Meemure Jungle Resort

Saturday, September 25, 2010

ආපෝ මට නම් ලංකාවට යන්නම බෑ හොට්නෙ අනේ...

දැන් මටත් හොද ප්‍රේක්ශක ජනතාවක් ඉන්නවා... ඔවුනුත් දැන් මට කතා ලියලා එවනවා... අර මම ලියපු ආ.. පුතා මම ඉන්නෙ කොළඹ කියන කතාවෙ ජාත්‍යන්තර පියවර තමයි මේ මගේ රසිකාවිය ලියලා තියෙන්නෙ.. ඒ වගේම වෙන්න පොෂ් අය ගැනත් පොඩි අදහසක් ගන්න පුළුවන්... ඉතින් මේ ලිපිය මට එවපු රසිකාවිය ගැනත් පොඩ්ඩක් කිව්වොත් දැනට අවුරුදු 14කට එහා ඉදන් දන්න අදුනන කෙනෙක් තමයි... මෙයා ගැනත් මම මීට කලින් කතාවක් කියලා තියෙනවද මන්දා...... හිකිස්.... හරි වැඩි වැල් වටාරම් නැතුව එයාගෙ වචනෙන්ම කිව්වොත් මෙන්න මෙහෙමයි කතාව.....



සාමාන්‍යයෙන් අපි අපේ රටේ ඉදල වෙනත් රටකට ගියාම එක පාරටම ස්ථාවර වෙන්න අමාරුයිනෙ. ලොකුම සල්ලි කාරයෙකුට උනත් රුපියල් ඩොලර් වලට හැරෙනෙකොට ටිකක් දැනෙනව. අනිත් එක මෙහෙ ඕනෙම දෙයක් මුලින්ම ගන්න Credit History එක බලනව. ඒ කියන්නෙ 100 ලකුනු ගන්න ඕනෙ. ඒකට මෙහෙ අඩුම ගානෙ මාස 6ක්වත් ඉද ල තියෙන්න ඕනෙ. හොද ගිනුමක් තියෙන්නෙ ඕනෙ. රෑකියවක් තියෙන්න ඕනෙ. ඉතින් එන ගොඩක් අය ඔය ඔක්කොම හදාගෙන එන්නෙ නෑනෙ. ඒ නිසා එන ගොඩක් අය මුලින්ම ඉන්නෙ හවුල් නවාතෑනක. ඒක තමා විදිය. ඉතින් අපිත් ආපු මුල්ම කාලෙ හිටියෙ එහෙම තෑනක. අපිත් මාස 6ක් විතර එහෙම හිටියා. ඉතින් ඒ අපි ගෙදරට ගිය මුල්ම දවස. ඒ ගෙදර පවුල් 3ක් හිටියා. ඔන්න ඉතින් අපි දෙන්නා ගිහිල්ලා අපේ බඩු ටික අස් කරනවා.මොනාද ඉතින් කිලෝ 100ක් නෙ ලංකාවෙන් ගෙනියන්න පුලුවන්. ඉතින් අපි දෙන්නා අපි දෙන්නාගෙ බෑග් අස් කර හිටියෙ. ඔන්න කවුද දොරට තට්ටු කරනවා.මගෙ මහත්තයා ගිහිල්ලා දොර ඇරියා. කාලගොල වගෙ මනුස්සයෙක් එක්ක අගල් 5ක විතර කොට කලිසමක් ඇදගත්තු ගෑනු කෙනෙක් හිටියා.. අපි ඒ දෙන්නට අමර සහ සාමා කියමුකො ඔන්න සංවාදය

අමර : ආ ඔයාල අද නේද ආවෙ? කොහොමද?

අපි : ඔව් අද තමායි ආවෙ වරදක් නෑ. බොහොම ස්තුති බලන්න ආවට

සාමා : අස් කරනවා නේද?

මම : ඔව් තව ටිකක් තියෙනවා

සාමා : හරිම රස්නෙ නේද
(ඒ Summer එක පටන් ගත්තම කාලේ..)

මම : හ්ම්ම්ම් ටිකක් රස්නේ නම් තමා... එත් තින් අපෙ රටත් රස්නෙනෙ. අවුලක් නෑ එච්චරම.

සාමා  : ආපෝ මට නම් ලංකාවට යන්නම බෑ හොට්නෙ අනේ....ඒ මදිවාට දුවිලි.....

මම  : එහෙමද? ඔයාල ඈවිත් ගොඩක් කල්ද? ලංකාවෙ කොහෙද ඔයාල?
ඔන්න එතකොටම අමර පෑනලා උත්තර දුන්නා

අමර : නෑ නෑ අපි ඈවිල්ලා තාම සති 3. මම නම් මයියංගනේ මෙයානම් පදවියෙ...

එත් එක්කම මගෙ මහත්තය මගෙ දිහාත් මම එයා දිහාත් බෑලුවෙ, අපි නොදැනම හෑමදාම පදවිය පෑත්තට හිම වෑටෙනවද දන්නෙ නෑ කියන්න වගේ.. එත් එක්කම සාමායි අමරයි පිච්චිලා යන බෑල්මක් දාගෙන මෙහෙම කීව...

සාමා : අනේ මට පොඩි වෑඩක් අමතක උනා මම පොඩ්ඩක් කාමරෙට යනවා..

දවස් 3 විතර යනකම් මම ඒ ජෝඩුව දක්කෙ නෑ... ඔන්න ඔහොමයි මිනිස්සු මේ රටට පය ගහපු ගමන් වෙනස් වෙන්නෙ


ප. ලි. අපේ පුතාත් මහියංගනේ පැත්තෙ මම හිතන්නෙ.... පුතාත් ඔහොමද කියන්නෙ ආ......

Friday, September 24, 2010

තවත් එක් සොදුරු ශ්‍රී ලාංකිකයෙක්....... අවසන් කොටස

                  
මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි... මගේ පුංචි කොම්පැණියට අනුබද්ධ හොටෙල් ලංකා කියන වෙබ් අඩවියත් මේ දිනවල පැවැත්වෙන ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවිය තේරීමේ තරගයට තෝරාගෙන ඇති නිසා සම්පූර්ණ කාලය ගෙවෙන්නෙ එහි ප්‍රචාරක කටයුතු වෙනුවෙනුයි.... මේ නිසා ඒ ගැන ලිපියක් පසුව දාන්න හිතාගෙන ඉන්න අතරෙ තවත් එක් සොදුරු ශ්‍රී ලාංකිකයෙක් කතා මාලාවේ අවසන් කොටස ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. කලින් ලිපි බලපු නැති අය පහල තිබෙන යොමු වලින් ගිහින් ඒ ටික කියවලා එන්නකො එහෙනම්....


තවත් එක් සොදුරු ශ්‍රී ලාංකිකයෙක්....... 01



හරි අද කියන්න යන්නෙ දෙමවුපියෝ ගැන සහ සහෝදර සහෝදරියන් ගෙ ආකල්ප ජීවිතය පුරාවට හැඩ ගැහෙන ආකාරය සහ අනාගතයේදී එවැනි ප්‍රශ්න වලට අප මුහුණ දිය යුත්තේ කෙසේද යන කාරණය අපට පැහැදිලි කල ආකාරයයි.... 

ඊලග කාරනය දරුවනේ.. අපේ හිත්වල දෙමවුපියන් පිළිබදව මැවිලා තියෙන චිත්‍ර.. මෙතන දරුවො 600 කට වැඩිය ඉන්න බවක් පේන්නෙ... ඒ 600 දෙනාගෙ හිත්වල දෙමවුපියෝ ගැන ඇත්තේ හයසිය විදිහකට... එකම ආකාරයේ සිතුවිල්ලක් මම හිතන්නෙ නෑදෙන්නෙක්ගේ හිතේ ඇති කියලා... පොඩි කාලෙ ඉදන් මෑතක් වන තුරු ඔයාලාගෙ හිත්වල වීරයෝ වගේ රජ කරපු ඔයාලගෙ දෙමවුපියන් මේ දවස්වල නිකන් නොසලකා හැරලා වගේ නේද ඉන්නෙ..... මේ වයසට එහෙම තමයි පුතේ... දැන් ඔයාලට එයාලව රුස්සන්නෙ නෑ නේද? මෙතන ඉන්න කිසි කෙනෙක් කල්පනා කලාද ඒ ඇයි කියලා.... මම ලොකු උගතෙක් නෙවෙයි පුතේ.. ඒත් මට හිතෙන හැටියට මෙහෙමයි.  


දෙමවුපියනුත් ඔයාලගෙ කාලයේ ඔය විදිහටමයි ජීවත් වෙලා තියෙන්නෙ... ඒකෙ කිසිම සැකයක් නෑ...ඒත් එයාලට ඒ කාලෙ ඒ වැඩවල තිබ්බ අවදානම තේරුනේ නෑ... ඒත් දැන් තේරෙනවා... ඒකයි සමහර වෙලාවල් වලට ඔවුන් ඔබ කරන වැඩවලට අකුල් හෙලන්නෙ... මේ කියන දේ පිළිබදව තව අවුරුදු දහයකින් විතර තමයි ඔයාලට තේරෙන්නෙ.... එතකොට ඔයාලටත් ඔයාල මේ කාලේ කරපු වැඩවල අවදානම වගේම හොද නරක තේරුම් යන්න පටන් ගන්නවා... ඒක තමයි ලෝක ස්වභාවය.... ඒ නිසා අනාගතය දැන්ම දකින්න... ඊට පස්සෙ දෙමවුපියන්ව තේරුම් ගන්න.... එතකොට ඔයාලට දෙමවුපියොත් එක්ක කටයුතු කරන එක ටිකක් විතර පහසු වේවි.... ඔය දරුවන්ගෙන් ගොඩක් දෙනෙක් අවුරුදු 16ට වැඩි අය... කෝ අත උස්සන්න බලන්න 15 කට්ටිය ඉන්නවනම්.. ආ නෑ... එහෙනම් මම මේක කිව්වට කමක් නැති වෙයි... ඔයාලගෙන් බොහොමයක් දෙනා දැනට ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන ඇති.. ඉතින් ලෝකෙ වැඩියෙන්ම ආදරේ කාටද කියලා ඇහුවොත් අනේ අර දරුවට හරි දැරිවියට හරි කියලා කියාවි.. එතකොට අර උස් මහත් කරලා තමන්ව ප්‍රේම සම්භන්ධයක් ආරම්භ කරන තැන වෙනකන් ගෙනාපු අර අම්මා අප්පා... එයාලට වෙච්ච දෙයක් නෑ නේද දරුවනේ... මම මේ ඔයාලගෙ හිත් බිදින්න කියනවා නෙවෙයි.. පාසල් කාලයේ ප්‍රේම සම්භන්දතා දිගටම යනවා හොදටම අඩුයි.. තව අවුරුදු කිහිපයකින් බලන්නකො මම කියන්නෙ බොරුද කියලා.... 5%ක් විතර වගේ හරියයි ඕනෙ නම්.... ඉතින් ඒ වගේ තාවකාලික කරුණු නිසා ඔය දරුවන්ගෙ සදාතනික දෙමවුපියන්ගෙන් ඈත් වෙන්න එපා.... මේවා මම කිවූ පමණින් විශ්වාස කරන්න එපා... තව දවස් දෙකක් විතර හිතලා බලන්න මම මේ කියන ඒවා.. එතකොට තමයි ඔයාලට තේරෙන්නෙ... අනේ මන්ද මම කියවනවා වැඩිද කියලත්......


