක් ගාල ඇතුලට ගියා..ගිහින් අර ලුණා ඉතුරු කරලා තිබ්බ එකෙන් පොඩ්ඩක් බිව්වා මොකද වෙලා තියෙන්නෙ කියලා හරියටම දැන ගන්න. අම්මෝ ඒකත් පට්ට ලුණු රහයි.. මූ අපිවනෙ බයිට් කරල තියෙන්නෙ පළවෙනි දවසෙම... ඒකෙන් උනේ බෝඩිමට එන්නත් කලින් ඌට ලුණා කියලා කාඩ් එකක් වැටිච්ච එකයි...

ප.ලි. මේ ලගදි ලුණා යුග දිවියට ඇතුල් වුනා... ඒක නිසා උගේ අනිත් කතා එකක්වත් මට ලියන්න වෙන්නෙ නැති එක ගැන සමාවෙන්න ඕන.

Sunday, June 20, 2010

තනි දවසෙ ට්‍රිප් එකක් යන්නෙ කොහොමද?

මම දැන් කියන්න යන්නෙ මගේ ව්‍යපාරය අදාල දෙයක්... හැමදාම ඔයාලට ආතල් දීලත් බෑනෙ... ලංකාවෙ දැන් එක් දින චාරිකා වලට කියන්නෙ Spend the Day. ඉතින් ඒක දැන් පොඩි trend එකක් වෙලා... ඉතින් මම කියන්න හදන්නෙ මේ වගේ Spend the Day වලට යන්න හොද තැන් කිහිපයක්...

මා හැගි හොදම තැන තමයි කිතුල්ගල... හොදට විනෝද වෙලා ගගේ නාල ගමේ විදිහට කාල ඕනෙනම් White Water Rafting පාරකුත් දල එන්න පුලුවන්.... කිතුල්ගල ගිහින් වැඩක් නෑ කියපු කිසි කෙනෙක් මට මෙච්චර කාලෙකට හම්බවෙලා නෑ...

දෙවෙනි එක තමයි බලපිටිය සහ කහව... මාදුගගේ රවුමක් ගිහින් කහව මුහුදෙ තියෙන ස්වභාවික නාන තටාකයෙ නාල එතනින්ම හොදට කාල එන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව...

අනිත් එක මහනුවර.. ටිකක් සම්ප්‍රදායික ගමනක්.... ඒක ඕනෙනම් පින්නවලට සීමා කරල සංවිධානය කරගන්න පුලුවන්..

මීගමුව සහ හලාවතත් ඒ වගේ Spend the Day එකකට කියාපු තැන්.. නමුත් මේ පැත්තෙ යද්දි ටිකක් දන්න කට්ටිය එක්ක ගියොත් තමයි හොද.... මොකද, සුද්දෙට හරිම හපන්නු තමයි මුහුදු වෙරලෙ ඉන්නෙ...

කොලඹට කිට්ටුවෙන්ම ඕනනම් ඔයාලට බොල්ගොඩ, නාච්චිමලේ (මේ ගැන දැන ගන්න මූණු පොතේ Lanka Tour Organizers එකේ Fan Page එකට එකතු වෙන්න....) වගේ තැනුත් කිසි ප්‍රශනයක් නැතුව යන්න පුලුවන් තැන් තමයි....

සල්ලි ටිකක් වැඩිපුර තියෙනවනම් Hotels වලට යන්න පුලුවන්.... අතේ තියෙන ගානට Hotel එකක් හොයගන්න තමයි අපිට කතා කරන්න වෙන්නේ... ඒත් අනේ මන්ද මටනම් Hotel එකකට ගිහින් දවසක් ගත කරනවට වඩා ස්වාභාවික පරිසරයත් එක්ක ගැටෙන ටිකක් ෆන්...

අප්‍රකට තැන් එහෙමත් ගොඩාක් තියෙනවා.. ඒවා ප්‍රසිද්දියේ කියන්නෙ නැති නිසා මෙතනින් අපිට කතා කරන්න පුලුවන්... එක දවසින් ගිහින් එන්න තවත් තැන් මම සදහන් නොකලෙ ඒ තැන් වලට ලගාවීමට තියෙන වෙලාව ටිකක් වැඩි නිසයි

මම අද රෑ යනවා යාපනේ... ගිහින් ඇවිත් ඒ ගමන ගැන ඉතාම හොද විස්තරයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා....

බෝඩිමේ පොඩ්ඩා කොහොමද වෙඩින් එකකට ගියේ... (බෝඩිමේ කථා අංක 04)

ඉතාමත් සොදුරු විදිහට ගෙවුනු අපේ බෝඩිමේ, කතා සීරීස් එකට ලැබෙන උනුසුම් ප්‍රතිචාර මැද්දේ අපේ පොඩ්ඩාට වුන තවත් පුංචි සිද්ධියක් ලියන්න තමයි මේ හදන්නෙ...

අපේ අංකල් හරිම දරදඩු, ඒත් ටිකක් සිරා ඩයල් එකක් කියල මම කිව්වනේ.. තනිකඩ ජීවිතේ ලොකු වියදමක් නෑ.. අපේ සල්ලියි පොරගෙ විශ්‍රාම වැටුපයි එකතු උනාම මිනිහට ඕනවටත් වැඩියි කියලයි අපිත් එක්ක ඒ කාලෙ කිව්වෙ. තනිකඩ ජීවිතේ කිව්වට එයාගෙ බිරිදයි දරුවොයි එයත් එක්ක එයාගෙ නීති වලට යට වෙලා ඉන්න බෑ කියල ගිහින්..

ඉතින් අංකල් හැම මාසෙකම නැෂනල් සූට් එකක් මහනවා.. ඒත් එයාට ඒව අදින්න තැනක් නෑ... අපි කරන්නෙ අපිට ඉන්වයිට් කරන එක එක පාටි වලට ඒව ඇදගෙන යනවා.. මටයි පොඩ්ඩටයි නිකන් කියල මැස්සුවා වගේ... අනිත් උන්ට හරි යන්නෙ නෑ...

ඉතින් ඔන්න එක දවසක අර මම කලින් වැඩ කලා කිව්ව අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහායක මහත්තයෙක්ගේ මගුල් ගෙයක් තිබ්බා එඩේරමුල්ලෙ.. බෝඩිමේ ඉදන් කිලොමීටර් 1ක් විතර තමයි අදාල තැනට තියෙන්නේ.... මට තනියම යන්නත් කම්මැලි හින්ද පොඩ්ඩට කිව්ව.. යමන් පොඩ්ඩො නිකන් ඉන්න එකේ ගිහින් කාල බීල එමු කියලා... ඒ කාලෙ නැනෙ plates ප්‍රශ්න.. මගුල් ගේ තිබ්බෙත් ගෙදර.. පොඩ්ඩා කිව්වා.. අනේ බෑ අභියා.. මට කම්මැලියි... ඒත් ඉතින් අපි කවුරුත් කෙල්ලෙක් එනවා කිව්වානම් පැනලනෙ යන්නෙ... ඒ නිසා මම කිව්වා.. හෙන කෙල්ලො සෙට් එකකුත් එනව බන්, වරෙන් යන්න කියලා.. ඔන්න මූට ආව පුංචි උනන්දුවක්... මූ අහනව උඹ කොහොමද එහෙම කියන්නෙ... මම උත්තර දෙනවා. "ඇයි බං උන්ගෙ ගෙදර ගාමන්ට් ගෑනු ලමයි වගයක් බෝඩ් වෙලා ඉන්නවනෙ". ඔන්න කොල්ල තවත් ටිකක් උනන්දු වෙලා "මොකක්ද බං උඹලා නිදා ගන්නවත් දෙන්නෙ නෑනෙ මනුස්සයෙකුට, යමන් යමන්" කියලා ඇදෙන් නැගිට්ටා....

දැන් දෙන්නම අංකල්ගෙ කිට් ගහගෙන රෙඩි උනා යන්න... ඒ අතරෙ සුදූ මගෙ කාමරේට ඇවිත් කිව්වා.. උබ පුලුවන්නම් පොඩ්ඩව හලලා පලයන්... අපිටත් රෑට බයිට් එකක් ඕනනෙ මචන් කියලා... අපේ බෝඩිමේ හැටි දන්නවනෙ.. අයිඩියා එක එන්න විතරයි ඕන... පට පට ගාලා කට්ටිය වැඩේට සෙට් වෙනවා.... දැන් කට්ටිය පොඩ්ඩව රෙඩි කරනවා... සරම අන්දනව... කොන්ඩෙ ජෙල් කරනවා... එක කෙලියයි... දැන් පොඩ්ඩා අංකල්ගෙ බයික් එකත් අරන් ආවා ඉස්සරහට... ඒ අස්සෙ ඩමියා කතා කරනවා පොඩ්ඩාට.. පොඩ්ඩො වරෙන් මේ සෙන්ට් එක ගහගෙන පලයන් කියලා.. පොඩ්ඩා මගෙන් විනාඩියක් ඉල්ලගෙන ඇතුලට ගියා.. ඒ අතරෙ සුදූ අංකල්ගෙ බයික් එක අරන් දුවගෙන ගියා මාවත් අඩ ගහගෙන... පොඩ්ඩා සෙන්ට් එක ගහගෙන එනකොට අපි දෙන්න මාරු වෙලා..

ඉතින් හිතන්නකො මූට මොනව හිතෙන්න ඇත්ද කියලා... ඊට පස්සෙ සතියක් විතර යනකන් පොඩ්ඩාත් එක්ක කතා කරන්න මට මාර ගේමක් දෙන්න වුනා... මටත් පව් කියල හිතුනට සමූහික තීරණ ක්‍රියාත්මක කරන්නත් ඕනනෙ.. ඒත් පොඩ්ඩා නෙමෙයි මේ කිසි දේකින් සැලුනෙ..

රියදුරු තුමා ගලධාරී හෝටලයෙන් ආහාර ගත් හැටි......


මම දැන් වැඩ කරන තැනට කලින් වැඩ කළේ රජයේ වැදගත් අමාත්‍යාංශයක... එතන හිටපු ලොකුම නිලධාරියා තමයි අමාත්‍යාංශ ලේකම්.. ඉතින් එයා ලග වැඩ කරන කාර්යාල සේවක, රියදුරු වගේ අයටත් එතුමා නිසා පොඩි පොඩි චාන්ස් නොවැදුනා නෙමෙයි... මම එතනට ගිය කාලෙම අමාත්‍යාංශ ලේකම් විදිහට හිටපු සර් ඉතාමත් වැදගත් සහ මනුස්සකම පිරිපුන් මනුස්සයෙක්... ඇත්තම කියනවනම් ඒ වගේ රජයේ නිලධාරීන් හරිම දුර්ලබයි... මේ නිසාම මෙතුමා ලොකු ලොකු සාද වලට ගියාම තමන්ගෙ රියදුරුටත් එතනින්ම සප්පායම් වෙන්න අවස්තාවක් උදා කරල දුන්නා... අපි රියදුරුගෙ නම සිරිපාල කියල හිතමුකො... ( වෙන නමක් දැම්මෙ මම මේක දාන්නද කියල අහපුහම නම දාන්නෙ නැතුව දාන්න කියපු නිසයී) ඉතින් දවසක් සිරිපාල ලේකම් තුමාත් එක්ක මොකක් හරි වැඩකට ගියා ගලදාරී හෝටලේට.. වැඩෙ ඉවර වෙලා ලේකම් තුමා ඒ හෝටලෙන්ම දිවා අහාරය ගන්න හිතිලා සිරිපාලටත් කතා කලා තමන් එක්ක එකට වාඩිවෙලා අහාර ගන්න.... සිරිපාලත් ඉතින් ලේකම්තුමාට පින් සිද්ද වෙන්න ඒ වගේ තැන් කීපෙකින් කාල තිබුන නිසා පැකිලීමක් නැතිවම වාඩි උනා...

