Sunday, June 6, 2010

රාජ්‍ය සේවකයා වනාහී................


මට මේ Post එක ලියන්න හිතුනෙ අපේ ගම් පළාතෙම බ්ලොග් ලියන්නියක් වන ධම්මිකා හේරත්ගේ Ripples in the pond කියන බ්ලොග් එකේ රාජ්‍ය සේවකයා වනාහී කියන පෝස්ට් එක කියෙව්වට පස්සෙ. රජයේ සේවකයා වැඩ වර්ජනය කල යුතුද? කරනවනම් ඒ මොකටද? කියලා අපිට දැනෙන විදිහට යමක් කියන්නයි මම උත්සාහ කරන්නෙ.

2000.09.01 ඉදන් රජයේ සේවයේ අවුරුදු 10ක් කිට්ටු වෙන්න මම රාජ්‍ය සේවයේ හිටියෙ කලමණාකාර සහකාරවරයෙක් විදිහට. අමාත්‍යාංශයක වසර 7කුත් දෙපාර්තමේන්තුවක අවුරුදු 3ක අත්දැකීමුත් මට තියෙනව. රජයේ සේවකයින්ගේ වැඩ වර්ජන ගැන මම දැක්කෙ මේ විදිහටයි.

මේ සියලුම වර්ජනයන් මෙහෙය වන්නේ වෘත්තීය සමිති වල මෙහෙයවීමෙන් කියා ඔබ නොදන්නවා විය නොහැකියි කියලයි මම හිතන්නෙ... එම වෘත්තීය සමිති අතරින් සංවෘත්ත දෙපාර්තමේන්තු තුල තිබෙන වෘත්තීය සමිති ප්‍රභලයි. උදාහරන ගත්තොත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව වගේ ඒව ගන්න පුලුවන්.. අධ්‍යාපන අමාත්‍යාංශයට අදාල වෙන ගුරුවරුන්ගේ වෘත්තීය සමිතියත් ඒ වගේම ප්‍රභලයි... ඒත් අපි එකක් මතක තියාගන්න ඕන. මේ වෘත්තීය සමිති වලින් වැඩි හරියකගෙම ( 97%ක් වගේ)මුදුන් මුල දිගේ හාරගෙන ගියහම අන්තිමේට මතුවෙන්නෙ දේශපාලන පක්ෂයක මධ්‍යම කාරක සභාවකින් කියන එක.. එතකොට වර්ජන දියත් වෙන්නේ කාගේ උවමනාවටද කියන එකත් ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන එක ගැනත් අපිට පොඩි ඉගියක් පහල වෙනවා....

අද දවසේ සාමාන්‍ය ඒකාබද්ධ සෙවයේ කලමනාකාර සහකාරවරයෙකුගේ අවම වැටුප රුපියල් 13880.00ක් විතර වෙනවා.... මේ රාජ්‍ය සේවයේ ( කාර්යාල සහයකයින්, කම්කරුවන්, සුලු සේවකයින් වගේ අය ඇරුනමා) මධ්‍යම මට්ටමේ අඩුම වැටුප ලබන පිරිස.. සංවෘත්ත දෙපාර්තමේන්තුවල සේවයේ යෙදෙන කලමනාකාර සහකාරවරයෙකුගේ වැටුප රුපියල් 17000.00ට වඩා වැඩියි... මේ වැටුපට අමතරව අවම වශයෙන් තවත් රුපියල් 4500.00කට වැඩි මුදලක් ජීවන වියදම් දීමනාවක් ලෙසටද ඔවුනට හිමි වේ. යොජිත අයවැයෙන් තවත් 2500.00ක වැටුප් වැඩිවීමක්ද යෝජිතයි. ඉතින් වැටුප් ගැන වර්ජන කරන එක ගැන ආයෙත් කතා කරන්න දෙයක් නැතිවෙයි කියල මම හිතන්නෙ, පෞද්ගලික අංශයේ කිසිදු නවක කලමනාකාර සහකාරවරයෙකුට රුපියල් 8000.00 ඉක්මවපු වැටුපක් නොලැබෙන බව දන්න නිසයි...