හරි දැන් මම කියන්නේ ඔයාලගෙ සහෝදර සහෝදරියො ගැන..... තනියම ඉන්න දරුවන්ට නම් මේක අදාල වෙන්නෙ නැතිවෙයි.... හොදයි මේ දවස්වල ඔයාලගෙ හොදම යාලුවොයි දරුනුම හතුරොයි බවට පත් වෙලා ඉන්නෙ ඔය කියන සහෝදර සහෝදරියො නේද? ඔක්කොම හොර වැඩ කරන්නෙත් එකතු වෙලා.. අන්තිමට දෙමවුපියන්ට කේලාම් කියන්නෙත් එයාලමයි.... ඉදිරියටත් දරුවනේ ඔහොමමයි... දැන් එයාලගෙ හිතේ තන්හාව නෑ.. ඉදිරියට එකතු වෙනවා... දෙමවුපියන්ගෙ බූදල් ප්‍රශ්න වගේ දේවල් ගොඩ නැගෙන්නෙ තව ඉස්සරහට... මම මේ කියන්නෙ ඔක්කොටම වෙනවා කියන එක නෙමෙයි... ඒත් ගොඩාක් දෙනෙකුට වෙනවා.. ඒවාට මුහුන දෙන්න තියෙන්නෙ එක ක්‍රමයයි.... පුලුවන් තරම් තනියෙන් ගොඩ නැගෙන්න... මගේ ගෙදර මගේ වාහනේ කියන තත්වය උදා කරගන්න.. එතකොට තමයි හොද පෞර්ශයක් ගොඩ නැගෙන්නෙ.... එහෙම නැතුව තමන්ගෙ සහෝදර සහෝදරියො එක්ක මහ පොළව වෙනුවෙන් මරාගන්න හදන්න එපා... බුද්ධිමත් විදිහට හිතලා හොදයි කියලා හිතෙන දෙයක් කරන්න.... කාගෙන්වත් ගන්නෙ නැතුව තමන්ගෙ උත්සාහයෙන් නැගිටින එක තමයි දරුවනේ වටිනාම දේ..... 



මෙන්න මේ වගේ ගොඩාක් උපදෙස් එතුමා අපිට දුන්නා.... ලිපි මගින් දාපු ඒවා ඉතාම තදින් මගේ හිතට වැදුන ඒවා.... ශිෂ්‍ය නායක දිනයක සියලුම ලමයි නිශ්ශබ්දව අහගෙන හිටපු මම දන්න එකම පැය දෙක..... සමහර කොල්ලො පවා කතාව යන අතරෙ අඩන්න පටන් ගත්තා.... ඒක නම් මතක් වෙද්දිත් මාරයි.....

හෙට ඉදන් කතා ලියමු.... මටත් දැන් කතා කියලා විද්‍යුත් පනිවුඩ එනවා... ඊලගට පල කරන්නෙ ඒ වගේ එකක්.....

Wednesday, September 22, 2010

තවත් එක් සොදුරු ශ්‍රී ලාංකිකයෙක්....... 03

මෙතුමා ගැන ලියපු පළවෙනි පෝස්ට් දෙකෙන් පස්සෙ මම ටිකක් හිනාවෙන කතා ලියන්න තමයි තීරනය කරලා තිබුනෙ.... ඒත් දෙවෙනි පෝස්ට් එකට මගේ පාඨකයින් දාලා තිබුන අදහස් 8න් 7කම තිබුනෙ මේ කතාවෙ ඉතුරු ටිකත් පල කරන්න කියලයි...... ඊටත් අමතරව වැම්පයර් සහෝදරයා මගේ ඉල්ලීම ඉටු කරමින් ලියලා තිබුන ලිපිය කියෙව්වම මේ කතාවෙ අනිත් කොටස් ටිකත් දාන්න ඕන කියලා මම හිතාගත්තා.... අඩුම ගානෙ තව කොටස් දෙකක්වත් ලියන්න වෙයි මම හිතන්නෙ... කලින් ඒවා කියවපු නැති අය මෙන්න මේවට ගිහින් කියවලා එන්නකො....




දැන් ඉතින් අද මම ලියන්නෙ එතුමා, තමන් කොච්චර උඩට ගියත් මනුස්සකම උඩින් තියාගන්නෙ කොහොමද කියල අපිට කියපු හැටියි අනිත් මනුස්සයෙක් දිහා ඒ මනුස්සයාගෙ කෝනෙන් බලන්නෙ කොහොමද කියලා අපිට පැහැදිලි කරපු හැටියි... මට මතක විදිහට එතුමගෙ වචන වලින්ම මෙහෙමයි......

දරුවනේ.. දැනටමත් ඔයාලා දන්නවා මම අධි නීතිඥවරයෙක්... ඒ නිසා ඔය දරුවො උනත් බලා පොරොත්තු වෙන ඇති මම ටයි කෝට් ඇදගෙන මෙතනට සම්ප්‍රාප්ත වෙයි කියලා..... ඒකට කියන්නෙ තනතුරු පවත්වාගෙන යාම.. ඉංග්‍රීසියෙන් කියන්නෙ දරුවනේ Position Maintaining. ඒත් මම පුද්ගලිකව හිතන දෙයක් තමයි ඒ දේවල් අපේ වෘත්තීමය ස්ථාන වලට පමණක් සීමා උනාම ඇති කියන එක... සාමාන්‍ය සමාජයේදිත් මම මම ගැන හිතුවානම් අධි නීතිඥවරයෙක් විදිහට, අද මට මෙතන සරලව කතා කරන්න වෙන්නෙ නෑ.. එහෙනම් මගේ දේශණය ඔයාලට තේරෙන්නෙත් නෑ.... ඔයාලට තේරෙන උදාහරනයක් ලෙසට කීවොත් ඔයාලා ශිෂ්‍ය නායකයෝ විදිහට පාසැල තුල ඉන්නවා... ඒත් මේ පාසැල් දොරටුවෙන් පිටතදි ඔයාලා ඒ විදිහට හැසිරෙනවද? ගෑනු ළමයි දිහා බලනවා.. එයාලත් එක්ක ප්‍රේම සම්බන්ධතා ගොඩ නගා ගන්නවා.... බස්වල පා පුවරුවේ එල්ලිලා යනවා... ඔය වගේ ගොඩාක් දේවල් මට උදාහරණ විදිහට පෙන්නන්න පුලුවනි... ඒ වගේම හොද මනුස්සකමින් පිරිපුන් ක්‍රියාවලත් ඔබලා නියැලෙනවා.. මම කියන්න අදහස් කලේ මේකයි.. ඉතින් මේ තනතුරෙන් අපිට ලැබුනු ලොකුකම් අපි වෙන තැන් වල ප්‍රදර්ශණය කරන්න ගත්තොත් පුංචි ගැටවු කාලෙ ඉදන් අපේ ලේ වලට කා වැදිලා තියෙන මනුෂ්‍යත්වයට මොනවා වෙයිද දරුවනේ... ඒක එහෙමම දියවෙලා යාවි.. අන්තිමේට මම ලග අධි නීතිඥවරයෙක් නමින් හැදින්වෙන වෘත්තිමය පුද්ගලයෙක් ඉතුරු වේවි... එහෙම නේද? එහෙම මිනිසෙක්ගෙන් වැඩක් තියේවිද දරුවනේ......? උපතින් ගෙනාපු මනුෂ්‍යත්වය දිරන්න දෙන්නෙ නැතුව ඔයාලගෙ හදවත් වල රජ කරවන්න පුළුවන්නම් අන්න ඒක තමයි ඔයාලට ජීවිතේ අන්තිම කාලෙදි ඉතා හොද නිස්කලංක ජීවිතයක් ගෙවන්න මූලික කරුනක් වෙන්නෙ... ඔය දරුවන්ට බනින්න කෙනෙක් දෝෂාරෝපනය කරන්න කෙනෙක් ඉතිරි වෙන්නෙ නෑ... ඒක නිසා දරුවනේ ඔයාලා කොච්චර සමාජයේ ඉහලට ගියත් පුළුවන් තරම් මනුස්සකම ඉස්සරහට දාන්න හිතාගන්න.... එතකොට තමයි ඔය දරුවන්ගෙ යටතෙ ඉන්න අය උනත් ඔය දරුවො ගැන ආදරෙන් හිතන්නෙ.....