දැන් අවන්හල් සේවකයා ගෙනාවා දෙන්නගේ Plates. සිරිපාල දැක්කා Chicken Drumstick එකකුත් තියෙනවා.. ඒ කාලෙ කවුරුත් දැන් වගෙ අත හෝදන්න කෝප්ප ඉල්ලන්නෙ නෑනෙ, ලොකු හෝටල් වලට ගිහින්.. දැන් සිරිපාලත් හැදි ගෑරුප්පු අරගෙන සෙට් උනා වැඩේට... ලේකම් තුමා ඉස්සරහා පුටුවෙ ඉදගෙන පාඩුවේ කනවා.. සිරිපාලත් කනවා..... ටිකකින් ගෑරුප්පුව ගත්ත සිරිපාල Drumstick එකට හෙමීට ඇන්නා... අනේ ඒක ඔන්න plate එකෙන් මේසෙ උඩට වැටුනා... වටපිට බලලා හෙමීට අරගෙන තියගත්තා පිගානෙන්.. දෙවෙනි පාරටත් ඇන්නා.. පුරුදු පරිදි ආයෙත් මේසෙ උඩ... ආයෙත් වට පිට බලල පිගානෙන් තියාගත්තා..... ලේකම් තුමා දිහා බැලුවත් එතුමා පුරුදු පරිදි පාඩුවේ ආහාර ගන්නවා... දැන් සිරිපාලට කුකුලත් එක්ක මල පැනලා.... වැරෙන් මිට මොලවලා අල්ල ගත්ත ගෑරුප්පුවෙන්, මූ ඇන්නෙ නැද්ද කෙලින්ම Chicken Drumstick එකට... Drumstick එකේ කකුල කෑල්ල මේසෙ වැදිල drumstick එක අහසට ඉගිලිලා දෙවියනේ කියල පාත් උනා ලේකම් තුමාගෙ කර උඩට.... දැන් සිරිපාලට දෙවියො සිහි උනා... ලාවට හිස ඔසවපු ලේකම් තුමා "මොකද සිරිපාල" කියලා ඇහුවා.... "නෑ සර් මේ කුකුල් මස් කෑල්ල" කියපු සිරිපාල, කුකුලා අමතක කරලා කෑම ගන්න පටන් ගත්තා...

කොහොමහරි මිනිහම මේ සිද්දිය තවත් රියදුරුතුමෙක් එක්ක වැඩි විශ්වාසෙට කිව්වා... ඒත් පහුවදා වෙද්දි මේ සිද්දිය නොදැන හිටපු කිසිම කෙනෙක් අමාත්‍යාංශයේ හිටියෙ නෑ... කොහොමත් ඊට පස්සෙ මේ සිද්දිය මතක් කරන ඕනෑම කෙනෙකුට සිරිපාලගෙන් නොමිලේ කුනුහරප පාඩමක් හදාරන්න අනගි අවස්ථවක් ලැබෙනවා...

උපුල් ගැන තවත් එක් කතාවක්......


උපුල් මල්ලී ගැන මම කලින් කතාවක සදහන් කලා... ඒ ප්‍රාදේශීය විවිධත්වය 2 කියන කතාවෙදි... ඒකෙදි මම ඔහු ගැනත් සදහන් කලා කියලා මට මතකයි.... මම යන චාරිකා අතරින් මම කැමතිම මේ උපුල්ගෙ ගෙදර යන්න... කොළඹ ඉදන් ගාල්ලට ගිහින් ගාල්ලෙ ඉදන් අකුරැස්සට ගිහින් අකුරැස්සෙ ඉදන් දාම්මලට ගිහින් තවත් විනාඩි 20ක් විතර පයිනුත් යන්න ඕන... අක්කර 7ක තේ වත්තක් මැද පිහිටලා තියෙන ඒ ගෙදරට නිවැසියන්ගේ සෙනෙහෙබර ආගන්තුක සත්කාරය එකතු උනාම එතන සැබෑම සොදුරු තැනක්...

උපුල් හරිම විනෝදකාමීයි කියලා මම කියල තියෙනවනෙ... ඒක නිසා උපුල්ට වෙන ඇබැද්දිත් ගොඩාක් වැඩියි... මේ එක සිද්දියක් විතරයි..... තව ඒවා මතු කාලයකදී කියන්නත් බලාපොරොත්තු වෙනවා....

බාලදක්ෂ ව්‍යාපාරය තුලින් හදුනාගත්ත යාලුවො එක් දවසක අපේ ගමට ආවා... ඒ ආවහම නවාතැන් ගන්නෙ දමින්ද මල්ලිලාගෙ ගෙදර.. (මෙයා ගැනත් කතා තියෙනව ගොඩාක්...) මේ ගෙදරට යද්දි පොඩි අතුරු පාරක් දිගේ මීටර් 900ක් විතර ඇවිදගෙන යන්න තියෙනවා... දැන් අපි 15ක් විතර ඇවිදගෙන යනවා.. කොල්ලො 15ක් ඉන්න තැනක විනෝදය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?

අවාසනාවක මහත.. ගෑණු ළමයි දෙන්නෙක් එනවා ඉස්සරහට... එතකොට ඉතින් ඔන්න අපේ උන් ටික උපුල්ට කිව්වා... පුලුවන්නම් ගිහින් ඔය කෙල්ලො දෙන්නත් එක්ක කතා කරපන්... උපුල් කියනවා කෙල්ලො දහදාහකට වැඩියෙන් කතා කරපු මට මුන් දෙන්න කවුද කියලා.. එහෙම කියලා මූ පුරුෂ ධෛර්යය අරගෙන ගියා ගෑණු ළමයි දෙන්න ගාවට... ඔන්න ඇහුව මෙහෙම...

නංගී, මේ පාර දිගටම තියෙනවද?

කෙල්ලො දෙන්නටත් තේරුනා මුට වැරදුනා තමයි කියලා... වෙනදට මේ වගේ ඒවට රවන බනින ගැණු ළමයින්ට අද යන එන මං අමතක වෙලා හිනා වෙන්න පටන් ගත්තා... අපේ කොල්ලො ටිකත් උඩ පැන පැන හින වෙනවා... මූටත් දැන් හෙනම ලැජ්ජාව...

මම පස්සෙ හෙමීට මෑන්ගෙන් අහුවා උඹ මොකක්ද අහන්න ගියේ කියලා.. ඌ කිව්ව මම අහන්න ගියෙ අයියේ, මේ පාර දිගටම ගිහින් වැටෙන්නෙ කොහෙටද? කියල... ඒත් ඇහුනෙ අර විදිහටනෙ කියලා....

අන්තිමට උනේ පොර වෙන්න ගිහින් මෙලෝ තේරුමක් නැති ප්‍රශ්නයක් අහලා ඔක්කොම චා කරගත්ත එක..... (හසිතගෙ චා ගෲප් එක ගැන නෙමෙයි මේ)....

ප.ලි. මේ කතාවට හිනා යන්නෙ නැතිවෙයි කියලත් කීප දෙනෙක් කිව්වා.. එත් ඔන්න ඔහෙ කමක් නෑ කියලා මම දැම්මා....


Friday, June 18, 2010

අකලට මිලාන ව ගිය මගෙ ලොවේ නා මල.

ගොඩාක් වෙලාවට හිනා යන කතා ලියපු මම අද ලියන්නෙ ඉතා සංවේදී කතාවක්. ඔහු නාමල්... නෑකමින් මගේ බාප්පා.. ඒ කියන්නෙ මගේ අම්මගෙ මාමගෙ පුතා... ඒත් නාමල් බාප්පා උනාට මම කිව්වෙ බාප්පා මචන් කියල.. මට වඩා අවුරුදු 2යි නාමල් වැඩිමල් උනේ.. ඒ නිසා අපි අතරෙ තිබ්බෙ නෑකමින් එහා ගිය මිත්‍රත්වයක්... නෑදෑ පරපුරක් අතරෙ හිටපු හොදම නෑදෑයා නාමල් බාප්පා.

ඔහු හිටියෙ පිලිමතලාවෙ. පොඩි කාලෙම තමන්ගෙ අප්පච්චි නැති උනත් හොද වගකීමකින් කටයුතු කරල අක්කල දෙන්නෙක්ගෙ සහ නංගි කෙනෙක්ගෙ වැඩ ඔක්කොම ඉවර කරල, ගෙවල් හදල තමන්ගෙ වෙර වීරියෙන් සියලු දේ ගොඩ නගපු මා හැගි කොල්ලෙක් ලෙසටයි මම නාමල් බාප්පව දකින්නෙ... ඔහුට තිබ්බෙ සොදුරු සිතක් සහ මනසක්.. ඒක අපේ ම්ලු නෑදෑ පරපුර වෙතටම කිසිදු බෙදයකින් තොරව මුදාහැරියා... නිතරම "මයෙ" කියන විශේෂනය මුලට දාල අමතන්න නාමල් බාප්ප පුරුදු වෙලා හිටියා... මට කිව්වෙ "මයෙ පුතා" කියල.. අපෙ අම්මට "මයෙ අක්කා" කීව නාමල් බප්පා මගේ අක්කට කීවෙ "මයෙ දුවේ" කියලා.

අපි නිතරම මුණ ගැහුනෙ නෑ.. ඉදල හිටල නෑ කෙනෙක්ගෙ මගුල් ගෙදරකදි හරි මළ ගෙදරකදි හරි තමයි අපි මුන ගැහුනෙ.. ඒ වගේ වෙලාවට පොඩි පොඩි හොර වැඩ කරන්න සෙට් උනේ අපි දෙන්න... කවුරුහරි ඉන්න වෙලාවට පිස්සුද ම්යෙ පුතේ කියපු නාමල් බාප්පා කවුරුත් නැති වෙලාවට පිස්සුද මචන් කියල මගෙන් ඇහුව.
අම්මලා අක්කලා වයිෆ්ලා පොඩ්ඩක් එහාට මෙහාට වෙනකන් ඉදලා ත්‍රීවීල් එකකට අත දාන නාමල් ඉක්මනට නැගපන් කියගෙන මාවත් දාගෙන ඉගිල්ලෙනවා... විනාඩි විස්සක් වගේ ඇතුලත අපි දෙන්න එන්නෙ බීර බෝතල් දෙකකුත් හිස් කරල මොකුත් නොවෙච්ච ගානට.. නාමල්ගෙ වැරැද්දක් කියපු කෙනෙක් මට තාමත් මුන ගැහිල නෑ.. මුන ගහෙන්නෙත් නෑ කියල මට හොදටම විශ්වාසයි....