අනතුරුව අපි රාජ්‍ය සේවකයෙකුට ලැබෙන පහසුකම් කිහිපයක් ගැන විමසිලිමත් වෙමු. ඔවුන්ට විනෝද චාරිකාවක් දුම්රියෙන් ඕනෑම දුරක් ගොස් ඒමට වසරකට නොමිලේ ප්‍රවෙශපත් කට්ටල 3ක් ලැබේ. දුම්රියෙන් වැඩට එන අයගේ සීසන් පතට මාස තුනකට ගෙවිය යුත්තේ සාමන්‍ය පුද්ගලයින් මාසෙකට ගෙවිය යුතු ගාණටත් වඩා අඩු මුදලකි. විශ්‍රාම වැටුප අදාල සේවකයාට අමතරව ඔහු හෝ ඇය මිය ගිය විටක කාලත්‍රයාටද අනතුරුව අවිවාහක රැකියා විරහිත දියණියක් සිටීනම් ඇයටද ලැබේ. නිළ නිවාස ඉතා අතිශය අඩු මිලටද ලැබේ. මේ කිහිපයක් පමණි.. ඉතින් මේ රජයේ සේවකයාගේ වැඩ වර්ජන ගැන සහ එහි තේරුම ගෙන මට ඔබට අමුතුවෙන් පවසීමට දෙයක් ඉතුරු වී ඇතැයි මම නොසිතමි..

තවත් එක දෙයක් පැවසීමට තිබේ. එදාට වඩා අද රාජ්‍ය සේවකයා වැඩක් කරන අවංක මිනිසෙකි... අල්ලස හා දූෂනය කෙරෙහි වැඩි නැඹුරුවක් නොමැති අයෙකි.. අතලොස්සක් එවැන්නන් සිටියත් ඔවුන්ගේ ක්‍රියා නිසා සමස්ත රජයේ සේවයටම නින්දා ගෙන දෙන එක නැවැත්විය නොහැක... රාජ්‍ය සේවකයාද එකක් මතක තබා ගත යුතුය. අනුන්ට සීනි කිරන්නට වර්ජන වලට ගොස් තමන් පිලිබදව මහජන හදවත් තුල ඇති ප්‍රසාදයට හානියක් සිදු නොවන්නට වග බලාගත යුතුය.

5 comments:

  1. මමත් රජයේ සේවකයෙක්. අවුරුදු 9 ක් තිස්සේ සේවය කරනවා (පළාත් රාජ්‍ය සේවයේ) ඔබ ඔය කියන සමහරක් ඇත්ත උණත් අපිට නම් ඔය තරම් පහසුකම් නෑ. වැටුප රු. 14000. (අවුරුදු 9කට පස්සෙත්) නිළ නිවාස නෑ. ජීවන වියදම ලැබෙනවා. එතකොට අතට එන්නේ 18500 (කැපෙන ඒවා නොසලකා හරිමුකෝ) ගෙවල් කුලී, දරුවන්ගේ පාසල් වියදම්/අමතර පන්ති වියදම්, කෑම බීම, ඇඳුම්, බෙහෙත් ආදිය සඳහා අවමය 3 කගෙන් යුත් පවුලකට මාසිකව 18500 ඇත් දැයි සිතන්න

    ReplyDelete
  2. හොදටම මදි කියලා මමත් පිලිගන්නවා... ඒත් මම කියන්නෙ පෞද්ගලික අංශයේ අයට ඊටත් වඩා අඩුයි කියලයි.

    ReplyDelete
  3. පුද්ගලික බැංකුවක සේවය කර ඇති මගේ අත්දැකීම අනූව නම් විධායක ශ්‍රේණියේ නියුතු අයකුගේ අරම්භක වැ‍ටුප සාමන්‍යන් රු.35,000 පමණ වේ.

    ReplyDelete
  4. අපිත් එක්කම එකට පත්වීම් හම්බුන කෙනෙක් නෙව. මටත් 2000.09.01 තමයි පත්වීම් ලැබුනේ... ම්ම් කාර්මික අධ්‍යාපන හා පුහුණු දෙපා වට.... බලන් ගියහම දන්න කෙනෙක් ද මන්ද.

    ReplyDelete
  5. 3990/ යි ඒ දවස් වල පඩිය ... හ්ම්..

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...