ඊලග කාරනේ තමයි අපි අනිත් අය දිහා එයාලගෙ කෝනෙන් නොබලන එක... ඔයාලට මූණ දෙන්න වෙන අය ගැන හිතන්න.. මම අදහස් කලේ පාසැලේ සිසුන්.. ඔවුන් වැරැද්දක් කරනවා දුටුව ගමන් ඔය ලමයින් කී දෙනෙක්ද ඇයි ඒ ලමයා වැරැද්ද කලේ කියලා හිතන්නෙ.. ඉස්සෙල්ලාම කරන්නෙ වරදට දඩුවම් දෙන එක නොවැ... නේද දරුවනේ.... ඔයාලා පොඩි දරුවො නෙවේ නිසා මම මගෙ ළදුනේ වෙත යන්නම්... ඔයාලා දරුවනේ විශ්වාස කරනවද මේ ලෝකෙ ඉන්න ගනිකාවන් වගේ අය ඒ වෘත්තියට කැමැත්තෙන් ආපු අය වෙන්න ඇති කියලා.... මම නම් හිතන්නෙ නෑ.. සමාජයේ ඔවුන්ට කරන්න කිසිම දෙයක් නැතිකමට තමයි එයාලා ඒක තෝරගෙන ඇත්තෙ කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන්ද? අපි ඉතින් ඇයි ඔවුන්ට බනින්නෙ.... මම කරන්නෙ අධි නීතිඥ වෘත්තිය.. ඔවුන් කරන්නෙ ගනිකා වෘත්තිය... මමයි ඔවුනුයි දෙගොල්ලොම මේ වෘත්තීන් දෙක කරන්නෙ ජීවත් වෙන්න සහ ඔවුන්ගේ යැපෙන්නො ජීවත් කරවන්න... මේ එක උදා හරනයක් පමනයි... තව ඕන තරම් මේ සදහා උදාහරන අපි ජීවත් වෙන ලෝකෙන් ගන්න පුලුවන්... ඉතින් දරුවනේ ප්‍රශ්නයක් දිහා බලද්දි තමන්ගෙ පැත්තෙන් වගේම අනිත් පාර්ශ්වය පැත්තෙනුත් හිතන්න පුරුදු වෙන්න ඕන.. එහෙම නැත්නම් ඔයාලගෙන් බිහිවෙන්නෙ සමබර විසදුම් නෙමෙයි.... තමන් කොච්චර ලොකු මිනිහෙක් උනත් ඊට වඩා පහල මිනිහෙක් එක්ක කතා කරන කොට අපි ඒ ගානට පහලට යන්න ඕන... එහෙම නැත්නම් ඒ මනුස්සයා හිතන්නෙ අපි බොරු ආඩම්බර කාරයෙක් කියලා.. මේවා පොඩි දේවල් උනාට කවුරුත් හිතන්නෙ නෑ... ඒත් මේ නොහිතන එකෙන් අවාසිය වෙන්නෙ අපිටමයි..... මම මේ කියන කතාව ඔයාල ලොක්කෙක් උනාට පස්සෙ බැහැර කරන්න ඉඩ තියෙනවා... ඒ මෙ පොඩි පොඩි මිනිස්සුන්ගෙන් මට තියෙන පලය මොකක්ද කියලා... මෙන්න මේක ඔලුවට ගන්න දරුවනේ.... අපි කුනු භාජනේට විසි කරපු කොල කෑල්ල අයෙත් අපිට ඕන වෙන වෙලාවල් එනවා.... ඒ නිසයි අපි මිනිසුන් ලෙස සමාජයට පා එසවිය යුත්තෙ.....

අදට ඇති... තව එක කොටසකින් ඉවර කරන්නම්..... තව කරුනු මතක තියෙන්නෙ එක ලිපියකට විතරයි වගේ...... ටිකක් හිනාවෙන කතා බලාපොරොත්තුවෙන් ඉන්න අය මට පොඩ්ඩක් සමාවෙලා තව එක ලිපියක් විතරක් ලියන්න අවස්තාවක් දෙයි කියලා මම හිතනවා......




ර්‍

Saturday, September 18, 2010

තවත් එක් සොදුරු ශ්‍රී ලාංකිකයෙක්....... 02


පහුගිය ලිපියෙන් කිව්වෙ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ගැන මගේ අත්දැකීම් නොවැ... අද ලියන්න යන්නෙ එතුමා අපට කරපු කතාව.... සාමාන්‍යයෙන් ශිෂ්‍ය නායක දින වලදි ප්‍රධාන අමුත්තගේ කථාව ගොඩාක් දෙනෙක් අහගෙන ඉන්නෙ නෑ... එක එක තැන් වල එක එක ඇඩ්. ඒත් මෙතුමාගෙ කතාව කරපු පැය දෙකකට පුරාවට එකම එක අවස්තාවකදි ඇර අනිත් හැම වෙලාවෙම සියලු දෙනා ලගම තිබ්බෙ ඉතා දැඩි නිශ්ශබ්දතාවයක්. දැන් ඔයාලට ප්‍රශ්ණෙ වෙන්නෙ අර එක අවස්තාවනෙ.. එතුමාගෙ කතාව වෙලේ එක විද්‍යාලයක් පරක්කු වෙලා ආවා... ඒ වෙලාවෙ එතුමා හයියෙන්ම මෙහෙම ආවා.....

මොකක්ද පුතේ ඔය ළමයින්ගෙ ඉස්කෝලෙ...

එකෙක්... අපි ගාල්ලෙ ඇ..............

ආ.... මම හිතුවෙ මායිම් ගම්මානෙක කියලා... ළමයි හිනා උනා... එතුමා පාඩුවේ කතා කරගෙන ගියා.. එතුමා අවසර ගත්තෙ "හැමෝගෙන්ම අවසරයි" කියලා.. ඊට පස්සෙ දිගටම කථාව... මේ කතාව ඇතුලෙ තමයි අර මාරයාගෙ පෝස්ට් එකෙන් යොමු කරලා තිබ්බ මූනු පොතේ ලිපියට තවත් කතිකාවතක් එක්වෙන්නෙ... මෙන්න එතුමාගෙ පළවෙනි වාක්‍ය තුන.... මෙතන ඉදන් කතාව මම මතක විදිහට කියනවා.... මේ පලවෙනි වාක්‍ය තුනෙන් පස්සෙ එකෙක්වත් මීක් කිව්වෙ නෑ...

දරුවනේ මම අධි නීතිඥ වරයෙක්.... ඒත් මම ගොඩේ බයියෙක්... මගේ අප්පච්චි ගොයියෙක්...

මම දන්නෙ නෑ මම මේ ළමයින්ට කතාවක් කරන්න සුදුසුද කියලා... ඒත් මට ආරාධනය ලැබිලා තියෙනවා.. ඒ නිසා මම කතාව කරගෙන යනවා... අනුරාධපුරේ මම පොඩි කාලෙ ගෙවුනෙ.... අපේ අප්පච්චි හොද ගොයියෙක් වගේම හොද වෙද මහත්තයෙක්.... පොඩි කාලෙ ඉදන්ම අප්පච්චිට බෙහෙත් කොටන්න උදව් දුන්න අපිට මිනිස්සුන්ට සලකන්න ඉගෙන ගන්න උනේ නෑ... ඔය දරුවොත් ග්‍රාමීයයි.... ඒත් සමහරුන්ට මේ ගතිගුන ඉස්කෝලෙන් ඉගෙන ගන්න වෙලා ඇති.. ඒත් ඒක මුලාවක්... අපි හැමෝටම ඒක සහජයෙන් ලැබිලා තියෙනවා.. ඒත් අපි ඒක හිතාමතා අමතක කරලා දානවා... මේ පළාත ගැන නම් මම දන්නෙ නෑ.. ඒත් කොළඹ ළමයි නම් මේකට කියන්නෙ පොශ් වෙනවා කියලා... ඔය පොශ් වෙන එක ගැනම අද මට ඕනනම් පැය දෙකම කියවන්න පුලුවන්.. ඒත් මම එක දෙයක් විතරක් තව කියන්නම්.... එක දවසක එක ලමයෙක් ගෙදර පාඩම් කරන්න තව යාලුවෙක්ව නවත්තගත්තා.... ගෙදර ළමයා හැමදාම දෙමවුපියන්ට වැදලා එනවා.. මගක් යද්දි අනිත් ලමයා අහනවා මොකක්ද අයියෝ ඔයා හැමදාම අන්කල්ටයි ආන්ටිටයි වදින්නෙ... බායි කියලා ආවනම් ඉවරනේ... ඔන්න දරුවනේ පොෂ් වීම... කැමතිනම් පොෂ් වෙන්න පුළුවන්.... අපේ හැදියාව පැත්තකින් තියලා පොෂ් වෙන්න යන්න පුලුවන් ඕන්...

මම මෙතනට එන්න කලින් ශිෂ්‍ය නායක දින ගැන අධ්‍යයනය කලා.. මෙතනට ඇවිල්ලා ඉන්නේ ලංකාවෙ ඉන්න වැදගත්ම ළමයි ඒත් ඔවුන්ට ප්‍රායොගික උපදෙසක් නැතුව දවසක් නිකන් නාස්ති වෙලා යනවා.. ඒකයි මම මේ ගැන ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ... මම දන්න විදිහට මෙතන දෙමවුපියෝ කොළඹ හැදිච්ච දැනටත් කොළඹ උසස් සමාජයේ කිසිවෙක් මෙතන නෑ.. ඉන්නවනම් අත උස්සන්න බලන්න.. නෑ තමයි.. ඒත් තව අවුරුදු 10කින් ඒ තැනට යන්න හිතාගෙන ඉන්න අය මෙතන ඉන්නවා.. ඒත් පුතේ.. සමාජීය වශයෙන් ඉදිරියට යනවා කියන්නෙ ලංකාවෙ තියෙන උදාර සංස්කෘතිය පාවලා දෙන එක නෙමේ.... ඔයාලා ඒ වෙනුවෙන් එක අඩියක් තියන්න.. ඒක ඔයාලා ජීවිතේ කරන උතුම්ම ක්‍රියාව වෙයි.

ශිෂ්‍ය නායක නායිකාවො කියන අය ඔයාලගෙ වයසෙ අසීමිත වරප්‍රසාදලාභීන්. ඔයාලගෙ වයසෙ ඉන්න අනිත් ළමයින්ට වඩා ඔයාලා යම් තලයක් උඩින් ඉන්නේ... එතනට එන්න මග පෑදුවේ ඔයාලගෙ දෙමවුපියෝ.... අද සමහරු මෙහෙට ඇවිත් ඇති දෙමවුපියන්ට බොරු කියලා.. ඒත් ඒ බොරු කිව්වෙ තමුන්ට මේ වගේ තැනක ඉන්න උදව් කරලා මග පාදපු දෙමවුපියන්ට බව මම දැන් මතක් කලේ නැත්නම් ඔයාලට අමතකයි... ඒත් ඒ බොරු කියාපු ඔයාලම මගෙ දවසක් පැල නැති හේනේ සින්දුව අහලා අඩන්න පටන් ගනියි... මේවා ගැන ගැඹුරින් හිතන්න දරුවනේ... එතකොට තමයි ඔයාලට සමාජය තෙරුන් යන්නෙ...

මේ මම දැම්මේ පොඩ්ඩයි.. එතුමගේ කතාවෙ පැය දෙකම මට කට පාඩමින් උනත් කියන්න පුළුවන්..... අර කතාවට හරියන හරියෙන් තමයි මම දැම්මෙ. ආයෙත් ටිකක් හිනායන කතා දාන්න පටන් ගන්න ඕන...


Thursday, September 16, 2010

තවත් එක් සොදුරු ශ්‍රී ලාංකිකයෙක්.......


අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්..... ඇත්තටම ලංකාවෙ හිටපු සොදුරු මිනිසෙක්.. මෙයා ගැන ලියන මේ ලිපිය මට ලියන්න හිතුනේ මාරයාගෙ අපි කවුද? කියන පෝස්ට් එක සහ ඒකෙන් මාව යොමු කරපු මූනු පොතේ ලිපියක් කියෙව්වට පස්සෙයි. මේ කතාව කොටස් දෙකකින් ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.. එකක් මේ අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් පිළිබදව වූ මගේ අත්දැකීමක්.... දෙවෙනි කොටස එතුමා අපිට කරපු කතාවක සාරංශයක්.... මේ කතාවත් ටිකක් හිනා වෙන්න කතාවක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ.....

මම මීට කලින් කියලා තියෙනවනෙ ශිෂ්‍ය නායක දින ගැන.. ඔන්න ඉතින් අපිත් 1999 අවුරුද්දේ මලියදේව විද්‍යාලයේ ශිෂ්‍ය නායක දිනය සංවිධානය කරන්න පටන් ගත්තා.. සාමාන්‍යයෙන් ශිෂ්‍ය නායක දිනයක් සදහා එක් ප්‍රධාන අමුත්තෙක් ගෙන්වනු ලබනවා.. ඔහු විසින් පැය දෙකක දේශනයක් පැවැත්විය යුතු වෙනවා... ඉතින් අපි සංවිධානය කරපු ශිෂ්‍ය නායක දිනයේත් ප්‍රධාන අමුත්තා පිලිබද අවසන් නාම යෝජනා වුනේ රොඩ්ණි වර්ණකුල, රෝහණ බැද්දගේ සහ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්. සැමෝගෙම වාද විවාද වලින් පස්සෙ අවසන් තීරණය වුනේ අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් 1999 වසරේ මලියදේව ශිෂ්‍ය නායක දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය යුතු බවයි..

ඔන්න ඉතින් කට්ටිය ගිහින් එතුමාට ආරාධනා කරලා ආවා... එතුමත් එතුමගෙ දේශනේට මූල්‍ය වටිනාකමක් නොදීම අපේ ආරාධනාව භාර ගත්තා.... මම එහෙම කිව්වෙ සමහර ප්‍රභූන් වගේම ස්වාමීන් වහන්සේලාත් තම දේශනය හෝ බණ වෙනුවෙන් අගයක් නියම කරන නිසා.... ඒත් එතුමා අපිට නොමිලේම එතුමාගෙ කාලය දෙන්න එකග උනා.. මම දන්න තරමට එතුමා එහෙම කිසිම කෙනෙක්ගෙන් මුදල් අරන් නෑ... දැන් ඉතින් අපේ ශිෂ්‍ය නායක දිනය උදා වුනා.. ප්‍රධාන ශිෂ්‍ය නායක තුමා බුලත් අතක් අරන් ප්‍රධාන අමුත්තා එනකන් ටයි දාලා ඉස්කෝලෙ බ්ලේසර් දාල එහෙම ඉන්නවා ගේට්ටුව ගාව... අපිත් බ්ලේසර් දාලා ටයි දාල තියෙන බැජ් ඔක්කොම ගහගෙන පේලි දෙකට ඉන්නවා... මමයි අර ජනකයි (අර කතා සීරීස් එකකම හිටියේ) දෙන්න කොහෙහරි ඉදලා මේන් හෝල් එක පැත්තට එනවා...

එක පාරටම අපේ විද්‍යාලයේ ගේට්ටුවෙන් ඇතුල් වෙච්ච 8 ශ්‍රී පරන කාර් එකක් පිඹගෙන ඇවිත් ග්‍රවුන්ඩ් එක ලග නැවැත්තුවා... ඒකෙන් බැස්සෙ කොන්ඩෙ අවුල් කරගත්ත සාමාන්‍ය සෙරෙප්පු දෙකක් දා ගත්ත කලිසමේ බෙල්ට් එකක් වත් නැති ටිකක් වයසක මනුස්සයෙක් කාර් එකෙන් බැහැලා මමයි ජනකයි දෙන්න පැත්තට හැරුනා... කතාවට අහු උනේ මම.. ජනකයා මාරු උනා.... දැන් අපි දෙන්න අතරෙ ගියෙ මෙහෙම කතාවක්...

පුතා මලියදේවෙද?

ඔව් අන්කල්... ඇයි අන්කල්? කාවවත් හම්බ වෙන්නද?

අද ශිෂ්‍ය නායක දිනයක් තියෙනවා නේද?

ඔව් අන්කල්... මේන් හෝල් එකේ තියෙන්නෙ..

මම රන්බණ්ඩා සෙනෙවිරත්න. මට එක පුතෙක් දවසක් ඇවිත් අරාධන කලා ප්‍රධාන අමුත්තා විදිහට එන්න කියලා.. ඒ පුතා ඉන්නවද දන්නෙ නෑ නේද?

ආ සර්... සොරි සර්.... මම දැනගෙන හිටියෙ නෑ කලින් සර්ව... සමාවෙන්න සර්..

ඒකට කමක් නෑ... ප්‍රධාන ශාලාවෙ නේද උත්සවේ තියෙන්නෙ...

ඔව් සර්.. ඒත් විදුහල්පතිතුමයි ප්‍රධන ශිෂ්‍ය නායකතුමයි සර්ව පිළිගන්න ගේට්ටුව ලග ඉන්නවා සර්... අපි එතනට යමුද?

ආ.. ඒවා ඕනෙ නෑ පුතා... අපි ප්‍රධාන ශාලවට යමු කියලා එතුමා අර බ්ලේසර් එහෙම දාගෙන පේලි හැදිලා හිටපු අපේ කොල්ලො ටිකත් පහු කරගෙන මාත් එක්ක ප්‍රධාන ශාලාවට ගිහින් එතුමගෙ නම ගහලා තිබ්බ පුටුවෙන් වාඩිවුනා...

ඒ එක්කම එලියට දුවගෙන ආපු මම කට්ටියට විස්තරේ කිව්ව.. පිලිගන්න හිටපු විදුහල්පතිතුමයි, ප්‍රධාන ශිෂ්‍ය නායක තුමයි අප්පුඩි ගහන්න බලාගෙන පේලි හැදිලා හිටපු කොල්ලොයි ඔක්කොම දුවගෙන ඇවිත් සෙට් වෙලා දැන් ශිෂ්‍ය නායක දිනය පටන් ගත්තා.....

අදට ඇති..... එතුමා ආපු, කතා කරපු සරල විදිහ මගෙ මතකයේ ගැඹුරුම තැනක තැන්පත් උනා.. මා අතින් නොදැනුවත්ව වෙච්ච වැරැද්දට කිසිදු පැකිලීමකින් තොරව දුන්න සමාව, අධි නීතිඥයයෙක් වෙච්ච එතුමා අපි වගේ පොඩි කොල්ලොත් එක්ක ඇති කර ගත්ත සුහදතාවය මට මගේ ජීවිතයේ වැදගත්ම පාඩම් කිහිපයක් ඉගැන්නුවා....

ඊලග කොටසින් එතුමා ශ්‍රී ලංකා ශිෂ්‍ය නායක ප්‍රජාව අමතා කල දේශනයේ සාරාංශය ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ...

ප.ලි. එතුමා විසින් රචිත ගී පිළිබද විස්තරය පුළුවන්නම් ලියන්න කියලා මම අපේ වැම්පයර් මල්ලිට පුංචි පහේ ආරාධනයක් කරන්නත් කැමතියි.....

Tuesday, September 14, 2010

චින්තක මල්ලිගෙ පූස් වෛරය......

දවල් කාලයට වැඩ නිසාත් ඒ අතරෙ තියෙන පුංචි වීවේකයේදි ගූගල් බස් එකට සෙට් වෙන නිසාත් බ්ලොග් ලියන්න හම්බෙන වෙලාව අඩුයි... ඒ අතරෙ අර හොදම වෙබ් අඩවිය තෝරන සිද්ධියට අපේ හොටෙල් ලංකා වෙබ් එකත් තෝරගෙන තියෙන නිසා මගේ පුංචි කොම්පැණියත් චන්දෙට සූදානම් වෙනවා බරටම... එහෙම කියලා පාඨක ජනතාව අමතක කරලා බැරි නිසා ඔන්න තවත් කතාවක් ලියන්න තමයි යන්නෙ

ගාල්ලෙ උපුල් මල්ලි ගැන මම කතා ගොඩක් කියලා තියෙනවනෙ..... ඔව් ඔව්... පාර අහපු කතාවෙ වගේම එබ්‍රෝඩ් ගිය කතාවේ ඉන්න කෙනා තමා.... මහින්දෙන් මට මුණ ගැහුන යාලුවොත් එක්ක බලන කොට උපුලුත් එක්කම ඉන්න තව දෙන්නෙක් ගැනත් සදහන් කරන්න ඕන. ඒ තමයි පුෂ්පෙ මල්ලි සහ චින්තක මල්ලි... මේ තුන්දෙනාම විනෝදෙට බර ඒත් හැදියාවක් තියෙන සිරා කොල්ලො.. එකෙක්වත් අරක්කු සිගරට් පාවිච්චියක් නෑ.. චින්තක නම් මස් මාලුවත් කන්නෙ නෑ... කොල්ලො හැදෙන්න ඕන කොහොමද කියන එකටනම් සිරා උදාහරණ.... පුරුදු විදිහට වටේ යන නිසා කෙලින්ම කතාවට බහිමු......

අද කතා නායකයා චින්තක මල්ලි... මෙයා ගැන කතා තියෙන්නෙ මෙච්චරයි... අපි ගාල්ලෙ ගියොත් නවතින්නෙත් මෙයාලගෙ ගෙදර.. 20ක් ගියත් ඕනෙ වෙලාවක කන්න තියෙනවා.... ඉන්නෙ අම්මයි තාත්තයි අයියයි නංගියි චින්තකයි තමයි... සැබෑ සොදුරු මනුස්සකම් වලින් පිරිපුන් මිනිසුන්.... හරි ආයෙත් යන්නෙ වෙන කතාවක්නෙ.... ඔන්න මේ පාරනම් කතාව...