මෙහෙම හිටපු නාමල් මීට මාස තුනකට කලින් අපිව දාලා ගියා... වැඩ කරපු කාර්යාලයේ හිටපු රියදුරුගෙ අධික වේගයට නාමල් ජීවිතයෙන් වන්දි ගෙව්වා.. කදුළ කියන බින්දුව දුලබ අපේ ඇස් වලින් දින තුන හතරක් පුරාවට කදුළු අඛණ්ඩව ගලාගෙන ගියා.. මම විවාහ උනේ නාමල් බාප්පාට කලින්... ඒතකොට නාමල් බාප්පා මට කීවා "උඹ මට වඩා ඉස්සර උනා එහෙනම්" කියලා. ඒත් නාමල් බාප්පගේ පොඩ්ඩා මගේ පොඩ්ඩාට වඩා මාසයක් වැඩිමල්.... එතකොට නාමල් බාප්පා කිව්වා ඔන්න මේ පාර මම උඹට ඉස්සර උනා මයෙ පුතේ කියලා.. අද නාමල් බාප්පේ, උඹ අපි ඔක්කොටම ඉස්සර වෙලා... සැමගෙම මුව හිනාවෙන් සරසවපු නාමල් ඔහු දන්න අදුරන හැමෝගෙම නෙත් වලට කදුළු එක්කරලා පොලව යට සැගවුනා.... නාමල් බාප්පගෙ වියෝව ගැන කියන්න වචන අපේ හෝඩියෙ නෑ....

නාමල්ගෙ නංගි නාමල් භූමදානයට ගෙනියන වෙලාවෙ මෙහෙම කියනවා මට ඇහුනා
"මගෙ දරුවෙක් වෙලා මගෙ බඩේම ඉපදියන් මයෙ අය්යේ"

නාමල්ගෙ භූමදානය ඉවර වෙලා ආපහු නාමල්ගෙ ගෙදරට පයින් ආපු මට ඇහුන, පස්සෙන් ආපු නැන්ද කෙනෙක් තව කාත් එක්කදෝ මෙහෙම කිව්වා...
"මිනිස්සු ඕනවට වඩා හොද වෙන්න හොද නෑ නංගියේ, එහෙම උන් හරි ඉක්මනට අපිව දාල යනව"

නාමල් බාප්පගෙ තුන් මාසෙ දානෙ 20 කියල ඒ කිරි අම්ම අද කෝල් කරල කිව්වා.. නාමල් වෙනුවෙන් උපන් කදුලක් අදටත් මගෙ හදවතේ තැන්පත්. ඒත් මේ දවස්වල කාර්යාලයෙ තියෙන අධික කාර්ය බහුලකම නිසා මට යන්න වෙන්නෙ නැතිවෙයි කියල තමයි හිතෙන්නෙ... බැරි වෙලාවත් යන්න බැරි උනොත් එදාට පන්සල් ගිහින් නාමල් වෙනුවෙන් පහනක් පත්තු කරනවා... මගේ සිත නාමල් වෙනුවෙන් තවමත් මුමුනන්නෙ මෙහෙම දෙයක්.

නාමල් බාප්ප මචන්, උඹල අපි නිවන් දකින්නෙ නෑ කියල කිව්වෙ ඔයාමයි.. සංසාරය පුරාවට උඹ, මම ලගින්ම ඉපදියන්.

මම තවමත් මේ ගැටළුවට උත්තරයක් හොයනවා.. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..

"අරුමේ කිම වඳවෙන සඳ සදිසි මිනිස්සූ"

Thursday, June 17, 2010

ප්‍රාදේශීය විවිධත්වය 2


මගේ බ්ලොග් එකත් දැන් සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් වෙලා... සිංහල බ්ලොග් කියවනය ගැන මාව දැනුවත් කලේ අපේ චාමර ධනූෂ ජයවීර මල්ලි... මගෙ බ්ලොග් එක දැන් ගොඩක් අයට කියවන්න අවස්ථාව ලැබෙන නිසා මමත් ටිකක් වැඩිපුර ලියන්න තීරණය කලා... ඒ වගේම හිනා යන කතා වලට අමතරව සමාජයීය දේවල් ලියන්නත් දේශපාලනික සටහන් නොලියන්නත් මම තීරණය කලා... මගේ බ්ලොග් එක සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කර ගැනීම ගැනත් මම ඔවුන්ට මගේ ප්‍රණාමයත් මේ සමග පුද කරන්න කැමතියි.

හරි දැන් පටන් ගමු අද කතාව.... මේ කියන්න යන්නෙ ප්‍රාදේශීය විවිධත්වය කථා මාලාවේ දෙවෙනි කථාව.... ඒ කියන්නෙ තුන සහ හතරවෙනි කතාව... එක සහ දෙක කතා මෙතනින් බලන්න පුලුවන්...

3. බාලදක්ෂ ජීවිතයේ මට මුන ගැහුන සොදුරුම මිනිසෙක් තමයි උපුල් දේශප්‍රිය කියන්නෙ... ඔහුත් එක්ක ගෙවෙන හැම තත්පරයකදිම අපිව හිනාවෙන් මුසපත් කරන්න ඔහු කිසිම වෙලාවක පැකිලෙන්නෙ නෑ... (එයාගෙ කතා ගැන තවත් සීරීස් එකක් ලියන්න පුලුවන් ඕනෙනම්) උපුල් ගාල්ලෙ.. ඔහුටත් ගාල්ලෙ භාෂාව ඉතාමත් සොදුරු විදිහට පිහිටලා තියෙනවා. 2002 බලපිටියෙ ජාතික ජම්බෝරියට අපි සහභාගි උනේ ආදී බාලදක්ෂයන් විදිහට.. අපි පාසැල් දෙකක් නියෝජනය කලත් නිතරම එකටමයි ඉන්නෙ.. ඉතින් මේ අතරෙ නොයෙකුත් විෂයයන් පිලිබදවත් අපි කතා කරා (ගෑණු ලමයි ඇර වෙන විෂයයක් ආවෙත් බොහොම කලාතුරකින්). ඔහොම කතා කර කර ඉන්න වෙලාවක අපි වල් ඌරු මස් ගැන කතා කරන්න පටන් ගත්තා.. අපි කියනවා ඉතින් කුරුණෑගල නම් ඉන්නවා ඕන තරම්.. මිනිස්සු වෙඩි බැදලා තමයි ගොඩාක් වෙලාවට උන්ව මරන්නෙ ආදී නොයෙකුත් කතා... ඒක අහගෙන හිටපු උපුල්ගෙ යාලුවා චින්තක කිව්ව ඔව් අය්යෙ.. ගාල්ලෙත් මිනිස්සු ගොඩක් වෙඩි බැදල තමයි වල් ඌරො මරන්නෙ කියල... උපුල්ට මීටර් උනේ චින්තක ගාල්ලෙ ටවුන් එක ගැන කියනවා කියල... ටවුන් එකේ කොහෙන්ද වල් ඌරො.. උපුල් චින්තකගෙන් මෙහෙම ඇහුවා...

"මක්කුන්ටැයි යකෝ වෙඩි බදින්නෙ ගාල්ලෙ, බල්ලොන්ටැයි?"

මේකෙ තේරුම "ගාල්ලෙ කාටද වෙඩි බදින්නෙ, බල්ලන්ටද? කියන එකයි". අදටත් අපි මුන ගැහුනු වෙලාවට මේ සිද්දිය මතක් කරල හිනා වෙන්න අපි අමතක කරන්නෙ නෑ..


4. අපේ කාර්යාලයේ ඉන්නව බලපිටියෙ නංගි කෙනෙක්... එයා යාලු වෙලා ඉන්නෙ කොළඹ මල්ලි කෙනෙක් එක්ක... ඉතින් දිවා ආහර වෙලාවට කතා කරන වල් පල් අතරෙ කට්ටියගෙ පවුල් ජීවිත, රස කතා , කාර්යාලයේ උදෙ වරුවෙ වෙච්ච දේවල් වගෙම බස් එකේ මග තොට වෙච්ච එකී නොකී නොයෙකුත් මාතෘකා තියෙනවා කියලා ඔයාලා දන්නවනේ... ඒ අතරෙ මේ නංගිගෙ විස්තර අහන්නත් අපේ අය අමතක කරන්නෙ නෑ...

දැන් අක්ක කෙනෙක් නංගිගෙන් මෙහෙම ඇහුවා... ආ.. නංගි ඊයෙ ෂෝට් ලීව් ගියා නේද? @@@@@@@ හම්බ වෙන්නද?

නංගි මෙහෙම උත්තර දුන්න.. ඔව් අක්කෙ.. @@@@@@@ හම්බ වෙන්න තමයි කලින් ගියෙ..

අක්කගෙ ඊලග ප්‍රශ්ණෙ මෙහෙමයි.. ආවු ආවු ෂෝට් ලීවෙ දාල ගිහින් ගොඩක් වෙලා ඉන්න ඇති නේද? ඒත් ඉතින් වෙනද යන කෝච්චියෙම වෙන්න ඇති යන්න ඇත්තෙ?

නංගි දුන්න මෙහෙම උත්තරයක් මේ විදිහට..

අනේ නෑ අක්කෙ.., එයා මාව එහාට කරලා ආව බස් එකේ..

අපිට හිතා ගන්න බැරි උනා මොකක්ද මේ කිව්වෙ කියලා... බලනකොට කියල තියෙන්නෙ ඒ මල්ලී එයාව බලපිටියට යනකන් බස් එකේ ගිහින් දා
ලා ආවා කියලයි.. එදායින් පස්සෙ ෂෝට් ලීව් යන නංගිගෙන් "අදත් එහාට කරන්නද යන්නෙ" කියලා අහන්න අමතක කරන්නෙ ඔෆිස් එකේ එහෙමත් එකෙක්...


Monday, June 14, 2010

ප්‍රාදේශීය විවිධත්වය 1


අපේ ගම කුරුණෑගල කියල මම කලින් කියල තියෙනව මම හිතන විදිහට. නැත්නම් ඔන්න ගම කුරුණැගල. අපි කතා කරන වෙනම ස්ටයිල් එකක් තියෙනවනෙ... එහෙම එක එක පළාත් වල කතා කරන වචන, කතා කරන විදිහට වෙනම ස්ටයිල් එකක් තියෙනව... ඉතින් ගොඩක් වෙලාවට ගාල්ල මාතර පැත්තෙ අය කතා කරද්දි තමයි ඒක අපේ ඇගට දැනෙන්නෙ... මොකද එයාලගෙ සමහර වචන අම්බානක්ම වෙනස්.... අද මම කියන්න හදන්නෙ ඒ වගේ කතා කිහිපයක්. මේක series එකක් විදිහට ලියන එකත් හොදයි කියල හිතෙන නිසා එක පාරකට කතා දෙකක් විතරක් ලියන්නම්...

1. ස්කෝලෙ යන කාලෙ ශිෂ්‍ය නායකයෙක් විදිහට පත්වීමක් ලබපුහම තියෙන්නෙ පොඩි ආඩම්බරකමක් එක්ක ලොකු සතුටක්... ඒ ජීවිතෙ විනෝදම සිද්දිය තමයි වෙන ස්කෝලවල තියෙන ශිෂ්‍ය නායක දිනවලට සහභාගි වෙන එක. අපි ඉතින් ගාල්ල පැත්තෙ තියෙන ඒවට පැනල යන්නෙ.. මොකද ඒකට දවස් තුනක්ම යනවනෙ... ගුරුවරු එන්නෙත් නෑ. ඉතින් විනෝදය උපරිමයි.... ඔන්න කතාව.. ගාල්ලෙ තියෙන ප්‍රධානම බෞද්ධ පිරිමි පාසලක ශිෂ්‍ය නායක දිනයකට අපි ගියා.. අපේ පාසැල් දෙක අතරෙ තියෙන මිත්‍රත්වය නිසාම එයාල අපිට හොදින් සැලකුවා... දැන් එයාල අපිට රෑට කෑම ගෙනත් දුන්න... කාලා ඉවර වෙන්න ලංවෙද්දි එයාලගෙ එක්කෙනෙක් අපිට කියනවා "මචන්, කෑම එක වහ දාල, dustbin එකට දාපන්" කියල.. අපි උඩ ගියා..... අයි කෑම එකෙන් බාගයකටත් වැඩියෙන් කාලනෙ.... අපි ඇහුවා මොකක්ද බන් ඒ කතාවෙ තෙරුම කියල.. මූ ආයෙත් කියනව ඕක වහ දාල dustbin එකට දාපන් කියල... අන්තිමට අපේ එකෙක් ඇහුව කවුද බන් මේකට වහ දැම්මෙ කියල.... පස්සෙ තමයි කාරනේ එලි උනේ... මෙයා කියල තියෙන්නෙ කාල ඉවර උනාම කෑම එක වහල දාල dustbin එකට දාපන් කියලයි.... කොහොමහරි ඔය සිද්දිය කොච්චර ජනප්‍රිය උනාද කිව්වොත් ඊට පස්සෙ තිබුනු ශිෂ්‍ය නායක දින කිහිපයකම නාට්‍ය වලට මේ සිදුවීම යොදා ගන්න වෙන වෙන පාසැල් වල ශිෂ්‍ය නායකයින් අමතක කලේ නෑ..

2. දැන් දෙවෙනි කතාව.. මම ද්වීතීයික අධ්‍යාපනය ලබන කාලෙ (ඒ කියන්නෙ පාසලෙන් අවුට් වෙලා කොළඹ පරිඝණක පාඨමාලාවක් කරන කාලේ). ඉතින් මේ දවස්වල අපේ සෙට් එකේ හිටියා ගෑණු ළමයෙක් ගාල්ල පැත්තේ... ටිකක් විතර සැරත් එක්ක.. ඒත් හරිම හොදයි... දවසක් අපි සෙට් එක එකතු වෙලා කුප්පියක් දාගෙන ඉද්දි ( දන්නවනෙ කුප්පිය කියන්නෙ මොකක්ද කියලා) මම මෙ ගෑණු ලමයට මෙන්න මෙහෙම කිව්වා. "ඒයි ඔයගෙ ටියුට් එක පොඩ්ඩක් මෙහාට දෙන්න" මේක කිව්ව විතරයි ඒ ගෑනු ලමයට අසූ හාරදාහට තරහ ගියා... දැන් මෙයා මගෙන් අහනවා "ඔයා කවුද මට ඒයි කියන්න" කියලා.. මම බැලුව මේ මොන හෙණ ගෙඩියක් පාත් වෙන්න යනවද දෙවියනේ කියලා.. පස්සෙ තමයි දැනගත්තෙ ඒ පැත්තෙ කට්ටිය ගොඩක්ම ඒයි කියල කියන්නෙ තමන්ගෙ ආදරනීය බිරිදට හෝ ස්වාමි පුරුෂයාට කියලා..

දැනට ඇති.. තව මේ වගේ කතා සීරීස් එකක්ම තියෙන නිසා ඒ ටික ලගදිම ලියන්නම්.... මේ දවස්වල ගොඩාක් කාර්ය බහුල නිසා ලියන්න තියෙන වෙලාව සීමිතයි.. ඒ නිසා ඔයාල මට පොඩ්ඩක් සමාවෙන්න.

ප.ලි. : මේ කතා ලියන්නෙ අදාළ පැතිවල ඉන්න අයට අපහාසයක් වෙන්න කියල නම් හිතන්න එපා. අපෙත් මේ වගේ වචන තියෙනවා.. උදාහරනයක් විදිහට මගෙ පෝස්ට් වල "කියලා" කියන වචනය සෑහෙන්න පාවිච්චි වෙලා තියෙනවා නේද?

Wednesday, June 9, 2010

තුන්වෙනි බෝඩිමේ හොදම කථාව...


මෙච්චර කල් කිව්වෙ දෙවෙනි බෝඩිමේ රස කථානේ.... ඒකෙ කියන්න කථා තවත් ඉතුරු වෙලා තියෙද්දි මම හිටපු තුන්වෙනි බෝඩිමේ වෙච්ච හොදම සිද්දිය තමයි මම කියන්න යන්නෙ..... මගෙ බෝඩිං ජීවිතේ ගැන මම කිව්වනෙ බෝඩිමේ කථා අංක එකෙන්. තුන්වෙනි බෝඩිමේ සංයුතියත් කොල්ලො පහකට සීමා වුනා.. හිටියෙ උඩ තට්ටුවක... යට තට්ටුවේ හිටියෙ ගෙදර අය.. ඒ කියන්නෙ අයියයි අක්කයි පොඩි එකායි....

හරි.. දැන් කතාව... අපි ඔය කියන බෝඩිමේ හිටපු එකෝමත් එක දවසක මහ රෑ පාර පැත්තෙන් මහ ඝෝෂාවක් ඇහුනා. අපිත් නිදිමර ගාතෙ නැගිටලා එලියට යනකොට ඉස්සරහ ගෙදරට හොරු පැනල කියලා අක්ක කිව්වා. අපිත් ගේට් එක ඇරගෙන චන්ඩි වගේ එලියට ගියා... දෙන දෙයියො ටොකු ඇන ඇන දෙනව වගේ මෙන්න හොරා දුවගෙන එන්නෙ අපේ ලගටම... හොරා හිතල එහෙම කලා නෙමේ.... ඌ දුවපු පැත්තෙන් අපි දන්නෙත් නැතුව අපි මතු වෙච්ච එක තමයි උනේ... අපිත් එක්ක අපේ යාලුවෙක් හිටිය චන්ද්‍රකාන්තන් කියලා.. මිනිහ පැන්න ගමන් හොරාව බදා ගත්තා.. අපිත් ඉතින් ඌට උඩින් පල්ලෙන් සපෝට් එකක් දීල හොරාව අල්ල ගත්තා.... ඔන්න දැන් අපි තමයි ගමේ වීරයෝ.. ඔක්කොම එනවා.. පුතාලා හොද වැඩක් කලේ කියනවා... ඔයාල හරි හොදයි කියනවා... තේ ගෙනත් දෙනවා.. අපිට ඉතින් මරු සැලකිලි.... දැන් ඉතින් අපිට පාරෙ යනකොටත් කරදරේ.. ආ පුතා කොහෙද යන්නෙ අහනවා.. එදා මාර වඩේ උනේ නේද අහනවා.... හරියට තත්පරේට කෝච්චියට යන අපේ උන්ට යන්න වෙන්නෙම අනිත් කෝච්චියේ... ඔය වගේ නොයෙක් භාහිරතා මේ හොරාගෙ සීන් එක නිසා ඇති උනා.... ඒ අතරෙ ගෑනු ලමයි එහෙමත් අපි දිහා බලන එකත් වැඩි නොවුනාමත් නෙමෙයි... හැබැයි මේකෙන් අපේ කොල්ලන්ට වෙච්ච එක හොද දෙයක් තිබුනා.. අපේ බෝඩිමට වම් පැත්තෙ තිබුනු ගෙදර හිටියෙ කාන්තාවන් තුන් දෙනෙක් හිටපු ගෙයක්.. ඒ කියන්නෙ ආන්ටියි දුවල දෙන්නයි.. ලොකු දුව උසස් පෙළ කරල ගෙදර.. පොඩි දුව උසස් පෙළ පලවෙනි අවුරුද්දෙ.. ආ.. ඒ ගෙදර අංකල් නේද? අංකල් රට කියල තමයි අපේ බෝඩිමේ අක්කා අපිට කියල තිබ්බේ... මොන තරම් වැඩ තිබුනත් අපේ එවුන් මේ ගෙදර පැත්තට දවසට එක පාරක් හරි ඇහැ දාන්න අමතක කලේ නෑ. ඉතින් අර හොරාගෙ සිද්දියෙන් පස්සෙ ඒ ගෙදර අයත් අපිට ටිකක් සලකන්න පටන් ගත්තා.. ටිකක් කිව්වෙ උදේට දැක්කම Good Morning කියනවා... හවසට එනකොට දැන්ද එන්නෙ අහනව වගේ දේවල්.. අපේ උන්ට ඉතින් ඒකත් ලොකු දෙයක්නෙ..

මෙච්චර වෙලා කිව්වෙ වස්තු බීජ.. ඔන්න කතාවට අදාල දවස උදා වුනා.. හවස මම ගෙදර එද්දි අනිත් ඔක්කොමත් ඇවිත්.. මම පහලට ගිහින් .... එකක් දානකොට මට ඇහුනා එහා ගෙදර ආන්ටි අපේ උන්ට කතා කරනවා.. ආන්ටි කිව්වෙ මෙහෙමයි.. "පුතා පුතා අපේ ගෙදරට නයෙක්ද කොහෙද ඇවිල්ලා.. අනේ පුතා පොඩ්ඩක් ඇවිත් බලන්න"... ඔන්න ඉතින් අපේ උන්ගෙ සිහිය විකල් වුනා... ඇදන් හිටපු ෂෝට් පිටින් සහ සරම් පිටින් දිව්වා අල්ලපු ගෙදරට... දැන් කට්ටිය හොයනවා නයාව.. මම .... දාලා ඉවර වෙලා රූම් එකට ඇවිත් ෂොර්ට් එකකුයි ටී ෂර්ට් එකකුයි දාගෙන කොන්ඩෙත් පීරල එහෙම සෙන්ට් එකකුත් පොඩ්ඩක් හලාගෙන හෙමින් හෙමින් ගියා නයා හොයන්න.. කිව්වම මොකද අපේ උන් හඩ්ඩො වගේ නයා හොයනවා... සමහර උන් ටී ෂර්ට් එකක්වත් නැතුව තමයි ඇවිත් තියෙන්නෙ.. බලන්නකො තියෙන උනන්දුව... මම විතරයි ඉන්නෙ වැදගත් විදිහට.. ඉතින් ඒ විදිහට හැසිරෙන්නත් ඕනනෙ.. මම දැන් අනිත් උන්ට කියනවා එක එක දේවල් මේ වගේ.. "ඒ මචන් සුගා.. පොඩ්ඩක් බලපන් අර මල් පෝච්චිය යට" දැන් අරු මගෙ දිහ රව රව මල් පෝච්චිය යට බලනවා... එතකොට මම අනිත් පොරට කියනවා " දමියා මචන් ඔන්න ඔය මුල්ලෙ බලපන්" ආදී කතා.. ඒ අතරෙ මම ආන්ටිත් එක්කත් කතාව... " බලන්න ආන්ටි, ආන්ටිලගෙ එම්.සී. එකෙන් මේ එහා පැත්තෙ කැලේවත් සුද්ද කරන්නෙ නෑනෙ.. ඒකනෙ මේ වගේ කරදර" වගේ කතා... ඒ අතරෙ ලොකු නංගි තේ ගෙනාවා.. මම තේ එක බොන ගමන් අනිත් උන්ටත් කතා කලා මෙහෙම "ඒ ලමයි ඇවිත් තේ බොන්න" කියලා... මට පේනවා අපේ උන්ගෙ මූනෙ තියෙන තරහා.. ඒත් ඉතින් මම මොනව කරන්නද නේද? දැන් මම පොර වෙලා... අනිත් උන් බලු වෙලා....