ඕනම කොල්ලෙකුට කෙල්ලෙක් වෙත තමන්ගෙ හිත යන එක නවත්තගන්න අමාරුනෙ.... චින්තකටත් ඒ ධර්මය එලෙසටම බලපෑවා.... කරුමෙ කියන්නෙ මුගේ හිත ගියෙ මිනිහගේ නංගිගෙ පන්තියේම ගෑණු ළමයෙක් දිහාට.... නමත් නංගිගෙ නමට අතිශය සමානයි.... මිනිහට පොඩි අතිරේක වාසියකුත් තිබ්බා.. මොකද හිටපු ගමන් අර ගෑණු ළමයා ගෙදරටම එනවා මූට ට්‍රයි කරන්න.. ඇයි ඉතින් නංගිගෙ යාලුවනෙ..... ඉතින් අපේ චින්තක මල්ලිත් ඉතින් අර පිස්සා මල්ලි වගේම මේ නංගියා වටේ ගාල්ලේ අහු මුලු නෑර කරක් ගැහුවා.. ඒත් එක්කම උපුලුයි පුෂ්පෙයි කන කටුවල ඉවරයක් උනෙත් නෑ.... ඉදලා හිටලා අපිත් මේ වැඩේට මාට්ටු නොවුනෙත් නෑ...අපිත් ඒ පස්සෙන් ගිහින් මෙලෝ සිහියක් නැතුව ඔලුවත් පලා ගන්න ගිහින් අනූ නමයෙන් තමයි බේරුනේ..... ඒත් තමන්ගෙ හිතේ තියෙන අදහස කියාගන්න චාන්ස් එකක් ගන්න තමයි පොරට අමාරුම උනේ....

කොහොමහරි පොරට රටක් වටින මේ දවස උදා වුනා.... ඔන්න එදා තමයි ගෑණු ලමයගෙ උපන් දිනේ.. දැන් මූට සුභ පතන්නත් ඕනෙ.... ඒ ගමන්ම හිතේ තියෙන අදහසත් කියාගන්න තමයි මිනිහගෙ කල්පනාව... ගෙදර කවුරුත් හිටියෙත් නෑ.. ඔන්න දැන් ගත්තා කෝල් එකක්... වාසනාවට ගෑණු ළමයමයි ආන්සර් කලේ... දැන් කතාව යනවා මෙහෙම...

ආ නංගි... හැපි බර්ත් ඩේ......

කවුද මේ.....

මම චින්තක අයියා.....

ආනේ අයියේ තැන්ක් යූ... තැන්ක් යූ.....

කොහොමද පාටි එහෙම තියෙනවද අද රෑ...

අනේ නෑ.. අයියෙ.... මොන පාටිද?

ආ නංගි මම මේ කාරණයක් කියන්නත් එක්ක තමයි කෝල් එක ගත්තෙ.. (දැන් ඔන්න හීන් දාඩිය එහෙමත් දාලා)

ආ මොකක්ද අයියේ... කියන්න...

නෑ නංගි මම කියන්න හැදුවෙ... හෙලෝ.. හෙලෝ.... හෙලෝ.... හෙලෝ.... හෙලෝ....

සද්දයක් නෑ.... කෝල් එක කට් වෙලා... පැන්න මලට ගැහුවේ ලග තිබ්බෙ කැබිනට් එකට පයින්.... මෙන්න එක පාරටම කබඩ් එක ලග හිටපු පූසා පණ කඩාගෙන දුවන්න ගත්තා.....

හොයලා බලද්දි තමයි වැඩේ තේරුනේ... වීදුරු කැබිනට් එක පිටිපස්සෙ ඉදන් පූස් පැටියා දගලද්දි ටෙලිෆෝන් එකේ වයර් එක ගැලවිලා...

දැන් ඉතින් ආයෙ ගන්නද කෝල් එකක්? පූසත් එක්ක මල පැන්නත් සත්ව කරුණාවත් ඉස්මතු වෙලා ආවා..... හිතේ අමාරුවට මේ කතාව ඇවිත් උපුල් එක්ක කීවා... උපුල්ගෙ ඉතින් යාළුවනේ.... ඌ ඉතින් හිතේ අමාරුවටත් එක්ක දන්න කියන හැමෝමත් එක්ක මේ සිද්ධිය කියලා දුක බෙදා ගත්තා...

තවමත් චින්තක මල්ලි ඉන්න තැනක පූසෙක් හිටියොත් අපේ උන්ට රජ ආතල් එන්නෙ....

Sunday, September 12, 2010

අධිකරණයට අපහාසයක් නොවේවා........

මට මේ ගැන ලියන්න හිතුනෙ අපි කවුරුත් කැමැත්තෙන් කියවන ජයන් කැෆේ බ්ලොග් අඩවියේ තිබූ රුපියල් 5ක් හොරකම් කල 13 හැවිරිදි දැරිය අධිකරණයට යන බ්ලොග් සටහන කියෙව්වට පස්සෙයි.... ගරු අධිකරණය දෙන තීන්දු ගැන සැකයක් නැතත් පොලීසිය අධිකරණයට ඉදිරිපත් කරන පුද්ගලයන් පිළිබදව අපට සෑහීමකට පත් විය හැකිද යන්න පිළිබද ව මසිතේ ඇතිවන ගැටළුව පිළිබද විමසීම මෙම ලිපියෙහි අරමුණයි.

බීමත්ව රිය පැදවීම සහ ලොක්කන්ට කතා කරලා ඇන ගැනීම 1 සහ 2 කියන ලිපිවලින් මම සදහන් කල සිද්දියට අදාල නඩු දිනයේදී ඔහුත් සමග මමත් උසාවි ගියේ ඔහුට ඇප දිය යුතු නිසයි... ඒ දවසේ උසාවිය තුල පැය 4ක පමන කාලයක් ඉදගෙන හිටියා... විභාග වූ සියලුම නඩු රථ වාහන ගනයේ නඩු වූ අතර අති විශාල දඩ මුදල් ප්‍රමානයක් ඒ තුලින් රජයට එකතු වෙනු මා දුටුවා... ඒ ගැන ගැටළුවක් නෑ... වරදක් කල මිනිසා දඩුවමක් විදිය යුතුයි.....

නමුත් විමසිය යුතු කාරනය එය නෙවෙයි.... දඩ ලද පුද්ගලයින් අතර සිටියේ සමාජමය අතින් දුර්වල වූ මිනිසුන් පමණි.... බස් රථ රියැදුරන්, ත්‍රී වීල් රියැදුරන්, ලිපිකරුවන්, වැනි සමාජයේ මධ්‍යම හා කම්කරු පාන්තික මිනිසුන් ගෙන් අධිකරණයේ විත්තිකරුවන් සමන්විත විය.. කිසිදු මහජන නියෝජිතයෙක්, ත්‍රිවිධ හමුදා නිළධාරියෙක් මෙන්ම සුපිරි වාහන රියැදුරෙක්වත් ඒ දඩ මුදල් ගෙවන උදවිය අතර සිටියේ නැත.රජයේ සහ පෞද්ගලික අංශයේ ලොකු ලොක්කන්ද දේශපාලන හෙන්චයියන්ද ඒ ගොඩේ සිටියේ නැත... අහිංසක මිනිසුන්ගේ බදු මුදලින් මහා පරිමාණ වැටුප් ලබන්නන්ද සිටියේ නැත... හිටියේ තමන්ගෙ පාඩුවේ හරි හම්බ කරලා ලයිට් බිල් වතුර බිල් ගෙවලා තවත් ඕනෙනම් රජයට බදුත් ගෙවලා නැවත දඩත් ගෙවන එක්තරා මිනිසුන් කොට්ඨාශයක් පමණි.

අපිද වැරැද්දක් කර අසු වූ විටෙක දන්න අදුරන හැමෝටම කෝල් කරන්නෙමු... ඒ එතනින් බේරී යාමට මගක් පාදා ගැනීම සදහාය... මට හිතෙන හැටියට වරද ඇත්තේ මේ කිසි තැනක නොවේ.... වරද අල්ලන උදවිය එක එක අයට එක එක හැන්දෙන් බෙදීම නිසාය.. මම නිවැරදියි කියලා මම මොහොතකටවත් හිතන්නෙ නෑ... ඒත් මේ තැන් සැකසිය යුතුයි කියලා මට හිතෙනවා... එතකොට අපිත් වැරදි කරන්න භය වෙයි... දැනුත් බයයි.... එතකොට තවත් භය වෙයි....

ඇත්තටම එහෙම වෙයිද?


Saturday, September 11, 2010

මලිදෙව් කොල්ලො වෙනුවෙන් බොක්කෙන්...........


මගේ බ්ලොග් එක කියවන හැමෝටම තේරෙනවා ඇති මම මගේ පාසැල් කාලයට කොතරම් ආදරේද කියන එක.. ඒක මම විතරක් නෙමෙයි ඕනම පුද්ගලයෙක් වැඩියෙන්ම ආදරය කරන්නෙ තමන්ගෙ ජීවිතේ පාසල් කාලයට. හිනා යන කතාවක් නොවුනත් සතුට මුසු වුන ආඩම්බරෙන් තමයි මේ කථාව ලියන්නෙ.... මගේ පාසල නම් වශයෙන් සදහන් නොකලත් බ්ලොග් එකේ කමෙන්ට් සහ සමහර පින්තූර බලන අයට තේරෙනවා මගේ පාසල කුරුණෑගල මලියදේව විද්‍යාලය කියලා... බ්ලොග් ලියන හිතවතුන්ගෙන් චාමර, රනිල් සහ තීර්ථ යාත්‍රිකයාත් මලියදේවයේ අඩම්බරකාර ආදි ශිෂ්‍යයින්....


මේ බ්ලොග් සටහන ලියන්නෙ මලියදේවයෙන් බිහිවුනු අද දවසේ ක්‍රිකට් ලොවේ දිදුලන සහෘදයින් පස් දෙනෙක් ගැන.... ඊයේ ඉදන් දකුණු අප්‍රිකාවේදී පටන් ගත්ත ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ශ්‍රී ලාංකික නියෝජනය වන්නේ වයඹ කණ්ඩායම... එම කණ්ඩායම සදහා මලියදේවයන් (බොක්කට දැනෙන විදිහට කියනවනම් දේවන්ස් කොල්ලෝ) පස් දෙනෙක් සහභාගී වෙනවා.... ඒ පස් දෙනා තමයි


ජීවන්ත අයියා අපට වඩා ටිකක් වැඩිමල්... ඔහුගේ හයේ පහරවල් ඉස්කෝලෙ පිටිය වටා සලකුණු වෙලා තිබුනා... පන්සලේ වහලෙ, ජනෙල් මෙන්ම පැවිලියන් එකේ උඩ තට්ටුවේ තිබුන පන්තිවල හිටපු ලමයින්ගෙ ඔළුවල පවා ජීවන්තයි දමිතයි සළකුනු තියලා තිබ්බා.... රංගන අද වගේම එදාත් දග පන්දුවෙන් දමපු දස්කම් අපේ මතකයේ රැදුනා..රංගන අපිට වඩා අවුරුද්දක් වැඩිමල්... ඒත් මේ තුන්දෙනා සහ මම මුණ ගැහුනෙ ශිෂ්‍ය නායක මණ්ඩලය ඇතුලෙ..... දමිතත් රංගනත් අදත් මගේ යාළුවෝ.... සමීරයි ශාලිකයි පොඩි මල්ලිලා... වර්තමාන මලියදේවයන් අතරෙ කැපී පේන චරිත.. ඔවුන් ක්‍රිකට් ලෝකය දික්විජය කරන්න පටන් ගත්තෙ 19න් පහල ශ්‍රි ලංකා කණ්ඩායමට ඇතුල් වෙලා කියලයි මට මතක...