කොහොමහරි නයා හම්බ උනෙ නෑ. අනිත් උන් ආවට පස්සෙත් මම ටිකක් ආන්ටිත් එක්ක කතා කරලා නංගිලාටත් අවවාද දීලා අධ්‍යාපන කටයුතු ගැන එහෙම ආපහු ආවා.. එනකනුත් මට තනියම හිනා අපේ උන්ට වෙච්ච දේවල් ගැන. කොහොමහරි මම එද්දි කාමරේ දොර වහලා.. මම තට්ටු කලා.. දොර ඇරුනු ගමන් මගෙ මූන වැහෙන්න සරමක් වැටුනා... ඒ එක්කම මගේ පිට හරහා වැදුනු පාරවල් වලට මට තරු විසි උනා.... උන්ගෙ හිතේ තියෙන තරහ පිට වෙන්නත් ඕනනෙ කියලා මම ගුටි කකා හිටියා.....

Tuesday, June 8, 2010

දැන් මට පාරෙ යද්දි නිතරම ගෑනු ලමයෙක්ව මතක් වෙන්නෙ ඇයි?


සිංහල බ්ලොග් බලන්න මම පටන් ගත්තෙ බොහොම ලගදි ඉදලා... සිංහල බ්ලොග් කියවන එක දැන් ආසාවක්, ජොලියක්, ආතල් එකක්, වදයක්, ඇණයක් වෙලා.. ඒත් පටන් ගත්ත එක කරගෙන යන්නත් ඕන නිසා මේ පාර ලියන්න යන්නෙ මාර කතාවක්. මේකෙ පරන බ්ලොග් හිමිකාර නංගී කෙනෙක් දැන් මට නිතරම මතක් වෙනවා පාරෙ යන වෙලාවට... අද උදෙත් මේ කතාව ලියන්න ඕන කියල හිතුනට ඒ සදහා වෙලාව ටිකක් මදි උනා..

මීට අවුරුද්දකට විතර ඉස්සර කරන කිසි වැඩක් හරියන්නෙ නැති මෙලෝ රහක් නැති කාලයක් තිබුනා.ඒ කාලේ මගේ ආදරණීය බිරිද මගෙන් ඇහුව කේන්දරේ ටිකක් බලාගත්තොත් මොකද කියලා.. මම වැඩිපුර විශ්වාස නොකලත් කෝකටත් ගියා මට මොකද වෙලා තියෙන්නෙ බලන්න.ගුරුන්නන්සෙ මෙහෙම කිව්වා... " මහත්තයෝ, සැප්තැම්බර් වෙනකන් මහත්තයාට අපලයි. ඒක හැටි වෙනස් කරන්න බෑ. බයික් එකක යනවනම් බල්ලන්ගෙන් එහෙම පරිස්සම් වෙන්න කියල... මම ඇත්තටම වැඩිපුර පාවිච්චි කරන්නෙ බයික් එක. ඉතින් මම ටිකක් ඒ ටික හිතේ තියා ගත්තා...

ඊට පස්සෙ උනේ මෙහෙම දෙයක්... බයික් එකේ යනකොට වත්තක උනත් බල්ලෙක් ඉන්නව දැක්කම මට අර සාස්තර කියපු මෑන්ව මතක් වෙනවා... බල්ලා හත් ගව්වක් තියල කොල්ලා ගහනවා බ්‍රේක්. බල්ලයි කොල්ලයි දෙන්නම ආරක්ෂිතයි... හැබැයි බ්‍රේක් එක ගහන්නෙ මම ගැන හිතල මිසක් බල්ලා ගැන හිතල නෙවෙයි.

දැන් දවස් දෙකකට විතර උඩ ඉදන් මේ තත්වෙ ටිකක් වෙනස්. දැන් මට බල්ලෙක් දැක්ක ගමන් දෙන්නෙක් මතක් වෙනවා... සාස්තර මෑන්ටත් කලින් මතක් වෙන්නෙ ගෑනු ලමයෙක්ව. බ්‍රේක් එක පෑගෙන්නෙ මට කලින් බල්ල ගැන හිතලා. අයියෝ මූ යට උනොත් කියලා එක පාරට හිතට දැනෙනවා. ඒක උනේ මේ අපි වගේම බ්ලොග් එකක් ලියාගෙන වැඩක් පාඩුවෙ කරගෙන අපේ ඒවටත් කමෙන්ට් එකක් දාගෙන අහිංසක විදිහට ඉන්න හා පැටික්කි නංගි ලිව්ව පෝස්ට් එකක් නිසා... ඒ පෝස්ට් එක හරිම සංවේදී එකක්. මගේ කතාව ඉවරයි.. කතාව
මෙතනින් කියවලා බලන්න.


වයස අවුරුදු 14දී මම දැක්ක හොල්මන..............

ලිවීමේ හැකියාව මටත් පොඩ්ඩක් හරි තියෙනව කියලා මට හිතෙන්නෙ දවසට එක්කෙනා ගානෙ වගේ මගේ ෆලෝවර්ස්ල වෙනව දකිනකොට සහ කතා වලට වැටෙන කමෙන්ට්ස් ටික දකිනකොට... ඒක හරිම දිරිමත් කිරීමක්... මට පේන්නෙ මට දන් බ්ලොග් උණක් සෑදීගෙන එනවා කියලයි... ඒකෙ වැරැද්දක් මම නොදකින නිසා සින්ඩිකේටරයට පිං සිද්ධ වේවා කියලත් කියන්න මැලිවෙන්න ඕනෙ නැහැ නේද?

අපේ ගෙදර තියෙන්නෙ පාසලට වඩා කිලෝමීටර් 9 විතර ඈතින්. එහෙනම් කොහොමද ඉස්කොලෙට ඔයා ඇතුල් උනේ කියල අහන්න එපා.. නඩුවක් දාන්න දැනටත් පරක්කු නෑ මේ ලංකාවේ... කිලෝමීටර් 5 වෙනකන් දවසේ පැය 24 පුරාම ප්‍රවාහන පහසුකම් තිබුනත් ඉතිරි කිලෝමීටර් 3, සවස 5.30න් පස්සෙ යන්න වෙන්නෙ පයින්. දැන් නම් හන්දියෙ 3වීල් තියෙන නිසා ටුක් ටුක් ගාල ගෙදර ගියෑකි.... මම කියන කාලෙ අපේ හන්දියේ 3වීල් එකක් තියා වීල්බැරෝ එකක්වත් තිබ්බෙ නෑ.....

හොදයි දැන් පටන් ගනිමු කතාව... මම ඒ කාලෙ ඉස්කොලෙ 15න් පහළ පැසිපන්දු (Basket Ball) කණ්ඩායමේ ක්‍රීඩකයෙක්. පුහුණුවීම් ඉවර වෙන්නෙ රෑ 8ට. ඒ වෙලාවට බස් එකේ හන්දියට එනකොට 9 විතර වෙනවා... ඉතිරි ටික පයින් ගිහින් ගෙදර යද්දි කිසිම අවුලක් නැතිව රෑ 10 වෙනවා... ඒ කාලෙම කොහේ ගියත් බෙල්ල බේරගෙන ගෙදර එනව කියන විශ්වාසය දෙමවුපියන්ට තහවුරු කරල තිබුනු නිසාත් පයින් එන ඒරියා එකේ හැමෝම වගේ අදුරන නිසාත් අම්මලාට උනත් වැඩිය බයක් වෙන්න දෙයක් තිබුනෙ නෑ.

කොහොමහරි මේ කියන දවසෙත් මම ඇවිත් හන්දියෙන් බැස්සා.. එතන තිබ්බ කඩෙන් රෝස් පාන් කාලකුයි (ඒ කාලෙ තිබ්බෙ නෑනෙ පෙරේරා ඇන්ඩ් සන්ස්. ඕන පොඩි බඩගින්නකට රෝස් පාන් තමයි) ඉටි පන්දම් තුනකුයි අරගෙන ඒ කඩෙන්ම පොල් කටුවකුත් ඉල්ලගෙන පයින් එන්න පිටත් උනා... ( එයින් අදහස් වෙන්නෙ හන්දියෙ ඉදන් අපේ ගෙදරට තියෙන දුර ඉටි පන්දම් තුනයි). පොඩි ෂොර්ට් කට් එකක් තිබ්බට ඒකෙ සොහොන් කොත් 4ක් විතර තියෙන නිසා එතනින් එන්නෙත් නෑ..... ඒත් මේ එන පාරෙත් තියෙනවා හෙන සයිස් පලු ගහක්.. පොඩි කාලෙ ඉදන් අපි ඔතනින් පයින් එනවනම් එන්නෙ දුවගෙන.. මොකද එතන හොල්මන් තියෙනව කියන විශ්වාසය අපේ ගමේ ගැමියන් අතරෙ බොහොම සැරට තිබ්බා.... ඒ විශ්වාසය කොච්චර සැරද කියනවනම් අර කඩෙන් ගත්ත පාන් කාල අපි කන්න පටන් ගන්නෙත් මේ පලු ගහ පහු වුනාට පස්සෙ. හදිස්සියේවත් බය උනොත් කෑම හිරවෙලාවත් මොකුත් වෙයි කියන බයට එහෙම කරන්න කියල අපේ අප්පච්චි පවා අපිට උපදෙස් දීල තිබුනා.... මේ ගහ තියෙන්නෙ පල්ලමක.. ඒ කියන්නෙ කන්ද මුදුනට ආවහම අපිට ගහ පේනවා.. ගහ පහුවෙනකම් අපි පල්ලමේ දුවගෙන යනවා...හොල්මනක් පස්සෙන් එන්නෙ නෑ කියලා හිතට දැනුනහම නැවතිලා ආයෙත් හෙමින් යනවා...

මේ කියන දවසෙත් මම ඔන්න පයින් එනවා.... පොඩ්ඩක් චිරි චිරි ගගා වහිනවා.. වෙනදට වඩා කලුවරයි... හොල්මන් වලට අයිඩියල් කාලගුනයක් තමයි තිබුනෙ... කොහොමහරි හොල්මනේ පලවෙනි පියවර වශයෙන් පලු ගහ ලග කන්ද මුදුනෙදි හොදට තිබුනු ඉටි පන්දම එක පාරටම නිමුනා.... බෑග් එකෙන් ගිනි පෙට්ටිය අරන් තව ගිනිකූරු 5ක් විතර අරගෙන ගැහුවත් ඒවා නිමුනෙ හුලගක්වත් නැතිව.... වීරයා වෙන්න ඕන නැහැනෙ.. ඇත්තම කියනවනම් මම හොදටම බය උනා... කොහොමහරි හය වෙනි නැත්නම් හත් වෙනි ගිනිකූරෙන් ඉටි පන්දම පත්තු කරගත් ගැහෙන සිතින් පලු ගහ දිහා බැලුවා.. මොකුත් අවුලක් නැහැ.. පලු ගහ නිසලයි... මම නැවතත් ගමන පටන් ගත්තා....

ඔන්න හොල්මනේ දෙවෙනි පියවර.. පලු ගහ තියෙන්නෙ පාරෙ වම් පැත්තෙ.. මම දන් බය නිසා දුවන්නෙත් නැතිව පාරෙ දකුනු පැත්තෙ කෙලවරින්ම හෙමින් හෙමින් යනවා... පලු ගහ දිහාවත් බලන්නෙ නැතුව. පලු ගහ ලගටම යද්දි මට ඇහෙනවා.. ශ්... ශ්ශ්.. ශ්.. වගේ සද්දයක්.. ඒ වෙලාවෙනම් පපුවෙ බිත්තරයක් වුනත් තම්බන්න පුලුවන්... ඕන කෙහෙල්මලක් කියලා මම පලු ගහ දිහා බැලුවා. දැක්ක දෙයින් මගෙ ඇග හිරි වැටිලා ගියා... මිනිහෙක්ගෙ ඡායාවක් ගහ මුල.. මේ රෑ නම් අහල ගම් හතක මිනිස්සුන්ගෙන් එකෙක්වත් මේ පලු ගහ යට ඉදගෙන ඉන්නෙ නැති එක නම් මට 200% විශ්වාසයි... හැබැයි මේ කල්පනාවත් එක්කම මගේ බය අඩු වෙලා විචිකිච්චාව ටිකක් වැඩි උනා කියලයි මට දැන් හිතෙන්නෙ. දැන් පලු ගහට හරියටම පාරෙ විරුද්ධ පැත්තෙන් තමයි මම ඉන්නෙ. ඒ මදිවට නැවතිලාත්. වැස්ස නිසාත් වැස්සත් එක්ක ආපු වැහි අදුර නිසාත් ඒ පොඩි දුරවත් පැහැදිලිව පේන්නෙ නෑ... මිනිහා අතින් පොලව හාරනව වගෙ පේනවා.. එතකොට තමයි අර ශ් සද්දෙ එන්නෙ.. මම ටිකක් හයියෙන් අඩිය පොලවෙ ගැහුවා.. එ සද්දෙට අර ඡායාව ඔලුව ඉස්සුවා වගේ දැක්කා... මගේ කකුල් ලොක් උනා... කෙල ගිලුනා.. තොලකට වේලුනා.... තවමත් ඒ වෙලාව මතක් වෙද්දි මගේ ඇගේ හිරි ගඩු පිපෙනවා..

ඡායාවෙන් ආවේ මිනිස් කෙදිරිලි හඩක්.. "අනේ පුතේ................" කියල තමයි කිව්වේ... බය අඩු උනේ නැති උනත් කුතුහලයක් හිතට දැනුනා මේ මොකෙක්ද? කියලා..... මම හයියෙන් ඇහුවා "කවුද ඔතන" කියලා... ඡායාව කිව්වෙ මොකක්ද දන්නවද? "අනේ මට බඩගිනියි, කන්න දෙයක් ගෙනත් දියන් පුතේ" කියලා... දැන් නම් මට ලගට යැවුනා.. බලපුහම හිගන කෙනෙක් වැස්ස නිසා ආපහු යන්න විදිහක් නැතුව පලු ගහ මුල ඉදගෙන ඉන්නවා.. කරන්න වැඩක් නැති නිසා තමයි අර කෝටුවකින් පොලව හාර හාර ඉදල තියෙන්නෙ... මේ වෙද්දිත් මගේ බය ඇරිල තිබ්බෙ නෑ.. මම වචනයක්වත් කතා නොකර කඩෙන් ගත්ත පාන් කාල එයාට දීල ගෙදරට එනකන් දුවගෙන අවා මතකයි...

මේ ටිකත් කියන්න ඕන. එදා ගෙදරට දුවගෙන ඇවිත් පිල උඩ ඉදගෙන මම මහා හයියෙන් ඇඩුවා.. අම්මලාට හෙන අවුල්.. අම්මලා මොකද කියල ඇහුවත් මට සිද්ධිය කියා ගන්න කට ඇර ගන්න සෑහෙන වෙලාවක් ගියා.. එදා රෑත් මම හීනෙන් දැක්කෙ ඒ මනුස්සයව.. අම්ම පන්සිල් ගන්න කියලා ඔලුවෙ තෙල් වගේකුත් ගෑවා. පහුවදා උදේ පාන්දරම බස් එකේ ආයෙත් ඉස්කොලේ යද්දි මම පලු ගහ ලග බැලුවෙ මනුස්සයා ඉන්නවද කියලා.. එයා එතන නොහිටියත් ඊලග හෝල්ට් එකෙන් බස් එකට නැගල ටවුන් එකට ටිකට් එකක් ගද්දි මම මාත් එක්කම හිනා වුනා.

ප.ලි. හැබැයි එදායින් පස්සෙ ඇත්ත හොල්මනක් ආවත් මම බය වෙන්නෙනම් නැතිවෙයි...

Monday, June 7, 2010

බෝඩිමේ කතා 03 ( අංකල්ගේ සුරුට්ටු සෙල්ලම්)

බෝඩිමේ කතා ටිකක් ජනප්‍රියයි වගේ. සමහරු කෝල් කරලත් කියනවා මේ කතාව දාපන් මචන් කියලා. ඒ නිසා බෝඩිමේ කොල්ලන්ට වෙච්ච කතා පැත්තක දාලා අපේ ලොක්කට කොල්ලො සෙට් කරපු ගේමක් ගැන තමයි කියන්න යන්නෙ.

මිනිහෙක්ගෙ දුම්බීම නවත්තන එක පින් සිද්ද වෙන වැඩක් නිසා අපිටත් මේ වැඩෙන් පිනක් සිද්ද උනා දෙවියනේ කියලා කාලෙකට පස්සෙ... මොකද මේ සිද්දියෙන් පස්සෙ අපේ අංකල් දුම්බීම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා..

රෑ කෑමෙන් පස්සෙ සුරුට්ටුවක් බොන එක අංකල් දෛනිකව පුරුද්දක් විදිහට කරගෙන ගියා.... ඔයගොල්ලො දන්නවනෙ කලු සුරුට්ටුවේ සුවද? ඒක නිකන් වැස්ස දවසක බ්ලූමැන්ඩල් කුනු කන්ද ලගින් යනව වගේ වැඩක්. අංකල් හැමදාම රැට කන්නෙ 9ට විතර නිස 9.30 වෙද්දි ඔන්න සුරුට්ටුව පත්තු වෙනවා.... කොල්ලො මේකට විරුද්දව යුද්දෙ ප්‍රකාශ කලත් ලොක්ක නෙවෙයි වැඩේ නතර කලේ.. හැමදාම 9.30 වෙද්දි අපි ඔක්කොම බෝඩිමට ඇවිත් ඉන්න නිසා මේ කරදරය හැමෝගෙම හිතට දැනුන....

දන් කොල්ලො කට්ටිය ලොක්කට ගේමක් දෙන්න සෙට් උනා.. ඒත් අංකල් සීන් එක ලාවට දැනගෙන සිටි නිසා සුරුට්ටු පෙට්ටිය පොරගෙ කාමරේම තියාගෙන හිටියා... දැන් කොල්ලො ටික බලාගෙන ඉන්නවා දවසක් එනකල්.. ඔන්න දවස උදා උනා... ගමේ තිබ්බ මල ගෙදරකට අංකල් පිටත් උනේ පයින්... ඒකෙන් අදහස් වෙන්නෙ එනකොට රෑ වෙනව කියන එකයි. මොකද රෑ උනහම ඇස් පේන එක දුර්වල නිසා බයිසිකලේ පදින්න අංකල් කොහොමත් බයයි.

එකෙක් පැන්න ලොක්කගෙ කාමරේට.. හොයගත්ත සුරුට්ටු පෙට්ටිය.. කන්න ඕන උනහම ඉබ්බ තුනපහ පිටේ බැදන් එනව වගේ ඒකෙ තිබ්බෙත් එකම එක සුරුට්ටුවයි... තව එකෙක් ගෙනාව ගිනි පෙට්ටියක්...
දැන් මොකද දන්නවද කොල්ලො කරන්නේ... සුරුට්ටුවේ මැද හරියෙ තැනින් තැන ගිනි කූරෙ අගින් හිල් කරනව.. ඊට පස්සෙ ගිනිකූරෙ ඔළුව ගලවල අර හිල ඇතුලට ඔබනවා.. කොහොමහරි කට්ටිය එකතුවෙලා අංකල්ගෙ සුරුට්ටුවේ වෙඩි බෙහෙත් බෝම්බ 6ක් 7ක් විතර සෙට් කලා...

අනේ අසරන ලොක්ක ආවා... වෙනදට රූම්ස් වල පාඩම් කරන උන් අද සාලෙ කුප්පියක් දානව... අංකල් තමන්ගෙ රාත්‍රී ආහාර වේල ගිල දාල ආවා... සරමත් කෙටි කරගෙන සුරුට්ටු පෙට්ටියත් අරගෙන ඇවිත් හරි බරි ගැහිල පිලෙන් වාඩි වුනා.... අපිත් ඉන්නව බබාල වගේ... ගත්ත සුරුට්ටුව.. දා ගත්ත කටේ.. පොඩ්ඩා එක පාරටම අංකල් එක්ක ගේමට සෙට් උනා.. පොඩ්ඩා කියනව අංකල්ට " ඔන්න ඉතින් ලොක්ක අදත් පටන් ගත්ත මගුලක් පත්තු කරගෙන" කියලා.. අංකල් කොහොමත් ඕක බලපොරොත්තුවෙන් ඉන්නෙ.. අංකලුත් සුපුරුදු පිලිතුර දුන්නා.. "අනේ උඹ ඉදපන් පොඩ්ඩො වැඩක් බලාගෙන.. මම දුම් ටික අරින්නෙ එලියටනෙ" කියල.. පොඩ්ඩා මල පැනල වගේ කියනව "ගද එනවනෙ ඇතුලට" කියලා.. එහෙම කියලා ඇහැකුත් ගහලා කට පියාගෙන පොඩ්ඩා නිහඩ උනා.. අපි කවුරුත් වැඩේ සාර්ථක වීම ගැන හිතින් සතුටු උනා..