ජීවන්ත සහ මහේල අද අරඹන ආරම්භක සබදතාවය බලන්න තමයි මම අද ඉවසිල්ලක් නැතුව ඉන්නෙ... ලංකාව පුරා දස්කම් දක්වපු ජීවන්තගෙ පිත්ත අද දකුණු අප්‍රිකාවත් හොල්ලාවි කියන බලාපොරොත්තුව අපේ හිතේ තියෙනවා.... දමිතගේ ලකුණු මැෂිම වගේම රංගනගෙ දග පන්දුවත් විශිෂ්ඨ දක්ශතා දක්වාවි..... සමීරගේ පිත්තත් ශාලිකගෙ මද වේග පන්දුවත් ප්‍රතිවාදීන් මෙල්ල කරන බර අවි වේවි.....


මලියදේවයන් පිරිවරාගත් වයඹ සිංහයින්ට ජය පතමු.... ඔබ දස්කම් බලන්නට අපි පුල පුලා බලා සිටින්නෙමු..... ජය වේවා කොල්ලනි..... කිරුළ අරන් එන්න, අපිට කන් අඩි පැලෙන්න උඹලට අප්පුඩි ගහන්න.......


Wednesday, September 8, 2010

චොසා අයියගේ මාතර සිට කුරුණෑගල බලා පැමිනීම......


ඔන්න තවත් පුංචි කතාවක් දිග අරින්නයි යන්නෙ..... මේක සිද්ද උනේ පාසැල් ජීවිතේ අන්තිම කාලේ.. ඔය වෙද්දි අපිට ශිෂ්‍ය නායක පදවි එහෙමත් ලැබිලයි තිබුනෙ... මේ ශිෂ්‍ය නායක ජීවිතෙත් රස කතා එමටයි... ඒවා තියාගෙන ඉන්නෙ තව ටිකක් කල් ගොහින් දාන්න.... හරි දැන් කතාවට එමුකො...
ශිෂ්‍ය නායක ජීවිතේ මනරම්ම අත්දැකීම තමා ඈත පළාත් වල තියෙන විද්‍යාලවල තියෙන ශිෂ්‍ය නායක දින වලට සහභාගී වෙන එක... දවසක් යනවා යන්න.. ශිෂ්‍ය නායක දිනයට සහභාගී වෙනවා... ඊලග දිනයේ ආපසු එනවා... කැමැත්තෙන්ම යන ශිෂ්‍ය නායක දින කිහිපයක් ලැයිස්තු ගත වෙලා තිබුනා... ඒ අතරෙ ගාල්ල මහින්ද, ගාල්ල ඇලෝසියස්, මාතර ශාන්ත තෝමස්, මාතර රාහුල, වගේ විද්‍යාල වලට යන්න පුදුම ආසාවක් තිබ්බෙ... ඒ වගේමයි උන් අපේ ශිෂ්‍ය නායක දිනයට එන්නත් තිබ්බෙ පුදුම ආසාවක්... මේ ඉස්කෝල කිහිපය අතරෙ තිබ්බ බැදීම නිසාම අදටත් කුරුණෑගලට පස්සෙ වැඩිම යහලුවෝ ප්‍රමාණයක් ඉන්නෙ ගාල්ල මාතර ප්‍රදේශ වල... ඔන්න ඉතින් වටේ යනවනෙ.. කතාවට එමු....

මේ සිද්ධිය උනේ මාතර ශාන්ත තෝමස් විදුහලේ ශිෂ්‍ය නායක දිනයට ගිහින් එද්දි,,, කුමක් හෝ සිද්දියක් නිසා උත්සවය ඉවර උන ගමන් එදා රෑම අපි එන්න පිටත් උනා.. මාතර දුම් රිය ස්ථානයට එද්දි සීග්‍රගාමී කෝච්චියක් තිබුනා මඩකලපුව බලා යන.. අපිටත් ජොලි... කෙලින්ම කුරුනෑගලින්ම බහින්න පුලුවන්නෙ... දැන් කට්ටිය නැගලා ආතල් දෙන්න පටන් ගත්තා.... අපි හිටියෙ කෝච්චියේ මැද හරියෙ...ගාඩ් රූම් එකට පිටි පස්සෙනුත් තව පෙට්ටි දෙකක් විතර තිබුනා..... ඔන්න සිද්ධිය පටන් ගන්න යන්නෙ....

අපිත් එක්කම ඩේ එකේ හිටපු ගාල්ල පැත්තෙ බාලිකාවියො සෙට් එකක් එක පාරටම දුවගෙන ඇවිත් නැග්ගා අර කියපු අන්තිම පෙට්ටියට.. ඒ ගැන්සියේ හිටියා අපේ චොසා අයියා දවස පුරාම බැල්ම හෙලාගෙන හිටිය නන්ගි බබෙක්..... එයා දැක්කා විතරයි ඉතින් කොල්ලට උඩින් චූන්... මචන් මම අරක ටෝක් කරලා එන්නම් කියලා අයියා දිව්වා පිටිපස්සෙ පෙට්ටියට... දවස පුරාම කතා කරලා හිනා වෙලා යාලුවෝනෙ.. දැන් අයියා එතනට වෙලා ආතල් එකේ කයියකුත් ගහගෙන ඉන්නවා... ගාඩ් අන්කල් විසිල් එක ගහලා කොඩිය වැනුවා... කෝච්චියත් හූ කියාගෙන පිටත් වෙනවා.. අපි අපේ පෙට්ටියේ යනවා.... චොසා අයියා අර පෙට්ටියේ ගෑණු ළමයි එක්ක එනවා.... ඔන්න ටික වෙලාවකින් බලද්දි අර පෙට්ටිය එන්නෙ නෑ... ඒක ගලවලා තිබිලා තියෙන්නෙ... බලපුහාම අපි යන සීග්‍රගාමී කෝච්චිය ගියාට පස්සෙ අර පෙට්ටි දෙකට එන්ජිමක් අමුනලා මන්දගාමීව ගාල්ලට එනවා.... අපිටත් කරන්න දෙයක් නෑ.... අපිත් ඌට වෙච්ච දේ ගැන කතා කර කර යනවා.. මොකද ඒ කාලෙ ජංගම දුරකතන කියලා ජාතියක්වත් තිබ්බෙ නැනෙ... කොහොමහරි කුරුණෑගලට යනකන් අපි මිනිහව දැක්කෙ නෑ.. අපි ඉතින් ශිෂ්‍ය නායක කාමරේට වෙලා ගෙවල් වලට යන්නෙත් නැතුව ඉන්නවා මිනිහා එනකන්... ඔන්න පැය 6ට විතර පස්සෙ මිනිහා ආවා, කෝච්චි අන්කල්ලා පරපුරේම දෙමවුපියන්ගෙ ඉදන් පට්ට ගහගෙන.... අපි ඇහුවා මොකද අයියෙ උනේ කියලා.. එතන ඉදන් තමයි චොසා අයියගෙ සුවිසැරිය පටන් ගන්නෙ... අයියගෙ වචන වලින්ම කියනවනම් මෙන්න මෙහෙමයි....

අඩෝ මාර සීන් එකනෙ උනේ.. මම අරක ටෝක් කර කර ඉද්දි කෝච්චිය ආවනෙ... මට කෝච්චිය නෑ කියලා දැනෙද්දි කෝච්චිය පේන්නවත් නෑ... එතන හිටපු එකෙක්ගෙන් අහද්දි කිව්වා ටක් ගාලා ගාල්ලට ගියොත් නම් කෝච්චිය අල්ලාගන්න පුළුවන් කියලා.. මම දුවගෙන ඇවිත් කොළඹ බස් එකකම එල්ලිලා ගාල්ලට ආවා... ස්ටේශන් එකට එනකොටම මම දැක්කා උඹලා ආපු කෝච්චිය යනවා.... කරුමෙ කියන්නෙ එතන හිටපු එකෙක් කිව්වා අම්බලන්ගොඩට යන්න මල්ලි ඉක්මනට... ඔයාට නගින්න පුළුවන් වෙයි කියලා..රෑ දෙකයි වෙලාව..

ඉතින් කෙලින්ම කොළඹටම එන්න තිබ්බනෙ..

නෑ බන් කෝච්චියේ ටිකට් එකත් තිබ්බනෙ.. වෙලාවට ඒ එක්කම බස් එකක් ආවා.. මම එකේ ඇවිත් අම්බලන්ගොඩින් බහිනකොට ආයෙත් කෝච්චිය ඇස් දෙකට පෙනි පෙනී ගියා බන්.... අම්බලන්ගොඩ ඉදන් බස් එකක් නැතුව පැයක් විතර කට්ට කාලා පිටකොටුවට ඇවිත් අනුරාධපුර බස් එකක එල්ලුනා.. දැන් තමයි බන් එන්නෙ... මම නම් අයේ ඩේ වලටනම් යන්නෙ නෑ.... එපා උනා ජීවිතේම....

අපේ උන්ට ගිය ආතල් එක කොහොම වෙන්න ඇත්ද?


Monday, September 6, 2010

නිරා මල්ලිගෙ ඩෙනිම......


මම මේ ඉස්කෝල කාලෙ ඒවා කියන හින්දා අපේ ෆා නංගි වගේ අයට මම ටිකක් වයසින් බාලයි වගේ කියලා හිතෙන්න පුළුවන්... ඒත් ඉතින් රසබර අතීතෙන් ගත්තොත් සීයට අනූවක්ම තියෙන්නෙ පාසැල් කාලයේ රසබර කතා... අනිත් 10න් 9ක් තියෙන්නෙ පාසල් කාලෙ යාලුවො රස්සා කරන කාලෙ වෙච්ච සිද්දි...ඉතිරි එක මගෙ හාල්මැස්සො වලිය වගේ මෙලෝ රහක් නැති මෝඩ චූන් කතා... හරි මේ කථාව පැත්තකින් දාලා දැන් කියන්න ගිය කතාව කියන්නම්....