ඔන්න දැන් තමයි වෙලාව.. අංකල් සුරුට්ටුව පත්තු කලා.. උගුරු දෙක තුනක් ඉරුවා... සද්දයක් නෑ.. අපි හිතුව පොර අලුත් සුරුට්ටු සෙට් එකක් ගෙනත් තමයි කියලා.. දන් අපිට අප්සෙට්. ඔන්න තුන්වෙනි උගුර ඇද්දා විතරයි, ෂ්ෂ්ෂ්ෂ්.......... ගාල එක බෝම්බයක් පත්තු උනා... ලොක්කා බය වෙච්ච පාරට ඉදගෙන හිටපු තැනින් නැගිට්ටුනා.. "මොකක්ද බන් මේ උනේ" කියලා අංකල් දැන් අපෙන් අහනවා... අපි හිනාව තද කරගෙන දැක්කෙ
නෑ වගේ "ඇයි මොකද මොකද?" කියල ඇහුව ලොක්කගෙන්.. අංකල් හිතුව අපි දැකලා නෑ කියලා... "නෑ බන් මේ සුරුට්ටුව" කියලා ආයෙත් ඉද ගත්තා..

ඔන්න ඇද්ද තව උගුරක්.. සද්දයක් නෑ.. පොරටත් සතුටුයි... ඒ ෆිට් එකේම ඇද්ද තව උගුරක්.. ඔන්න අයෙත් ෂ්ෂ්ෂ්ෂ්........ ගාල තව බෝම්බයක් පත්තු උනා... අපෙත් ඉවසීමේ සීමාවක් තියෙනවනේ.. අපි උඩ පැන පැන හිනා වෙන්න පටන් ගත්තා... ලොක්කට තේරුන අපේ සීන් එකකට තමන්ව මාට්ටු උනා තමයි කියලා... අංකල් පටන් ගත්තෙ "තොපේ" කියලා..... අපිට ඒත් හිනා වෙන එක ඇරෙන්න වෙන දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ....

හැබැයි අංකල් පස්සෙ දවසක කිව්ව "මට කාලයක් තිස්සෙ නවත්තන්න බැරි වෙලා තිබ්බ එක උඹල එක රැයින් නැවැත්තුවා කියලා...

ඉතින් තේරෙනවනේ.. අපේ බෝඩිමේ බයිට් වෙන එකට වයස බේදයක්වත් ලොක්කද පොඩ්ඩද කියලා බේදයක්වත් තිබ්බෙ නෑ. තව කතා ඉදිරියට කියන්න තමයි හිතාගෙන ඉන්නෙ. අදට ඇති.

Sunday, June 6, 2010

රාජ්‍ය සේවකයා වනාහී................


මට මේ Post එක ලියන්න හිතුනෙ අපේ ගම් පළාතෙම බ්ලොග් ලියන්නියක් වන ධම්මිකා හේරත්ගේ Ripples in the pond කියන බ්ලොග් එකේ රාජ්‍ය සේවකයා වනාහී කියන පෝස්ට් එක කියෙව්වට පස්සෙ. රජයේ සේවකයා වැඩ වර්ජනය කල යුතුද? කරනවනම් ඒ මොකටද? කියලා අපිට දැනෙන විදිහට යමක් කියන්නයි මම උත්සාහ කරන්නෙ.

2000.09.01 ඉදන් රජයේ සේවයේ අවුරුදු 10ක් කිට්ටු වෙන්න මම රාජ්‍ය සේවයේ හිටියෙ කලමණාකාර සහකාරවරයෙක් විදිහට. අමාත්‍යාංශයක වසර 7කුත් දෙපාර්තමේන්තුවක අවුරුදු 3ක අත්දැකීමුත් මට තියෙනව. රජයේ සේවකයින්ගේ වැඩ වර්ජන ගැන මම දැක්කෙ මේ විදිහටයි.

මේ සියලුම වර්ජනයන් මෙහෙය වන්නේ වෘත්තීය සමිති වල මෙහෙයවීමෙන් කියා ඔබ නොදන්නවා විය නොහැකියි කියලයි මම හිතන්නෙ... එම වෘත්තීය සමිති අතරින් සංවෘත්ත දෙපාර්තමේන්තු තුල තිබෙන වෘත්තීය සමිති ප්‍රභලයි. උදාහරන ගත්තොත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව වගේ ඒව ගන්න පුලුවන්.. අධ්‍යාපන අමාත්‍යාංශයට අදාල වෙන ගුරුවරුන්ගේ වෘත්තීය සමිතියත් ඒ වගේම ප්‍රභලයි... ඒත් අපි එකක් මතක තියාගන්න ඕන. මේ වෘත්තීය සමිති වලින් වැඩි හරියකගෙම ( 97%ක් වගේ)මුදුන් මුල දිගේ හාරගෙන ගියහම අන්තිමේට මතුවෙන්නෙ දේශපාලන පක්ෂයක මධ්‍යම කාරක සභාවකින් කියන එක.. එතකොට වර්ජන දියත් වෙන්නේ කාගේ උවමනාවටද කියන එකත් ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන එක ගැනත් අපිට පොඩි ඉගියක් පහල වෙනවා....

අද දවසේ සාමාන්‍ය ඒකාබද්ධ සෙවයේ කලමනාකාර සහකාරවරයෙකුගේ අවම වැටුප රුපියල් 13880.00ක් විතර වෙනවා.... මේ රාජ්‍ය සේවයේ ( කාර්යාල සහයකයින්, කම්කරුවන්, සුලු සේවකයින් වගේ අය ඇරුනමා) මධ්‍යම මට්ටමේ අඩුම වැටුප ලබන පිරිස.. සංවෘත්ත දෙපාර්තමේන්තුවල සේවයේ යෙදෙන කලමනාකාර සහකාරවරයෙකුගේ වැටුප රුපියල් 17000.00ට වඩා වැඩියි... මේ වැටුපට අමතරව අවම වශයෙන් තවත් රුපියල් 4500.00කට වැඩි මුදලක් ජීවන වියදම් දීමනාවක් ලෙසටද ඔවුනට හිමි වේ. යොජිත අයවැයෙන් තවත් 2500.00ක වැටුප් වැඩිවීමක්ද යෝජිතයි. ඉතින් වැටුප් ගැන වර්ජන කරන එක ගැන ආයෙත් කතා කරන්න දෙයක් නැතිවෙයි කියල මම හිතන්නෙ, පෞද්ගලික අංශයේ කිසිදු නවක කලමනාකාර සහකාරවරයෙකුට රුපියල් 8000.00 ඉක්මවපු වැටුපක් නොලැබෙන බව දන්න නිසයි...

අනතුරුව අපි රාජ්‍ය සේවකයෙකුට ලැබෙන පහසුකම් කිහිපයක් ගැන විමසිලිමත් වෙමු. ඔවුන්ට විනෝද චාරිකාවක් දුම්රියෙන් ඕනෑම දුරක් ගොස් ඒමට වසරකට නොමිලේ ප්‍රවෙශපත් කට්ටල 3ක් ලැබේ. දුම්රියෙන් වැඩට එන අයගේ සීසන් පතට මාස තුනකට ගෙවිය යුත්තේ සාමන්‍ය පුද්ගලයින් මාසෙකට ගෙවිය යුතු ගාණටත් වඩා අඩු මුදලකි. විශ්‍රාම වැටුප අදාල සේවකයාට අමතරව ඔහු හෝ ඇය මිය ගිය විටක කාලත්‍රයාටද අනතුරුව අවිවාහක රැකියා විරහිත දියණියක් සිටීනම් ඇයටද ලැබේ. නිළ නිවාස ඉතා අතිශය අඩු මිලටද ලැබේ. මේ කිහිපයක් පමණි.. ඉතින් මේ රජයේ සේවකයාගේ වැඩ වර්ජන ගැන සහ එහි තේරුම ගෙන මට ඔබට අමුතුවෙන් පවසීමට දෙයක් ඉතුරු වී ඇතැයි මම නොසිතමි..

තවත් එක දෙයක් පැවසීමට තිබේ. එදාට වඩා අද රාජ්‍ය සේවකයා වැඩක් කරන අවංක මිනිසෙකි... අල්ලස හා දූෂනය කෙරෙහි වැඩි නැඹුරුවක් නොමැති අයෙකි.. අතලොස්සක් එවැන්නන් සිටියත් ඔවුන්ගේ ක්‍රියා නිසා සමස්ත රජයේ සේවයටම නින්දා ගෙන දෙන එක නැවැත්විය නොහැක... රාජ්‍ය සේවකයාද එකක් මතක තබා ගත යුතුය. අනුන්ට සීනි කිරන්නට වර්ජන වලට ගොස් තමන් පිලිබදව මහජන හදවත් තුල ඇති ප්‍රසාදයට හානියක් සිදු නොවන්නට වග බලාගත යුතුය.

මම කොහොමද සංචාරක ව්‍යාපාරයට යොමු උනේ කියන එක තමයි දැන් ලියන්න යන්නෙ.


මම කලින් කතාවකදි කිව්වනෙ ඉස්කෝලෙ යන කාලෙ සැරටම බාලදක්ෂ කලා කියලා.. ඉතින් ඒ කාලෙ අපේ අම්මට පෙන්නන්නම බැරි වචන කිහිපය තමයි ..

1. බාලදක්ෂ කඳවුරු ( Scout Camps)
2. ගවේශණ තරග (Exploration Competitions)
3. විනෝද චාරිකා ( Trips )

ඒත් දෙවියනේ කියලා මට වැඩිපුරම තිබුනෙත් මේවම තමයි.. හැම සතියකටම සැරයක් බාලදක්ෂයෝ සෙට් එකත් එක්ක කොහෙහරි යන එක පුරුද්දක් වෙලා තිබ්බා.. ඉස්කෝලෙන් එලියට ආවට පස්සෙත් මේ පුරුද්ද මෙහෙමම තිබුනා.. රැකියා කරද්දිත් අපේ උන් ටික ඉඩක් ලැබුනු හැම වෙලේම නොගිය තැනක යන්න පෙලඹුනා..

මම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ඉන්න කොට පටන් ගත්ත විදාතා, ටෙක්නො ලංකා වගේ වැඩසටහන් නිසාත් මට රට පුරා සංචාරය කරන්න අවස්ථාව ලැබුනා.. කොටින්ම ත්‍රස්ත කලබල තිබුනු කාලෙත් මට අම්පාර, මන්නාරම වගේ පැතිවල නිරුපද්‍රිතව ගිහින් එන්න වාසනාව උදා උනා. සාමාන්‍යයෙන් මගේ වයස අවුරුදු 25ක් වගේ වෙනකොට මම ලංකාවෙ බොහෝ තැන්වල ඇවිදලා තිබුනා. ලංකාවෙ තියෙන බොහෝ නගර පිලිබද පැහැදිලි මතකයක් මට තියෙනව කියල මට හිතුනා... ඒ වගේම මම ගිහින් නැවතුනු හැම හොටෙල් එකක් එක්කම සම්බන්ධතාවයක් අද වෙනකන් නොබිදී තියා ගන්නත් මම සමත් වුනා..

ලංකා ටුවර් ඕර්ගනයිසර්ස් පුද්ගලික සමාගම පටන් ගන්න තවත් හේතුවක් උනේ මේ කාලෙ වෙද්දි ගොඩාක් අය මගෙන් අහන්න ගත්තා "මචන්, අපි පොඩි ට්‍රිපක් යනව... කොහේද හොද?" කියල.. එහෙම නැත්නම් අහනව "මචන්, අපි නුවර එලියේ යනවා... මොනාද බන් එහෙ බලන්න තියෙන්නේ..?" කියලා.... මමත් ඉතින් කියනවා.. උන් මාවත් දාල ට්‍රිප් එක ගිහින් ෆන් අරන් එනවා... ටික කලක් යද්දි මට හිතුනා ඇයි මම මේ දැනුම නිකන් දෙන්නෙ.. පටන් ගන්නව බිස්නස් එකක් කියල තමයි මේ ලංකා ටුවර් ඕගනයිසර්ස් පටන් ගන්න හිතුවේ....

දැන් ඒක සෑහෙන දුරට ගිහින් තියෙන නිසා මම කරන්නෙ හොද සේවයක් කියල මට හිතෙනව... ලංකාවෙ තියෙන පුංචි හොටෙල්ස් වගේම තරු මට්ටමේ හෝටල් පවා මට වට්ටම් ලබා දෙනවා...

මගේ ජීවිතේට ගොඩාක් දේවල් ලබා දුන්නෙ බාලදක්ෂ ව්‍යාපාරය.. මේකත් පදනම් උනේ බාලදක්ෂ ව්‍යපාරය මතින්... ඒක නිසාම මම මගේ සමාගම තුලින් සේවය ලබාගන්න බාලදක්ෂයින්ට ඉතාම අඩු ගනනට සේවය සපයන්න තීරනය කරල තියෙනවා.. මගේ අරමුණු කලින් ලියලා තියෙන නිසා මම මේ Blog Post එක මෙතනින් නවත්තනවා.....



බෙන්සීන් වලල්ල කියන්නෙ මොකක්ද?


Science කරපු ඕනම කෙනෙක් දන්නව මොකක්ද මේ බෙන්සීන් වලල්ල කියලා.. ඒත් Commerce කරපු අපිට මේ බෙන්සීන් වලල්ල අදාල උනේ කොහොමද කියන එක තමයි අද කතාව....

උසස් පෙළ කරන කාලෙනෙ පාසැල් ජීවිතේ සුන්දරම කාලේ... අපි කලේ Commerce ඒත් ආර්ථික විද්‍යාව පීරියඩ් එකේ පන්තියෙ ඉන්න අපි හරි පුදුම විදිහට අදිමදි කලා... (ඒ දවස්වල නොතේරුනාට දැන් තමයිනෙ ඒකෙ පාඩුව තේරෙන්නෙ...) ආර්ථික විද්‍යාව පීරියඩ් එකෙ අපි කලේ කට්ටියත් එක්ක ගුරුවරයෙක් ඇවිත් නැති පන්තියකට ගිහින් බයිල ගගහ සින්දු කිය කිය කාලෙ ගෙවන එක තමයි... දවසක් අපි ගියා Science Class එකකට... විනාඩි 5ක් යද්දි මෙන්න සර් ආවා ඇතුලට... දැන් අපිට එලියට යන්නත් බෑ... ඔන්න දැන් අපිත් ඉගෙනගන්නව.... සර්ත් උගන්නනවා.. මොකක් ගැනද උගන්වන්නෙ.. බෙන්සීන් වලල්ල ගැන.. අපිට නිකන් ප්‍රංශ වගේ... කොහොමහරි විනාඩි 40ක් යනකන් අපි අහගෙන හිටිය මේ බෙන්සීන් වලල්ල ගැන.. සර් මගෙ දිහා අමුතු විදිහට දෙපාරක් විතර බැලුවත් ඒක එහෙමම ෂේප් වෙලා ගියා.... ජීවිතේ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්ත අමිහිරිතම පාඩම ඉගෙන ගත්ත අපි Class එකෙන් එලියට ඇවිත් බඩවල් අල්ලගෙන හිනා උනා....

කතාවෙ හොදම හරිය තමයි දැන් කියන්න හදන්නෙ... අපි ඉදලා හිටලා ඉස්කෝලෙන් කලින් පනිනවනෙ.. ඉතින් මුර දෙවියට වැදල වැදල තමයිනෙ පනින්නෙ.. මේ සිද්දියෙන් පස්සෙ අපේ එකෙක්ට ආව ඝණ දෙවි නුවණ... දැන් අපි පහලොවක් විතර චන්ඩි වගේ යනව ඉස්කෝලෙන් එලියට යන්න.. මුර දෙයියො ඉන්නව රවාගෙන.. Gate එක ලගට යද්දිම ඇහුව "කොහෙද යන්නෙ" කියල.. අපේ එකෙක් මෙහෙම උත්තර දෙනව.. " බෙන්සීන් වලල්ලක් ගේන්න යනව" මුර අංකල් කියනව මෙහෙම " ඉතින් මෙච්චර මොකටද ඒක අරන් එන්න" කියලා. අපෙ යාලුව කියනව "එක්කෙනෙකුට දෙන්නෙකුට පුලුවන්ද බෙන්සීන් වලල්ලක් ගේන්න. දන්නෙ නැති ඒව කියන්න එපා අංකල්" කියල... මුර අංකල්ගෙ සද්දෙ වැහිල ගේට්ටුව ඇරෙනව... අපි කලින්ම ගෙවල් වලට සතුටින් පැමිනෙනවා.

මේ වගෙ සිද්දිනම් ඕන තරම් තියෙනවා.. ඒව ලියන්න ගියොත් සෑහෙන කාලයක් යන නිසා හොදම ටික තමයි ලියන්නෙ...

Saturday, June 5, 2010

බෝඩිමේ කථා අංක 02


බ්ලොග් එකක් ලියද්දි හරි හරි දේවල් තමයි වෙන්නෙ. සමහරු කෝල් කරල කියනව මචන් අහවල් කථාව ලියපන්... එහෙම නැත්නම් කියනව ඒ මචන් අර සීන් එක නම් දාන්න එපා කියලා... කොහොමත් මගෙ බ්ලොග් එකෙන් කාටවත් කරදරයක් කරන්න අදහසක් නැති නිසා මම මේකට දාන posts ගැන ප්‍රශ්ණයක් ඇති වෙන එකක් නෑ කියල මම හිතනවා.....

ගිය සතියෙ පොරොන්දු උනානෙ බෝඩිමේ වෙච්ච හොදම කතාව ලියනව කියල මේ සතියෙ... කතා නායකයගෙන් අවසරේ ගත්තට එයා කිව්වෙ "මගෙ නම දාන්නෙ නැතිව උඹට ඕන මගුලක් දාපන්" කියල... ඒ නිසා අපි එයාට ලකී කියල කියමු. ලකියා හිටියෙ මගෙ රූම් එකේ අනිත් ඇදේ... හරි දැන් පටන් ගනිමු කතාව.

අපේ බෝඩිමට අල්ලපු ගෙදර හිටියා පවුලක්.. අම්මයි තාත්තයි අක්කයි නංගියි තමයි ඒ ගෙදර හිටියේ.... අක්ක ටිකක් ලස්සනයි... නංගි නම් ටිකක්වත් ලස්සනයි කියලා කියන්න අමාරුයි... ඒත් අපේ උන්ගේ අවාසනාවටද කොහෙද වැඩිපුරම අපේ බෝඩිම දිහාට නෙත් හෙලන්නෙත් ඒ නංගි තමයි... අපේ කොල්ලො කොලු කමට ඒ නංගිට කිව්වෙ යකා කියලා... ගෙදර අනිත් අයත් යකාගෙ අක්ක, යකාගෙ තාත්තා, යකාගෙ අම්ම විදිහට හැදින්වුනා... ඒ අතරෙ අපේ කොල්ලො ලතා ලතා කියන සින්දුවට යකා යකා කියල ආදේශ කරගෙන ගායනා කරන්නත් පුරුදු වෙලා හිටියා...

දැන් තමයි කතාව... අපේ ලකිය ඔන්න යකාත් එක්ක යාලු උනා.. ලකියා ලස්සන සුදු කොල්ලෙක්.. යකාගෙ හැටි මම කිව්වනෙ.. (යකා කියල කියන්නෙ ඒ ගෑනු ලමයගෙ නම දන්නෙ නැති නිසා මිසක් අවමන් කිරීමේ චේතනාවකින් නෙමේ කියල කරුණාකරල හිතන්නා).

මම කියල තියෙනවනෙ අංක 01 කතාවෙදි අංකල් නීති කාරයා සහ දරුනු මිනිහෙක් කියල... මේක දැනගෙන අංකල් ලකියට කිව්ව ඕක නවත්තපන් නැත්නම් මම නරක මිනිහ කියන්න එපා කියලා....එත් මූ නෙමේ ඇහුවෙ... හැමදාම රෑ 8න් පස්සෙ වැට ලගට වෙලා දෙන්න කතාව.. අපේ එකා වැටෙන් මේ පැත්තෙ.... යකා වැටෙන් අනිත් පැත්තෙ. දැන් අංකල්ට ඌරු ජුවල්... දෙපාරක් කිව්ව.. මූ නෙමේ ඇහුවෙ.. අනේ ලොක්කො මට මොනව කරන්නද ඇහුව මූ අංකල්ගෙන්.. ඉදපන්කො උඹට කරන වැඩේ මම පෙන්නන්න කියල අංකල් කිව්වා... එක දවසක් අංකල් අපිට කිව්ව අද මම හොද කෙලියක් අරූට කරනවා.. බලන්න ඕනනම් කලින් වරෙල්ලා කියලා... අංකල් කිව්වොත් ආයෙත් දෙකක් නෑ... අපිත් දැන් කලින්ම ඇවිත් ඉන්නව... රෑ 8ත් උනා... මූත් වැට ලගට ගිහින් කෙල්ලත් එක්ක කතාව.. මොකුත් වෙනව කියලා පේන්නෙත් නෑ.. අපිත් හිටිය අපේ පාඩුවේ...

ඔන්න වෙලාව.. එක පාරටම ඩෝං ගාල සද්දයක් ආව බෝම්බයක් ගැහුව වගේ.. අපිත් බයවෙලා රූම්ස් වලින් එලියට ආව මිදුලට යන්න හිතාගෙන.. අපි මිදුලට යන කලින් ලකිය ඇතුලට ආව දාඩිය පෙරාගෙන, වෙව්ල වෙව්ල.... අපි හිතුව මොකක් හරි අවුලක් තමයි.. කියල එලියට බැහැල බලද්දි යකාත් දුවනව ගෙදරට පණ එපා කියාගෙන....

හොයල බලද්දි මොකද දන්නවද වෙලා තියෙන්නෙ? අංකල් තුන් හුලස් රතිඤ්ඤයක් දාල මේ දෙන්න කතා කර කර හිටපු තැනට... අංකල්ගෙ හැටි දන්න අපි හිත හදගත්තෙ මුන් දෙන්නට වෙඩි නොතිය රතිඤ්ඤයක් දාපු එක ගැන හිහල... කොහොමත් අංකල් එක්ක ඔරොප්පු වෙච්ච ලකී බෝඩිමෙන් ගියා ඉක්මනටම ඒ සිද්දියෙන් පස්සෙ..