මේකත් බාලදක්ෂ කතාවක්... අපි ඉතින් පිරිමි ඉස්කෝල නිසා බාලිකා ඉස්කෝල වල තියෙන එක එක වැඩසටහන් වලට යන්න ඉතින් කැමැත්තෙන් නෙ ඉන්නෙ... සර්ලා ඕක දන්න නිසා ඒ පාසැල් වල තියෙන ඒවට යන්න වැඩි කැමැත්තක් නෑ.. මොකද කොල්ලො ආපහු එන්න කැමැත්තක් නෑනෙ..ඉතින් සර්ලට ගෙදර යන්න පරක්කුත් වෙනවා.. සමහරු උන් සර්ලා ඉන්නවද නැද්ද කියලාවත් බලන්නෙ නැතිව කරන සමහර වැඩත් තියෙනවනෙ.... සර් වගේද කෙල්ලෙක් ගොඩ ගියොත් නේ? ඉතින් මේ වගේ දින වලදි සර්ලට යන්න බැරි වෙනකොට පොඩි උන් වැදල වැදල ආදි බාලදක්ෂයොත් එක්ක යන්න විදුහල්පතිතුමාගෙන් අවසර ඉල්ල ගන්නවා... ඉතින් මේ දවසත් කුරුණෑගල බෞද්ධ නොවන ප්‍රධානම බාලිකාවෙ තිබ්බ බාලදක්ෂිකාවන්ගෙ Talent Show එකක් බලන්න තමයි යෙදිලා තිබුනෙ.. ආදි බාලදක්ෂයෝ විදිහට ගියේ මමයි දමින්ද මල්ලියි වගේ තමයි මතක...

සුපුරුදු විදිහට කට්ටිය 1ට විතර ෂොපින් කම්ප්ලෙක්ස් එක ගාවට සෙට් උනා. මමයි දමින්දයි යද්දි පොඩ්ඩක් විතර පරක්කු උනා.... අපි යද්දි ඔක්කොම ඇවිත්.. ඇයි බාලිකා විද්‍යාලෙකට යද්දි කල් ඇතුව යන්නත් එපැයි.... අපි ගිය ගමන්ම දැනුනා පොඩි අමුත්තක්... මොකක්ද දන්නවද? පොඩි උන් ඔක්කොම හිටියෙ ටී ෂර්ට් උඩින් දාගෙන... සාමාන්‍යයෙන් පාසැලේ බාලදක්ෂ ටී ෂර්ට් එක කලිසමට යට කරලා තමයි අදින්නෙ..ඒක උඩින් දාගෙන ඉන්නවා කියන්නෙ දඩුවම් ලැබිය යුතු වරදක්.... දැන් අපි ගිය ගමන් පටන් ගත්තා සද්දෙ...

මොකෝ මේ ටී ෂර්ට් උඩින් දාගෙන.. යට කරගන්නවා ඔක්කොම...

ඔක්කොම යට කර ගන්න අතරෙ නිරා විතරක් ඇඹරෙනවා... ඉතින් අපෙන් ආයෙත් සද්දෙ....

ඇහුනෙ නැද්ද කියපු දේ? යට කරන්න ටී ෂර්ට් එක...

අසරණ බැල්මක් අපි දිහාට හෙලපු නිරා, ටී ෂර්ට් එකේ කොනක් උස්සලා ඇතුල පෙන්නුවා....

මේ තියෙන්නෙ කොල්ලා අලුතෙන්ම ගත්ත ඩෙනිම කොහු ලණුවකින්ම ගැට ගහලා.....

මොනවා කරන්නද ඉතින්.. පොඩි උන්ගෙ ආසව නොවැ.. ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි ටී ෂර්ට් උඩින් දාගෙන බාහිර විද්‍යාලයක තිබුනු උත්සවේකට සහභාගී උනා....

ප. ලි. තීර්ථ යාත්‍රිකයා නම් මේ පුද්ගලයව හොදින් දන්නවා... මම දැක්කා එයාගෙ මූනු පොතේ මෙයා ඉන්නවා....


Saturday, September 4, 2010

ඔන්න පැන්න පාසලෙන් කලින්ම 2

මේකෙ 1 කතාව දිග වැඩි වුන නිසා තමයි සිද්ද උනේ දෙවෙනි කතාවකුත් ලියන්න..... අද ලියනවා කතා දෙකක්.. ඒ කියන්නේ අංක 3 හා 4.... දැන් තමයි කතා මතක් වෙන්නෙ..පිස්සත් ඔන්න සර් කෙනෙක් ගැන කියලා මට තවත් කතාවක් මතක් කරල දුන්නා.. ලියන්න වෙලාව නැති උනත් හෙමීට හෙමීට හරි ලියන්න තමයි බලන්නෙ...... හරි බහිමු කතා වලට...

අංක 3

මේ සිද්ධිය උනේ ගාල්ල පැත්තෙ තියෙන ප්‍රධානම බෞද්ධ පිරිමි ඉස්කෝලෙක මගේ යාලුවෙකුට... මේක කියවන ඒ ඉස්කෝලෙ උන් දන්නවා අරුන් තුන් දෙනා ගැන තමයි මේ කියන්නෙ කියලා... ඔය කියන ඉස්කෝලෙ ගේට්ටුව ලග ඉදන් සුවිසල් බැම්මක් පසු කරන් සෑහෙන දුරක් යන්න තියෙනවා විදුහල්පතිතුමාගෙ කාමරයට... ඔන්න ඉතින් වටේ යනවනේ.. බහිමු කතාවට.

යාලුවෝ තුන් දෙනෙක් සෙට් වෙලා කතා කර ගත්තා ඉස්කෝලෙන් පනින්න... කුරුණෑගල ඉන්න අපි පාසැලෙන් පැනලා වැවේ නාන්න ගියාට ගාල්ලෙ උන් යන්නෙ මුහුද නාන්නනෙ.... නේද පිස්සා මලයා....? ඉතින් මුං තුන් දෙනත් ඉස්කෝලෙන් පැනලා ඔය වැඩේට සෙට් උනේ... ගාල්ලෙ කොල්ලො ඔය වැඩේට ගොඩක්ම තෝරගන්නෙ ලයිට් හවුස් එක ලග කියලයි මම හිතන්නෙ... මොකද නෑවා..ආවා... බස් එකේ නැගලා ගෙදර ගියා.... මේ තුන් දෙනත් දන්න තරමට එතන තමයි තෝරගත්තෙ...

දන් කට්ටිය ඔතනට ඇවිත් නිල ඇදුම් ගලවලා තියලා යටට ඇදගෙන හිටපු ඇදුම් පිටින් බැස්සා මුහුදට. ඔන්න සෙට් එක නානවා ෆුල් ෆන් එකේ... ඉතින් කතා බහ කර කර ගෑනු ලමයින්ට අනන්මනන් කිය කිය මුන් නානවා... ඔන්න ටික වෙලාවකින් සුදු ඇද ගත්ත මහත්තයෙක් ඇවිල්ලා කතා කරනවා මේ තුන් දෙනාට.. එතකොට තමයි කට්ටියට දෙවියො සිහි උනේ....

හත් ඉලව්වේ විදුහල්පතිතුමා.... දැන් ඉතින් මොනවා කරන්නද? මුන් තුන් දෙනාත් ආව ගොඩට.. ප්‍රින්සිපල් සර් ගත්ත තුන්දෙනාගෙම ඇදුම්..අරන් හා යමු කියාගෙන ඉස්සර උනා... සර්ගෙම කාර් බූම් එකේ ඉස්සරහ ෂීට් එකෙන් ඇදුම් ටික තියාගෙන තුන් දෙනාව නග්ග ගත්තා පිටි පස්සෙ ෂීට් එකට... අනේ මුන් තුන් දෙනත් යට ඇදුම් පිටින්ම කාර්බූම් එකේ යනවා... දැන් තමයි මරුම සිද්ධිය....

කාර් බූම් එක පාසැලේ ගේට්ටුව ගාවා නතර උනා... සර් මෙහෙම කිව්වා...

හා දැන් බහිනවා....

දැන් මුන් ඇඹරෙනව..අයි යකෝ මෙතන බහින්න පුලුවන්ද මෙහෙම.. විලි ලැජ්ජවක්නෙ... ඒ එක්කම ආයෙත් සර්ගෙ හඩ...

කිව්වම අහලා බහිනවා ඉතින්...

අමාරුවෙන් බැහැගෙන ඉස්සරහා වීදුරුවෙන් එබිලා අතිශය බයාදු ගතියක් මවාගෙන එකෙක් විදුහල්පතිතුමාගෙන් මෙහෙම ඇහුවා...

සර්.... ඇදුම් ටික......... :(

ආ.... ඒ ටික ගන්න එනවා ඔෆිස් එකට.........

කාර් බූම් එක ගියා.. එතනින් එහාට වෙච්ච දේ මම කියන්න ඕන නැහැනෙ....


අංක 4

තිලා අපේ ඉස්කෝලෙ හිටපු සිරාම ඩයල් එකක්... දැන් කියන්න යන්නෙ උගේ කතාවක්...

දැන් ඉස්කෝලෙ යන ලමයින්ගෙ කමිස සාක්කුව ලග තියෙන ලාංඡනෙන් අදුර ගන්න පුලුවන්නෙ මොන පාසලේද කියන එක.. අපේ කාලෙ ඕව තිබුනෙ නෑනෙ... ඉස්කෝලෙන් එලියට ආවට පස්සෙ අපි මොන පාසලේද කියලා අදුර ගන්න බෑ හොදට දන්න කියන කෙනෙකුට ඇරෙන්න... ඒත් ඉබ්බාගමුව සෙන්ට්‍රල් එකේ උන්ව නම් ඔක්කොම දන්නවා මොකද උන්ගෙ කලිසම් වල ෆ්ලීට්ස් නැහැ... මේ සිද්ධිය උනේ අර පිට්ටනියෙ තනිවෙච්ච විදුහල්පතිතුමා ඉස්කෝලෙට ආපු මුල්ම කාලෙ... ඔන්න කතාව....

ඔන්න අපි ඉස්කෝලෙන් පැනලා පරන ෂොපින් (Viewer's Shopping Complex ) එක ලගට වෙලා චාටර් වෙවී ඉන්නවා... තිලාත් ඔතන හිටියා... පරන ෂොපින් එක කියන්නෙ කුරුනෑගල ඉස්සර තිබ්බ ජනප්‍රියම ප්ලේස් එක.. කෙල්ල හම්බෙන්න, රස්තියාදු ගහන්න, ට්‍රිප් යන්න එකතු වෙන්න, ගැන්සිය සෙට් වෙන්න ඕන දේකට කවුරුත් පාවිච්චි කලේ ඔතන. ඉතින් අපිත් ඔතනට වෙලා වේලි වේලි ඉද්දි දෙවියනේ කියලා අලුත් විදුහල්පතිතුමාගෙ කාර් බූම් එක නැවැත්තුවා... ඒක නවත්තනකොටම අපි ටික එහෙන් මෙහෙන් මාරු උනා.. තිලා දැක්කෙ නෑ.. ඌ ඔහෙ හිටියා.... විදුහල්පතිතුමා ඌට කතා කරද්දි තමයි මූට දෙවියෝ සිහි වෙලා, ගන දෙවි නුවණත් පහළ උනේ.... දැන් දෙන්න අතරෙ යන දෙබස මෙහෙමයි....

මෙහෙට එනවා පොඩ්ඩක්....

ආ.... ඇයි අන්කල්?

ම්ම්.. තමුසෙ ........ එකේ නේද?

අනේ නෑ අන්කල්.. මම ආදර්ශේ........

අහ් එහෙමද? ........ එකේ ලමයි ටිකක් මෙතන හිටියා නේද?

ආ ඔව් අන්කල්... මේ දැන් මෙතන ඉදලා උඩට ගියා මම හිතන්නෙ...

ම්ම්... මම බලලා එන්නම්.... කියපු විදුහල්පතිතුමා මූ දිහාට ආයෙත් සැක සහිත බැල්මක් දාලා අපිව හොයන්න පඩිපෙල නගිද්දි අපි බස් නැවතුම්පලටත් ගිහින් ඉවරයි...


ප.ලි. ජීවිතේ කළමණාකරන තීරණ ගන්න හැටි ගැන මම හොදම අවබෝධය ගත්තෙ මේ විදුහල්පතිතුමාගෙන්.... ඒ කාලෙ ඒ තීරණ සමච්ඡලයට ලක් කරපු මටනම් දැන් හිතෙන්නෙ එතුමා ඒ කාලෙ ගත්තෙ හරිම සමබර තීරණ කියලයි....


Friday, September 3, 2010

ඔන්න පැන්න පාසැලෙන් කලින්ම.......


ගොඩාක් දවසකින් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න උනේ නෑ... පසුගිය ලිපියෙන් කිව්වා වගේ අපේ පුංචි කොම්පැණිය හොටෙල් ලංකා වෙබ් අඩවියත් එක්ක අත්වැල් බැද ගත්තට පස්සෙ අපි ඉතාමත් කාර්යබහුලයි.... ඒත් එහෙම කියලා මේ කලාව අත ඇරලා කොහොමද? හිතෙ කැමැත්තෙන් කරන දේනෙ.... ඒ නිසා අඩුම ගානෙ සතියට දෙකක්වත් ලියනවා කියලා තීරනය කලා...

ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්න එක වගේම කට්ටි පනින එකත් වැදගත්නෙ නේද? ඉතින් මම කියන්න යන්නෙ ඉස්කෝලෙ යද්දි කට්ටි පනින කාලේ අපිට සහ අපේ යාළුවන්ට වෙච්ච දේවල් කිහිපයක්...

මාරයාගෙ වචන දෙකේ පෝස්ට් එකට කමෙන්ට් කරනකොට තමයි මේ කතා ටික මතක් උනේ... මොකද කමෙන්ට් කරද්දි ගනන් සර් මතක් උනා... සර් මතක් වෙනකොට පළවෙනි කතාව මතක් උනා.. ඒත් එක්කම කතා පේලියක් මතක් උනා.... ආ.. වෙනම කතාවක් උනත් සර් ගැනත් පොඩ්ඩක් කියන්න ඕනනෙ... සමස්ත ලංකා ජූඩෝ ශූරයෙක්. වැරදි කරපු කොල්ලන්ව උන්ගෙ කලිසමෙ පටියෙන් අල්ලලා ගහනව බ්ලැක් බෝඩ් එකේ.. ගහලා උන්ගෙ පස්සෙන් බ්ලැක් බෝඩ් එක මකනවා... සර් ගෙන් කෑවොත්නම් ආයෙ ඉතින් බඩුම තමයි.... මොන වැරැද්දක් කලත් ගහන්නෙත් එකයි... ඉතින් හිතා ගන්න පුලුවන්නෙ කොල්ලො කොච්චර බය ඇද්ද කියලා.... නම සරත්.. අපි ආදරේට කීවෙ සරා කියලා.. හිකිස්... මට හමුවුනු ගුරුවරු අතරින් අති විශිෂ්ඨ සුන්දර මිනිසෙක්..... හරි කතාවට බහිමු

ඔන්න අංක 1

ගම කුරුණෑගල කියලා මම කියලා තියෙනවනෙ... ඉතින් අපි ගොඩාක් වෙලාවට විනෝදෙට කරන්නෙ කුරුණෑගල වැවේ නාන්න යන එක.. ඉස්කෝලෙන් පැන්නත්, පංති කට් කලත්, නිදහස් වෙලාවක කලත් කෙටි කාලෙකින් වැඩි ආතල් එකක් ගන්න පුළුවන් වැඩේ තමයි මේ වැවේ නාන්න යන එක.... ඉතින් ඒක නිසා එක්තරා දවසක, මට මතක හැටියටනම් ඉස්කෝලෙ කලින් ඇරුනු දවසක අපි සෙට් එකක් ගියා වැවේ නාන්න... දැන් ගිය කට්ටිය මතක නෑ.. එත් මමයි දුමායි මතකයි.... දුමාත් මතක, සිද්ධිය උනේ ඌට නිසා....

දැන් ඔන්න කට්ටිය පාසැල් නිල ඇදුම් එහෙම ගලවලා තියලා බැස්ස වැවට... දැන් නානවා.. පිස්සු නටනවා.. දන්නවනෙ ඉතින් කොල්ලො රන්චුවක් වැවකට බැස්සම, එකෙක් ගිලෙනකන්ම ආතල් ගන්නවනේ.... කරුමෙට මෙච්චර කාලෙකට කවුරුත් ගිලුනෙ නෑ ඕන්... ඔන්න ටික වෙලාවකින් අපේ එකෙක්ගෙ නෙත ගැටුනා යතුරු පැදි බූම් එකේ එන සරත් සර්..... යකෝ ඔන්න සරා එනවා..... කියපු අපේ එවුන් වටපිට තිබ්බ ගස් ගල් අස්සෙ හැන්ගුනා... දුමා කොහොමත් පණ්ඩිතයනෙ.. ඌ නහය අතින් තද කරගෙන වතුරෙ යටට ගියා...

අරූගෙ කිමිදීමේ හැකියාවේ තියෙන විශිෂ්ඨත්යව නිසාම විනාඩියකටත් අඩු කාලයකදී ඌට නහය අත ඇරලා උඩට එන්න උනා.... අනේ අවාසනාවක මහත..සරත් සර් යතුරු පැදි බූම් එක නවත්තලා ඌ දිහා බලාගෙන ඉන්නවා... දැන් ඉතින් ඔක්කොටම බඩු හරිනෙ.... අපේ උනුත් ඉතිපිසෝ කියන තරමට බය වෙලා.... සර් අරුත් එක්ක හිනා වෙලා යතුරු පැදි බූම් එකත් ස්ටාට් කරගෙන ගියා..... ඔන්න එතකොට තමයි අපේ ඇගේ වතුර ලේ උනේ.... අරුත් දැන් දෙන්න තියෙන ලොකු ටෝක් ඔක්කොම දෙනවා අපිට.. අඩෝ.. සරා ඉතින් මාත් එක්ක ෆිට් නෙ... හැබැයි උඹලව අහු උනානම් ඉතින් ඔක්කොටම බඩු තමයි කිය කිය..... අපිත් උගේ කන්කරච්චලේ අහගෙන ගෙවල් වලට ගියා...

පසුවදා පාසැල් ගියාට පස්සෙ තමයි වසන්තය එළබුනේ... සරා ආවා පන්තියට... තමුසෙ තමුසෙ තමුසෙ කිය කිය එක එකාව නැගිට්ටනව.. දුමා ඇර අනිත් ඔක්කොමව නැගිට්ටුව... අපි ඉතින් හිත යටින් කියනවා දෙයියන්ට බුදුන්ට ..... දැන් සර් කතාව පටන් ගත්තා.. දෙබස මෙහෙමයි..

ඊයෙ කට්ටිය ගියා නේද වැවට නාන්න..

ඔව් සර්........


මම දැකලා හැන්ගුනා නේද?

ඔව් සර්......

ඇයි හැංගුනේ.. මට තියෙන බයටද? එහෙම නැත්නම් වැරැද්දක් කරන්නෙ කියලා දන්න නිසාද?

දෙකටම සර්...


එහෙනම් ඉද ගන්නවලා..ආයෙ ගියොත් බලා ගත්ත හැකි...

මෙන්න ලෝක පුදුමෙ... කෝ ගැහුවෙ නෑනෙ... මාර අවුල.. ඔන්න සර් ආයෙත් කතා කරන්න පටන් ගත්තා..

කෝ නැගිටිනවා තරගයේ වීරයා..

පන්තිය මීක් නෑ.... කවුද ඉතින් තරගයේ වීරයා...

දන්නෙ නැද්ද? කෝ දුමා නැගිටිනවා..........

ඔන්න අරූ නැගිට්ටා.. බලන්න දුකේ බෑ... මැලේරියා කාරයා වගේ වෙව්ලනවා...

ඈ.. ඕයි... තමුසෙ හිතුවෙ මම පොට්ටයෙක් කියලද? හැංගෙන කොට හැංගෙන තැනයි තමන්ගෙ හැකියාවයි ගැනයි දැනගෙන හැංගෙනවා... මම ඈතදිම තමුසෙලාව දැක්ක... අනිත් උන් ඒ විදිහට හැංගුනා.. තමුසෙ පණ්ඩිතයා වෙන්න ගියා.... කරන වැඩේ හරියට කරනවා මනුස්සයෝ.... කියල ඉවර වෙන්නත් කලින් සර්ගෙ වම් අත අරුගෙ කම්මුල හරහා යවලා, හිටගෙන හිටපු දුමාට ඉදගැනීම සදහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සපයලා දුන්න...

කතාවත් වැඩෙත් එතනින් ඉවරයි..සර් පාඩම කරගෙන ගියා.... දැන් සිද්දිය වෙලා අවුරුදු 16ක් විතර ඇති... අදට අපේ කොල්ලො දුමාව හම්බුනාම උගෙන් අහන්නෙ මෙහෙමයි....

හලෝ මචන් දුමා..... සරා තාමත් උඹත් එක්ක ෆිට්ද බං........?

මධුර මනෝහර වදන් උගෙන් මුවින් පිටවෙනවා ඊට පස්සෙනම්.....

ප.ලි. : කතාව දිග වැඩි වුන නිසා ඉතිරි කතා ටික මීලග පෝස්ට් එකෙන් බලාපොරොත්තු වන්න....